Skip to content

පටුනට යන්න

යේසුස්ගේ උපත අමතක නොකළ යුතු සිද්ධියක්

යේසුස්ගේ උපත අමතක නොකළ යුතු සිද්ධියක්

යේසුස්ගේ උපත අමතක නොකළ යුතු සිද්ධියක්

“ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් ඔබහට දාවිත්ගේ නුවර අද උපන්නේය.”—ලූක් 2:11, නව අනුවාදය.

වුරුදු දෙදහසකට පමණ පෙර බෙත්ලෙහෙම් නම් නුවරෙහි විසූ ස්ත්‍රියකට පිරිමි දරුවෙක් ලැබුණා. එම උපත වැඩිදෙනාගේ අවධානයට ලක් වුණේ නැහැ. එහෙත් රාත්‍රියේදී එළිමහනේ තම බැටළුවන් රැකබලා ගනිමින් සිටි එඬේරුන් කිහිපදෙනෙකුට දේවදූතයන් සමූහයක් පෙනුණා. ඔවුන් මෙසේ ගායනා කරමින් සිටියා. “ඉතා උස් තැන්හි දෙවිට මහිමයද මිහිපිට දේවප්‍රසාදය ලත් මිනිසුන්ට සමාදානයද වේවා!”—ලූක් 2:8-14.

දේවදූතයන්ගෙන් ලැබූ මඟ පෙන්වීම් අනුව එඬේරුන් මරියා සහ ඇගේ ස්වාමිපුරුෂයා වූ යෝසෙප් සිටි ගව මඩුව සොයාගත්තා. මරියා දරුවාට යේසුස් යන නම තැබුවා. ඇය දරුවාව තබා තිබුණේ ගව ඔරුවකයි. (ලූක් 1:31; 2:12) ඒ සිද්ධියෙන් වසර දෙදහසකට පසු අද දින මිනිස් වර්ගයාගෙන් තුනෙන් එකක් පමණ කියා සිටින්නේ තමන් යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් බවයි. යේසුස්ගේ උපත පිළිබඳ කතන්දරය මිනිස් ඉතිහාසයේ වඩාත්ම ප්‍රචලිත වූ කතන්දරය කියා පවසන්න පුළුවන්.

එදා බෙත්ලෙහෙමේ එම රාත්‍රියේ සිදු වූ දේ සැමරීමට ස්පාඤ්ඤයේ නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර බිහි වී තිබෙනවා. ස්පාඤ්ඤය කියන්නේ කතෝලික සම්ප්‍රදායට ලැදි, බොහෝ උත්සවවලට ප්‍රිය කරන මිනිසුන් සිටින රටක්.

ස්පාඤ්ඤයේ නත්තල සමරන ආකාරය

දහතුන්වන සියවසේ සිට, ස්පාඤ්ඤයේ නත්තල් උත්සවවල පොදු ලක්ෂණයක් වී තිබෙන්නේ යේසුස්ගේ උපත දැක්වීමට ගවලෙනක් සෑදීමයි. බොහෝදෙනෙක් තම ගෙවල්වල කුඩාවට ගවලෙනක් සාදනවා. එඬේරුන්, රජ තුන්කට්ටුව, යෝසෙප්, මරියා සහ යේසුස් යන අයගේ මැටි රූපද එහි තබනවා. නත්තල් සමයේ නගර ශාලා අසල ඊටත් වඩා විශාල ගවලෙන් සාදනු ලබනවා. එහි මැටි රූප සාමාන්‍ය මිනිසෙකුගේ තරමට සාදා තිබෙනවා. පෙනෙන විදිහට මෙය පටන්ගෙන තිබෙන්නේ අසීසි නුවරේ ෆ්‍රැන්සිස් නම් පූජකයා විසිනුයි. ඔහු එසේ කළේ යේසුස්ගේ උපත පිළිබඳ සුවිශේෂ වාර්තාව කියවා බැලීමට මිනිසුන් තුළ උනන්දුවක් ඇති කිරීමටයි. පසු කාලයකදී ෆ්‍රැන්සිස්ගේ නිකායේ පාදිලිවරුන් මෙම චාරිත්‍රය ස්පාඤ්ඤයේ සහ වෙනත් බොහෝ රටවල පතළ කළා.

වෙනත් රටවල නත්තල් සමයේදී නත්තල් සීයා වැදගත් තැනක් ගන්නවා වගේ, ස්පාඤ්ඤයේ වැදගත් තැනක් ගන්නේ රජ තුන්කට්ටුවයි. ස්පාඤ්ඤයේ සිටින දරුවන්ට ජනවාරි 6වන දා (රජවරුන්ගේ දිනය) මේ රජ තුන්කට්ටුව තෑගි ගෙනත් දෙනවා. ඔවුන් එසේ කරන්නේ අලුත උපන් යේසුස්ට රජ තුන්කට්ටුව තෑගි දුන් බව බොහෝදෙනෙක් පිළිගන්නා දෙයක් වන නිසයි. නමුත් යේසුස්ගේ උපත පිළිබඳ බයිබල් වාර්තාවේ ඔහුව බලන්න කීදෙනෙකු ආවාද කියා සඳහන් වී නැති බව බොහෝදෙනෙක් දන්නේ නැහැ. අනික් අතට ඔවුන් රජවරුන් නොව ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් ලෙසයි හඳුන්වා තිබෙන්නේ. * මෙම ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බැහැදැකීමෙන් පසු යේසුස්ව ඝාතනය කිරීමේ අදහසින් හෙරොද් “දෑවුරුදු වයස් වූද ඊට බාල වූද” සියලුම පිරිමි දරුවන්ව ඝාතනය කිරීමට පියවර ගත්තා. මෙයින් පැහැදිලි වන්නේ මෙම ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බලන්න ඇවිත් තිබෙන්නේ ඔහුගේ උපත සිදු වී සෑහෙන කලකට පසුව බවයි.—මතෙව් 2:11, 16.

දොළොස්වන සියවසේ සිට ඇතැම් ස්පාඤ්ඤ ගම්වල ක්‍රිස්තු උපත නාට්‍යයක් වශයෙන් ඉදිරිපත් කරනවා. එඬේරුන් බෙත්ලෙහෙමට පැමිණි ආකාරය සහ පසුව රජ තුන්කට්ටුව පැමිණි ආකාරය ජවනිකාවලට ඇතුළත් කර තිබෙනවා. වර්තමානයේ ස්පාඤ්ඤයේ නගර බොහොමයක පෙරහැරක් ජනවාරි 5වන දාට සූදානම් කරනවා. එම පෙරහැරේදී විසිතුරු ලෙස සරසන ලද වාහනවල නගරය මැදින් ගමන් කරන “රජ තුන්කට්ටුව” වීථිවල රැස්ව සිටින ජනකායට සීනි බෝල වැනි පැණිරස කෑම බෙදනවා. මුළු නගරයම නත්තල් සැරසිලිවලින් අලංකාරවත් වී ඇති අතර හැමතැනම නත්තල් ගීතවල හඬ ඇසෙයි.

ස්පාඤ්ඤයේ පවුල් දෙසැම්බර් 24වන දා රාත්‍රියේ විශේෂ කෑමක් පිළියෙල කරනවා. ඔවුන් එදාට සාමාන්‍යයෙන් කන්නේ රට කොට්ටම්බා හා මී පැණි මිශ්‍ර කර සාදාගත් රස කැවිලි, වියළි පලතුරු, රෝස් කළ බැටළු මස් සහ මාළු ජාති ආදියයි. දුර බැහැරව සිටින පවුලේ සාමාජිකයන් වුණත් කොහොම හරි එදාට මෙම විශේෂ කෑමට සහභාගි වෙනවා. ජනවාරි 6වන දා තවත් කෑමක් පිළියෙල කර තිබෙනවා. ඒ අවස්ථාවේදී පවුලේ සාමාජිකයන් වළල්ලක හැඩැති කේක් එකක් කනවා. එයට කියන්නේ “රජවරුන්ගේ” කේක් එක කියායි. එම කේක් එක තුළ කුඩා රූපයක් සඟවා තිබෙනවා. රෝමවරුන්ගේ යුගයේදීද ඒ හා සමාන චාරිත්‍රයක් තිබුණා. ඒ කාලයේදී ඒ රූපය සඟවා තිබුණු කේක් කැබැල්ල දාසයෙකුට ලැබුණොත් ඔහුට වුවද දවසකට ඒ නිවසේ “රජ” වෙන්න අවස්ථාව ලැබුණා.

“අවුරුද්දේ ප්‍රීතිමත්ම හා වැඩ බහුලම කාලය”

විවිධ රටවල නත්තලට සම්බන්ධ නොයෙකුත් චාරිත්‍ර තිබෙන අතර, එය ලොව පුරාම වැදගත් උත්සවයක් බවට පත් වී තිබෙනවා. නත්තල් සමය “ලොව පුරා සිටින ක්‍රිස්තියානීන් හා ක්‍රිස්තියානීන් නොවන මිලියන ගණනකට අවුරුද්දේ ප්‍රීතිමත්ම හා වැඩ බහුලම කාලය” වන බව විශ්වකෝෂයක (The World Book Encyclopedia) සඳහන් වී තිබෙනවා. මෙවැනි උත්සවයක් සැමරීමෙන් ඇත්තටම ප්‍රයෝජනයක් තිබෙනවාද?

ක්‍රිස්තුස්ගේ උපත ඉතිහාසයේ ඇත්තටම සිදු වූ යමක් බව කවුරුත් සැක කරන්නේ නැහැ. ඔහුගේ උපත සිදු වූ අවස්ථාවේදී ‘මිහිපිට දේවප්‍රසාදය ලත් මිනිසුන්ට සමාදානය වේවා!’ යනුවෙන් දේවදූතයන් පැවසූ දෙයින් එහි වැදගත්කම පැහැදිලි වෙනවා.

කොහොම වුණත් ස්පාඤ්ඤයේ පුවත්පත්වලට ලිපි ලියන්නෙකු වන හුවන් ආර්යාස් කියන්නේ “ක්‍රිස්තියානි ධර්මය පටන්ගත් කාලයේදී ක්‍රිස්තු උපත උත්සවාකාරයෙන් සමරනු ලැබුවේ නැති” බවයි. ඔහු පවසන දේ සැබෑවක් නම්, මෙම උත්සවය පටන්ගත්තේ කොහොමද? යේසුස්වත් ඔහුගේ උපතත් සිහි කරන්න වඩාත් වැදගත් ක්‍රමයක් තිබෙනවාද? ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඔබට ඊළඟ ලිපියෙන් දැනගන්න පුළුවන්.

[පාදසටහන]

^ 8 ඡේ. “ගුප්ත විද්‍යාව, නක්ෂත්‍රය සහ වෛද්‍ය විද්‍යාව හැදෑරූ පූජක පන්තියක් ලෙසට මෙම ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ව පර්සියාවේ, මේදියාවේ සහ කල්දියාවේ පිළිගනු ලැබූ බව” එක්තරා පොතක (La Sagrada Escritura—Texto y comentario por profesores de la Compañía de Jesús) පැහැදිලි කර තිබෙනවා. එහෙත් ක්‍රි.ව. 500 සිට 1500 දක්වා කාලයේදී කුඩා යේසුස්ව බලන්න ගිය මෙම ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් සාන්තුවරුන් හැටියට පිළිගෙන ඔවුන්ට මෙල්කියෝර්, ගාස්පාර්, බාල්තාසාර් යන නම්ද දෙනු ලැබුවා. ඔවුන්ගේ දේහ ජර්මනියේ කොලෝන් දේවස්ථානයේ තැන්පත් කර ඇති බවට විශ්වාස කරනවා.