Skip to content

පටුනට යන්න

ඉලක්ක තැබීමෙන් ඔබේ මැවුම්කරුව මහිමවත් කරන්න

ඉලක්ක තැබීමෙන් ඔබේ මැවුම්කරුව මහිමවත් කරන්න

ඉලක්ක තැබීමෙන් ඔබේ මැවුම්කරුව මහිමවත් කරන්න

“තමාට යන්න ඕනේ කොතැනකටදැයි නොදන්නා යාත්‍රිකයෙකුට සුළං හමන දිශාව බලපාන්නේ නැහැ.” පළමුවන ශතවර්ෂයේ සිටි රෝම ජාතික දර්ශනවාදියෙක් පැවසූ බවට සලකන එම වචන, ජීවිතයට අරමුණක් තිබෙන්න නම් ඉලක්ක අත්‍යවශ්‍යයි යන කාරණාවේ තිබෙන සත්‍යතාව අවධාරණය කරයි.

මනසේ ඉලක්ක තබාගෙන කටයුතු කළ අයගේ ආදර්ශ ගැන බයිබලයේ සඳහන් වෙනවා. නෝවා “තම ගෙයි වැසියන්ගේ ගැලවීම සඳහා නැවක්” සෑදීමට වසර 50ක් පමණ වෙහෙසුණා. අනාගතවක්තෘ මෝසෙස් “ලැබීමට තිබෙන විපාකය දෙස ඕනෑකමින් බලා” සිටියා. (හෙබ්‍රෙව් 11:7, 26, NW) දෙවි, මෝසෙස්ට පසුව නායකයා වූ යෝෂුවා ඉදිරියේ කානාන් දේශය යටත් කිරීමේ ඉලක්කය තැබුවා.—ද්විතීය කථාව 3:21, 22, 28; යෝෂුවා 12:7-24.

“රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය” යන යේසුස්ගේ වදන් ක්‍රි.ව. පළමුවන ශතවර්ෂයේ සිටි ප්‍රේරිත පාවුල්ගේ ඉලක්කවලට ප්‍රබල බලපෑමක් ඇති කළ බවට කිසිම සැකයක් නැහැ. (මතෙව් 24:14, NW) “[යේසුස්ගේ] නාමය ජාතීන් වෙතට” ගෙන යෑමට ලැබූ පැවරුම ඇතුළුව ස්වාමි වූ යේසුස්ගෙන් ලැබූ පෞද්ගලික පණිවුඩ සහ දර්ශන මගින් දිරිගැන්වීමක් ලැබූ පාවුල්, කුඩා ආසියාව පුරා මෙන්ම යුරෝපයේද ක්‍රිස්තියානි සභා රාශියක් පිහිටුවීමෙහි වැදගත් කාර්යභාරයක් ඉටු කළා.—ක්‍රියා 9:15, NW; කොලොස්සි 1:23.

ඔව්, නිතරම යෙහෝවාගේ සේවකයන් උසස් ඉලක්ක තබා ඇති අතර දෙවිව මහිමවත් කරමින් ඔවුන් ඒවා ඉටු කරගෙනද තිබෙනවා. එසේනම් අපට එවැනි ඉලක්ක තැබිය හැක්කේ කෙසේද? අපට අත් කරගැනීමට උත්සාහ කළ හැකි ඉලක්ක මොනවාද? එමෙන්ම, ඒවා අත් කරගැනීම සඳහා අපට ගත හැකි ප්‍රායෝගික පියවරවල් මොනවාද?

හරි චේතනා තිබීම අතිවැදගත්

ජීවිතයේ ඕනෑම ක්ෂේත්‍රයක් තුළ ඉලක්ක තබාගෙන වැඩ කළ හැකි අතර මනසේ ඉලක්ක තබාගෙන වැඩ කරන අය බොහෝදෙනෙක්ද අප ජීවත් වන ලෝකයේ සිටිනවා. ඒත් දිව්‍යාණ්ඩුමය ඉලක්ක සහ ලෞකික අභිලාෂ අතර වෙනසක් තියෙනවා. ලෞකික අය තබන ඉලක්ක බොහොමයක මූලික චේතනාව වන්නේ ධනවත් වීමට දැඩි ආශාවක් සහ තනතුරු මෙන්ම බලය ලබාගැනීම සඳහා තිබෙන කෑදරකමක්. බලය හා ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් ඉලක්ක ලුහුබැඳීම කොහෙත්ම සුදුසු නැහැ! යෙහෝවා දෙවිව මහිමවත් කරන්නේ ඔහුට අපි කරන නමස්කාරයට හා රාජ්‍යයට සම්බන්ධ කාරණාවලට කෙළින්ම සම්බන්ධ වන ඉලක්කයි. (මතෙව් 6:33) එවන් ඉලක්ක තැබීමට මූලික හේතුව වන්නේ දෙවිට හා අසල්වැසියාට තිබෙන ප්‍රේමයයි. තවද ඒවායේ අරමුණ වන්නේ දේවභක්තිය වැඩි කරගැනීමයි.—මතෙව් 22:37-39; 1 තිමෝති 4:7.

අමතර සේවා වරප්‍රසාද ලබාගැනීම සඳහා හෝ ගුණාංග දියුණු කරගැනීම සඳහා හෝ අපි ඉලක්ක තබද්දී අපට අවංක චේතනා තිබීම වැදගත්. එහෙත් සමහර අවස්ථාවලදී නිවැරදි පෙලඹීමකින් තැබූ ඉලක්ක වුණත් අත් කරගැනීමට හැකි වන්නේ නැහැ. එසේනම් අප ඉලක්ක තැබිය යුතු වන්නේ කොහොමද? එමෙන්ම ඒවා අත් කරගැනීමට තිබෙන ඉඩ කඩ වැඩි කරගන්නේ කොහොමද?

දැඩි ආශාවක් අත්‍යවශ්‍යයි

යෙහෝවා විශ්වය මවා නිම කළ ආකාරය සලකා බලන්න. “සවස විය, උදය විය” යන වචන පාවිච්චි කරමින් යෙහෝවා මැවීමේ එක් එක් කාල පරිච්ඡේද වෙන් කළා. (උත්පත්ති 1:5, 8, 13, 19, 23, 31) සෑම මැවීමේ කාල පරිච්ඡේදයක ආරම්භයේදීම, ඒ දවස සඳහා ඔහුගේ ඉලක්කය හෝ පරමාර්ථය ඔහු හොඳින් දැනගෙන හිටියා. ඒ වගේම දේවල් මැවීම සඳහා තමාට තිබුණ අරමුණ දෙවි ඉටු කළා. (එළිදරව් 4:11) “[යෙහෝවාගේ] සිතට කැමති දෙයම ඔහු කරන්නේය” යයි කුලදෙටු යෝබ් පැවසුවා. (යෝබ් 23:13) “තමන් සෑදූ සියල්ල” දෙස බලා, ඒ සියල්ල “ඉතා යහපත්” බව ප්‍රකාශ කළ විට යෙහෝවාට මොන තරම් තෘප්තියක් දැනෙන්නට ඇද්ද!—උත්පත්ති 1:31.

අපගේ ඉලක්ක සැබෑ වෙන්න නම්, ඒවා ඉටු කරගැනීමට අප තුළත් දැඩි ආශාවක් තිබිය යුතුයි. එවැනි දැඩි ආශාවක් ඇති කරගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? පෘථිවිය පාළුව හිස්ව තිබියදීත් යෙහෝවාට එහි අවසාන ප්‍රතිඵලය පෙනුණා. ඒ තමයි ඔහුට මහිමය හා ගෞරවය ගෙන දෙන විශ්වයේ තිබෙන මැණිකක් බඳු ලස්සන ග්‍රහලෝකයක්. ඒ හා සමානව, ඉලක්කය අත් කරගත් විට ලැබෙන හොඳ ප්‍රතිඵල සහ ප්‍රයෝජන ගැන මෙනෙහි කිරීමෙන්, අප කිරීමට අරමුණු කරන දෙය ඉටු කිරීම සඳහා වූ අපගේ ආශාවත් වැඩි කළ හැකියි. වයස අවුරුදු 19ක් වූ ටෝනි එය අද්දැක්කා. බටහිර යුරෝපයේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයකට ගිය විට ඔහුට ඇති වූ මුල් හැඟීම ඔහුගේ සිතින් කවදාවත් ගිලිහී ගියේ නැහැ. එදා පටන් ටෝනිගේ මනසේ එක් ප්‍රශ්නයක් ලැඟුම් ගත්තා. ඒ ප්‍රශ්නය තමයි ‘එවැනි ස්ථානයක නතර වී සේවය කිරීම මොන වගේ අද්දැකීමක් වේවිද’ කියන එක. එවැනි අවස්ථාවක් තමාට හිමි කරගැනීමට තිබෙන ඉඩ කඩ ගැන ටෝනි නිතරම කල්පනා කළා. ඔහු එය අත් කරගැනීමට දිගටම උත්සාහ කළා. වසර කිහිපයකට පසුව ශාඛා කාර්යාලයේ සේවය කිරීම සඳහා ඔහුව අනුමත කළාම ඔහුට ඒක මොන තරම් ප්‍රීතියක් වුණාද!

දැනටමත් යම් ඉලක්කයක් අත් කරගෙන සිටින අයත් එක්ක ආශ්‍රය කිරීමෙන් එම ඉලක්කයම අත් කරගැනීමට අප තුළත් ආශාවක් ඇති කරගන්න පුළුවන්. ජේසන්ට දැන් වයස අවුරුදු 30යි. නහඹර වියේදී ඔහු ක්ෂේත්‍ර සේවයේ යෙදෙන්න කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් උසස් පෙළ අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව ඔහු ඉතා කැමැත්තෙන් පුරෝගාමි සේවය කරන්න පටන්ගත් අතර පූර්ණ කාලීන රාජ්‍ය ප්‍රකාශකයෙක් වුණා. පුරෝගාමි සේවයට ආශාවක් ඇති කරගැනීම සඳහා ජේසන්ට උපකාරවත් වුණේ මොකක්ද? ඔහු මෙහෙම පිළිතුරු දෙනවා. “පුරෝගාමීන් ලෙස සේවය කර තිබෙන වෙනත් අය එක්ක කතා කිරීම සහ ඔවුන් සමඟ සේවයේ යෑම මට ලොකු බලපෑමක් ඇති කළා.”

අපේ ඉලක්ක ලියා තැබීම උපකාරවත් වෙයි

සිතේ කොනක සැඟවිලා තියෙන දෙයක් වචනයට නඟද්දී එය පැහැදිලි අදහසක් බවට පත් වෙනවා. ජීවිතයට මඟ පෙන්වීම ලබා දීමේදී සුදුසු වචන පාවිච්චි කළාම එඬේරා පාවිච්චි කරන කෙවිටට මෙන් ඒවාටද ඉතා ප්‍රබල බලපෑමක් ඇති කිරීමේ හැකියාව තිබිය හැකි බව සලමොන් පෙන්නුම් කළා. (දේශනාකාරයා 12:11) එම වචන අතින් ලියද්දී, ඒවා මනසේත් සිතේත් හොඳින් කාවදිනවා. නීතියේ, එනම් ව්‍යවස්ථාවේ පෞද්ගලික පිටපතක් ලිවීමට ඊශ්‍රායෙලයේ රජවරුන්ට යෙහෝවා අණ කළේ ඒ නිසයි. (ද්විතීය කතාව 17:18) අපගේ ඉලක්ක සහ ඒවා අත් කරගැනීමට අප බලාපොරොත්තු වන ආකාරය කොළයක ලිවීමට අප කැමති විය හැකියි. එසේ කිරීමේදී පැමිණිය හැකි බාධා සහ ඒවා ජයගැනීමට අප බලාපොරොත්තු වන ආකාරයත් අපට එහි සඳහන් කළ හැකියි. උපකාරවත් විය හැකි තවත් දෙයක් තමයි, අප කුමන විෂයන් සම්බන්ධයෙන් දැනුවත් විය යුතුද, අප අලුතින් ඉගෙනගත යුතු දේවල් මොනවාද සහ අපට ඒ සම්බන්ධව උදව් උපකාර කළ හැකි පුද්ගලයන් කවුද යන කාරණා හඳුනාගැනීම.

දිගු කාලයක් පුරා විශේෂ පුරෝගාමියෙක් ලෙස සේවය කරන ජෙෆ්‍රීට ඉලක්ක තැබීම නිසා සන්සුන්භාවයක් ලැබුණා. ඔහු ආසියාතික රටක දුර ඈත ප්‍රදේශයක සේවය කරනවා. ඔහුගේ භාර්යාව හදිසියේ මිය ගිය අවස්ථාවේදී ඒ ශෝකය ඔහුට දරාගන්න අපහසු වුණා. තම ජීවිතය යළි සකස් කරගැනීමට යම් කාලයක් ගත කිරීමෙන් පසුව, ඉලක්ක තබමින් පුරෝගාමි සේවයේ සම්පූර්ණයෙන්ම තම කාලය යොදවන්න ජෙෆ්‍රී තීරණය කළා. තම සැලසුම් කොළයක ලිවීමෙන් පසුව, මාසේ අවසානය වෙද්දී අලුත් බයිබල් පාඩම් තුනක් පටන්ගැනීමේ ඉලක්කය යාච්ඤාපූර්වකව අත් කරගැනීමට ඔහු උත්සාහ කළා. දවසින් දවස ඔහු තම කටයුතු සලකා බැලූ අතර දින දහයකට වරක් තමා කොතෙක් දුරට දියුණු වී තිබෙනවාද යන්නත් පරීක්ෂා කරලා බැලුවා. ඔහුට තම ඉලක්කය අත් කරගැනීමට හැකි වුණාද? අලුත් බයිබල් පාඩම් හතරක් වාර්තා කරමින් ඔහු ප්‍රීතියෙන් ඔව් කියා පිළිතුරු දෙයි.

කෙටි කාලීන ඉලක්ක තබමින් ඉදිරියට යන්න

සමහර ඉලක්ක අත් කරගන්නම බැරි ඒවා මෙන් පෙනිය හැකියි. අපි කලින් සඳහන් කළ ටෝනිට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක සේවය කිරීම හරියට සිහිනයක් වගේ වුණා. එහෙම වුණේ ඔහු හිතුවක්කාර ජීවිතයකට පුරුදු වෙලා තිබුණ නිසාත් තම ජීවිතය තවමත් දෙවිට කැප කරලා තිබුණේ නැති නිසාත්. නමුත් යෙහෝවාගේ මාර්ගවලට අනුව තම ජීවිතය සකස් කරගැනීමට ටෝනි තීරණය කළා. බව්තීස්මය සඳහා සුදුසුකම් ලබාගැනීම ඔහු ඉලක්කයක් හැටියට තැබුවා. ඒ ඉලක්කය අත් කරගත්තාට පස්සේ ඔහු උපකාරික පුරෝගාමි සේවය සහ ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගැනීමට තමා බලාපොරොත්තු වූ දිනයන් තම දිනදර්ශනයේ ලකුණු කරමින් ඒ ඉලක්කද අත් කරගත්තා. ටික කාලයක් පුරෝගාමි සේවයේ යෙදීමෙන් පසුව, ශාඛා කාර්යාලයේ සේවය කිරීම ඔහුට අත් කරගත නොහැකි ඉලක්කයක් මෙන් පෙනුණේ නැහැ.

අපටත් පුළුවන් අපගේ දිගු කාලීන ඉලක්කයක් අත් කරගැනීම සඳහා කෙටි කාලීන ඉලක්ක කිහිපයක් තබන්න. දිගු-කාලීන ඉලක්කයක් අත් කරගැනීමට යන ගමනේ සැතපුම් කණු ලෙස මෙම කෙටි කාලීන ඉලක්ක දෙස බැලීමට අපට හැකියි. මෙම සැතපුම් කණු කරා ළඟාවීම සම්බන්ධයෙන් අප ලබන දියුණුව නිතිපතා සලකා බැලීම, අපගේ මනස ප්‍රධාන ඉලක්කය වෙත යොමු කර තැබීමට උපකාරවත් විය හැකියි. අපගේ සැලසුම් පිළිබඳව නැවත නැවත යෙහෝවාට යාච්ඤා කිරීමත් අපගේ අන්තිම ඉලක්කය සිතේ ප්‍රමුඛව තබාගැනීමට අපට උපකාර කරයි. ප්‍රේරිත පාවුල් දිරිගැන්නුවේ “නොකඩවා යාච්ඤා කරන්න” කියායි.—1 තෙසලෝනික 5:17.

දැඩි අධිෂ්ඨානය සහ අඛණ්ඩ උත්සාහය අවශ්‍යයි

හොඳින් සිතා බලා සකස් කරගත් සැලසුම් තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමට දැඩි ආශාවක් අපට තිබුණත් සමහර ඉලක්ක අත් කරගැනීමට නොහැකි වෙයි. තම දෙවෙනි මිෂනාරි ගමනේදී තමා සමඟ ශ්‍රාවක යොහන් මාක්ව ගෙන යෑමට ප්‍රේරිත පාවුල් අකමැති වූ විට මාක් හොඳටම කලකිරෙන්න ඇති! (ක්‍රියා 15:37-40) ඒ කලකිරීමෙන් පාඩමක් ඉගෙනගැනීමටත්, වැඩියෙන් සේවය කිරීම සඳහා තමා තබා තිබූ ඉලක්කය යළි සකස් කරගැනීමටත් මාක්ට සිදු වුණා. ඔහු එසේ කළ බව පැහැදිලියි. පසු කාලයකදී මාක් ගැන පාවුල් හිතකර ආකාරයකින් කතා කළ අතර බැබිලෝනියේදී ප්‍රේරිත පේතෘස් සමඟ ඔහුට කිට්ටු ආශ්‍රයක් භුක්ති විඳීමට අවස්ථාවද ලැබුණා. (2 තිමෝති 4:11; 1 පේතෘස් 5:13) යේසුස්ගේ ජීවිතය සහ දේවසේවය පිළිබඳව දේවානුභාවයෙන් වාර්තාවක් ලිවීම ඔහුට ලැබුණ උතුම්ම වරප්‍රසාදය වෙන්න ඇති.

අපි ඉලක්ක තබමින් ඉදිරියට යද්දී අපිත් පසුබැසීම් අද්දැකීමට ඉඩ කඩ තිබෙනවා. සියල්ල අත්හැර දමනවා වෙනුවට එතෙක් අපි ලබා තිබෙන දියුණුව සලකා බලන්න අපට පුළුවන්. අපි තබා තිබෙන ඉලක්කය අත් කරගත නොහැකි එකක් නම් එය වෙනස් කිරීමටත් අපට පුළුවන්. බාධා පැමිණෙන විට දැඩි අධිෂ්ඨානය සහ අඛණ්ඩ උත්සාහයක් ඇතුව ඉදිරියට යෑමට අපි වෑයම් කළ යුතුයි. “ඔබේ ක්‍රියාවන් යෙහෝවාට භාර දෙන්න. එවිට ඔබේ යෝජනා ස්ථිර වන්නේය” කියා ප්‍රඥාවන්ත සලමොන් රජ අපට සහතික කරනවා.—හිතෝපදේශ 16:3.

එහෙත් ඇතැම් අවස්ථාවලදී අපගේ තත්වයන් නිසා සමහර ඉලක්ක ලුහුබැඳීම යථාර්ථවාදී නොවන දෙයක් වෙන්න පුළුවන්. උදාහරණයකට දුර්වල සෞඛ්‍ය තත්වයක් හෝ පවුල් වගකීම් නිසා සමහර ඉලක්ක ලුහුබැඳීම අපට අපහසු කාර්යයක් වෙන්න ඉඩ තියෙනවා. කෙසේවෙතත් අවසාන ත්‍යාගය වන්නේ ස්වර්ගයේ හෝ පාරාදීස පොළොවක සදාකාල ජීවනය බව අප කිසිවිටෙකත් අමතක නොකළ යුතුයි. (ලූක් 23:43; පිලිප්පි 3:13, 14) මෙය ලබාගන්නේ කොහොමද? “දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය” කියා ප්‍රේරිත යොහන් ලිව්වා. (1 යොහන් 2:17, NW) අපගේ තත්වය නිසා යම් විශේෂිත ඉලක්කයක් අත් කරගැනීමට අපට නොහැකි වුවත්, අපට පුළුවන් දිගටම සැබෑ “දෙවිට භයව ඔහුගේ ආඥා පවත්වන්න.” (දේශනාකාරයා 12:13) දේවකැමැත්ත කිරීම සඳහා සිත යොමු කර තබාගැනීමට ඉලක්ක අපට උපකාර කරනවා. එමනිසා අපගේ මැවුම්කරුව මහිමවත් කිරීම සඳහා අපි එම ඉලක්ක යොදාගනිමු.

[22වන පිටුවේ කොටුව]

සලකා බැලීම සඳහා ඉලක්ක

○ දිනපතා බයිබලය කියවීම

○ හැම මුරටැඹ සහ පිබිදෙව්! කලාපයක්ම කියවීම

○ අපගේ යාච්ඤාවල ගුණය වැඩි කිරීම

○ ආත්මයේ පල විදහාපෙන්වීම

○ වැඩිමනත් සේවය සඳහා ප්‍රස්තාව අල්ලාගැනීම

○ දේශනා කිරීම හා ඉගැන්වීම වඩාත් බලපෑමෙන් යුක්තව කිරීම

○ දුරකථනයෙන්, ව්‍යාපාර ස්ථානවලදී මෙන්ම අවිධිමත් ලෙස සාක්ෂි දැරීමේ කලාව දියුණු කරගැනීම