Skip to content

පටුනට යන්න

අපි ඇත්තටම ජීවත් වන්නේ ‘අන්තිම දවස්වලද?’

අපි ඇත්තටම ජීවත් වන්නේ ‘අන්තිම දවස්වලද?’

අපි ඇත්තටම ජීවත් වන්නේ ‘අන්තිම දවස්වලද?’

අද අපි ජීවත් වන්නේ “අන්තිම දවස්” කියා බයිබලයේ හඳුන්වා තිබෙන කාලයේයි. මෙය සත්‍යයක් බව විශ්වාස කිරීමට තිබෙන සාක්ෂි දෙයාකාරයකින් දැකිය හැකියි. එකක් නම් මේ ‘සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයේ’ සිදු වන යම් සිදුවීම්වලින් ඒ බව දැනගත හැකියි. (මතෙව් 24:3) අනික “අන්තිම දවස්වල” ජීවත් වන මිනිසුන්ගේ ආකල්ප හා ක්‍රියාවල දැකිය හැකි වෙනසද අන්තිම දවස්වලට සාක්ෂියක් වෙනවා.—2 තිමෝති 3:1.

ලෝකයේ සිදු වන නොයෙක් සිදුවීම් සහ මිනිසුන්ගේ ආකල්පවල හා ක්‍රියාවල දැකිය හැකි වෙනස් වීම්වලින් තහවුරු වන්නේ අප අන්තිම දවස්වල ජීවත් වන බවයි. ඒත් සතුටට කරුණක් නම් දෙවි මේ ලෝකයේ පාලනය අතට ගැනීමට කාලය ඉතා ළඟ බවත් ඒ වෙනස්කම්වලින් කියාපෑමයි. දේවරාජ්‍යය මේ ලෝකය පාලනය කරන කාලයේදී දෙවිට ප්‍රේම කරන මිනිසුන් සදහටම සතුටින් ජීවත් වෙනවා. අපි අන්තිම දවස්වල ජීවත් වන බවට පැහැදිලිව දැකගන්න පුළුවන් සාක්ෂි කිහිපයක් යේසුස් සඳහන් කළා. අප ඉන් සාක්ෂි තුනක් ගැන දැන් සලකා බලමු.

“විපත්ති නිසා ඇති වන වේදනාවල පටන්ගැන්ම”

“ජාතියක් ජාතියකට විරුද්ධවද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැඟී සිටිනු ඇත. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වනවා ඇත. මේ සියල්ල විපත්ති නිසා ඇති වන වේදනාවල පටන්ගැන්මකි” කියා යේසුස් පැවසුවා. (මතෙව් 24:7, 8) අප “මේ සියල්ල” ගැන වෙන වෙනම පරීක්ෂා කර බලමු.

පසුගිය සියවසේ ඇති වූ යුද්ධ හා වාර්ගික ගැටුම් නිසා අතිවිශාල සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වී තිබෙනවා. “පළමුවෙනි සියවසේ සිට 1899 දක්වා කාල පරිච්ඡේදය තුළ සිදු වූ යුද්ධවලින් අහිමි වූ ජීවිත සංඛ්‍යාව වගේ තුන් ගුණයක් 20වෙනි සියවසේදී පමණක් සිදු වූ යුද්ධවලින් අහිමි වී තිබෙනවා” කියා වර්ල්ඩ් වොච් ආයතනය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා. ඒ වගේම “වර්ෂ 1900 සිට 1989 දක්වා කාලය අතරතුර යුද්ධයෙන් මියැදුණු සංඛ්‍යාව මිලියන 86යි. විසිවෙනි ශතවර්ෂයේ යුද්ධයෙන් මියැදුණු සංඛ්‍යාව කොතරම්ද කියනවා නම් එය සිතාගත නොහැකි තරම්ය. මිය ගිය සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක්ම (මිලියන 58ක්ම) මිය ගියේ ලෝක යුද්ධ දෙක තුළදීයි. එමනිසා මිය ගිය සංඛ්‍යාව සාමාන්‍යයක් ලෙස දැක්වීමට වෑයම් කළොත් එය තිබෙන දත්තවලට එකඟයි කියා කිව නොහැකියි. නමුත් මෙම මරණ විටින් විට සියවස පුරාම සිදු වූවා නම් සෑම දිනකම යුද්ධය හේතුවෙන් 2,500දෙනෙකු පමණ මිය ගියා කියා සඳහන් කරන්නට පුළුවන්. ඉන් අදහස් කරන්නේ අවුරුදු අනූවක් පුරා සෑම පැයක් තුළදීම නොනවත්වාම සියදෙනෙකුට වඩා මිය ගොස් තිබෙන බවයි.” මෙසේ මිය ගොස් සිටින අයගේ මිලියන සංඛ්‍යාත නැදෑ හිත මිතුරන් මොන තරම් දුකක් හා වේදනාවක් අත් විඳින්න ඇද්ද!

ආහාර නිෂ්පාදනයේ අඩුවක් නැති වුණත් ලොව පුරා ආහාර හිඟයක් දකින්න තිබෙනවා. මෙයත් අන්තිම දවස්වල ලකුණක්. පර්යේෂකයන් පවසන පරිදි පසුගිය අවුරුදු 30 ඇතුළත ආහාර නිෂ්පාදනය ජනගහන වර්ධනයට වඩා වැඩි වී තිබෙනවා. ඒ කෙසේවෙතත් ලෝකයේ බොහෝ රටවල ආහාර හිඟකමක් තිබෙනවා. මීට හේතුව එම රටවල මිනිසුන්ට වගා කිරීමට අවශ්‍ය තරම් ඉඩ ප්‍රමාණයක් නොමැතිකම හා ආහාර ලබාගැනීමට මුදල් නොමැතිකමයි. දියුණු වෙමින් පවතින රටවල, බිලියන 1.2ක ජනතාවක් ජීවත් වෙන්නේ රුපියල් 100කටත් වඩා අඩු දෛනික ආදායමකින්. මේ අය අතුරින් මිලියන 780ක් දිගු කාලයක සිට කුසගින්නෙන් පෙළෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, සෑම වසරකම දරුවන් මිලියන 5කට වඩා මන්ද පෝෂණයෙන් මිය යනවා.

අන්තිම දවස්වලදී භූමිකම්පාද වැඩි වන බව බයිබලයේ කලින් පවසා තිබෙනවා. එක්සත් ජනපදයේ කරන ලද භූගෝලීය සමීක්ෂණයකට අනුව සාමාන්‍යයක් හැටියට ගත් විට වර්ෂ 1990 පටන් උස් ගොඩනැඟිලි විනාශ කළ හැකි භූමිකම්පා 17ක් පමණ සෑම වසරකම සිදු වී තිබෙනවා. තවද ගොඩනැඟිලි බිමටම සමතලා කර දැමිය හැකි ආකාරයේ භූමිකම්පාවක් සෑම වසරකම පාහේ සිදු වී තිබෙනවා. එක් වාර්තාවකට අනුව “පසුගිය වසර 100 පුරා භූමිකම්පා නිසා ලක්ෂ ගණනක් මිය ගොස් තිබෙනවා.” මීට එක් ප්‍රධාන හේතුවක් නම් 1914 පටන් භූමිකම්පා සිදු වන ප්‍රදේශවල වැඩි වැඩියෙන් ජනයා ජීවත් වෙන්නට පටන්ගෙන තිබීමයි.

වෙනත් සුවිශේෂී සිදුවීම්

“එක් තැනක් පාසා තවත් තැනක වසංගතද . . . ඇති වන්නේය” කියා යේසුස් පැවසුවා. (ලූක් 21:11) අද දින වෛද්‍ය විද්‍යාව කවරදාටත් වඩා දියුණුයි. ඒත් මිනිසුන් තවමත් කාලයක සිට පවතින ලෙඩ රෝගවලින් මෙන්ම අලුතෙන් වැලදෙන රෝගවලින්ද පීඩා විඳිනවා. එක් වාර්තාවක මෙසේ සඳහන් වෙනවා. “ක්ෂය රෝගය, මැලේරියාව සහ කොලරාව ඇතුළු තවත් රෝග 20ක් 1973 පටන් පැතිරෙමින් තිබෙනවා. මෙම ලෙඩ රෝග වඩාත් දරුණු වී තිබෙන අතර බෙහෙත් හේත්වලින්ද සුව කිරීම පහසු නැහැ. වර්ෂ 1973 සිට HIV වෛරසය, ඉබෝලා වෛරසය, හෙපටයිටීස් C යන මීට පෙර හඳුනාගෙන නොතිබුණු රෝගකාරක 30ක් හඳුනාගෙන තිබෙනවා. මේවා සුව කළ නොහැකි රෝගයි.” (U.S. National Intelligence Council) වර්ෂ 2000 ජූනි 28වෙනිදා රතු කුරුස සංගමය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව ඊට කලින් වසරේ ස්වාභාවික විපත්වලින් මිය ගිය සංඛ්‍යාව වගේ 160 ගුණයක් බෝ වන රෝගවලින් මිය ගොස් තිබෙනවා.

‘නීති විරෝධී ක්‍රියා වැඩිවීම’ අන්තිම දවස්වල දැකිය හැකි තවත් ලක්ෂණයක්. (මතෙව් 24:12) අද බොහෝ රටවල ජනයා තමන්ගේ නිවෙස්වලට අගුලු නොදමා ගෙයින් පිට වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් රෑ ගමන් බිමන් යෑම සලකන්නේ අනතුරුදායක යමක් ලෙසයි. නීති විරෝධි ක්‍රියා නිසා වාතය, පරිසරය හා වතුර අපවිත්‍ර වී තිබෙනවා. මෙයත් බයිබලයේ කලින්ම කියා තිබූ අනාවැකියක ඉටුවීමක්. දෙවිගේ නියමිත කාලයේදී ඔහු “පොළොව විනාශ කරන අයව විනාශ කරන” බව බයිබලයේ එළිදරව් පොතේ පවසා තිබෙනවා.—එළිදරව් 11:18.

අන්තිම දවස්වල ජීවත් වන මිනිසුන්ගේ ගතිලක්ෂණ

ඔබට බයිබලයක් තිබෙනවා නම් එය පෙරළා 2 තිමෝති 3:1-5 දක්වා කියවන්න. “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන” බව පාවුල් එහි පවසා තිබෙනවා. ඉන්පසු ඔහු දෙවි කෙරෙහි කිසිම භක්තියක් නැති මිනිසුන් තුළ දැකිය හැකි ගුණාංග 20ක් ගැන කතා කරනවා. ඔබේ ප්‍රදේශයේත් මෙවැනි ගුණාංග තිබෙන අයව ඔබ දැක තිබෙනවාද? අද කාලයේ ජීවත් වන මිනිසුන් සම්බන්ධයෙන් මෑතකදී පවසා තිබෙන දේවල් ගැන ටිකක් සොයා බලමු.

‘තමුන්ටම ප්‍රේම කිරීම.’ (2 තිමෝති 3:2) ‘මිනිසුන් වෙන කවරදාටත් වඩා තමන්ගේම කාරණා ගැන පමණයි සිතන්නේ. ඔවුන් සිතන්නේ ඔවුන් දෙවිවරුන් කියායි. ඒ වගේම ඔවුන් බලාපොරොත්තු වෙනවා අනිත් අයත් තමන්ට දෙවිවරුන් මෙන් සලකයි කියා.’—Financial Times, England.

‘මුදලට ප්‍රේම කිරීම.’ (2 තිමෝති 3:2) “බොහෝදෙනෙක් චාම් සරල ජීවිතයක් ගත කිරීමට වඩා පුළුවන් තරම් ධන සම්පත් අත් කරගන්න මහත් වෑයමක් දරනවා. සමාජය තුළ ඔබට පිළිගැනීමක් තියෙන්නේ ඔබට තිබෙන දේපළ අනුවයි. ඔබට වස්තුව දේපළ නැත්නම් මේ ජීවිතයෙන් ඇත්තෙන්ම පලක් නැහැ.”—Jakarta Post, Indonesia.

‘දෙමාපියන්ට අකීකරු වීම.’ (2 තිමෝති 3:2) “රජ කෙනෙක් සේවකයන්ට අණ කරනවා වගේ අවුරුදු 4ක දරුවෙක් දෙමාපියන්ට අණ කරනවා. අවුරුදු 8ක දරුවෙක් ‘මට ඔයාව පෙන්නන්න බැහැ’ කියලා දෙමාපියෙකුට කෑගසනවා. දරුවන්ගේ මෙවැනි ක්‍රියාකලාපයන් දෙමාපියන්ව පුදුමයෙනුත් පුදුමයට පත් කරනවා.”—American Educator, United States.

‘පක්ෂපාතිත්වයක් නොමැති වීම.’ (2 තිමෝති 3:2) “පසුගිය අවුරුදු 40 පුරා සාදාචාරමය ප්‍රමිති පහත බැසීමට හේතු වී තිබෙන ප්‍රධානතම දෙය වන්නේ පුරුෂයන් තම භාර්යාවන් හා දරුවන් අත්හැර දමා යෑමයි.”—Wilson Quarterly, United States.

‘ජන්ම ස්නේහය නැතිවීම.’ (2 තිමෝති 3:3) “අද ලොව පුරාම වෙසෙන පවුල් මුහුණ දෙන එක් ප්‍රධාන තර්ජනයක් නම් ගෘහස්ත සැහැසියාවයි.”—Journal of the American Medical Association, United States.

‘ආත්ම දමනය නැතිවීම.’ (2 තිමෝති 3:3) “අද ප්‍රවෘත්ති පත්‍රවල පළ වන බොහෝ ලිපිවලින් පැහැදිලි වන්නේ මිනිසුන්ට තමන්වම පාලනය කරගැනීමට හැකියාවක් නැති බවයි. ඒ වගේම හොඳ නරක තෝරා බේරාගෙන කටයුතු කිරීමට හැකියාවක් නැහැ. අන්‍යයන් කෙරෙහි විතරක් නෙවෙයි තමන් කෙරෙහිවත් කිසිම තැකීමක් කරන්නේ නැහැ. . . . අපේ සමාජයේ දැන් තිබෙනවා වගේ දිගටම දුෂ්ටකම් පැවතුණොත් කිසිම සදාචාරයක් නැති සමාජයක් බවට පත් වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ.”—Bangkok Post, Thailand.

‘දරුණු වීම.’ (2 තිමෝති 3:3) “අද පාර තොටේදී කිසිම හේතුවක් නැතුව තරහ යන අයව සහ තමන්ට ඇති වන කෝපය පාලනය කරගන්න බැරි අයව ඕනෑ තරම් දැකිය හැකියි. ශාරීරික හා මානසික හිංසාවන් පවුල්වල දැකිය හැකියි. . . . බොහෝ අපරාධ සිදු වන්නේ කිසිම සාධාරණ හේතුවක් නැතිවයි. ඕනෑම අපරාධයක් ඕනෑම මොහොතක සිදු විය හැකියි. මිනිසුන් අනිත් අය ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැති නිසා තමන් තනි වී සිටින බවක් බොහෝදෙනෙකුට හැඟෙනවා. එමෙන්ම සුරක්ෂිතබවක් දැනෙන්නේ නැහැ.”—Business Day, South Africa.

‘දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කිරීම.’ (2 තිමෝති 3:4) “සමහරුන් කිසිම තහනමක් නැතිව නිදහසේ ලිංගික සම්බන්ධතා පැවැත්වීමට ඉඩ දිය යුතුයි කියා තරයේ කියා සිටිනවා. මේ නිසා ඔවුන් බයිබලයේ සඳහන් සාරධර්ම සලකන්නේ ඔවුන්ගේ සතුරෙක් ලෙසයි.”—Boundless, වෙබ් අඩවියක පළ වන සඟරාවක්.

‘යම් ආකාරයක දේවභක්තියක් තිබෙන බව පෙන්නුවත් එහි බලයට එකඟව ජීවත් නොවීම.’ (2 තිමෝති 3:5) “නෙදර්ලන්තයේ කලින් ගණිකා සේවයේ නියැලුණු එක් කාන්තාවක් පැවසුවේ ගණිකා වෘත්තිය නීත්‍යනුකූල කිරීම ගැන වැඩියෙන්ම විරුද්ධ වන්නේ පූජක පක්ෂය කියායි. නමුත් ඇය මදක් නිහඬ වී කට කොනකින් සිනාසී පැවසුවේ ඇය ගණිකාවක්ව සිටි කාලයේදී ඇයව නිතිපතා බැහැදකින්න පැමිණි අය අතර පූජකයන් සමහරදෙනෙක්ද සිටි බවයි. ‘තමන්ගේ හොඳම ගනුදෙනුකරුවන් වන්නේ පූජ්‍ය පක්ෂයේ අයයි කියා ගණිකාවන් බොහෝදෙනෙක් කියනවා’ කියා ඇය සිනාසෙමින් පැවසුවා.”—National Catholic Reporter, United States.

අනාගතය කෙබඳු එකක් වෙයිද?

බයිබලයේ කලින් පවසා තිබුණු ආකාරයට අද ලෝකය ප්‍රශ්න ගැටලුවලින් පිරිලා. කෙසේවෙතත් ‘යේසුස්ගේ පැමිණ සිටීමද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයද’ ගැන කියන අනාවැකිය අපට යම් බලාපොරොත්තුවක් ගෙන දෙනවා. යේසුස් මෙසේ පැවසුවා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය.” (මතෙව් 24:3, 14) දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය රටවල් 230කට වඩා වැඩි ගණනක දේශනා කරනු ලබනවා. “සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවලින්ද” පැමිණ තිබෙන මිලියන හයකට වඩා වැඩි සෙනඟක් දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයෙහි උද්‍යෝගයෙන් හවුල් වෙනවා. (එළිදරව් 7:9) ඔවුන්ගේ මේ සේවය නිසා දේවරාජ්‍යය කියන්නේ කුමක්ද යන්නත් එයින් ඉටු වන දේ ගැනත් එයින් සියලුදෙනාටම ආශීර්වාද ලබාගත හැකි ආකාරය ගැනත් දැනගන්න හැකි වී තිබෙනවා. ඇත්තවශයෙන්ම ‘අන්තිම කාලයේදී දැනගැන්මද වැඩි වී තිබෙනවා.’—දානියෙල් 12:4.

ඔබත් මේ දැනුම ලබාගැනීම ඇත්තෙන්ම ප්‍රයෝජනවත්. යෙහෝවා දෙවි මෙම ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය නතර කිරීමට අණ කළ පසු සිදු වන දෙය ගැන යේසුස් මෙසේ පැවසුවා. “එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) මේ පොළොවේ සිදු වන සෑම දුෂ්ට ක්‍රියාවක්ම දෙවි සම්පූර්ණයෙන්ම ඉවත් කර දමන්නේ ඒ කාලයේදීයි. හිතෝපදේශ 2:22හි මෙසේ සඳහන් වෙනවා. “දුෂ්ටයෝ දේශයෙන් සිඳ දමනු ලබන්නෝය; ද්‍රෝහි ලෙස ක්‍රියා කරන්නෝද උදුරනු ලබන්නෝය.” සාතන් සහ ඔහුගේ භූතයන්ට සිදු වන්නේ කුමක්ද? ඔවුන්ව පාතාලයට හෙළනු ලබන අතර ඔවුන්ට තවදුරටත් මනුෂ්‍යයන්ව නොමඟ යැවීමට හැකි වන්නේ නැහැ. (එළිදරව් 20:1-3) එවිට මේ පොළොවේ ඉතිරි වන්නේ ‘ඇද නැති අය හා ගුණයෙන් සම්පූර්ණ අය’ පමණයි. ඔවුන් දේවරාජ්‍යය මගින් ගෙනෙන ආශීර්වාද භුක්ති විඳිනවා.—හිතෝපදේශ 2:21; එළිදරව් 21:3-5.

ඔබට කුමක් කළ හැකිද?

සාතන්ගේ පාලනයට හසු වී තිබෙන මේ සමාජ ක්‍රමය ඉතා ඉක්මනින් නිමවීමට නියමිත බවට කිසිම සැකයක් නැහැ. අප ජීවත් වන්නේ අන්තිම දවස්වල බවට තිබෙන සාක්ෂි ගණන් නොගන්නා අය විනාශයට හසු වෙනවා. (මතෙව් 24:37-39; 1 තෙසලෝනික 5:2) ඒ නිසයි යේසුස් මෙසේ පැවසුවේ. “අධික කෑමෙනුත් බීමෙනුත් ජීවිතයේ කරදරවලිනුත් ඔබේ සිත් කිසි කලෙක බර නොවන පිණිස ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. නැතහොත් ඔබ නොදැනුවත්වම ඒ දවස ඔබ පිටට ක්ෂණිකව, උගුලක් මෙන් පැමිණෙන්නේය. මන්ද එය මුළු පොළෝතලයේ වාසය කරන සියල්ලන් පිට පැමිණෙන්නේය. එසේනම් සිදු වන්න නියමිත මේ සියල්ලෙන් බේරෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටීමට හැකියාව ලැබෙන පිණිසද දිගටම අයැදිමින් අවදිව සිටින්න.”—ලූක් 21:34-36.

මේ සමාජ ක්‍රමය විනාශ වන විට බේරී ජීවත් වන්න හැකි වන්නේ යේසුස්ගේ අනුමැතිය දිනාගෙන තිබෙන අයට පමණයි. එසේනම් ඉතිරි වී තිබෙන මේ කාලයේදී යෙහෝවා දෙවි සහ යේසුස්ගේ අනුමැතිය දිනාගැනීමට අපේ උපරිමය කිරීම කොතරම් වැදගත්ද! යේසුස් දෙවිට කළ යාච්ඤාවකදී මෙසේ සඳහන් කළා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) ඔබට කළ හැකි ප්‍රඥාවන්තම දෙය නම් යෙහෝවා දෙවි ගැනත් ඔහු අපෙන් බලාපොරොත්තු වන දේවල් ගැනත් තව තවත් දැනුම ලබාගැනීමයි. බයිබලයේ තිබෙන දේවල් ගැන දැනුමක් ලබාගැනීමට ඔබට උපකාර කිරීමට ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ආසාවෙන් සිටිනවා. අපි ඔබට සාදරයෙන් ආරාධනා කරන්නේ ඔවුන් හමු වී ඒ විස්තර දැනගන්න කියා හෝ එසේත් නැත්නම් මෙම සඟරාවේ තිබෙන ලිපිනයට ලියන්න කියායි.

[7වන පිටුවේ කොටුව⁄පින්තූර]

අන්තිම දවස්වල ලකුණු

සැලකිය යුතු සිදුවීම්:

▪ යුද්ධ.—මතෙව් 24:6, 7.

▪ ආහාර හිඟකම්.—මතෙව් 24:7.

▪ භූමිකම්පා.—මතෙව් 24:7.

▪ වසංගත.—ලූක් 21:11.

▪ නීති විරෝධී ක්‍රියා වැඩිවීම.—මතෙව් 24:12.

▪ පොළොව විනාශ කිරීම.—එළිදරව් 11:18.

මිනිසුන්ගේ ආකල්ප:

▪ තමුන්ටම ප්‍රේම කරනවා.—2 තිමෝති 3:2.

▪ මුදලට ප්‍රේම කරනවා.—2 තිමෝති 3:2.

▪ උඩඟුයි.—2 තිමෝති 3:2.

▪ දෙමාපියන්ට අකීකරුයි.—2 තිමෝති 3:2.

▪ ස්තුතිවන්ත වන්නේ නැහැ.—2 තිමෝති 3:2.

▪ පක්ෂපාති වන්නේ නැහැ.—2 තිමෝති 3:2.

▪ ජන්ම ස්නේහයක් නැහැ.—2 තිමෝති 3:3.

▪ ආත්ම දමනය නැහැ.—2 තිමෝති 3:3.

▪ දරුණුයි.—2 තිමෝති 3:3.

▪ සැප සෙල්ලමට ප්‍රේම කරනවා.—2 තිමෝති 3:4.

▪ බොරුවට දේවභක්තියක් තිබෙන බව පෙන්වනවා.—2 තිමෝති 3:5.

සැබෑ නමස්කාරකයන්:

▪ දෙවි පිළිබඳ දැනුම බොහෝ සෙයින් ලබාගන්නවා.—දානියෙල් 12:4.

▪ ලොව පුරා රාජ්‍ය ශුභාරංචිය දේශනා කරනවා.—මතෙව් 24:14.

[හිමිකම් විස්තර]

UNITED NATIONS/Photo by F. GRIFFING