Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයේ අලුත් සාමාජිකයෝ

පාලක මණ්ඩලයේ අලුත් සාමාජිකයෝ

පාලක මණ්ඩලයේ අලුත් සාමාජිකයෝ

වර්ෂ 2005 අගෝස්තු 24වන බදාදා උදෑසන එක්සත් ජනපදයේ හා කැනඩාවේ බෙතෙල් පවුලේ සාමාජිකයන්ට ප්‍රීතිමත් නිවේදනයකට සවන් දීමේ අවස්ථාව උදා වුණා. මෙම නිවේදනය දෙනු ලැබුවේ එක්සත් ජනපදයේ හා කැනඩාවේ බෙතෙල් සංකීර්ණ වීඩියෝ මගින් සම්බන්ධ කරමිනුයි. වර්ෂ 2005 සැප්තැම්බර් 1වනදා සිට ජෙෆ්රි ඩබ්ලිව්. ජැක්සන් සහ ඇන්තනි මොරිස් යන සහෝදරයන් දෙදෙනා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ අලුත් සාමාජිකයන් ලෙස සේවය කරනවා.

සහෝදර ජැක්සන් ඕස්ට්‍රේලියාවට අයත් දූපතක් වන ටැස්මේනියාවේ පුරෝගාමියෙකු ලෙස සේවය කිරීමට පටන්ගත්තේ 1971 පෙබරවාරි මාසයේදීයි. ඔහු 1974 ජූනි මාසයේදී ජැනට් සමඟ විවාහ වුණා. ඉන්පසු වැඩි කලක් යෑමට කලින් ඔවුන් දෙදෙනාම විශේෂ පුරෝගාමීන් ලෙස සේවය කරන්න පටන්ගත්තා. ඔවුන් 1979 සිට 2003 දක්වා කාලය තුළ දකුණු පැසිෆික් සාගරයේ පිහිටි ටුවාලූ, සාමෝවා සහ ෆීජි දූපත්වල සේවය කර තිබෙනවා. මේ දූපත්වල සේවය කරන අතරතුරේදී ඔවුන් දෙදෙනා පරිවර්තන වැඩවලටද බොහෝ සේ හවුල් වී තිබෙනවා. සහෝදර ජැක්සන් 1992 පටන් සාමෝවා ශාඛා කමිටුවේ සාමාජිකයෙකු ලෙසද, 1996 පටන් ෆීජිහි ශාඛා කමිටුවේ සාමාජිකයෙකු ලෙසද සේවය කර තිබෙනවා. ඔහු සහ ජැනට් 2003 අප්‍රියෙල් මාසයේදී එක්සත් ජනපදයේ බෙතෙල් පවුලට එක් වී පරිවර්තන සේවා අංශයේ සේවය කරන්න පටන්ගත්තා. වැඩි කලක් යන්න කලින් සහෝදර ජැක්සන්ව පාලක මණ්ඩලය යටතේ තිබෙන ඉගැන්වීමේ කමිටුවට උපකාර කරන්නෙකු ලෙස පත් කළා.

සහෝදර මොරිස් එක්සත් ජනපදයේ පුරෝගාමි සේවය කිරීමට පටන්ගත්තේද 1971දීයි. ඒ අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී ඔහු සුසෑන් සමඟ විවාහ වුණා. ඔවුන්ගේ පළමුවන පුතා වන ජෙසී ඉපදෙන තුරු ඔවුන් දෙදෙනා අවුරුදු හතරකට ආසන්න කාලයක් පුරෝගාමි සේවය කරගෙන ගියා. පසුව ඔවුන්ට තවත් පුතෙක් ලැබුණා. ඔහුගේ නම පෝල්. සහෝදර මොරිස් නැවතත් ස්ථාවර පුරෝගාමියෙකු හැටියට 1979දී සේවය කරන්න පටන්ගත්තා. පුතුන් දෙදෙනාම පාසැල් යන්න පටන්ගත් පසු ඔහුගේ භාර්යාවත් පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. මේ පවුලේ අය අවශ්‍යතාව වැඩියෙන් තිබූ අමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් දූපතේ සහ උතුරු කැරලයිනාවේ සේවය කිරීමට ගියා. උතුරු කැරලයිනාවේදී සහෝදර මොරිස් ආදේශක චාරිකා අවේක්ෂකයෙකු ලෙස සේවය කළා. පුතුන් දෙදෙනා ස්ථාවර පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. වයස අවුරුදු 19දී ජෙසීට සහ පෝල්ට එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලයේ සේවය කිරීමට අවස්ථාව ලැබුණා. මේ අතර කාලයේදී සහෝදර මොරිස් චාරිකා සේවය පටන්ගත්තා. පසුව 2002දී ඔහුටත් සුසෑන්ටත් බෙතෙල්හි සේවය කිරීම සඳහා ආරාධනා කරනු ලැබුවා. ඒ වසරේ අගෝස්තු 1වනදා සිට ඔවුන් අලුත් පැවරුම බාරගත්තා. සහෝදර මොරිස් සේවය කළේ පැටර්සන්හි පිහිටි සේවා අංශයේයි. පසුව පාලක මණ්ඩලය යටතේ තිබෙන සේවා කමිටුවට උපකාර කරන්නෙකු ලෙස සේවය කරන්න පටන්ගත්තා.

මේ අලුත් සාමාජිකයන් දෙදෙනාට අමතරව පාලක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන්නේ සී. ඩබ්ලිව්. බාබර්; ජේ. ඊ. බාර්; එස්. එෆ්. හර්ඩ්; එම්. එස්. ලෙට්; ජී. ලෝෂ්; ටී. ජැරැස්; ජී. එච්. පියර්ස්; ඒ. ඩී. ෂ්‍රෝඩර්; ඩී. එච්. ස්ප්ලේන් සහ ඩී. සිඩ්ලික් යන සහෝදරයනුයි. පාලක මණ්ඩලයේ සියලුම සාමාජිකයන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වෙයි.