Skip to content

පටුනට යන්න

“යෙහෝවාගේ නියමය” නොවරදවාම ඉෂ්ට වෙයි

“යෙහෝවාගේ නියමය” නොවරදවාම ඉෂ්ට වෙයි

“යෙහෝවාගේ නියමය” නොවරදවාම ඉෂ්ට වෙයි

“මම [යෙහෝවාගේ] නියමය ප්‍රකාශ කරන්නෙමි. යෙහෝවා මට කතා කොට: ඔබ මාගේ පුත්‍රයාය. . . . මාගෙන් ඉල්ලන්න, එවිට ඔබේ උරුමයට ජාතීන් . . . දෙන්නෙමි.”—ගීතාවලිය 2:7, 8.

1. දෙවිගේ අරමුණු සහ ජාතීන්ගේ අරමුණු අතර කිනම් වෙනසක් තිබේද?

 යෙහෝවා දෙවිට මිනිස් වර්ගයා සහ පොළොව සඳහා අරමුණක් තිබේ. ජාතීන්ටද අරමුණක් තිබේ. එහෙත්, මෙම අරමුණු එකිනෙකට කොතරම් වෙනස්ද! මෙය අප අපේක්ෂා කළ යුතුය. මන්ද දෙවි මෙසේ කියයි. “අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක් මෙන් මාගේ මාර්ග ඔබගේ මාර්ගවලටත් මාගේ යෝජනා ඔබගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.” දෙවිගේ අරමුණු නොවරදවාම ඉෂ්ට වනු ඇත. මන්දයත් ඊළඟට එම පදවල කියන්නේ මෙසේයි. “එලෙස වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා, සශ්‍රීක කර, පල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක් මෙන්, මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදු කොට, මා නියම කළ කාරණය සපල කරනවා ඇත.”—යෙසායා 55:9-11.

2, 3. දෙවෙනි ගීතිකාවේ පැහැදිලි කර තිබෙන්නේ කුමක්ද? නමුත් කිනම් ප්‍රශ්න පැනනඟීද?

2 සිය මෙසියානු රජු සම්බන්ධ දෙවිගේ අරමුණ ඉෂ්ට වනු ඇති බවට දෙවෙනි ගීතිකාවේ පැහැදිලි කර තිබේ. මෙම ගීතිකාවේ රචකයා වූ ඉපැරණි ඊශ්‍රායෙලයේ දාවිත් රජ, ජාතීන් කෝලහල කරන හෙවත් කැලඹෙන සුවිශේෂ කාලයක් තිබෙනු ඇති බව දේවානුභාවයෙන් පුරෝකථනය කළේය. ඔවුන්ගේ පාලකයන් යෙහෝවා දෙවිට සහ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාට එරෙහිව ස්ථාවරයක් ගනු ඇත. කෙසේවෙතත්, ගීතිකාකරු මෙසේද ගායනා කළේය. “මම [යෙහෝවාගේ] නියමය ප්‍රකාශ කරන්නෙමි. යෙහෝවා මට කථා කොට: ඔබ මාගේ පුත්‍රයාය. . . . මාගෙන් ඉල්ලන්න. එවිට ඔබේ උරුමයට ජාතීන්ද ඔබේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි.”—ගීතාවලිය 2:7, 8.

3 “යෙහෝවාගේ නියමය” ජාතීන් සඳහා අදහස් කරන්නේ කුමක්ද? එය සමස්තයක් වශයෙන් මිනිස් වර්ගයාට බලපාන්නේ කෙසේද? ඇත්තවශයෙන්ම, මෙම සිද්ධීන් දෙවෙනි ගීතිකාව කියවන දේවභයැති සියලු ජනයාට කුමක් අදහස් කරයිද?

කැලඹී සිටින ජාතීහු

4. ගීතාවලිය 2:1, 2හි සඳහන් ප්‍රධාන කරුණු ඔබ කැටි කොට දක්වන්නේ කෙසේද?

4 ජාතීන්ගේ සහ ඔවුන්ගේ පාලකයන්ගේ ක්‍රියා ගැන සඳහන් කරමින්, ගීතිකාකරු තම ගීත රචනය පටන්ගන්නේ මෙසේ ගයමිනි. “ජාතීහු කුමට කෝලහල කෙරෙද්ද? මනුෂ්‍ය වර්ගයෝ කුමට නිෂ්ඵල දෙයක් යෝජනා කෙරෙද්ද? යෙහෝවාටද ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති. අධිපතියෝද එක්ව මන්ත්‍රණය කෙරෙති.”—ගීතාවලිය 2:1, 2. a

5, 6. ජාතීන් ‘යෝජනා කරමින් සිටින්නේ’ කිනම් ‘නිෂ්ඵල දෙයක්ද?’

5 වර්තමාන ජාතීන් ‘යෝජනා කරමින් සිටින්නේ’ කිනම් ‘නිෂ්ඵල දෙයක්ද?’ දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා වන මෙසියස් හෙවත් ක්‍රිස්තුස්ව පිළිගන්නවා වෙනුවට, මෙම ජාතීන් ‘යෝජනා කරමින් සිටින්නේ’ නැතහොත් ‘කල්පනා කරමින් සිටින්නේ’ තමන්ගේම බලතල දිගටම පවත්වාගන්නා අන්දම ගැනයි. දෙවෙනි ගීතිකාවේ සඳහන් මෙම වදන්වලට පළමු සියවසේදීද අදාළ වීමක් තිබුණි. ඒ, යුදෙව්වන් සහ රෝම බලධාරීන් එකට එකතු වී දෙවි විසින් පත් කරනු ලැබ සිටි රජු වන යේසුස් ක්‍රිස්තුස්ව මැරීමට කුමන්ත්‍රණය කිරීමය. කෙසේවෙතත්, මෙහි ප්‍රධාන ඉෂ්ට වීම සිදු වූයේ 1914දී යේසුස් ස්වර්ගයේ රජ ලෙස පත් කරනු ලැබූ විටයි. එතැන් පටන්, පොළොවේ තිබෙන කිසිම දේශපාලනික රාජ්‍යයක් සිංහාසනාරූඪ වූ දෙවි පත් කොට ඇති රජව පිළිගෙන නැත.

6 ‘ජාතීන් නිෂ්ඵල දෙයක් ගැන යෝජනා කරමින් සිටින්නේ මන්දැයි’ ගීතිකාකරු ඇසූ විට ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? නිෂ්ඵල වන්නේ ඔවුන්ගේ අරමුණයි. එය හිස් එකක් වන අතර, අසාර්ථක වෙනවා නියතයි. මේ ලෝකයට සාමය හා සමඟිය ගෙනෙන්නට ඔවුන්ට නොහැකිය. එහෙත්, ඔවුහු නොකඩවා දිව්‍ය පාලකත්වයට එරෙහිව ක්‍රියා කරති. ඇත්තෙන්ම, ඔවුන් මුරණ්ඩු ලෙස එකට එකතු වී සිටින්නේ මහෝත්තමයාණන්ටත් ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත් එරෙහිවය. මෙය මොන තරම් අඥාන දෙයක්ද!

යෙහෝවාගේ ජයග්‍රාහී රජ

7. යේසුස්ගේ මුල් අනුගාමිකයන් තමන් කළ යාච්ඤාවේදී ගීතාවලිය 2:1, 2 අදාළ කළේ කෙසේද?

7 යේසුස්ගේ අනුගාමිකයෝ ගීතාවලිය 2:1, 2හි වචන ඔහුට අදාළ කළහ. තමන්ගේ ඇදහිල්ල නිසා පීඩාවට ලක් වූ ඔවුහු මෙසේ යාච්ඤා කළහ. “පරමාධිපති ස්වාමිනි [යෙහෝවා], අහසත් පොළොවත් මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත් සෑදුවේ ඔබය. ඔබේ සේවකයා වූද අපේ මුතුන්මිත්තා වූද දාවිත්ගේ මුවින් ශුද්ධාත්මය මාර්ගයෙන් ඔබ මෙසේ කීවේය: ‘ජාතීන් කැලඹුණෙත් ජනයා නිෂ්ඵල දේවල් ගැන මෙනෙහි කළෙත් මන්ද? යෙහෝවාටත් ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත් විරුද්ධව පොළොවේ රජවරු නැඟී සිටියහ. පාලකයෝද එකට රැස් වූහ.’ එමෙන්ම ඔබ අභිෂේක කළ ඔබේ ශුද්ධ වූ සේවක යේසුස්ට විරුද්ධව හෙරොද් [අන්තිපස්] සහ පොන්තියුස් පිලාත් යන දෙදෙනාම, අන්‍යජාතිකයන් හා ඊශ්‍රායෙල්හි ජනතාව සමඟ මේ නගරයේදී රැස් වූහ.” (ක්‍රියා 4:24-27; ලූක් 23:1-12) b එසේය, පළමු සියවසේදී දෙවිගේ අභිෂේක ලත් සේවකයා වූ යේසුස්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් වී තිබිණි. කෙසේවෙතත්, මෙම ගීතිකාවට තවත් ඉෂ්ට වීමක් තිබේ. එය සියවස් ගණනාවකට පසුව ඉටුවීමට නියමිතයි.

8. ගීතාවලිය 2:3 අද දින ජාතීන්ට අදාළ වෙන්නේ කෙසේද?

8 ඉපැරණි ඊශ්‍රායෙලයේ දාවිත් වැනි මිනිස් රජෙක් සිටි කාලයේ, මිථ්‍යාදෘෂ්ටික ජාතීහු සහ පාලකයෝ දෙවිට සහ ඔහු විසින් සිංහාසනාරූඪ කරනු ලැබූ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව එකට රැස් වූහ. එහෙත්, අපගේ කාලය ගැන කුමක් කියන්නට පුළුවන්ද? අද දින සිටින ජාතීන්ට යෙහෝවාගේ සහ මෙසියස්ගේ අවශ්‍යතාවලට එකඟ වෙන්නට වුවමනාවක් නැත. එබැවින්, ඔවුන් මෙසේ කියන බවක් සඳහන් වේ. “අපි ඔවුන්ගේ බැමි කඩා දමා, ඔවුන්ගේ ලණු අප කෙරෙන් ඉවතලමු.” (ගීතාවලිය 2:3) දෙවි සහ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තා විසින් පනවනු ලබන ඕනෑම තහංචියකට පාලකයන් සහ ජාතීන් විරුද්ධ වනු ඇත. ඇත්තෙන්ම, එවන් බැමි කඩා බිඳ දමා ලණු අහක දැමීමට දරන ඕනෑම ප්‍රයත්නයක් නිෂ්ඵල වෙනවා ඇත.

යෙහෝවා ඔවුන්ට පරිහාස කරයි

9, 10. යෙහෝවා ජාතීන්ට පරිහාස කරන්නේ මන්ද?

9 තමන්ගේම පාලනයන් ස්ථාපිත කරගැනීමට රටවල පාලකයන් කොතරම් උත්සාහයක් දැරුවද, එය යෙහෝවාට බලපාන්නේ නැත. දෙවෙනි ගීතිකාවේ තවදුරටත් මෙසේ සඳහන් වේ. “ස්වර්ගයෙහි හිඳින තැනැත්තා සිනාසෙන්නේය. යෙහෝවා ඔවුන්ට පරිහාස කරන්නේය.” (ගීතාවලිය 2:4) යෙහෝවා සිය අරමුණ ඉෂ්ට කරමින් යන්නේ මෙම පාලකයන්ව තුට්ටුවකටවත් මායිම් නොකරය. තමන්ට අයිති නැති දෙයක් කරන්නට උත්සාහ කරන මොවුන් ගැන ඔහු සිනාසෙන අතර ඔවුන්ට පරිහාස කරයි. තමන් කරන්නට අදහස් කරන දේ ගැන ඔවුන් පාරට්ටු කරගනීවා. යෙහෝවාට නම්, ඔවුන් හාස්‍යයට කරුණක් වේ. නිෂ්ඵලයේ ඔවුන් දක්වන විරෝධතාවන්ට ඔහු සිනාසේ.

10 දාවිත් සිය ගීතාවලියේ තවත් ස්ථානවල සතුරන්ට හා ජාතීන්ට යොමු දක්වමින් මෙසේ ගායනා කරයි. “සේනාවල දෙවි වූ, ඊශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවා, සියලු අන්‍යජාතීන් විමසන පිණිස නැඟුටුණ මැනව. දුෂ්ට වූ අපරාධකාර කිසිවෙකුටත් කරුණා නොකළ මැනව. ඔවුහු සවස ආපසු එති. බල්ලෙකු මෙන් ගොරවමින්, නුවර වට කර යති. බලව, ඔවුන්ගේ කටින් ශබ්ද නික්මවති. ඔවුන්ගේ තොල්වල කඩු ඇත. මක්නිසාද: ඇසෙන්නේ කාටදැයි ඔවුහු කියති. එහෙත් යෙහෝවා, ඔබ ඔවුන්ට සිනාසෙන්නේය. ඔබ සියලු අන්‍යජාතීන්ට කවටකම් කරන්නේය.” (ගීතාවලිය 59:5-8) යෙහෝවා ජාතීන් ඔහුට එරෙහි වෙමින් මෝඩ ලෙස කරන පාරට්ටු ගැනද ඔවුන් තුළ ඇති වියවුල්සහගත තත්වය ගැනද සිනාසේ.

11. දෙවිගේ අරමුණට එරෙහි වීමට ජාතීන් උත්සාහ කරන විට සිදු වෙන්නේ කුමක්ද?

11 දෙවිට ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි බවට වූ අපගේ විශ්වාසය ගීතාවලිය 2වන පරිච්ඡේදයේ වචනවලින් ශක්තිමත් වේ. ඔහු සෑමවිටම තම කැමැත්ත ඉෂ්ට කරන බවත් ඔහුගේ පක්ෂපාත සේවකයන්ව කිසිවිටෙකත් අත් නොහරින බවත් දැඩි සේ විශ්වාස කිරීමට අපට පුළුවන. (ගීතාවලිය 94:14) එසේනම්, ජාතීන් යෙහෝවාගේ අරමුණුවලට එරෙහිව ක්‍රියා කිරීමට යත්න දරන විට සිදු වෙන්නේ කුමක්ද? මෙම ගීතිකාවට අනුව, දෙවි ‘තද කෝපයෙන් ඔවුන්ට කතා කරන්නේ’ හරියට දරුණු ගර්ජනාවක හඬක් නඟන්නාක් මෙනි. එපමණක්ද නොව, තදින් වදින අකුණු පහරක් මෙන්, ඔහු ‘තම උදහසින් ඔවුන් කලඹන්නේය.’—ගීතාවලිය 2:5.

දෙවිගේ රජුව පිහිටුවයි

12. ගීතාවලිය 2:6 අදාළ වන්නාවූ සිංහාසනාරූඪ කිරීම කුමක්ද?

12 යෙහෝවා ඊළඟට ගීතිකාකරු තුළින් කියන දෙය ජාතීන්ව වියවුලට පත් කරන බවට කිසිදු සැකයක් නැත. දෙවි මෙසේ ප්‍රකාශ කරයි. “මම සියොන් නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවීමි.” (ගීතාවලිය 2:6) සියොන් කන්ද යනු දාවිත්ව රජු ලෙස අභිෂේක කරනු ලැබූ යෙරුසලමේ පිහිටි කන්දකි. නමුත් මෙසියානු රජ එම නුවරේ හෝ පොළොවේ වෙනත් කිසිදු තැනක සිංහාසනයක් මත වාඩි වෙන්නේ නැත. ඇත්තෙන්ම, යෙහෝවා තමා විසින් තෝරාගත් මෙසියානු රජ ලෙස යේසුස් ක්‍රිස්තුස්ව දැනටමත් ස්වර්ගික සියොන් කන්දේ පිහිටුවා ඇත.—එළිදරව් 14:1.

13. යෙහෝවා සිය පුත්‍රයා සමඟ කළ ගිවිසුම කුමක්ද?

13 මෙසියානු රජ දැන් කතා කරයි. ඔහු මෙසේ කියයි. “මම [සිය පුත්‍රයා සමඟ රාජ්‍යය සඳහා ගිවිසුමක් කර සිටින යෙහෝවාගේ] නියමය ප්‍රකාශ කරන්නෙමි. යෙහෝවා මට කතා කොට, ඔබ මාගේ පුත්‍රයාය. අද ඔබ ජනිත කළෙමියි කීවේය.” (ගීතාවලිය 2:7) රාජ්‍යය හා සම්බන්ධ ගිවිසුමට යොමු දක්වමින් ක්‍රිස්තුස් සිය ප්‍රේරිතයන්ට පැවසුවේ මෙයයි. “මාගේ පරීක්ෂාවලදී මා සමඟ දිගටම සිටියේ ඔබය. මාගේ පියාණන් මා සමඟ ගිවිසුමක් කර තිබෙන්නාක් මෙන්, මම ඔබ සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කරමි.”—ලූක් 22:28, 29, NW.

14. අවිවාදයෙන්ම රජකමට හිමිකම් කිව හැකි එකම තැනැත්තා යේසුස් බව කිව හැක්කේ මන්ද?

14 ගීතාවලිය 2:7හි පුරෝකථනය කළාක් මෙන්, යෙහෝවා යේසුස්ව ඔහුගේ බව්තීස්මයේදීද ඔහුව ආත්ම ජීවියෙකු ලෙස නැවත නැඟිටුවීමෙන්ද සිය පුත්‍රයා ලෙස පිළිගත්තේය. (මාර්ක් 1:9-11; රෝම 1:4, 5; හෙබ්‍රෙව් 1:5; 5:5) එසේය, ස්වර්ගික රාජ්‍යයේ රජ වන්නේ දෙවිගේ ඒක ජාතක පුත්‍රයාය. (යොහන් 3:16) දාවිත් රජගේ රාජකීය පෙළපතින් පැමිණෙන්නෙකු වශයෙන් අවිවාදයෙන්ම රජකමට හිමිකම් කිව හැක්කේ යේසුස්ට පමණි. (2 සාමුවෙල් 7:4-17; මතෙව් 1:6, 16) මේ ගීතිකාවට අනුව, දෙවි සිය පුත්‍රයාට මෙසේ කියයි. “මාගෙන් ඉල්ලන්න. එවිට ඔබේ උරුමයට ජාතීන්ද ඔබේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි.”—ගීතාවලිය 2:8.

15. යේසුස් ජාතීන්ව තම උරුමය ලෙසට ඉල්ලා සිටින්නේ මන්ද?

15 දෙවිගේම පුත්‍රයා වන මෙම රජ, තනතුරු අතින් දෙවෙනි වන්නේ යෙහෝවාට පමණි. යේසුස් තමන් විඳි පරීක්ෂා මගින් යෙහෝවාට තම පක්ෂපාතකමත්, විශ්වාසවන්තභාවයත් ඔප්පු කරනු ලැබූ තැනැත්තාය. එපමණක්ද නොව, යේසුස්ට දෙවිගේ කුලුඳුලා ලෙස උරුමයක්ද තිබේ. ඇත්තෙන්ම, යේසුස් ක්‍රිස්තුස් “අදෘශ්‍යමාන දෙවිගේ ස්වරූපයය. මුළු මැවිල්ලේම කුලුඳුලාය.” (කොලොස්සි 1:15, NW) ඔහුට කිරීමට තිබෙන්නේ දෙවිගෙන් ඉල්ලා සිටීම පමණි. එවිට දෙවි ඔහුට ‘උරුමයක් ලෙස ජාතීන්වද ඔහුගේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙනවා’ ඇත. යේසුස් මෙම ඉල්ලීම කරන්නේ මනුෂ්‍ය පුත්‍රයන්ගේ කාරණා ගැන සන්තෝෂ වෙන’ කෙනෙකු හැටියටය. තවද පොළොව සහ මිනිස් වර්ගයා උදෙසා සිය ස්වර්ගික පියාණන්ගේ කැමැත්ත ඉෂ්ට කිරීමට දැඩි ආශාවක් දක්වන්නෙකු හැටියටය.—හිතෝපදේශ 8:30, 31.

ජාතීන්ට එරෙහිව යෙහෝවාගේ නියමය

16, 17. ගීතාවලිය 2:9ට අනුව, ජාතීන්ට සිදුවීමට නියමිතව තිබෙන්නේ කුමක්ද?

16 මෙම දෙවෙනි ගීතිකාව දැන් ඉෂ්ට වෙමින් තිබේ. යේසුස් ක්‍රිස්තුස් අදෘශ්‍යමානව පැමිණ සිටින කාලයේදී ජාතීන්ට සිදුවීමට නියමිතව තිබෙන්නේ කුමක්ද? මෙම රජ ඉතා ඉක්මනින්ම දෙවි ප්‍රකාශ කළ දේ ක්‍රියාත්මක කරනවා ඇත. දෙවි ප්‍රකාශ කළේ මෙයයි. “ඔබ ඔවුන් [ජාතීන්] යදණ්ඩකින් බිඳ, කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් සුනු කරන්නෙහිය.”—ගීතාවලිය 2:9.

17 ඉපැරණි කාලවල විසූ රජවරු භාවිත කළ යදණ්ඩ හෙවත් රාජ යෂ්ටිය මගින් ඔවුන් දැරූ රාජකීය බලතල සංකේතවත් කළේය. සමහරක් රාජ යෂ්ටි සාදා තිබුණේ යකඩවලිනි. හරියට මේ ගීතිකාවේ සඳහන් කර ඇති යදණ්ඩද එවැනි යකඩවලින් සාදා තිබූ රාජ යෂ්ටියකි. රාජ යෂ්ටියක් හෙවත් යදණ්ඩක් යනුවෙන් මෙහිදී භාවිත කර ඇති සංකේතමය භාෂාවෙන් අඟවන්නේ, ක්‍රිස්තුස් රජ කොතරම් පහසුවෙන් ජාතීන්ව විනාශ කරනු ඇතිද යන්නයි. යදණ්ඩකින් දෙන ප්‍රබල පහරකින් කුඹලෙකුගේ මැටි භාජනයක් සුනුවිසුනු කර මුළුමනින්ම විනාශ කළ හැකියි.

18, 19. දෙවිගේ අනුමැතිය ලැබීම සඳහා පොළොවේ රජවරුන් කුමක් කළ යුතුද?

18 අනිවාර්යයෙන්ම ලෝකයේ ජාතීන්ගේ නායකයන්ට මෙතරම් භයානක විනාශයක් අද්දැකීමට සිදු වේද? නැත. මන්දයත් ගීතිකාකරු මෙම වචන මගින් ඔවුන්ට ආයාචනා කරයි. “එබැවින් රජදරුවෙනි, දැන් ඥානවත්ව සිටිව්. පොළොවේ විනිශ්චයකාරයෙනි, ගුරුකම් ගනිව්.” (ගීතාවලිය 2:10) මේ කාරණයට හොඳින් අවනත වෙන ලෙසත්, එය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගන්නා ලෙසත් රජවරුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. දෙවිගේ රාජ්‍යය මිනිස් වර්ගයාගේ ප්‍රයෝජනය සඳහා කරනු ඇති දෙය සමඟ සසඳමින්, තමන්ගේ සැලසුම්වල ඇති නිෂ්ඵලභාවය ගැන ඔවුන් ගැඹුරින් සලකා බැලිය යුතුය.

19 දෙවිගේ අනුමැතිය ලැබීමට නම්, පොළොවේ රජවරුන් තමන්ගේ ක්‍රියා පිළිවෙත් වෙනස් කළ යුතුය. “යෙහෝවාට භයින් මෙහෙ කරව්. වෙවුලුම් සහිතව ප්‍රීති වව්” කියා ඔවුන්ට අවවාද කර තිබේ. (ගීතාවලිය 2:11) ඔවුන් ඊට අවනත වුණොත් ඉන් ඇති වන විපාකය කුමක්ද? මනසින් කැලඹී, කෝලහල කරනවා වෙනුවට, මෙසියානු රජ ඔවුන් ඉදිරියේ තබා ඇති අපේක්ෂාවන් දෙස බලා ඔවුන්ට ප්‍රීති විය හැකියි. පොළොවේ පාලකයන් තම පාලනයේදී විදහාපාන අහංකාරකම සහ ආඩම්බරකම් අත්හැරීමට අවශ්‍ය වනු ඇත. ඊට අමතරව, අප්‍රමාදව ඔවුන් වෙනස්කම් කර, යෙහෝවාගේ පරමාධිපත්‍යයේ අසමසම උත්තරීතරභාවය ගැනද දෙවිගේ සහ සිය මෙසියානු රජගේ මහා බලය ගැනද ගැඹුරින් කල්පනා කළ යුතුය.

“පුත්‍රයාණන් සිඹිව්”

20, 21. “පුත්‍රයාණන් සිඹිව්” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

20 දැන් 2වන ගීතිකාව ජාතීන්ගේ පාලකයන්ට ඉතා දයානුකම්පිත ආරාධනාවක් කරයි. රජුට විරුද්ධ වෙමින් එකට එකතු වෙනවා වෙනුවට, ඔවුන්ට අවවාද කර තිබෙන්නේ මෙසේයි. “පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් ඔහු [යෙහෝවා දෙවි] උදහස් වනු ඇත. ඔබද මාර්ගයේදී විනාශ වන්නහුය. මක්නිසාද ඔහුගේ උදහස වහාම ඇවිළෙන්නේය.” (ගීතාවලිය 2:12අ) පරමාධිපති ස්වාමි වූ යෙහෝවා නියමයක් නිකුත් කරන විට ඊට අවනත විය යුතුය. දෙවි සිය පුත්‍රයාණන්ව සිංහාසනාරූඪ කළ අවස්ථාවේදී, පොළොවේ පාලකයන් ‘නිෂ්ඵල දේවල් යෝජනා කිරීම’ නවතා දැමිය යුතුව තිබිණි. ඔවුන් රජුව වහාම පිළිගෙන ඔහුට පූර්ණ කීකරුකම දැක්විය යුතුව තිබිණි.

21 ‘පුත්‍රයාණන් සිඹිය’ යුත්තේ මන්ද? මෙම ගීතිකාව රචනා කරනු ලැබූ අවදියේ, යමෙකුව සිඹීම මිත්‍රත්වය පෙන්වීමේ සංකේතයක් විණි. තවද සිඹීමකින් අමුත්තන්ව කෙනෙකුගේ නිවසට සාදරයෙන් පිළිගනු ලැබූ අතර, එහිදී ඔවුන්ට ආගන්තුක සත්කාරය පුදනු ලැබිණි. තවද සිඹීම විශ්වාසවන්තභාවයේ සහ පක්ෂපාතකමේ ක්‍රියාවක්ද වෙයි. (1 සාමුවෙල් 10:1) දෙවෙනි ගීතිකාවේ මෙම පදය තුළ, දෙවි ජාතීන්ට අණ කරමින් සිටින්නේ අභිෂේක ලත් රජ වන තම පුත්‍රයාව සිඹින ලෙසටයි. එනම්, සාදරයෙන් පිළිගන්නා ලෙසටයි.

22. ජාතීන්ගේ පාලකයන් අවනත විය යුත්තේ කිනම් අනතුරු ඇඟවීමටද?

22 දෙවි විසින් තෝරාගෙන ඇති රජගේ බලතල පිළිගැනීම ප්‍රතික්ෂේප කරන අය යෙහෝවාට සරදම් කරති. මිනිස් වර්ගයා සඳහා රජතුමාව සහ හොඳම පාලකයාව තෝරාගැනීමට යෙහෝවා දෙවි සතු විශ්වනීය පරමාධිපතිකම සහ ඔහුගේ අධිකාරය මෙන්ම හැකියාව ඔවුහු පිළි නොගනිති. තමන්ගේම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අර අඳින විට හදිසියේම දෙවිගේ උදහස ඔවුන් කරා එන බව ජාතීන්ගේ පාලකයන් වටහාගනු ඇත. “ඔහුගේ උදහස වහාම ඇවිළෙන්නේය.” නැතහොත් නොනිවිය හැකි ලෙසින් ඉක්මනින්ම ඇවිළී යන්නේය. ලෝක පාලකයන් මෙම අනතුරු ඇඟවීම කෘතඥපූර්වකව පිළිගෙන ඊට එකඟව ක්‍රියා කිරීම යහපති. එසේ කිරීම ජීවනදායක පියවරක් වනු ඇත.

23. පුද්ගලයන්ට තවමත් කාලය ඉතිරිව ඇත්තේ කුමක් කිරීමටද?

23 මෙම චමත්කාරජනක ගීතිකාව මෙසේ අවසන් වෙයි. “[යෙහෝවා] සරණ කොට ගන්න සියල්ලෝ ආශීර්වාද ලද්දෝය.” (ගීතාවලිය 2:12ආ) පුද්ගලයන්ට ආරක්ෂාව ලබාගැනීමට තවමත් කාලය ඉතිරිව තිබේ. ජාතීන්ගේ සැලසුම්වලට අනුබල දී ඇති පාලකයන්ටද ඒ සඳහා තවමත් කාලය ඉතිරිව තිබේ. දේවරාජ්‍යයේ පාලනය යටතේ ආරක්ෂාව සපයන්නාවූ යෙහෝවා වෙතට දිවීමට ඔවුන්ට හැකියි. එහෙත්, මෙසියානු ආණ්ඩුව ජාතීන්ට විරුද්ධව විනාශය ගෙන ඒමට පෙරාතුව ඔවුන් ක්‍රියා කළ යුතුයි.

24. කරදරවලින් පිරි මේ ලෝකයේ පවා අපට වඩාත් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැක්කේ කෙසේද?

24 අප ඉතා උනන්දුවෙන් ශුද්ධ ලියවිලි අධ්‍යයනය කර, ඒවායේ ඇති උපදෙස් ජීවිතයට අදාළ කරගන්නේ නම්, කරදරවලින් පිරි මෙම ලෝකයේ දැන් පවා අපට වඩාත් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකියි. ශුද්ධ ලියවිලි උපදෙස් අදාළ කරගැනීමෙන් වඩාත් සන්තෝෂවත් පවුල් සබඳතා ඇති කරගත හැකි අතර, සෙසු ලෝකයාගේ කලකිරීම් හා සිත්තැවුල්වලට හේතු වන දේවල් බොහොමයකින් ආරක්ෂා විය හැකියි. බයිබල් මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමෙන් අපට සහතික වන කාරණය නම්, අප මැවුම්කරුවාණන්ව සතුටු කරන බවය. තමන්ගේ රාජ්‍ය පාලනය ප්‍රතික්ෂේප කිරීම තුළින් හරි දේට විරුද්ධ වන අයව පොළොවෙන් ඉවත් කළ පසු, “දැන් තිබෙන ජීවිතය ගැනත් මතු පැමිණෙන ජීවිතය ගැනත්” සහතිකයක් දිය හැක්කේ විශ්වනීය පරමාධිපතියාණන්ට මිස වෙන කිසිවෙකුට නොවේ.—1 තිමෝති 4:8, NW.

25. “යෙහෝවාගේ නියමය” නොවරදවාම ඉෂ්ට වන නිසා, අපගේ කාලයේ සිදු වේයයි අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?

25 “යෙහෝවාගේ නියමය” නොවරදවාම ඉෂ්ට වනු ඇත. අපගේ මැවුම්කරු වශයෙන්, මිනිස් වර්ගයා සඳහා හොඳම දේ කුමක්දැයි දන්නේ දෙවිය. තවද ඔහු සිය අරමුණ ඉටු කර, සිය ප්‍රේමවන්ත පුත්‍රයාගේ රාජ්‍යය යටතේ සාමය, සතුට හා සදාකාලික ආරක්ෂාව සමඟින් කීකරු මිනිසුන්ට ආශීර්වාද කරනවා ඇත. අපගේ කාලය සම්බන්ධයෙන් අනාගතවක්තෘ දානියෙල් ලීවේ මෙයයි. “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසි කලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවන්නේය. . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.” (දානියෙල් 2:44, 45) එසේනම්, ‘පුත්‍රයාණන්ව සිඹ’ පරමාධිපති ස්වාමි වන යෙහෝවාට සේවය කිරීමට කාලය මෙයයි!

[පාදසටහන්වල]

a මුල් ඉටුවීමේදී “අභිෂේක ලත් තැනැත්තා” වූයේ දාවිත් රජය. ‘පොළොවේ රජවරුන්’ වූයේ තම සේනාවන් සමඟින් ඔහුට විරුද්ධව නැඟී සිටි පිලිස්තියේ පාලකයන්ය.

b දෙවෙනි ගීතිකාවේ යොමු දක්වා ඇති දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා යේසුස් බව ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල වෙනත් පාඨවලද පෙන්වයි. ගීතාවලිය 2:7 සමඟ ක්‍රියා 13:32, 33ත් හෙබ්‍රෙව් 1:5 සහ 5:5ත් සසඳන විට මෙය පැහැදිලි වෙයි. ගීතාවලිය 2:9 සහ එළිදරව් 2:27ද බලන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• ජාතීන් ‘යෝජනා කරමින් සිටින්නේ’ කිනම් ‘නිෂ්ඵල දෙයක්’ ගැනද?

• යෙහෝවා ජාතීන්ට පරිහාස කරන්නේ මන්ද?

• ජාතීන්ට එරෙහිව දෙවි කර ඇති නියමය කුමක්ද?

• “පුත්‍රයාණන් සිඹිව්” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූරය]

දාවිත් ජයග්‍රාහී මෙසියානු රජු ගැන ගායනා කළේය

[17වන පිටුවේ පින්තූරය]

පාලකයෝ සහ ඊශ්‍රායෙල් ජනයා යේසුස් ක්‍රිස්තුස්ට එරෙහිව කුමන්ත්‍රණය කළෝය

[18වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තුස් ස්වර්ගික සියොන් කන්දේ රජ ලෙස පත් කරනු ලැබ සිටී