Skip to content

පටුනට යන්න

දේවරාජ්‍යය සෑම අතින්ම උසස්

දේවරාජ්‍යය සෑම අතින්ම උසස්

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. “ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටය: ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.’” (මතෙව් 6:9, 10) මෙම යාච්ඤාව ස්වාමීන්ගේ යාච්ඤාව කියා හඳුන්වනවා. ඇතමුන් පරමණ්ඩලය කියාද හඳුන්වන මේ යාච්ඤාව මගින් දේවරාජ්‍යයේ අරමුණ කුමක්ද කියා පැහැදිලි කරනවා.

සාතන් මුල් මිනිස් යුවළවද හවුල් කරගනිමින් දෙවිට විරුද්ධව ඇති කළ කැරැල්ලේ ප්‍රතිඵලයක් හැටියට දෙවිගේ නාමයට මහත් නින්දාවක් ඇති වී තිබෙනවා. එම නින්දාව පහ කර දමා, දෙවිගේ නාමය විශුද්ධවත් කරන්නේ දේවරාජ්‍යය මගිනුයි. දේවදූතයන්ගේ මෙන්ම මිනිසුන්ගේ සන්තෝෂය රඳා පවතින්නේ දෙවිගේ නාමය ගෞරවයට පත් කරමින් මුළු විශ්වයේම පාලනය කිරීමට අයිතිය තිබෙන එකම තැනැත්තා දෙවි බව පිළිගැනීම මතයි.—එළිදරව් 4:11.

දේවරාජ්‍යය මගින් ඉටු කරන තවත් දෙයක් වන්නේ ‘ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද දෙවිගේ කැමැත්ත සිදු කිරීමයි.’ දෙවිගේ කැමැත්ත කුමක්ද? ආදම් දෙවිට අකීකරු වූ නිසා මිනිසුන්ට දෙවි සමඟ තිබූ මිත්‍රත්වය අහිමි වුණා. දෙවිගේ කැමැත්ත වන්නේ ඒ මිත්‍රත්වය නැවත ඇති කිරීමයි. මේ පොළොව යහපත් මිනිසුන් ප්‍රීතියෙන් සදාකල් ජීවත් වන පාරාදීසයක් බවට පත් කිරීමට වූ යෙහෝවාගේ අරමුණ ඉටු කරන්නේද ඒ රාජ්‍යය මගිනුයි. එමෙන්ම මුල්ම පාපය නිසා ඇති වූ සියලුම හානි නැති කර දමන්නේද දේවරාජ්‍යය මගිනුයි. (1 යොහන් 3:8) බයිබලයේ සඳහන් ප්‍රධාන පණිවිඩය පදනම් වන්නේ දෙවිගේ රාජ්‍යය හා එමගින් ඉටු කරන දේවල් මතයි.

දේවරාජ්‍යය උසස් වන අයුරු

දේවරාජ්‍යය කියන්නේ මහත් බලයක් තිබෙන ආණ්ඩුවකටයි. එයට කොතරම් බලයක් තිබෙනවාද කියා අනාගතවක්තෘ දානියෙල් බොහෝ කලකට ඉහතදී පැවසූ මේ වදන්වලින් පෙනී යනවා. ‘ස්වර්ගයේ දෙවි සියලු රාජ්‍යයන් [එනම් මිනිස් ආණ්ඩු] කැබලි කොට නාස්ති කර දමන රාජ්‍යයක් පිහිටුවන්නේය.’ එමෙන්ම මිනිස් ආණ්ඩු මෙන් නොව දේවරාජ්‍යය ‘කිසි කලකත් විනාශ වන්නේ නැහැ.’ (දානියෙල් 2:44) දේවරාජ්‍යය මිනිස් ආණ්ඩුවලට වඩා උසස් වීමට තවත් හේතු තිබෙනවා. අපි දැන් ඒ හේතු ගැන සලකා බලමු.

දේවරාජ්‍යයේ පාලකයා වන්නේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්.

දානියෙල් දුටු ‘සිහිනයකදී හා දර්ශනවලදී’ දේවරාජ්‍යයේ රජ “මනුෂ්‍ය පුත්‍රයෙකු මෙන් කෙනෙක්” බවද, ඔහුව සර්වපරාක්‍රම දෙවි ඉදිරියට කැඳවූ බවද, ඔහුට “ආණ්ඩුවත් ගෞරවයත් රාජ්‍යයකුත්” දුන් බවද දුටුවා. (දානියෙල් 7:1, 13, 14) මෙහි සඳහන් මනුෂ්‍ය පුත්‍රයා වන්නේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙක් නොවෙයි. (මතෙව් 16:13-17) යෙහෝවා දෙවි ඔහුගේ රාජ්‍යයේ රජු හැටියට පත් කළේ ඔහුගේම පුත්‍රයා වන යේසුස්වයි. යේසුස් පොළොවේ සිටි කාලයේදී දුෂ්ට පරිසිවරුන්ට පැවසුවේ, “දෙවිගේ රාජ්‍යය ඔබ අතරෙහිය” කියායි. ඔහු මින් අදහස් කළේ දේවරාජ්‍යයේ අනාගත රජු ඔවුන් අතරේ සිටි බවයි.—ලූක් 17:21.

පාලකයෙකු වීමට යේසුස්ට තිබෙන සුදුසුකම් වෙන කිසිවෙකුටවත් නැහැ. තමන් ධර්මිෂ්ඨ, විශ්වාසවන්ත මෙන්ම අනුකම්පාවෙන් පිරි නායකයෙක් බව යේසුස් ඔප්පු කර තිබෙනවා. මේ පොළොවේ සිටි කාලයේදී ඔහු කාර්ය බහුල පුද්ගලයෙක් වුණත් අනුකම්පාවෙන් පෙලඹී අන් අයට උපකාර කිරීමට ඉදිරිපත් වුණා. (මතෙව් 4:23; මාක් 1:40, 41; 6:31-34; ලූක් 7:11-17) ඒ විතරක් නොවෙයි, යේසුස් නැවත කවදාවත් මරණයට පත් වන්නේ නැහැ. එමෙන්ම සාමාන්‍ය මිනිසුන්ට කළ නොහැකි දේවල් ඔහුට කළ හැකියි.—යෙසායා 9:6, 7.

යෙහෝවා දෙවි ඔහුගේ රාජ්‍යයේ රජු ලෙස යේසුස්ව පත් කර තිබෙනවා

යේසුස් සහ ඔහුගේ හවුල් පාලකයන් පාලනය කරන්නේ උසස් තැනක සිටයි.

“රාජ්‍යයද ආණ්ඩුවද . . . ශුද්ධවන්තයන්ගේ සෙනඟට දෙනු ලබන” බව දානියෙල් දර්ශනයකදී දුටුවා. (දානියෙල් 7:27) යේසුස් පාලනය කරන්නේ තනිවම නොවෙයි. ඔහු සමඟ තවත් අය රජවරුන් හැටියට පාලනය කරන අතර පූජකයන් හැටියටද සේවය කරනවා. (එළිදරව් 5:9, 10; 20:6) මොවුන් ගැන යොහන් මෙසේ පැවසුවා. “බලන්න! බැටළු පැටවා සියොන් කන්ද මත සිටගෙන සිටිනවා මම දුටිමි. එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙකු ඔහු සමඟ සිටිනවාත් මම දුටිමි.” එමෙන්ම ඔවුන්ව “පොළොවෙන් මිල දී ගනු ලැබූ” බවත් ඔහු සඳහන් කළා.—එළිදරව් 14:1-3.

බැටළු පැටවා ලෙස හඳුන්වා තිබෙන්නේ දේවරාජ්‍යයේ රජු බවට පත් වී සිටින යේසුස්වයි. (යොහන් 1:29; එළිදරව් 22:3) මෙහිදී සියොන් කන්ද කියා හඳුන්වන්නේ ස්වර්ගයයි. * (හෙබ්‍රෙව් 12:22) යේසුස් ඔහුගේ හවුල් පාලකයන් වන 1,44,000දෙනා සමඟ පාලනය කරන්නේ ස්වර්ගයේ සිටයි. ඔවුන් පාලනය කරන්නේ මොන තරම් උසස් තැනක සිටද! ඔවුන් ස්වර්ගයේ සිටින නිසා පොළොවේ සිදු වන දේවල් හොඳින් දකින්න ඔවුන්ට පුළුවන්. ‘දෙවිගේ රාජ්‍යය’ ‘ස්වර්ග රාජ්‍යය’ කියාද හඳුන්වන්නේ එය ස්වර්ගයේ සිට පාලනය කරන නිසයි. (ලූක් 8:10; මතෙව් 13:11) න්‍යෂ්ටික අවිවලට පවා ස්වර්ගයේ පිහිටි මේ රාජ්‍යයට කිසිම අනතුරක් කළ නොහැකියි. දෙවිගේ අරමුණ ඉටු කරන මේ රාජ්‍යය කිසිවෙකුට පාරාජය කරන්න බැහැ.—හෙබ්‍රෙව් 12:28.

පොළොවේ සිටින දේවරාජ්‍යයේ නියෝජිතයන් විශ්වාසවන්තයි.

මොවුන් ගැන ගීතාවලිය 45:16හි මෙසේ සඳහන් වෙනවා. “ඔබ [එනම් යේසුස්] ඔවුන් මුළු පොළොවෙහි අධිපතීන් කරන්නෙහිය.” (ගීතාවලිය 45:6, 7; හෙබ්‍රෙව් 1:7, 8) දේවරාජ්‍යයේ නියෝජිතයන් ලෙස පොළොවේ සේවය කරන මෙම අධිපතීන්ව පත් කරන්නේ යේසුස් විසිනුයි. මොවුන් යේසුස් දෙන මඟ පෙන්වීම් ඒ විදිහටම අනුගමනය කරයි කියා අපිට ස්ථිර වෙන්න පුළුවන්. ක්‍රිස්තියානි සභාවේ සේවය කරන වැඩිමහල්ලන්ට අද පවා උගන්වා තිබෙන්නේ සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි ‘අනිසි ලෙස බලය පවත්වන්නේ’ නැතුව ඔවුන්ව රැකබලා ගනිමින් ඔවුන්ට ප්‍රබෝධයක් ගෙන දෙන අයුරින් ක්‍රියා කරන්න කියායි.—මතෙව් 20:25-28; යෙසායා 32:2.

දේවරාජ්‍යයේ යටත්වැසියන් ධර්මිෂ්ඨයි.

මොවුන් දෙවි ඉදිරියේ නිර්දෝෂයි කියා පවසන්නේ ඔවුන් දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන නිසයි. (හිතෝපදේශ 2:21, 22, පැරණි අනුවාදය) “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය; ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීති වන්නෝය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 37:11) දේවරාජ්‍යයේ යටත්වැසියන් කීකරුව ඉගෙනගන්න කැමති, මොළොක් ගුණැති අයයි. ඔවුන් වැඩියෙන්ම උනන්දු වන්නේ දෙවි ගැන ඉගෙනගැනීමටයි. (මතෙව් 5:3) හරි දෙය කිරීමට කැමැත්තෙන් සිටින ඔවුන් සැමවිටම දෙවිගේ මඟ පෙන්වීම් අගය කරනවා.

දේවරාජ්‍යයේ නීති ශ්‍රේෂ්ඨයි.

දේවරාජ්‍යය යටතේ ක්‍රියාත්මක වන්නේ යෙහෝවා දෙවි පනවන නීති හා ඒවා මත පදනම් ප්‍රතිපත්තියි. මෙම නීති අසාධාරණ ලෙස අපව යම් දේවලින් වළක්වනවා වෙනුවට ඒවා අපේ යහපතට දායක වෙනවා. (ගීතාවලිය 19:7-11) දැනටමත් බොහෝදෙනෙක් යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමෙන් ප්‍රයෝජන ලබා තිබෙනවා. උදාහරණයක් හැටියට ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට හා දරුවන්ට බයිබලයේ දී තිබෙන උපදෙස් අදාළ කරගැනීමෙන් අපට සන්තෝෂවත් පවුල් ජීවිතයක් භුක්ති විඳිය හැකියි. (එෆීස 5:33–6:3) “ප්‍රේමය පැළඳගන්න” කියා බයිබලයේ දී තිබෙන ආඥාවට අප කීකරු වෙනවා නම් අන් අය සමඟ හොඳ මිත්‍රත්වයක් පැවැත්විය හැකියි. (කොලොස්සි 3:13, 14) බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව අපි ජීවත් වන නිසා අපි කරන වැඩ අපි හොඳින් ඉටු කරනවා. එමෙන්ම අප මුදල් සම්බන්ධයෙන් දරන්නේ සමබර ආකල්පයක්. (හිතෝපදේශ 13:4; 1 තිමෝති 6:9, 10) බේබදුකම, අනාචාරය, දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිතය වැනි දේවලින් වැළකී සිටීමෙන් අපි ඇතැම් ලෙඩ රෝගවලින් ආරක්ෂා වී සිටිනවා.—හිතෝපදේශ 7:21-23, 23:29, 30; 2 කොරින්ති 7:1.

දේවරාජ්‍යය කියන්නේ දෙවි විසින් පිහිටුවා තිබෙන ආණ්ඩුවකටයි. එහි රජ වන වන යේසුස් මෙන්ම ඔහුගේ හවුල් පාලකයන්ද දෙවිගේ ධර්මිෂ්ඨ නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වගබලා ගත යුතුයි. පොළොවේ සිටින දේවරාජ්‍යයේ නියෝජිතයන් ඇතුළු සියලුම යටත්වැසියන් දෙවිගේ නීතිවලට එකඟව ජීවත් වීම සලකන්නේ ප්‍රීතියක් හැටියටයි. දේවරාජ්‍යයේ පාලකයන්ගේ මෙන්ම එහි යටත්වැසියන්ගේ ජීවිතයේ ප්‍රධාන තැන හිමි වන්නේ දෙවිටයි. දේවරාජ්‍යයේ සියලුම කටයුතු සිදු වන්නේ දෙවිගේ පාලනය යටතේයි. මේ නිසා දේවරාජ්‍යය මගින් දෙවි අරමුණු කළ දේ ඉටු වන බව ස්ථිරයි. මීළඟට මතු වන වැදගත් ප්‍රශ්නය වන්නේ දේවරාජ්‍යයේ පාලනය පටන්ගන්නේ කවදාද යන්නයි.

දේවරාජ්‍යයේ පාලනය ඇරඹේ

දේවරාජ්‍යය පාලනය කිරීමට පටන්ගන්නේ කවදාද කියා දැනගැනීමට යේසුස් පැවසූ මෙම වදන් උපකාරවත් වෙනවා. “ජාතීන් සඳහා නියම කරන ලද කාලවල් සම්පූර්ණ වන තුරු යෙරුසලම ජාතීන් විසින් පාගා දමනු ලබන්නේය.” (ලූක් 21:24) දෙවිගේ නාමය හා සම්බන්ධයක් තිබූ පොළොවේ පිහිටි එකම නගරය වූයේ යෙරුසලමයි. (1 රාජාවලිය 11:36; මතෙව් 5:35) මේ පොළොවේ තිබූ දෙවි අනුමත කළ රාජ්‍යයේ අගනුවර වූයේ එයයි. එම නගරය වෙනත් ජාතීන් විසින් පාගා දැමීමට නියමිතව තිබුණා. මෙසේ වුණේ දෙවිගේ සෙනඟ කෙරෙහි ඔහු කළ පාලනය කලකට අත්හිටුවීම සඳහායි. මෙය සිදුවීමට නියමිතව තිබුණේ කවදාද?

යෙහෝවාගේ පාලනය නියෝජනය කළ යෙරුසලමේ අවසන් රජ ගැන මෙසේ පවසා තිබුණා. “මකුටය ගළවා ඔටුන්න පහ කරන්න; . . . ඒක අයිතිකාර වූ අය එන තුරු ඒක තවත් නොවන්නේය; මම ඒක ඔහුට දෙන්නෙමි.” (එසකියෙල් 21:25-27) එම රජගෙන් ඔටුන්න පහ කිරීමෙන් අදහස් කළේ දෙවිගේ සෙනඟ කෙරෙහි ඔහුගේ පාලනය තවදුරටත් ක්‍රියාත්මක නොවූ බවයි. මෙය සිදු වූයේ බැබිලෝනිවරුන් විසින් යෙරුසලම විනාශ කළ වසර වූ ක්‍රි.පූ. 607දීයි. මින්පසු පටන්ගත් “නියම කරන ලද කාලවල්” අතරතුරේදී දෙවිගේ පාලනය නියෝජනය කරන පාලන ක්‍රමයක් මේ පොළොවේ තිබුණේ නැහැ. “අයිතිකාර වූ අය” වන යේසුස්ට පාලනය කිරීමේ බලය යෙහෝවා ලබා දෙන්නේ ඒ කාලය අවසන් වීමෙන් පසුවයි. එම කාලය කොතරම් දීර්ඝද?

බයිබලයේ දානියෙල් පොතේ එක් අනාවැකියක මෙසේ සඳහන් වෙනවා. ‘ගහ කපා විනාශ කරන්න; නමුත් එහි මුල්වල කඳ පොළොවේ යකඩ හා පිත්තල බැම්මකින් බැඳ කාලවල් සතක් තබන්න.’ (දානියෙල් 4:23) අපි දැන් සලකා බලන්න යන ආකාරයට මෙහි සඳහන් “කාලවල් සත” ‘ජාතීන් සඳහා නියම කරන ලද කාලවලට’ සමානයි.

බයිබලයේ ඇතැම් තැන්වල පුද්ගලයන්, පාලකයන් හා රාජ්‍යයන් සංකේතවත් කිරීමට ගස් යන වචනය යොදාගෙන තිබෙනවා. (ගීතාවලිය 1:3; යෙරෙමියා 17:7, 8; එසකියෙල් 31වන පරිච්ඡේදය) දානියෙල් පොතේ සඳහන් සංකේතවත් ගස ‘මුළු පොළෝ සීමාවලටම පෙනුණා.’ (දානියෙල් 4:11) කපා දමා, පිත්තල හා යකඩ බැම්මක් දැමීමට නියම කර තිබූ එම ගසෙන් සංකේතවත් කළ පාලනය ‘පොළොවේ සීමාව දක්වා’ ව්‍යාප්ත වන බව අනාවැකියේ සඳහන් වෙනවා. ඉන් අදහස් කරන්නේ මෙම පාලනය මුළු මිනිස් වර්ගයා කෙරෙහිම බලපවත්වන බවයි. (දානියෙල් 4:17, 20, 22) මේ නිසා එම ගසෙන් නියෝජනය කරන්නේ විශේෂයෙන්ම මුළු මහත් පොළොව කෙරෙහි බලපවත්වන යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ පාලනයයි. දෙවි ඊශ්‍රායෙල් ජාතිය පාලනය කළ කාලයේදී ඔහුගේ පාලනය යම් කාලයකට ක්‍රියාත්මක වුණා. සංකේතවත් ගස කපා දමා එය වැඩීම වැළැක්වීම සඳහා යකඩ හා පිත්තල බැම්මක් එය වටා දමන බවත් අනාවැකියේ සඳහන් වෙනවා. මෙයින් අදහස් කරන්නේ දෙවිගේ පාලනය නියෝජනය කරමින් ඊශ්‍රායෙල් ජාතිය කෙරෙහි පැවති පාලන ක්‍රමය යම් කලකට නතර වන බවයි. මෙය සිදු වූයේ ක්‍රි.පූ. 607දීයි. “කාලවල් සතක්” පසු වන තෙක් එම ගස වැඩීම වළක්වා තිබුණා. අනාවැකියට අනුව එම කාල පරිච්ඡේදය අවසානයේදී යෙහෝවා දෙවි අයිතිය ඇති තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්ට පාලනය බාර දුන්නා. මින් පැහැදිලි වන්නේ ‘කාලවල් සතට’ සහ ‘ජාතීන් සඳහා නියම කරන ලද කාලවලට’ එකම කාල පරිච්ඡේදයක් අයත් වන බවයි.

“කාලවල් සත” කොතරම් දීර්ඝද කියා තේරුම්ගැනීමට බයිබලයේ සඳහන් තවත් දෙයක් උපකාරවත් වෙනවා. දවස් 1,260ක් “කාලයකටත් කාලවලටත් කාල භාගයකටත්,” එනම් “කාලවල්” තුනහමාරකට සාමාන බව එළිදරව් පොතේ සඳහන් වෙනවා. (එළිදරව් 12:6, 14) මේ අනුව කාලවල් තුනහමාර වගේ දෙගුණයක්, එනම් කාලවල් සතක් දවස් 2,520කට සමානයි.

ක්‍රිස්තු පූර්ව 607 සිට සාමාන්‍ය දවස් 2,520ක් ගණනය කළ විට අපි පැමිණෙන්නේ ක්‍රි.පූ. 600වන වසරටයි. කෙසේවෙතත් කාලවල් සත ඊට වඩා දීර්ඝ වුණා. ඊට අයත් කාල පරිච්ඡේදය යේසුස් “ජාතීන් සඳහා නියම කරන ලද කාලවල්” ගැන කතා කළ අවස්ථාව වන විටත් අවසන් වී තිබුණේ නැහැ. මේ අනුව කාලවල් සත ගණනය කිරීමේදී ශුද්ධ ලියවිල්ලට අනුව “දවසකට එක අවුරුද්දක්” බැගින් ගණනය කිරීමේ ක්‍රමය අප යොදාගත යුතුයි. (ගණන් කතාව 14:34; එසකියෙල් 4:6) ඒ අනුව බලද්දී දෙවිගේ මැදිහත් වීමකින් තොරව මිනිසුන්ගේ පාලන ක්‍රම කාලවල් සතක් එනම් අවුරුදු 2,520ක් පැවතුණා. ක්‍රිස්තු පූර්ව 607 සිට අවුරුදු 2,520ක් ගණනය කළ විට අපි පැමිණෙන්නේ ක්‍රි.ව. 1914ටයි. “ජාතීන් සඳහා නියම කරන ලද කාලවල්” අවසන් වූයේ එම වසරේදීයි. මින් අදහස් කරන්නේ යේසුස් දේවරාජ්‍යයේ රජු ලෙස පත් වුණේ 1914දී බවයි.

“ඔබගේ රාජ්‍යය පැමිණේවා”

යේසුස් රජු ලෙස පත් වී සිටින දේවරාජ්‍යය දැනටමත් ස්වර්ගයේ පිහිටුවා හමාරයි. මේ නිසා යේසුස් ඔහුගේ ආදර්ශ යාච්ඤාවේදී ඉගැන්වූවාක් මෙන් එය පැමිණෙන්න කියා අපි යාච්ඤා කළ යුතුද? (මතෙව් 6:9, 10) ඔව්, අපි එසේ යාච්ඤා කළ යුතුයි. ඊට හේතුව තවමත් දේවරාජ්‍යයේ පාලනය පොළොව කෙරෙහි සම්පූර්ණයෙන්ම බලපවත්වන්නේ නැති නිසයි.

දේවරාජ්‍යය සම්පූර්ණයෙන්ම පොළොව පාලනය කරන කාලයේදී දෙවිට විශ්වාසවන්තව සිටින සියලුදෙනාම මහත් ආශීර්වාද අද්දකින බව ස්ථිරයි. මේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවිම ඔවුන් සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:3, 4) ඒ කාලයේදී ‘එහි වැසියන් මම රෝගාතුරව සිටිමියි නොකියයි.’ (යෙසායා 33:24) දෙවිගේ කැමැත්ත ඉටු කරන අය සදහටම මේ පොළොවේ ප්‍රීතියෙන් ජීවත් වෙනවා. (යොහන් 17:3) මේ අනාවැකි ඇතුළුව බයිබලයේ සඳහන් තවත් අනාවැකි ඉටු වන කාලය දෙස අපි බලා සිටින අතරේදී “පළමුකොට රාජ්‍යයද [දෙවිගේ] ධර්මිෂ්ඨකමද නොකඩවාම [සොයමු].”—මතෙව් 6:33.

^ 10 ඡේ. පුරාණ ඊශ්‍රායෙලයේ රජ වූ දාවිත් යෙබූසිවරුන් සමඟ සටන් කර අල්ලාගත් සියොන් කන්ද පිහිටා තිබූ නුවර ඔහුගේ අගනුවර බවට පත් කළා. (2 සාමුවෙල් 5:6, 7, 9) එමෙන්ම ඔහු ගිවිසුම් පෙට්ටියද එම නුවරට රැගෙන ගියා. (2 සාමුවෙල් 6:17) ගිවිසුම් පෙට්ටිය ඊශ්‍රායෙල්වරුන් සමඟ දෙවි සිටි බවට ලකුණක් වුණා. එමනිසා එය තිබූ සියොන් නුවර ස්වර්ගයට සමාන කරමින් දෙවිගේ වාසස්ථානය කියා හැඳින්වීම යෝග්‍යයි.—නික්මයාම 25:22; ලෙවී කතාව 16:2; ගීතාවලිය 9:11; එළිදරව් 11:19.