Skip to content

පටුනට යන්න

දේවවචනය නිර්භීතව කතා කරන්න

දේවවචනය නිර්භීතව කතා කරන්න

දේවවචනය නිර්භීතව කතා කරන්න

‘ගොස් මාගේ සෙනඟට අනාගත වචන කියන්න.’—ආමොස් 7:15.

1, 2. ආමොස් කවරෙකු වීද? බයිබලය ඔහු ගැන හෙළි කරන්නේ කුමක්ද?

යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් දේවසේවයේ නියැලෙමින් සිටින විට, ඔහුට පූජකයෙකු මුණ ගැසුණි. “දේශනා කරන එක නවත්වනවා! මේ පළාතෙන් යනවා!” කියමින් පූජකයා කෑ ගැසීය. සාක්ෂිකරුවා කළේ කුමක්ද? ඔහු පූජකයාගේ තර්ජනයට භය වූවාද? නැතහොත් දිගටම නිර්භීතව දෙවිගේ වචනය කතා කළාද? ඔබට මීට පිළිතුරු ලබාගත හැකියි. මන්ද එම සාක්ෂිකරුවා තමාගේ අද්දැකීම් බයිබල් පොතක සටහන් කර ඇති නිසාය. ඒ ආමොස් නමැති පොතයි. එහෙත්, එම පූජකයා සමඟ ආමොස් කළ කතා බහ ගැන දැනගන්නට පෙර, ආමොස්ගේ පසුබිම ගැන යම් තොරතුරු කිහිපයක් අපි සොයා බලමු.

2 ආමොස් කවරෙකු වීද? ඔහු ජීවත් වූයේ කොයි කාලයේදීද? කොහේද? අපට මේ ප්‍රශ්නවලට පිළිතුරු ආමොස් පොතේ 1වන පරිච්ඡේදයේ 1වන වගන්තියේ කියවීමට තිබේ. එහි මෙසේ පවසයි. “යූදා රජ වූ උස්සියාගේ දවස්වලදීත්, ඊශ්‍රායෙල් රජ වූ යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ දවස්වලදීත් තෙකෝවා එඬේරුන් අතරේ සිටි ආමොස් . . . දුටු කාරණා මේය.” ආමොස් වනාහි යූදා දේශයේ වැසියෙකි. ඔහු උපන් නගරය වූයේ යෙරුසලමට කිලෝමීටර් 16ක් දුරින් පිහිටි තෙකෝවා නගරයයි. ඔහු ජීවත් වූයේ යූදාවේ රජකම් කළාවූ උස්සියා රජුගේ සහ ඊශ්‍රායෙලයේ දස ගෝත්‍රය පාලනය කළාවූ 2වන යෙරබොවම් රජුගේ පාලන කාලය වූ ක්‍රි.පූ. නවවන සියවසේ අගභාගයේය. ආමොස් වනාහි එඬේරෙකු විය. ඇත්තෙන්ම ආමොස් 7:14 පවසන්නේ, ඔහු “එඬේරෙක්” වූවා පමණක් නොව, අත්තික්කා ගස් වගාවට සම්බන්ධ කම්කරුවෙකුද වූ බවයි. ඔහුගේ රැකියාව වූයේ අත්තික්කා ගෙඩිවලට ඇන ඒවායේ ඉදවීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීමයි. මෙය ඉතා වෙහෙසකාරී වැඩක් විය.

“ගොස් . . . අනාගතවාක්‍ය කියන්න”

3. දේශනා කිරීමට සුදුසුකම් නැතැයි කියා අපට හැඟේ නම්, ආමොස්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

3 ආමොස් අවංකව පැවසුවේ මෙසේයි. “මම අනාගතවක්තෘ කෙනෙක්වත්, අනාගතවක්තෘ කෙනෙකුගේ පුත්‍රයෙක්වත් නොවීමි.” (ආමොස් 7:14) ඇත්තෙන්ම ඔහු අනාගතවක්තෘවරයෙකුගේ පුතෙකු නොවීය. අනාගතවක්තෘවරයෙකු ලෙස ඔහු පුහුණුවක්ද ලබා නොතිබුණි. එහෙත්, යූදාවේ විසූ සියල්ලන් අතරින් යෙහෝවා තම කාර්යය කිරීමට තෝරාගත්තේ ආමොස්වයි. ඒ කාලයේදී දෙවි ප්‍රබල රජෙකුවවත්, උගත් පූජකයෙකුවවත්, ධනවත් අධිපතියෙකුවවත් තෝරාගත්තේ නැත. මෙය අපට වැදගත් පාඩමක් කියා දෙයි. අප සමාජීය මට්ටමින් ඉතා සුළු මිනිසුන් වෙන්නට පුළුවනි. නැතහොත් අපට තිබෙන්නේ මූලික අධ්‍යාපනයක් පමණක් වෙන්නට පුළුවනි. එමනිසා දේවවචනය දේශනා කිරීමට අප සමර්ථ පුද්ගලයන් නොවේය කියා අප සිතිය යුතුද? කොහෙත්ම නැත! දේශනා කිරීමට අසීරුතා ඇති ප්‍රදේශවල පවා දේවපණිවුඩය ප්‍රකාශ කිරීම සඳහා අපව ශක්තිමත් කිරීමට යෙහෝවාට පුළුවන. යෙහෝවා ආමොස් සම්බන්ධයෙන් කළෙත් එම දේමයි. එසේනම්, දේවවචනය නිර්භීතව කතා කිරීමට කැමති සියල්ලන්ට මෙම නිර්භීත අනාගතවක්තෘවරයා විසින් තබන ලද ආදර්ශය ගැන සලකා බැලීමෙන් බොහෝ පාඩම් ඉගෙනගත හැකියි.

4. ඊශ්‍රායෙලයේ අනාගතවාක්‍ය කීම ආමොස්ට අභියෝගයක් වූයේ මන්ද?

4 යෙහෝවා ආමොස්ට අණ කළේ මෙසේයි. “ගොස් මාගේ ඊශ්‍රායෙල් සෙනඟට අනාගත වචන කියන්න.” (ආමොස් 7:15) එම පැවරුම අභියෝගයක් විණි. ඒ කාලයේදී, ගෝත්‍ර දසයේ ඊශ්‍රායෙල් රාජ්‍යය සාමය, සුරක්ෂිතභාවය සහ ද්‍රව්‍යමය සමෘද්ධිය භුක්ති වින්දේය. බොහෝදෙනෙකු ‘ශීත සමයේදී ජීවත් වීමට වෙනම නිවාසද’ ‘ග්‍රීෂ්ම සමයේදී ජීවත් වීමට වෙනම නිවාසද’ සාදාගෙන තිබූ අතර, ඒවා සාදා තිබුණේ සාමාන්‍ය ගඩොල්වලින් නොව, මිල අධික ‘කැපූ ගල්වලිනි.’ ඇතැම් අයට ඇත්දත්වලින් සෑදූ අලංකාර ගෘහ භාණ්ඩ තිබූ අතර ඔවුන් පානය කළ වයින් සාදා තිබුණේ ‘ප්‍රිය වූ මිදිවතුවලින්’ නෙළූ මිදිවලිනුයි. (ආමොස් 3:15; 5:11) මෙහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝදෙනෙකු සිතුවේ තමන්ට ජීවිතයේ තෘප්තිය ලැබිය හැකි සෑම දෙයක්ම තිබෙනවා කියායි. ඇත්තෙන්ම, දේශනා කිරීමට ආමොස්ට පවරා තිබූ බල ප්‍රදේශය, අද දින අපගෙන් සමහරදෙනෙකුට සේවය කිරීමට තිබෙන බල ප්‍රදේශයට සමාන එකක් වූවා විය හැකියි.

5. ඇතැම් ඊශ්‍රායෙලිතයන් විසින් කරනු ලබමින් තිබූ අයුක්තිසහගත දේවල් මොනවාද?

5 ඊශ්‍රායෙලිතයන් ධන සම්පත් ඇතුව සිටීම වරදක් වූයේ නැත. එහෙත්, ඇතැම් ඊශ්‍රායෙලිතයන් ධනය රැස් කරමින් සිටියේ වංචනිකවය. එම ධනවත්හු, ‘දුප්පතුන්ට පීඩා කර,’ ‘දිලිඳුන්ව පොඩි කළෝය.’ (ආමොස් 4:1) ප්‍රබල වෙළෙන්දෝ, විනිශ්චයකාරයෝ සහ පූජකයෝ, දිලිඳුන්ට විරුද්ධව කුමන්ත්‍රණය කර ඔවුන්ගෙන් කොල්ලකෑහ. අපි දැන් සිටින්නේ ඒ කාලයේයයි සිතමු.

දේවනීතිය අපහාසයට ලක් වී

6. ඊශ්‍රායෙල් වෙළඳුන් වෙනත් අයව සූරා කෑවේ කෙසේද?

6 අපි පළමුව වෙළඳපොළට යමු. එහි වංචනික වෙළෙන්දෝ “ඒඵාව කුඩා කර” “ෂෙකෙල මහත් කර” “බොල්” ධාන්‍ය ලෙස විකුණති. (ආමොස් 8:4, 5) මෙම වෙළඳුන් තම පාරිභෝගිකයන්ට වංචා කළ අතර, බඩු කිරුවෙත් හොරටය, බඩුත් බාලය, මිලත් අධිකය. දුප්පතුන් අධික ණය බරට පත් වී අන්ත අසරණ තත්වයකට පත් වූ පසු, ඔවුන්ට සිදු වූයේ වහලුන් ලෙස සේවය කිරීමටයි. ඊළඟට, මේ වෙළෙන්දන් කළේ ‘වහන් සඟලක මිලට’ ඔවුන්ව මිලට ගැනීමයි. (ආමොස් 8:4) ඒ ගිජු වෙළෙන්දන් තමන්ගේම ජාතියේ කෙනෙකුව සැලකුවේ සෙරෙප්පු ජෝඩුවක මිලක ගානටය. මෙය දුප්පතුන්ට කළ මොන තරම් පහත් නිග්‍රහයක්ද! දෙවිගේ නීතියට කළ මොන තරම් දරුණු අපහාසයක්ද! එහෙත්, එම වෙළෙන්දෝම “සබත්” පැවැත්වූහ. (ආමොස් 8:5) ඔවුන්ගේ භක්තිය මොන තරම් වංචාවක්ද!

7. ඊශ්‍රායෙලයේ වෙළෙඳුන්ට දෙවිගේ නීතිය කැඩීමට හැකි වූයේ කුමන හේතුව නිසාද?

7 “ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න” යනුවෙන් දී ඇති දේවනීතිය කඩන මේ වෙළෙඳුන් දඬුවමින් බේරුණේ කෙසේද? (ලෙවී කතාව 19:18) ඔවුන් බේරුණේ නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටි විනිශ්චයකරුවන්ද ඔවුන්ගේ පැත්ත ගත් නිසාය. නගර දොරකොඩ නඩු අසන විට විනිශ්චයකරුවන් ඔවුන්ගෙන් ‘අල්ලසක් ගෙන දිලිඳුන්ට යුක්තිය’ ඉෂ්ට කළේ නැත. මෙලෙස, දුප්පතුන්ව ආරක්ෂා කරනවා වෙනුවට, මෙම විනිශ්චයකරුවන් කළේ අල්ලස් ගෙන එම දිලිඳුන්ව තවත් අසරණ කිරීමයි. (ආමොස් 5:10, 12) මේ නිසා, විනිශ්චයකරුවෝද දේවනීතිය ගණනකට නොගත්හ.

8. දුෂ්ට පූජකයෝ කුමනාකාරයේ වැරදි ක්‍රියාවන් සිදුවීමට ඉඩ දී තම ඇස් කන් පියාගෙන සිටියෝද?

8 මේ අතරතුර ඊශ්‍රායෙලයේ පූජකයන් කරමින් සිටියේ කුමක්ද? මේ ගැන දැනගන්නට අපි දැන් ඔවුන්ගේ දේවාලයක් තුළ සිදු වන්නේ මොනවාදැයි බලමු. පූජකයන්ගේ අනුදැනුම ඇතුව දේවාලය ඇතුළේ සිදු වෙන්නේ මොන තරම් බරපතළ පාපද! ආමොස් තුළින් දෙවි පැවසුවේ මෙයයි. “මාගේ ශුද්ධ නාමය අපවිත්‍ර කරන පිණිස මනුෂ්‍යයෙක්ද ඔහුගේ පියාද එකම තරුණිය කරා එළඹෙති.” (ආමොස් 2:7, 8) ඊශ්‍රායෙල් ජාතික පියෙක් සහ පුතෙක් දේවාලය තුළ එකම ගණිකාවක් සමඟ ලිංගික දුරාචාරයේ යෙදෙති. ඇරත් මේ දුෂ්ට පූජකයෝ ඔවුන්ගේ දුරාචාර ක්‍රියාවලට ඇස් කන් පියාගෙන සිටිති.—ලෙවී කතාව 19:29; ද්විතීය කතාව 5:18; 23:17.

9, 10. ඊශ්‍රායෙලිතයන් දේවනීතිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කිනම් ආඥා කඩ කිරීම නිසාද? මේ කාලයෙත් ඒ හා සමාන දෙයක් සිදු වෙන්නේ කෙසේද?

9 ඔවුන් කළ වෙනත් පව්කාර ක්‍රියා ගැන යෙහෝවා පැවසුවේ මෙසේයි. “උකසට ගත් වස්ත්‍ර පිට සැම පූජාසන ළඟ තුමූ සැතපෙති. දඩගැසුම් කෑ අයගේ මිදි යුෂ තමන් දෙවියන්ගේ ගෘහයේදී බොති.” (ආමොස් 2:8) එසේය, පූජකයෝ මෙන්ම මිනිස්සුද නික්මයාම 22:26, 27හි සඳහන් නීතිය නොසලකාහැරියෝය. එහි සඳහන් වූයේ උකසට ගත් වස්ත්‍රයක් ඉර බසින්නට පෙර නැවතත් භාර දිය යුතු බවයි. ඒ වෙනුවට, ඔවුහු ඒ මත වැතිරෙමින් බොරු දෙවිවරුන් ඉදිරියේ කමින් බොමින් මංගල්‍ය පැවැත්වූහ. දිලිඳුන්ගෙන් අසාධාරණ ලෙස අය කළ දඩ මුදල්වලින්, ඔවුහු බොරු ආගමික මංගල්‍යවලදී පානය කිරීමට වයින් මිල දී ගත්හ. ඔවුහු ඇත්තටම ශුද්ධ නමස්කාරයෙන් කොතරම් දුරක් ඉවතට ගොස් සිටියෝද!

10 යෙහෝවාට හා අසල්වැසියාට ප්‍රේම කරන්න යන නීතියේ ප්‍රධාන ආඥා දෙක මේ ඊශ්‍රායෙල්වරු කඩ කරමින් සිටියෝය. මේ නිසා දෙවි ආමොස්ව යොදාගත්තේ ඔවුන්ගේ මේ ද්‍රෝහිකාර ක්‍රියාකලාපය හෙළා දැකීම සඳහායි. අදත්, ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් පැතිර පවතින රටවල ඇතුළු, මුළු ලෝකයේම දක්නට ලැබෙන්නේ එම දූෂිත තත්වයමය. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ, දේශපාලකයන්ගේ සහ බොරු ආගමික නායකයන්ගේ වංචනික සහ දූෂිත ක්‍රියා නිසා, සමහර පුද්ගලයන් සමාජයේ වැජඹුණද, බොහෝදෙනෙක් ආර්ථික අතින් හා අනෙක් හැම අතින්ම අන්ත අසරණ තත්වයකට පත්ව සිටිති. නමුත් මේ පීඩිතයන් ගැන හා තමන්ව සොයන අය ගැන යෙහෝවාට බලවත් අනුකම්පාවක් දැනේ. ඒ නිසයි ඔහු ආමොස් කළ දේට සමානව තමන්ගේ වචනය නිර්භීතව දේශනා කිරීමට තම නවීන දින සේවකයන්ව පත් කොට තිබෙන්නේ.

11. ආමොස්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

11 අපගේ සේවය හා ආමොස්ගේ සේවය අතර සමානකම් තිබෙන නිසා ඔහුගේ ආදර්ශය සලකා බැලීමෙන් අපට බොහෝ දේ උගත හැකියි. (1) අප දේශනා කළ යුත්තේ කුමක්ද (2) අප දේශනා කළ යුතු ආකාරය සහ (3) විරුද්ධවාදීන්ට අපගේ දේශනා සේවය නැවැත්වීමට බැරි හේතු යන කාරණා ආමොස් අපට පෙන්වයි. දැන් අපි මේවා එකිනෙක සලකා බලමු.

අපට ආමොස්ව අනුකරණය කළ හැකි අන්දම

12, 13. යෙහෝවා ඊශ්‍රායෙලිතයන්ට සිය අප්‍රසාදය පළ කළේ කෙසේද? ඔවුන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

12 යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් අපගේ ප්‍රධානතම කාර්යය නම්, රාජ්‍යය ගැන දේශනා කිරීම සහ ගෝලයන් සෑදීමයි. (මතෙව් 28:19, 20; මාක් 13:10) එහෙත්, අපි ආමොස් කළාක් මෙන් යෙහෝවා දුෂ්ටයන්ට එරෙහිව ගෙනෙන්නට යන විනිශ්චය ගැනත් අනතුරු අඟවන්නෙමු. නිදසුනක් වශයෙන්, යෙහෝවා යළි යළිත් තම අප්‍රසාදය ඊශ්‍රායෙල් ජාතියට පෙන්වූ බව ආමොස් 4:6-11 පෙන්වයි. ඔහු ඔවුන්ට ‘කෑම හිඟකම’ ඇති වෙන්නට සලස්වා, ‘වැස්ස වළක්වා,’ ‘ගොයම් වියළවා’ ඒවාට දිලීර රෝග ඇතිවීමට සලස්වා, ‘ඔවුන් අතර වසංගත’ ඇති කළේය. මේවාට මුහුණ දීමට සිදු වූ නිසා ඊශ්‍රායෙල් ජාතිය පසුතැවිලි වූවාද? “ඔබ මා වෙතට නොහැරුණහුය” යයි දෙවි පැවසීය. ඇත්තෙන්ම, ඊශ්‍රායෙල්වරු යෙහෝවාව යළි යළිත් ප්‍රතික්ෂේප කළෝය.

13 යෙහෝවා ඒ පසුතැවිලි නොවූ ඊශ්‍රායෙලිතයන්ට දඬුවම් කළේය. නමුත් ඔහු ඊට කලින් අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් අනතුරු ඇඟෙව්වේය. මේ ගැන දෙවි ප්‍රකාශ කළේ මෙයයි. “ස්වාමි වූ යෙහෝවා තමන් රහස තමන් මෙහෙකරුවූ අනාගතවක්තෲන්ට ප්‍රකාශ නොකොට කිසිවක් නොකරන්නේය.” (ආමොස් 3:7) නෝවාගේ කාලයේදී දෙවි එවැනි දෙයක් කළේය. එය නම්, ජලගැල්මක් පැමිණෙන බව ඔහුට දැනුම් දී ඒ ගැන ජනයාට අනතුරු අඟවන ලෙස ඔහුට උපදෙස් දීමයි. ඒ හා සමානව, යෙහෝවා ආමොස්ට කීවෙත් අවසාන වතාවට ජනයාහට අනතුරු අඟවන ලෙසටයි. නමුත් ඊශ්‍රායෙල් ජාතිය එම අනතුරු ඇඟවීම නොසලකාහැරියෝය. ඔවුන් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම කනගාටුදායකය.

14. ආමොස්ගේ කාලය සහ අපේ කාලය අතර තිබෙන සමානකම් මොනවාද?

14 ආමොස්ගේ කාලයේ සහ අපේ කාලය අතර කැපී පෙනෙන සමානකම් තිබෙන බවට ඔබ එකඟ වෙනවා ඇති. අන්තිම කාලයේදී දරුණු විපත් රාශියක් සිදු වනු ඇති බවට යේසුස් ක්‍රිස්තුස් කලින්ම පැවසුවේය. ඒ සමඟම ලොව වටා දේශනා කිරීමක් සිදු වනු ඇති බවත් ඔහු පැවසුවේය. (මතෙව් 24:3-14) එහෙත්, ආමොස්ගේ දවස්වලදී සිදු වූවාක් මෙන්, වර්තමානයේද වැඩිදෙනෙක් මේ කාලයේ සිදු වන ලකුණු සහ රාජ්‍ය පිළිබඳ පණිවුඩය නොසලකාහරිති. එවන් පුද්ගලයන්ට සිද්ධ වෙන්නෙත් පසුතැවිලි නොවූ ඒ ඊශ්‍රායෙලිතයන්ට සිද්ධ වූ දේමය. යෙහෝවා ඔවුන්ට අනතුරු ඇඟවූයේ මෙසේයි. “ඔබේ දෙවි සම්මුඛ වන්ට සූදානම් වෙන්න.” (ආමොස් 4:12) ඔවුන් ‘දෙවිව සම්මුඛ වුණේ’ ඇසිරියානුවන් ඔවුන්ව පරාජය කළ විටය. අද දිනත්, මේ අභක්තික ලෝකය අර්මගෙදොන්හිදී ‘දෙවිව සම්මුඛ වෙනවා’ ඇත. (එළිදරව් 16:14, 16) එහෙත්, යෙහෝවාගේ ඉවසීම පවතින තාක් කල්, ‘යෙහෝවා සොයා ජීවත් වන්න’ යයි අපි හැකි තරම් දෙනෙකුට අවවාද කරමු.—ආමොස් 5:6.

ආමොස් මෙන් විරුද්ධවාදිකම්වලට මුහුණ දීම

15-17. (අ) අමශියා යනු කවරෙක්ද? ආමොස් ප්‍රකාශ කළ කාරණාවලට ඔහු ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) අමශියා ආමොස්ට එරෙහිව නැඟූ චෝදනා මොනවාද?

15 දේශනා කරන දේ සම්බන්ධව පමණක් නොව, දේශනා කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද අපට ආමොස්ව අනුකරණය කළ හැකියි. මෙම කාරණය අපට 7වන පරිච්ඡේදය තුළ කැපී පෙනෙන්නට සලස්වා තිබේ. මේ ලිපිය ආරම්භයේදී සඳහන් වූ පූජකයා ගැන කතා කෙරෙන්නේ මේ පරිච්ඡේදයේදීය. ඔහු ‘බෙතෙල්හි පූජක වූ අමශියාය.’ (ආමොස් 7:10) බෙතෙල් නගරය ඊශ්‍රායෙල්හි බොරු ආගමික වන්දනාව සිදු වූ ප්‍රධාන නගරයයි. වසු නමස්කාරය ඊට ඇතුළත් විණි. අමශියා වනාහි දේශයේ ප්‍රධාන ආගමේ පූජකයෙක්ය. ආමොස් නිර්භීතව කළ ප්‍රකාශවලට ඔහු ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

16 අමශියා ආමොස්ට කීවේ මෙයයි. “එම්බා, දිවැස් ඇති තැනැත්ත, ඔබ යූදා දේශයට පලාගොස් එහි කෑම කා අනාගත වචන කියන්න; එහෙත් බෙතෙල්හි නැවත අනාගත වචන නොකියන්න; මක්නිසාද එය රජුගේ ශුද්ධ ස්ථානය වේ; ඒක රාජකීය නිවාසයක් වේ.” (ආමොස් 7:12, 13) ඇත්තෙන්ම, වෙන වචනවලින් කියනවා නම්, අමශියා කීවේ ‘යනවා යන්න, අපිට ආගමක් තියෙනවා’ යනුවෙනි. එමෙන්ම, ආණ්ඩුව ලවා ආමොස්ගේ වැඩකටයුතු තහනම් කිරීමටද ඔහු උත්සාහ කළේය. එසේ කිරීම පිණිස, ඔහු දෙවෙනි යෙරබෝවම් රජට කීවේ මෙයයි. “ඊශ්‍රායෙල් වංශය මැද ආමොස් ඔබට විරුද්ධව මන්ත්‍රණයක් කළේය.” (ආමොස් 7:10) එසේය, අමශියා චෝදනා කළේ ආමොස් රාජ ද්‍රෝහියෙකු බවය! “ආමොස් මෙසේ කියයි: යෙරොබොවම් කඩුවෙන් මැරෙන්නේය; ඊශ්‍රායෙල්ද සැබවින් තමන් දේශයෙන් වහල්කමට ගෙන යනු ලබන්නේය” යයි ඔහු රජුට පැවසුවේය.—ආමොස් 7:11.

17 රජුව මුළා කිරීමට අමශියා පැවසූ වචනවලින් කාරණා තුනක් සම්බන්ධයෙන් ඔහු සත්‍යය වසන් කළේය. පළමුවැන්න නම්, “ආමොස් මෙසේ කියයි” යනුවෙන් අමශියා, රජුට පැවසීමයි. එහෙත්, මේ අනාවැකි තමාගේම අදහස් බව ආමොස් කිසිදා කියා සිටියේ නැත. ඒ වෙනුවට, ඔහු සැමවිටම ප්‍රකාශ කළේ, “යෙහෝවා මෙසේ කියන්නේය” කියායි. (ආමොස් 1:3) දෙවැන්න නම්, “යෙරොබොවම් කඩුවෙන් මැරෙන්නේය” යනුවෙන් ආමොස් කී බවට ඔහුට චෝදනා නැඟීමයි. එහෙත්, ආමොස් 7:9හි වාර්තා කර ඇති පරිදි, ආමොස් කියා සිටියේ මෙසේයි. “මම [යෙහෝවා] යෙරොබොවම්ගේ වංශයට විරුද්ධව කඩුවක් ගෙන නැඟිටින්නෙමි.” එවන් විපතක් පැමිණෙන බවට දෙවි පුරෝකථනය කර තිබුණේ යෙරොබොවම්ගේ “වංශයට” හෙවත් ඔහුගේ අනාගත පරම්පරාවට එරෙහිවය. තවද, අමශියා ආමොස්ට විරුද්ධව කළ තුන්වෙනි චෝදනාව නම්, ‘ඊශ්‍රායෙල් ජාතිය අනිවාර්යයෙන්ම වහල්භාවයට යන’ බවය. නමුත් දෙවි වෙතට හැරී එන ඕනෑම ඊශ්‍රායෙලිතයෙක් ආශීර්වාද ලබනු ඇති බවත් ආමොස් කලින් කියා තිබුණි. මේ අනුව, සත්‍යය විකෘති කර, වචන පෙරළා කතා කොට, ආණ්ඩුව ලවා ආමොස්ගේ වැඩකටයුතුවලට තහනමක් ගෙන ඒමට අමශියා තැත් කළ බව පැහැදිලිය.

18. අමශියා විසින් යොදාගනු ලැබූ සහ වත්මන් ආගමික නායකයන් විසින් යොදාගනු ලබන ක්‍රම අතර කිනම් සමානකම් දකින්නට ලැබේද?

18 අමශියා විසින් යොදාගනු ලැබූ සහ වර්තමානයේ යෙහෝවාගේ ජනයාට විරුද්ධ වන පුද්ගලයන් විසින් යොදාගනු ලබන ක්‍රම අතර යම් සමානකම් ඔබට දැකගන්නට ලැබුණාද? අමශියා ආමොස්ව නිහඬ කිරීමට උත්සාහ කළාක් මෙන්, ඇතැම් පූජකයෝ සහ ඉහළ පෙළේ ආගමික නායකයෝ යෙහෝවාගේ සේවකයන්ගේ වැඩකටයුතු තහනම් කිරීමට උත්සාහ කරති. අමශියා කළ බොරු චෝදනාව නම් ආමොස් රටේ ආණ්ඩුවට ද්‍රෝහි වූ බවය. එලෙසම වර්තමානයේ ආගමික නායකයන් කරන බොරු චෝදනාව නම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් රටේ හා ජාතියේ ආරක්ෂාවට තර්ජනයක් වන බවය. ආමොස්ව නිහඬ කරවීමට අමශියා රජුගේ පිහිට පැතුවාක් මෙන්, ආගමික නායකයන්ද බොහෝවිට උත්සාහ කරන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පීඩා ඇති කිරීම සඳහා දේශපාලන නායකයන්ගේ සහයෝගය ලබාගැනීමටය.

විරුද්ධවාදීන්ට බැහැ අපගේ දේශනා සේවය නැවැත්වීමට

19, 20. ආමොස් අමශියාගේ විරුද්ධවාදිකම්වලට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

19 ආමොස් අමශියාගේ විරුද්ධවාදිකම්වලට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? පළමුවෙන්ම ආමොස් පූජකයාගෙන් ඇසුවේ මෙයයි. ‘ඔබ මට කියන්නේ, ඊශ්‍රායෙල්ට විරුද්ධව අනාගත වාක්‍ය කියන්න එපා කියාද?’ දෙවිගේ අනාගතවක්තෘවරයා ඊළඟට නිර්භීතව පැවසුවේ අමශියා අසන්න කැමතිම නැති දේවල්ය. (ආමොස් 7:16, 17) ආමොස් භය වූයේ නැත. ඔහු අපට මොන තරම් කදිම ආදර්ශයක්ද! දේවවචනය කතා කරන්නට අප භය වෙන්නේ නැත. වර්තමානයේ අමශියාට සමාන පුද්ගලයන් විසින් අපට පීඩා ඇති කිරීමට උත්සාහ කරනු ලබන රටවල වුවද, දේවවචනය කතා කරන ලෙසට දෙවි දී ඇති අණට අප අකීකරු වෙන්නේ නැත. ‘යෙහෝවා පවසා ඇත්තේ මෙයයි,’ කියා අපි දිගටම ප්‍රකාශ කරමු. තවද අපගේ දේශනා සේවය නැවැත්වීමට විරුද්ධවාදීන්ට කොහෙත්ම බැරිය. මන්ද “යෙහෝවාගේ හස්තය” අප සමඟය.—ක්‍රියා 11:19-21.

20 තමා කරන මේ තර්ජන නිෂ්ඵල වනු ඇති බව අමශියා දැනගෙන සිටිය යුතුව තිබුණි. ආමොස් ඒ වන විට පැහැදිලි කර දී තිබූ කාරණයක් නම්, තමා කියන දේ නවත්වන්නට මේ පොළොවේ වෙසෙන කිසිවෙකුට බැරි බවයි. අපගේ සාකච්ඡාවට බඳුන් වන තුන්වන කරුණ එයයි. පලයක් ඇති වී තිබේ නම් ඊට හේතුවක්ද තිබිය යුතුය. ආමොස් 3:3-8හි සඳහන් පරිදි, මෙන්න මේ කාරණය පැහැදිලි කිරීමට ඔහු ප්‍රශ්න හා උපමා කිහිපයක් යොදාගත්තේය. අනතුරුව ඔහු කළේ එය මෙසේ අදාළ කිරීමයි. “සිංහයෙක් ගර්ජනා කළේය. භය නොවෙන්නේ කවුද? ස්වාමි වූ යෙහෝවා කතා කළේය. අනාගත වචන නොකියා සිටින්ට පුළුවන් කාටද?” වෙනත් වචනවලින් කියතොත්, ආමොස් තමන්ට සවන් දී සිටි අයට කීවේ මෙයයි. ‘සිංහයෙකු ගොරවන හඬ ඇසෙනකොට, ඕනෑම කෙනෙක් භය වෙනවා. ඉතින් යෙහෝවා අණ කළ මේ දේ ගැන මම කතා නොකර සිටින්නේ කොහොමද?’ මේ අනුව, නිර්භීතව කතා කිරීමට ආමොස්ව පෙලඹවූයේ යෙහෝවා කෙරෙහි තිබූ දේවභය හෙවත් ගැඹුරු ගෞරවයයි.

21. ශුභාරංචිය දේශනා කිරීමට දෙවි දී ඇති අණට අප ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

21 දේශනා කිරීමට යෙහෝවා දී ඇති අණ අපටත් ඇසේ. අප ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ආමොස් සහ යේසුස්ගේ මුල් අනුගාමිකයන් මෙන්, අපිද යෙහෝවාගේ පිහිට ඇතුව ඔහුගේ වචනය නිර්භීතව කතා කරමු. (ක්‍රියා 4:23-31) විරුද්ධවාදීන්ගේ උසිගැන්වීම් නිසා අපට පීඩා කරන අයටවත් අප දේශනා කරන අය දක්වන උදාසීන ප්‍රතිචාරයන්ටවත් අපව නිහඬ කළ නොහැකියි. ආමොස් මෙන්, අපිද යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට දැඩි උද්‍යෝගයකින් නිර්භීතව ලොව පුරා ශුභාරංචිය නොකඩවා දේශනා කිරීමට පෙලඹෙන්නෙමු. තවද යෙහෝවා ගෙනෙන විනිශ්චය ගැන ජනයාට අනතුරු අඟවන්නට අපට වගකීමක් තිබේ. මේ විනිශ්චයට ඇතුළත් වන්නේ කුමක්ද? ඊළඟ ලිපියේදී සලකා බැලෙන්නේ එම ප්‍රශ්නයයි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• ආමොස් දෙවි දුන් පැවරුම ඉෂ්ට කළේ කිනම් තත්වයන් යටතේද?

• ආමොස් මෙන් අප දේශනා කළ යුත්තේ කුමක්ද?

• අපගේ දේශනා සේවය අප කළ යුත්තේ කිනම් ආකල්පයකින්ද?

• අප කරන සාක්ෂි දැරීම නවතාලන්නට විරුද්ධවාදීන්ට නොහැක්කේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

දෙවි තම කාර්යය ඉෂ්ට කිරීමට තෝරාගත්තේ අත්තික්කා වගාවට සම්බන්ධ කම්කරුවෙකු වූ ආමොස්වය

[13වන පිටුවේ පින්තූර]

ආමොස් මෙන් ඔබත් යෙහෝවාගේ පණිවුඩය නිර්භීතව ප්‍රකාශ කරන්නෙහිද?