Skip to content

පටුනට යන්න

දේවරාජ්‍යය යනු කුමක්ද?

දේවරාජ්‍යය යනු කුමක්ද?

මිනිසාව පාලනය කිරීමට අයිතිය තිබෙන්නේ කාටද? ඔහුව මැවූ තැනැත්තාටයි. ඒත් එක් දේවදූතයෙක් එම අයිතියට එරෙහිව කැරලි ගැසුවා. මිනිස් ඉතිහාසය ආරම්භයේදීම සිදු වූයේ මොන තරම් දරුණු ඛේදවාචකයක්ද! දෙවි තහනම් කර තිබූ ගසෙන් ගෙඩි ගෙන කෑමට මුල්ම ස්ත්‍රිය වන ඒව තුළ පෙලඹීමක් ඇති කිරීමේ අරමුණින් ඒ දේවදූතයා ඇයට මෙසේ පැවසුවා. “ඔබ ඒකාන්තයෙන් නොනසින්නහුය; මක්නිසාද ඔබ එයින් කෑ දවසෙහි ඔබගේ ඇස් ඇරෙන බවත් ඔබ යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.” (උත්පත්ති 2:16, 17; 3:1-5) දෙවිට විරුද්ධව කැරලිගැසූ ඒ දේවදූතයාව බයිබලයේ හඳුන්වන්නේ යක්ෂයා හා සාතන් කියායි.—එළිදරව් 12:9.

සාතන් පැවසූ ඒ දෙය ඒව විශ්වාස කළාද? මේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ස්ත්‍රිය වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද ඒ ගහ නුවණ ලැබීම පිණිස ආශා විය යුතු එකක් බවද දැක එහි ගෙඩි ගෙන කෑවාය. ඈ තමා සමඟ වූ ඇගේ පුරුෂයාටත් දුන්නාය. ඔහුද කෑවේය.” (උත්පත්ති 3:6) මෙසේ මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒවද සාතන්ගේ කැරැල්ලට හවුල් වුණා. ඔවුන් දෙදෙනාටත් ඔවුන්ගෙන් පැවතෙන්නන්ටත් පාරාදීස පොළොවේ ජීවත් වීමේ ප්‍රස්තාව අහිමි වූයේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. ඔවුන්ගෙන් පැවතෙන අය කිසිම අඩු පාඩුවක් නැතිව පරිපූර්ණව ඉපදෙනවා වෙනුවට ඔවුන් ඉපදුණේ පාපය හා මරණය උරුම කරගෙනයි. මේ නිසා ඔවුන්ට පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමට හැකි වුණේ නැහැ.—රෝම 5:12.

මුළු විශ්වයම පාලනය කිරීමට අයිතිය තිබෙන එකම තැනැත්තා වන යෙහෝවා දෙවි මේ කැරැල්ල විසඳීමට පියවර ගත්තේ කෙසේද? පාපවලට සමාව ලබාගැනීම සඳහා යම් මාර්ගයක් පිළියෙළ කිරීමට ඔහු අරමුණු කළා. (රෝම 5:8) එමෙන්ම පැනනැඟුණු එම ගැටලුව විසඳීමට ආණ්ඩුවක් පිහිටුවීමටද ඔහු තීරණය කළා. මෙම ආණ්ඩුව හඳුන්වන්නේ ‘දේවරාජ්‍යය’ කියායි. (ලූක් 21:31) මෙම දේවරාජ්‍යයට නිශ්චිත අරමුණක් තිබෙනවා.

එම අරමුණ කුමක්ද? එම ආණ්ඩුව මිනිස් ආණ්ඩුවලට වඩා වෙනස් වන්නේ කෙසේද? එය පාලනය පටන්ගන්නේ කවදාද? මේ ප්‍රශ්නවලට උත්තර ඊළඟ ලිපියේදී ඔබට සොයාගත හැකියි.