Skip to content

පටුනට යන්න

‘යාහ් මාගේ ගැලවීමය’

‘යාහ් මාගේ ගැලවීමය’

“අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය”

‘යාහ් මාගේ ගැලවීමය’

පුරාණයේ යෙහෝවාගේ සෙනඟ වූ ඊශ්‍රායෙල්වරුන්ට යම් තේරීමක් කරන්න සිදු වුණා. ඊජිප්තුවේ දුෂ්ට පාලකයා වූ පාරාවෝට කීකරු වී වහලුන් ලෙස දිගටම එහි ජීවත් වෙනවාද නැත්නම් යෙහෝවා දෙවිට කීකරු වී ඊජිප්තුව අත්හැර ගොස් දෙවි පොරොන්දු වූ දේශයට යනවාද කියා ඔවුන්ට තීරණයක් ගැනීමට සිදු වුණා.

මුරණ්ඩු පාරාවෝ යෙහෝවාගේ සෙනඟව ඊජිප්තුවෙන් නිදහස් කර යැවීමට අකමැති වූ නිසා දෙවි ඒ දේශයට පීඩා දහයක් ගෙන එමින් පහර දුන්නා. මේ පීඩා වැළැක්වීමට ඊජිප්තුවේ දෙවිවරුන්ට කිසිම දෙයක් කරන්න බැරි වුණා. මෙයින් දෙවිගේ බලය මොන තරම්ද කියා පෙනී යනවා.

දෙවිගේ සෙනඟට යන්න ඉඩහරින්න කියා පාරාවෝට පැවසූ විට ඊට අකමැත්ත පළ කරමින් ඔහු මෙසේ පැවසුවා. “ඊශ්‍රායෙල් යන්ට හරින ලෙස මා විසින් යෙහෝවාගේ බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද? යෙහෝවා නොහඳුනමි; ඒ හැර ඊශ්‍රායෙල් යන්ට නොහරින්නෙමි.” (නික්මයාම 5:2) මෙලෙස පාරාවෝ උඩඟු ලෙස ක්‍රියා කළ නිසා ඊජිප්තුවේ වැසියන්ට පහත සඳහන් පීඩා අද්දැකීමට සිදු වුණා. (1) වතුර ලේ බවට පත්වීම, (2) මැඩියන්ගේ උවදුර, (3) කිණිතුල්ලන්ගේ උවදුර, (4) මැසි උවදුර, (5) ගව වසංගතය, (6) මිනිසුන්ගේ සහ සතුන්ගේ ඇඟේ ගඩු හටගැනීම, (7) ගල් වරුසාව, (8) පළඟැටි උවදුර, (9) ගන අන්ධකාරය, (10) ඊජිප්තුවේ කුලුඳුලන් මරණයට පත්වීම. දසවෙනි පීඩාවේදී පාරාවෝගේ පුතාද මරණයට පත් වුණා. මේ අන්තිම පීඩාවෙන් පස්සේ පාරාවෝ ඊශ්‍රායෙලිතයන්ට යන්න ඉඩහැරියා. පාරාවෝ ඔවුන්ට ඉක්මනින් ඊජිප්තුවෙන් පිට වෙන්න කියාද උනන්දු කළා.—නික්මයාම 12:31, 32.

ස්ත්‍රීන්, පුරුෂයන් හා දරුවන් ඇතුළු මිලියන තුනක පමණ සෙනඟක් ඉක්මනින්ම ඊජිප්තුවෙන් පිට වී ආවා. මේ සෙනඟ අතරේ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ද සිටියා. (නික්මයාම 12:37, 38) ඒත් වැඩි වේලාවක් යන්න කලින් පාරාවෝ ඔහුගේ බලසම්පන්න හමුදාවත් රැගෙන මොවුන්ව ලුහුබඳින්න පටන්ගත්තා. ඊශ්‍රායෙල්වරුන් දැන් කොටු වෙලා. එක පැත්තකින් රතු මුහුද, අනික් පැත්තෙන් පාරාවෝගේ සිත් පිත් නැති හමුදාව. ඒත් මෝසෙස් සෙනඟට මෙසේ පැවසුවා. “භය නොවී නිශ්චලව සිට යෙහෝවා අද ඔබට සිදු කර දෙන ගැලවීම බලාගන්න.”—නික්මයාම 14:8-14.

ඊශ්‍රායෙල්වරුන්ට බේරී පලා යෑමට හැකි වන ලෙස යෙහෝවා ආශ්චර්යවත් ලෙස රතු මුහුද දෙබෑ කෙරුවා. නමුත් ඊජිප්තුවරුන් ඒ මැද්දට ආ විට නැවතත් වතුර එක් වෙන්න සැලැස්සුවා. මෙලෙස යෙහෝවා “පාරාවෝගේ රථ සහ ඔහුගේ සේනාව මුහුදට හෙළුවේය.” (නික්මයාම 14:26-28; 15:4) යෙහෝවාට අගෞරව කළ පාරාවෝට අද්දකින්න සිදු වුණේ මහත් විනාශයක්.

රතු මුහුදෙන් තම සෙනඟ බේරාගැනීමෙන් යෙහෝවා “යුද්ධ දක්ෂයෙක්” බව ඔප්පු කළා. (නික්මයාම 15:3) ‘යෙහෝවා ඊජිප්තු ජාතිකයන්ට කළ මහත් ක්‍රියා ඊශ්‍රායෙල්වරු දුටුවා. සෙනඟ යෙහෝවාට ගරුබිය දැක්වූ අතර ඔහු කෙරෙහි විශ්වාස කළා.’ (නික්මයාම 14:31; ගීතාවලිය 136:10-15) සෙනඟ ඔවුන්ගේ කෘතඥතාව පළ කිරීමට මෝසෙස් සමඟ එකතු වී ජයග්‍රහණයේ ගීතයක් ගායනා කළ අතර මිරියම් පෙරමුණ ගනිමින් අනිකුත් කාන්තාවන් සමඟ නටමින් ප්‍රීති වුණා. *

යෙහෝවා අදත් තම සෙනඟව ගලවයි

යෙහෝවා එදා තම සෙනඟව රතු මුහුදෙන් බේරාගත් ආකාරය ගැන කල්පනා කරන විට අද සිටින ඔහුගේ සේවකයන්ට ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට උපකාරවත් වන දේවල් කිහිපයක් ඉගෙනගන්න පුළුවන්. ඉන් එක් දෙයක් වන්නේ අසීමිත බලයක් තිබෙන යෙහෝවාට ඔහුගේ සෙනඟ වෙනුවෙන් ඕනෑම දෙයක් කළ හැකි බවයි. මෝසෙස් සහ ඊශ්‍රායෙලිතයන් ගැයූ ජයග්‍රාහී ගීතයේ මෙසේ සඳහන් වෙනවා. ‘යෙහෝවා, ඔබගේ දකුණත බලයෙන් මහිමවත්ය; ඔබ දකුණතින් සතුරන්ව කැබලි කරයි.’—නික්මයාම 15:6.

අපට ඉගෙනගත හැකි තව දෙයක් නම් සර්ව පරාක්‍රම දෙවි තමන්ගේ සෙනඟව ආරක්ෂා කිරීමට මහත් ආශාවෙන් සිටිනවා යන්නයි. ඊශ්‍රායෙලිතයන් මෙසේ ගායනා කළා. “මාගේ ශක්තියද ගීතිකාවද යාහ්ය; ඔහු මාගේ ගැලවීම වූවේය; මේ වනාහි මාගේ දෙවිය; ඔහුට ප්‍රශංසා කරන්නෙමි.” අපට ඉගෙනගත හැකි තවත් කරුණක් නම් යෙහෝවාගේ කැමැත්තට විරුද්ධ වන කිසිම කෙනෙකුට සාර්ථක වෙන්න බැරි බවයි. මේ හේතුව නිසා ඔවුන් මෙසේද ගායනා කළා. “යෙහෝවා, දෙවිවරුන් අතරෙහි ඔබට සමාන කවරෙක්ද? ශුද්ධකමින් මහිමවත් වූ, ප්‍රශංසාවෙන් භය උපදවන්නාවූ පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවරෙක්ද?”—නික්මයාම 15:2, 11.

ඊජිප්තුවේ සිටි පාරාවෝ රජ මෙන් අද දින සිටින සමහර පාලකයන්ද යෙහෝවාගේ සෙනඟට හිංසා පීඩා කරනවා. උඩඟු පාලකයන් ‘මහෝත්තමයාණන්ට විරුද්ධව කතා කරයි. මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ටද අධික ලෙස දිගටම පීඩා කරයි.’ (දානියෙල් 7:25; 11:36) ඒත් යෙහෝවා තම සෙනඟට මෙසේ පොරොන්දු වෙයි. “ඔබට විරුද්ධව සෑදූ කිසි ආයුධයක් සපල නොවන්නේය; විනිශ්චයේදී ඔබට විරුද්ධව නැඟිටින සැම දිවවල් ඔබ විසින් වරදට පත් කරනු ලබන්නෝය; මේක යෙහෝවාගේ මෙහෙකරුවන්ගේ උරුමය වේ.”—යෙසායා 54:17.

පාරාවෝ සහ ඔහුගේ හමුදාව පරාජය වුණා වගේ යෙහෝවාට විරුද්ධ වන අයද පරාජය වන බව නිසැකයි. යෙහෝවා ඊජිප්තුවෙන් තම සෙනඟ ගලවාගත් ආකාරයෙන් පැහැදිලි වන්නේ යේසුස්ගේ ගෝලයන් පැවසූ වදන්වල ඇතුළත් ප්‍රතිපත්තිය කොතරම් නිවැරදිද යන්නයි. ඔවුන් පැවසුවේ මෙයයි. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය.”—ක්‍රියා 5:29.

[පාදසටහන්වල]

^ 8 ඡේ. 2006 වසරේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිනදර්ශනයේ ජනවාරි/පෙබරවාරි මාස බලන්න.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබ දැනගෙන සිටියාද?

• යෙහෝවා මුළු රාත්‍රිය පුරාම තද සුළඟක් හමන්න සැලැස්සුවා. මේ සුළඟ රතු මුහුදේ වතුර දෙපැත්තට යන්න සැලැස්වූ අතර ඊශ්‍රායෙලිතයන්ට වියළි මාර්ගයක ගමන් කිරීමට එමගින් හැකි වුණා.—නික්මයාම 14:21, 22.

• මිලියන ගණනක් වූ ඊශ්‍රායෙල්වරුන්ට ඉක්මනින්ම රතු මුහුදෙන් එගොඩ වීම සඳහා මුහුද දෙබෑවීමෙන් සෑදුණු මාර්ගය කිලෝමීටර් 1.5ක් පමණ පළල් වූවා කියා සිතිය හැකියි.

[9වන පිටුවේ පින්තූර]

යෙහෝවා ගෙන ආ පීඩා දහය නතර කරන්න ඊජිප්තුවේ බොරු දෙවිවරුන්ට හැකි වූයේ නැහැ

[හිමිකම් විස්තර]

All three figurines: Photograph taken by courtesy of the British Museum