Skip to content

පටුනට යන්න

ඔබ “යෙහෝවාගේ නීතියෙහි” ප්‍රීති වන්නෙහිද?

ඔබ “යෙහෝවාගේ නීතියෙහි” ප්‍රීති වන්නෙහිද?

ඔබ “යෙහෝවාගේ නීතියෙහි” ප්‍රීති වන්නෙහිද?

“යෙහෝවාගේ නීතියෙහි ප්‍රීති වන . . . මනුෂ්‍යයා සන්තෝෂවත්ය.”—ගීතාවලිය 1:2, NW.

1. අප යෙහෝවාගේ සේවකයන් වශයෙන් සන්තෝෂයෙන් සිටින්නේ මන්ද?

 යෙහෝවා සිය පක්ෂපාත සේවකයන් වන අපට උපකාර කරමින් ආශීර්වාද කරයි. අප බොහෝ පරීක්ෂාවලට මුහුණ දෙන බව ඇත්තය. එහෙත්, අපි නියම සන්තෝෂය අද්දකින්නෙමු. මේ ගැන පුදුම විය යුතු නැත. මන්දයත්, අප සේවය කරන්නේ ‘සන්තෝෂවත් දෙවිටය.’ තවද ඔහුගේ ශුද්ධාත්මය අපගේ සිත් තුළ ප්‍රීතිය උපදවයි. (1 තිමෝති 1:11; ගලාති 5:22; NW) ප්‍රීතිය යනු යම් දෙයක් දෙස අපේක්ෂාවෙන් බලා සිටීම නිසා හෝ එය ලබාගැනීමට හැකිවීම නිසා හෝ ඇති වන සැබෑ සන්තෝෂයයි. තවද අපගේ ස්වර්ගික පියාණන් අපට යහපත් දීමනා දෙන බව සහතිකයි. (යාකොබ් 1:17) මේ නිසා, අප සන්තෝෂයෙන් සිටීම පුදුමයක් නොවේ!

2. අප සාකච්ඡා කිරීමට යන්නේ ගීතාවලියේ කුමන ගීතිකාද?

2 ගීතාවලිය පොතේ කැපීපෙනීමට සලස්වා ඇති දෙයකි, සන්තෝෂය. නිදසුනක් වශයෙන් ගීතාවලිය 1 සහ 2 යන පරිච්ඡේදවල මෙය විශේෂයෙන් කැපීපෙනෙන්නට සලස්වා තිබේ. යේසුස් ක්‍රිස්තුස්ගේ මුල් අනුගාමිකයෝ ගීතාවලියේ දෙවෙනි පරිච්ඡේදය ලියුවේ ඊශ්‍රායෙලයේ දාවිත් රජු බව පැවසූහ. (ක්‍රියා 4:25, 26) පළමු ගීතිකාව ලියූ නිර්නාමික තැනැත්තා එම දේවානුභාවය ලත් ගීතිකාව ආරම්භ කරන්නේ මෙම වචනවලිනි. “දුෂ්ටයන්ගේ උපදෙස් අනුව ගමන් නොකරන්නාවූ මනුෂ්‍යයා සන්තෝෂවත්ය.” (ගීතාවලිය 1:1, 2, NW) මෙම ලිපියේ සහ ඊළඟ ලිපියේදී අපි ගීතාවලිය 1 සහ 2 පරිච්ඡේද අපට ප්‍රීතිවීමට පදනමක් සපයන ආකාරය ගැන සලකා බලමු.

සන්තෝෂයට රහස

3. ගීතාවලිය 1:1, 2ට අනුව දෙවිගේ නීතිවලට ගරු කරන පුද්ගලයෙකු සන්තෝෂයෙන් සිටීමට හේතු පාදක වන ඇතැම් සාධක මොනවාද?

3 දෙවිගේ නීතිවලට ගරු කරන පුද්ගලයෙකු සන්තෝෂයෙන් සිටින්නේ ඇයි කියා ගීතාවලිය 1වන පරිච්ඡේදය පෙන්වා දෙයි. එවන් සන්තෝෂයකට හේතු පාදක වන යම් සාධක ඉදිරිපත් කරමින් ගීතිකාකරු මෙසේ ගායනා කරයි. “දුෂ්ටයන්ගේ උපදෙස් අනුව ගමන් නොකරන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ නින්දා කරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ මනුෂ්‍යයා සන්තෝෂවත්ය.”—ගීතාවලිය 1:1, 2.

4. සෙකරියා සහ එලිසබෙත් විසින් අනුගමනය කරනු ලැබූ ආදර්ශවත් ක්‍රියාමාර්ගය කුමක් වීද?

4 සැබවින්ම සන්තෝෂයෙන් සිටීමට නම්, අප යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් විය යුතුය. යොහන් බව්තීස්තගේ දෙමාපියන් වීමේ ප්‍රීතිමත් වරප්‍රසාදය භුක්ති විඳි සෙකරියා සහ එලිසබෙත් “යෙහෝවාගේ සියලු ආඥාවලට සහ නීතික අවශ්‍යතාවලට අනුව නිර්දෝෂව ජීවත් වූ හෙයින්, ඒ දෙදෙනාම දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨව සිටියහ.” (ලූක් 1:5, 6, NW) අපත් ඒ හා සමාන ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ‘දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව යෑම’ එනම්, ඔවුන්ගේ දුෂ්ට නපුරු අවවාදවලට අවනත වීම එකහෙළාම ප්‍රතික්ෂේප කරන්නේ නම්, අපටද සන්තෝෂ විය හැකියි.

5. “පව්කාරයන්ගේ මාර්ගයෙහි” යෑමෙන් වැළකීමට අපට උපකාරවත් විය හැක්කේ කුමක්ද?

5 මේ අනුව, අප දුෂ්ටයන් කල්පනා කරන ආකාරය ප්‍රතික්ෂේප කරන්නේ නම් අප ‘පව්කාරයන්ගේ මාර්ගවල නොසිටිනවා’ ඇත. ඇත්තවශයෙන්ම, අප ඔවුන් ගැවසෙන තැන්වල, එනම් දුරාචාරයට අනුබල දෙන විනෝදාස්වාදය තිබෙන තැන්වල හෝ නරක නමක් පටබැඳී ඇති තැන්වල ගැවසෙන්නේ නැත. එහෙත් ශුද්ධ ලියවිල්ලට පටහැනි දේවල යෙදෙන පව්කාරයන්ගේ ක්‍රියාවලට හවුල් වීමේ පරීක්ෂාවට අප හසු වෙනවා නම් කුමක් කිව හැකිද? එසේනම්, ප්‍රේරිත පාවුල්ගේ වචනවලට එකඟව ක්‍රියා කිරීමට පිහිට ඉල්ලා අපි දෙවිට යාච්ඤා කරමු. ඔහු කීවේ මෙසේයි. “නොඇදහිලිකරුවන් සමඟ එක් නොවන්න. මන්ද, ධර්මිෂ්ඨකම සහ දුෂ්ටකම අතර ඇති සම්බන්ධය කුමක්ද? නැත්නම්, ආලෝකය සහ අන්ධකාරය අතර ඇති පංගුකාරකම කුමක්ද?” (2 කොරින්ති 6:14, NW) අප දෙවි කෙරෙහි රඳා සිටිමින්, ‘නිර්මල සිතක්’ ඇතුව සිටින්නේ නම්, අප පව්කාරයන්ගේ ආකල්ප හා ජීවන රටාව ප්‍රතික්ෂේප කර, “කුහකකමින් තොර වූ ඇදහිල්ලකින්” යුතුව පිරිසිදු චේතනා සහ ආශාවන් ඇතිව සිටින්නෙමු.—මතෙව් 5:8; 1 තිමෝති 1:5; NW.

6. නින්දා කරන්නන්ගෙන් අප පරෙස්සම් විය යුත්තේ මන්ද?

6 ඇත්තෙන්ම, යෙහෝවාව සතුටු කිරීම සඳහා අප ‘නින්දා කරන්නන්ගේ ආසනයෙහි නොහිඳිය’ යුතුයි. දේවනීති රකින විට අප ඇතමුන්ගේ නින්දා අපහාසයට ලක් වේ. එහෙත්, මෙම “අන්තිම දවස්වලදී” ඇදහිල්ලට එරෙහිව කැරලිගසන්නන් බවට පත්ව ඇති කලින් ක්‍රිස්තියානීන්ව සිටිය අය නින්දා කරන්නේ ඉතාමත්ම පහත් ආකාරයකිනි. ප්‍රේරිත පේතෘස් සෙසු ඇදහිලිවන්තයන්ට අනතුරු ඇඟවූයේ මෙසේයි. “ප්‍රේමණීය තැනැත්තෙනි, . . . මේ දේ ඔබ පළමුකොට දැනගත යුතුය. අන්තිම දවස්වලදී, සමච්චල් කරන්නෝ සමච්චල් කරමින් පැමිණෙන්නෝය. ඔවුහු තමුන්ගේම ආශාවන් අනුව හැසිරෙමින්, ‘පොරොන්දු වූ ඔහුගේ පැමිණ සිටීමට කුමක් වීද? මන්ද අපේ මුතුන්මිත්තන් මැරුණායින් පසුවත්, සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට නොවෙනස්ව තවමත් එලෙසම තිබෙන්නේය’ යි කියන්නෝය.” (2 පේතෘස් 3: 1-4, NW) අප කිසිවිටෙකත් ‘නින්දා කරන්නන්ගේ ආසනයෙහි හිඳ නොගන්නේ’ නම්, ඔවුන් මතට ස්ථිරවශයෙන්ම පැමිණෙන විපත්තිවලින් අප ගැලවෙනවා ඇත.—හිතෝපදේශ 1:22-27.

7. ගීතාවලිය 1:1, 2හි වචන අප සිතට ගත යුත්තේ මන්ද?

7 අප පළමුවන ගීතිකාවේ ආරම්භක වචන සිතට ගන්නේ නැත්නම්, ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීම තුළින් අප අත් කරගෙන තිබෙන ආත්මිකත්වය අපට අහිමි වී යා හැකියි. ඇත්තවශයෙන්ම, ඉන්පසු අප සිටින තත්වය තව තවත් දරුණු විය හැකියි. අප දුෂ්ටයන්ගේ උපදෙස් පිළිපැද්දොත් අපේ ආත්මික පරිහානියේ ආරම්භය එය විය හැකියි. ඉන්පසු අප ඔවුන් සමඟ නිරතුරුවම ඇසුරු කිරීමට පටන්ගත හැකියි. කල් යත්ම, අපම ඇදහිල්ල නැති කරගෙන, ඊට විරුද්ධව කැරලිගසන නින්දා කරන්නන් බවට පත් විය හැකියි. දුෂ්ට පුද්ගලයන් සමඟ මිතුරු වීමෙන් අප තුළම අභක්තික ස්වභාවයක් රෝපණය වී වර්ධනය විය හැකි අතර, යෙහෝවා දෙවි සමඟ අපේ සම්බන්ධතාව ඒ මගින් විනාශ වී යා හැකි බව පැහැදිලියි. (1 කොරින්ති 15:33; යාකොබ් 4:4) එය අපහට සිදුවීමට අපි කිසිවිටෙකත් ඉඩ නාරිමු!

8. අපගේ මනස් ආත්මික දේවල් මත යොමු කර තබාගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

8 ආත්මික දේවල් ගැන කල්පනා කරන අතරේදී දුෂ්ටයන් සමඟ ඇසුරු කිරීමෙන් වැළකී සිටීමට අපට උපකාර කරන්නේ යාච්ඤාවයි. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත” යයි පාවුල් ලීවේය. තවද, සැබෑ වූ, ගෞරවනීය වූ, ධර්මිෂ්ඨ වූ, නිර්මල වූ, ප්‍රේමය ඇති කරන්නාවූ, යහපත් කීර්තියක් ඇත්තාවූ, ගුණවත් වූ, ප්‍රශංසනීය වූ දේවලට මනස යොමු කරන මෙන්ද පාවුල් දිරිගැන්වීය. (ෆිලිප්පි 4:6-8, NW) එසේනම්, අපි පාවුල්ගේ උපදෙසට එකඟව ක්‍රියා කරමින්, කිසිම විටෙකත් දුෂ්ටයන්ගේ මට්ටමට නොවැටෙමු.

9. අප දුෂ්ට පුරුදු සහ ගතිපැවතුම් ඇති කරගැනීමෙන් වැළකී සිටියද, සෑම මට්ටමකම සිටින මිනිසුන්ට උපකාර කිරීමට අප උත්සාහ කරන්නේ කෙසේද?

9 අප දුෂ්ටයන්ගේ පුරුදු සහ ගතිපැවතුම් ප්‍රතික්ෂේප කළද, අපි අන්‍යයන්ට උපායශීලී ලෙස සාක්ෂි දරන්නෙමු. මීට නිදසුනක් ලෙස ප්‍රේරිත පාවුල් “ධර්මිෂ්ඨකම ගැනද ආත්ම දමනය ගැනද මතු පැමිණෙන විනිශ්චය ගැනද” රෝම ආණ්ඩුකාර ෆීලික්ස්ට කතා කළේය. (ක්‍රියා 24:24, 25, NW; කොලොස්සි 4:6) අපි සෑම මට්ටමකම සිටින මිනිසුන්ට රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරන්නෙමු. තවද අපි ඔවුන්ට කරුණාවන්ත අන්දමින් සලකන්නෙමු. මන්ද, “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” ඇති අය ඇදහිලිවන්තයන් බවට පත් වී දෙවිගේ නීතිය තුළ ප්‍රීතිය ලබන බවට අපට සහතිකය.—ක්‍රියා 13:48, NW.

ඔහු යෙහෝවාගේ නීතිය තුළ ප්‍රීති වෙයි

10. අප ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරන වේලාවලදී අපගේ මනසට හා සිතට අප අධ්‍යයනය කරන දේවල් තදින්ම කාවද්දවාගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

10 සන්තෝෂවත් මිනිසා සම්බන්ධයෙන් ගීතිකාකරු තවදුරටත් කියන්නේ මෙසේයි. “යෙහෝවාගේ නීතියෙහි ප්‍රීති වන, ඔහුගේ නීතිය රෑ දාවල් මෙනෙහි කරන මනුෂ්‍යයා සන්තෝෂවත්ය.” (ගීතාවලිය 1:2) දෙවිගේ සේවකයන් වශයෙන් අපි ‘යෙහෝවාගේ නීතියෙහි’ ප්‍රීති වන්නෙමු. අප අධ්‍යයනය කරන සහ මෙනෙහි කරන සෑම වේලාවකම, අප එහි වචන ශබ්ද නඟා කියවනවා විය හැක. ශුද්ධ ලියවිල්ලේ මොනයම් කොටසක් හෝ කියවද්දී මෙසේ ශබ්ද නඟා කියවීමෙන් එය අපගේ මනසට හා සිතට තදින් කාවද්දවාගැනීමට හැකි වේ.

11. අප බයිබලය “රෑ දාවල්” කියවිය යුත්තේ මන්ද?

11 “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” අපට දිනපතාම බයිබලය කියවීමට දිරිගන්වා තිබේ. (මතෙව් 24:45, NW) මිනිස් වර්ගයා සඳහා යෙහෝවා දී ඇති පණිවුඩය හොඳින් තේරුම්ගැනීමට ඇති තදබල ආශාව නිසා, අප බයිබලය “රෑ දාවල්” කියවීම යහපති. එසේය, සමහරවිට යම් හේතුවක් නිසා අපට නින්ද නොයන රාත්‍රියක පවා එය කියවිය හැකියි. පේතෘස් අපෙන් උදක්ම ඉල්ලා සිටින්නේ මෙසේයි. “ඔබ ගැලවීම කරා වැඩෙන පිණිස, අලුත උපන් ළදරුවන් මෙන්, දෙවිගේ වචනයේ අමිශ්‍ර කිරිවලට දැඩි ආශාවක් වර්ධනය කරගන්න.” (1 පේතෘස් 2:1, 2, NW) අප දිනපතා බයිබලය කියවමින් සහ ඔහුගේ වචනය හා අරමුණු ගැන රාත්‍රි කාලයේ මෙනෙහි කරමින් ප්‍රීති වෙනවාද? ගීතිකාකරු කළේ එයයි.—ගීතාවලිය 63:5.

12. අප යෙහෝවාගේ නීතිය තුළ ප්‍රීති වෙනවා නම් අප කුමක් කරනවා ඇද්ද?

12 අපගේ සදාකාල සන්තෝෂය රඳා පවතින්නේ දෙවිගේ නීතියෙහි ප්‍රීතිවීම මතයි. එය පරිපූර්ණ, ධර්මිෂ්ඨ දෙයක් වන අතර, එය පැවැත්වීමෙන් මහත් විපාක ලැබේ. (ගීතාවලිය 19:7-11) ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේය. “නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය දෙස හොඳින් බලා දිගටම එහි පවතින තැනැත්තා, අසා අමතක කරන්නෙකු නොව, පිළිපදින්නෙකු වන හෙයින්, එය පිළිපැදීමෙන් ඔහුට සන්තෝෂය ලැබෙන්නේය.” (යාකොබ් 1:25, NW) අප යෙහෝවාගේ නීතියෙහි සැබවින්ම ප්‍රීති වෙනවා නම්, අප ආත්මික කාරණාවන් ගැන සැලකිල්ල නොදක්වමින් එක දවසක්වත් පසු කරන්නේ නැත. ඇත්තවශයෙන්ම, ‘දෙවිගේ ගැඹුරු දේ සොයා බැලීමටත්’ රාජ්‍යයට සම්බන්ධ කාරණා අපගේ ජීවිතයේ මුලට තැබීමටත් අප පෙලඹෙනවා ඇත.—1 කොරින්ති 2:10-13; මතෙව් 6:33.

ඔහු ගසක් හා සමාන වන්නේය

13-15. නිරන්තරයෙන් ගලා එන ජල උල්පතක් අසල සිටුවා ඇති ගසක් හා සමාන වීමට අපට හැක්කේ කිනම් අර්ථයෙන්ද?

13 නිර්දෝෂ පුද්ගලයෙකු ගැන විස්තර කරමින් ගීතිකාකරු තවදුරටත් මෙසේ කියයි. “ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට පල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සපල වෙයි.” (ගීතාවලිය 1:3) අනෙකුත් සියලු අසම්පූර්ණ මිනිසුන් මෙන්, යෙහෝවාට සේවය කරන අපිද ජීවිතයේ විවිධ දුෂ්කරතා අද්දකින්නෙමු. (යෝබ් 14:1) අප විවිධ පීඩාවල් සහ අපගේ ඇදහිල්ලට සම්බන්ධ වෙනත් පරීක්ෂාවන් නිසා දුක් විඳිනවා විය හැකියි. (මතෙව් 5:10-12) කෙසේවෙතත්, දෙවිගේ පිහිටෙන් අපට මෙම පරීක්ෂාවලට සාර්ථකව මුහුණ දෙමින් ඒවා විඳදරාගන්නට හැක්කේ, හරියට ප්‍රබල සුළඟක් හමුවේ ඍජුව සිටින සරුසාර ගස් මෙනි.

14 නිරන්තර ජල උල්පතක් ඇති තැනක සිටුවා ඇති ගසක් උණුසුම් කාලගුණයකදී හෝ නියඟයකදී වියළී යන්නේ නැත. අප දේවභයැති පුද්ගලයන් නම්, අපට ශක්තිය පැමිණෙන්නේ නිරන්තර ශක්ති උල්පතක් වන යෙහෝවා දෙවිගෙනි. දෙවිගෙන් ලැබෙන පිහිට මත රඳා සිටි පාවුල්ට මෙසේ කීමට හැකි විණි. “මට බලය දෙන තැනැත්තාගෙන් [යෙහෝවාගෙන්] සියලු දේ සඳහා මට ශක්තිය ලැබේ.” (ෆිලිප්පි 4:13, NW) අප යෙහෝවාගේ ආත්මය මගින් මඟ පෙන්වනු ලැබ ආත්මිකව පෝෂණය කරනු ලබන විට, අප පල රහිත බවට පත් වී හෝ ආත්මිකව මරණාසන්න තත්වයකට පත් වී වියළී යන්නේ නැත. අපට දේවසේවය තුළ පල දැරිය හැකි අතර, ඔහුගේ ආත්මයේ පලද විදහා පෑ හැකිය.—යෙරෙමියා 17:7, 8; ගලාති 5:22, 23.

15 “සමාන වන්නේය” යනුවෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයක් භාවිත කරමින් ගීතිකාකරු උපමාලංකාරයක් මෙහිදී යොදාගනී. ඔහු මෙහිදී කරන්නේ එක්තරා නිශ්චිත ගුණයක් පොදුව පවතින එකිනෙකට වෙනස් දේවල් දෙකක් එකිනෙක සැසඳීමයි. මිනිසුන් හා ගස් වෙනස්ය. නමුත් නොනවත්වා වතුර ගලා එන උල්පතක් අසල සිටුවා ඇති ගසක සුන්දරත්වය හා සරු බව දුටු ගීතිකාකරුට “යෙහෝවාගේ නීතියෙහි ප්‍රීති වන්නාවූ” අයගේ ආත්මික සමෘද්ධිය මතක් වූ බව පෙනෙන්ට තිබේ. අප දෙවිගේ නීතිය තුළ ප්‍රීතිය ලබනවා නම්, අපගේ ජීවිතයේ දවස්ද ගසක දවස් හා සමාන වෙයි. ඇත්තෙන්ම, අපට සදාකල් ජීවත් විය හැකියි.—යොහන් 17:3.

16. ‘අප කරන සියල්ල සපල වන්නේ’ මන්ද? කෙසේද?

16 අප ධර්මිෂ්ඨ ජීවිත මාර්ගයක ගමන් කිරීමට උත්සාහ කරනවා නම් පරීක්ෂා සහ දුෂ්කරතා දරාගැනීමට යෙහෝවා අපට පිහිට වෙයි. අපි දෙවිගේ සේවය තුළ ප්‍රීතිමත් වී පල දරන්නෙමු. (මතෙව් 13:23; ලූක් 8:15) ‘අප කරන සියල්ලම සපල වෙයි.’ මන්දයත් අපගේ පරමාර්ථය වන්නේ යෙහෝවාගේ කැමැත්ත කිරීමය. ඔහුගේ අරමුණු සෑමවිටම ඉෂ්ට වන නිසාත්, අප ඔහුගේ අණ පණත් තුළ ප්‍රීති වෙන නිසාත්, අපි ආත්මිකව සමෘද්ධිමත් වන්නෙමු. (උත්පත්ති 39:23; යෝෂුවා 1:7, 8; යෙසායා 55:11) අප විපත්තිවලට මුහුණ දෙන විටද මෙය එසේමය.—ගීතාවලිය 112:1-3; 3 යොහන් 2.

දුෂ්ටයන් දියුණු වන්නා සේ පෙනේ

17, 18. (අ) ගීතිකාකරු දුෂ්ටයන්ව සමාන කළේ කාටද? (ආ) දුෂ්ටයන් ද්‍රව්‍යමය අතින් සමෘද්ධිමත් වුවද ඔවුන්ට දිගු කාලීන ආරක්ෂාවක් නැත්තේ මන්ද?

17 දුෂ්ටයන්ගේ තත්වය ධර්මිෂ්ඨයන්ගේ තත්වයට වඩා මොන තරම් වෙනස්ද! දුෂ්ටයන් යම් කලකට ද්‍රව්‍යමය අතින් සමෘද්ධිමත් වී සිටින්නාක් මෙන් පෙනෙන්නට පුළුවනි. නමුත් ඔවුන් ආත්මිකව සමෘද්ධිමත් නැත. ගීතිකාකරු තවදුරටත් පවසන මෙම වචනවලින් මේ බව සනාථ වෙයි. “දුෂ්ටයෝ එසේ නොව, සුළඟින් විසිර යන බොල් හා සමානය. එබැවින් දුෂ්ටයෝ විනිශ්චයෙහිද පව්කාරයෝ ධර්මිෂ්ඨයන්ගේ සමාගමෙහිද නොසිටින්නෝය.” (ගීතාවලිය 1:4, 5) “දුෂ්ටයෝ එසේ නොව” යයි ගීතිකාකරු මෙහිදී පවසන බව සැලකිල්ලට ගන්න. ඔහු එයින් අදහස් කරන්නේ පල දරන දිගු කල් පවතින ගස්වලට සමාන කර ඇති දෙවිගේ නීතිවලට ගරු කරන මිනිසුන්ට ඔවුන් සමාන නොවන බවයි.

18 දුෂ්ටයන් ද්‍රව්‍යමය අතින් සමෘද්ධිමත් වුවද, ඔවුන්ට දීර්ඝ කාලීන ආරක්ෂාවක් නොමැත. (ගීතාවලිය 37:16; 73:3, 12) ඔවුන් හරියට, යේසුස් සඳහන් කළ එක්තරා උපමාවක සිටින, උරුමයක් සම්බන්ධ කාරණයකදී තීන්දුවක් දෙන ලෙස යේසුස්ගෙන් අසාධාරණ ලෙස ඉල්ලා සිටි පොහොසතා මෙනි. යේසුස් තමන් අසල සිටි අයට කීවේ මෙසේයි. “සෝදිසියෙන් සිටිමින්, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වන්න. මන්ද යමෙකුට කොපමණ තිබුණත් ඔහු සන්තක දේවල්වලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැත.” යේසුස් මෙම කාරණය උපමාවකින් විස්තර කළේ, එක්තරා පොහොසත් මිනිසෙකුට ඔහුගේ ඉඩමෙන් මහත් අස්වැන්නක් ලැබී ඔහු තමාගේ ගබඩාවල් කඩා දමා තමාගේ සියලු ධන සම්පත් ගබඩා කිරීම සඳහා වඩාත් විශාල ඒවා සෑදීමට සැලසුම් කළායයි කියමිනි. අනතුරුව මෙම මිනිසා හොඳින් කා බී ප්‍රීතිවීමට ඉටාගත්තේය. නමුත් දෙවි ඔහුට මෙසේ කීවේය. “අඥානය, අද රාත්‍රියේදීම ඔබේ ජීවිතය ඉල්ලනු ලැබේ. එවිට, ඔබ රැස් කළ මේ දේ ලැබෙන්නේ කාටද?” මේ කාරණය තවත් හොඳින් අවධාරණය කිරීමට යේසුස් කීවේ මෙයයි. “දෙවි ඉදිරියෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස් කරගන්නාට වන්නෙත් ඒ දේමය.”—ලූක් 12:13-21, NW.

19, 20. (අ) ඉපැරණි කාලවල කළ ධාන්‍ය මැඩීම හා පෙළීම ගැන විස්තර කරන්න. (ආ) දුෂ්ටයන්ව දහයියාවලට සමාන කර ඇත්තේ මන්ද?

19 දුෂ්ටයෝ “දෙවි ඉදිරියෙහි පොහොසත්” නොවෙති. මේ නිසා, ධාන්‍යවල බොල්වලට වඩා ආරක්ෂාවක් හෝ ස්ථිරභාවයක් ඔවුන්ට නැත. ඉපැරණි කාලවලදී ධාන්‍යවල අස්වනු නෙළනු ලැබුවායින් පසුව, ඒවා කමතකට හෙවත් උස් තැනක පිහිටා තිබූ සමතලා බිමකට ගෙනෙනු ලැබීය. ඉන්පසු තියුණු ගල් ඇල්ලූ කුළු ගෙඩි හෝ යකඩ දැති සහිත කුළු ගෙඩි සතුන් යොදාගෙන ධාන්‍ය ගස් මතින් ඇදගෙන යනු ලැබීය. මෙමගින් ධාන්‍ය ගස් කැබලිවලට කඩනු ලැබ ඒවායින් කරල් වෙන් කරගැනේ. ඊළඟට, කුල්ලකින් එම ධාන්‍ය ගොඩ හෙවත් බැත සුළං හමන දිශාවට එරෙහිව ඉහළට විසි කෙරේ. (යෙසායා 30:24) හොඳ ධාන්‍ය කමතේ පොළොවට වැටෙන අතර, සුළඟින් මැඩුවන් හෙවත් පිදුරු කැබලි පසෙකට වැටී දහයියා සහ බොල් ඈතට ගසාගෙන යයි. (රූත් 3:2) ඉන්පසුව ධාන්‍ය පෙනේරයකට දමා ඒවායේ ඇති කුඩා ගල් කැට වැනි දෑ ඉවත් කරගන්නා අතර, අනතුරුව ඒවා ගබඩා කිරීමට හෝ අඹරාගැනීමට සූදානම් කරයි. (ලූක් 22:31) මේ වන විට දහයියා සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොසිනි.

20 හොඳ ධාන්‍ය කමතේ පොළොවට වැටී ආරක්ෂා වී දහයියා ඈතට ගසාගෙන ගියාක් මෙන්ම, ධර්මිෂ්ඨයා ඉතිරි වී දුෂ්ටයා ඉවත්ව යනු ඇත. මෙසේ එවන් නපුරු මිනිසුන් ඉතා ඉක්මනින්ම සදහටම ඉවත්ව යෑම ගැන අපි සතුටු වන්නෙමු. ඔවුන්ව ඉවත් කරනු ලැබීමත් සමඟම යෙහෝවාගේ නීතියෙහි ප්‍රීති වෙන්නාවූ අය බොහෝ සෙයින් ආශීර්වාද ලබනවා ඇත. ඇත්තෙන්ම, කීකරු මිනිසුන් අන්තිමේදී සදාකාල ජීවනය නමැති දෙවිගේ ත්‍යාගය ලබනු ඇත.—මතෙව් 25:34-46; රෝම 6:23.

ආශීර්වාද ලත් “ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය”

21. යෙහෝවා ‘ධර්මිෂ්ඨයන් ගැන දන්නේ’ කෙසේද?

21 පළමු ගීතිකාව මෙම වචනවලින් අවසන් වෙයි. “යෙහෝවා ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නේය. නමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශ වන්නේය.” (ගීතාවලිය 1:6) දෙවි ‘ධර්මිෂ්ඨයන් ගැන දන්නේ’ කෙසේද? ඇත්තෙන්ම, අපි නිර්දෝෂ ජීවිතයක් ගත කරනවා නම්, අපගේ ස්වර්ගික පියාණන් ඔහුගේ නීතිවලට ගරු කරමින් අප ගත කරන ජීවිතය දකින බවටත්, ඔහුගේ අනුමැතිය ලත් සේවකයන් ලෙසට අපව සලකන බවටත් අපට සහතික විය හැකියි. එසේ, දෙවි අප කෙරෙහි සැබවින්ම සැලකිලිමත් වන බව විශ්වාස කරමින් අප අපගේ සියලු කරදර ඔහු පිට තැබිය යුතුය. තවද එසේ කිරීමට අපට හැකිය.—එසකියෙල් 34:11; 1 පේතෘස් 5:6, 7.

22, 23. දුෂ්ටයන්ට හා ධර්මිෂ්ඨයන්ට සිදු වනු ඇත්තේ කුමක්ද?

22 “ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය” සදාකල් පවතිනු ඇත. නමුත් මුරණ්ඩු දුෂ්ටයෝ යෙහෝවාගේ විනිශ්චයේදී විනාශ වෙති. තවද, ඔවුන්ගේ “මාර්ගය” හෙවත් ජීවිත මාර්ගය ඔවුන් සමඟ නැති වී යනවා ඇත. දාවිත්ගේ මෙම වචනවල ඉෂ්ට වීම ගැන අපට නිසැකකමක් තිබේ. “මද කලකින් දුෂ්ටයා නැති වන්නේය. එසේය, ඔබ ඔහුගේ ස්ථානය පරීක්ෂා කර බලන්නෙහිය, ඔහු සම්බ නොවන්නේය. නමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය. ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය. ධර්මිෂ්ඨයෝ දේශය උරුම කරගන්නෝය, එහි සදාකල් වාසය කරන්නෝය.”—ගීතාවලිය 37:10, 11, 29.

23 දුෂ්ටයන් තවදුරටත් නොපවතින්නාවූ පාරාදීස පොළොවක ජීවත් වීමේ වරප්‍රසාදය අපට ලැබෙන විට අප කොතරම් සන්තෝෂයක් අද්දකිනු ඇද්ද! මෘදු අය සහ ධර්මිෂ්ඨයෝ එවිට සැබෑ සාමය අද්දකිති. මන්දයත් ඔවුන් “යෙහෝවාගේ නීතියෙහි” සෑමවිටම ප්‍රීතිය සොයාගනු ඇත. කෙසේවෙතත්, ඊට පෙරාතුව “යෙහෝවාගේ නියමය” ක්‍රියාත්මක විය යුතුය. (ගීතාවලිය 2:7අ, NW) ඒ නියමය කුමක්ද කියා දැකගැනීමටත් එය අප සඳහාත් මුළු මිනිස් පවුල සඳහාත් අදහස් කරන දේ කුමක්ද කියා දැනගැනීමටත් මීළඟ ලිපිය අපට උපකාරවත් වෙයි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙවිගේ නීතිවලට ගරු කරන පුද්ගලයෙකු සන්තෝෂයෙන් සිටින්නේ මන්ද?

• අප යෙහෝවාගේ නීතියෙහි ප්‍රීතිය ලබන බව පෙන්වන්නේ කුමකින්ද?

• ජලාශ්‍රිතව වැඩෙන ගසක් හා සමාන වීමට පුද්ගලයෙකුට හැක්කේ කෙසේද?

• ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දුෂ්ටයන්ගේ මාර්ගයට වඩා වෙනස් වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[11වන පිටුවේ පින්තූරය]

දුෂ්ටයන් සමඟ ඇසුරු කිරීමෙන් වැළකීමට අපට යාච්ඤාව උපකාරවත් වෙයි

[12වන පිටුවේ පින්තූරය]

ධර්මිෂ්ඨ පුද්ගලයෙක් ගසක් හා සමාන වන්නේ මන්ද?