Skip to content

පටුනට යන්න

ඔබට පුළුවන් සාතන්ව පරාජය කරන්න

ඔබට පුළුවන් සාතන්ව පරාජය කරන්න

ඔබට පුළුවන් සාතන්ව පරාජය කරන්න

“දෙවිට යටත් වන්න. යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යන්නේය.”—යාකොබ් 4:7.

1, 2. (අ) යෙසායා 14වන පරිච්ඡේදයේ සඳහන් වදන්වලින් හෙළි වන්නේ සාතන්ගේ කුමන ගතිලක්ෂණයද? (ආ) අපි මේ ලිපියේදී සලකා බලන ප්‍රශ්න මොනවාද?

බැබිලෝනිය ලෝක අධිරාජ්‍යයක් බවට පත්වීමට අවුරුදු 100කට පමණ පෙර ‘බැබිලෝනියේ රජු’ ගැන අනාගතවක්තෘ යෙසායා මෙසේ සඳහන් කළා. “ඔබ සිතින් කතා කොට: මම ස්වර්ගයට නඟින්නෙමි; මාගේ සිංහාසනය දෙවිගේ තාරකාවලට [දාවිත්ගේ රාජකීය පෙළපතේ රජවරුන්ට] වඩා උසස් කොට තබන්නෙමි; . . . මම මහෝත්තමයා මෙන් වන්නෙමියි කීවෙහිය.” (යෙසායා 14:3, 4, 12-15; ගණන් කතාව 24:17) ‘බැබිලෝනියේ රජුගේ’ උඩඟුකම ‘මේ සමාජ ක්‍රමයේ දෙවියා’ වන සාතන්ගේ උඩඟුකමට සමානයි. (2 කොරින්ති 4:4) ඇත්තෙන්ම උඩඟුම පුද්ගලයා වන්නේ සාතන්. බැබිලෝනියේ රජුගේ උඩඟුකම එම රාජ වංශය විනාශ වීමේදී නැති වුණා වගේ සාතන්ගේ උඩඟුකමද ඔහුට අත්වීමට නියමිත විනාශයේදී නැති වී යයි.

2 සාතන් තවමත් සිටින නිසා අපිට මෙවැනි ප්‍රශ්න මතු වෙනවා. අපි සාතන්ට බිය විය යුතුද? ඔහු ක්‍රිස්තියානීන්ට හිංසා පීඩා ඇති කරන්නේ ඇයි? අපව රවටා වාසි ලබාගැනීම සඳහා යක්ෂයාට ඉඩ නොදෙන්න අපට හැක්කේ කෙසේද?

අපි සාතන්ට බිය විය යුතුද?

3, 4. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා ඔවුන් සමඟ එක්ව දෙවිට සේවය කරන අය යක්ෂයාට භය නැත්තේ ඇයි?

3 යේසුස් පැවසූ පහත සඳහන් වදන්වලින් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මහත් ශක්තියක් ලැබූ බවට කිසිම සැකයක් නැහැ. “ඔබ විඳින්නට යන දේවල් ගැන භය නොවන්න. බලන්න! ඔබව සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීමටත්, දවස් දහයක් ඔබට පීඩා ඇති වන පිණිසත් යක්ෂයා ඔබෙන් සමහරෙකුව සිරගෙට දමනු ඇත. මරණය දක්වාම විශ්වාසවන්තව සිටින්න. එවිට මම ඔබට ජීවනය නමැති ඔටුන්න දෙන්නෙමි.” (එළිදරව් 2:10) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා පොළොව මත ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතිව ඔවුන් සමඟ එක්ව දෙවිට සේවය කරන අය යක්ෂයාට භය නැහැ. එම නිර්භීතකම ඔවුන්ට ලැබී තිබෙන්නේ සහජයෙන් නොව, ඔවුන් දෙවි කෙරෙහි ගෞරවාන්විත බියක් මෙන්ම ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව සිටින නිසයි.—ගීතාවලිය 34:9; 36:7.

4 යේසුස්ගේ ගෝලයන් මරණයට පවා නොබියව නොයෙකුත් පීඩා මැද දෙවිට විශ්වාසවන්තව සිටියා. යෙහෝවා ඔහුට පක්ෂපාතව සිටින අයව කවදාවත් අත්හරින්නේ නැති බව දැනසිටි නිසා ඔවුන් සාතන්ට බිය වූයේ නැහැ. ඒ හා සමානව අදදින සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මෙන්ම ඔවුන් හා එක්ව දෙවිට සේවය කරන අයද දරුණ පීඩා හමුවේ පවා දෙවිට තිබෙන ඔවුන්ගේ පක්ෂපාතකම අත් නොහැරීමට අදිටන් කරගෙන සිටිනවා. නමුත් ඇතැම් අයව මරණයට පවා පත් කිරීමට යක්ෂයාට හැකි බව පාවුල් පැවසූ දෙයකින් පැහැදිලියි. ඒ නිසා අපි යක්ෂයාට බිය විය යුතුද?

5. හෙබ්‍රෙව් 2:14, 15හි සඳහන් වදන්වලින් අපි ඉගෙනගන්නේ කුමක්ද?

5 පාවුල් මෙසේ පැවසුවා. යේසුස් මේ ලෝකයට පැමිණියේ “තම මරණය මාර්ගයෙන් මරණය ගෙන ඒමට බලය ඇති තැනැත්තාව එනම්, යක්ෂයාව නැති කර දමන පිණිසය. එමෙන්ම, මරණයට භයෙන් මුළු ජීවිත කාලය පුරාම වහල්කමට පත්ව සිටි සියල්ලන්ව ඔහු විසින් නිදහස් කරන පිණිසය.” (හෙබ්‍රෙව් 2:14, 15) “මරණය ගෙන ඒමට බලය ඇති තැනැත්තා” වන යක්ෂයා යේසුස්ව මරණයට පත් කිරීමට යූදස් ඉස්කාරියොත්වද යුදෙව් නායකයන්වද රෝමවරුන්වද යොදාගත්තා. (ලූක් 22:3; යොහන් 13:26, 27) කෙසේවෙතත් යේසුස් ඔහුගේ ජීවිතය පූජා කිරීමෙන් මිනිස් වර්ගයාව මරණයෙන් මුදවාගෙන සදාකාල ජීවනයේ මාර්ගය විවෘත කර දුන්නා.—යොහන් 3:16.

6, 7. යක්ෂයාට මරණය ගෙන ඒමට බලය තිබෙන්නේ කොතෙක් දුරටද?

6 යක්ෂයාට මරණය ගෙන ඒමට බලය තිබෙන්නේ කොතෙක් දුරටද? මුල් මිනිස් යුවළ යක්ෂයාගේ බොරුව විශ්වාස කර ඔහුගේ මඟ පෙන්වීමට යටත් වූ නිසා ඔවුන්ට මෙන්ම ඔවුන්ගෙන් පැවතෙන්නන්ටද පාපය හා මරණය උරුම වී තිබෙනවා. මේ අනුව මිනිස්සු මිය යන්නේ සාතන්ගේ දුෂ්ට ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසයි. (රෝම 5:12) තවද පොළොවේ සිටින සාතන්ගේ පැත්ත ගන්න අය යේසුස්ට කළා වගේ යෙහෝවාගේ නමස්කාරකයන්ට හිංසා පීඩා කර තිබෙන අතර එහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ගෙන් සමහර අය මිය ගොස් පවා තිබෙනවා.

7 කෙසේවෙතත් සාතන්ට දෙවිගේ සියලුම නමස්කාරකයන්ව මරණයට පත් කරන්න තරම් පූර්ණ බලයක් නැහැ. දෙවි ඔහුට අයිති සෙනඟව සමූහයක් හැටියට නැති කර දමන්න කවදාවත් සාතන්ට ඉඩ දෙන්නේ නැහැ. (රෝම 14:8) යෙහෝවා ඔහුගේ සියලුම සේවකයන්ට හිංසා පීඩාවලට ලක්වීමට ඉඩහරිනවා. සමහර අවස්ථාවලදී සාතන්ගේ දරුණු පීඩා නිසා අපගෙන් සමහරදෙනෙකුට මරණය පවා අද්දැකීමට ඔහු ඉඩහරිනවා. කෙසේවෙතත් දෙවිගේ ‘සිහිවීමේ පොතේ’ නම් තිබෙන අයට, එනම් ඔහුගේ මතකයේ සිටින අයට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව තිබෙනවා. එම බලාපොරොත්තුව නැති කර දමන්න නම් සාතන්ට කිසිම බලයක් නැහැ.—මලාකි 3:16; යොහන් 5:28, 29; ක්‍රියා 24:15.

සාතන් අපට හිංසා පීඩා කරන්නේ ඇයි?

8. සාතන් දෙවිගේ සේවකයන්ට පීඩා කරන්නේ ඇයි?

8 අපි දෙවිට පක්ෂපාතව සේවය කරනවා නම් අපිට සාතන්ගේ හිංසා පීඩාවලට ලක්වීමට සිදු වෙනවා. යක්ෂයාගේ ඉලක්කය වන්නේ අපේ ඇදහිල්ල විනාශ කර දැමීමයි. දෙවි සමඟ අපට තිබෙන අනර්ඝ මිත්‍රත්වය නැති කර දැමීමට සාතන් හැකි සෑම උත්සාහයක්ම දරනවා. අපි මේ ගැන පුදුම විය යුතු නැහැ. මන්ද “ස්ත්‍රිය” හා “සර්පයා” අතරත් ඔවුන්ගේ “වංශ” අතරත් සතුරුකමක් පවතින බව යෙහෝවා ඒදන් උයනේදී පුරෝකථනය කළා. (උත්පත්ති 3:14, 15) යක්ෂයාව “මුල් සර්පයා” වශයෙන් ශුද්ධ ලියවිල්ලේ හඳුන්වා දී තිබෙන අතර ඔහුට ඇත්තේ කෙටි කාලයක් බව දන්නා නිසා ඔහු මහත් උදහසින් සිටින බවත් එහි සඳහන් වෙනවා. (එළිදරව් 12:9, 12) මේ “වංශ” දෙක අතර සතුරුකම දිගටම පවතින නිසා යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන අය හිංසා පීඩා බලාපොරොත්තු විය යුතුයි. (2 තිමෝති 3:12) සාතන් දෙවිගේ සේවකයන්ට මෙලෙස සතුරුකම් පෑමට හේතුව කුමක්ද?

9, 10. (අ) යක්ෂයා දෙවිට කර තිබෙන චෝදනාව කුමක්ද? මිනිසුන් සම්බන්ධයෙන් සාතන් නඟා ඇති ප්‍රශ්නය කුමක්ද? (ආ) අපි ජීවත් වන ආකාරය එයට සම්බන්ධ වන්නේ කෙසේද?

9 මැවුම්කරු වශයෙන් දෙවි පාලනය කරන විදිහ ගැන සාතන් චෝදනා කළා. එමෙන්ම මිනිසුන් හිංසා පීඩා මැද දෙවිට විශ්වාසවන්තව සිටීද යන්න ගැනත් ඔහු ප්‍රශ්න කළා. මේ නිසා සාතන් දෙවිගේ පැත්ත ගන්න අයගේ විශ්වාසවන්තභාවය බිඳ දැමීම සඳහා ඔවුන්ට පීඩා ඇති කරනවා. උදාහරණයකට සාතන් ධර්මිෂ්ඨ මිනිසෙකු වූ යෝබ්ට පීඩා කළේ යෙහෝවා දෙවි කෙරෙහි තිබූ ඔහුගේ විශ්වාසය බිඳින්නයි. සාතන් ඔහුගේ මේ අරමුණ ඉටු කරගැනීම සඳහා යෝබ්ගේ භාර්යාව හා ‘දුක් දෙන සැනසිලිකාරයන්’ තිදෙනාව යොදාගත්තා. යම් පුද්ගලයෙකුව පරීක්ෂා කිරීමට තමන්ට ඉඩ දුන්නොත් ඒ කෙනා දෙවි කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳ දමන්න පුළුවන් කියා සාතන් දෙවිට අභියෝග කළ බව යෝබ් පොතේ සඳහන් වාර්තාවෙන් පැහැදිලියි. කෙසේවෙතත් යෝබ් දෙවි කෙරෙහි වූ ඔහුගේ විශ්වාසය රැකගනිමින් සාතන් බොරුකාරයෙක් බව ඔප්පු කළා. (යෝබ් 1:8–2:9; 16:2; 27:5; 31:6) යක්ෂයා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටද හිංසා පීඩා කරන්නේ ඔවුන්ගේ විශ්වාසවන්තභාවය බිඳ දමන්න තමන්ට පුළුවන් බව පෙන්වීම සඳහායි.

10 මේ කාරණය අපි හොඳින් සිතේ තබාගන්නවා නම් යක්ෂයා ගෙනෙන පීඩා හමුවෙහි ධෛර්ය සම්පන්නව හා ශක්තිමත්ව සිටින්න අපිට පුළුවන්. (ද්විතීය කතාව 31:6) මුළු විශ්වයේම සිටින බලවත්ම තැනැත්තා යෙහෝවා දෙවි වන නිසා අපේ විශ්වාසය දිගටම රැකගැනීම සඳහා අපට උපකාර කරන්න ඔහුට හැකියි. අපි සැමවිටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටිමින් ඔහුගේ සිත ප්‍රීතිමත් කිරීමට වෑයම් කරමු. අපි මෙසේ කිරීමෙන් ඔහුට නින්දා කරන්නා වන යක්ෂයාට උත්තරයක් දීමට ඔහුට හැකියි.—හිතෝපදේශ 27:11.

“දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න”

11. ‘අපව වරදට පෙලඹීමට ඉඩ නොදෙන්න’ කියා දෙවිගෙන් ඉල්ලා සිටීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

11 දෙවිට විශ්වාසවන්තව සිටීම සැමවිටම ලෙහෙසි දෙයක් නොවන නිසා දෙවිගේ උපකාරය ඉල්ලා මුළු සිතින්ම අපි යාච්ඤා කළ යුතුයි. මෙහිදී යේසුස්ගේ ආදර්ශ යාච්ඤාව ප්‍රයෝජනවත් වෙනවා. එහි එක් කොටසක යේසුස් මෙසේ පැවසුවා. “අපව වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.” (මතෙව් 6:13) යෙහෝවා දෙවි ඇතැම් දේවලට ඉඩහරින අවස්ථාවලදී, බයිබලයේ ඒවා වාර්තා කර තිබෙන්නේ හරියට ඔහු ඒ දේවල් කරනවා වගෙයි. (රූත් 1:20, 21) නමුත් යෙහෝවා වැරදි කිරීමට අපිව පොලඹවන්නේ නැහැ. (යාකොබ් 1:13) යේසුස් පැවසූ පරිදි අපි යාච්ඤා කරන විට යෙහෝවාගෙන් ඉල්ලා සිටින්නේ අපිව පරීක්ෂාවලට වැටෙන්න ඉඩ නොදෙන්න කියායි. අපි මෙසේ යාච්ඤා කරන විට යෙහෝවා දෙවි සවන් දෙන බව අපට ස්ථිරයි. මේ ගැන ශුද්ධ ලියවිල්ලේ අපට මෙසේ සහතික කර තිබෙනවා. “දෙවි විශ්වාසවන්තය. ඔබට දරාගත හැකි තරමට වඩා පරීක්ෂා කරනු ලබන්න ඔහු ඉඩ දෙන්නේ නැත. ඒ වෙනුවට, පරීක්ෂාවත් සමඟම, ඔබට එය විඳදරාගත හැකි වන පිණිස ඔහු ඉන් ගැලවීමට මඟද සලසා දෙන්නේය.”—1 කොරින්ති 10:13.

12. “දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න” කියා අපි යාච්ඤා කරන්නේ ඇයි?

12 යේසුස් ඔහුගේ ආදර්ශ යාච්ඤාවේදී අපව වරදට පෙලඹීම ගැන සඳහන් කිරීමෙන් පසු, “දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න” කියා පැවසුවා. අපි මෙසේ යාච්ඤා කළ යුතු වන්නේ දෙවිට විරුද්ධව පව් කිරීමට යක්ෂයා අපව පොලඹවන නිසයි. (මතෙව් 4:3, 11; 1 තෙසලෝනික 3:5) අප එසේ යාච්ඤා කරද්දී අපේ ස්වර්ගික පියාගෙන් අපි ඉල්ලන්නේ යක්ෂයාට අපිව රවටා වාසි ගැනීමට නොහැකි වන ලෙස අපිට මඟ පෙන්වීම දෙන්න කියායි.

අපව රවටා වාසි ගැනීමට යක්ෂයාට ඉඩ දෙන්න එපා

13, 14. කොරින්තිවරුන් අනාචාරයේ නියැලුණු මිනිසෙකු සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය වෙනස් කරගත යුතු වුණේ ඇයි?

13 පාවුල් කොරින්ති සභාවේ ක්‍රිස්තියානීන්ට සමාව දීමේ වැදගත්කම ගැන මෙසේ පෙන්වා දුන්නා. “ඔබ යමෙකුට යමක් ගැන කාරුණික ලෙස කමා වෙනවා නම් මමද කමා වෙමි. ඇත්තෙන්ම මා යමක් ගැන කාරුණික ලෙස කමා වී ඇත්නම් ඒ ක්‍රිස්තුස් ඉදිරියේ ඔබ උදෙසාය. එසේ කළේ අප සාතන්ගේ උපායවල් දැනගෙන සිටින හෙයින් ඔහු අපව රවටා වාසි නොලබන පිණිසය.” (2 කොරින්ති 2:10, 11) අපිව නොයෙක් ආකාරවලින් රවටා වාසි ගන්න යක්ෂයාට හැකියි.

14 පාවුල් ඉහත සඳහන් වදන් පැවසීමට හේතු වුණේ කුමක්ද? කොරින්තිවරුන් අනාචාරයේ නියැලුණු මිනිසෙකුට සභාවේ සිටින්න ඉඩහැරිය නිසා පාවුල් ඔවුන්ට තදින් අවවාද කර තිබුණා. “ජාතීන් අතරේවත් නැති ආකාරයක වේශ්‍යාකමක” හවුල් වී සිටි කෙනෙකුට සභාවේ සිටින්න ඉඩහැරීමෙන් සභාවට මහත් නින්දාවක් ඇතිවීම ගැන සාතන් සතුටු වූ බවට සැකයක් නැහැ. කෙසේවෙතත් අවසානයේදී ඒ වැරදිකරුව සභා ඇසුරෙන් කපාහැරියා. (1 කොරින්ති 5:1-5, 11-13) පසුව ඒ තැනැත්තා පසුතැවිලි වුණා. කොරින්තිවරුන් පසුතැවිලි වූ ඒ මිනිසාට සමාව දී නැවතත් ඔහුව සභාවට පිළි නොගත්තා නම් සාතන් එම තත්වයෙන්ද ප්‍රයෝජන ගනිමින් ඔවුන්වත් ඔහු වගේ කිසිම අනුකම්පාවක් නැති අය බවට පත් කරගන්න ඉඩ තිබුණා. පසුතැවිලි වූ ඒ මිනිසා “අධික ශෝකයේ ගිලී” දෙවිට නමස්කාර කිරීම සම්පූර්ණයෙන් අත්හැරියා නම් ඒ ගැන සභාවේ වැඩිමහල්ලන් දයාවෙන් පිරි දෙවි වන යෙහෝවාට ගණන් දීමට සිදු වෙනවා. (2 කොරින්ති 2:7; යාකොබ් 2:13; 3:1) සාතන් වගේ කිසිම අනුකම්පාවක් නැති අය වීමට කිසිම සැබෑ ක්‍රිස්තියානියෙකුට වුවමනා නැහැ.

දෙවි දෙන යුද්ධායුධ කට්ටලය ආරක්ෂාවක්

15. අපි කරන සටන කුමක්ද? අපට එයින් ජයගත හැක්කේ කෙසේද?

15 යක්ෂයාගෙන් ගැලවීමට නම් ඔහුටත් ඔහුගේ භූත සේනාවටත් එරෙහිව සටන් කළ යුතුයි. අපිට මෙම සටනින් ජයගත හැක්කේ අප ‘දෙවි සපයන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගෙන’ සිටිනවා නම් පමණයි. (එෆීස 6:11-18) මෙම සංකේතාත්මක යුද්ධායුධ කට්ටලයට ‘ධර්මිෂ්ඨකම නමැති ළයවැස්මත්’ ඇතුළත් වෙනවා. (එෆීස 6:14) පුරාණ ඊශ්‍රායෙලයේ සිටි සාවුල් රජ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අකීකරු වූ නිසා දෙවිගේ බලය ඔහුට ලැබුණේ නැහැ. (1 සාමුවෙල් 15:22, 23) එහෙත් අපි දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙමින් ඔහු සපයන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගෙන සිටිනවා නම් අපිට ඔහුගේ බලය ලැබෙනවා. එමෙන්ම සාතන්ගෙන් හා ඔහුගේ භූතයන්ගෙන් ආරක්ෂා වී සිටින්නත් අපට පුළුවන්.—හිතෝපදේශ 18:10.

16. සාතන්ගෙන් හා ඔහුගේ භූතයන්ගෙන් දිගටම ආරක්ෂා වී සිටින්න අපිට හැක්කේ කෙසේද?

16 සාතන්ගෙන් හා ඔහුගේ භූතයන්ගෙන් දිගටම ආරක්ෂා වී සිටින්න නම් අපි නිතිපතා දෙවිගේ වචනය කියවා ඒ ගැන හොඳින් සිතා බැලීමත් අවශ්‍යයි. මේ සඳහා “විශ්වාසවන්ත සේවකයා” සපයා දී තිබෙන පොත් පත් ප්‍රයෝජනයට ගන්න අපිට පුළුවන්. (ලූක් 12:42) මෙසේ කරනවා නම් පාවුල් දුන් උපදේශයට අනුව දෙවිට ප්‍රසන්න දේවලින් අපේ මනස පුරවාගන්න අපිට හැකියි. පාවුල් දුන් උපදේශය මෙයයි. “සහෝදරයෙනි, සැබෑ වූ, ගෞරවනීය වූ, ධර්මිෂ්ඨ වූ, නිර්මල වූ, ප්‍රේමය ඇති කරන්නාවූ, යහපත් කීර්තියක් ඇත්තාවූ, ගුණවත් වූ, ප්‍රශංසනීය වූ දේවල්වලට දිගටම මනස යොමු කරන්න.”—ෆිලිප්පි 4:8.

17. ශුභාරංචිය හොඳින් දේශනා කිරීමට අපට හැක්කේ කෙසේද?

17 මීට අමතරව, “සමාදානයේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා සූදානමින් සිටීම නමැති වහන් පැළඳ සිටින්න” යෙහෝවා අපිට උපකාර කරනවා. (එෆීස 6:15) අපි නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වන විට රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයේ හොඳින් හවුල් වීමට අපිට හැකි වෙනවා. දෙවි පිළිබඳ සත්‍යය ඉගෙනගෙන බොරු ආගමික ඉගැන්වීම්වලින් නිදහස ලැබීමට අන් අයට උපකාර කිරීමෙන් අපි ලබන්නේ මොන තරම් ප්‍රීතියක්ද! (යොහන් 8:32) දේවවචනය බොරු ඉගැන්වීම්වලින් අපිව ආරක්ෂා කරන අතර, එය “බලකොටු බිඳ හෙළීමට තරම් . . . බලවත්.” (එෆීස 6:17; 2 කොරින්ති 10:4, 5) බයිබලය දක්ෂ ලෙස පාවිච්චි කිරීමේ හැකියාව අපි වර්ධනය කරගන්නවා නම් අන් අයට සත්‍යය හොඳින් ඉගැන්වීමටත් යක්ෂයාගේ කූට උපායන්ගෙන් ආරක්ෂා වී සිටීමටත් අපට හැකියි.

18. අපට ‘යක්ෂයාගේ උපායවලට විරුද්ධව ස්ථිරව සිටිය’ හැක්කේ කෙසේද?

18 දෙවි සපයා තිබෙන යුද්ධායුධ කට්ටලය ගැන සඳහන් කිරීමේදී පාවුල් මෙසේ පැවසුවා. “ස්වාමීන් තුළද ඔහුගේ ශක්තියේ බලය තුළද වඩ වඩාත් බලවත් වන්න. යක්ෂයාගේ උපායවලට විරුද්ධව ස්ථිරව සිටින්න ඔබට පුළුවන් වන පිණිස, දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.” (එෆීස 6:10, 11) “ස්ථිරව සිටින්න” කියා පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ සොල්දාදුවෙකුට යුධ පිටියේදී මොන ප්‍රහාර ආවත් ඔහු එතැනින් ඉවත් නොවී ඔහුගේ ස්ථාවරයේ සිටීමයි. සාතන් අපේ එකමුතුකම බිඳ හෙළීමටත්, අපි ඉගෙනගන්නා දේවල් දූෂ්‍ය කිරීමටත්, දෙවි කෙරෙහි තිබෙන අපේ විශ්වාසය බිඳ දැමීමටත් නොයෙක් කූට උපක්‍රම යෙදුවත් ඔහුට එරෙහිව අපි කරන සටන අත් නොහැර අපේ ස්ථාවරය දිගටම රැකගනිමු. මේ දක්වා සාතන්ගේ උපක්‍රම සාර්ථක වී නැහැ. අනාගතයේදීද ඒවා සාර්ථක වෙන්නේ නැහැ. *

යක්ෂයාට විරුද්ධව සිට ඔහුව පරාජය කරන්න

19. යක්ෂයාට විරුද්ධව සිටීමට නම් අපි කුමක් කළ යුතුද?

19 යක්ෂයාට හා ඔහුගේ භූත සේනාවට එරෙහිව කරන සටනින් අපිට නිසැකවම ජයගන්න පුළුවන්. සාතන්ට අපි බිය විය යුතු නැහැ. ඔහුව පලවාහරින්න අපිට පුළුවන් බව යාකොබ් පැවසූ මෙම වදන්වලින් පැහැදිලියි. “දෙවිට යටත් වන්න. යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යන්නේය.” (යාකොබ් 4:7) සාතන්ට හා ඔහුගේ පාලනය යටතේ සිටින භූත සේනාවට එරෙහිව කරන සටනින් ජයගත හැකි එක් ක්‍රමයක් නම් භූතයන් හා සම්බන්ධ කිසිම ක්‍රියාවකට හවුල් නොවී සිටීමයි. එමෙන්ම එවැනි ක්‍රියාවල නියැලෙන අය සමඟ කිසිම සම්බන්ධයක්ද නොපැවැත්විය යුතුයි. යෙහෝවාගේ සේවකයන් ශාස්ත්‍ර කීම, වෙලාව බැලීම, මැතිරීම හා මළවුන්ගෙන් විචාරීම වැනි ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බව බයිබලයේ පැහැදිලිව පවසා තිබෙනවා. අපිට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබෙනවා නම් යම් අය අපිට අන වින හූනියම් කරයි කියා අපි බිය විය යුතු නැහැ.—ගණන් කතාව 23:23; ද්විතීය කතාව 18:10-12; යෙසායා 47:12-15; ක්‍රියා 19:18-20.

20. යක්ෂයාට විරුද්ධව සිටින්න අපිට හැක්කේ කෙසේද?

20 බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමෙන්ද එහි සඳහන් සත්‍යයන් කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව සිටීමෙන්ද ‘යක්ෂයාට විරුද්ධව සිටින්න’ අපිට පුළුවන්. සාතන් මේ ලෝකයේ පාලකයා නිසා උඩඟුකම, ආත්මාර්ථකාමිත්වය, දුරාචාරය, ප්‍රචණ්ඩ ක්‍රියා හා සැප සම්පත්වලට දක්වන ඇල්ම වැනි දේවල් බහුලව අද ලෝකයේ දැකිය හැකියි. (2 කොරින්ති 4:4) එහෙත් අපි ඒවායින් වැළකී සිටිය යුතුයි. යක්ෂයා යේසුස්ව පරීක්ෂා කළ අවස්ථාවේදී යේසුස් ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දක්වමින් ඔහුගේ පරීක්ෂාවලට හසු නොවූ විට යක්ෂයා පලා ගියා. (මතෙව් 4:4, 7, 10, 11) ඒ හා සමානව අපිත් යෙහෝවා දෙවිට යටත් වෙමින් යාච්ඤාවෙන් ඔහුගේ උපකාරය ඉල්ලා සිටිනවා නම් සාතන් ‘අප වෙතින් පලා යනවා’ නිසැකයි. (එෆීස 6:18) යෙහෝවාගේ හා ඔහුගේ පුත්‍රයාගේ උපකාරය අපිට තිබෙන නිසා කිසිම කෙනෙකුට, යක්ෂයාට පවා අපිට සදාකාලික හානියක් කළ නොහැකියි.—ගීතාවලිය 91:9-11.

[පාදසටහන්වල]

^ 18 ඡේ. දෙවි සපයා තිබෙන යුද්ධායුධ කට්ටලය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 1992 ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවේ 21 සිට 23 දක්වා පිටු බලන්න.

ඔබේ පිළිතුර කුමක්ද?

• අපි සාතන්ට බිය විය යුතුද?

• සාතන් අපට හිංසා පීඩා කරන්නේ ඇයි?

• “දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න” කියා අපි යාච්ඤා කරන්නේ ඇයි?

• යක්ෂයාට හා ඔහුගේ භූත සේනාවට එරෙහිව කරන සටනින් අපිට ජයගත හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ මුල් ගෝලයන් නිර්භීතව මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටියා

[27වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ මතකයේ සිටින අය අනිවාර්යයෙන්ම නැවත නැඟිටිනවා. එය වළක්වන්න සාතන්ට නොහැකියි

[28වන පිටුවේ පින්තූරය]

“දුෂ්ටයාගෙන්” ගලවන්න කියා ඔබ යාච්ඤා කරනවාද?

[29වන පිටුවේ පින්තූරය]

ඔබ “දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම” පැළඳ සිටිනවාද?