Skip to content

පටුනට යන්න

“පූර්ණ සිහිකල්පනාව ඇතිව සිටින්න”

“පූර්ණ සිහිකල්පනාව ඇතිව සිටින්න”

“පූර්ණ සිහිකල්පනාව ඇතිව සිටින්න”

“අද්දැකීම් අඩු තැනැත්තා, කියන ඕනෑම දෙයක් විශ්වාස කරයි. නමුත් බුද්ධිමත් තැනැත්තා තමා ගත යුතු පියවර ගැන කල්පනාකාරී වෙයි.”—හිතෝපදේශ 14:15, නව ලොව පරිවර්තනය, NW.

1, 2. (අ) සොදොම්හිදී ලොත්ට සිදු වූ දෙයින් අපට ගත හැකි පාඩම මොකක්ද? (ආ) “සිහිකල්පනාව ඇතිව සිටින්න” කීමෙන් අදහස් කරන්නේ මොකක්ද?

ආබ්‍රහම්, කැමති ප්‍රදේශයක් තෝරගන්න කියා ලොත්ට කියූ අවස්ථාවේදී, “යෙහෝවාගේ උයන මෙන්” වූ ඉතාමත්ම සශ්‍රීක “යොර්දාන් ප්‍රදේශයම තෝරාගත්” ලොත්, සොදොම් නුවර අසල කූඩාරම් ගසාගත්තා. තම පවුල සමඟ පදිංචි වෙන්න හොඳම තැන එය කියා ඔහුට හිතෙන්න ඇති. නමුත් “සොදොම්හි මනුෂ්‍යයෝ දුෂ්ටව යෙහෝවාට විරුද්ධව අතිශයෙන් පව්කාරයෝ” වූ නිසා ලොත් රැවටුණා. (උත්පත්ති 13:7-13) පිටතින් දැක්ක දේ අනුව ගත් තීරණය නිසා ලොත්ටත් ඔහුගේ පවුලේ අයටත් සිදු වුණේ ලොකු හානියක්. අන්තිමේදී තම දූවරුන් සමඟ ගුහාවක ජීවත් වෙන්නත් ඔහුට සිදු වුණා. (උත්පත්ති 19:17, 23-26, 30) මුලදී හොඳයි කියා ඔහු ගත් තීරණය අන්තිමට ඔහු ගත් නරකම තීරණය බවට පත් වුණා.

2 මෙයින් අපිටත් පාඩමක් ගන්න පුළුවන්. ජීවිතයේ අපි ගන්නා තීරණවලදී මතුපිටින් පෙනෙන දේට නොරැවටී, සිදු විය හැකි හානි ගැනත් සිතන්න අවශ්‍යයි. “පූර්ණ සිහිකල්පනාව ඇතිව සිටින්න” කියා දේවවචනය අපිට උනන්දු කරන්නේ ඒ නිසයි. (1 පේතෘස් 1:13) “සිහිකල්පනාව ඇති කෙනෙක් සන්සුන්, ස්ථිර කෙනෙක්. ඒ වගේම දේවල් හොඳින් කිරා මැන බලා හරි තීරණයක් ගන්න කෙනෙක්” කියා බයිබල් විශාරදයෙක් වන ආර්. සී. එච්. ලෙන්ස්කී පවසනවා. එවැනි සිහිකල්පනාවක් ඇතිව වැඩ කළ යුතු අවස්ථා කිහිපයක් ගැන දැන් අපි සලකා බලමු.

ව්‍යාපාර කටයුතුවලදී . . .

3. ව්‍යාපාරයකට අත ගසන්න කියා කෙනෙක් ආරාධනා කළොත් ඔබ පරෙස්සම් විය යුත්තේ ඇයි?

3 ඔබ ගරු කරන කෙනෙක්, යම් ව්‍යාපාරයකට අත ගසන්න කියා ඔබට ආරාධනා කරනවා කියා හිතන්න. සමහර විට ඔහු යෙහෝවා දෙවිට නමස්කාර කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරය සාර්ථක වන බවට ඔහුට හොඳ විශ්වාසයක් තිබෙන නිසා ලැබුණ අවස්ථාව නැති කරගන්නේ නැතිව ඉක්මනින් තීරණයක් ගන්න ඔහු ඔබට උනන්දු කරනවා. මේ තුළින් ඔබෙත් ඔබේ පවුලේ අයගෙත් ජීවිතය සැපපහසු කරගන්න හැකි වන අතරම සභාවේ වැඩ කටයුතු කරන්නත් වැඩි කාලයක් ලැබෙයි කියා ඔබට සිතේවි. නමුත් හිතෝපදේශ 14:15 (NW) අනතුරු අඟවන්නේ “අද්දැකීම් අඩු තැනැත්තා, කියන ඕනෑම දෙයක් විශ්වාස කරයි. නමුත් බුද්ධිමත් තැනැත්තා තමා ගත යුතු පියවර ගැන කල්පනාකාරී වෙයි” කියායි. අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න ඇති කැමැත්ත හා උද්‍යෝගය නිසා, එහි අවදානම් පැති නොපෙනී යන්න පුළුවන්. (යාකොබ් 4:13, 14) එවැනි අවස්ථාවකදී පූර්ණ සිහිකල්පනාව ඇතිව සිටීම මොන තරම් වැදගත්ද!

4. ව්‍යාපාර කටයුත්තකදී අප ගන්නා ‘පියවර ගැන කල්පනාකාරී’ වෙන්න පුළුවන් කොහොමද?

4 ඥානවන්ත කෙනෙක් තීරණයක් ගන්න පෙර ඒ ගැන හොඳින් සොයා බලනවා. (හිතෝපදේශ 21:5) එවිට සැඟවී තිබෙන අනතුරු දැකගන්න ඔහුට පුළුවන්. උදාහරණයකට කෙනෙක් තම ව්‍යාපාරයට අවශ්‍ය කරන මුදල් ඔබෙන් ණයට ඉල්ලනවා කියා සිතන්න. ඔහු පොරොන්දු වෙන ලාභය ගැන ඔබට ආශාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ ව්‍යාපාරය අසාර්ථක වුණොත් කුමක් වෙයිද? සාර්ථක වුණත් නැතත් ඒ මුදල් ඔබට නැවත ගෙවන්න ඔහු පොරොන්දු වෙනවාද? ගෙව්වේ නැත්නම් ඒ පාඩුව දරාගන්න ඔබට පුළුවන් වෙයිද? ඒ වගේම ඔහු ඔබෙන් මුදල් ඉල්ලන්නේ බැංකුව ණයක් නොදෙන නිසාද? බැංකුව මුදල් නොදෙන්නේ ඒ ව්‍යාපාරය අවදානම් සහිත එකක් නිසාද? තීරණයක් ගන්න පෙර ඒ ආකාරයට දේවල් කිරා මැන බැලීමෙන් වඩාත් ඥානවන්ත තීරණයක් ගන්න ඔබට හැකි වේවි.—හිතෝපදේශ 13:16; 22:3.

5. (අ) යෙරෙමියා කෙතක් මිල දී ගත් අවස්ථාවේදී කළ ඥානවන්ත දෙය මොකක්ද? (ආ) සියලුම ව්‍යාපාරික ගිවිසුම් ලිඛිතව තබාගැනීම ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

5 යෙරෙමියා කෙතක් මිල දී ගත් අවස්ථාවේදී කළ දෙයින් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්. එය මිල දී ගත්තේ යෙහෝවාට නමස්කාර කළ තම ඥාති සහෝදරයෙකුගෙන් වුණත් ඔහු ඒ ගනු දෙනුව කළේ සාක්ෂිකරුවන් ඉදිරියේ ලිඛිත වාර්තාවක් අත්සන් කිරීමෙන් පසුවයි. (යෙරෙමියා 32:9-12) තම නෑදෑයන් සමඟ හෝ සෙසු නමස්කාරකයන් සමඟ කරන ඕනෑම ව්‍යාපාරික කටයුත්තකදී එකඟ වන කාරණා සහ පොරොන්දු වන දේවල් හැම එකක්ම ලිඛිතව තබාගැනීමට ඥානවන්ත කෙනෙක් වගබලා ගන්නවා. * එලෙස පිළිවෙළකට සහ පැහැදිලි ලෙස සකස් කළ ගිවිසුමක් මගින් වැරදි වැටහීම් වැළකෙනවා වගේම එකිනෙකා අතර සාමය පවත්වාගන්නත් හැකි වෙනවා. එසේ නොකිරීම නිසා යෙහෝවාගේ සේවකයන් අතර පවා ගැටලු ඇති වී තිබෙනවා. ප්‍රතිඵලයක් ලෙස සිත්තැවුල, කේන්තිය සහ දෙවිත් එක්ක තිබෙන මිත්‍රත්වය පවා නැති කරගෙන තිබීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්.

6. අපි තණ්හාවෙන් වැළකිය යුත්තේ ඇයි?

6 අපි තණ්හාවෙන්ද වැළකිය යුතුයි. (ලූක් 12:15) විශාල ලාභයක් ලබන්න පුළුවන් කියා පෙනෙද්දී ඒ ව්‍යාපාර කටයුත්තේ ඇති අනතුරුදායක පැති අපිට නොපෙනී යන්න පුළුවන්. මේ උගුලට අසුවීම නිසා බොහෝදෙනෙක් තම වටිනා ක්‍රිස්තියානි වරප්‍රසාද පවා අහිමි කරගෙන තිබෙනවා. “මුදලට ප්‍රේම නොකරමින් ජීවත් වන්න. ඔබට ඇති දෙයින් සතුටු වන්න” කියා දේවවචනය අපිට අනතුරු අඟවන්නේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 13:5) යම් ව්‍යාපාරයකට අත ගසන්න පෙර, ‘මට ඇත්තටම මේකට හවුල් වෙන්න ඕනද’ කියා අපි කල්පනා කර බැලිය යුතුයි. යෙහෝවාගේ නමස්කාරයට මුල් තැන දී සරල ජීවිතයක් ගත කිරීම ‘සියලු ආකාර හානිකර දේවල්වලින්’ අපිව ආරක්ෂා කරයි.—1 තිමෝති 6:6-10.

විවාහයට කෙනෙකු සෙවීමේදී . . .

7. (අ) තනිකඩ ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් මුහුණ දෙන අභියෝග මොනවාද? (ආ) විවාහයට කෙනෙකුව සොයාගැනීමේදී දෙවිට ඇති පක්ෂපාතකම පෙන්වන්නේ කොහොමද?

7 යෙහෝවා දෙවිගේ සේවකයන් අතර සිටින බොහෝදෙනෙකුට සෙසු නමස්කාරකයන් අතරෙන්ම විවාහයට සුදුසු කෙනෙකුව සොයාගැනීම පහසු කාර්යයක් නොවෙන්න පුළුවන්. (හිතෝපදේශ 13:12) සමහර රටවල විවාහයක් කරගන්න කියා සමාජයෙන් එල්ල වන බලපෑම් ඔවුන්ට පීඩනයක් වුණත් ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වෙන්න කියා බයිබලයේ ඇති උපදෙසට ක්‍රිස්තියානීන් කීකරු වෙනවා. එයින් තම පක්ෂපාතකම දෙවිට පෙන්විය හැකි බව ඔවුන් තේරුම්ගෙන තිබෙනවා. (1 කොරින්ති 7:39) මේ කාරණයේදී ඇති විය හැකි පීඩා පරීක්ෂා හමුවේ ස්ථිරව සිටීමට නම්, තනිකඩ ක්‍රිස්තියානීන් පූර්ණ සිහිකල්පනාව ඇතිව සිටිය යුතුයි.

8. ෂූලම්මීය තරුණියට පැමිණි පීඩනය මොකක්ද? අද සිටින ක්‍රිස්තියානි තරුණියන්ටත් මේ හා සමාන පීඩනයක් ඇති වෙන්න පුළුවන් කොහොමද?

8 සලමොන් රජුගේ අවධානය දිනාගත් ෂූලම්හි ජීවත් වූ ප්‍රියකරු ගම්බද තරුණියක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. රජ ඔහුගේ ධනය හා බලය ප්‍රදර්ශනය කරමින් ඇයව වර්ණනා කරමින් ඇගේ සිත දිනාගැනීමට හැකි හැම දෙයක්ම කළා. නමුත් ඒ වන විටත් තමා හා ආදරයෙන් බැඳී සිටි තරුණයාට ඇය දිගටම විශ්වාසවන්තව සිටියා. (සලමොන්ගේ ගීතිකාව 1:9-11; 3:7-10; 6:8-10, 13) ක්‍රිස්තියානි තරුණියක් වන ඔබ ගැනත් සමහරුන් අනවශ්‍ය අවධානයක් යොමු කරනවා වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඔබ සමඟ එකට වැඩ කරන කෙනෙක් හෝ එම රැකියා ස්ථානයේ ඉහළ නිලයක් දරන කෙනෙක්, ඔබ සමඟ කාලය ගත කරන්න අවස්ථා සොයමින් යම් උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔහු ඔබව වර්ණනා කරන්නත් පුළුවන්. සමහරවිට එවැනි කෙනෙකුගේ සිතේ අනවශ්‍ය ආල හැඟුම් හෝ වැරදි ආකල්ප නැතිව ඇති. නමුත් පරෙස්සම් වෙන්න. එවැනි බොහෝදෙනෙකුට ඇත්තේ හොඳ චේතනා නෙවෙයි. ‘පවුරක්’ මෙන් නොසැලී සිටි ෂූලම්මීය තරුණිය මෙන් වී, එවැනි අයගේ අනවශ්‍ය අවධානය එක හෙළා ප්‍රතික්ෂේප කරන්න. (සලමොන්ගේ ගීතිකාව 8:4, 10) මුලදීම ඔබේ රැකියා ස්ථානයේ අයට ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් බව දැනගන්නට සලස්වන්න. ලැබෙන හැම අවස්ථාවකදීම ඔවුන්ට සාක්ෂි දරන්න. එය ඔබට ආරක්ෂාවක් වේවි!

9. අන්තර්ජාලය මගින් නාඳුනන කෙනෙක් සමඟ බැඳීමක් ඇති කරගැනීමේ ඇති අනතුරු මොනවාද? (25වන පිටුවේ ඇති කොටුවද බලන්න.)

9 මංගල යෝජනා ඇතුළත් අන්තර්ජාල වෙබ් අඩවි දැන් එන්න එන්නම ජනප්‍රිය වෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් හමුවෙන්නේ නැති අයව දැන හඳුනාගන්න මෙය හොඳ ක්‍රමයක් බව සමහරුන්ගේ මතයයි. නමුත් ඒ බොහෝදෙනෙක් තමන්ගේ ඇත්ත තොරතුරු වසං කරන නිසා මෙවැනි නාඳුනන කෙනෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගැනීම ඥානවන්ත දෙයක් කියා ඔබ හිතනවාද? (ගීතාවලිය 26:4) එවැනි වෙබ් අඩවිවල තමන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියා හඳුන්වන අය සිටියත් ඒ හැමෝම සාක්ෂිකරුවන් නොවන බව මතක තබාගන්න. මෙවැනි සම්බන්ධයක් නිසා බලවත් හැඟීම් ඇති විය හැකි අතර දුර දිග නොබලා තීරණ ගන්න ඉඩ තිබෙනවා. (හිතෝපදේශ 28:26) මේ නිසා අන්තර්ජාලය මගින් හෝ වෙනත් ක්‍රමවලින් තමා එතරම් අඳුරන්නේ නැති කෙනෙක් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගැනීම කොහොමටත් නුවණට හුරු දෙයක් නම් නෙවෙයි.—1 කොරින්ති 15:33.

10. තනිකඩ ක්‍රිස්තියානීන්ව දිරිගන්වන්න අපිට කරන්න පුළුවන් මොනවාද?

10 යෙහෝවා දෙවි තම සේවකයන්ට “ඉතා ගැඹුරු ස්නේහය” දක්වන බව මතක තබාගන්න. (යාකොබ් 5:11) විවාහ වීමට ආශාවෙන් සිටියත් එයට අවස්ථාවක් නැතිව සිටින ක්‍රිස්තියානීන්ට ඇති වන කලකිරීම ගැන ඔහු හොඳින් දන්නවා. ඔවුන් පෙන්වන පක්ෂපාතකම දෙවි ගොඩාක් අගය කරනවා. මෙවැනි අයව දිරිගන්වන්න අපිට කරන්න පුළුවන් මොනවාද? ඔවුන් පෙන්වන කීකරුකම සහ කරන කැපවීම් ගැන අපි ඔවුන්ට ප්‍රශංසා කළ යුතුයි. (විනිශ්චයකාරයෝ 11:39, 40) සුහද හමුවක් සඳහා සැලසුම් කරන විට ඔවුන්වත් ඒවාට එකතු කරගන්න අපිට පුළුවන්. ළඟකදී එවැනි දෙයක් කරන්න ඔබට පුළුවන් වුණාද? ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගෙන දෙවිට ප්‍රීතියෙන් සේවය කරන්න හැකිවීම සඳහා ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නත් අපිට පුළුවන්. මේ ආකාරයට ඔවුන් ගැන අවංක උනන්දුවක් දක්වද්දී යෙහෝවා දෙවි මේ පක්ෂපාත අයව අගය කරනවා වගේ අපිත් ඔවුන්ව අගය කරන බව ඔවුන් දැනගනීවි.—ගීතාවලිය 37:28

ප්‍රතිකාර ක්‍රම තෝරාගැනීමේදී . . .

11. බරපතළ අසනීපයකදී ඇති වන අභියෝග මොනවාද?

11 අපිට හෝ පවුලේ වෙනත් කෙනෙකුට බරපතළ අසනීපයක් ඇති වුණොත් එය මොන තරම් දුකක්ද! (යෙසායා 38:1-3) ඒ වගේ වෙලාවලදී ලබාගන්න පුළුවන් හොඳම ප්‍රතිකාරය ලබාගන්නයි අපි උත්සාහ කරන්නේ. නමුත් ඒ අතරම බයිබල් ප්‍රතිපත්තිවලට ඇලී සිටීමත් අත්‍යවශ්‍යයි. ලෙයින් වැළකී සිටීමට වූ බයිබලයේ ආඥාවට කීකරු වන ක්‍රිස්තියානීන් භූතවාදයට සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමවලිනුත් වැළකෙනවා. (ක්‍රියා 15:28, 29; ගලාති 5:19-21) විවිධ ප්‍රතිකාර ක්‍රම ගැන එතරම් අවබෝධයක් නැති අයට තීරණයක් ගැනීම අමාරු දෙයක් වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී පූර්ණ සිහිකල්පනාවෙන් ක්‍රියා කිරීම සඳහා අපිට කරන්න පුළුවන් මොනවාද?

12. ප්‍රතිකාර ක්‍රම තෝරාගැනීමේදී ක්‍රිස්තියානියෙක් කළ යුත්තේ කුමක්ද?

12 බයිබලය සහ වෙනත් ක්‍රිස්තියානි ප්‍රකාශන අධ්‍යයනය කිරීමෙන් “බුද්ධිමත් තැනැත්තා තමා ගත යුතු පියවර ගැන කල්පනාකාරී වෙයි.” (හිතෝපදේශ 14:15, NW) බටහිර වෛද්‍ය ක්‍රම ඇති රෝහල් අඩු සමහර ප්‍රදේශවල තිබෙන්නේ බෙහෙත් පැළෑටි යොදාගෙන කරන පාරම්පරික වෛද්‍ය ක්‍රම පමණක් විය හැකියි. ඔබ එවැනි ක්‍රමයකින් ප්‍රතිකාර ලබාගන්න බලාපොරොත්තු වෙනවා නම්, 1989 මාර්තු 1 මුරටැඹ කලාපයේ 14-18 දක්වා පිටුවල ඇති තොරතුරු ප්‍රයෝජනවත් විය හැකියි. එවැනි ප්‍රතිකාර ක්‍රමවලට භූතවාදය සම්බන්ධද කියා සොයා බැලීම වටිනවා. උදාහරණයක් හැටියට සමහර අසනීප හා මරණවලට හේතුව, කුපිත වූ දෙවිවරුන්ගේ (හෝ මියගිය මුතුන්මිත්තන්ගේ) බලපෑම බව හෝ වෙනත් අය කර තිබෙන හදි හූනියම් බව විශ්වාස කරමින් කරන ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. මම ලබාගන්න යන ප්‍රතිකාරය එවැනි එකක්ද? මේ ඖෂධ සෑදීමේදී පුද පූජා පැවැත්වීම, මැතිරීම වැනි භූතවාදයට සම්බන්ධ වෙනත් දේවල් කරනවාද? (ද්විතීය කතාව 18:10-12) එවැනි කාරණා ගැන හොඳින් සොයා බැලීමෙන් “සියල්ල සෝදිසි කර බලා යහපත් දේ තදින් අල්ලාගන්න” කියා දෙවි දී තිබෙන උපදෙසට කීකරු වීමට අපිට පුළුවන්. * (1 තෙසලෝනික 5:21) එසේම එවැනි ප්‍රතිකාර ක්‍රම ගැන සමබර ආකල්පයක් ඇතිව සිටීමටත් අපට හැකි වෙයි.

13, 14. (අ) සෞඛ්‍ය ගැටලුවලදී සමබරව හා සාධාරණව කටයුතු කරන්න පුළුවන් කොහොමද? (ආ) අසනීප හා ප්‍රතිකාර ක්‍රම ගැන අන් අය සමඟ කරන කතා බහ සමබරව හා සාධාරණව කළ යුත්තේ ඇයි?

13 ජීවිතයේ හැම දෙයක්ම සමබරව හා සාධාරණව කළ යුතුයි. (ෆිලිප්පි 4:5) අපට ඇති වන සෞඛ්‍ය ගැටලුවලදීත් සමබරව හා සාධාරණව කටයුතු කිරීමෙන් පෙන්වන්නේ ජීවිතය නමැති අනර්ඝ දීමනාව අපි අගය කරන බවයි. යම් අසනීපයක් ඇති වූ විට ඒ ගැන හොඳ අවධානයක් දී කටයුතු කිරීම ඇත්තෙන්ම සුදුසු දෙයක්. නමුත් “ජාතීන්ගේ සුවය සඳහා” දෙවි ක්‍රියා කරන කාලය එන තුරු කාටවත් පරිපූර්ණ සුවය ලැබෙන්නේ නැති බව අපි මතක තබාගත යුතුයි. (එළිදරව් 22:1, 2) ඕනෑවට වඩා අපේ සෞඛ්‍යය ගැන උනන්දු වීම නිසා ජීවිතයේ වඩාත්ම වැදගත් දේ වන යෙහෝවා දෙවි සමඟ ඇති අපේ මිත්‍රත්වය ශක්තිමත් කරන දේවල් අපෙන් අතපසු විය හැකියි. මේ ගැන අපි පරෙස්සම් විය යුතුයි.—මතෙව් 5:3; ෆිලිප්පි 1:10.

14 අසනීප ගැන හා ප්‍රතිකාර ක්‍රම ගැන අන් අය සමඟ කතා කරද්දීත් අපි සමබර විය යුතු වගේම සාධාරණ විය යුතුයි. රැස්වීම් සහ සමුළුවලදී කරන ආශ්‍රයේදී අපි වැඩි පුර කතා කරන්නේ මේ කාරණා ගැන නම් එය එතරම් සුදුසු දෙයක් නෙවෙයි. ඒ වගේම කෙනෙක් යම් ප්‍රතිකාරයක් තමාට සුදුසුද නැද්ද කියා තීරණය කරන්නේ බයිබල් ප්‍රතිපත්ති, ඔහුගේ හෘදය සාක්ෂිය සහ දෙවිත් එක්ක ඔහුගේ තිබෙන මිත්‍රත්වය ගැන කල්පනා කිරීමෙන් පසුවයි. ඒ නිසා එවැනි කෙනෙකුට අපේ අදහස් බලෙන් පොවන්න උත්සාහ කිරීම හෝ ඔහුගේ හෘදය සාක්ෂිය මගින් ගත් තීරණය නොසලකාහැරීමට ඔහුට බල කිරීම සුදුසු දෙයක් නෙවෙයි. මෙවැනි කාරණාවලදී සභාවේ සිටින අද්දැකීම් ලත් අයගෙන් අදහස් විමසිය හැකි වුණත් අවසාන තීරණය ගැනීමේදී සෑම ක්‍රිස්තියානියෙක්ම “තමාට තිබෙන වගකීම් නමැති බර උසුලන්නේය.” ඒ වගේම “අප එකිනෙකා තම තමා ගැන දෙවිට ගණන් දෙනු ඇත.”—ගලාති 6:5; රෝම 14:12, 22, 23.

පීඩාකාරී තත්වයන්වලදී . . .

15. පීඩාකාරී තත්වයකදී කෙනෙක් මොන වගේ දේවල් කරන්න පුළුවන්ද?

15 පීඩාකාරී තත්වයන් ඇති වෙද්දී යෙහෝවාගේ පක්ෂපාත සේවකයන් පවා අඥාන ලෙස කතා කිරීමට හෝ ක්‍රියා කිරීමට පෙලඹිය හැකියි. (දේශනාකාරයා 7:7) යෝබ්ට එවැනි දෙයක් සිදු වූ නිසා ඔහුව නිවැරදි කරන්න සිදු වුණා. (යෝබ් 35:2, 3; 40:6-8) “මෝසෙස් නම් මනුෂ්‍යයා පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා මොළොක් ගුණ ඇති කෙනෙක්” වුණත් එක් අවස්ථාවකදී කේන්ති ගත් ඔහු සිතන්නේ බලන්නේ නැතිව කතා කළා. (ගණන් කතාව 12:3; 20:7-12; ගීතාවලිය 106:32, 33) දරුණු ලෙස තමාට පීඩා කළ සාවුල් රජව මරන්න අවස්ථා තිබුණත් එසේ නොකර ලොකු ඉවසීමක් පෙන්වූ දාවිත්, නාබල්ගේ නින්දා අපහාසය හමුවේ හොඳටම කේන්ති ගත්තා විතරක් නෙවෙයි, දුරදිග නොබලා ක්‍රියා කරන්නත් සූදානම් වුණා. නමුත් අබීගායිල්ගේ මැදිහත් වීම නිසා කාරණා වටහාගත් ඔහු තමා අතින් වෙන්න ගිය ලොකු වරදක් වළක්වාගත්තා.—1 සාමුවෙල් 24:2-7; 25:9-13, 32, 33.

16. හදිස්සි වී ක්‍රියා කිරීමෙන් අපිට වළකින්න පුළුවන් කොහොමද?

16 හොඳින් සිතා බලා කටයුතු කරන්න අපහසු වන තරම් පීඩාකාරී තත්වයන්ට අපිත් ඉඳ හිට මුහුණ දෙනවා. එවැනි අවස්ථාවලදී දාවිත් කළා වගේ අන් අයට සවන් දී ඔවුන්ගේ අදහස් හොඳින් සලකා බැලුවොත්, හදිස්සි වී ක්‍රියා කිරීමෙන් සහ පාපයට වැටීමෙන් වළකින්න අපිටත් පුළුවන්. (හිතෝපදේශ 19:2) “භයින් සිටින්න; පව් නොකරන්න; යහනේදී සිත සමඟ කතා කර නිශ්චල වන්න” කියා දේවවචනය අපිට අවවාද කරනවා. (ගීතාවලිය 4:4) ඒ නිසා අපිවම සන්සුන් වන තෙක් හදිසි තීරණයක් නොගෙන ඉවසා සිටීම ඥානවන්ත දෙයක්. (හිතෝපදේශ 14:17, 29) යාච්ඤාව මගින් යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලුවොත් “සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් [අපේ] සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.” (ෆිලිප්පි 4:6, 7) දෙවි දෙන මේ සමාදානය අපිව සන්සුන් කර, පූර්ණ සිහිකල්පනාවෙන් කටයුතු කිරීමට අපිට උපකාර කරයි.

17. පූර්ණ සිහිකල්පනාව ඇතිව සිටීම සඳහා අපිට යෙහෝවා දෙවිගේ උපකාරය අවශ්‍ය ඇයි?

17 අනතුරු වළක්වාගෙන ඥානවන්ත විදිහට දේවල් කරන්න කොච්චර උත්සාහ කළත් අපි හැමෝගේම අතින් වැරදි සිදු වෙනවා. (යාකොබ් 3:2) සමහරවිට අපි අතින් වෙන්න යන්නේ වරදක්ද කියා අපි නොදන්නවා වෙන්න පුළුවන්. (ගීතාවලිය 19:12, 13) යෙහෝවා දෙවිගේ උපකාරයෙන් තොරව අපේ ජීවිත ගමන නියම කිරීමට හැකියාවක් හෝ අයිතියක් අපිට නැහැ. (යෙරෙමියා 10:23) නමුත් දෙවි අපිට පොරොන්දු වී තිබෙන්නේ “ඔබට උගන්වන්නෙමි; ඔබ විසින් යා යුතු මාර්ගයේදී ඔබට ගුරුකම් දෙන්නෙමි; මාගේ ඇස් ඔබ කෙරෙහි යොමු කොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි” කියායි. ඒ ගැන අපි අපේ යෙහෝවා දෙවිට කොයිතරම් ස්තුතිවන්ත වෙන්න ඕනද! (ගීතාවලිය 32:8) ඔව්, යෙහෝවා දෙවිගේ උපකාරයෙන් පූර්ණ සිහිකල්පනාව ඇතිව සිටින්න අපිට හැකි වේවි!

[පාදසටහන්වල]

^ 5 ඡේ. ව්‍යාපාරික කටයුතු ලිඛිතව තබාගැනීමේ වැදගත්කම ගැන වැඩි විස්තර සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කළ 1997 මාර්තු 15 මුරටැඹ පිටු 17-22; 1997 අගෝස්තු 1 මුරටැඹ පිටු 30-1 සහ 1987 අගෝස්තු 1 මුරටැඹ පිටු 13, 14 බලන්න.

^ 12 ඡේ. මතභේදයට ලක් වී තිබෙන සමහර ප්‍රතිකාර ක්‍රම භාවිත කිරීමට සිතන අයටත් මේ ප්‍රතිපත්තිය උපකාරවත් වෙයි.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

මෙවැනි අවස්ථාවලදී සිහිකල්පනාව ඇතිව සිටින්නේ කොහොමද?

• ව්‍යාපාර කටයුතුවලදී

• විවාහයට කෙනෙක් සෙවීමේදී

• ප්‍රතිකාර ක්‍රම තෝරාගැනීමේදී

• පීඩාකාරී තත්වයන්වලදී

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ කොටුව]

ඒ ගැන විශ්වාස කරන්න පුළුවන්ද?

මංගල යෝජනා ඇතුළත් වෙබ් අඩවිවල මෙසේ සඳහන් වෙයි:

“පුද්ගලයන්ගේ ඇත්ත තොරතුරු සපයන්න අපිට හැකි උපරිමය කළත් ඒ ගැන සහතිකයක් දෙන්න අපිට බැහැ.”

“මේ සේවාව ඔස්සේ සපයා තිබෙන තොරතුරු සම්පූර්ණද, නිවැරදිද සහ ප්‍රයෝජනවත්ද කියා සහතික වෙන්න අපිට බැහැ.”

“මෙම සේවාව ඔස්සේ ඉදිරිපත් කරනු ලබන අදහස්, උපදෙස්, ප්‍රකාශයන් සහ යෝජනා ඇතුළු වෙනත් තොරතුරු සපයන්නේ ඒ ඒ පුද්ගලයන් නිසා . . . ඒවා ගැන සීයට සීයක් සහතික වෙන්න අපිට බැහැ.”

[23වන පිටුවේ පින්තූරය]

“බුද්ධිමත් තැනැත්තා තමා ගත යුතු පියවර ගැන කල්පනාකාරී වෙයි”

[24, 25වන පිටුවේ පින්තූර]

ෂූලම්මීය තරුණියව ආදර්ශයට ගන්න ක්‍රිස්තියානි තරුණියන්ට පුළුවන් කොහොමද?

[26වන පිටුවේ පින්තූරය]

“සියල්ල සෝදිසි කර බලා යහපත් දේ තදින් අල්ලාගන්න”