Skip to content

පටුනට යන්න

“අන්තිම දවස්”

“අන්තිම දවස්”

“අන්තිම දවස්”

ඔබේත් ඔබේ පවුලේ අයගේත් අනාගතය ගැන ඔබ කල්පනා කරනවාට සැකයක් නැහැ. අද ලෝකයේ සිදු වන දේවල් තමන්ගේ ජීවිතවලට බලපාන්නේ කොහොමද කියා දැනගන්න බොහෝදෙනෙක් ප්‍රවෘත්තිවලට කිට්ටු අවධානයක් දෙනවා. කෙසේවෙතත් අනාගතය ගැන හරියටම දැනගත හැක්කේ දෙවිගේ වචනයට කිට්ටු අවධානයක් දීමෙන් පමණයි. අපි මෙසේ පවසන්නේ දැන් සිදු වන දේවල් ගැන විතරක් නෙවෙයි අනාගතයේදී සිදු වන දේවල් ගැනද බයිබලයේ මීට බොහෝ කාලයකට පෙර පවසා තිබෙන නිසයි.

උදාහරණයක් ලෙස යේසුස් ක්‍රිස්තුස් පොළොවේ සිටි කාලයේදී දේවරාජ්‍යය සම්බන්ධයෙන් බොහෝ දෑ කතා කළා. (ලූක් 4:43) මේ ගැන අසා සිටි මිනිසුන්ට දේවරාජ්‍යය පැමිණෙන්නේ කවදාද කියා දැනගැනීමට ලොකු ආශාවක් තිබුණා. යේසුස්ව මරණයට පත් කිරීමට දවස් තුනකට පෙර ඔහුගේ ගෝලයන් “[දේවරාජ්‍යයේ බලය ඇතුව] ඔබේ පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද” කියා ඔහුගෙන් ඇසුවා. (මතෙව් 24:3) මේ ලෝකය සම්පූර්ණයෙන්ම දේවරාජ්‍යය මගින් පාලනය කරන්නේ කවදාද කියා හරියටම දන්නේ යෙහෝවා දෙවි පමණක් බව ඔහු පැවසුවා. (මතෙව් 24:36; මාක් 13:32) කෙසේවෙතත් තම පියා වන යෙහෝවා දෙවි තමන්ව දේවරාජ්‍යයේ පාලකයා ලෙස පත් කර තිබෙන බවට සාක්ෂියක් හැටියට මේ ලෝකයේ යම් යම් දේවල් සිදු වන බව යේසුස් මෙන්ම වෙනත් අනාගතවක්තෘවරුන්ද පැවසුවා.

අද අපි ජීවත් වන්නේ මේ සමාජ ක්‍රමයේ “අන්තිම දවස්වල” බවට ඇසින් දැකිය හැකි සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා. අපි ඒ සාක්ෂි ගැන සලකා බලන්න කලින් මිනිසුන්ට නොපෙනෙන ලෙස සිදු වූ වැදගත් සිද්ධියක් ගැන කෙටියෙන් සලකා බලමු. (2 තිමෝති 3:1) යෙහෝවා දෙවි විසින් යේසුස්ව දේවරාජ්‍යයේ රජු ලෙස 1914දී පත් කරනු ලැබුවා * (දානියෙල් 7:13, 14) යේසුස් ස්වර්ගයේ රජ වූ විගස ඔහු යම් ක්‍රියාමාර්ගයක් ගත්තා. මේ සම්බන්ධයෙන් බයිබලයේ මෙසේ වාර්තා වෙනවා. ‘ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය: මිකායෙල් සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයෝද යුද්ධ කළෝය.’ (එළිදරව් 12:7) “අග්‍ර දේවදූත මිකායෙල්” ලෙස හඳුන්වන්නේ ස්වර්ගයේ සිටින යේසුස් ක්‍රිස්තුස්වයි. * (යූද් 9; 1 තෙසලෝනික 4:16) මකරා ලෙස හඳුන්වා තිබෙන්නේ සාතන්වයි. එමෙන්ම දෙවිට අකීකරු වී සාතන්ගේ පැත්ත ගත් දේවදූතයන් පිරිසක්ද ස්වර්ගයේ සිටියා. ඔවුන්ව භූතයන් කියා හඳුන්වනවා. ස්වර්ගයේ සිදු වූ මේ යුද්ධයේදී සාතන්ට සහ ඔහුගේ භූතයන්ට සිදු වූයේ කුමක්ද? මේ යුද්ධයෙන් ඔවුන් පරාජය වූ අතර ඔවුන්ව “පහතට” එනම් පොළොවට හෙළනු ලැබුවා. (එළිදරව් 12:9) මේ හේතුව නිසා ‘ස්වර්ගයේ හා එහි වාසය කරන්නන්’ එනම් දෙවිගේ විශ්වාසවන්ත දේවදූතයන් ප්‍රීති වුණා. ඒත් පොළොවේ සිටින අයට නම් එය ප්‍රීතිමත් දෙයක් වුණේ නැහැ. ඒ ගැන බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “පොළොවටත් මුහුදටත් දුක් වේ. මන්ද යක්ෂයා තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව දැන, ඔහු මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටින්නේය.”—එළිදරව් 12:12.

අද මිනිසුන් බොහෝ දුක් වේදනාවලින් පීඩා විඳින්නේ සාතන් මහත් කෝපයෙන් සිටින නිසයි. ඒත් මේ දුක් පීඩා පවතින්නේ “කෙටි කාල පරිච්ඡේදයකට” පමණයි. මේ කෙටි කාල පරිච්ඡේදය බයිබලයේ හඳුන්වන්නේ “අන්තිම දවස්” කියායි. මේ ලෝකය කෙරෙහි සාතන් ඇති කරන විනාශකාරී නරක බලපෑම් ඉතා ඉක්මනින් නැති වන බව දැන සිටීම මොන තරම් සහනයක්ද! ඒත් අපි ජීවත් වන්නේ අන්තිම දවස්වල බවට තිබෙන සාක්ෂි මොනවාද? මේ ගැන දැනගන්න ඊළඟ ලිපිය කියවා බලන්න.

[පාදසටහන්වල]

^ 4 ඡේ. වර්ෂ 2006 ජූලි 15 මුරටැඹ කලාපයේ 6 සිට 7 දක්වා පිටු බලන්න.

^ 4 ඡේ. තවත් විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 218 සිට 219 දක්වා පිටු බලන්න.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Foreground: © Chris Stowers/​Panos Pictures; background: FAROOQ NAEEM/​AFP/​Getty Images