Skip to content

පටුනට යන්න

යේසුස් ක්‍රිස්තුස්ව මතක තබාගත යුත්තේ කොහොමද?

යේසුස් ක්‍රිස්තුස්ව මතක තබාගත යුත්තේ කොහොමද?

යේසුස් ක්‍රිස්තුස්ව මතක තබාගත යුත්තේ කොහොමද?

යේසුස් ක්‍රිස්තුස් “තරම් මිනිස් සංහතියට බලපෑමක් කළ වෙන කිසිවෙකු නැති තරම්ය.”—“The World Book Encyclopedia.”

සාමාන්‍යයෙන් උතුම් අයව මිනිසුන්ගේ මතකයේ රැඳෙන්නේ ඔවුන් කළ දේවල් නිසයි. යේසුස් සම්බන්ධයෙන් නම්, බොහෝදෙනෙකුගේ මතකයේ රැඳී තිබෙන්නේ ඔහුගේ උපත මිස ඔහු කළ දේවල් නෙවෙයි. ඒ ඇයි? ක්‍රිස්තියානි ධර්මය අදහන හැම රටකම පාහේ යේසුස්ගේ උපතට සම්බන්ධ සිදුවීම් ගැන බොහෝදෙනෙකුට හොඳ දැනුමක් තිබෙනවා. එනමුත් කන්ද උඩ දේශනාවේ ඔහු ඉගැන්වූ විශිෂ්ට දේවල් මතකයට නඟමින් ඒවා අදාළ කරගැනීමට උත්සාහ කරන්නේ කීයෙන් කීදෙනාද?

යේසුස්ගේ උපත ආශ්චර්යවත් එකක් වූ බව අප පිළිගත යුතුයි. නමුත් ඔහුගේ ගෝලයන් වැදගත් ලෙස සැලකුවේ ඔහු කළ දේවල් සහ ඉගැන්වූ දේවලුයි. මිනිස්සු යේසුස්ගේ උපත සමරනවා වෙනුවට වැඩිහිටියෙකු ලෙස ක්‍රිස්තුස් කළ දේවල් වඩා වැදගත් කොට සලකනවා දැකීමයි දෙවිට ඕනෑ වුණේ. එනමුත් නත්තල් උත්සවය සහ ඊට සම්බන්ධ ප්‍රබන්ධ කථාවල ප්‍රතිඵලයක් හැටියට ක්‍රිස්තු චරිතය යටපත් වී තිබෙනවා.

අප සැලකිල්ල යොමු කළ යුතු තවත් දෙයක් වන්නේ නත්තල් සමයේදී මිනිසුන් කරන දේවලුයි. දැන් නත්තල් සමය වෙළඳාමට වාසිදායක කාලයක් වෙලා. යේසුස් මෙලොවට නැවතත් පැමිණියා නම් ඔහු ඒ ගැන සතුටු වෙයිද? අවුරුදු දෙදාහකට පෙර යේසුස් යෙරුසලමේ දේවමාලිගාවට ගිය විට සිදු වූ දේ සලකා බලන්න. යුදෙව් ආගමික උත්සවයකින් අයුතු ප්‍රයෝජන ගත් මුදල් මාරු කරන්නන් සහ වෙළඳුන් දැක ඔහු කෝපයට පත් වුණා. “මේ දේවල් මෙතනින් ගෙන යන්න! මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳපොළක් කිරීම නවත්වන්න!” යයි ඔහු පැවසුවා. (යොහන් 2:13-16) ව්‍යාපාරික කටයුතු සමඟ ආගම මිශ්‍ර කිරීමට ඔහු කැමති වුණේ නැති බව මෙයින් පැහැදිලි වෙනවා.

නත්තල් සමය එන්න එන්නම වෙළඳාමට වාසිදායක කාලයක් වන නිසා ඒ ගැන ස්පාඤ්ඤයේ කතෝලික ධර්මයට ඉතා ලැදි බොහෝදෙනෙක් තම කනගාටුව පළ කරනවා. එහෙත් නත්තල් සමයේ නොයෙකුත් චාරිත්‍ර පටන්ගත් විදිහ සලකා බලද්දී මේ ගැන පුදුම විය යුතු නැහැ. හුවන් ආර්යාස් පැහැදිලි කරන්නේ මෙසේයි. “නත්තල් සමයේදී මිනිසුන් ‘මිථ්‍යාදෘෂ්ටික’ දේවලට හා විනෝදයට බර වී ඇති ආකාරයත්, ආගමික කටයුතුවලට වඩා ව්‍යාපාරික කටයුතුවලට නැඹුරු වී ඇති ආකාරයත් කිතු බැතියන් හෙළාදකිනවා වෙන්න පුළුවන්. නමුත් නත්තල් උත්සවය පටන්ගත්තේ රෝමයේ පැවති මිථ්‍යාදෘෂ්ටික [හිරු දෙවියාගේ] මංගල්‍යයේ නොයෙකුත් අංග සම්බන්ධ කරගැනීමෙන් බව වැඩිදෙනෙකු හරියට අවබෝධ කරගෙන නැහැ.”—El País, 2001 දෙසැම්බර් 24.

මෑතක සිට ස්පාඤ්ඤයේ වාර්තාකරුවන්ගේ ලිපිවල සහ සම්පාදනය කළ විශ්වකෝෂවල නත්තල් උත්සවයේ මිථ්‍යාදෘෂ්ටික ආභාසය ගැන සහ එය වෙළඳ කටයුතුවලට සම්බන්ධ වී ඇති ආකාරය ගැන අදහස් පළ වී තිබෙනවා. නත්තල පවත්වන දිනය ගැන එක්තරා විශ්වකෝෂයක (Enciclopedia de la Religión Católica) පැහැදිලිව සඳහන් වන්නේ මෙයයි. “සාමාන්‍යයෙන් රෝමානු කතෝලික සභාව මිථ්‍යාදෘෂ්ටික මංගල්‍යයක් වෙනුවට ක්‍රිස්තියානි උත්සවයක් සංවිධානය කිරීමට පුරුදු වී සිටිනවා. නත්තල් උත්සවයට දෙසැම්බර් 25 යන දිනය තෝරාගැනීමට හේතුව මෙය බව පෙනී යනවා. . . . ඒ කාලයේදී රෝමයේ සිටි මිථ්‍යාදෘෂ්ටිකයන් ‘නොමියෙන හිරුගේ’ උපත සැමරුවේ දෙසැම්බර් 25වන දා බව අප හොඳින් දන්නවා.”

තවත් විශ්වකෝෂයක මෙවැනි අදහසක් පළ වෙනවා. “නත්තල සැමරීමට දෙසැම්බර් 25වන දා තෝරාගැනීමට හේතුව එය යේසුස්ගේ උපත සිදු වූ නිවැරදි දිනය නිසා නෙවෙයි. එය රෝමයේ ශීත ඍතුවේදී පැවැත්වූ මංගල්‍යයක් ක්‍රිස්තියානි උත්සවයක් බවට හැරවීමට දැරූ උත්සාහයක ප්‍රතිඵලයක් බව පිළිගත යුතුයි.” ශීත ඍතුවේ හිරුගේ උපත සැමරීමට රෝමවරුන් මොන වගේ දේවල්ද කළේ? කමින් බොමින් විනෝද වෙමින් තෑගි බෝග හුවමාරු කරගැනීමයි. මෙය ඉතා ජනප්‍රිය මංගල්‍යයක් වූ නිසා එය නතර කර දැමීමට අකමැති වූ පූජකයන් එය ක්‍රිස්තියානි උත්සවයක් බවට හරවා හිරුගේ උපත වෙනුවට යේසුස්ගේ උපත එදිනට සැමරුවා.

මෙය ආරම්භ වූ කාලයේදී, එනම් හතරවන සහ පස්වන සියවස්වලදී හිරු නමස්කාරය හා එහි චාරිත්‍ර යටපත් කරන්න ලෙහෙසි වුණේ නැහැ. මිථ්‍යාදෘෂ්ටිකයන් මෙන් හිරුට ගරු බුහුමන් කරමින් දෙසැම්බර් 25වන දා සමරන්න එපා කියා කිතු බැතියන්ගෙන් ඉල්ලා සිටීමට කතෝලික “සාන්තුවරයෙකු” වූ ඔගස්ටින් (ක්‍රි.ව. 354-430) පියවර ගත්තා. වර්තමානයේ වුණත් ඉහළින්ම සලකන්නේ මෙම පුරාණ රෝම චාරිත්‍ර බව පෙනෙනවා.

විනෝදයට හා වෙළඳාමට හොඳම උත්සවය

කාලයාගේ ඇවෑමෙන් නත්තල් උත්සවය විනෝදයට සහ වෙළඳාමට ඉතා ජනප්‍රිය වූ ජාත්‍යන්තර උත්සවයක් බවට පත් වී තිබෙනවා. මෙයට හේතු සාධක බොහොමයක් තිබෙනවා. විශේෂයෙන් උතුරු යුරෝපයේ ශීත ඍතුවේ සමරනු ලබන උත්සවවලට අයිති චාරිත්‍ර ක්‍රමානුකූලව රෝමානු උත්සවයට ඇතුළත් කරනු ලැබුවා. * විසිවන සියවසේදීත් වෙළඳුන් සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මහත් ලාභයක් උපයා දිය හැකි ඕනෑම චාරිත්‍රයක් ජනප්‍රිය කරන්න උද්‍යෝගයෙන් කටයුතු කළා.

ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ගේ සිතේ ප්‍රධාන තැනක් ගෙන තිබෙන්නේ ක්‍රිස්තු චරිතය නොව ක්‍රිස්තු උපතයි. ක්‍රිස්තුස්ව සඳහන් කිරීම පවා බොහෝ නත්තල් උත්සවවලින් ගිලිහී ගොස් තිබෙනවා. “[නත්තල] මුළු ලෝකයම සමරන උත්සවයක්. එය පවුලක් වශයෙන් එකතු වී පවත්වන උත්සවයක්. එමනිසා සෑම කෙනෙක්ම එය සමරන්නේ තමාට කැමති කැමති විදිහටයි” කියා එල් පායිස් කියන ස්පාඤ්ඤ පුවත්පතක සඳහන් වුණා.

මෙයින් ස්පාඤ්ඤයේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවල් බොහොමයක වැඩි වැඩියෙන් දක්නට ලැබෙන ලක්ෂණයක් පැහැදිලි වෙනවා. එනම් නත්තල් උත්සවය ඉතා ඉහළින් සැමරුවත්, ක්‍රිස්තුස් ගැන මහජනයාට තිබෙන අවබෝධය එන්න එන්නම අඩු වී යෑමයි. කොටින්ම කිව්වොත් නත්තල් උත්සවය මුලදී රෝමයේ තිබුණු තත්වයටම පත් වී තිබෙනවා. දැන් මිනිසුන් කරන්නේ කමින් බොමින් විනෝද වෙමින් තෑගි බෝග හුවමාරු කරගැනීම පමණයි.

අපට ළදරුවෙක් උපන්නේය

සම්ප්‍රදායික නත්තල් උත්සවය සහ ක්‍රිස්තුස් අතර ඇත්තටම සම්බන්ධයක් නැති නිසා, සැබෑ ක්‍රිස්තියානීන් ක්‍රිස්තුස්ගේ උපත සහ ජීවිතය සැලකිය යුත්තේ කොහොමද? යේසුස්ගේ උපතට සියවස් හතකට පෙර යෙසායා නම් අනාගතවක්තෘ ඔහු ගැන මෙසේ පුරෝකථනය කළා. “අපට ළදරුවෙක් උපන්නේය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේය; ඔහුගේ කරපිට ආණ්ඩුව තිබෙන්නේය.” (යෙසායා 9:6) යේසුස්ගේ උපත සහ ඔහු කරනු ඇති දේවල් ඉතා වැදගත් වන බව යෙසායා ඇඟෙව්වේ ඇයි? යේසුස් බලවත් පාලකයෙකු වීමට නියමිත නිසයි. ඔහුට “සමාදානයේ කුමාරයා” යන නම ලැබෙන අතර ඔහුගේ පාලනයට සහ සමාදානයට කෙළවරක් තිබෙන්නේ නැහැ. ඔහු “යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද” පාලනය කරන බවත් එම අනාවැකියේ සඳහන් වෙනවා.—යෙසායා 9:7.

ගාබ්‍රියෙල් නම් දේවදූතයා යේසුස්ගේ උපත ගැන මරියාට දැනුම් දුන් විට යෙසායා පැවසූ මේ දේ තවත් සනාථ කළා. “ඔහු ශ්‍රේෂ්ඨ වන්නේය. ඔහුට මහෝත්තමයාණන්ගේ පුත්‍රයායයි කියනු ලබන්නේය. යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙන්නේය. ඔහු යාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන්නේය. ඔහුගේ රාජ්‍යය අවසන් නොවන්නේය.” (ලූක් 1:32, 33) යේසුස් මේ ලෝකයට උපන්නේ දේවරාජ්‍යයේ රජු ලෙස වැදගත් කාර්යයක් කිරීමට තිබූ නිසයි. යේසුස්ගේ උපත වැදගත් වන්නේ එමනිසයි. ක්‍රිස්තුස්ගේ පාලනයෙන් ඔබටත් ඔබේ පවුලටත් අනෙකුත් සියලුදෙනාටත් ප්‍රයෝජන ලැබිය හැකියි. ඔහු උපන් වේලාවේදී දේවදූතයන් පැවසුවෙත් “[දෙවිට] ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානය” වේවා කියායි.—ලූක් 2:14, පැරණි අනුවාදය.

සාමය සහ යුක්තිය රජයන ලෝකයක ජීවත් වන්න කවුද අකමැති? නමුත් ක්‍රිස්තුස්ගේ පාලනයෙන් ලැබෙන සාමය භුක්ති විඳීමට නම්, දෙවිව සතුටු කිරීමටත් ඔහු සමඟ කිට්ටු සම්බන්ධයක් පවත්වාගැනීමටත් අවශ්‍යයි. එවැනි සම්බන්ධයක් ඇති කරගැනීම සඳහා මුලින්ම කළ යුත්තේ දෙවි සහ ක්‍රිස්තුස් ගැන ඉගෙනගැනීම බව යේසුස් පැවසුවා. ඔහු පැවසුවේ “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය” කියායි.—යොහන් 17:3.

යේසුස් ගැන නිවැරදි අවබෝධයක් ලැබුවායින් පසුව, අප ඔහුව සිහි කළ යුත්තේ කෙසේද කියා අප හොඳින් දන්නවා. යේසුස්ව සිහි කළ යුත්තේ පුරාණ මිථ්‍යාදෘෂ්ටික මංගල්‍යයක් සමරනු ලැබූ දිනයකදීම කමින් බොමින් තෑගි හුවමාරු කරගැනීමෙන් නෙවෙයි. යේසුස් මිය යන්න කලින් රාත්‍රියේදී තමාව කුමන ආකාරයෙන් සිහි කළ යුතුද කියා තම ගෝලයන්ට පැවසුවා. “මාගේ ආඥා ලැබී ඇති තැනැත්තා ඒවා පවත්වනවා නම්, මට ප්‍රේම කරන්නේ ඔහුය. තවද, මට ප්‍රේම කරන්නාට මාගේ පියාණන් ප්‍රේම කරන අතර, මමද ඔහුට ප්‍රේම කොට, ඔහුට පැහැදිලිව ප්‍රකාශ වන්නෙමි.”—යොහන් 14:21.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ශුද්ධ ලියවිල්ල ගැඹුරින් අධ්‍යයනය කරන පිරිසක්. එමනිසා දෙවිගේ සහ යේසුස්ගේ ආඥා තේරුම්ගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. එම අතිවැදගත් ආඥා තේරුම්ගැනීමට ඔබට උපකාර කිරීමට ඔවුන් සතුටුයි. එවිට ඔබටත් හැකි වේවි යේසුස් කැමති ආකාරයට ඔහුව මතක තබාගන්න.

[පාදසටහන]

^ 11 ඡේ. මීට හොඳම උදාහරණ දෙකක් නම් නත්තල් ගස සහ නත්තල් සීයා.

[6, 7වන පිටුවේ කොටුව/පින්තූර]

කෑම බීම සහ තෑගි බෝග දීම බයිබලයේ හෙළාදැක තිබෙනවාද?

තෑගි බෝග දීම

තෑගි බෝග දීම හොඳ දෙයක් කියා බයිබලයේ පවසනවා. එහි යෙහෝවා දෙවිව හඳුන්වා තිබෙන්නේ “සෑම යහපත් දීමනාවක්ම හා සෑම සම්පූර්ණ ත්‍යාගයක්ම” සපයා දෙන තැනැත්තා හැටියටයි. (යාකොබ් 1:17) හොඳ දෙමාපියන් තම දරුවන්ට තෑගි දෙන බව යේසුස් පවා සඳහන් කළා. (ලූක් 11:11-13) අසනීප වී සිටි යෝබ් සුව වුණායින් පසු ඔහුගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයන් ඔහුට තෑගි බෝග දුන්නා. (යෝබ් 42:11) මෙලෙස තෑගි දීමට විශේෂ උත්සව දිනයක් අවශ්‍ය වුණේ නැහැ. ඒවා සතුටු සිතින් දෙනු ලැබුවා.—2 කොරින්ති 9:7.

පවුලේ සාමාජිකයන් එකතු වීම

පවුලේ සාමාජිකයන් එකම නිවසේ ජීවත් නොවනවා නම්, පවුලේ සාමාජිකයන් එකතු වීමෙන් ඔවුන් අතර තිබෙන එකමුතුකම තවත් ශක්තිමත් වනවා. යේසුස් සහ ඔහුගේ ගෝලයන් කානා නුවර පැවැත්වූ විවාහ මංගල්‍යයකට සහභාගි වුණා. එහිදී පවුල් සාමාජිකයන් සහ මිතුරන් සෑහෙන පිරිසක් එකතු වී සිටින්න ඇති. (යොහන් 2:1-10) නාස්තිකාර පුත්‍රයා පිළිබඳව යේසුස් දුන් උපමාවේ ඒ පුතා නැවතත් නිවසට පැමිණි විට පියා පවුලේ සාමාජිකයන්ට භෝජන සංග්‍රහයක් පිළියෙල කළා. ඊට සංගීතය සහ නැටුම්ද ඇතුළත් වුණා.—ලූක් 15:21-25.

හොඳ ආහාරයක් භුක්ති විඳීම

දෙවිගේ සේවකයන් නිතරම පාහේ පවුලේ සාමාජිකයන්, මිතුරන් හෝ සෙසු ඇදහිලිවන්තයන් සමඟ හොඳ ආහාරයක් භුක්ති වින්ද ආකාරය ගැන බයිබලයේ සඳහන් කරනවා. ආබ්‍රහම්ව බැහැදැකීමට දේවදූතයන් තුන්දෙනෙක් පැමිණි විට, හරක් මස්, කිරි, වෙඬරු සහ රොටි ඇතුළත් භෝජන සංග්‍රහයක් ඔහු පිළියෙල කළා. (උත්පත්ති 18:6-8) “කා බී ප්‍රීතිවීම” දෙවිගෙන් ලද දීමනාවක් බව සලමොන්ද පැවසුවා.—දේශනාකාරයා 3:13; 8:15.

එසේනම් අප මිතුරන් සහ පවුලේ සාමාජිකයන් සමඟ එකතු වී හොඳ ආහාරයක් භුක්ති විඳීම සහ තෑගි බෝග හුවමාරු කරගැනීම දෙවි අකමැති දෙයක් නොවන බව පැහැදිලියි. අපට අවුරුද්දේ ඕනෑම අවස්ථාවකදී ඒ දේවල් කරන්න පුළුවන්.