Skip to content

පටුනට යන්න

ආලෙකාන්ඩ්‍රාගෙන් ලියුමක්

ආලෙකාන්ඩ්‍රාගෙන් ලියුමක්

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

ආලෙකාන්ඩ්‍රාගෙන් ලියුමක්

ලිපි මාර්ගයෙන් සාක්ෂි දැරීම බොහෝ කාලයක සිට පැවත එන බලපෑමෙන් යුත් ක්‍රමයක්. සමහර අවස්ථාවලදී එයින් ලැබෙන ප්‍රතිඵල ගැන අපිට එතරම් නිසැකකමක් නැති වුණත් දිගටම මෙම ක්‍රමය පාවිච්චි කරන අය බහුල ලෙස ආශීර්වාද භුක්ති විඳ තිබෙනවා. ඔවුන් බයිබලයේ ඇති මේ ඥානවන්ත උපදෙස සිහියේ තබාගෙන කටයුතු කරනවා. “අලුයම ඔබේ [බීජ] වපුරන්න, සවස ඔබේ අත නොවළක්වන්න. මක්නිසාද වැඩෙන්නේ ඒකද මේකද නොහොත් දෙකම එක හැටි යහපත් වන්නේදැයි නොදන්නෙහිය.”—දේශනාකාරයා 11:6.

ආලෙකාන්ඩ්‍රා, මෙක්සිකෝවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ අවුරුදු දහයක් පමණ සේවය කළ තරුණ සාක්ෂිකාරියක්. ඇය පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබාගනිමින් සිටියා. ඇගේ තත්වය දරුණු අතට පත් වුණු අතර ඇයට එදිනෙදා කටයුතුවල නිරත වෙන්න බැරි තරමටම ඇය දුර්වල වුණා. නමුත් ඇගේ දේවසේවය අතපසු කිරීමට අකමැති වූ ආලෙකාන්ඩ්‍රා ලිපි ලියන්න තීරණය කළා. නොමිලේ පවත්වනු ලබන නිවාස බයිබල් පාඩම් ගැන සඳහන් කළ ඇය මවගේ දූරකථන අංකයද මෙම ලිපිවලට ඇතුළත් කළා. මව ගෙයින් ගෙට සේවයේ යෙදෙද්දී කවුරුත් නැති ගෙවල්වල මෙම ලිපි තබා එන්න කියා ඇය එම ලිපි මවට බාර දුන්නා.

මේ අතරතුර ග්වාටමාලා රටෙන් ඩයෝහානි නම් එක් තරුණියක් ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීමට මෙක්සිකෝවේ කැන්කන් නගරයට ගියා. ඇයට එහිදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුණගැසුණු අතර ඔවුන් සමඟ බයිබලයේ තිබෙන දේවල් සාකච්ඡා කිරීමෙන් ඇය මහත් ප්‍රීතියක් අද්දුටුවා. පසු කාලයකදී ඇය වැඩ කළ ගෙදර අය ඔවුන්ගේ පදිංචිය වෙනස් කර මෙක්සිකෝ නගරයට යන්න තීරණය කළ අතර ඇයටත් එහි යෑමට ආරාධනා කළා. ඩයෝහානිට සාක්ෂිකරුවන් සමඟ තිබෙන ඇගේ සම්බන්ධය නැති වන නිසා ඇය මෙක්සිකෝවට යෑමට අදිමදි කළා.

“දුක් වෙන්න එපා. සාක්ෂිකාරයෝ හැමතැනම ඉන්නවා. අපි එහේ ගිය ගමන් ඒ අයව හොයාගමු” යයි නිවැසියන් ඇයට පොරොන්දු වුණා. ඒ ප්‍රීතිමත් බලාපොරොත්තුව ඇතුව ඩයෝහානි ඔවුන් සමඟ යන්න කැමති වුණා. මෙක්සිකෝ නගරයේ සභා 730ක් හා සාක්ෂිකරුවන් 41,000ට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් ඩයෝහානිගේ නිවැසියන් එම නගරයේ සාක්ෂිකරුවන්ව සෙව්වත් ඔවුන්ට යම් හේතුවක් නිසා සාක්ෂිකරුවන්ව මුණගැසුණේ නැහැ.

ඇයට සාක්ෂිකරුවන්ව සොයාගැනීමට නොහැකි වීම නිසාත් ඇගේ බයිබල් සාකච්ඡා නැවත පටන්ගැනීමට නොහැකි වීම නිසාත් ඩයෝහානි ඒ ගැන දුක් වෙන්න පටන්ගත්තා. එක දවසක් ඇගේ ස්වාමි දුව “සුබ ආරංචියක්! ඔයාගේ දෙවි ඔයාගේ යාච්ඤාවලට උත්තර දීලා” යයි කියමින් ලිපියක් ඇයට දුන්නා. “සාක්ෂිකරුවන් ඔයාට මේ ලියුම තියලා ගිහින්.” ඒ ලිපිය ලියා තිබුණේ ආලෙකාන්ඩ්‍රා.

ඩයෝහානි, ආලෙකාන්ඩ්‍රාගේ මව හා නංගී වන බ්ලාංකා හමු වුණු අතර බයිබල් පාඩමක් පටන්ගැනීමට කැමති වුණා. ඉන් සති කිහිපයකට පස්සේ ඇය ආලෙකාන්ඩ්‍රාව මුණගැසුණු අතර එකිනෙකාව හමුවීමට ලැබීම ගැන ඔවුන් දෙදෙනාම ඉතා සතුටු වුණා. ඇගේ බයිබල් පාඩම අත් නෑර හොඳින් කරගෙන යන්නත් ආත්මිකව මේරූ වෙන්නත් ආලෙකාන්ඩ්‍රා ඇයව දිරිගැන්නුවා.

මාස කිහිපයකට පස්සේ 2003 ජූලි මාසයේ ආලෙකාන්ඩ්‍රා මිය ගියා. ඇය සෙසු ඇදහිලිවන්තයන්ට විශ්වාසවන්තකමේ හා නිර්භීතකමේ කදිම ආදර්ශයක් තබා ගියා. අවමංගල උත්සවයට පැමිණි බොහෝදෙනෙකුට ඩයෝහානි පැවසූ මෙම වදන් මහත් බලපෑමක් ඇති කළා. එනම් “ආලෙකාන්ඩ්‍රා හා ඇගේ පවුලේ අය මට හොඳ ආදර්ශයක්. මම යෙහෝවාට සේවය කරන්නත් ඒ වගේම ඉක්මනින්ම බව්තීස්ම වෙන්නත් අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. මම පාරාදීසයේදී ආලෙකාන්ඩ්‍රාව දකින්න මොන තරම් ආශාවෙන්ද ඉන්නේ!”

ඔව් ඇත්තටම ලියුමක් කියන්නේ චූටි දෙයක් වෙන්න පුළුවන්. නමුත් එයට ගෙන දිය හැකි හොඳ හා සදාකාලික බලපෑම මොන තරම්ද!