Skip to content

පටුනට යන්න

එස්තර් පොතෙන් විශේෂාංග

එස්තර් පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානයි

එස්තර් පොතෙන් විශේෂාංග

ඉන්දියාව සිට ඉතියෝපියාව දක්වා පැතිර තිබූ මුළු පර්සියානු අධිරාජ්‍යය පුරාම ජීවත් වන යුදෙව්වන් සියලුදෙනාවම එක දවසක් ඇතුළත මරන්නට කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබුණා. ඒ සැලැස්ම අසාර්ථක වන බවක් කොහෙත්ම පෙනෙන්නට තිබුණේ නැහැ. මේ කුමන්ත්‍රණය සැලසුම් කළ කෙනා හිතුවේ නම් ඒ විදිහටයි. නමුත් ඔහුට වැදගත් කාරණයක් අමතක වුණා. ඒ තමයි යෙහෝවා දෙවිට තමන් තෝරාගත් සෙනඟව ඕනෑම විපත්තියකින් බේරගන්න පුළුවන් බව. මේ කුමන්ත්‍රණයෙන් යුදෙව්වන්ගේ ජීවිත බේරුණු ආකාරය එස්තර් පොතේ වාර්තා වී තිබෙනවා.

මැදි විය ඉක්මවූ යුදෙව්වෙක් වූ මොර්දෙකයි විසින් ලියන ලද එස්තර් පොතේ පර්සියාවේ රජකම් කළ අහෂ්වේරොෂ් හෙවත් Iවන තක්ෂස්තාගේ පාලන සමයේ වසර 18ක පමණ කාල පරිච්ඡේදයක් ඇතුළත සිදු වූ දේවල් ගැන වාර්තා වෙනවා. යෙහෝවාගේ සේවකයන් විශාල අධිරාජ්‍යයක් පුරා තැනින් තැන ජීවත් වුණත් ඔවුන්ගේ සතුරන්ගේ කූට උපාවලින් ඔවුන්ව දෙවි බේරගන්න ආකාරය මේ කුතුහලය දනවන වාර්තාවෙන් අපට කියා දෙනවා. මේ විස්තරය අද දින ලොව වටා රටවල් 235ක යෙහෝවාට පරිශුද්ධ සේවය පිරිනමමින් සිටින අයටද මහත් දිරිගැන්වීමක්. ඒ විතරක් නෙවෙයි, මෙහි තිබෙන විවිධ චරිතවලින් අපිට අනුකරණය කිරීමට වටින හොඳ ආදර්ශ වගේම අප වැළකී සිටිය යුතු නරක ආදර්ශ පිළිබඳවද යම් දැනුමක් ලබා දෙනවා. ඇත්තෙන්ම “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය.”—හෙබ්‍රෙව් 4:12.

බිසව මැදිහත් වෙයි

(එස්තර් 1:1–5:14)

අහෂ්වේරොෂ් රජුගේ පාලන සමයේ තුන්වෙනි අවුරුද්දේදී (ක්‍රි.පූ. 493) රජ මාලිගාවේ භෝජන සංග්‍රහයක් පවත්වනවා. මේ අවස්ථාවේදී ඉතා ප්‍රියකරු වස්තී බිසව රජව අමනාප කළ නිසා ඒ පදවිය ඇයට අහිමි වෙනවා. මුළු දේශයේම වෙසෙන ප්‍රියකරු තරුණියන් අතර හදස්සා නම් වූ යුදෙව් තරුණියව ඇය වෙනුවට තෝරාගනු ලබනවා. තමා යුදෙව් ජාතියේ කෙනෙක්යයි නොකියා එස්තර් යන ඇගේ පර්සියානු නම පාවිච්චි කරන්න කියා ඇගේ ඥාති සහෝදරයා වූ මොර්දෙකයි ඇයට උපදෙස් දෙන අතර ඇය එසේ කරනවා.

පසු කාලයකදී හාමාන් නම් වූ ඉතා උඩඟු පුද්ගලයෙක් අගමැති ධුරය ලබනවා. මොර්දෙකයි ‘ඔහුට හිස නමන්නෙවත්, වඳින්නෙවත්’ නැති නිසා හාමාන්ට හුඟක් කේන්ති ගියා. මේ නිසා පර්සියානු අධිරාජ්‍යයේ වෙසෙන යුදෙව්වන් සියලුදෙනාවම විනාශ කරන්න ඔහු උපායක් යොදනවා. (එස්තර් 3:2) කෙසේ හෝ අහෂ්වේරොෂ් රජුගේ කැමැත්ත ලබාගන්න හාමාන්, මේ ඝාතනය සිදු කිරීමට රජුගෙන් නියෝගයකුත් ලබාගන්නවා. මේ ගැන දැනගන්න මොර්දෙකයි “ගෝණි රෙදි හැඳ අළු දමාගෙන” දුකෙන් සිටියි. (එස්තර් 4:1) එස්තර් මැදිහත් වී මේ ගැන යමක් කළ යුතු වුණා. ඇය රජුටත් අගමැතිටත් භෝජන සංග්‍රහයකට ආරාධනා කරනවා. ඔවුන් සතුටින් ඊට සහභාගි වන අතර ඊළඟ දවසේදීත් එවැනිම සංග්‍රහයකට පැමිණෙන්න කියා බිසව ඔවුන්ට ආරාධනා කරනවා. හාමාන්ට තිබුණේ කියා නිම කළ නොහැකි සතුටක්. ඒත් මොර්දෙකයි ඔහුට ගෞරවය පෙන්වන්නේ නැති නිසා ඉතා කෝපයෙන් සිටින හාමාන් ඊළඟ දවසේ භෝජන සංග්‍රහයට පෙර කොහොමහරි ඔහුව මරන්න උපා යොදනවා.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:3-5—රජුගේ විශාල භෝජන සංග්‍රහය දින 180ක් පුරා පැවතුණාද? ඒ භෝජන සංග්‍රහය එතරම් කාලයක් පැවතුණා කියා ඒ පදවල සඳහන් වෙන්නේ නැහැ. රජු දින 180ක් පුරා ඒ නිලධාරීන්ට තම රාජ්‍යයේ ධන සම්භාරයද තේජසද පෙන්වූ බවයි එහි සඳහන් වෙන්නේ. ඒ නිලධාරීන්ගේ සිත දිනාගැනීම සඳහාත් තම සැලැස්ම දියත් කිරීමට තමාට ඇති හැකියාව ගැන ඔවුන්ට තහවුරු කිරීම සඳහාත්, රජු තම රාජ්‍යයේ උත්කෘෂ්ටභාවය හා ගෞරවය ඔවුන්ට ප්‍රදර්ශනය කරන්න මේ දිගු කාල පරිච්ඡේදය යොදාගත්තා විය හැකියි. එහෙමනම් 3වන සහ 5වන පදවල සඳහන් වන මංගල්‍ය, දින 180ක් පැවති වංශාධිපතීන්ගේ රැස්වීමෙන් පසුව පැවති සත් දවසේ විශාල භෝජන සංග්‍රහය විය හැකියි.

1:8—‘බොන්නට දුන් කාලයේදී ව්‍යවස්ථාව ලෙස කිසිවෙකුට බලහත්කාර කරන්නට නුපුළුවන්’ වුණේ මොන අර්ථයෙන්ද? එවැනි සුහද හමුවීම්වලදී එකිනෙකාට නිශ්චිත ප්‍රමාණයක් බීමට උනන්දු කිරීම පර්සියාවේ සිරිතක්ව තිබූ බව පෙනෙනවා. නමුත් මේ අවස්ථාවේදී “ඔවුන් කැමති සේ වැඩියෙන් හෝ අඩුවෙන් බොන්න” අහෂ්වේරොෂ් රජ ඔවුන්ට නිදහස දුන් බව එක් වාර්තාවක සඳහන් වෙනවා.

1:10-12—වස්තී බිසව රජ ගාවට එන්න අකමැති වුණේ ඇයි? ඇය එලෙස අකීකරු වුණේ බීමත්ව සිටි රජගේ ආගන්තුකයන් ඉදිරියේ අවමන් වීමට ඇය අකමැති වූ නිසා බව සමහර බයිබල් විශාරදයන් කියනවා. සමහරවිට පෙනුමෙන් ඉතාමත්ම ප්‍රියකරු වූ මේ බිසව සැබෑ නිහතමානීකම ඇති කෙනෙක් නොවෙන්න ඇති. ඇය අකීකරු වූ හේතුව ගැන බයිබලයේ සඳහන් වෙලා නැතත්, ස්වාමිපුරුෂයාට කීකරු වීම ඉතා වැදගත් කාරණයක් බවත් වස්තී කළ දෙය පර්සියාවේ සියලුම ප්‍රාන්තවල සිටින භාර්යාවන්ට නරක ආදර්ශයක් විය හැකි බවත් ඒ කාලයේ සිටි ප්‍රඥාවන්තයන් සිතූ බව එහි සඳහන් වෙනවා.

2:14-17—එස්තර්, රජ සමඟ අනාචාරයේ යෙදුණාද? නැහැ. ඒ වාර්තාවේ සඳහන් වෙන්නේ රජු ළඟට ගෙන ගිය තරුණියන්ව ඊළඟ දවසේ උදෑසන “උපභාර්යාවන් රක්ෂා කළ” රජුගේ නපුංසකයා භාරයේ තිබූ දෙවෙනි ස්ත්‍රී ගෘහයට ගෙන යනු ලැබූ බවයි. මෙසේ රජු සමඟ රාත්‍රිය ගත කළ තරුණියන් ඔහුගේ උපභාර්යාවන් වුණා. නමුත් රජ ගාවට ගෙන යනු ලැබූ එස්තර්ව දුටු ‘රජ, සියලු ස්ත්‍රීන්ට වඩා එස්තර්ට ආදර වී ඇය සියලු කන්‍යාවන්ට වඩා ඔහුගෙන් දයාවත් කරුණාවත් ලැබුවාය.’ මේ නිසා එස්තර්ව උපභාර්යාවන්ගේ ගෘහයට ගෙන යන්නේ නැහැ. (එස්තර් 2:17) ඇය අහෂ්වේරොෂ්ගේ “දයාවත් කරුණාවත්” ලැබුවේ කොහොමද? ඇය වෙනත් අයගේ කරුණාව දිනාගත් ආකාරයටමයි. “තරුණීද [හෙගයිට] ප්‍රියව ඔහුගෙන් කරුණාව ලැබුවාය.” (එස්තර් 2:8, 9) හෙගයි ඇයට කරුණාව පෙන්නුවේ ඇගේ ලස්සන පෙනුම සහ යහපත් ගුණාංග නිසාමයි. ඇත්තෙන්ම “එස්තර් තමන් දුටු සියල්ලන්ගෙන් කරුණාව ලැබුවාය.” (එස්තර් 2:15) ඒ වගේම එස්තර්ව මුණගැසුණු විට රජටත් ඇය ගැන ලොකු පැහැදීමක් ඇති වී ඔහු ඇයට ගොඩාක් ආදරේ කරන්න පටන්ගත්තා.

3:2; 5:9—මොර්දෙකයි හාමාන්ට හිස නැමුවේ නැත්තේ ඇයි? බලය ලත් කෙනෙකුගේ උසස් තනතුරට ගරු කිරීමක් වශයෙන් ඔහු ඉදිරියේ වැඳ වැටීම ඊශ්‍රායෙලිතයන්ට වරදක් වුණේ නැහැ. නමුත් හාමාන් සම්බන්ධයෙන් නම් මීට වඩා වැඩි යමක් ඇතුළත් වුණා. හාමාන් අගාගිය ජාතිකයෙක් වුණා. මොවුන් අමලෙක්වරුන් විය හැකි අතර අමලෙක්වරුන්ව යෙහෝවා දෙවි විසින් විනාශයට නියම කර තිබුණා. (ද්විතීය කතාව 25:19) මොර්දෙකයි, හාමාන්ට වැඳ වැටුණා නම්, ඔහු යෙහෝවා දෙවිට පක්ෂපාත නැති බව ඉන් අදහස් කරන්න තිබුණා. ඒ නිසා තමා යුදෙව්වෙක් බව ප්‍රකාශ කළ අතර මොර්දෙකයි, හාමාන්ට වැඳ වැටීම එක හෙළා ප්‍රතික්ෂේප කළා.—එස්තර් 3:3, 4.

අපිට ගත හැකි පාඩම්:

2:10, 20; 4:12-16. යෙහෝවාට ආදරෙන් නමස්කාර කළ අද්දැකීම් ලත් කෙනෙකුගේ මඟ පෙන්වීම් සහ උපදෙස් එස්තර් පිළිගත්තා. අප ‘අතරේ පෙරමුණ ගන්නා අයට අපිත් කීකරුව, යටත්ව සිටීම’ ඥානවන්ත දෙයක්.—හෙබ්‍රෙව් 13:17.

2:11; 4:5. අපි ‘අපේම කාරණා ගැන විතරක් නෙවෙයි, අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක් දැක්විය යුතුයි.’—ෆිලිප්පි 2:4.

2:15. එස්තර් හෙගයි සැපයූ දේට අමතරව ආභරණවත් මිල අධික ඇඳුම්වත් ඉල්ලුවේ නැහැ. ඇය නිහතමානීකම හා ආත්ම දමනය පෙන්නුවා. එස්තර්ට රජුගේ කරුණාව ලැබුණේ “තැන්පත් වූ මෘදු වූ ගතිය නමැති දිරා නොයන වස්ත්‍රය පැළඳ සිටින සිතේ අභ්‍යන්තර පුද්ගලයා” නිසයි.—1 පේතෘස් 3:4.

2:21-23. එස්තර් සහ මොර්දෙකයි ‘උසස් බලධාරීන්ට යටත් වීම’ සම්බන්ධයෙන් ආදර්ශවත් අය වුණා.—රෝම 13:1.

3:4. සමහර තත්වයන්වලදී අපි කවුද යන්න නොකියා සිටීම නැණවත් දෙයක් විය හැකියි. එස්තර්ට එහෙම කරන්න සිදු වුණා. නමුත්, මුළු විශ්වයම පාලනය කිරීමට යෙහෝවා දෙවිට තිබෙන අයිතිය සහ ඊට අපි දක්වන පක්ෂපාතකම වැනි සමහර වැදගත් කාරණාවලදී අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන් බව කියා සිටීමට බියවීම සුදුසු නැහැ.

4:3. පීඩා ගැටලු හමුවේ අපි යෙහෝවා දෙවි වෙතට යාච්ඤාවෙන් හැරී ශක්තිය හා ප්‍රඥාව අයද සිටිය යුතුයි.

4:6-8. හාමාන්ගේ කුමන්ත්‍රණය නිසා ඇති වූ තර්ජනයට මොර්දෙකයි විසඳුමක් ලබාගත්තේ නීත්‍යනුකූල ආකාරයටයි.—ෆිලිප්පි 1:7.

4:14. මොර්දෙකයිට යෙහෝවා දෙවි කෙරෙහි තිබූ නිසැකකම ආදර්ශයට ගැනීමට වටින එකක්.

4:16. යෙහෝවා දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසයක් තැබූ එස්තර්, නිර්භීත ලෙස තම ජීවිතය පවා පරදුවේ තබමින් අසීරු තත්වයකට මුහුණ දුන්නා. අපිත් අපේ හැකියාවන් මත නොව යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබීමට පුරුදු වීම අත්‍යවශ්‍ය දෙයක්.

5:6-8. අහෂ්වේරොෂ්ගේ කරුණාව දිනාගැනීමට එස්තර් ඔහුව දෙවෙනි වතාවටත් භෝජන සංග්‍රහයකට ආරාධනා කරනවා. ඇය නැණ නුවණින් ක්‍රියා කළා. අපිත් එලෙස ක්‍රියා කළ යුතුයි.—හිතෝපදේශ 14:15.

දේවල් අනිත් පැත්ත පෙරළෙයි

(එස්තර් 6:1–10:3)

මෙතැන් පටන් සිදුවීම් අනිත් පැත්ත පෙරළෙනවා. හාමාන් මොර්දෙකයිට සෑදූ එල්ලුම් ගහේ හාමාන්ව එල්ලනු ලබන අතර මොර්දෙකයි අගමැති වෙනවා! යුදෙව්වන්ව සහමුලින්ම විනාශ කරදැමීමට කළ කුමන්ත්‍රණයත් සම්පූර්ණයෙන් වෙනස් වුණා.

විශ්වාසවන්ත එස්තර් නැවතත් තම ජාතිය වෙනුවෙන් කතා කරයි. ඇගේ ජීවිතය පරදුවට තබමින් රජු ඉදිරියට ඇවිත් හාමාන් කළ කුමන්ත්‍රණය කොහොමහරි ඉවත් කරන්න ක්‍රමයක් සොයන්න කියා ඇය රජුගෙන් අයදිනවා. මේ ගැන කළ යුත්තේ කුමක්ද කියා හොඳින් දන්නා අහෂ්වේරොෂ්, යුදෙව්වන්ව ඝාතනය කිරීමේ දවස පැමිණි විට, ඝාතනය කරන්නේ යුදෙව්වන්ව නොව ඔවුන්ට අනතුරක් කිරීමට සොයන අයවයි. මේ මහත් ගැලවීම සිහි කිරීම සඳහා පූරීම් යන නමින් සෑම වසරකම උත්සවයක් පැවැත්වීමට මොර්දෙකයි නියම කරනවා. අහෂ්වේරොෂ් රජට පමණක් දෙවෙනියා වන මොර්දෙකයි “තමන් සෙනඟගේ දියුණුව සොයා තමන් මුළු වංශයට සමාදානය සිද්ධ වන ලෙස කතා කළේය.”—එස්තර් 10:3.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

7:4යුදෙව්වන්ව විනාශ කිරීම ‘රජුට අලාභයක්’ වෙන්නේ කොහොමද? යුදෙව්වන්ව දාසකමට විකුණුවොත් ලැබෙන ලාභය ගැන උපායශීලී ලෙස පෙන්වා දෙන එස්තර්, ඔවුන්ගේ විනාශයෙන් රජුට වන පාඩුව ගැන අවධාරණය කරනවා. ඔවුන්ව විනාශ කළොත් රාජ භාණ්ඩාගාරයට දෙනවා කියා හාමාන් පොරොන්දු වූ රිදී තලෙන්ත 10,000ට වඩා වැඩි ලාභයක් ඔවුන්ව දාසකමට විකිණීමෙන් හාමාන්ට ලබන්න තිබුණා. යුදෙව්වන්ව විනාශ කිරීමට හාමාන් කළ කුමන්ත්‍රණය සාර්ථක වුණා නම් බිසවත් විනාශ වෙන්න ඉඩ තිබුණා.

7:8—රජුගේ නිලධාරීන් හාමාන්ගේ මුහුණ වැසුවේ ඇයි? මෙය සමහරවිට ලජ්ජාව අඟවන්න හෝ සිදුවීමට නියමිත විනාශය අඟවන්න කළ දෙයක් වෙන්න ඇති. “පුරාණයේ සිටි මිනිස්සු සමහර අවස්ථාවලදී මරණ දඬුවම ලබන්න සූදානමින් සිටි අයගේ හිස වැසුවා” කියා පොතක සඳහන් වෙනවා.

8:17—‘දේශයේ මිනිසුන්ගෙන් බොහෝදෙනෙක් යුදෙව්වෝ වුණේ’ කිනම් අර්ථයෙන්ද? යුදෙව්වන් විනාශ කිරීමට වූ රජුගේ නියෝගය අවලංගු වුණේ යුදෙව්වන්ට දෙවිගේ අනුග්‍රහය තිබෙන නිසායයි සිතූ පර්සියානුවන් බොහෝදෙනෙක් යුදෙව් ආගමට හැරුණා විය හැකියි. සෙකරියා පොතේ ඇති අනාවැකියක ඉටුවීමෙහි දක්නට ලැබෙන්නෙත් එවැනිම දෙයක්. එහි සඳහන් වෙන්නේ මෙයයි. “ජාතීන්ගේ සැම භාෂා කතා කරන්නන් අතරෙන් දසදෙනෙක් යුදෙව්වෙකුගේ වස්ත්‍රය අල්ලාගෙන: අපි ඔබ සමඟ යන්නෙමු; මක්නිසාද දෙවි ඔබ සමඟ සිටින්නේයයි ඇසීමුයයි කියන්නෝය.”—සෙකරියා 8:23.

9:10, 15, 16—රජු යුදෙව්වන්ට කොල්ලය ගන්න අවසර දී තිබුණත් ඔවුන් එසේ නොකළේ ඇයි? ඔවුන්ගේ අරමුණ වුණේ තම ජාතිය ආරක්ෂා කිරීම මිසක වස්තු රැස් කිරීම නොවන බව ඉන් තහවුරු වුණා.

අපිට ගත හැකි පාඩම්:

6:6-10. “විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට ප්‍රථමයෙන් අහංකාර සිතද” වෙයි.—හිතෝපදේශ 16:18.

7:3, 4. අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන් බව කීමෙන් සමහර විට අපිට පීඩා එල්ල විය හැකි වුණත් අපි භය නොවී එසේ කියා සිටිනවාද?

8:3-6. සතුරන්ගෙන් අපිව ආරක්ෂා කර දෙන්න කියා ආණ්ඩුවේ නිලධාරීන් වෙතට සහ උසාවිවලට යන්න අපිට පුළුවන් වගේම අපි එසේ කළ යුතුයි.

8:5. තම ජාතිය විනාශ කිරීමට සකස් කළ නියෝගයට රජු සම්බන්ධ වී සිටි ආකාරය ගැන සඳහන් නොකිරීමට එස්තර් ඥානවන්ත වුණා. අපිත් උසස් නිලධාරීන්ට සාක්ෂිදරද්දී ඊට සමාන ආකාරවලින් ඥානවන්ත විය යුතුයි.

9:22. අපි අතර සිටින දුප්පත් අය ගැන අපි සැලකිල්ලක් දැක්විය යුතුයි.—ගලාති 2:10.

යෙහෝවා දෙවි අපිට “පිහිටත් ගැලවීමත්” ලබාදෙයි

එස්තර් රජුගේ බිසව ලෙස පත්වීම දෙවිගේ අරමුණ වූ බව මොර්දෙකයි සඳහන් කරනවා. තර්ජනයක් එල්ල වන විට යුදෙව්වන් නිරාහාරව සිට උපකාරය ඉල්ලා දෙවිට යාච්ඤා කරනවා. ආරාධනයක් නොලැබුණත් බිසව රජු හමුවෙන්න යන අතර, එසේ යන සෑම අවස්ථාවකදීම ඔහු ඇයව කාරුණිකව පිළිගන්නවා. තීරණාත්මක රාත්‍රියේදී රජුට නින්ද යන්නේ නැහැ. තම සෙනඟගේ ප්‍රයෝජනය සඳහා යෙහෝවා දෙවි දේවල් මෙහෙයවූ ආකාරය ගැන එස්තර් පොතෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

එස්තර්ගේ මේ කුතුහලය දනවන වාර්තාව ‘අන්තිම කාලයේ’ ජීවත් වන අපිට දිරිගැන්වීමක්. (දානියෙල් 12:4) මේ අවසාන කාලයේ “අන්තිම දවස්වලදී,” මාගොග්හි ගොග් වන සාතන් නමැති යක්ෂයා, යෙහෝවා දෙවිගේ සෙනඟට දැඩි ප්‍රහාරයක් එල්ල කරයි. සැබෑ දෙවිට නමස්කාර කරන සියලුදෙනාව විනාශ කිරීමයි ඔහුගේ අරමුණ වෙන්නේ. නමුත් එස්තර්ගේ කාලයේදී මෙන් යෙහෝවා දෙවි තම සේවකයන්ට “පිහිටත් ගැලවීමත්” ලබාදෙයි.—එසකියෙල් 38:16-23; එස්තර් 4:14.

[10වන පිටුවේ පින්තූරය]

එස්තර් සහ මොර්දෙකයි, අහෂ්වේරොෂ් රජු ඉදිරියේ