Skip to content

පටුනට යන්න

යක්ෂයාට ඉඩ දෙන්න එපා

යක්ෂයාට ඉඩ දෙන්න එපා

යක්ෂයාට ඉඩ දෙන්න එපා

“යක්ෂයාට ඉඩ නොදෙන්න.”—එෆීස 4:27.

1. යක්ෂයාගේ පැවැත්ම ගැන බොහෝදෙනෙකුට ප්‍රශ්න ඇති වී තිබෙන්නේ ඇයි?

සියවස් ගණනාවක් පුරා මිනිසුන් සිතුවේ යක්ෂයා කියන්නේ අං තිබෙන, කුර සහිත පාද දෙකක් ඇති, රතු වස්ත්‍රයකින් සැරසී සිටින, දුෂ්ටයන්ව නරකාදියට තල්ලු කර දැමීම සඳහා ත්‍රිශූලයක් අතේ තබාගෙන සිටින කෙනෙක් ලෙසයි. යක්ෂයා ගැන මෙවැනි පැහැදිලි කිරීමක් බයිබලයේ කොතැනකවත් නැහැ. එවැනි වැරදි අර්ථ කථනයන් නිසා ඇත්තටම යක්ෂයෙක් ඉන්නවාද කියා බොහෝදෙනෙකු තුළ ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. තවත් සමහරුන් සිතන්නේ යක්ෂයා යන වචනය පාවිච්චි කරන්නේ නපුරු ස්වභාවයක් ගැන විස්තර කිරීමට පමණක් බවයි.

2. යක්ෂයා ගැන බයිබලයේ සඳහන් කර තිබෙන්නේ මොනවාද?

2 ඇත්තටම යක්ෂයා කියා කෙනෙක් සිටින බවට ඇසින් දුටු සාක්ෂි බයිබලයේ සපයා තිබෙනවා. යේසුස් පොළොවට එන්න කලින් ස්වර්ගයේ සිටි කාලයේදී යක්ෂයාව දැක්කා. ඒ වගේම යේසුස් පොළොවේදී ඔහු සමඟ කතාද කළා. (යෝබ් 1:6; මතෙව් 4:4-11) මේ තැනැත්තාව මුලින්ම හැඳින්වූ නම ගැන බයිබලයේ සඳහන් වන්නේ නැහැ. නමුත් මොහුව යක්ෂයා කියා හැඳින්වීමට පටන්ගෙන තිබෙන්නේ ඔහු දෙවිට අපහාස කිරීමෙන් පසුවයි. මොහු යෙහෝවා දෙවිට විරුද්ධව ක්‍රියා කරන නිසා සාතන් කියා ඔහුව හඳුන්වනු ලබනවා. මුල් ස්ත්‍රිය වූ ඒවව රැවටීම සඳහා ඔහු සර්පයෙකුව යොදාගත් නිසා මොහුව “මුල් සර්පයා” කියාද බයිබලයේ හඳුන්වා තිබෙනවා. (එළිදරව් 12:9; 1 තිමෝති 2:14) මීට අමතරව “දුෂ්ටයා” කියාද ඔහුව හඳුන්වනු ලබනවා.—මතෙව් 6:13. *

3. මේ ලිපියේදී අපි සලකා බලන්නේ කුමක් ගැනද?

3 එකම සැබෑ දෙවිගේ ප්‍රධානතම සතුරා වන සාතන්ව අනුකරණය කිරීමට යෙහෝවාගේ සේවකයන් හැටියට අපි කොහෙත්ම කැමති නැහැ. මේ නිසා “යක්ෂයාට ඉඩ නොදෙන්න” කියා පාවුල් දුන් උපදේශය අපි හොඳින් සිතට ගනිමු. (එෆීස 4:27) මේ ලිපියේදී අපි සලකා බලන්නේ සාතන්ගේ ගතිලක්ෂණ කිහිපයක් සහ ඒවා අනුකරණය කිරීමෙන් වැළකී සිටිය හැකි ආකාරය ගැනයි.

අපහාස කරන්නාව අනුකරණය කරන්න එපා

4. “දුෂ්ටයා” දෙවිට අපහාස කළේ කෙසේද?

4 යක්ෂයාව “දුෂ්ටයා” කියාද හඳුන්වා ඇත්තේ ඔහු අපහාස කරන්නෙක් නිසයි. අපහාස කරන්නෙක් යම් කෙනෙකුට අගෞරව කිරීමේ අරමුණින් ඒ කෙනා ගැන බොරු පතුරුවාහරිනවා. මේ ආකාරයෙන් යක්ෂයා දෙවිට අපහාස කළේ කොහොමද කියා අපි දැන් බලමු. දෙවි ආදම්ට මෙසේ අණ කළා. “යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් නොකන්න. මක්නිසාද එයින් කෑ දවසේ ඒකාන්තයෙන් ඔබ නසින්නෙහිය.” (උත්පත්ති 2:17) ඒවද මෙය දැන සිටි නමුත් යක්ෂයා සර්පයෙකු මාර්ගයෙන් ඇයට මෙසේ පැවසුවා. “ඔබ ඒකාන්තයෙන් නොනසින්නහුය. මක්නිසාද ඔබ එයින් කෑ දවසෙහි ඔබගේ ඇස් ඇරෙන බවත් ඔබ යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.” (උත්පත්ති 3:4, 5) මෙලෙස යක්ෂයා යෙහෝවා දෙවි ගැන බොරු කියමින් ඔහුට අපහාස කළා.

5. දියොත්‍රෙෆස් ගණන් දිය යුතු වුණේ ඇයි?

5 “ඔබේ සෙනඟ අතරෙහි කේලාම්කාරයෙකු [හෙවත් අපහාස කරන්නෙකු] මෙන් ඔබ මොබ නොයන්න” කියා ඊශ්‍රායෙල්වරුන්ට අණ කර තිබුණා. (ලෙවී කතාව 19:16) යොහන් ඔහුගේ කාලයේ සිටි අපහාස කරන්නෙක් ගැන මෙසේ සඳහන් කළා. “මම සභාවට යම් දෙයක් ලියා එව්වෙමි. නමුත් ඔවුන් අතරේ මුල් තැන ලබාගැනීමට කැමති දියොත්‍රෙෆස්, අපෙන් වූ කිසිවක් ගෞරවයෙන් පිළිගන්නේ නැත. එහෙයින්, මා ආවොත්, ඔහු අපට දුෂ්ට වචනවලින් දිගින් දිගටම දොස් තබමින් කරන ක්‍රියා ගැන සිහි කරවන්නෙමි.” (3 යොහන් 9, 10) දියොත්‍රෙෆස් සාතන්ව අනුකරණය කරමින් යොහන්ට අපහාස කළ නිසා ඒ ගැන ඔහු ගණන් දිය යුතු වුණා. දෙවිට සහ සෙසු ඇදහිලිවන්තයන්ට ලැදි කෙනෙක් නම් කවදාවත් එසේ ක්‍රියා කරන්නේ නැහැ.

6, 7. අපි කිසිම කෙනෙකුට අපහාස නොකළ යුත්තේ ඇයි?

6 යෙහෝවාගේ සේවකයන් බොහෝවිට නින්දා අපහාසවලට හා බොරු චෝදනාවලට ලක් වෙනවා. යේසුස් පවා අපහාසවලට ගොදුරු වුණා. “නායක පූජකයෝද ලියන්නෝද නිතර නිතර නැඟිට ඔහුට විරුද්ධව දැඩි ලෙස චෝදනා එල්ල කළහ.” (ලූක් 23:10) උත්තම පූජකයා වූ අනනියස් සහ තවත් අය පාවුල්ට බොරු චෝදනා එල්ල කළා. (ක්‍රියා 24:1-8) සාතන්ව බයිබලයේ හඳුන්වා දී තිබෙන්නේ “අපේ දෙවි ඉදිරියෙහි අපේ සහෝදරයන්ට විරුද්ධව දිවා රෑ දෙකෙහි චෝදනා කරන පැමිණිලිකරු” ලෙසයි. (එළිදරව් 12:10) සාතන් බොරු චෝදනා එල්ල කරන “සහෝදරයන්” වන්නේ මේ අන්තිම දවස්වල ජීවත් වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්.

7 ක්‍රිස්තියානීන් අන් අයට අපහාස කිරීමෙන් හා බොරු චෝදනා කිරීමෙන් වැළකී සිටිය යුතුයි. යම් කාරණයක් ගැන සියලුම විස්තර නොදැන අපි යමෙකුට විරුද්ධව කතා කළොත් එවැනි දෙයක් අපි අතින් විය හැකියි. මෝසෙස්ගේ නීතියට අනුව හිතා මතාම යම් කෙනෙකුට විරුද්ධව බොරු සාක්ෂි දුන්නා නම් ඒ තැනැත්තාට මරණ දණ්ඩනය පවා නියම කිරීමට ඉඩ තිබුණා. (නික්මයාම 20:16; ද්විතීය කතාව 19:15-19) මීට අමතරව, “බොරු සාක්ෂි” දීම, යෙහෝවා දෙවි පිළිකුල් කරන කාරණාවලින් එකක්. (හිතෝපදේශ 6:16-19) මේ නිසා අපහාස කරන්නා සහ බොරු චෝදනා කරන්නා වන යක්ෂයාව අනුකරණය කිරීමට අපි කිසිම කෙනෙක් කැමති නැහැ.

මුල්ම මිනීමරුවාගේ අඩි පාරේ යන්න එපා

8. යක්ෂයාව “පටන්ගැන්මේ සිට මිනී මරන්නෙක්” කියා හඳුන්වන්නේ ඇයි?

8 යක්ෂයා “පටන්ගැන්මේ සිට මිනී මරන්නෙක්” කියා යේසුස් පැවසුවා. (යොහන් 8:44) යක්ෂයාව මෙසේ හඳුන්වන්නේ ඔහු කළ මුල්ම ක්‍රියාව මිනී මැරීමට හේතු වූ නිසයි. ඔහු ආදම් සහ ඒවව දෙවිට අකීකරු වීමට පෙලඹවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ටත් ඔවුන්ගෙන් පැවතෙන්නන්ටත් මරණය උරුම වුණා. (රෝම 5:12) මෙම ක්‍රියාවෙන් පැහැදිලි වන ආකාරයට යක්ෂයා කියන්නේ නපුරේ ස්වභාවයට නොව යම් පුද්ගලයෙකුට බවයි.

9. පළමුවන යොහන් 3:15හි සඳහන් වන ආකාරයට අපි මිනී මරන්නන් විය හැක්කේ කෙසේද?

9 “මිනී නොමරන්න” කියා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අණ කළා. මෙය දස පනතට අයත් එක් පනතක්. (ද්විතීය කතාව 5:17) පේතෘස් ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා. “ඔබෙන් කිසිවෙක් මිනීමරුවෙකු . . . ලෙස දුක් නොවිඳීවා.” (1 පේතෘස් 4:15) මේ නිසා යෙහෝවා දෙවිගේ සේවකයන් හැටියට අපි මිනී මරන්නේ නැහැ. එහෙත් අපි සෙසු ක්‍රිස්තියානියෙකුට වෛර කරනවා නම් හෝ ඔහු මිය ගියා නම් හොඳයි කියා සිතනවා නම් අපි දෙවි ඉදිරියෙහි වරදකරුවන් වෙනවා. යොහන් මේ ගැන මෙසේ පැවසුවා. “තම සහෝදරයාට වෛර කරන සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි. මිනී මරන කිසිවෙකු තුළ සදාකාල ජීවනය පවතින්නේ නැති බව ඔබ දන්නහුය.” (1 යොහන් 3:15) ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ අණ කර තිබුණා. “ඔබේ සිතින් ඔබේ සහෝදරයාට වෛර නොකරන්න.” (ලෙවී කතාව 19:17) සෙසු ඇදහිලිවන්තයෙක් සමඟ යම් ප්‍රශ්නයක් ඇති වුණොත් අපි එය ඉක්මනින්ම විසඳාගත යුතුයි. අපි එසේ කරනවා නම් අප අතර තිබෙන එකමුතුකම නැති කර දැමීමට මුල්ම මිනී මරන්නාට අපි ඉඩ තබන්නේ නැහැ.—ලූක් 17:3, 4.

බොරුවේ පියාට හසු වන්න එපා

10, 11. බොරුවේ පියාට විරුද්ධව සිටීම සඳහා අප කුමක් කළ යුතුද?

10 යේසුස් යක්ෂයා ගැන මෙසේ පැවසුවා. “ඔහු තුළ සත්‍යය නැති හෙයින් ඔහු සත්‍යය තුළ ස්ථිරව සිටියේ නැත. ඔහු බොරු කියද්දී තමාගේම අදහස්වලට අනුව කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. බොරුවේ පියාය.” (යොහන් 8:44) යක්ෂයා ඒවට බොරු කිව්වා. එහෙත් යේසුස් මේ ලෝකයට පැමිණියේ සත්‍යය ගැන සාක්ෂි දැරීමටයි. (යොහන් 18:37) යේසුස්ගේ අනුගාමිකයන් හැටියට යක්ෂයාට හසු නොවී සිටින්න නම් අපි බොරු කීමෙන් හා අන් අයව රැවටීමෙන් වැළකී සිටිය යුතුයි. අපි සැමවිටම “සත්‍යය කතා” කළ යුතුයි. (සෙකරියා 8:16; එෆීස 4:25) “සැබෑකමෙහි දෙවි වූ යෙහෝවා” ආශීර්වාද කරන්නේ සැමවිටම සත්‍යය කතා කරන ඔහුගේ සාක්ෂිකරුවන්ට පමණයි. එමනිසා දුෂ්ටයන්ට දෙවිව නියෝජනය කිරීමට කිසිම අයිතියක් නැහැ.—ගීතාවලිය 31:5; 50:16; යෙසායා 43:10.

11 අප බයිබලයේ සඳහන් සත්‍යය දැන සිටින නිසා සාතන්ගේ බොරුවලට හසු නොවී සිටින්න අපට හැකියි. සත්‍යය දැනගන්න ලැබීමේ වරප්‍රසාදය අපි අගය කරනවා නම් “සත්‍යයේ මාර්ගය” කවදාවත් අත්හැර යන්නේ නැහැ. (2 පේතෘස් 2:2; යොහන් 8:32) සැබෑ ක්‍රිස්තියානි ආගමේ සියලුම ඉගැන්වීම් පදනම් වන්නේ ‘ශුභාරංචිය පිළිබඳ සත්‍යය’ මතයි. (ගලාති 2:5, 14) අපේ ගැලවීම රඳා පවතින්නේ “බොරුවේ පියා” වන යක්ෂයාට විරුද්ධව සිටිමින් දිගටම “සත්‍යයෙහි ගමන් [කිරීම]” මතයි.—3 යොහන් 3, 4, 8.

මුල සිටම සත්‍යයට එරෙහිව සිටින්නාට විරුද්ධව සිටින්න

12, 13. සත්‍ය නමස්කාරයට විරුද්ධව ක්‍රියා කරන අයගෙන් පරෙස්සම් වීමට අපි කළ යුත්තේ මොනවාද?

12 යක්ෂයා බවට පත් වූ දේවදූතයා කාලයක් සත්‍ය නමස්කාරයේ හවුල් වූ කෙනෙක්. එහෙත් “ඔහු තුළ සත්‍යය නැති හෙයින් ඔහු සත්‍යය තුළ ස්ථිරව සිටියේ නැත” කියා යේසුස් පැවසුවා. (යොහන් 8:44) සත්‍ය නමස්කාරයට එරෙහි වූ මුල්ම තැනැත්තා වන මොහු එදා සිට අද දක්වාම ‘සැබෑකමෙහි දෙවිට’ විරුද්ධව ක්‍රියා කරමින් සිටිනවා. පළමුවන සියවසේ සිටි සමහර ක්‍රිස්තියානීන් නොමඟ ගොස් සත්‍යයේ මාර්ගයෙන් ඉවත් වුණා. මෙලෙස ඔවුන් ‘යක්ෂයාගේ උගුලට’ හසු වුණා. මෙවැනි අයට සාතන්ගේ උගුලෙන් බේරී, නැවත සත්‍ය නමස්කාරයට පැමිණීම සඳහා මෘදුකමින් උපකාර කරන්න කියා පාවුල් ඔහුගේ හවුල් සේවකයා වූ තිමෝතිගෙන් ඉල්ලා සිටියා. (2 තිමෝති 2:23-26) නමුත් වඩාත් වැදගත් දෙය වන්නේ සත්‍යයේ ඉගැන්වීම්වලට විරුද්ධව ක්‍රියා කිරීමේ උගුලට හසු නොවී, සැමවිටම සත්‍යයට පක්ෂව සිටීමයි.

13 මුල් මිනිස් යුවළ දෙවිට විරුද්ධව කැරලිගැසීමට හේතු වුණේ යක්ෂයා කියූ බොරු ප්‍රතික්ෂේප නොකර ඊට සවන් දීමයි. එසේනම් අපිත් සත්‍ය නමස්කාරයට විරුද්ධව ක්‍රියා කරන අයට සවන් නොදිය යුතුයි. එමෙන්ම ඔවුන්ගේ පොත් පත් කියවීමවත් ඔවුන් අන්තර් ජාලය ඔස්සේ වෙබ් අඩවිවල පළ කරන තොරතුරු සොයා බැලීමවත් නොකළ යුතුයි. අපි ඇත්තටම දෙවිට සහ සත්‍යයට ප්‍රේම කරනවා නම් අපි ඒ දේවල් කරන්නේ නැහැ. සත්‍ය නමස්කාරයට විරුද්ධව ක්‍රියා කරන අයව ගෙදරටවත් ගන්න එපා. ඒ වගේ අයත් එක්ක කතා කරන්නවත් එපා. මන්ද එසේ කළොත් අපිත් ‘ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවලට පංගුකාරයන්’ වෙනවා. (2 යොහන් 9-11) බොරු ගුරුවරුන් ‘විනාශකාරී ඉගැන්වීම් අප අතරට ගෙන ඒමට’ මං සොයන අතර ‘වංචනික වචන පාවිච්චි කරමින් අපෙන් අයුතු ප්‍රයෝජන ගැනීමටද’ වෑයම් කරනවා. යක්ෂයා යොදාගන්න එම කූට උපායන්වලට හසු නොවී ක්‍රිස්තියානීන් හැටියට ‘සත්‍යයේ මාර්ගයේ’ දිගටම ගමන් කිරීමට අපි වගබලා ගනිමු.—2 පේතෘස් 2:1-3.

14, 15. පාවුල් එෆීසයේ වැඩිමහල්ලන්ට හා තිමෝතිට දුන් අනතුරු ඇඟවීම කුමක්ද?

14 පාවුල් එෆීස සභාවේ වැඩිමහල්ලන්ට මෙසේ පැවසුවා. “තමන් ගැනත් මුළු රැළ ගැනත් අවධානයෙන් සිටින්න. ශුද්ධාත්මය විසින් ඔබව ඔවුන් අතරේ අවේක්ෂකයන් ලෙස පත් කර තිබෙන්නේ, දෙවි තමාගේම පුත්‍රයාගේ ලෙයින් මිලට ගත් තමාගේ සභාව එඬේරෙකු මෙන් රැකබලා ගැනීමටය. මාගේ පිටත්ව යෑමෙන් පසු රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණ, රැළට ආදරෙන් සලකන්නේ නැති බව මම දනිමි. ඔබ අතරින්ම මිනිස්සු නැඟිට, තමුන් අනුව යෑමට ගෝලයන් ඇදගන්නා පිණිස, විකෘති වූ දේවල් පවසන්නෝය.” (ක්‍රියා 20:28-30) පාවුල් මේ වචන පවසා වැඩි කල් යන්න කලින් සත්‍ය නමස්කාරයට විරුද්ධව ක්‍රියා කරන අය නැඟී සිට, ‘විකෘති වූ දේවල් පැවසීමට’ පටන්ගත්තා.

15 ‘සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන්න’ කියා පාවුල් ක්‍රි.ව. 65දී පමණ තිමෝතිගෙන් ඉල්ලා සිටියා. ඔහු තවදුරටත් ඔහුට මෙසේද පැවසුවා. “ශුද්ධ දේ දූෂ්‍ය කරන හිස් වූ කතාවලින් වැළකී සිටින්න. මන්ද, ඔවුන්ගේ අභක්තිකකම බොහෝ සෙයින් වැඩි වී, ඔවුන්ගේ වචනය, මාංසය කා දමන රෝගයක් මෙන් පැතිරෙන්නේය. හිමනේයස් සහ ෆිලේටස් මෙවැනි අය වෙති. මොවුහු, නැවත නැඟිටීම දැනටමත් සිදු වී තිබෙන බව කියමින්, සත්‍යය අත්හැර ගොස්, සමහරුන්ගේ ඇදහිල්ල අවුල් කරති.” මෙයාකාරයෙන් සමහරුන් සත්‍ය නමස්කාරයට විරුද්ධව ක්‍රියා කරන්න පටන්ගත්තා. ‘කෙසේවුවත් දෙවිගේ ස්ථිර අත්තිවාරම පවතින’ බව පාවුල් පැවසුවා.—2 තිමෝති 2:15-19.

16. යක්ෂයා සත්‍ය නමස්කාරයට විරුද්ධව කොතරම් කූට උපායන් යෙදුවත් දෙවිට සහ ඔහුගේ වචනයට ලැදිව සිටීමට අපට හැකි වී තිබෙන්නේ කෙසේද?

16 සාතන් බොහෝ අවස්ථාවලදී සත්‍ය නමස්කාරය දූෂ්‍ය කිරීම සඳහා එයට විරුද්ධව ක්‍රියා කරන අයව යොදාගත්තත් ඔහුගේ වෑයම අසාර්ථක වී තිබෙනවා. වර්ෂ 1868දී පමණ චාල්ස් ටේස් රසල් ක්‍රිස්තියානි ආගම්වල බොහෝ කාලයක් පුරා පිළිගත් ඉගැන්වීම් හොඳින් පරීක්ෂා කර බැලීමට පටන්ගත්තා. එම ඉගැන්වීම් මගින් බයිබලයේ සඳහන් සත්‍යයන් ගැන වැරදි අර්ථ කථනයන් දී තිබෙන බව ඔහු සොයාගත්තා. රසල් සමඟ එක් වූ සත්‍යය සොයන තවත් කිහිපදෙනෙක් අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ පිහිටි පිට්ස්බර්ග්හිදී බයිබලය ගැන අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ඒ කාලයේ සිට මේ දක්වා ගෙවී ගොස් තිබෙන අවුරුදු 140කට ආසන්න කාලය පුරා යෙහෝවා දෙවිගේ සේවකයන්ගේ දැනුම වගේම දෙවිගේ වචනය කෙරෙහි ඇල්මද වැඩි වී තිබෙනවා. සත්‍ය නමස්කාරයට එරෙහි වූ මුල්ම තැනැත්තා වන යක්ෂයා කොතරම් කූට උපායන් යෙදුවත් විශ්වාසවන්ත නුවණ ඇති දාස පන්තිය ඒ ගැන සුපරීක්ෂාකාරීව සිටින නිසා යෙහෝවාටත් ඔහුගේ වචනයටත් ලැදිව සිටීමට සැබෑ ක්‍රිස්තියානීන්ට හැකි වී තිබෙනවා.—මතෙව් 24:45.

මේ ලෝකයේ පාලකයාට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න

17-19. යක්ෂයාගේ පාලනය යටතේ පවතින ලෝකය කුමක්ද? අපි එයට ප්‍රේම නොකළ යුත්තේ ඇයි?

17 සාතන් අපිව ඔහුගේ උගුලට හසු කරගන්න වෑයම් කරන තවත් ක්‍රමයක් වන්නේ දෙවිගෙන් ඈත් වූ අධර්මිෂ්ඨ සමාජයට හෙවත් ලෝකයට ප්‍රේම කිරීමට අපව පෙලඹවීමයි. “ලෝකයේ පාලකයා” කියා යක්ෂයාව හැඳින්වූ යේසුස් පැවසුවේ “ඔහුට මා කෙරෙහි බලයක් නැත” කියායි. (යොහන් 14:30) අපිව හසු කරගැනීමට සාතන්ට කිසිදා ඉඩ නොදෙමු. “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත් බව” අපි දන්නවා. (1 යොහන් 5:19) මේ නිසයි ඔහුට වැඳ වැටී නමස්කාර කළොත් “ලෝකයේ සියලු රාජ්‍යයන්” යේසුස්ට දෙන බවට පොරොන්දු වීමට යක්ෂයාට හැකි වුණේ. යේසුස් මෙය එක හෙළා ප්‍රතික්ෂේප කළා. (මතෙව් 4:8-10) සාතන්ගේ පාලනය යටතේ සිටින මේ ලෝකයේ මිනිස්සු ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට වෛර කරනවා. (යොහන් 15:18-21) මේ නිසා මේ ලෝකයට ප්‍රේම කරන්න එපා කියා යොහන් අපට අනතුරු ඇඟවීම ගැන අපි පුදුම විය යුතු නැහැ.

18 යොහන් මෙසේ ලිව්වා. “ලෝකයටවත් ලෝකයේ තිබෙන දේවල්වලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කරන්නේ නම්, පියාණන් කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මන්ද, ලෝකයේ තිබෙන සියල්ල—එනම් මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමත්—පැමිණෙන්නේ පියාගෙන් නොව, ලෝකයෙන්ය. තවද, ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.” (1 යොහන් 2:15-17) මේ ලෝකයේ ජීවන රටාව සිත්ගන්නාසුලු නිසා අපි එයට ආකර්ෂණය විය හැකියි. නමුත් එහි ජීවන රටාව දෙවිගේ ප්‍රමිතිවලට විරුද්ධ නිසා අපි ඊට ප්‍රේම නොකළ යුතුයි.

19 මේ ලෝකය කෙරෙහි ප්‍රේමයක් අපේ සිත්වල තිබෙනවා නම් අපි කළ යුත්තේ කුමක්ද? එසේ ලෝකය කෙරෙහි තිබෙන ප්‍රේමය මෙන්ම ඒ හා සම්බන්ධ වැරදි ආශාවන් නැති කරගැනීම සඳහා උපකාර ඉල්ලා දෙවිට යාච්ඤා කරමු. (ගලාති 5:16-21) අධර්මිෂ්ඨ මිනිස් සමාජය කෙරෙහි බලය පවත්වන්නේ අදෘශ්‍යමාන “ලෝක පාලකයන්” වන සාතන් සහ ඔහුගේ භූතයන් බව අපි මතක තබාගන්නවා නම් “ලෝකයෙන් කිලිටි නොවී සිටීමට” අපි සෑම උත්සාහයක්ම දරනවා නිසැකයි.—එෆීස 6:11, 12; යාකොබ් 1:27; 2 කොරින්ති 4:4.

20. අපි ‘ලෝකයේ කොටසක් නොවෙයි’ කියා පැවසිය හැක්කේ ඇයි?

20 යේසුස් ඔහුගේ ගෝලයන් සම්බන්ධයෙන් මෙසේ පැවසුවා. “මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුහුද ලෝකයේ කොටසක් නොවෙති.” (යොහන් 17:16) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මෙන්ම ඔවුන් හා එක්ව දෙවිට සේවය කරන අය සදාචාරය අතින් පිරිසිදුව සිටීමටත් බොරු නමස්කාරයට හවුල් නොවී සිටීමටත් මහත් වෑයමක් දරනවා. මෙලෙස ඔවුන් ලෝකයෙන් වෙන්ව සිටිනවා. (යොහන් 15:19; 17:14; යාකොබ් 4:4) අපි අධර්මිෂ්ඨ ලෝකයෙන් වෙන්ව සිටින නිසාත් ‘ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නන්’ වන නිසාත් ලෝකය අපිට වෛර කරනවා. (2 පේතෘස් 2:5) අද අපි ජීවත් වෙන්නේ වේශ්‍යාකම් කරන්නන්, රූප වඳින්නන්, පරදාර සේවනයේ යෙදෙන්නන්, අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නන්, සොරුන්, බොරුකාරයන් හා බේබද්දන් සිටින සමාජයකයි. (1 කොරින්ති 5:9-11; 6:9-11; එළිදරව් 21:8) ඒත් අපි වැරදි ආශාවලට යට නොවන නිසා “ලෝකයේ ආත්මය” හෙවත් එහි බලපෑම්වලට හසු වන්නේ නැහැ.—1 කොරින්ති 2:12.

යක්ෂයාට ඉඩ නොදෙන්න

21, 22. එෆීස 4:26, 27හි සඳහන් පාවුල්ගේ උපදේශය අපිට අදාළ කරගත හැක්කේ කෙසේද?

21 ලෝකයේ බලපෑමට හසු නොවී දෙවිගේ මඟ පෙන්වීමට එකඟව ක්‍රියා කරන නිසා අප තුළ ප්‍රේමය හා ආත්ම දමනය වැනි ගුණාංග ඇති වෙනවා. (ගලාති 5:22, 23) අපේ ඇදහිල්ල බිඳ දැමීමට සාතන් දරන වෑයම්වලට එරෙහිව සිටීමට එම ගුණාංග අපට උපකාරවත් වෙනවා. සාතන් කැමති වන්නේ අපි ‘උදහස් වී නපුරු ක්‍රියා කරනවා’ දකින්නයි. නමුත් “තරහෙන් වැළකී උදහස අත්හරින්න” දෙවිගේ බලය අපට උපකාර කරනවා. (ගීතාවලිය 37:8) සමහරවිට අපිට තරහ යෑමට හොඳ හේතු තිබෙන්න පුළුවන්. නමුත් පාවුල් අපට මෙසේ උපදෙස් දෙනවා. “කෝප වුණත් පව් නොකරන්න. ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න. යක්ෂයාට ඉඩ නොදෙන්න.”—එෆීස 4:26, 27.

22 අපි දිගටම කෝපයෙන් පසු වුණොත් අපි පව් කළ හැකියි. අපි මෙවැනි මානසිකත්වයක සිටිනවා නම් ඉන් ප්‍රයෝජන ගන්න සාතන් සභාව තුළ භේද ඇති කිරීමටත් නපුරු ක්‍රියා කිරීමටත් අපව පොලඹවනවා. මේ නිසා අනිත් අය සමඟ යම් ප්‍රශ්නයක් ඇති වූ විගස එය දෙවිගේ වචනයේ මඟ පෙන්වීම්වලට අනුව විසඳාගත යුතුයි. (ලෙවී කතාව 19:17, 18; මතෙව් 5:23, 24; 18:15, 16) කෝපය දිගටම තිබුණොත් අප අන් අයට නින්දා කරන්නත් වෛර කරන්නත් ඉඩ තිබෙනවා. එමනිසා අපි දෙවිගේ බලයේ උපකාරය ඇතිව ආත්ම දමනයෙන් යුතුව ක්‍රියා කරමු. සාධාරණ හේතු තිබුණත් කෝප නොවෙමු.

23. ඊළඟ ලිපියේදී අපි සලකා බලන්නේ කුමන ප්‍රශ්න ගැනද?

23 අපි අනුකරණය නොකළ යුතු යක්ෂයාගේ ගතිලක්ෂණ කිහිපයක් මේ ලිපියේදී සලකා බැලුවා. ඒත් සමහරුන් තුළ මෙවැනි ප්‍රශ්න ඇති විය හැකියි. අපි සාතන්ට බිය විය යුතුද? ඔහු ක්‍රිස්තියානීන්ට හිංසා පීඩා ඇති කරන්නේ ඇයි? යක්ෂයාගේ උපායන්වලට හසු නොවිය හැක්කේ කෙසේද? අපි මේ ගැන ඊළඟ ලිපියේදී සලකා බලමු.

[පාදසටහන්වල]

^ 2 ඡේ. වැඩි විස්තර සඳහා 2005 නොවැම්බර් 15 මුරටැඹ සඟරාවේ පළ වූ “ඇත්තටම යක්ෂයෙක් ඉන්නවාද?” යන ලිපි මාලාව බලන්න.

ඔබේ පිළිතුර කුමක්ද?

• අපි කිසිම කෙනෙකුට අපහාස නොකළ යුත්තේ ඇයි?

පළමුවන යොහන් 3:15ට අනුව මිනීමරුවන් වීමෙන් අපට වැළකී සිටිය හැක්කේ කෙසේද?

• සැබෑ නමස්කාරයට විරුද්ධව ක්‍රියා කරන අයව අපි සැලකිය යුත්තේ කෙසේද? එසේ සැලකිය යුත්තේ ඇයි?

• අපි ලෝකයට ප්‍රේම නොකළ යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

අප අතර තිබෙන එකමුතුකම නැති කිරීමට සාතන්ට කිසිදා ඉඩ නොදෙමු

[24වන පිටුවේ පින්තූර]

ලෝකයට ප්‍රේම නොකරන්න කියා යොහන් අපෙන් ඉල්ලා සිටියේ ඇයි?