Skip to content

පටුනට යන්න

ඔබ යෙහෝවාගේ උපකාර පිළිගන්නවාද?

ඔබ යෙහෝවාගේ උපකාර පිළිගන්නවාද?

ඔබ යෙහෝවාගේ උපකාර පිළිගන්නවාද?

“යෙහෝවා මාගේ උපකාරකයාය. මම භය නොවෙමි.”—හෙබ්‍රෙව් 13:6.

1, 2. අපගේ ජීවිතයට යෙහෝවාගේ උපකාර පිළිගැනීම වැදගත් වන්නේ ඇයි?

ඔබ දුෂ්කර අඩි පාරක් දිගේ කන්දක් නඟිමින් සිටිනවායයි සිතන්න. ඔබ සමඟ එම ගමන යන්නත්, ඔබට මඟ පෙන්වන්නත් කෙනෙක් ඉදිරිපත් වී සිටිනවා. ඔහු තමයි සිටින හොඳම මඟ පෙන්වන්නා. ඔබට වඩා ඔහුට අද්දැකීම් තිබෙනවා. ඒ වගේම ඔහු ඉතා ශක්ති සම්පන්න කෙනෙක්. ඒ වුණත් ඔහු ඔබ සමඟ ඉතා ඉවසිල්ලෙන් ගමන් කරනවා. ඔහු දකිනවා ඔබ ඉඳ හිට පැකිළී වැටෙන හැටි. ඔබ ගැන සිතන ඔහු ඉතා අනතුරුදායක අවස්ථාවලදී ඔබට අත දී ඔබේ උදව්වට එනවා. එම උපකාර ඔබ ප්‍රතික්ෂේප කරනවාද? කොහෙත්ම නැහැ! මන්ද ඔබේ ජීවිතය තිබෙන්නේ අනතුරේ.

2 ක්‍රිස්තියානීන් හැටියට අපටත් යෑමට තිබෙන්නේ අවහිර පාරක් ඔස්සේ දුෂ්කර ගමනක්. අප එම පාරේ තනිවම ගමන් කළ යුතුද? (මතෙව් 7:14) නැහැ. මඟ පෙන්වීම් සැපයීමට සුදුසුම තැනැත්තා වන යෙහෝවා දෙවි තමන් සමඟ ගමන් කිරීමට මිනිසුන්ට ඉඩහරින බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 5:24; 6:9) මෙම ගමනෙහි යෙදෙන විට යෙහෝවා තම සේවකයන්ට උපකාර කරනවාද? යෙහෝවා දෙවි මෙසේ පවසනවා. “ඔබේ දෙවි වූ යෙහෝවා වූ මම කතා කොට: භය නොවන්න; ඔබට පිහිට වන්නෙමියි කියමින් ඔබේ දකුණත අල්ලන්නෙමි.” (යෙසායා 41:13) ඉහත සඳහන් උදාහරණයේ මඟ පෙන්වීම් සපයා දුන් තැනැත්තා මෙන් යෙහෝවා තමන් සමඟ ගමන් කිරීමට කැමති සියලුදෙනාටම කාරුණිකව අත හිත දෙනවා. එවැනි ප්‍රේමණීය උපකාරයක් ප්‍රතික්ෂේප කිරීමට අපගෙන් කාටවත් වුවමනා වන්නේ නැහැ.

3. මෙම ලිපිය තුළින් අපි සලකා බලන්නේ කවර ප්‍රශ්නද?

3 කලින් ලිපියේ, අපි සාකච්ඡා කළා පුරාණයේ සිටි තම සේවකයන්ට යෙහෝවා උපකාර කළ ආකාර හතරක් ගැන. ඔහු අද දිනත් තම සේවකයන්ට එවැනිම උපකාර සපයනවාද? අප ඇත්තටම ඔහු ලබා දෙන එවැනි උපකාර පිළිගන්නවාද කියා ස්ථිර විය හැක්කේ කොහොමද? අපි දැන් එම ප්‍රශ්න සලකා බලමු. එසේ කිරීමෙන් යෙහෝවා සැබවින්ම අපට උපකාර කරන බවට වූ අපගේ විශ්වාසය තවත් තහවුරු කරගන්න පුළුවන්.—හෙබ්‍රෙව් 13:6.

දේවදූතයන්ගෙන් උපකාර

4. දේවදූතයන් තමන්ට උපකාර කරයි කියා අද දින දෙවිගේ සේවකයන්ට මහත් විශ්වාසයක් ඇති කරගත හැක්කේ ඇයි?

4 අද දින යෙහෝවාගේ සේවකයන්ට දේවදූතයන් උපකාර කරනවාද? ඔව්, අනිවාර්යයෙන්ම. එහෙත් අද දින සැබෑ නමස්කාරකයන්ව අන්තරායන්ගෙන් ගලවාගැනීමට ඔවුන් මිනිස් වෙස් ගන්නේ නැහැ. පුරාණයේ විසූ දෙවිගේ සේවකයන්ට උපකාර කරන්න ඔවුන් මිනිස් වෙස් ගත්තේ කලාතුරකිනුයි. එදා මෙන්ම අදත් ඔවුන් කරන වැඩකටයුතු බොහොමයක් මිනිසුන්ට පෙනෙන්නේ නැහැ. කොහොම වුණත් තමන්ට උපකාර කරන්න දේවදූතයන් සිටි බව දෙවිගේ සේවකයන් දැනගත් විට ඔවුන් ලැබුවේ මහත් දිරිගැන්වීමක්. (2 රාජාවලිය 6:14-17) අපට පුළුවන් එවැනිම දිරිගැන්වීමක් ලබන්න.

5. අද දින දේශනා කිරීමේ කාර්යයට දේවදූතයන් සම්බන්ධ බව බයිබලය පැහැදිලි කරන්නේ කොහොමද?

5 යෙහෝවාගේ දේවදූතයන් විශේෂයෙන්ම උනන්දු වන්නේ අපත් සම්බන්ධ වී සිටින විශේෂ කාර්යයක් ගැනයි. එළිදරව් 14:6හි ඒ කාර්යය ගැන මෙසේ සඳහන් වෙනවා. “මම තවත් දේවදූතයෙකු දුටිමි. අහස මැද පියාසර කරමින් සිටි ඔහුට, පොළොවේ වාසය කරන අයටත්, සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ප්‍රීතිමත් පණිවුඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් තිබිණ.” මෙම “සදාකාල ශුභාරංචිය” ‘රාජ්‍යයේ ශුභාරංචියට’ සම්බන්ධ බව පැහැදිලියි. ඒ ශුභාරංචිය “සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය” කියා යේසුස් පුරෝකථනය කළා. මෙම සමාජ ක්‍රමයේ අවසානය පැමිණෙන්නේ ඉන් අනතුරුවයි. (මතෙව් 24:14) දේවදූතයන් කෙළින්ම දේශනා කිරීමේ කාර්යයට සහභාගි වන්නේ නැහැ. යේසුස් එම වැදගත් පැවරුම භාර දුන්නේ මිනිසුන්ටයි. (මතෙව් 28:19, 20) එම පැවරුම ඉටු කිරීමට අප උත්සාහ කරද්දී, ප්‍රඥාවෙන් හා බලයෙන් පූර්ණ ශුද්ධ දේවදූතයන් අපට උපකාර කරන බව දැන සිටීම දිරිගැන්වීමක් නොවෙයිද?

6, 7. (අ) අපගේ දේශනා කිරීමේ කාර්යයට දේවදූතයන්ගේ සහයෝගය ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද? (ආ) දේවදූතයන්ගේ උපකාර අපට නිසැකවම ලැබෙයි කියා අපට ස්ථිර විය හැක්කේ කෙලෙසද?

6 දේවදූතයන් අපගේ දේශනා කිරීමේ කාර්යයට අත හිත දෙන බවට සෑහෙන සාක්ෂි තිබෙනවා. උදාහරණයකට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සේවයේ යෙදෙන විට සත්‍යය සෙවීමට උපකාර ඉල්ලා යාච්ඤා කළ පුද්ගලයෙකුව හමු වූ ආකාරය ගැන අපට බොහෝවිට දැනගන්න ලැබෙනවා. මෙවැනි දේවල් සිදු වන්නේ අහම්බෙන් නෙවෙයි. මින් අපට පැහැදිලිව පෙනෙන්නේ දේවදූතයන් ඇත්තටම උපකාර කරන බවයි. “දෙවිට භය ඇතිව සිටින්න. ඔහුව මහිමයට පත් කරන්න” කියා ‘අහස මැද පියාසර කරමින් සිටි දේවදූතයා’ කියූ දේ කිරීමට වැඩි ජන පිරිසක් ඉගෙනගනිමින් සිටින්නේ දේවදූතයන්ගේ උපකාරයේ ප්‍රතිඵලයක් ලෙසයි.—එළිදරව් 14:7.

7 යෙහෝවාගේ බලවත් දේවදූතයන්ගේ උපකාර ලබන්න ඔබත් කැමතිද? එසේනම් දේවසේවයෙහි ඔබේ උපරිමය කිරීමට වෑයම් කරන්න. (1 කොරින්ති 15:58) යෙහෝවාගෙන් ලැබී තිබෙන මෙම විශේෂ පැවරුම අප කැමැත්තෙන් ඉටු කරද්දී දේවදූතයන්ගේ උපකාර අපට නිසැකවම ලැබෙයි.

අග්‍රදේවදූතයාගෙන් උපකාර

8. ස්වර්ගයේ සිටින යේසුස්ට තිබෙන්නේ මොන වගේ උතුම් තනතුරක්ද? මෙය අපට සහනයක් ගෙන දෙන්නේ ඇයි?

8 යෙහෝවා එක්තරා දේවදූතයෙකු මගින් තවත් විශේෂ ආකාරයකින් උපකාර සපයනවා. එළිදරව් 10:1හි ඔහුව විස්තර කර ඇත්තේ හිරුට සමාන මුහුණක් ඇති “ශක්තිමත් දේවදූතයෙකු” ලෙසයි. දර්ශනයෙන් පෙනී සිටි මෙම දේවදූතයා ස්වර්ගික බලයෙන් පූර්ණ වූ තේජසට පත් යේසුස් ක්‍රිස්තුස් බව පැහැදිලියි. (එළිදරව් 1:13, 16) එහෙත් යේසුස්ට දේවදූතයෙකු කියා කියන්න පුළුවන්ද? ඔව් කියන්න පුළුවන්. හේතුව ඔහු අග්‍රදේවදූතයා වන නිසයි. (1 තෙසලෝනික 4:16) අග්‍රදේවදූතයා යන වචනයේ තේරුම මොකක්ද? එහි තේරුම “දේවදූතයන්ගේ ප්‍රධානියා” යන්නයි. යෙහෝවාගේ ස්වර්ගික පුත්‍රයන්ගෙන් බලවත්ම තැනැත්තා යේසුස්. දේවදූත සේනාවේ ප්‍රධානියා හැටියට යෙහෝවා පත් කර තිබෙන්නේ ඔහුවයි. ඇත්තෙන්ම මෙම අග්‍රදේවදූතයා සපයන උපකාර ඉතා ප්‍රබලයි. එසේ පවසන්නේ ඇයි?

9, 10. (අ) අප පව් කරන විට යේසුස් අපගේ ‘උපකාරකයා’ වන්නේ කොහොමද? (ආ) යේසුස්ගේ ආදර්ශය අපට උපකාර කරන්නේ කොහොමද?

9 මහලු ප්‍රේරිත යොහන් ලිව්වේ මේ ආකාරයටයි. “යමෙකු පාපයක් කළොත්, පියාණන් සමඟ සිටින උපකාරකයෙක් අපට සිටින්නේය. ඒ, ධර්මිෂ්ඨ තැනැත්තෙක් වන යේසුස් ක්‍රිස්තුස්ය.” (1 යොහන් 2:1) අප “පාපයක්” කළත් යේසුස් අපගේ ‘උපකාරකයා’ කියා යොහන් පැවසුවේ ඇයි? අප දිනපතාම පව් කරන නිසා, එහි ප්‍රතිඵලය මරණයයි. (දේශනාකාරයා 7:20; රෝම 6:23) නමුත් අපගේ පව් වෙනුවෙන් යේසුස් තමාගේ ජීවිතය පූජා කළා. අප වෙනුවෙන් කන්නලව් කරන්න ඔහු අපගේ දයාන්විත පියාණන් ළඟ සිටිනවා. එවැනි උපකාර අප සියලුදෙනාටම අවශ්‍යයි. අපට එය පිළිගත හැක්කේ කොහොමද? අප කරන පව් ගැන පසුතැවිලි වී යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන සමාව ලබාගැනීමට උත්සාහ කිරීමෙනුයි. ඒ වගේම අප කලින් කළ පව් නැවත නොකිරීමද වැදගත්.

10 යේසුස් අප වෙනුවෙන් තම ජීවිතය පූජා කළා පමණක් නොවෙයි, අපට හොඳ ආදර්ශයක්ද දුන්නා. (1 පේතෘස් 2:21) අපගේ ජීවිතය සකස් කරගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් ඔහුගේ ආදර්ශයෙන් අපට ලැබෙනවා. එවිට බරපතළ පව්වලින් වැළකී යෙහෝවා දෙවිව සතුටු කිරීමට අපට හැකි වෙනවා. අපට මෙලෙස උපකාර ලැබෙන නිසා අප සතුටු වන්නේ නැද්ද? තම අනුගාමිකයන්ට උපකාර කරන්න තවත් දෙයක් සපයන බව යේසුස් පොරොන්දු වුණා.

ශුද්ධාත්මයෙන් ලැබෙන උපකාර

11, 12. යෙහෝවාගේ ශුද්ධාත්මය යනු කුමක්ද? එය කොතරම් බලවත්ද? අපට එය අද දින අවශ්‍ය වන්නේ මන්ද?

11 “මම පියාණන්ගෙන් ඉල්ලන්නෙමි. එවිට ඔබ සමඟ සදහටම සිටින වෙනත් උපකාරකයෙකුව ඔහු ඔබට දෙන්නේය. ඒ සත්‍යතාවේ ආත්මයය. එය ලබාගැනීමට ලෝකයට” නොහැකියි කියා යේසුස් පොරොන්දු වුණා. (යොහන් 14:16, 17) මෙම “සත්‍යතාවේ ආත්මය” එනම් ශුද්ධාත්මය පුද්ගලයෙකු නෙවෙයි, බලවේගයක්. එය යෙහෝවාගේ ක්‍රියාකාරී බලයයි. එහි බලයට සීමාවක් නැහැ. විශ්වය මැවීමට, ආශ්චර්යයන් සිදු කිරීමට හා තම කැමැත්ත හෙළි කරන දර්ශන සැපයීමට යෙහෝවා යොදාගත්තේ එම බලයයි. අද දින ඒ විශේෂ වූ ආකාරවලින් යෙහෝවා තම ශුද්ධාත්මය යොදාගන්නේ නැති නිසා අපට එය අවශ්‍ය නැති බව කියන්න පුළුවන්ද?

12 අපට එය අවශ්‍යමයි. “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක” මෙම කාලවලදී අපට යෙහෝවාගේ ශුද්ධාත්මය අත්‍යවශ්‍යයි. (2 තිමෝති 3:1) පීඩාවලට මුහුණ දෙන්න එයින් අපට ශක්තිය ලැබෙනවා. එමගින් අපට දියුණු කරගන්න පුළුවන් කදිම ගුණාංග නිසා අපට යෙහෝවාටත් අපගේ ආත්මික සහෝදර සහෝදරියන්ටත් තව තවත් ළං වෙන්න පුළුවන්. (ගලාති 5:22, 23) යෙහෝවාගෙන් ලැබෙන මෙම කදිම උපකාරයෙන් අපට ප්‍රයෝජන ගත හැක්කේ කොහොමද?

13, 14. (අ) යෙහෝවා කැමැත්තෙන් තම සෙනඟට ශුද්ධාත්මය ලබා දෙන බව අපට ස්ථිර විය හැක්කේ ඇයි? (ආ) අප ඇත්තටම ශුද්ධාත්මය නමැති ත්‍යාගය පිළි නොගන්නා බව පෙන්විය හැක්කේ කිනම් ක්‍රියාකලාපයකින්ද?

13 මුලින්ම අප කළ යුත්තේ ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කිරීමයි. යේසුස් පැවසුවේ මෙසේයි. “එබැවින්, ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය දෙනු ඇද්ද!” (ලූක් 11:13) අපට සිටිය හැකි හොඳම පියාණන් යෙහෝවා දෙවියි. අප ඇදහිල්ල ඇතුව අවංකව ශුද්ධාත්මය ඉල්ලා සිටිනවා නම් ඔහු එම ත්‍යාගය අපට අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ප්‍රශ්නය නම් අප ඔහුගෙන් ශුද්ධාත්මය ඉල්ලනවාද යන්නයි. දිනපතා අපගේ යාච්ඤාවලදී ශුද්ධාත්මය ඉල්ලා සිටීමට හොඳ හේතු තිබෙනවා.

14 දෙවනුව අප එම ත්‍යාගය පිළිගන්නේ ඊට එකඟව ක්‍රියා කිරීමෙනුයි. උදාහරණයකට කාමුක දර්ශන නැරඹීමේ ආශාව නැති කිරීමට ක්‍රිස්තියානියෙක් පොරබදනවා. මෙම පිළිකුල්සහගත පුරුද්ද අත්හැරීමට ශුද්ධාත්මයේ උපකාර ඉල්ලා ඔහු යාච්ඤා කර තිබෙනවා. ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ උපදෙසුත් ඔහු පතා තිබෙනවා. ඔවුන් ඔහුට අවවාද කර තිබෙන්නේ දැඩි පියවර ගත යුතු බවයි. එනම් එවැනි දූෂිත දේවලට කිට්ටු වෙන්නවත් එපා කියායි. (මතෙව් 5:29) ඔවුන් දුන් උපදෙස් නොසලකාහැර, කාමුක දර්ශන දිගටම නරඹනවා නම් මොනවා වෙයිද? ශුද්ධාත්මයේ උපකාර ඉල්ලා ඔහු කළ යාච්ඤාවට එකඟව ඔහු ක්‍රියා කරනවා කියා කියන්න පුළුවන්ද? එසේ නැතහොත් දෙවිගේ ශුද්ධාත්මයට දුක් දීමෙන් එම ත්‍යාගය අහිමි කරගැනීමේ අනතුරුදායක තත්වයට ඔහු පත් වෙමින් සිටිනවාද? (එෆීස 4:30) යෙහෝවාගෙන් ලැබෙන මෙම කදිම උපකාර දිගටම ලබාගන්න අපි සියලුදෙනාම අපට කළ හැකි උපරිමය කළ යුතුයි.

දේවවචනයෙන් උපකාර

15. බයිබලය සුළු කොට සලකන්නේ නැති බව අප පෙන්වන්නේ කොහොමද?

15 සියවස් ගණනාවක් පුරා යෙහෝවාට විශ්වාසවන්තව සේවය කර ඇති අයට බයිබලයෙන් බොහෝ උපකාර ලැබී තිබෙනවා. ඉතින් අපිත් ශුද්ධ ලියවිල්ල සුළු කොට සලකනවා වෙනුවට එයින් ලැබෙන උපකාර කොතරම් බලගතුද කියා සිහියේ තබාගත යුතුයි. ඒ උපකාර පිළිගැනීමට අපගේ පැත්තෙන් වෑයමක් අවශ්‍යයි. ඒ සඳහා නිතිපතා බයිබලය කියවීම අපගේ පුරුද්දක් කරගත යුතුයි.

16, 17. (අ) දෙවිගේ නීතිය කියවීමෙන් ලැබෙන ප්‍රයෝජන ගීතාවලිය 1:2, 3හි විස්තර කර තිබෙන්නේ කොහොමද? (ආ) වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ අවශ්‍යතාව ගීතාවලිය 1:3හි විස්තර කර තිබෙන්නේ කොහොමද?

16 දෙවිව සතුටු කරන පුද්ගලයෙකුව ගීතාවලිය 1:2, 3හි විස්තර කර තිබෙන්නේ මෙලෙසයි. “ඔහුගේ ප්‍රීතිය යෙහෝවාගේ ව්‍යවස්ථාව [හෙවත් නීතිය] කෙරෙහිය; ඔහු රෑ දාවල් ඔහුගේ ව්‍යවස්ථාව [හෙවත් නීතිය] මෙනෙහි කරයි. ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ නියම කලට පල දෙන්නාවූ නොමැලවෙන කොළ ඇත්තාවූ ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සපල වන්නේය.” මෙම පදවල නියම අදහස ඔබට තේරෙනවාද? මෙම පද කියවද්දී පහසුවෙන් අපගේ සිතේ මැවෙන්නේ ගඟක් ළඟ සරුවට වැඩී තිබෙන විශාල ගසක පින්තූරයක්. එය කොතරම් ලස්සන දර්ශනයක්ද! ඒ ගස යට මදකට හාන්සි වී වෙහෙස නිවාගැනීමට තිබුණා නම්! එහෙත් ඒ ගීතිකාවෙන් කියන්නේ අපට වෙහෙස නිවාගැනීම ගැන සිතන්නට කියා නෙවෙයි. ඇත්තටම අපගේ සිතේ මැවිය යුත්තේ ඊට හාත්පසින්ම වෙනස් චිත්‍රයක්! මෙම ගීතිකාවේ සඳහන් වන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම ගැනයි. ඒ කොහොමද?

17 මෙහි සඳහන් වන ගස ගඟක් ළඟ ඉබේ වැවෙන විශාල ගසක් නොවෙයි. එය යම් කෙනෙකු විසින් නිශ්චිත ස්ථානයක එනම් “දිය ඇළවල් ළඟ” පැළ කළාවූ පල දරන ගසක්. එක ගසක් දිය ඇළවල් කිහිපයක් ළඟ වැවෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් පලතුරු උයනක අයිතිකරු මුල්වලට වතුර පහසුවෙන් උරාගන්න පුළුවන් වන ආකාරයට කානු කිහිපයක්ම කපනවා. දැන් ඔබට පැහැදිලිද මෙම පදවල සැබෑ අර්ථය? අපි ආත්මික අර්ථයකින් ඒ ගසට සමානව සරුවට වැඩෙනවා නම්, එයට හේතුව වන්නේ අප වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කර තිබීමයි. අප සම්බන්ධ වී සිටින්නේ සත්‍යය නමැති පිරිසිදු ජලය අපට පහසුවෙන්ම ලබා දෙන සංවිධානයකටයි. මෙම වටිනා ජලය උරාගැනීමට නම් අපගේ පැත්තෙනුත් යම්කිසි දෙයක් ඉටු විය යුතුයි. දේවවචනයේ තිබෙන සත්‍යතා අපගේ සිත් තුළ පැළපදියම් කිරීම සඳහා ඒ ගැන මෙනෙහි කිරීම හා පර්යේෂණ කිරීම අවශ්‍යයි. එසේ කිරීමෙන් අපිටත් හොඳ පල නිපදවන්න පුළුවන්.

18. අපගේ ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර ලබාගැනීමට අවශ්‍ය වන්නේ මොකක්ද?

18 බයිබලය කියවන්නේ නැත්නම් එයින් කිසි ප්‍රයෝජනයක් අපට ලැබෙන්නේ නැහැ. එයට යම් ගුප්ත බලයකුත් නැහැ. ඉතින් ඇස් වසාගෙන අහම්බෙන් පිටුවකට පෙරළීමෙන් අපගේ ප්‍රශ්නයකට උත්තරයක් මතු වෙයි කියා සිතාගන්න බැහැ. අපට තීරණ ගන්න සිදු වෙද්දී, නිධානයක් සොයනවා වගේ අප “දෙවි ගැන දැනගැන්ම” සෙවීමට උත්සාහයක් දැරිය යුතුයි. (හිතෝපදේශ 2:1-5) අපට විශේෂයෙන්ම අදාළ වන උපදෙස් ශුද්ධ ලියවිල්ලෙන් ලබාගැනීමට බොහෝවිට මහත් උත්සාහයක් දරා හොඳින් පර්යේෂණ කිරීම අවශ්‍යයි. අපට උපකාර කරන්න බයිබලය ආධාර කොටගෙන සකසා තිබෙන පොත් පත් බොහොමයක් තිබෙනවා. දේවවචනයේ තිබෙන මැණික් වැනි වටිනා අදහස් සෙවීමට අප එම පොත් පත් උනන්දුවෙන් හදාරද්දී, අප යෙහෝවා ලබා දෙන උපකාරවලින් ප්‍රයෝජන ගන්නවා කියා පැවසිය හැකියි.

සෙසු ඇදහිලිවන්තයන්ගෙන් උපකාර

19. (අ) මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල තිබෙන ලිපි සෙසු ඇදහිලිවන්තයන්ගෙන් ලැබෙන උපකාර ලෙස සැලකිය හැක්කේ ඇයි? (ආ) අපගේ සඟරාවල ලිපියකින් ඔබට උපකාර ලැබුණු ආකාරය විස්තර කරන්න පුළුවන්ද?

19 අතීතයේ සිටි යෙහෝවාගේ සේවකයන් එකිනෙකාට උපකාර කළා. මෙවැනි උපකාර ලබා දීම සම්බන්ධයෙන් යෙහෝවා වෙනස් වී ඇතැයි අප සිතිය යුතුද? සෙසු ඇදහිලිවන්තයන්ගෙන් සුදුසු වේලාවට අපට අවශ්‍ය නියම උපකාර ලැබුණු අවස්ථා ගැන අපට අනිවාර්යයෙන්ම මතක් වෙනවා ඇති. උදාහරණයකට ඔබට යම් සහනයක් අවශ්‍ය වූ අවස්ථාවකදී හෝ යම් ගැටලුවක් විසඳීමට උපකාර අවශ්‍ය වූ අවස්ථාවකදී හෝ ඔබේ ඇදහිල්ලට එල්ල වූ අභියෝගයට මුහුණ දෙන්න ශක්තිය අවශ්‍ය වූ අවස්ථාවකදී හෝ මුරටැඹ හෝ පිබිදෙව්! සඟරාවක ලිපියක් තුළින් එම උපකාර ලැබූ අවස්ථාවක් ඔබට මතකද? යෙහෝවා ඒ උපකාර ඔබට ලබා දුන්නේ “නියම වේලාවට ආහාර දෙන පිණිස” පත් කර තිබෙන “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” තුළිනුයි.—මතෙව් 24:45-47.

20. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් තමන් “තෑගි වශයෙන්” දී ඇති “පුරුෂයන්” බව ඔප්පු කරන්නේ කොහොමද?

20 බොහෝවිට අපට සෙසු ඇදහිලිවන්තයන්ගෙන් කෙළින්ම උපකාර ලැබෙනවා. උදාහරණයකට ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් අපගේ සිතට කාවදින කතාවක් ඉදිරිපත් කරනවා විය හැකියි. එසේ නැතහොත් අප යම් පීඩනයකට මුහුණ දෙන විට ඔහු අපව බැහැදැකීමට පැමිණෙනවා විය හැකියි. නැත්නම් අපගේ යම් දුර්වලකමක් හඳුනාගෙන එයින් ගොඩ එන්න ඔහු අපට කාරුණිකව උපදෙස් දෙන්න පුළුවන්. වැඩිමහල්ලෙකු තමාට දුන් උපකාර ගැන එක සහෝදරියක් ස්තුතිපූර්වකව මෙහෙම ලිව්වා. “ඔහු සමඟ ක්ෂේත්‍ර සේවයේ ගිය අවස්ථාවකදී, ඔහු මා සමඟ කතා කරමින් මගේ සිතේ තිබුණු බර සැහැල්ලු කළා. මගේ සිතේ තිබුණු බර සැහැල්ලු කර දෙන්න කියා මා යෙහෝවාගෙන් ඉල්ලුවේ ඊට කලින් රාත්‍රියේදියි. ඊළඟ දවසේ තමයි මේ සහෝදරයා මාත් එක්ක කරුණාවන්තව කතා කළේ. බොහෝ කාලයක් තිස්සේ යෙහෝවා මට උපකාර කරමින් සිටි ආකාරය තේරුම්ගන්න ඔහු මට උපකාර කළා. මේ වැඩිමහල් සහෝදරයාගේ උපකාර මට ලබා දුන්නාට මම යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා.” ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ප්‍රේමණීයව මෙවැනි උපකාර සැපයීමෙන් තමන් “තෑගි වශයෙන්” යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් යෙහෝවා දෙවි ලබා දී තිබෙන “පුරුෂයන්” බව ඔප්පු කරනවා. ජීවනය කරා යන මාර්ගයෙහි විඳදරාගැනීමෙන් යුතුව ගමන් කිරීමට මෙය උපකාරවත් වෙනවා.—එෆීස 4:8.

21, 22. (අ) සභාවේ සාමාජිකයන් ෆිලිප්පි 2:4හි තිබෙන උපදෙස් අදාළ කරගන්නා විට ඇති වන ප්‍රතිඵලය මොකක්ද? (ආ) සුළු සුළු ආකාරවලින් වුවද කරුණාවන්ත ක්‍රියා කිරීම වැදගත් වන්නේ ඇයි?

21 “ඔබේම කාරණා ගැන පමණක් නොව, අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක් දක්වන්න” යන දිව්‍ය ආඥාව අදාළ කරගැනීමට වැඩිමහල්ලන් පමණක් නොව සෑම විශ්වාසවන්ත ක්‍රිස්තියානියෙකුම උත්සුක විය යුතුයි. (ෆිලිප්පි 2:4) ක්‍රිස්තියානි සාමාජිකයන් එම උපදෙස අදාළ කරගන්නා විට ඔවුන් අතින් කරුණාවන්ත ක්‍රියා බොහොමයක් සිදු වෙනවා. උදාහරණයක් හැටියට එක් පවුලකට ඉතා ඛේදනීය දෙයක් සිදු වුණා. ඒ පවුලේ පියා සහ ළාබාල දියණිය සාප්පු ගියා. ගෙදර යන අතරතුරේදී ඔවුන් අනතුරකට ලක් වුණා. දියණිය මිය ගියා. පියාට බරපතළ තුවාල සිද්ධ වුණා. පියා රෝහලෙන් ගෙදර පැමිණි විට ඔහුට තනිව කිසිවක් කරගන්න බැරි වුණා. ඔහුගේ භාර්යාව කොතරම් දුකකින් සිටියාද කිවහොත් තනිව ඔහුට සාත්තු කරන්න ඇයට හැකියාව තිබුණේ නැහැ. ඉතින් සභාවේ සිටි එක්තරා විවාහක යුවළක් ඔවුන්ව තමන්ගේ නිවසට ගෙන ගොස් සති ගණනාවකට ඔවුන්ව බලාගත්තා.

22 නමුත් කරුණාවන්තකම දැක්වීම මෙවැනි ඛේදනීය අවස්ථාවලට පමණක් සීමා වී නැහැ. සමහර අවස්ථාවලදී අපට සුළු සුළු ආකාරවලිනුත් උපකාර ලැබෙනවා. ඒ උපකාර කොතරම් සුළු වුණත් අපි ඒ ගැන අනිවාර්යයෙන්ම සතුටු වෙනවා. ඔබට මතකද සහෝදරයෙක් හෝ සහෝදරියක් ඔබට කරුණාවන්තව පැවසූ දෙයක් හෝ කළ දෙයක් ගැන? මෙවැනි ආකාරවලිනුත් අපි යෙහෝවාගේ සැලකිල්ල අද්දකිනවා.—හිතෝපදේශ 17:17; 18:24.

23. එකිනෙකාට උපකාර කරන්න අප උත්සාහ කරද්දී යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?

23 අන් අයට උපකාර කිරීමට යෙහෝවා ඔබව යොදාගන්නවාට ඔබ කැමතිද? එම විශේෂ අවස්ථාව ඔබටත් තිබෙනවා. ඔබ එසේ කිරීමට දරන වෑයම යෙහෝවා බොහෝ සෙයින් අගය කරනවා. ඒ ගැන ඔහුගේ වචනයේ මෙවැනි අදහසක් පළ වෙනවා. “දුප්පතුන්ට අනුකම්පා ඇත්තා යෙහෝවාට ණයට දෙයි; ඔහුද ඔහු විසින් කළ හොඳ ක්‍රියාවට දෙවනු ඔහුට ගෙවන්නේය.” (හිතෝපදේශ 19:17) අපගේ සහෝදර සහෝදරියන්ට උපකාර කිරීමෙන් ඉමහත් ප්‍රීතියක් අපට ලැබෙයි. (ක්‍රියා 20:35) එවැනි උපකාර ලබා දීමෙන් හෝ ලැබීමෙන් හෝ අද්දකින ප්‍රීතිය, අන් අයගෙන් වෙන් වී සිටීමට කැමැත්තක් දක්වන අයට ලැබෙන්නේ නැහැ. (හිතෝපදේශ 18:1) එමනිසා එකිනෙකාව දිරිගැන්වීම සඳහා ක්‍රිස්තියානි රැස්වීම් අතපසු නොකරමින් එකට රැස් වෙමු.—හෙබ්‍රෙව් 10:24, 25.

24. යෙහෝවා අතීතයේ සිදු කළ ආශ්චාර්යයන් අද දින දැකීමට නොලැබීම අපට පාඩුවක් නොවන්නේ ඇයි?

24 යෙහෝවා අපට උපකාර කරන ආකාරය මෙලෙස සලකා බැලීම ඇත්තටම සතුටක්. තම අරමුණු ඉටු කිරීමට යෙහෝවා ආශ්චර්යයන් සිදු කරන කාලයක අප ජීවත් නොවුවත්, එය පාඩුවක් කියා අපට දැනෙන්නේ නැහැ. මන්ද විශ්වාසවන්තව සිටීමට අවශ්‍ය උපකාර යෙහෝවා අපට කිසිම අඩුවක් නැතුව සපයන නිසයි. අප එකට ඇදහිල්ලෙන් විඳදරාගන්නවා නම්, මිනිස් ඉතිහාසයේ කවදාවත් දැක නැති ආශ්චර්යවත් ක්‍රියා යෙහෝවා අතින් සිදු වෙනවා දැකීමේ භාග්‍යය අපට ලැබෙයි. යෙහෝවා ප්‍රේමණීයව සපයන උපකාර පිළිගෙන ඉන් උපරිම ප්‍රයෝජන ගැනීම අපගේ අධිෂ්ඨානය කරගනිමු. එවිට අපගේ 2005 වාර්ෂික පදය වන ‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය’ යන වචනවලට එකඟව ජීවත් වෙන්න අපට හැකි වෙනවා නොඅනුමානයි.—ගීතාවලිය 121:2.

ඔබේ අදහස කුමක්ද?

• යෙහෝවා දේවදූතයන් මාර්ගයෙන් අද දින අපට උපකාර සපයන්නේ කොහොමද?

• යෙහෝවා ශුද්ධාත්මය මාර්ගයෙන් අද දින අපට උපකාර සපයන්නේ කොහොමද?

• යෙහෝවා තම ශුද්ධ වචනය මාර්ගයෙන් අද දින අපට උපකාර සපයන්නේ කොහොමද?

• යෙහෝවා සෙසු ඇදහිලිවන්තයන් මාර්ගයෙන් අද දින අපට උපකාර සපයන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

දේශනා කිරීමේ වැඩයට දේවදූතයන් උපකාර කරන බව දැන සිටීම අපට දිරිගැන්වීමක් වෙනවා

[21වන පිටුවේ පින්තූරය]

අපට අවශ්‍ය සහනය ලබා දීමට යෙහෝවා සෙසු ඇදහිලිවන්තයෙකුව යොදාගන්න පුළුවන්