Skip to content

පටුනට යන්න

‘ග්‍රීෂ්ම කාලය හා ශීත කාලය කිසිදා පහ නොවෙයි’

‘ග්‍රීෂ්ම කාලය හා ශීත කාලය කිසිදා පහ නොවෙයි’

යෙහෝවාගේ මැවිල්ලේ අසිරිය

‘ග්‍රීෂ්ම කාලය හා ශීත කාලය කිසිදා පහ නොවෙයි’

ගිනිකාෂ්ටක අව්වෙන් මුළු කාන්තාරයම දිදුලයි. ලෝකයේ වෙනත් ප්‍රදේශවලට රස්නය දැනෙන්න පටන්ගන්නේ ශීත කාලයෙන් පසුවයි. ඇත්තවශයෙන්ම දේශගුණ හා ඍතු ඇතිවීමට එක් ප්‍රධාන හේතුවක් නම් සූර්ය තාපයයි.

ලෝකයේ විවිධ තැන්වල ඍතු වෙනස්ය. ඔබට ඍතු බලපාන්නේ කෙසේද? “දිගු කාලයක් පුරා පැවති ඉඩෝරය නිමා කරමින් ඇද හැළෙන වැසි ඔබ සාදරයෙන් පිළිගන්නවාද? ගිම්හාන කාලයේ සැන්දෑවේ අද්දකින්න තිබෙන සෞම්‍ය දේශගුණය ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? ගොවියන් තම මහන්සියේ අස්වැන්න නෙළනවා දැකීමෙන් ඔබේ සිත ප්‍රීතියෙන් උද්දාමයට පත් වෙන්නේ නැද්ද?”

මෙම ඍතු ඇති වෙන්නේ කොහොමද? එය සඳහා දිය හැකි කෙටිම පිළිතුර නම් පෘථිවිය ඇල වී තිබීම හෙවත් ආනතියයි. සූර්යා වටා පිහිටා ඇති කක්ෂයට සාපේක්ෂව පෘථිවිය අංශක 23.5ක් ඇලව එහි අක්ෂය වටා භ්‍රමණය වෙයි. පෘථිවිය ඇලව පිහිටා නොතිබුණා නම් ඍතු ඇති වන්නේ නැහැ. එසේනම් දේශගුණය සැමදාම එකම විදියට පවතීවි. මේ තත්වය වගාවන්වලට සහ අස්වනු නිපදවීමේ චක්‍රයට බලපානු ඇති.

මෙම ඍතුවල සාර්ථකත්වයට හේතුව ඒවා පිටුපස තිබෙන දෙවිගේ හස්තය බව ඕනෑම කෙනෙකුට පෙනී යයි. ගීතිකාකරු යෙහෝවා දෙවි ගැන පැහැදිලිව මෙසේ පැවසුවා. “ඔබ පොළොවේ සියලු සීමා පිහිටෙව්වේය. ග්‍රීෂ්ම කාලයද ශීත කාලයද සෑදුවේය.”ගීතාවලිය 74:17. a

පොළොවේ සිටින කෙනෙකුගේ දෘෂ්ටියට අනුව ඉර, සඳ හා තාරකා වැනි ආකාශ වස්තූන් ඍතු නිවැරදිව ප්‍රකාශ කරන සලකුණු වෙයි. අපේ සෞරග්‍රහ මණ්ඩලය මැවීමේදී දෙවි මෙසේ ප්‍රකාශ කළා. “අහස්තලයෙහි ආලෝකයෝ වෙත්වා. ඒවා ලකුණු පිණිසද ඍතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා.” (උත්පත්ති 1:14) පෘථිවිය සූර්යයා වටා තම කක්ෂයේ ගමන් කිරීමේදී, වසරකට දෙවරක් සූර්යයා පෘථිවි සමකයට ඉහළින් දවල් 12ට මුදුන් වෙයි. මෙම අවස්ථා හඳුන්වන්නේ විෂුවය ලෙසයි. බොහෝ රටවල මෙම පිහිටීමත් සමඟ ශරත් හා වසන්ත ඍතු ආරම්භ වෙයි. විෂුවය ඇති වන කාලයේදී පොළොවේ සියලු තැන්වල දවල් කාලය හා රාත්‍රි කාලය බොහෝදුරට එක හා සමානයි.

ඍතු පැවතීමට හා ආරම්භ වීමට හේතු වන්නේ ග්‍රහයන්ගේ චලන පමණක්ම නොවෙයි. ජීවිත පැවැත්ම සඳහා ඍතු, දේශගුණය හා කාලගුණය යන මේ සියල්ලම බලපායි. ඒවා එකිනෙකට සම්බන්ධ වී තිබෙන සංකීර්ණ සැලැස්මක්යැයි පැවසුවොත් නිවැරදියි. කුඩා ආසියාවේ ජීවත් වූ මිනිසුන් බොහෝදෙනෙක් කෘෂිකර්මාන්තයේ හා ආහාර නිෂ්පාදනයේ නියැලුණු අයයි. මේ අයට කතා කිරීමේදී ප්‍රේරිත පාවුල් හා ඔහුගේ සහයකයා වන බානබස් පැවසුවේ දෙවි “අහසින් වර්ෂාද සාරවත් කාලවල්ද දීමෙන්, කෑමෙන්ද ප්‍රීතියෙන්ද ඔබේ සිත් සම්පූර්ණයෙන් තෘප්තිමත් කරමින් යහපත කළේය” කියායි.—ක්‍රියා 14:14-17, NW.

ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය ගොඩබිම ශාකවල පැවැත්ම සඳහා මෙන්ම මුහුදු ශාක ප්ලවාංගවල පැවැත්ම සඳහාද උපකාරවත් වෙයි. මේ හේතුව නිසා වර්තමාන ආහාර දාමය හා ජෛව විවිධත්වයේ ජාලය දේශගුණික හා කාලගුණික තත්වයන්ට දායක වන්නේ තේරුම්ගැනීමට අපහසු ඉතා සංකීර්ණ ක්‍රමවලිනුයි. යෙහෝවාගේ හස්තය මේ සියලු දේ කෙරෙහි යොමු වී තිබෙන බව පාවුල් ඉතා උචිත ලෙස උපුටා දැක්වූයේ මෙලෙසයි. “නොයෙක් වර වැටෙන වැස්ස උරාගනිමින් වගා කරනු ලබන අය සඳහා සුදුසු බෝග උපදවන පොළොවට දෙවිගෙන් ආශීර්වාදයක් ලැබෙන්නේය.”—හෙබ්‍රෙව් 6:7, NW.

“ආශීර්වාද” යන වචනයට අලුත් අරුතක් ගැබ් වී ඇති බව පහත සඳහන් කරුණු සලකා බැලීමෙන් වැටහේවි. වසන්ත සමය ගෙනෙන්නාවූ සාමාන්‍ය උණුසුම, දීර්ඝ දවල් කාලය, වැඩිපුර හිරුඑළිය හා සුවදායක වැස්ස ගැන මදකට කල්පනා කර බලන්න. මේ කාලය වන විට, ශීත ඍතුවේදී ගුල්වල සැඟවී සිටි කෘමීන් එළියට ඇවිත් බෝග පරාගණය කිරීමට සූදානම් වෙයි. විවිධ කුරුලු වර්ගයන්ගෙන්, විශේෂයෙන්ම මෙම පිටුවේ පින්තූරයේ සිටින නිල් ජේ වැනි කුරුල්ලන්ගේ වර්ණයෙන් හා ගී නාදයෙන් මුළු වනයම පිරී යන අතර මුළු පරිසරයම ප්‍රාණවත් වෙයි. ජීවිතයට නව පණක් ලබා උද්‍යෝගිමත් වන ජීවීන්, ඉපදීම, වැඩීම හා නැවත අලුත් ජීවීන් ඇතිවීම යන උන්ගේ ජීවන චක්‍රයට ඇතුළත් කාර්යයන්හි නිරත වෙයි. (සාලමොන්ගේ ගීතිකාව 2:12, 13) මෙය ගිම්හානය අවසානයේදී හෝ ශරත් ඍතුව මුලදී අස්වැන්න නෙළාගන්න කාලයට අඩිතාලම දමයි.—නික්මයාම 23:16.

යෙහෝවා පෘථිවිය පිහිටුවා තිබෙන ආකාරය මගින් ඔහුගේ කර්මාන්තවල සපලත්වය ගැන සාක්ෂි සැපයේ. රාත්‍රිය හා දවාලත්, ඍතු හා බීජ වපුරන කාලය මෙන්ම අස්වැන්න නෙළන කාලයත් මීට ඇතුළත් වෙයි. ඇත්තටම දෙවියි අපට මෙසේ පොරොන්දු වුණේ. “පොළොව පවතින තුරු වපුරන කාලය සහ කපන කාලයද ශීතය සහ උෂ්ණයද ග්‍රීෂ්ම කාලය සහ ශීත කාලයද දවාල සහ රාත්‍රියද නොනවතින්නේය.”—උත්පත්ති 8:22.

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2004 දිනදර්ශනයේ ජූලි/අගෝස්තු බලන්න.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ජීවිතයට අත්‍යවශ්‍ය වූ චන්ද්‍රිකාවක්

යුග ගණනාවක සිට මිනිසා තුළ චන්ද්‍රයා පිළිබඳ සොයා දැනගැනීමට පුදුමසහගත උනන්දුවක් හා කුතුහලයක් ඇති වී තිබෙනවා. චන්ද්‍රයා ඍතු කෙරෙහි බලපෑම් ඇති කරන බව ඔබ දැනගෙන සිටියාද? පෘථිවියේ ආනතිය හොඳින් පවත්වාගෙන යෑමට චන්ද්‍රයාගේ පිහිටීම මහෝපකාරී වෙයි. විද්‍යා ලේඛක ඇන්ඩ්‍රෘ හිල් පැවසුවේ චන්ද්‍රයා “ජීවිත පවත්වාගැනීමට අවශ්‍ය තත්වය සකසා දීම සඳහා ඉතා වැදගත් කාර්යයක් කරන බවයි.” පෘථිවියේ ආනතිය පාලනය කිරීමට චන්ද්‍රයා නමැති විශාල වූ, ස්වාභාවික චන්ද්‍රිකාව නොතිබුණා නම් පෘථිවියේ උෂ්ණත්වය වැඩි වන අතර කිසිම ජීවියෙකුට වාසය කිරීම සඳහා සුදුසු තැනක් වන්නේ නැහැ. තාරකා විද්‍යාඥයින් කණ්ඩායමකගේ නිගමනය වූයේ මෙයයි. “චන්ද්‍රයා, පෘථිවියේ දේශගුණය පාලනය කරන මාපකයක් සේ ක්‍රියා කරන බව සැලකිය හැකියි.”—ගීතාවලිය 104:19

[හිමිකම් විස්තර]

Moon: U.S. Fish & Wildlife Service, Washington, D.C./Bart O’Gara

[9වන පිටුවේ පින්තූරය]

උතුරු අප්‍රිකාවේ සහ අරාබි අර්ධද්වීපයේ ඔටුවෝ