Skip to content

පටුනට යන්න

සුන්දර දිනයක උපාධි ලැබීම

සුන්දර දිනයක උපාධි ලැබීම

සුන්දර දිනයක උපාධි ලැබීම

“අද දීප්තිමත් සුන්දර දවසක්. මෙය දෙවිගෙන් ලැබී තිබෙන ආශීර්වාදයක්! ගස් වැල් ලෙළ දෙනවා. කුරුල්ලන්ගේ කිචි බිචි නාදය දසත පැතිරිලා. මේ සුන්දර දවසේ අපි කදිම වැඩසටහනක් භුක්ති විඳින්නට යනවා! යෙහෝවා අද අපට අනිවාර්යයෙන්ම බොහෝ සෙයින් ආශීර්වාද කරාවි.”

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන සහෝදර සැම්‍යුවල් හර්ඩ් ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ 117වන පන්තියට සහභාගි වූ සිසුන්ට උපාධි පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කළේ ඒ වචන සමඟිනුයි. ඒ 2004 සැප්තැම්බර් 11වන දිනයයි. බයිබලයෙන් ගොඩනංවනසුලු උපදෙස්ද, පාසැලේදී සිසුන් ලැබූ අද්දැකීම්ද, දැනට මිෂනාරි සේවයේ යෙදෙමින් සිටින අයගේ අද්දැකීම්ද එම කදිම වැඩසටහනට ඇතුළත් වුණා. නිව් යෝක් නුවර පැටර්සන්හි පිහිටි මුරටැඹ අධ්‍යාපන මධ්‍යස්ථානයේ මෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් මගින් සම්බන්ධ කරනු ලැබූ බෘක්ලින් හා වොල්කිල්හි ගොඩනැඟිලි සංකීර්ණවල සිටි අය ඇතුළු සහභාගි වූ 6,974දෙනාට ඇත්තෙන්ම එය සුන්දර දවසක් වුණා.

ශිෂ්‍යයන්ට දුන් දිරිගැන්වීම

එක්සත් ජනපදයේ ශාඛා කමිටුවේ සාමාජිකයකු වන ජෝන් කීකොට්, “මිෂනාරිවරයෙකු ලෙස දිගටම ප්‍රීතියෙන් සේවය කරන්න” යන තේමාව යටතේ දිරිගන්වන අදහස් ඉදිරිපත් කළා. ගිලියද් පාසැලේ සිටින කාලය තුළ ශිෂ්‍යයන් සතුටින් සිටින බව කවුරුත් දන්නා කරුණක්. මෙවරත් එය පැහැදිලිව දකින්නට ලැබුණා. පාසැල පැවැත්වූ කාලය තුළ බයිබලයෙන් ලැබූ උපදෙස් ශිෂ්‍යයන්ගේ ප්‍රීතියට දායක වුණා. එවැනි ප්‍රීතියක් අද්දකින්නට අනුන්ට උදව් කිරීමටත් ඔවුන් දැන් පුහුණු වී සිටිනවා. ඒ කොහොමද? මිෂනාරිවරුන් ලෙස ආත්ම පරිත්‍යාගශීලීව සේවය කිරීමෙනුයි. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” කියා යේසුස් පැවසුවා. (ක්‍රියා 20:35) යෙහෝවා දෙවි අනුන්ට සත්‍යය බෙදා දෙන “සන්තෝෂවත් දෙවි” කෙනෙක්. මෙම නව මිෂනාරිවරුන් ඔහුව අනුකරණය කරනවා නම් ඔවුන්ටත් දිගටම ප්‍රීතියෙන් සිටීමට හැකි වෙයි.—1 තිමෝති 1:11.

වැඩසටහනේ ඊළඟ කතාව ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු වන ඩේවිඩ් ස්ප්ලේන් විසිනුයි. ඔහුගේ තේමාව වුණේ “අන්‍යයන් සමඟ සුහදව වැඩ කරන්නට ඔබට හැක්කේ කෙසේද?” යන්නයි. එකිනෙකා සමඟ එකමුතුව වාසය කිරීම යහපත් හා ප්‍රීතිමත් දෙයක් වන බවට සැකයක් නැහැ. එහෙත් මෙය අද්දැකීමට නම් ‘සියලු ආකාරයේ පුද්ගලයන්ට සියල්ල වීමට’ අවශ්‍යයි. (1 කොරින්ති 9:22; ගීතාවලිය 133:1) උපාධි ලබන ශිෂ්‍යයන්ට ඔවුන්ගේ මිෂනාරි සේවය තුළදී බොහෝදෙනෙක් සමඟ පෑහී කටයුතු කිරීමට සිදු වන බව සහෝදර ස්ප්ලේන් සඳහන් කළා. මේ අතරට ප්‍රදේශයේ වෙසෙන ජනයා, සෙසු මිෂනාරිවරු, ඔවුන් යන නව සභාවල සහෝදර සහෝදරියන් මෙන්ම දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ කාර්යය අධීක්ෂණය කරන ශාඛා කාර්යාලයේ සේවය කරන අය ඇතුළත් වෙනවා. එකිනෙකා අතර පවත්වන සම්බන්ධතා හැකි තරම් සුහදව තබාගැනීමට උපකාරවත් වන ප්‍රායෝගික යෝජනා ඔහු ඉදිරිපත් කළා. ඒවා නම් ඔවුන් සේවය කරන්නට යන රටේ භාෂාව ඉගෙනගැනීම, රටේ සිරිත් විරිත්වලට හැඩගැසීම, සෙසු මිෂනාරිවරුන්ගේ පුද්ගලික නිදහසට ගරු කිරීම සහ පෙරමුණ ගන්නා අයට කීකරු වීමයි.—හෙබ්‍රෙව් 13:17.

ඊළඟට සබය ඇමතූ ගිලියද් උපදේශක ලෝරන්ස් බොවන්ගේ කතාවේ තේමාව වුණේ “ඔබට තිබෙන්නේ කාගේ සිතිවිලිද?” යන්නයි. “බාහිර පෙනුමට අනුව විනිශ්චය” කළ අය මෙසියස් හැටියට යේසුස්ව පිළි නොගත් බව ඔහු ශිෂ්‍යයන්ට මතක් කළා. (යොහන් 7:24) අපි අසම්පූර්ණ මිනිසුන් වුණත් “මිනිසුන් සිතන දේ” නොව “දෙවි සිතන දේ” කල්පනා කිරීමට වෑයම් කළ යුතුයි. (මතෙව් 16:22, 23) ආත්මික මේරූ අයට වුණත් තම සිතිවිලි දිගටම සකස් කරගැනීමට අවශ්‍ය වෙනවා. මුහුදේ යාත්‍රා කරන නැවක් නිසි දිසාවට යෑම සඳහා සුක්කානම හැසිරවීම අවශ්‍යයි. එසේ නොවුණොත් ගල්පරයක හැපී එය මුහුදුබත් විය හැකියි. ඒ හා සමානව ආත්මික වශයෙන් උවදුරකට ලක් නොවී සිටීමට නම් නොකඩවා තම සිතිවිලිවල යම් යම් වෙනස්කම් කිරීම අත්‍යවශ්‍යයි. අත්නෑර ගැඹුරින් බයිබලය අධ්‍යයනය කිරීම “දෙවි සිතන” විදිහට සිතීමට අපට උපකාරවත් වෙයි.

ගිලියද් පාසැලේ තවත් උපදේශකයෙක් වන වොලස් ලිවරන්ස් වැඩසටහනේ මෙම කොටස අවසන් කළා. යෙසායා 55:1 පදනම් කරගත් ඔහුගේ කතාවේ තේමාව වූයේ “ඔබ මිල දී ගන්නේ මොනවාද?” යන්නයි. ඔහු ශිෂ්‍යයන්ට “මිල දී” ගැනීමට උනන්දු කළේ, වර්තමානය සඳහා දෙවිගේ අනාවැකිමය පණිවුඩයෙන් ලැබෙන ප්‍රබෝධය, ප්‍රීතිය සහ පෝෂණයයි. දෙවිගේ මෙම වචනය යෙසායාගේ අනාවැකියේ සමාන කර තිබෙන්නේ වතුරට, වයින්වලට සහ කිරිවලටයි. “මිල මුදල් නැතුව” මෙය මිල දී ගත හැක්කේ කොහොමද? සහෝදර ලිවරන්ස් පැහැදිලි කළේ, බයිබල් අනාවැකිවලට අවධානය දීමෙන් සහ මාංසික සිතිවිලි සහ ක්‍රියාවන් වෙනුවට දෙවිගේ සිතිවිලි අවබෝධ කරගෙන ඔහුගේ මාර්ගවල ගමන් කිරීමෙන් එසේ කළ හැකි බවයි. (යෙසායා 55:2, 3, 6, 7) මෙසේ කිරීමෙන් තම විදේශීය පැවරුමේ දිගටම රැඳී සිටීමට මෙම නව මිෂනාරිවරුන්ට හැකි වෙයි. අසම්පූර්ණ මිනිසුන් බොහෝවිට සිතන්නේ සන්තෝෂය ලැබීමට නම් ද්‍රව්‍යමය සැප සම්පත් ලබාගැනීමට තමන් වෑයම් කළ යුතු බවයි. එම කථිකයා මෙලෙස දිරිගැන්නුවා. “එවැනි අදහසක් දරන්න එපා. ඒ වෙනුවට දෙවිගේ අනාවැකිමය වචනය අර්ථවත් ලෙස අධ්‍යයනය කිරීමට කෙසේ හෝ කාලය වෙන් කරන්න. එයින් ඔබට ප්‍රබෝධයක් හා ශක්තියක් මෙන්ම ඔබගේ මිෂනාරි සේවය තුළ ප්‍රීතියක්ද ලබාගත හැකියි.”

රසවත් අද්දැකීම් හා සම්මුඛ සාකච්ඡා

ශිෂ්‍යයන් දේශනා සේවයේ නිතිපතා සහභාගි වුණා. තවත් ගිලියද් උපදේශකයෙක් වන මාක් නූමාර්ගේ මඟ පෙන්වීම යටතේ පන්තියේ සිසුන් කිහිපදෙනෙක් “ශුභාරංචිය ගැන ලැජ්ජා නොවීම” යන තේමාව හුවා දැක්වූ අද්දැකීම් නිරූපණය කළා. (රෝම 1:16) හොඳ පළපුරුද්දක් ඇති මෙම දේවසේවකයන් ගෙයින් ගෙටත් වීථිවලත් කඩ සාප්පුවලත් දේශනා කළ ආකාරය දැකගැනීමෙන් සබය සතුටක් ලැබුවා. වෙනත් භාෂාවන් දැන සිටි ශිෂ්‍යයන් තමන් ආශ්‍රය කළ සභාවලට අයත් බලප්‍රදේශයේ සිටින එම භාෂාවන් කතා කරන ජනයා හමුවීමට මුල් පියවර ගත්තා. වෙනත් අය යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කෙරෙන බයිබලයේ තොරතුරු අඩංගු ප්‍රකාශන හොඳින් ප්‍රයෝජනයට ගත්තා. ඔවුන් ඒවා නැවත බැලීම් කිරීමටත් බයිබල් පාඩම් ආරම්භ කිරීමටත් යොදාගත්තා. ශුභාරංචිය ගැන දේශනා කිරීමට ඔවුන් ‘ලැජ්ජා වුණේ නැහැ.’

බර්කිනා ෆාසෝ, ලැට්වියා සහ රුසියාවෙන් පැමිණි පළපුරුදු මිෂනාරිවරුන් සමඟ සේවා අංශයේ සේවය කරන සහෝදර විලියම් නොන්කීස් සම්මුඛ සාකච්ඡා පැවැත්වුවා. “යෙහෝවා ඇදහිලිවන්තයන්ට ප්‍රේමණීය ලෙස ආශීර්වාද කරයි” යන තේමාව කාවදින ආකාරයෙන් ඔවුන් ප්‍රායෝගික උපදෙස් සබයට ඉදිරිපත් කළා. සම්මුඛ සාකච්ඡාවට කැඳවනු ලැබූ එක් සහෝදරයෙක් හේවායන් 300දෙනෙකුගෙන් සමන්විත ගිඩියොන්ගේ හමුදාව මතක් කරගන්නා මෙන් ශිෂ්‍යයන්ට දිරිගැන්නුවා. මේ හැම හේවායෙකුටම යම් පැවරුමක් තිබුණා. ඒ හැම පැවරුමක්ම ගිඩියොන්ගේ හමුදා මෙහෙයුමේ සාර්ථකත්වයට දායක වුණා. (විනිශ්චයකාරයෝ 7:19-21) ඒ හා සමානව තම පැවරුමේ දිගටම රැඳී සිටින මිෂනාරිවරුන් ආශීර්වාද ලබනවා.

ඊළඟට, පැටර්සන්හි උපදේශකයෙක් වන සැම්‍යුවල් රොබර්සන් විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේ තේමාව වූයේ “සියලු ආකාරයේ පුද්ගලයන්ට සියල්ල වෙන්න” යන්නයි. ඔහු සෙනිගාල්, ගුවාම්, ලයිබීරියාව සහ මැඩගස්කරය යන රටවල ශාඛා කමිටු සාමාජිකයන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළේය. මෙම රටවල සේවය කරන මිෂනාරිවරුන්ගේ මුළු සංඛ්‍යාව 170ක්. ශාඛා කමිටු විසින් නව මිෂනාරිවරුන්ට ඔවුන්ගේ පැවරුමට හැඩගැසීමට උපකාර කරන ආකාරය මෙම සම්මුඛ සාකච්ඡා මගින් උපාධිලාභි සිසුන්ට දැනගැනීමට ලැබුණා. බටහිර ප්‍රමිතිවලට අනුව අසාමාන්‍ය ඒවායයි පෙනෙන්ට තිබෙන සිරිත් විරිත්වලට පුරුදු වෙන්න බොහෝවිට ඔවුන්ට සිදු වෙනවා. නිදසුනක් වශයෙන්, සමහර රටවල පිරිමි පාරේ ඇවිදින විට එකිනෙකාගේ අත් අල්ලාගෙන ඇවිදීම සාමාන්‍ය සිරිතක්. ක්‍රිස්තියානි සභාවල සිටින අයත් මෙය කරනවා. ගුවාම් රටේ සමහර ප්‍රදේශවල අසාමාන්‍ය ආහාර පිළිගන්වනවා. නමුත් එහි සිටින මිෂනාරිවරුන් මේවාට හැඩගැසී තිබෙනවා. ඒ නිසා නව මිෂනාරිවරුන්ටත් එසේ කළ හැකියි.

පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ගයි පියර්ස් දුන් කතාවේ තේමාව වුණේ “ ‘අපගේ ස්වාමීන්ගේ රාජ්‍යයට’ පක්ෂපාතව සිටින්න” යන්නයි. “යෙහෝවා අපිව මැව්වේ අරමුණක් ඇතිවයි. මේ පොළොව සඳහා ඔහුගේ අරමුණ වෙනස් වෙලා නැහැ. එය නොවරදවාම ඉෂ්ට වෙනවා. කිසිම බාධාවක් එයට නැහැ. කිසි දෙයකට එය වෙනස් කරන්නටත් බැහැ” යනුවෙන් ඔහු පැවසුවා. (උත්පත්ති 1:28) මුල් මිනිසා වූ ආදම්ගේ පාපය නිසා දුෂ්කරතා අද්දකින්න සිදු වී තිබුණත් දෙවිගේ පරමාධිපත්‍යයට පක්ෂපාතව යටත් වන ලෙස සහෝදර පියර්ස් සියල්ලන්ව දිරිගැන්නුවා. “අපි ජීවත් වෙන්නේ විනිශ්චය පැයේයි. සත්‍යය දැනගැනීම සඳහා අවංක සිත් ඇත්තන්ට උපකාර කිරීමට අපට තිබෙන්නේ බොහොම කෙටි කාලයක්. ඒ නිසා රාජ්‍යයේ ශුභාරංචිය අනුන්ට බෙදා දීමට ඉතිරි වී තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න” කියා සහෝදර පියර්ස් උනන්දු කළා. දේවරාජ්‍යයට පක්ෂපාතව සහයෝගය දක්වන අයට දෙවිගේ උපකාර සහතිකවම ලැබෙනවා.—ගීතාවලිය 18:25.

අවසානයේදී සභාපති ලොව වටා ශාඛා කාර්යාලවලින් එවා තිබූ සුබ පැතුම් සබයට කියෙව්වා. ඉන් අනතුරුව ඔහු උපාධිලාභීන්ට ඩිප්ලෝමා සහතික ප්‍රධානය කළා. ඔවුන් ලැබූ පුහුණුව සඳහා හෘදයාංගම කෘතඥතාව පළ කරමින් එම පන්තියේ ශිෂ්‍යයන් ලිවූ ලිපියක් එක් ශිෂ්‍යයෙක් කියෙව්වා. එය ඒ සුන්දර දවසට කදිම අවසානයක් ගෙන දුන්නා. ඒ දවස, පැමිණි සිටි සියල්ලන්ගේ මතකයේ බොහෝ කලක් රැඳෙනවා නොඅනුමානයි.

[23වන පිටුවේ කොටුව]

පන්තියේ දත්ත

නියෝජිත රටවල් සංඛ්‍යාව: 11

පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 22

ශිෂ්‍ය සංඛ්‍යාව: 48

වයස් සාමාන්‍යය: 34.8

සත්‍යය තුළ සිටි වසර ගණනේ සාමාන්‍යය: 18.3

පූර්ණ කාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය: 13.4

[24වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ උපාධි ලැබූ 117වන පන්තිය

පහත සඳහන් ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබේ.

(1) තොම්සන්, ඊ.; නොවෙල්, ජී.; පොවල්, ටී.; කෝසා, එම්.; මැකන්ටයර්, ටී. (2) රයිලී, ඒ.; ක්ලේටන්, සී.; ඇලන්, ජේ.; බ්ලාන්කො, ඒ.; මූන්යෝස්, එල්.; රූස්ටැඩ්, එන්. (3) ගුරේරෝ, සැඩ්; ගාසියා, කේ.; මෙකර්ලී, ඩී.; ඊෂිකාවා, ටී.; බ්ලාන්කො, ජී. (4) මැකන්ටයර්, එස්.; කෲස්, ඊ.; ගුරේරෝ, ජේ.; රිචි, ඕ.; ආබේයානේතා, එල්.; ගාසියා, ආර්.; (5) පොවල්, ජී.; ෆිස්කා, එච්.; මූන්යෝස්, වී.; බෞමාන්, ඩී.; ෂෝ, එස්.; බ්‍රවුන්, කේ.; බ්‍රවුන්; එල්.; (6) ෂෝ, සී.; රයිලී, ඒ.; පෙලොක්වින්, සී.; ම්‍යූන්ක්, එන්.; මෙකර්ලී, ඩී.; ඊෂිකාවා, කේ.; (7) ම්‍යූන්ක්, එම්.; පෙලොක්වින්, ජේ.; කෝසා, ටි.; ආබේයානේතා, එම්.; ඇලන්, කේ.; රිචි, ඉ.; නොවෙල්, ටි.; (8) කෲස්, ජේ.; බෞමාන්, එච්.; ක්ලේටන්, සී.; ෆිස්කා, ඉ.; තොම්සන්, එම්.; රූස්ටැඩ්, ජේ.