Skip to content

පටුනට යන්න

‘යේසුස් ගැන කතා කිරීම නතර කරන්න නම් අපට නොහැක’

‘යේසුස් ගැන කතා කිරීම නතර කරන්න නම් අපට නොහැක’

“අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය”

‘යේසුස් ගැන කතා කිරීම නතර කරන්න නම් අපට නොහැක’

යෙරුසලමේ පිහිටි සැන්හෙඩ්‍රිනය කියා හැඳින්වූ යුදෙව් මහාධිකරණයේ ක්‍රි.ව. 33දී නඩුවක් විභාග කිරීමට සියලුම කටයුතු සූදානම් කර තිබුණා. මෙම නඩුවේ චූදිතයන් වී සිටියේ යේසුස්ගේ ගෝලයන් 12දෙනායි. ඔවුන් කර තිබුණු වරද නම් යේසුස් ගැන අන් අයට දේශනා කිරීමයි. පේතෘස් සහ යොහන් එම අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නේ දෙවෙනි වතාවටයි. ඒත් අනිත් ගෝලයන් මෙහි පෙනී සිටින්නේ පළමුවෙනි වතාවටයි.

කලින් වතාවේදී අධිකරණය දුන් නියෝගය ගැන උත්තම පූජකයා ගෝලයන් 12දෙනාට මතක් කර දුන්නා. ඒ අවස්ථාවේදී පේතෘස්ට හා යොහන්ට යේසුස් ගැන ඉගැන්වීම නතර කරන්න කියා පැවසූ විට ඔවුන් පිළිතුරු දුන්නේ මෙසේයි. “දෙවිට සවන් දෙනවාට වඩා ඔබට සවන් දීම දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨදැයි ඔබම විනිශ්චය කරගන්න. නමුත් අප ඇසූ දුටු දේ ගැන කතා කිරීම නතර කරන්න නම් අපට නොහැක.” ඉන් අනතුරුව යේසුස්ගේ ගෝලයන් ශක්තිය ඉල්ලා දෙවිට යාච්ඤා කිරීමෙන් පසුව දිගටම ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයෙහි නියැලුණා.—ක්‍රියා 4:18-31.

මීට කලින් ඔවුන්ට දුන් නියෝගවලින් කිසිම පලක් නොවූ බව වටහාගත් උත්තම පූජකයා මේ වතාවේදී මෙසේ අණ කළා. “[යේසුස්ගේ] නාමයෙන් උගන්වන්න එපායයි අපි පැහැදිලිවම ඔබට අණ කළෙමු. ඒත් බලන්න! ඔබ ඔබේ ඉගැන්වීමෙන් යෙරුසලම පුරවා තිබේ. ඔබ මේ මිනිසාගේ ලේ කෙසේ හෝ අප පිටට පමුණුවන්න උත්සාහ කරන්නහුය.”—ක්‍රියා 5:28.

ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කිරීම

පේතෘස් සහ යේසුස්ගේ සෙසු ගෝලයන් නිර්භීතව මෙසේ පැවසුවා. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය.” (ක්‍රියා 5:29) මනුෂ්‍යයන් පනවන සමහර නීති නිසා අපිට දෙවිගේ නීති කඩ කිරීමට සිදු වෙනවා නම් එවැනි අවස්ථාවලදී අපි අනිවාර්යයෙන්ම තෝරාගත යුත්තේ දෙවිට කීකරු වීමටයි. *

ප්‍රේරිතයන් දෙවි කෙරෙහි දැක්වූ පක්ෂපාතකම ඔවුන් ස්ථිර අධිෂ්ඨානයෙන් පැවසූ ඒ වචනවලින් පැහැදිලියි. ඔවුන්ගේ මෙම ස්ථාවරය යුදෙව් මහාධිකරණයේ සාමාජිකයන් තේරුම්ගත යුතුව තිබුණා. තමන් දෙවිට කීකරු වෙනවාද කියා යුදෙව් සමාජයේ නායකයන්ගෙන් ඇසුවා නම් ඔවුන් සියල්ලෝම එක හෙළා කිව යුත්තේ ‘දෙවිට කීකරු වෙනවා’ කියායි. මේ මුළු විශ්වයේම ශ්‍රේෂ්ඨතම පාලකයා දෙවි බව ඔවුන්ද විශ්වාස කළා.

එහි සිටි යේසුස්ගේ සියලුම ගෝලයන්ව නියෝජනය කරමින් පේතෘස් කියා සිටියේ ඔවුන් කරන දේවසේවය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලදී ඔවුන් මිනිසුන්ට වඩා දෙවිට කීකරු වන බවයි. මෙලෙස පැවසීමෙන් ප්‍රේරිතයන් අකීකරුයි කියා කර තිබූ බොරු චෝදනාවට කිසිම පදනමක් නැති බව ඔහු ඔප්පු කළා. පුරාණයේදී මනුෂ්‍යයන්ට වඩා දෙවිට කීකරු විය යුතු අවස්ථා තිබුණු බව යුදෙව් ජාතිකයන්ගේ අතීතය දෙස සෝදිසි කර බැලීමේදී පෙනී යනවා. මේ බව එම අධිකරණයේ නායකයන් පවා දැන සිටියා. මේ උදාහරණ කිහිපය සලකා බලන්න. ඊජිප්තුවේ සිටි වින්නඹු ස්ත්‍රීන් දෙදෙනා හෙබ්‍රෙව් ජාතික ස්ත්‍රීන්ට දාව ඉපදුණු පිරිමි දරුවන් නොමරා ඉතුරු කළේ පාරාවෝ රජට වඩා දෙවිට කීකරු වූ නිසයි. (නික්මයාම 1:15-17) සෙනකෙරිබ් රජ හෙසකියාට යටත් වෙන්න කියා බල කර සිටියත් හෙසකියා රජ එසේ නොකළේ රජ කෙනෙකුට වඩා දෙවිට කීකරු විය යුතු නිසයි. (2 රාජාවලිය 19:14-37) යෙහෝවා දෙවි තම සෙනඟගෙන් කීකරුකම බලාපොරොත්තු වන බව හෙබ්‍රෙව් ලියවිලි ගැන මනා අවබෝධයක් තිබුණු යුදෙව් අධිකරණයේ සාමාජිකයන් දැන සිටියා.—1 සාමුවෙල් 15:22, 23.

කීකරු වීමේ ප්‍රතිඵලය

“අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය” යන කියමන යුදෙව් මහාධිකරණයේ ඉතා ගෞරවයෙන් සැලකූ ගමාලියෙල් නම් විනිසුරුවරයාගේ සිතට තදින් කාවැදුණා. ගමාලියෙල් අධිකරණයේ සිටි අනිත් අයට පිටතට යන්න අණ කර ඉන්පසු එහි සිටි සාමාජිකයන්ට තමන් දෙන උපදෙසට සවන් දෙන්න කියා පැවසුවා. අතීතයේදී සිදු වූ සිදුවීම් කිහිපයක් මතක් කර දෙමින් ඔහු එහි සාමාජිකයන්ට පැවසුවේ ප්‍රේරිතයන්ගේ වැඩවලට බාධා කිරීම අඥාන දෙයක් බවයි. ඔහු අවසානයේදී මෙසේද පැවසුවා. “මේ මිනිසුන්ගේ කාරණාවලට ඇඟිලි නොගසා ඔවුන්ට තමන්ගේ පාඩුවේ ඉන්න ඉඩහරින්න. . . . එසේ නැත්නම්, ඔබ ඇත්තෙන්ම දෙවිට විරුද්ධව සටන් කරන්නන් ලෙස පෙනෙනු ඇත.”—ක්‍රියා 5:34-39.

ගමාලියෙල් පැවසූ දෙය ගැන පැහැදුණු අධිකරණය යේසුස්ගේ ගෝලයන්ව නිදහස් කළා. ඒ ගෝලයන්ට කසයෙන් තැළුවත් ඔවුන් එයින් බියට පත් වුණේ නැහැ. ඉන්පසු ඔවුන් ක්‍රියා කළ ආකාරය ගැන බයිබල් වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “ඔවුහු දිනපතා දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස් අත් නෑර උගන්වමින්ද ක්‍රිස්තුස් වූ යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද සිටියෝය.”—ක්‍රියා 5:42.

යේසුස්ගේ ගෝලයන් යෙහෝවා දෙවිව ශ්‍රේෂ්ඨතම පාලකයා ලෙස සලකමින් ඔහුගේ අණ පනත්වලට කීකරු වූ නිසා ඔවුන් ලැබූ ආශීර්වාද බොහෝයි. නවීන දින සැබෑ ක්‍රිස්තියානීන්ද දරන්නේ එම ආකල්පයමයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුළු විශ්වයේම උසස්ම පාලකයා ලෙස සලකන්නේ යෙහෝවා දෙවිවයි. දෙවිගේ අණ පනත්වලට විරුද්ධ වන යමක් කරන්න කියා ඔවුන්ට බල කරන අවස්ථාවලදී ඔවුන් ක්‍රියා කරන්නේත් යේසුස්ගේ ගෝලයන් ක්‍රියා කළ ආකාරයටයි. ඔවුනුත් ‘කීකරු වන්නේ මිනිසුන්ට නොව දෙවිටයි.’

[පාදසටහන]

^ 7 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2006 දිනදර්ශනයේ සැප්තැම්බර්/ඔක්තෝබර් මාස බලන්න.

[9වන පිටුවේ කොටුව⁄පින්තූර]

ඔබ මේ ගැන දැන සිටියාද?

ගමාලියෙල් අධිකරණයේදී අන් අයට පිටතට යන්න කියා අණ කර ඉන්පසු එහි සාමාජිකයන්ට පමණක් පැවසූ දේ ලූක් දැනගත්තේ කෙසේද? ගමාලියෙල් පැවසූ දේ ලූක්ට දෙවි දැනගන්න සලස්වන්න ඇති. පාවුල් (කලින් ගමාලියෙල්ගේ ශිෂ්‍යයෙක්) ගමාලියෙල් පැවසූ දේවල් ලූක්ට කියන්න ඇති. එහෙමත් නැත්නම් අධිකරණයේ සිටි සාමාජිකයන් අතරින් යේසුස්ගේ ගෝලයන්ට අනුකම්පා කළ කෙනෙක් මාර්ගයෙන් ලූක් ගමාලියෙල් පැවසූ දේවල් දැනගන්න ඇති.