Skip to content

පටුනට යන්න

හිතෝපදේශ පොතෙන් විශේෂාංග

හිතෝපදේශ පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානයි

හිතෝපදේශ පොතෙන් විශේෂාංග

පුරාණ ඊශ්‍රායෙලයේ විසූ සලමොන් රජ “උපදේශ වාක්‍යයන් තුන්දාහක් [පැවසුවා].” (1 රාජාවලිය 4:32) සලමොන් පැවසූ බොහෝ උපදේශයන් අඩංගු පොතක් බයිබලයේ තිබෙනවා. මෙය හඳුන්වන්නේ හිතෝපදේශ පොත කියායි. ඔහු පැවසූ එම ප්‍රඥාවන්ත උපදේශයන් අපිට හිතෝපදේශ පොතෙන් දැනගන්න පුළුවන්. මෙම පොත ලියා නිම කරනු ලැබුවේ ක්‍රි.පූ. 717දීයි. එහි අන්තිම පරිච්ඡේද දෙක ලියා තිබෙන්නේ යාකේගේ පුත් ආගුර් හා ලෙමුවෙල් රජයි. ලෙමුවෙල් කියන්නෙත් සලමොන්ට බව සමහර අය විශ්වාස කරනවා.

දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියා තිබෙන ප්‍රඥාවන්ත කියමන් හිතෝපදේශ පොතේ වාර්තා කර තැබීමට හේතු දෙකක් තිබෙනවා. ඒ හේතු දෙක නම් “ප්‍රඥාව හා ගුරුකම්” සැපයීම සඳහායි. (හිතෝපදේශ 1:2) අපි මෙම උපදේශවලට කිට්ටු අවධානයක් දෙනවා නම් ප්‍රඥාව ලබාගන්න පුළුවන්. ප්‍රඥාව කියන්නේ යම් ප්‍රශ්නයකදී ඊට අදාළ සියලුම කරුණු පැහැදිලිව වටහාගැනීමට හා ඉන්පසු දැනුම උපකාරයෙන් එය විසඳාගැනීමට ඇති හැකියාවයි. එම උපදෙස්වලින් අපට ගුරුහරුකම් ලබාගත හැකි අතර හොඳ නරක තේරුම්ගැනීමටද ඒවා උපකාරවත් වෙනවා. හිතෝපදේශ පොතේ සඳහන් උපදේශයන්ට කිට්ටු අවධානයක් දී ඒවා අපේ ජීවිතයට අදාළ කරගන්නවා නම් එහි ප්‍රතිඵලය සන්තෝෂයයි. එමෙන්ම අපේ ජීවිත සාර්ථක කරගැනීමටද හැකි වෙනවා.—හෙබ්‍රෙව් 4:12.

‘ප්‍රඥාව ලබාගන්න, ගුරුකම තදින් අල්ලාගන්න’

(හිතෝපදේශ 1:1–9:18)

‘ප්‍රඥාව වීථියේදී උස් හඬින් හඬගසයි’ කියා සලමොන් පැවසුවා. (හිතෝපදේශ 1:20) අපි එම පැහැදිලි උස් හඬට කන් යොමු කළ යුත්තේ ඇයි? ප්‍රඥාව ලබාගැනීමෙන් අපිට ලැබෙන බොහෝ ප්‍රයෝජන ගැන හිතෝපදේශ 2වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගත හැකි ආකාරය ගැන 3වෙනි පරිච්ඡේදයේ සාකච්ඡා කර තිබෙනවා. සලමොන් රජ හිතෝපදේශ 4:7 සහ 13හි මෙසේද පවසනවා. ‘ප්‍රඥාව ප්‍රධාන දෙයය, එබැවින් ප්‍රඥාව ලබාගන්න. එසේය, ඔබ ලබාගන්නා සියල්ල ඇතුළුව, නුවණ ලබාගන්න. ගුරුකම තදින් අල්ලාගන්න.’—පැරණි අනුවාදය.

අද ලෝකය අපව අනාචාර හැසිරීම්වලට හසු කරගැනීම සඳහා ඉදිරිපත් කරන නොයෙක් දේවලින් බේරී සිටීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? මෙයට පිළිතුර හිතෝපදේශ පොතේ 5වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එහි පෙන්වා දෙන ආකාරයට අපි කාරණා තේරුම්ගැනීමේ හැකියාව දියුණු කරගන්නවා නම් හා අපව වරදට පොලඹවාගැනීමට ලෝකය ඉදිරිපත් කරන සූක්ෂ්ම ක්‍රම හඳුනාගෙන තිබෙනවා නම් ඉන් ගැලවෙන්න පුළුවන්. ඒ වගේම අනාචාරයේ යෙදීමෙන් අත්විඳින්න සිදු වන භයානක විපාක ගැන සිතා බැලීමත් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟ පරිච්ඡේද කිහිපයේ කතා කරන්නේ යෙහෝවා දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වයට හානි පමුණුවන පුරුදු හා ආකල්ප ගැනයි. අනාචාරයේ යෙදෙන කෙනෙක්ගේ හැසිරීම ගැන පැහැදිලි විස්තරයක් 7වෙනි පරිච්ඡේදයේ පෙන්වා දී තිබෙනවා. ඊළඟ පරිච්ඡේදයේ ප්‍රඥාව ලබාගැනීමේ ඇති වටිනාකම සිත්ගන්නාසුලු ආකාරයෙන් පැහැදිලි කරනවා. ප්‍රඥාව අත් කරගැනීම සඳහා අප තුළ පෙලඹීමක් ඇති කරන කදිම නිදසුන් නවවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:7; 9:10 (පැ.අ.)—යෙහෝවා දෙවි කෙරෙහි භයවීම ‘දැනගැන්මේ හා ප්‍රඥාවේ පටන්ගැන්ම’ වන්නේ කෙසේද? යෙහෝවා දෙවි මුළු විශ්වයේම මැවුම්කරු වගේම බයිබලයේ කර්තෘ වන නිසා ඔහු කෙරෙහි ගරුබියක් නොමැති කෙනෙක් තුළ දැනගැන්ම තිබිය නොහැකියි. (රෝම 1:20; 2 තිමෝති 3:16, 17) සැබෑ දැනුමේ උල්පත යෙහෝවා දෙවි නිසා දැනුම ලබාගත හැක්කේ ඔහු කෙරෙහි ගරුබියක් ඇති කරගැනීම මගින් පමණයි. දෙවි කෙරෙහි ගරුබියක් ඇති කරගැනීම ප්‍රඥාවේද පටන්ගැන්මයි. ඊට හේතුව දැනුමක් නැතුව ප්‍රඥාවක් තිබෙන්න බැරි නිසයි. තවද කෙනෙක් තුළ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් නැත්නම් ඔහු ඔහුගේ දැනුම උපයෝගි කරගෙන දෙවිට ගෞරව කරන්නේ නැහැ.

5:3—වේශ්‍යාවක් “අන් ස්ත්‍රියක්” කියා හඳුන්වා තිබෙන්නේ ඇයි? හිතෝපදේශ 2:16, 17හි පවසන්නේ ‘අන් ස්ත්‍රියක් තමාගේ දෙවිගේ ගිවිසුම මතක නැති කරන්නාවූ’ කෙනෙක් ලෙසයි. බොරු දෙවිවරුන්ට නමස්කාර කරන කෙනෙක්ව හෝ මෝසෙස්ගේ නීතිය නොසලකාහරින කෙනෙක්ව හැඳින්වූයේ අමුත්තෙක් හෝ අන් කෙනෙක් ලෙසයි. වේශ්‍යාවන්වද හැඳින්වූයේ අන් ස්ත්‍රීන් ලෙසයි.—යෙරෙමියා 2:25; 3:13.

7:1, 2—“මාගේ වචන” හා “මාගේ ආඥාවන්” යන්නට ඇතුළත් වුණේ මොනවාද? ශුද්ධ ලියවිල්ලෙන් ලබා දෙන ඉගැන්වීම්වලට අමතරව දෙමව්පියන් විසින් තම පවුලේ සාමාජිකයන්ගේ ශුභසිද්ධිය තකා පනවා තිබෙන නීති රීති මෙයට ඇතුළත් වුණා. දෙමව්පියන් පනවන මෙම නීති රීති මෙන්ම ඔවුන් බයිබලයෙන් ලබා දෙන ඉගැන්වීම්වලට දරුවන් අවනත විය යුතුයි.

8:30 (නව අනුවාදය)—“ප්‍රධාන කර්මාන්තකාරයා” කවුද? මෙහි ප්‍රඥාව පුද්ගලාරෝපණය කර තිබෙන අතර එය ප්‍රධාන කර්මාන්තකාරයා ලෙසද හඳුන්වා දෙනවා. ප්‍රඥාව පුද්ගලාරෝපණය කර තිබෙන්නේ එහි ලක්ෂණ විචිත්‍රවත් ලෙස විස්තර කිරීමට පමණක් නොවෙයි. එය යෙහෝවා දෙවිගේ කුලුඳුල් පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් ස්වර්ගයේ සිටි කාලයේදී ඔහු ගැන විස්තර කිරීමටද යොදාගෙන තිබෙනවා. යේසුස් මේ පොළොවේ උපත ලැබීමට බොහෝ කාලයකට පෙර සිටම, එනම් දෙවි “ඔහුගේ මාර්ගයේ පටන්ගැන්මේදී [යේසුස්ව] අයිති කරගත්තේය.” (හිතෝපදේශ 8:22) යේසුස් “ප්‍රධාන කර්මාන්තකාරයා” හැටියට ඔහුගේ පියා සමඟ මේ සියලු දේ මැවීමට මහත් උද්‍යෝගයෙන් හවුල් වුණා.—කොලොස්සි 1:15-17.

9:17—“සොරෙන් ගත් වතුර” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එමෙන්ම ඒවා “මිහිරිය” කියා පවසන්නේ ඇයි? බයිබලයේ විවාහ වූ දෙදෙනෙක් එකිනෙකා සමඟ ලිංගික ආස්වාදයක් ලැබීම, තමාගේම ළිඳෙන් වතුර බීමට සමාන කර තිබෙනවා. සොරෙන් ගත් වතුරෙන් අදහස් කරන්නේ විවාහයෙන් පිට හොර රහසේ කෙරෙන ලිංගික සම්බන්ධකම්වලටයි. (හිතෝපදේශ 5:15-17) හොර රහසේ ලිංගික සම්බන්ධකම් පවත්වන අය සිතන්නේ එය මිහිරි දෙයක් ලෙසයි.

අපට ගත හැකි පාඩම්:

1:10-14. පොහොසත් විය හැකි බවට පොරොන්දු දෙමින් අපව වැරදි දේවලට පොලඹවාගන්න උත්සාහ කරන පව්කාරයන්ගෙන් අප පරෙස්සම් විය යුතුයි.

3:3. ප්‍රේමණීය කරුණාව හා සැබෑකම අප කොතරම් අගය කළ යුතුද කියනවා නම් අගනා මාලයක් පැළඳගෙන සිටිද්දී එය අන් අයට පෙනෙනවා වගේ මේ ගුණාංගත් අප තුළින් දිස් විය යුතුයි. එපමණක්ද නෙවෙයි ඒවා අපේ ජීවිතයට අත්‍යවශ්‍ය යමක් ලෙස සලකා අපේ සිත් නමැති පුවරුවේ ලියා තබාගත යුතුයි.

4:18. දෙවි සම්බන්ධයෙන් අප ලබන දැනුම දවසින් දවස වැඩි වෙනවා. දෙවි සපයන ආලෝකය බඳු දැනුමෙන් ප්‍රයෝජන ලැබීමට නම් අප යටහත් පහත් විය යුතුයි.

5:14. අපි මේ ලෝකයේ තිබෙන සියලුම නරක බලපෑම්වලින් ඈත් වී සිටිය යුතුයි. අප අසන සංගීතය, අප විනෝදාස්වාදය සඳහා කරන දේවල්, අප කියවන සඟරා පොත් පත් හා අන්තර්ජාලය යනාදිය මාර්ගයෙන් මෙම බලපෑමට අසු වෙන්න පුළුවන්.

5:21. යෙහෝවා දෙවිට ඇත්තටම ප්‍රේම කරන කෙනෙක් තාවකාලික වින්දනයක් ලබාගැනීම සඳහා දෙවි සමඟ තිබෙන ඔහුගේ මිත්‍රත්වය පලුදු කරගැනීමට කිසිසේත් කැමති වන්නේ නැහැ. අප සදාචාරමය අතින් පිරිසිදුව සිටිය යුතුයි කියා අපට හැඟෙන්නේ අප කරන සෑම දෙයක්ම යෙහෝවා දෙවිට පෙනෙන බවත් අප කරන දේවලට අප ගණන් දිය යුතු බවත් අප වටහාගෙන තිබෙන නිසයි.

6:1-5. අප අන් අය වෙනුවෙන් ‘ඇපවීම’ සම්බන්ධයෙන් හා අඥාන ලෙස අන් අය වෙනුවෙන් යම් මුදලක් ගෙවීමට ගිවිසුමකට මැදහත් වීම පිළිබඳ අප පරෙස්සම් විය යුතු පැති මේ පදවල පෙන්නුම් කරනවා. හොඳින් කාරණා සලකා බැලීමෙන් පසු ඔබ ගත් තීරණය වැරදියි කියා ඔබට හිතෙනවා නම් ප්‍රමාද නොවී දිගටම “කන්නලව්” කිරීමෙන් කාරණය සමතයකට පත් කරගැනීමට හැකි සෑම දෙයක්ම කරන්න.

6:16-19. අප වැළකී සිටිය යුතු වැරදි ක්‍රියා සියල්ලක්ම පාහේ මෙහි සඳහන් වී ඇති කාරණා හතට ඇතුළත් වී තිබෙනවා. අපි ඒවා පිළිකුල් කළ යුතුයි.

6:20-24. යෞවන කාලයේ පටන්ම බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට අනුව පුහුණුවක් ලබා තිබෙන කෙනෙකුට ලිංගික දුරාචාරය නමැති උගුලට හසුවීමෙන් ආරක්ෂා විය හැකියි. දෙමව්පියන් එවැනි පුහුණුවක් දීමට වගබලා ගත යුතුයි.

7:5. අපි ප්‍රඥාව හා වටහාගැනීමේ හැකියාව අත් කරගැනීමට ආශාවක් ඇති කරගත යුතුයි.

කෙටි හිතෝපදේශවල ඇති ප්‍රයෝජන

(හිතෝපදේශ 10:1-29:27)

අප මෙතැන් පටන් සලකා බලන හිතෝපදේශ, කලින් බැලූ ඒවාට වඩා වෙනස්. මේවා කෙටි හිතෝපදේශ කියා හඳුන්වන්න පුළුවන්. සැසඳීම්, වෙනස්කම් හා සමානකම් මෙම හිතෝපදේශවල විස්තර කර තිබෙනවා. අප හැසිරිය යුතු ආකාරය ගැන, අපේ කතා බහ ගැන හා අප වර්ධනය කරගත යුතු ආකල්ප ගැන වටිනා පාඩම් ඒවායින් ඉගෙනගත හැකියි.

යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් දැක්වීමේ වැදගත්කම 10 සිට 24 දක්වා පරිච්ඡේදවල සාකච්ඡා කරනවා. හිතෝපදේශ පොතේ 25 සිට 29 දක්වා පරිච්ඡේද පිටපත් කර තිබෙන්නේ “යූදාහි හෙසකියා රජුගේ මනුෂ්‍යයන්.” (හිතෝපදේශ 25:1) මෙම පරිච්ඡේදවල යෙහෝවා දෙවි කෙරෙහි රඳා සිටීමේ වැදගත්කම වගේම වෙනත් වටිනා පාඩම්ද උගන්වනවා.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

10:6—(න.අ.) ‘දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවී’ තිබෙන්නේ කෙසේද? දුදනන් චාටු බස් පැවසීමෙන් ඔවුන්ගේ නපුරු අදහස් වසාගනියි. එසේත් නැත්නම් දුදනන් ඔවුන්ගේ නපුරුකම්වලට විඳින ඵල විපාක නිසා ඔවුන්ට නිහඬ වීමට සිදු වෙනවා.

10:10“ඇසින් ඉඟි කරන්නා” වේදනාවක් ඇති කරන්නේ කොහොමද? කිසිම ‘කමකට නැති කෙනෙක් හිතුවක්කාර කටක් ඇතුව’ කතා කරනවා විතරක් නෙවෙයි ඔහුගේ චේතනා ‘ඇස්වලින් ඉඟි’ කිරීම වැනි ඉරියව්වලින් සඟවන්න උත්සාහ කරයි. (හිතෝපදේශ 6:12, 13) මෙලෙස කරන රැවටීම්වලට හසු වන අය මහත් මානසික වේදනාවකින් පෙළෙනවා.

10:29—“යෙහෝවාගේ මාර්ගය” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? යෙහෝවා දෙවිගේ මාර්ගය කියා හඳුන්වන්නේ ඔහු මිනිසුන් සමඟ කටයුතු කරන ආකාරය මිස අප අනුගමනය කළ යුතු ජීවිත මාර්ගය ගැන නෙවෙයි. දෙවි අවංක මිනිසුන්ට ආරක්ෂාව සලසන අතර දුෂ්ටයන්ව විනාශ කර දමනවා.

11:31—ධර්මිෂ්ඨයාට වඩා දුෂ්ටයා විපාක ලැබිය යුත්තේ මන්ද? මෙහිදී විපාක යන්නෙන් අදහස් කරන්නේ එක් එක් කෙනා ලබන දඬුවම් ගැනයි. ධර්මිෂ්ඨයෙක් වැරැද්දක් කළ විට ඔහුට ලැබෙන විපාකය නම් ඔහු කරන වරදට හික්මවීමක් ලැබීමයි. දුෂ්ටයෙක් හිතාමතාම වරදක් කර තමන්ගේ වැරදි මාර්ගයෙන් හැරී යහපත් දේ කිරීමට අකමැති වන නිසා ඔහුට ඒ සඳහා දැඩි දඬුවම් ලැබෙයි.

12:23—කෙනෙක් ‘දැනගැන්ම සඟවන්නේ’ කොහොමද? මෙයින් අදහස් කරන්නේ කෙනෙක් තමන් සතු දැනුම කොහෙත්ම පෙනෙන්න සලස්වන්නේ නැහැයි කියා නෙවෙයි. නමුත් මෙයින් අඟවන්නේ දැනගැන්ම අන් අයට ප්‍රදර්ශනයක් ලෙස නොපෙන්වීමයි.

18:19—“තරහ වූ සහෝදරයෙකු දිනාගැනීම බලවත් නුවරක් ජයගන්නවාට වඩා අසීරුය” කියා පවසන්නේ ඇයි? සතුරු හමුදාවක් වටලා සිටින බලවත් නුවරක් පහසුවෙන් ඒ හමුදාවට යටත් නොවන්නාක් මෙන් තරහ වූ සහෝදරයෙක් අනිත් කෙනාට ලෙහෙසියෙන් සමාව දෙන්නේ නැහැ. මොවුන් දෙදෙනා අතර ඇති වන සිත් රිදවීම විශාල බාධකයට සමාන කළ හැකියි. එය හරියට ‘බලකොටුවක දමා තිබෙන අගුල්වලට සමාන’ කළ හැකියි.

අපට උගත හැකි පාඩම්:

10:11-14. අප අන් අයව ගොඩනංවන ආකාරයෙන් කතා කිරීමට නම් අපේ මනස හරි දැනුමෙන් පිරී තිබිය යුතු අතර අපේ හදවත ප්‍රේමයෙන් පෙලඹී ක්‍රියා කළ යුතුයි. අප කතා කළ යුත්තේ හා නොකළ යුත්තේ කුමක්ද කියා ප්‍රඥාව අපට මඟ පෙන්වන්න අවශ්‍යයි.

10:19; 12:18; 13:3; 15:28; 17:28. අපි හොඳින් සිතා බලා වචන අඩුවෙන් කතා කරමු.

11:1; 16:11; 20:10, 23. අපි ව්‍යාපාරික කටයුතුවලදී අවංක වෙනවාට යෙහෝවා දෙවි කැමතියි.

11:4. සැප සම්පත්වලට හා වස්තුවට තිබෙන ආශාව තෘප්තිමත් කරගැනීම වෙනුවෙන් අප බයිබලය අධ්‍යයනය කිරීම, රැස්වීම්, යාච්ඤාව හා දේවසේවය සඳහා යොදවන කාලය කැප කිරීම අඥාන දෙයක්.

13:4. සභාවේ වගකීම් දැරීමට හෝ පාරාදීස පොළොවේ ජීවත් වීමට ‘ආශාවීම’ පමණක් මදි. ඒවා අත් කරගැනීමට අප කඩිසරව ක්‍රියා කළ යුතු අතර දැඩි වෑයමක්ද දැරිය යුතුයි.

13:24; 29:15, 21. ප්‍රේමණීය දෙමාපියෙක් තම දරුවාව ඕනෑවට වඩා සුරතල් කරන්නේවත් ඔහුගේ වැරදි නොසලකාහරින්නේවත් නැහැ. ඒ වෙනුවට දරුවාගේ සිතේ ඇති වන වැරදි දේවල් මුල් බසින්න කලින් ඒවා සිතින් උදුරා දැමීමට මව හෝ පියා ක්‍රියා කරනවා.

14:10. අපේ හැඟීම් සෑමවිටම පළ කරන්න අමාරුයි. ඒ වගේම ඒවා සෑම අවස්ථාවකදීම අන් අය තේරුම්ගන්නේද නැහැ. අන් අයට අපව සැනසිය හැක්කේ යම් ප්‍රමාණයකට පමණයි. ඒ නිසා අපි මුහුණපාන සමහර දුෂ්කරතා දරාගැනීමට සම්පූර්ණයෙන්ම යෙහෝවා දෙවි කෙරෙහි රඳා සිටීම අවශ්‍ය වෙනවා.

15:7. ගොවියෙක් සියලුම බීජ එක තැන වපුරන්නේ නැහැ වගේ අප දන්න සෑම දෙයක්ම කෙනෙකුට එකවිටම පැවසීම සුදුසු නැහැ. ඥානවන්තයා දැනගැන්ම අවශ්‍ය අවස්ථාවලදී ටික ටික පතුරුවයි.

15:15; 18:14. දුක් පීඩා කරදර මැද පවා අප සුබවාදීව සිතනවා නම් අපට ප්‍රීතිය පවත්වාගැනීමට හැකි වෙනවා.

17:24. ‘අඥානයෙක්’ වැදගත් දේවල් කෙරෙහි පමණක් සිත යොමු කරනවා වෙනුවට ඔහුගේ ඇස් හා මනස සෑම දෙයකටම යොමු කරයි. අප ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න නම් අප හොඳින් කාරණා තේරුම්ගන්න අවශ්‍යයි.

23:6-8. වාසි ප්‍රයෝජන තකා ආගන්තුක සත්කාරය පෙන්වන අයගෙන් ප්‍රවේසම් විය යුතුයි.

27:21. කෙනෙකුට ලැබෙන ප්‍රශංසාවෙන් ඔහු කෙබඳු කෙනෙක්ද කියා දැනගන්න පුළුවන්. එවැනි ප්‍රශංසා ලැබෙන විට කෙනෙක් කොතරම් යෙහෝවා දෙවිට ණයගැතිද කියා තේරුම්ගෙන දිගටම දෙවිට සේවය කිරීමට එය දිරිගැන්වීමක් කියා සිතනවා. ඉන් ඔහුගේ යටහත් පහත්කම මනාව පැහැදිලි වෙනවා. ප්‍රශංසා නිසා කෙනෙක් අන් අයට වඩා උතුම් කියා සිතනවා නම් ඔහුගේ උඩඟුකම ඉන් පිළිබිඹු වෙනවා.

27:23-27. ගම්බද ප්‍රදේශයක ජීවිත රටාව ගැන කතා කරන මේ ඡේදවලින් පෙන්නුම් කරන්නේ වෙහෙස මහන්සි වී වැඩ කර සරල ජීවිතයක් ගත කිරීමෙන් ලැබෙන තෘප්තිය ගැනයි. ඒ වගේම යෙහෝවා දෙවි කෙරෙහි සම්පූර්ණයෙන් රඳා සිටීමේ අවශ්‍යතාවද එම වදන්වලින් තේරුම්ගත හැකියි. *

28:5. අපි දේවවචනය අධ්‍යයනය කිරීම හා යාච්ඤා කිරීම මාර්ගයෙන් ‘යෙහෝවා දෙවිව සොයනවා’ නම් දෙවි කැමති ආකාරයට ඔහුට සේවය කිරීම සඳහා ‘සියල්ල තේරුම්ගන්න’ අපිට හැකි වෙනවා.

බරපතළ පණිවිඩ’

(හිතෝපදේශ 30:131:31)

හිතෝපදේශ පොත අවසන් වන්නේ ‘බරපතළ පණිවිඩ’ දෙකකින්. (හිතෝපදේශ 30:1; 31:1) හොඳින් සිතා බැලීමට පෙලඹීමක් ඇති කරන අයුරින් සැසඳීම් කරමින් ආගුර් වැදගත් පණිවිඩයක් ඉදිරිපත් කරනවා. අධික කෑදරකම හා වැරදි ආශාව නිසා කන්‍යාවකව රවටාගන්න වෑයම් කරන කෙනෙකුව හඳුනාගැනීම කොතරම් දුෂ්කරද කියා ඔහුගේ පණිවිඩයේ ගැබ් වී තිබෙනවා. * ඒ වගේම තමන්වම උසස් කරගැනීම හා කෝපයෙන් කතා කිරීම වැනි නරක ගුණාංග ගැනත් එහි අනතුරු අඟවා තිබෙනවා.

ලෙමුවෙල්ට ඔහුගේ මවගෙන් ලැබුණු බරපතළ පණිවිඩයද මෙහි සඳහන් වෙනවා. අධික ලෙස මත්පැන් ගැනීම ගැනත් ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කිරීම සම්බන්ධයෙන් දෙන ප්‍රඥාවන්ත උපදෙස් මෙහි අඩංගුයි. යහපත් භාර්යාවක් ගැන කියන මේ වචනවලින් එම කොටස අවසන් වෙනවා. “ඇගේ අත්වල පලයෙන් ඇයට දෙන්න; ඇගේම ක්‍රියාවල් දොරටුවලදී ඇයට ප්‍රශංසා කෙරෙත්වා.”—හිතෝපදේශ 31:31.

ප්‍රඥාව ලබාගන්න. උපදෙස් පිළිගන්න. දෙවි කෙරෙහි ගරුබිය වර්ධනය කරගන්න. යෙහෝවා දෙවි මත සම්පූර්ණයෙන් රඳා සිටින්න. මෙම වටිනා පාඩම් අපි හිතෝපදේශ පොතෙන් සලකා බැලුවා. අපිට හැකි උපරිමයෙන් මෙම උපදෙස් අදාළ කරගනිමින් “යෙහෝවාට භය වන්නාවූ” කෙනෙක් ලෙස ප්‍රීතිය භුක්ති විඳීමට හැකි සෑම වෑයමක්ම දරමු.—ගීතාවලිය 112:1.

[පාදසටහන්වල]

^ 13 ඡේ. වර්ෂ 1991 අගෝස්තු 1 මුරටැඹ සඟරාවේ 31වන පිටුව බලන්න.—සිංහලෙන් නැත.

^ 15 ඡේ. වර්ෂ 1992 ජූලි 1 මුරටැඹ සඟරාවේ 31වන පිටුව බලන්න.—සිංහලෙන් නැත.

[16වන පිටුවේ පින්තූර]

සියලුම දැනගැන්මේ උල්පත යෙහෝවා දෙවියි

[18වන පිටුවේ පින්තූරය]

‘දැනගැන්ම පතුරුවනවා’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?