Skip to content

පටුනට යන්න

යෙහෝවාට සේවය කිරීමට අපි ගත්ත අධිෂ්ඨානය

යෙහෝවාට සේවය කිරීමට අපි ගත්ත අධිෂ්ඨානය

ජීවිත කතාව

යෙහෝවාට සේවය කිරීමට අපි ගත්ත අධිෂ්ඨානය

රයිමෝ ක්වෝකේනන්

දෙවන ලෝක මහා යුද්ධය යුරෝපයේ 1939දී ආරම්භ වුණාම සෝවියට් සමූහාණ්ඩුව මගේ උපන් රට වූ ෆින්ලන්තයට පහර දුන්නා. රුසියානු යුධ යානා අපි හිටපු නගරයටත් බෝම්බ හෙළන්න පටන්ගත්තා. මගේ ආච්චි හිටිය තැන ආරක්ෂිත තැනක් වූ නිසා ආච්චිත් එක්ක ඉන්න කියලා අම්මා මාව ගෙදරින් යැව්වා. තාත්තා ෆින්ලන්ත හමුදාවට බැඳුණා.

නැඟෙනහිර අප්‍රිකාවේ රටක් වන උගන්ඩාවේ 1971දී මම දේවසේවය කරමින් සිටියා. එක දවසක් ගෙයින් ගෙට සේවයේ යන අතරේදී මම දැක්කා මිනිස්සු වගයක් ගාල කඩාගත්තා වගේ භය වෙලා දුවනවා. ඒ එක්කම වෙඩි සද්දෙකුත් ඇහුණා. මමත් මගේ ගෙවල් පැත්තට දුවන්න පටන් ගත්තා. වෙඩි සද්දේ ළඟ ළඟම ඇහෙද්දී මම පාරේ අයිනේ තිබුණ කාණුවකට රිංගුවා. මගේ ඔළුව උඩින් වෙඩි උන්ඩ යද්දී කාණුව දිගේ ගේ ළඟටම වෙනකම් මම බඩගෑවා.

දෙවන ලෝක මහා යුද්ධය නිසා මට ඇති වූ භය මට ගොඩක් බලපෑවා. නමුත් මමත් මගේ බිරිඳත් අපේ ජීවිත අවදානමේ හෙළමින් නැඟෙනහිර අප්‍රිකාවට ආවේ ඇයි කියා ඔබ දන්නවාද? ඒක යෙහෝවාට සේවය කිරීමට අපි ගත්ත අධිෂ්ඨානයට සම්බන්ධයි.

අධිෂ්ඨානයේ ආරම්භය

මම ඉපදුණේ 1934දී ෆින්ලන්තයේ හෙල්සිංකිවලදීයි. මගේ තාත්තාගේ රැකියාව ගෙවල් පින්තාරු කිරීමයි. ෆින්ලන්තයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය තිබුණ නිවස පින්තාරු කරන්න තාත්තාට අවස්ථාව ලැබුණා. එහි සිටි සාක්ෂිකරුවන්, ඔවුන්ගේ සභා රැස්වීම් ගැන තාත්තාට කියලා තිබුණ නිසා තාත්තා අම්මාට ඒ ගැන කිව්වා. ඒ කාලයේදී අම්මා රැස්වීම්වලට ගියේ නැතත්, කාලයක් ගත වුණාම අම්මාත් එක්ක වැඩ කරපු සාක්ෂිකාරියක් අම්මා එක්ක බයිබලය ගැන කතා කරන්න පටන්ගත්තා. ඉගෙනගත්ත දේවල් ඇගේ ජීවිතයට ඉක්මනින්ම අදාළ කරගත් නිසා, 1940දී අම්මා බව්තීස්ම වුණා.

අම්මා බව්තීස්ම වෙන්න ටික කලකට ඉස්සෙල්ලා තමයි II ලෝක මහා යුද්ධය නිසා ආච්චි මාව එයාගේ ගමට එක්කගෙන ගියේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගැන කියලා මගේ අම්මා හෙල්සිංකි ඉඳලා මගේ ආච්චිටත් පුංචි අම්මාටත් ලියුම් ලිව්වා. ඒ දේවල් ගැන උනන්දු වූ ඒ දෙන්නා මටත් ඒ ගැන කිව්වා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක දේවසේවකයන් ආච්චිගේ ගෙදරට ඇවිත් අපිව දිරිගැන්නුවත් ඒ කාලයේදී දෙවිට සේවය කරන්න මම අධිෂ්ඨාන කරගෙන හිටියේ නැහැ.

දෙවිට සේවය කිරීමට මට උදව් වූ පුහුණුව

යුද්ධය 1945දී අවසන් වූණ නිසා මම හෙල්සිංකිවලට නැවත ගියා. එහිදී අම්මා මාව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට එක්කර ගෙන යන්න පටන් ගත්තා. ඒත් සමහර දවස්වලදී රැස්වීම් මඟ ඇරපු මම චිත්‍රපටි බලන්න යනවා. ඒත් අම්මා ගෙදර ආවාම රැස්වීමේ ඉගෙනගත්ත දේවල් ගැන මට කිව්වා. ඇය නිතරම මට කාවද්දපු දෙයක් තමයි ලෝක විනාශය ඉතා ළඟයි කියන එක. ඒක මගේ හිතට තදින් වැදුණ නිසා දිගටම හැම රැස්වීමකටම යන්න මම පටන්ගත්තා. බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් ගැන මගේ අවබෝධය ටිකෙන් ටික වැඩි වෙනකොට සභාවේ හැම වැඩකටම වගේ සහභාගි වෙන්න තිබූ මගේ ආශාවත් වැඩි වුණා.

මම හුඟක් ආස වුණේ එක්රැස්වීම් සහ සමුළුවලට යන්නයි. ආච්චිලාගේ ගෙදර 1948දී නිවාඩුවක් ගත කරන්න ගිය මම ඒ ළඟ තිබුණ දිස්ත්‍රික් සමුළුවකට ගියා. ඒ සමුළුවේදී බව්තීස්ම වෙන්න හිටිය මගේ යාළුවෙක් මටත් බව්තීස්ම වෙන්න කියලා කිව්වා. මම කිව්වා ඒකට සුදුසු ඇඳුමක් මං ළඟ නැහැ කියලා. නමුත් එයා කිව්වා එයා බව්තීස්ම වුණාට පස්සේ එයාගේ කලිසම ඇඳගෙන මට බව්තීස්ම වෙන්න කියලා. මම ඒකට කැමති වුණා. ඒ නිසා 1948 ජූනි 27වෙනිදා මම බව්තීස්ම වුණා. එතකොට මට අවුරුදු 13යි.

අම්මාගේ යාළුවෝ වගයක් මම බව්තීස්ම වුණා කියලා අම්මාට කියලා තිබුණා. අම්මා මගෙන් ඇහුව්වා ඇයි එයාට නොකියා ඒ වගේ වැදගත් පියවරක් ගත්තේ කියලා. බයිබලයේ මූලික කාරණා ගැන තේරුම්ගත්ත නිසාත් මගේ හැසිරීම ගැන මම යෙහෝවා දෙවිට ගණන් දිය යුතු බව මම දන්න නිසාත් ඒ පියවර ගත්තා කියලා මම අම්මාට විස්තර කළා.

මගේ අධිෂ්ඨානය ශක්තිමත් වෙයි

යෙහෝවාට සේවය කිරීමට වූ මගේ අධිෂ්ඨානය ශක්තිමත් කරන්න සභාවේ සහෝදරයෝ මට ගොඩක් උදව් කළා. ගෙයින් ගෙට සේවයේ මාත් එක්ක හවුල් වුණු ඔවුන් සෑම සතියකම වගේ රැස්වීම්වල කොටස් පවා මට පැවරුවා. (ක්‍රියා 20:20) වයස අවුරුදු 16දී මම මගේ පළමුවෙනි ප්‍රසිද්ධ කතාව දුන්නා. ඊළඟට මාව සභාවේ පොත් පාඩම මෙහෙය වන්නෙක් වශයෙන් පත් කළා. ඒ හැම පැවරුමකින්ම මගේ අද්දැකීම් වැඩි වුණා වගේම දෙවි එක්ක තිබුණ මගේ බැඳීමත් ශක්තිමත් වුණා. නමුත් මට හදාගන්න වුණු පැත්තක් තිබුණා. ඒ තමයි මිනිසුන්ට තිබෙන භය.

ඒ කාලයේදී දිස්ත්‍රික් සමුළුවේ ප්‍රසිද්ධ කතාව අපි ප්‍රචාරය කළේ විශාල පුවරු යොදාගෙනයි. ඒ පුවරු කෙනෙකුගේ ඉදිරිපස හා පිටුපස වැසෙන සේ උරහිසේ සිට එල්ලෙන පරිදි සකසා තිබුණා. මේක දැකපු මිනිසුන් අපිට විහිළු කළේ අපි පාන් පෙති දෙකක් එල්ලගෙන ඉන්නවා වගෙයි කියලා!

එක දවසක් මම ඒ විදියට පුවරු එල්ලගෙන ඉන්නකොට මගේ පංතියේ යාළුවෝ කට්ටියක් එනවා මම දැක්කා. මං ළඟින් යද්දී ඒගොල්ලෝ මං දිහා බැලුව විදියට මම ගොඩක් භය වුණා. මම යෙහෝවාගෙන් ධෛර්යය ඉල්ලලා යාච්ඤා කළා. මේ විදිහට ටිකෙන් ටික මිනිසුන්ට තිබුණු බිය ජයගන්න මට පුළුවන් වුණා. පසු කාලයකදී දේශපාලනයේදී පැත්තක් නොගෙන සිටීම ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වුණා.

ඒ මටත් තව තරුණ සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුටත් හමුදා සේවයට වාර්තා කරන්න කියලා ආණ්ඩුවෙන් නියෝගයක් ලැබුණු අවස්ථාවයි. හමුදා කඳවුරට අපි ගියත් හමුදා නිල ඇඳුම අඳින්න බැහැ කියලා අපි කිව්ව නිසා නිලධාරීන් අපිව අත්අඩංගුවට ගත් අතර මාස හයක සිරදඬුවමක් අපිට උසාවියෙන් ලැබුණා. හමුදා සේවය කළ යුතු වූ මාස අටද ඇතුළුව මාස 14ක් අපි සිරගෙදර ගත කළා.

හිරේ ඉන්නකොට අපි හැමදාම එකට එකතු වෙලා බයිබලයේ ඇති දේවල් ගැන කතා කළා. ඒ මාසවලදී අපෙන් වැඩිදෙනෙක් බයිබලය දෙපාරක්ම කියෙව්වා. අපේ දඬුවම අවසන් වෙනකොට අපෙන් වැඩි දෙනෙකුගේම අධිෂ්ඨානය වුණේ යෙහෝවා දෙවිට දිගටම සේවය කිරීමයි. එදා මාත් එක්ක හිරේ හිටපු වැඩි දෙනෙක් අද දක්වා යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරනවා.

මම සිරෙන් නිදහස් වෙලා ගියේ මගේ දෙමාපියන්ගේ නිවසට. වැඩි කලක් යන්න ඉස්සෙල්ලා ළඟදී බව්තීස්ම වුණු උද්‍යෝගිමත් සාක්ෂිකාරියක් වූ වීරාව මට අඳුනගන්න ලැබුණා. අපි 1957දී විවාහ වුණා.

අපේ ජීවිත වෙනස් කළ සැන්දෑවක්

එක සැන්දෑවක අපි ශාඛා කාර්යාලයේ වැඩ කරන වගකීම් දරන සහෝදරයන් කිහිපදෙනෙක්ව බලන්න ගියා. ඔවුන්ගෙන් එක්කෙනෙක් මගෙන් ඇහුව්වා චාරිකා සේවයේ යන්න කැමතිද කියලා. මුළු රාත්‍රිය පුරාම යාච්ඤා කළායින් පස්සේ මම ශාඛා කාර්යාලයට කතා කරලා කිව්වා අපි කැමතියි කියලා. පූර්ණ කාලීනව දේවසේවය කරනවා කියන්නේ හොඳ පඩියක් ලැබෙන රැකියාවක් අත්හරින්න වෙනවා කියන එකයි. ඒත් දේවරාජ්‍යයේ වැඩවලට අපේ ජීවිතයේ මුල් තැන දෙන්න අපි අධිෂ්ඨාන කරගත්තා. අපි 1957 දෙසැම්බර් මාසයේදී සංචාරක සේවය යන්න පටන්ගනිද්දී මට වයස අවුරුදු 23යි. වීරාට අවුරුදු 19යි. අපි අවුරුදු තුනක් පුරා ෆින්ලන්තයේ තිබූ සභාවල යෙහෝවාගේ ජනයාව දිරිගැන්වීමෙන් සතුටක් ලැබුවා.

එක්දහස් නවසිය හැටේ අවසාන භාගයේදී නිව්යෝක්වල බෘක්ලින්හි පිහිටි ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වෙන්න මට ආරාධනයක් ලැබුණා. ශාඛා කාර්යාලවල වැඩවලට පුහුණුවක් දෙන මාස දහයක විශේෂ පාඨමාලාවකට සහභාගි වීම සඳහා ෆින්ලන්තයෙන් තෝරගත්තේ මාවත් තවත් සහෝදරයන් දෙන්නෙක්වත් විතරයි. ඒ කාලය පුරා අපේ භාර්යාවන් ෆින්ලන්තයේ ශාඛා කාර්යාලයේ වැඩ කළා.

පාඨමාලාව අවසන් වෙන්න ළං වෙද්දී එවකට ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතු අධීක්ෂණය කළ නේදන් එච්. නෝර්ගේ කාර්යාලයට එන්න කියලා මට පණිවුඩයක් ලැබුණා. සහෝදර නෝර් මටත් මගේ බිරිඳටත් දැන් මැඩගස්කරය කියා හඳුන්වන මැලගසි ජනරජයේ සේවය කිරීමේ පැවරුම ඉදිරිපත් කළා. මම ඒ ගැන වීරාට ලියලා ඇහුව්වාම එයා එක පයින් ඒකට කැමති වුණා. ෆින්ලන්තයට ගිය මම ඉක්මනින්ම ඒ සඳහා දේවල් සූදානම් කරගත්තා.

සතුට වගේම කලකිරීම

අපි 1962දී මැඩගස්කරයේ අගනුවර වන ඇන්ටානැනාරීවෝවලට ගියා. ෆින්ලන්තයෙන් අපි පිට වුණේ ශීත කාලයේදී නිසා අපි හිටියේ හිස්වැසුම් දමාගෙන ගනකම් කබායවල් ඇඳගෙනයි. මැඩගස්කරය උෂ්ණාධික රටක් නිසා අපේ ඇඳුම් අපි ඉක්මනින්ම වෙනස් කරගත්තා. අපේ පළමු නවාතැන වුණේ එක කාමරයක් තිබුණ පොඩි ගෙයක්. තව යුවළක් එහි සිටිය නිසා වීරා සහ මම නිදාගත්තේ ඉස්තොප්පුවේ.

මැඩගස්කරයේ නිල භාෂාව ප්‍රංශ භාෂාවයි. සහෝදරී කොබෝනී අපිට ප්‍රංශ බස ඉගැන්නුවේ ඉංග්‍රීසියෙන්. නමුත් වීරාට ඉංග්‍රීසි තේරුණේ නැහැ. ඉතින් මම සහෝදරි කොබෝනීගේ උපදෙස් ෆින්ලන්ත බසින් වීරාට පරිවර්තනය කළා. වීරාට ඉංග්‍රීසි භාෂාවට වඩා ස්වීඩන් භාෂාව තේරුණ නිසා ප්‍රංශ ව්‍යාකරණ මම ඇයට තේරුම් කර දුන්නේ ස්වීඩන් භාෂාවෙන්. ඒක පහසු දෙයක් නොවුණත් අපි ඉක්මනින්ම ප්‍රංශ භාෂාව ඉගෙනගත්ත නිසා එහි ප්‍රාදේශීය භාෂාව වුණ මැලගසි භාෂාවත් ඉගෙනගන්න අපි පටන්ගත්තා.

මැඩගස්කරයේ මගේ පළමු බයිබල් පාඩම කළේ මැලගසි භාෂාව විතරක් කතා කරපු කෙනෙක් එක්කයි. මම මගේ ෆින්ලන්ත බසින් තිබෙන බයිබලයෙන් බයිබල් පද බලලා ඉන්පසු ඒ බයිබල් පද ඔහුගේ මැලගසි බසින් තිබෙන බයිබලයෙන් බලනවා. ඔහුට බයිබල් පද හරියට පැහැදිලි කරලා දෙන්න මට පුළුවන් වුණෙත් නැහැ. කොහොමවුණත් ඒ පුද්ගලයාගේ හිතට බයිබල් සත්‍යතා කාවැදුණ නිසා ඔහු දියුණු වී බව්තීස්ම වුණා.

බෘක්ලින්හි පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයෙන් මිල්ටන් හෙන්ෂල් 1963දී මැඩගස්කරයට ආවා. ඊට ටික කලකට පසු, මැඩගස්කරයේ අලුත් ශාඛා කාර්යාලයක් පිහිටෙව්වා. ඒ වෙනකොටත් චාරිකා සහ දිස්ත්‍රික්ක අවේක්ෂකයෙක් හැටියට සේවය කරමින් සිටි මට ශාඛා කාර්යාලයේ අවේක්ෂක හැටියටද සේවය කිරීමේ පැවරුම ලැබුණා. ඒ හැම වෙලාවෙම යෙහෝවා දෙවි අපිට බොහෝ සෙයින් ආශීර්වාද කළා. වර්ෂ 1962දී 85ක් වූ මැඩගස්කරයේ ප්‍රචාරකයන්, 1970 වන විට 469ක් දක්වා වැඩි වුණා.

අපි 1970 එක දවසක් දේවසේවයෙන් පස්සේ ගෙදර ආවාම දොර යටින් දාලා තිබුණ පොඩි ලියුමක් දැක්කා. ඒකේ තිබුණේ වෙනත් රටවලින් පැමිණි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට එන්න කියලයි. එහි ගිය අපිට එක් නිලධාරියෙක් කිව්වේ වහාම අපිට රටින් පිට වෙන ලෙසයි. මම ඒ නිලධාරියාගෙන් ඇහුව්වා රටින් පිට කිරීමට මම කරලා තියෙන අපරාධය මොකද්ද කියලා. “ක්වෝකේනන් මහත්මයා, ඔබ කිසි වරදක් කරලා නැහැ” කියලා ඔහු පිළිතුරු දුන්නා.

“අපි මෙහෙ අවුරුදු අටක් තිස්සේ ඉන්නවා. මේක අපේ ගම වගේ. ඉතින් කිසි හේතුවක් නැතිව අපිට එකපාරටම යන්න බැහැ” කියලා මම කිව්වා. අපි කොතරම් වෑයම් කළත් සතියක් ඇතුළත වෙනත් රටවලින් පැමිණි සාක්ෂිකරුවන් සියලුදෙනාටම ආපසු යන්න සිදු වුණා. ශාඛා කාර්යාලය වසා දැම්මා. මැඩගස්කරයේම සාක්ෂිකාරයෙක් දේවසේවයේ වැඩකටයුතු බලාගත්තා. එහි සිටි අපේ ආදරණීය සහෝදරයන්ගෙන් වෙන් වෙන්න ඉස්සෙල්ලම අපිට උගන්ඩාවේ සේවය කරන්න පැවරුමක් ලැබුණා.

අලුතින් පටන්ගැනීම

මැඩගස්කරයෙන් පිටවී දින කිහිපයකට පස්සේ අපි ආවේ උගන්ඩාවේ අගනුවර වන කාම්පාලා නගරයටයි. අපි ඉක්මනින්ම ලුගන්ඩා බස ඉගෙනීමට පටන්ගත්තා. ඒ භාෂාව කාව්‍යමය ස්වරූපයක් ගත්තත් ඉගෙනීමට හරිම අමාරුයි. වෙනත් පුරෝගාමීන් ඉංග්‍රීසි ඉගෙනීමට වීරාට උදව් කළා. ඉංග්‍රීසි බස දැනගෙන සිටීම හොඳින් දේවසේවය කිරීමට අපිට උපකාරවත් වුණා.

කාම්පාලාවේ පැවති දැඩි උෂ්ණත්වය වීරාගේ සෞඛ්‍යයට බලපෑවා. ඒ නිසා අපිට වඩා සෞම්‍ය කාලගුණයක් තියෙන අම්මරාරා නම් උගන්ඩාවේ වෙනත් නගරයට පැවරුමක් ලැබුණා. එහි ගිය පළමු සාක්ෂිකරුවන් වුණේ අපි. දේවසේවයේ ගිය පළමු දවසේම අපිට හොඳ අද්දැකීමක් ලැබුණා. මම පුද්ගලයෙකුට කතා කර කර ඉන්නකොට එයාගේ බිරිඳ මාග්‍රට් කුස්සියේ ඉඳලා ආවා. ඇය මම කියපු දේවල් අහගෙන ඉඳලා තියෙනවා. වීරා, මාග්‍රට් එක්ක බයිබල් පාඩමක් කළ අතර ඇය ඉතා ඉක්මනින් දියුණු වුණා. බව්තීස්ම වූ ඇය දැන් උද්‍යෝගයෙන් යුතුව දේවසේවයේ හවුල් වෙනවා.

මහ මඟ සටන්

සිවිල් යුද්ධ 1971දී පටන්ගත්තාම උගන්ඩාවේ තිබුණ සාමය නැතිව ගියා. එක දවසක් අපේ නිවස ළඟත් ආරවුලක් හටගත්තා. ඒ වෙලාවේ තමයි මම මේ කතාව පටන්ගනිද්දී සඳහන් කළ සිද්ධිය ඇති වුණේ.

මම සොල්දාදුවන්ගෙන් සැඟවිලා කාණුව දිගේ බඩගා ගෙන එද්දී වීරා ගෙදර හිටියා. ලී බඩු ටිකයි මෙට්ටයි දාලා අපි ගේ මුල්ලේ “බංකරයක්” හැදුවා. අපි සතියක්ම ගේ ඇතුළට වෙලා ගුවන් විදුලියට සවන් දී ගෙන හිටියා. අපි අපේ බංකරයේ ඉන්න සමහර අවස්ථාවලදී වෙඩි උණ්ඩ බිත්තිවලට වැදිලා වීසි වුණා. අපි ගෙදර නැති වග පෙන්වීමට රෑ වෙද්දී ලයිට් දැම්මේ නැහැ. එක පාරක් සොල්දාදුවෝ ඉස්සරහ දොර ළඟට ඇවිල්ලා කෑගැහුව්වා. අපි නිශ්ශබ්දව යෙහෝවාට යාච්ඤා කළා. සටන අවසන් වුණාට පස්සේ, අපේ අසල්වාසීන් ඇවිත් අපිට ස්තුති කළා ඔවුන්ව ආරක්ෂා කළාට. යෙහෝවා අපිවයි ඒ අයවයි ආරක්ෂා කළා කියලා ඔවුන් විශ්වාස කළා. අපිත් ඒකට එකඟ වුණා.

එක උදෑසනක් උගන්ඩා රජය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කළ බවට නිවේදනයක් ගුවන් විදුලියෙන් ඉදිරිපත් කරන තුරු දේවල් සන්සුන්ව පැවතුණා. නිවේදකයා කිව්වා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සියලුදෙනාම තමන් කලින් ඇදහු ආගමට නැවත හැරෙන්න ඕනේ කියලා. මම මේ කාරණය ගැන රජයේ නිලධාරීන් එක්ක කතා කළත් ඒක සාර්ථක වුණේ නැහැ. ඊළඟට මම ජනාධිපති ඉඩි අමීන්ගේ කාර්යාලයට ගිහිල්ලා ඔහුව මුණගැසීමට කාල වේලාවක් වෙන් කරලා දෙන්න කියලා ඉල්ලා සිටියා. පිළිගැනීමේ නිලධාරියා කිව්වා ජනාධිපති කාර්ය බහුලයි කියලා. මම කිහිපවතාවක්ම ගියා නමුත් කවදාවත් ජනාධිපතිව මුණගැහෙන්න ලැබුණේ නැහැ. අන්තිමේදී 1973 ජූලි මසයේ අපිට උගන්ඩාවෙන් පිට වෙන්න සිදු වුණා.

අවුරුද්ද, අවුරුදු දහයකට දික් වෙයි

මැඩගස්කරයෙන් අපිට යන්න සිදු වෙද්දී ඇති වූ දුකම උගන්ඩාවේ සහෝදරයන්ගෙන් වෙන්ව යද්දිත් අපි අද්දැක්කා. අපේ අලුත් පැවරුම වූ සෙනිගාල් රටට යන්න ඉස්සෙල්ලා අපි ෆින්ලන්තයට ගියා. එහිදී සෙනිගාල්වලට යන පැවරුම අහෝසි වුණ නිසා ෆින්ලන්තයේම ඉන්න කියලා අපිට කිව්වා. වෙනත් රටක සේවය කිරීමේ අවස්ථාව අවසන් වුණා කියලයි අපිට හිතුණේ. අපි ෆින්ලන්තයේදී විශේෂ පුරෝගාමීන් හැටියටත් ඊට පස්සේ චාරිකා සේවයෙත් යෙදුණා.

මැඩගස්කරයේ පනවා තිබූ තහංචි 1990 වෙද්දී අවසන් වූ නිසා නැවත අවුරුද්දකට අපිට එහෙට යන්න පුළුවන්ද කියලා බෘක්ලින්හි මූලස්ථානයෙන් අපිට කරපු ආරාධනය දැකලා අපි පුදුම වුණා. අපි යන්න කැමැත්තෙන් හිටියත් ඒ වෙනකොට අපි ලොකු අභියෝග දෙකකට මුහුණ දෙමිනුයි හිටියේ. මගේ මහලු වයසේ සිටි පියාව රැකබලා ගන්න සිදු වුණා වගේම වීරාගේ සෞඛ්‍ය තත්වය එතරම් හොඳ වුණේ නැහැ. මගේ තාත්තා 1990 නොවැම්බර් මාසයේ මිය ගියාම මට ලොකු දුකක් ඇති වුණා. නමුත් වීරාගේ සෞඛ්‍යය යහපත් අතට හැරෙද්දී නැවත වෙනත් රටකට ගිහිල්ලා සේවය කිරීමේ බලාපොරොත්තුව මල්පල ගැනුණා. අපි 1991 සැප්තැම්බර් මාසයේදී නැවත මැඩගස්කරයට ගියා.

අපේ පැවරුම තිබුණේ එක අවුරුද්දකට විතරයි. නමුත් ඒක අවුරුදු 10කට දික් වුණා. ඒ කාලය ඇතුළත ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 4,000 සිට 11,600 දක්වා වැඩි වුණා. මම එහි සේවයෙන් ලැබුවේ ලොකු සතුටක්. ඒත් සමහර අවස්ථාවලදී මම අධෛර්යයටත් පත් වුණා. මගේ බිරිඳගේ කායික හා මානසික අවශ්‍යතා මම නොසලකා හරිනවාදෝ කියා මට හිතෙද්දී මට දැණුනේ ලොකු දුකක්. සේවය දිගටම කරගෙන යන්න යෙහෝවා අපි දෙන්නාටම ශක්තිය දුන්නා. අන්තිමට 2001දී අපි නැවත ෆින්ලන්තයට ඇවිත් ශාඛා කාර්යාලයේ වැඩ කරන්න පටන්ගත්තා. අපි තාමත් දේවරාජ්‍යයේ වැඩවලට උද්‍යෝගයෙන් සහභාගි වෙනවා. අප්‍රිකාව නම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. යෙහෝවා අපිට පවරන ඕනෑම තැනක සේවය කරන්නයි අපේ එකම අධිෂ්ඨානය.—යෙසායා 6:8.

[12වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ෆින්ලන්තය

යුරෝපය

[14වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

අප්‍රිකාව

මැඩගස්කරය

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

අප්‍රිකාවේ

උගන්ඩාව

[14වන පිටුවේ පින්තූරය]

අපි විවාහ වූ දවසේදී

[14, 15වන පිටුවේ පින්තූර]

වර්ෂ 1960දී ෆින්ලන්තයේ චාරිකා සේවයේ සිට . . .

වර්ෂ 1962දී මැඩගස්කරයේ පූර්ණ කාලීන සේවය දක්වා

[16වන පිටුවේ පින්තූරය]

අද දින වීරායි මමයි