Skip to content

පටුනට යන්න

ගැලවීම ලැබෙන්නේ යේසුස්ගේ “අනර්ඝ ලෙයින්”

ගැලවීම ලැබෙන්නේ යේසුස්ගේ “අනර්ඝ ලෙයින්”

“අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය”

ගැලවීම ලැබෙන්නේ යේසුස්ගේ “අනර්ඝ ලෙයින්”

යෙහෝවා දෙවි මනුෂ්‍යයන්ට ප්‍රේමය පෙන්වා තිබෙන ශ්‍රේෂ්ඨතම ආකාරය වන්නේ තම ඒකජාතක පුත්‍රයාව මේ පොළොවට එවීමයි. පොළොවට පැමිණි යේසුස් කිසිම පාපයකින් තොර වූ තම පරිපූර්ණ ජීවිතය මිනිසුන් වෙනුවෙන් පූජා කළා. අපව පාපයෙන් ගලවාගැනීමට එවැනි ජීවිත පූජාවක් අත්‍යවශ්‍යයි. ඊට හේතුව කිසිම පව්කාර අසම්පූර්ණ මනුෂ්‍යයෙකුට ‘තම සහෝදරයාව මුදවාගන්නවත් ඔහු වෙනුවෙන් දෙවිට මිදීමේ මිලක් දෙන්නවත් නොහැක. එසේ ගෙවිය හැකි නම් ඔහු සදහටම ජීවත් වනු ඇත.’ (ගීතාවලිය 49:6-9, NW) දෙවි තම ‘ඒකජාතක පුත්‍රයාව දුන්නේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසයි.’ ඔහු අප වෙනුවෙන් කළ මේ ක්‍රියාව සඳහා අප කොතරම් කෘතඥපූර්වක විය යුතුද!—යොහන් 3:16.

යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපට ගැලවීම ලැබෙන ආකාර හතරක් තිබෙනවා. මේවා ගැන දැන් අපි සලකා බලමු.

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන ගැලවීම

අපට උරුම වී තිබෙන පාපය ගැන පාවුල් රෝම 5:12හි මෙසේ පවසා තිබෙනවා. “එක් මිනිසෙකුගෙන් [ආදම්ගෙන්] ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණා.” පව්කාර ආදම්ගේ දරුවෝ හැටියට අපට ඔහුගෙන් පාපය උරුම වී තිබෙන නිසා අප අසම්පූර්ණයි. අපි යෙහෝවාගේ නීති කඩ කළත් නැතත් අපි පව්කාරයන් වෙනවා. කෙසේවෙතත් යේසුස්ගේ ජීවිත පූජාවෙන් අපේ පාපවලට සරිලන වන්දියක් ගෙවා තිබෙන නිසා අපට උරුම වී තිබෙන පාපයෙන් නිදහස් වීමට හැකියාව ලබා දී තිබෙනවා. (රෝම 5:16) යේසුස් ‘සෑම මිනිසෙකු උදෙසා මරණයේ රස බලා තිබෙනවා.’ ඔහු එසේ කළේ ආදම්ගෙන් පැවත එන්නන්ව පාපයෙන් මුදවාගැනීමටයි.—හෙබ්‍රෙව් 2:9; 2 කොරින්ති 5:21; 1 පේතෘස් 2:24.

යේසුස්ගේ ජීවිත පූජාවෙන් අපට ගැලවීම ලැබෙන දෙවෙනි ආකාරය වන්නේ පාපය උරුම වීම නිසා අපට අද්දකින්න සිදු වන මරණයෙන් අපව මුදවාගැනීමට හැකිවීමයි. “පාපය සඳහා ගෙවන කුලිය නම් මරණයය.” (රෝම 6:23) දේවපුත්‍රයා තම ජීවිතය පූජා කිරීම නිසා කීකරු ජනයාට සදාකාල ජීවනය ලැබීමේ ප්‍රස්තාව උදා වී තිබෙනවා. ඇත්ත වශයෙන්ම “පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල පෙන්වන්නාට සදාකාල ජීවනය ලැබේ. පුත්‍රයාට අකීකරු වන්නා . . . ජීවනය නොදකියි.”—යොහන් 3:36.

අපට පාපයේ ඵල විපාකවලින් ගැලවීම ලැබිය හැක්කේ අප දේවපුත්‍රයා කෙරෙහි ඇදහිල්ලක් තබනවා නම් පමණයි. මෙයින් අදහස් කරන්නේ දෙවිගේ කැමැත්තට එකඟව අපේ ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කිරීමයි. ඒ වගේම අපි යම් වැරදි ක්‍රියාවල යෙදෙනවා නම් එවැනි දේවලින් සම්පූර්ණයෙන්ම වැළකී දෙවිගේ කැමැත්ත කිරීමට අවශ්‍ය හැම පියවරක්ම ගත යුතුයි. “පසුතැවිලි වන්න. ඔබේ පව් මකා දමන පිණිස හැරෙන්න” කියා පේතෘස් පැවසුවේ ඒ නිසයි.—ක්‍රියා 3:19.

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ගැලවීම ලැබෙන තුන්වන ආකාරය ගැන දැන් සලකා බලමු. එය නම් දෙවිගේ අනුමැතිය ලැබෙන නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට හැකිවීමයි. යෙහෝවා දෙවිට කැප වී ඔහුගේ පුත්‍රයාගේ ගෝලයන් ලෙස බව්තීස්ම වන සියල්ලෝ සැනසීම අද්දකිනවා. (මතෙව් 11:28-30) අප පව්කාර අසම්පූර්ණ මනුෂ්‍යයන් වූවත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව දෙවිට සේවය කිරීමට ලැබීමෙන් මහත් ප්‍රීතියක් අද්දකිනවා. (1 තිමෝති 3:9; 1 පේතෘස් 3:21) අපේ පව්වලට අප අවංකව පසුතැවිලි වී ඒවා නැවත නොකරනවා නම් අපට දෙවිගෙන් කරුණාව ලැබෙන අතර ඔහු ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමටත් අපට හැකි වෙනවා.—හිතෝපදේශ 28:13.

උපකාරයක් හා බලාපොරොත්තුවක්

යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමෙන් අපට දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් පවත්වාගැනීමටද හැකි වෙනවා. මෙය යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන තවත් ආශීර්වාදයක්. යොහන් මෙසේ පැවසුවා. “යමෙකු පාපයක් කළොත්, පියාණන් සමඟ සිටින උපකාරකයෙක් අපට සිටින්නේය. ඒ . . . යේසුස් ක්‍රිස්තුස්ය.” (1 යොහන් 2:1) යේසුස් උපකාරකයෙක් ලෙස කටයුතු කරන ආකාරය ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “ඔහු මාර්ගයෙන් දෙවිට ළඟා වන අයව සම්පූර්ණයෙන්ම ගලවන්නත් ඔහුට පුළුවන. මන්ද ඔවුන් උදෙසා අයැදීමට ඔහු සදහටම ජීවත්ව සිටින්නේය.” (හෙබ්‍රෙව් 7:25) අප තුළ පාපය තිබෙන තාක් කල් අපට දෙවිත් සමඟ සම්පූර්ණ මිත්‍රත්වයක් භුක්ති විඳින්න බැහැ. ඒ නිසා පාපය තිබෙන තාක් කල් උත්තම පූජක යේසුස් ක්‍රිස්තුස්ගේ උපකාරය අපට අවශ්‍ය වෙනවා. යේසුස් අප වෙනුවෙන් උත්තම පූජකයෙක් ලෙස කටයුතු කළේ කෙසේද?

ක්‍රිස්තු වර්ෂ 33දී නැවත නැඟිටුවනු ලැබූ යේසුස් දින හතළිහකට පසු ස්වර්ගයට ගියේ ඔහු වැගිරූ ‘අනර්ඝ ලෙය’ දෙවිට ඔප්පු කිරීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස යේසුස්ට ඉතා ඉක්මනින් කීකරු මිනිසුන්ව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීමට හැකි වෙනවා. * (1 පේතෘස් 1:18, 19) මේ හේතු නිසා යේසුස් අපේ ප්‍රේමය හා කීකරුකම ලැබීමට වටිනවා කියා ඔබ සිතන්නේ නැද්ද!

මීට අමතරව යෙහෝවා දෙවිද අපේ ප්‍රේමය ලැබීමට වටිනවා. ඒ විතරක් නෙවෙයි අපි ඔහුට කීකරු විය යුතුයි. ඔහු ප්‍රේමණීය ලෙස යේසුස්ගේ ජීවිත පූජාව හෙවත් “මිදීමේ මිලය මාර්ගයෙන්” අපට ගැලවීම සලසා දුන්නා. (1 කොරින්ති 1:30) අප දැන් භුක්ති විඳින ජීවිතයත් ඒ වගේම අනාගතයේදී භුක්ති විඳින්න යන සදාකාල ජීවිතයත් යන මේ සියලුම ආශීර්වාද අපට ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්. එහෙමනම් අපි ඔහුට කොතරම් ණයගැති විය යුතුද! ඇත්තෙන්ම “අපි කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය.”—ක්‍රියා 5:29.

[පාදසටහන]

^ 12 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2006 දිනදර්ශනයේ මාර්තු/අප්‍රියෙල් මාස බලන්න.

[9වන පිටුවේ කොටුව⁄පින්තූර]

ඔබ දැනගෙන සිටියාද?

• යේසුස් වලාකුළකින් වැසී ස්වර්ගයට ගියේ ඔලීව කන්දේ සිටයි.—ක්‍රියා 1:9, 12.

• යේසුස් ස්වර්ගයට යනවා දැක්කේ ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන් පමණයි.—ක්‍රියා 1:2, 11-13.