Skip to content

පටුනට යන්න

ඔබේ දිව පාලනය කරගැනීමෙන් ප්‍රේමය හා ගෞරවය පෙන්වන්න

ඔබේ දිව පාලනය කරගැනීමෙන් ප්‍රේමය හා ගෞරවය පෙන්වන්න

ඔබේ දිව පාලනය කරගැනීමෙන් ප්‍රේමය හා ගෞරවය පෙන්වන්න

“ඔබ එකිනෙකාත් තමාට මෙන් තම භාර්යාවටද ප්‍රේම කළ යුතුය. එමෙන්ම, භාර්යාව තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇතිව සිටිය යුතුය.”—එෆීස 5:33.

1, 2. සියලුම විවාහකයන් සලකා බැලිය යුතු වැදගත් ප්‍රශ්නය කුමක්ද? ඔවුන් මෙය සලකා බැලිය යුත්තේ ඇයි?

“පරෙස්සමින් පරිහරණය කරන්න” කියා ලේබලයක් අලවා තිබෙන, තෑග්ගක් අඩංගු පෙට්ටියක් ඔබට ලැබුණා කියා සිතන්න. කිසිම හානියක් නොවන විදිහට එය පරිහරණය කරන්න හැකි සෑම උත්සාහයක්ම ඔබ දරනවාට කිසිම සැකයක් නැහැ. තෑග්ගකට සමාන කළ හැකි විවාහය ගැන කුමක් කිව හැකිද?

2 පුරාණ ඊශ්‍රායෙලයේ විසූ වැන්දඹුවක් වූ නයෝමි තරුණ වියේ පසු වූ ඔර්පාට හා රූත්ට මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවිගෙන් ඔබට ආශීර්වාද ලැබෙන්න කියාත් ඔබ දෙන්නටම ස්වාමිපුරුෂයෙක් එක්ක සන්තෝෂයෙන් ඉන්න ලැබෙන්න කියාත් මම ප්‍රාර්ථනා කරනවා.” (රූත් 1:3-9, නව ලොව පරිවර්තනය, NW) හොඳ භාර්යාවක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ගෙයද වස්තුවද පියවරුන්ගෙන් ලත් උරුමයකි. එහෙත් බුද්ධිමත් භාර්යාවක යෙහෝවාගෙන්ය.” (හිතෝපදේශ 19:14) ඔබ විවාහ වී සිටිනවා නම් ඔබේ භාර්යාව හෝ ඔබේ ස්වාමිපුරුෂයාව සැලකිය යුත්තේ දෙවිගෙන් ලැබී තිබෙන ආශීර්වාදයක් හෙවත් තෑග්ගක් ලෙසයි. දෙවිගෙන් ලැබී තිබෙන මෙම තෑග්ග ඔබ ඇත්තටම අගය කරන බව පෙන්වනවාද?

3. ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් සිතට ගත යුතු උපදේශය කුමක්ද?

3 පළමුවන සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් මෙසේ පැවසුවා. “ඔබ එකිනෙකාත් තමාට මෙන් තම භාර්යාවටද ප්‍රේම කළ යුතුය. එමෙන්ම, භාර්යාව තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇතිව සිටිය යුතුය.” (එෆීස 5:33) ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් මෙම උපදේශය සිතට ගෙන තිබෙන බව ඔවුන් එකිනෙකාට කතා කරන ආකාරයෙන් පෙන්වන්නේ කෙසේද කියා සලකා බලමු.

“නොහික්මුණු හානිකර දෙයක්” ගැන කල්පනාකාරී වන්න

4. කෙනෙක් පවසන වචන මගින් කුමන බලපෑමක් ඇති කළ හැකිද?

4 දිව “නොහික්මුණු හානිකර දෙයක්” බවත් එය “මාරාන්තික විෂවලින් පිරී” තිබෙන බවත් බයිබල් ලේඛක යාකොබ් පවසනවා. (යාකොබ් 3:8) නොහික්මුණු දිවක් මගින් මහත් හානි ඇති කරන බව යාකොබ් දැනගෙන සිටියා. හිතන්නේ බලන්නේ නැතුව පවසන වචන ‘කඩුවකින් අනිනවා’ හා සමානයි කියා බයිබලයේ සඳහන් හිතෝපදේශය යාකොබ් දැන සිටියාට සැකයක් නැහැ. “එහෙත් ඥානවන්තයාගේ දිවෙන් සුවය වේ” කියා එම හිතෝපදේශයේම පවසනවා. (හිතෝපදේශ 12:18) කෙනෙක් පවසන වචනවලින් ලොකු බලපෑමක් ඇති කළ හැකියි. එයින් කෙනෙකුට සුවයක් ගෙන දෙන්නත් පුළුවන්. එසේත් නැත්නම් වේදනාවක් ඇති කරන්නත් පුළුවන්. ඔබේ මුවින් පිට වන වචන ඔබේ පුරුෂයා හෝ භාර්යාව කෙරෙහි ඇති කරන්නේ කුමන බලපෑමක්ද? ඔබ මේ ගැන ඔබේ පුරුෂයා හෝ භාර්යාවගෙන් ඇසුවොත් ඔහු හෝ ඇය දෙන පිළිතුර කුමක් වෙයිද?

5, 6. තම දිව පාලනය කරගැනීම සමහර අයට අමාරු දෙයක් වී තිබෙන්නේ ඇයි?

5 සිත් රිදවන වදන් පැවසීම නිසා ඔබේ විවාහ දිවිය තුළ තිබෙන සතුට කෙමෙන් කෙමෙන් නැති වෙමින් යනවාද? එසේ වුවත් එම තත්වය යහපත් අතට හරවාගැනීමට ඔබට පුළුවන්. කෙසේවෙතත් මේ සඳහා මහත් වෑයමක් දැරිය යුතුයි. මීට එක් හේතුවක් නම් අපට උරුම වී තිබෙන පාපය සමඟ සටන් කිරීමට සිදු වී තිබීමයි. අප උරුම කරගෙන තිබෙන පාපය නිසා අප සිතන විදිහ හා අන් අය සමඟ කතා කරන විදිහ කෙරෙහි හානිකර බලපෑමක් ඇති කරනවා. යාකොබ් මෙසේ සඳහන් කළා. “යමෙකු වචනයකින්වත් වැරදි කරන්නේ නැත්නම්, ඔහු තමාගේ මුළු ශරීරයම දමනය කළ හැකි පරිපූර්ණ මිනිසෙකි.”—යාකොබ් 3:2.

6 දිව වැරදි ලෙස පාවිච්චි කිරීමට, උරුම වී තිබෙන පාපයට අමතරව පවුල් පසුබිමද බලපානවා. සමහර අය ඇති දැඩි වී තිබෙන්නේ “කිසි කාරණයකදී එකඟ නොවන, . . . ආත්ම දමනය නැති, දරුණු” ලෙස ක්‍රියා කළ දෙමාපියන් යටතේයි. (2 තිමෝති 3:1-3) මෙවැනි පරිසරයක හැදී වැඩුණු දරුවන් වැඩිහිටියන් වූ පසුව ඔවුන් තුළත් එවැනි ගතිලක්ෂණ දැකිය හැකියි. කෙසේවෙතත් උරුම වී තිබෙන පාපය හා ඇති දැඩි වී තිබෙන පරිසරය අපේ දිව වැරදි ආකාරයට පාවිච්චි කිරීමට හේතුවක් නොවෙයි. එහෙත් මෙම හේතු දැන සිටීම, ඇතමුන්ට තමන්ගේ දිවෙන් හානිකර වදන් පැවසීමෙන් වැළකී සිටීම අමාරු දෙයක් වන්නේ ඇයි කියා තේරුම්ගැනීමට අපට උපකාරවත් වෙනවා.

‘සියලු ආකාර අගුණ කීම් පසෙකලන්න’

7. ‘සියලු ආකාර අගුණ කීම් පසෙකලන්න’ කියා පේතෘස් පැවසූ විට ඔහු ඉන් අදහස් කළේ කුමක්ද?

7 හේතුව කුමක් වුණත් අනිත් තැනැත්තා තුළ වේදනාවක් ඇති වන ආකාරයට කතා කිරීමෙන් පෙනී යන්නේ ඔහු හෝ ඇය කෙරෙහි එතරම් ප්‍රේමයක් හා ගෞරවයක් නැති බවයි. මේ නිසා ‘සියලු ආකාර අගුණ කීම් පසෙකලන්න’ කියා පේතෘස් පැවසුවේ හොඳ හේතු ඇතිවයි. (1 පේතෘස් 2:1) “අගුණ කීම්” ලෙස පරිවර්තනය කර තිබෙන මුල් ග්‍රීක වචනයෙන් අදහස් වන්නේ නින්දාසහගත ලෙස වචන පැවසීමයි. එමෙන්ම අන් අයගේ සිත් පසාරු කරගෙන යන ආකාරයෙන් වචන පැවසීමත් ඉන් අදහස් වෙනවා. නොහික්මුණු දිවකින් ඇති කරන හානිය එම වදන්වලින් මනාව පැහැදිලි වෙනවා.

8, 9. අවමන්සහගත වචන පාවිච්චි කිරීමෙන් කුමක් සිදු විය හැකිද? ස්වාමිපුරුෂයා හෝ භාර්යාව එවන් වචන පාවිච්චි කිරීමෙන් වැළකී සිටිය යුත්තේ ඇයි?

8 නින්දාසහගත ලෙස වචන පාවිච්චි කිරීමෙන් එතරම් හානියක් වෙන්නේ නැහැ කියා යමෙකු සිතිය හැකි වුණත් ස්වාමිපුරුෂයෙක් හෝ භාර්යාවක් එවැනි වචන පාවිච්චි කරන විට සිදු විය හැක්කේ කුමක්ද කියා සිතා බලන්න. තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව මෝඩයි, කම්මැළියි හෝ ආත්මාර්ථකාමීයි කියා පැවසීමෙන් ඔහු හෝ ඇය සැමවිටම එවැනි කෙනෙක් කියා හංවඩු ගැසිය හැකියි. මෙය ඉතා වේදනාකාරී දෙයක්. ඒ වගේම ස්වාමිපුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් වෙන සුළු සුළු වැරදි දෙගුණ තෙගුණ කර පැවසීම ගැන කුමක් කිව හැකිද? “ඔයා හැමදාම පරක්කුයි.” එසේත් නැත්නම් “ඔයා කවදාවත් මම කියන දෙයක් අහන්නේ නැහැ.” මෙවැනි දේවල් පවසන විට අනිත් තැනැත්තා තමන් නිවැරදි බව ඔප්පු කරන්න උත්සාහ දරන අතර මෙය බහින් බස් වීමකට තුඩු දෙන්න පුළුවන්.—යාකොබ් 3:5.

9 ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් නිතර නිතර අවමන්සහගත වචන පාවිච්චි කරනවා නම් එය පවුල් ජීවිතයට තර්ජනයක් විය හැකියි. එමෙන්ම එහි ප්‍රතිඵල ඉතා භයානක විය හැකියි. හිතෝපදේශ 25:24හි මෙසේ සඳහන් වෙනවා. “කලහකාරී බිරිඳක සමඟ ගෙයි විසීමට වඩා එහි අටුවේ මුල්ලක විසීම හොඳය.” (නව අනුවාදය) කලහකාරී සැමියෙකු සමඟ විසීමත් ඒ හා සමාන විය හැකියි. එක් කෙනෙක් තවත් කෙනෙකුව පහත් කරමින් කතා කරනවා නම් කාලයක් යන විට අනිත් කෙනා තමන්ට ආදරය කරන්නේ නැති බවත් තමන්ද අනිත් කෙනාට ආදරය කිරීම පලක් නැති බවත් හැඟෙන්න පුළුවන්. මේ නිසා ඔවුන් දෙදෙනා අතර තිබෙන සබඳතාව ටිකෙන් ටික බිඳ වැටිය හැකියි. මෙයින් පෙනී යන්නේ අපේ දිව පාලනය කරගැනීම කොතරම් වැදගත්ද කියායි. අපි මෙය කරන්නේ කෙසේද කියා දැන් බලමු.

‘දිව මැඩපවත්වාගන්න’

10. දිව පාලනය කරගැනීම වැදගත් වන්නේ ඇයි?

10 යාකොබ් මෙසේ පවසනවා. “දිව මෙල්ල කිරීමට මනුෂ්‍ය වර්ගයා අතරින් කිසිවෙකුට නොහැක.” (යාකොබ් 3:8) අශ්වයෙකුව කටකලියාවකින් පාලනය කරන්නාක් මෙන් අපේ දිවත් අපි පාලනය කරගත යුතුයි. යාකොබ් තවදුරටත් මෙසේද පැවසුවා. “යමෙක් තම නමස්කාර පිළිවෙතට ලැදියයි සිතාගෙන සිටියත් තමාගේ දිව මැඩපවත්වා නොගෙන තමාගේම සිත රවටාගන්නේ නම්, ඒ මිනිසාගේ නමස්කාර පිළිවෙත නිෂ්ඵලය.” (යාකොබ් 1:26; 3:2, 3) ඔබේ දිව පාවිච්චි කරන ආකාරය ගැන ඔබ කොතරම් සැලකිලිමත් විය යුතුද කියා එම වදන්වලින් පෙනී යනවා. ඔබේ දිව ඔබ වැරදි ලෙස පාවිච්චි කළොත් එය ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමඟ තිබෙන සබඳතාවට පමණක් නොව යෙහෝවා දෙවි සමඟ තිබෙන ඔබේ මිත්‍රත්වයටද බලපානවා.—1 පේතෘස් 3:7.

11. සුළු කාරණයක් ලොකු විවාදයක් බවට පත්වීම වළක්වාගත හැක්කේ කෙසේද?

11 ඔබ ඔබේ ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට කතා කරන ආකාරය ගැන සිතා බැලීම නැණවත් දෙයක්. යම් ගැටලුවක් ඇති වී තත්වය උත්සන්න වන බවක් පෙනෙන්න තිබෙන විට එය මැඩපවත්වාගැනීමට වෑයම් කරන්න. ඊසාක් හා ඔහුගේ භාර්යාව වූ රෙබෙකා මුහුණ දුන් එක් තත්වයක් ගැන සලකා බලමු. මේ ගැන උත්පත්ති 27:46 සිට 28:4 දක්වා සඳහන් වාර්තාවේ අපිට මෙසේ කියවීමට තිබෙනවා. “රෙබෙකාද: හෙත්ගේ දූවරුන් නිසා මාගේ ජීවිතය මට වෙහෙසක්ව තිබේ. යාකොබ් මේ දේශයෙහි දූවරුන් වූ හෙත්ගේ දූවරුන් වන මොවුන්ගෙන් භාර්යාවක පාවාගන්නේ නම් මාගේ ජීවිතයෙන් මට කුමන ප්‍රයෝජනයක්දැයි ඊසාක්ට [කිහිප වතාවක්ම] කීවාය.” මෙහිදී ඊසාක් පරුෂ ලෙස කතා කළ බවක් දකින්න නැහැ. ඔහු තම පුත් යාකොබ්ට දේවබියැති මෙන්ම රෙබෙකාට දුකක් ඇති නොකරන භාර්යාවක් සොයාගැනීම සඳහා ඔහුව පිටත් කර හැරියා. ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් අතර එකඟ නොවීමක් ඇති වී තිබෙනවා කියා සිතන්න. මෙවැනි අවස්ථාවකදී “ඔබ” කියා පවසනවා වෙනුවට “මම” කියා පවසමින් කතා කරනවා නම් සුළු කාරණයක් ලොකු විවාදයක් බවට පත්වීම වළක්වාගත හැකියි. “ඔයාට කවදාවත් මාත් එක්ක ඉන්න වේලාවක් නැහැනේ” කියනවා වෙනුවට “මට හිතෙනවා අපි මීට වඩා වැඩිපුර කාලයක් එකට ගත කරනවා නම් හොඳයි කියලා” පැවසීම කොතරම් හොඳද! යම් ගැටලුවක් මතු වූ විට පුද්ගලයාගේ අඩු පාඩු ගැන නොව ගැටලුව ගැන සිතන්න. කවුද හරි කවුද වැරදි කියා ඔප්පු කරන්න උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට “සමාදානයට මඟ පාදන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද ලුහුබඳිමු” කියා රෝම 14:19හි සඳහන් වෙනවා.

“වෛරසහගත හැඟීම්, කෝපය, උදහස” පහ කරන්න

12. දිව පාලනය කරගැනීම සඳහා අපි දාවිත් මෙන් යාච්ඤා කළ යුත්තේ කුමක් ගැනද? එසේ කළ යුත්තේ ඇයි?

12 දිව පාලනය කරගැනීමේදී අපි පවසන දේවල් ගැන පමණක් නොව තවත් දෙයක් ගැනත් සැලකිලිමත් විය යුතුයි. එනම් අපේ මුවින් පිට වන්නේ සිතේ තිබෙන දේවල් බව අප මතක තබාගත යුතුයි. මේ ගැන යේසුස් මෙසේ පැවසුවා. “යහපත් මිනිසෙක් තමාගේ සිතෙහි වූ යහපත් වස්තු ගබඩාවෙන් යහපත් දේ පිටතට ගෙන එයි. නමුත් දුෂ්ට මිනිසෙක් තමාගේ දුෂ්ට වස්තු ගබඩාවෙන් දුෂ්ට දේ පිටතට ගෙන එයි. මන්ද, මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි.” (ලූක් 6:45) ඔබේ දිව පාලනය කරගැනීම සඳහා ඔබටත් දාවිත් මෙන් මෙසේ යාච්ඤා කළ හැකියි. “දෙවි, මා තුළ පවිත්‍ර සිතක් මැවුව මැනව; මා තුළ ස්ථිර ආත්මයක් නැවත තැබුව මැනව.”—ගීතාවලිය 51:10.

13. සිත් රිදවන වදන් පැවසීමට වෛරසහගත හැඟීම්, කෝපය හා උදහස හේතු වන්නේ කෙසේද?

13 සිත් රිදවන වදන් පැවසීමෙන් පමණක් නොව එම වදන් පැවසීමට හේතු වන හැඟීම් වළක්වාගන්න කියා පාවුල් එෆීසයේ විසූ ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා. “සියලු ආකාර වෛරසහගත හැඟීම්, කෝපය, උදහස, කෑගැසීම්, නිග්‍රහ කිරීම් මෙන්ම සියලු අයහපතද ඔබෙන් ඉවත් කර දමන්න.” (එෆීස 4:31) “කෑගැසීම්, නිග්‍රහ කිරීම්” ගැන සඳහන් කරන්න කලින් පාවුල් සඳහන් කළේ “වෛරසහගත හැඟීම්, කෝපය, උදහස” ගැනයි. යමෙක් කෑ කෝ ගැසීමට හේතු වන්නේ ඔහු හෝ ඇය තුළ තිබෙන කෝපයයි. මේ නිසා මේ ප්‍රශ්න ගැන සිතා බැලීම වැදගත්. ‘මම වෛරය හා අමනාපය සිතේ තබාගෙන ඉන්නවාද? මම ඉක්මනින් “උදහස්” වන කෙනෙක්ද?’ (හිතෝපදේශ 29:22) ඔබට මෙවැනි ගැටලුවක් තිබෙනවා නම් එයින් ජයගැනීම සඳහා උපකාර ඉල්ලා දෙවිට යාච්ඤා කරන්න. ඒ වගේම උදහස් නොවී තමාව පාලනය කරගැනීම සඳහා දෙවිගේ උපකාරය පතන්න. ගීතාවලිය 4:4හි මෙසේ සඳහන් වෙනවා. “[සිත කැලඹුණත්] පව් නොකරන්න; යහනේදී සිත සමඟ කතා කර නිශ්චල වන්න.” ඔබ තුළ ඇති වන කෝපය පාලනය කරගැනීමට අමාරුයි කියා ඔබට හැඟෙන විට හිතෝපදේශ 17:14හි සඳහන් මේ උපදේශය පිළිපදින්න. ‘ඩබරය පටන්ගන්ට පළමුවෙන් [එතැනින් ඉවත් වන්න].’ තත්වය බරපතළ වීමට කලින් එතැනින් ටික වේලාවකට ඉවත් වී සිටීම නැණවත් දෙයක්.

14. අමනාපය සිතේ තබාගෙන සිටීම විවාහ ජීවිතයට කෙසේ බලපෑ හැකිද?

14 ‘වෛරසහගත හැඟීමක්’ නිසා කෝපය ඇති වෙනවා නම් එය පාලනය කරගැනීම එතරම් ලෙහෙසි නැහැ. “වෛරසහගත හැඟීම්” යන යෙදුම සඳහා පාවුල් භාවිත කළ ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ “සමාදාන වීම ප්‍රතික්ෂේප කරමින් අමනාපයේ හැඟීමක් සිතේ තබාගෙන සිටීමයි.” ‘යමෙකු තමන්ට කරන වැරදි සිතේ තබාගෙන වෛරයෙන් පසුවීමත්’ එයින් අදහස් කරනවා. ඇතැම් අවස්ථාවලදී ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් දිගටම අමනාපකම් සිතේ තබාගෙන සිටිනවා නම් එය ඔවුන්ගේ පවුල් ජීවිතයේ සමඟියට ලොකු බාධාවක්. යම් ගැටලුවක් ඇති වූ විට එය සම්පූර්ණයෙන්ම විසඳාගන්නේ නැත්නම් දෙදෙනා අතර තිබෙන සබඳතාව පලුදු වී යා හැකියි. කෙනෙක් අතීතයේ කළ වැරදි දිගටම සිතේ තබාගෙන සිටීමෙන් පලක් නැහැ. වැරැද්දකට සමාව දුන්නා නම් එය සම්පූර්ණයෙන්ම අමතක කර දමන්න. ප්‍රේමය තිබෙනවා නම් කෙනෙක් “අමනාපයක් සිතේ තබාගන්නේ නැත.”—1 කොරින්ති 13:4, 5.

15. පරුෂ වචන පැවසීමට පුරුදු වී සිටින අයට තමන්ගේ කතා විලාසය වෙනස් කරගැනීමට උපකාරවත් වන්නේ කුමක්ද?

15 ඔබ ඇති දැඩි වූ නිවසේ පරුෂ වචන පාවිච්චි කිරීම සාමාන්‍ය දෙයක් වී තිබුණා නම් ඔබත් එවැනි වචන පාවිච්චි කිරීමට පුරුදු වී සිටිනවා විය හැකියි. එහෙත් ඔබට මේ සම්බන්ධයෙන් වෙනස්කම් කරගත හැකියි. ඔබ මේ වන විටත් ඔබේ ජීවිතයේ බොහෝ වෙනස්කම් කරගෙන සිටිනවා විය හැකියි. එහෙත් ඔබේ කතා බහේදී යම් වෙනස්කම් කළ යුතුයි කියා ඔබට හැඟෙනවා නම් ඔබ ඒ සඳහා පියවර ගෙන තිබෙනවාද? යම් පරුෂ වචන ඔබේ මුවින් පිටවීමට කලින් ඔබ එය පාලනය කරගන්නවාද? එෆීස 4:29හි සඳහන් මේ දෙය සිතට ගන්න. “කිසි දූෂිත වචනයක් ඔබේ මුවින් පිටවීමට ඉඩ [නොදෙන්න].” මෙසේ ක්‍රියා කිරීම සඳහා ඔබ “පරණ පෞද්ගලිකත්වය එහි ක්‍රියාත් සමඟ ඉවත් කර, අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න. එය මැවූ තැනැත්තාගේ ස්වරූපයට අනුව, නිවැරදි දැනුම මාර්ගයෙන් දිගටම එය අලුත් වන්නේය.”—කොලොස්සි 3:9, 10.

සිතේ ඇති දේ හෙළි කිරීම’ අත්‍යවශ්‍යයි

16. ස්වාමිපුරුෂයා හා භාර්යාව කතා නොකර සිටීම පවුල් ජීවිතයට බලපාන්නේ කෙසේද?

16 යම් ප්‍රශ්නයක් ඇති වූ විට ස්වාමිපුරුෂයා හෝ භාර්යාව කතා නොකර සිටීම එම ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. බොහෝ අවස්ථාවලදී කතා නොකර සිටින්නේ අනිත් තැනැත්තාට පාඩමක් ඉගැන්වීමේ අදහසින්. නමුත් ඉන් විවාහ ජීවිතයට හානියක් සිදු විය හැකියි. මන්ද ඉන් කලකිරීමක් ඇති විය හැකි නිසයි. එමෙන්ම කතා නොකර සිටීමෙන් වන්නේ ගැටලුව තවත් උග්‍රවීමයි. එයින් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේද නැහැ. එක් භාර්යාවක් මෙසේ පැවසුවා. “අපි නැවතත් කතා කරන්න පටන්ගත්තත් අපි කවදාවත් ගැටලුව ගැන කතා කළේ නැහැ.”

17. විවාහ ජීවිතයේ ගැටලු ඇති වන විට කළ යුත්තේ කුමක්ද?

17 විවාහ ජීවිතය තුළ ගැටලු ප්‍රශ්න ඇති වන විට ඒවා විසඳාගැනීම ලෙහෙසි නැහැ. හිතෝපදේශ 15:22හි මෙසේ සඳහන් වෙනවා. “තමා සිතන දේ හෙළි නොකරන විට සැලසුම් කඩාකප්පල් වෙයි. නමුත් උපදේශකයන් බොහෝදෙනෙක් සිටින විට ඒවා සාර්ථක වෙයි.” [NW] ඔබ ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව ළඟට ගොස් පැනනැඟී තිබෙන ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න. ඔබේ ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට විවෘත මනසකින් සවන් දෙන්න. ඔබට මෙය කිරීම අමාරුයි කියා සිතෙනවා නම් සභාවේ වැඩිමහල්ලන්ගේ උපකාරය ලබාගන්න. ඔවුන්ට ශුද්ධ ලියවිලි ගැන දැනුමක් මෙන්ම එහි සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගන්න ආකාරය ගැන හොඳ අවබෝධයක්ද තිබෙනවා. එවැනි වැඩිමහල්ලන්ව ‘සුළඟින් සැඟවෙන ඉඩමකට සහ කුණාටුවෙන් ආවරණයකට’ සමාන කර තිබෙනවා.—යෙසායා 32:2.

ඔබට පුළුවන් දිව පාලනය කරගන්න

18. රෝම 7:18-23හි විස්තර කර තිබෙන සටන කුමක්ද?

18 අපේ දිව පාලනය කරගැනීමට ලොකු සටනක් කළ යුතුයි. එලෙසම අප ක්‍රියා කරන ආකාරය පාලනය කිරීමද ලෙහෙසි නැහැ. තමන් මුහුණ දුන් අභියෝගය ගැන පාවුල් විස්තර කළේ මෙසේයි. “මා තුළ, එනම් මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව මම දනිමි. මන්දයත්, හොඳ දේ කරන්න කැමැත්ත මා තුළ ඇතත්, එය කිරීමට හැකියාව මා තුළ නැත. මන්ද, මා කැමති යහපත නොකර මා අකමැති නපුර කරමි. ඉතින්, මා කරන්නේ මා අකමැති දේ නම්, දැන් එය කරන්නේ මා නොව මා තුළ වාසය කරන පාපයය.” ‘අපේ අවයවයන් තුළ තිබෙන පාපයේ නීතිය’ නිසා අපේ දිව ඇතුළු සෙසු අවයව වැරදි ලෙස පාවිච්චි කරන්න අප තුළ නැඹුරුවාවක් තිබෙනවා. (රෝම 7:18-23) කෙසේවෙතත් දෙවිගේ උපකාරය ඇතුව මේ සටන ජයගන්න පුළුවන්.

19, 20. දිව පාලනය කරගැනීමේ සටනින් ජයගන්න ස්වාමිපුරුෂයාට හා භාර්යාවට යේසුස්ගේ ආදර්ශය උපකාරවත් වන්නේ කෙසේද?

19 එකිනෙකාට ප්‍රේමය හා ගෞරවය දක්වන පවුලක් තුළ සිත් රිදවන පරුෂ වචන අසන්න ලැබෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් යේසුස් තැබූ ආදර්ශය ගැන සිතා බලන්න. යේසුස් ඔහුගේ ගෝලයන්ට නින්දාවක් වෙන විදිහට කවදාවත් කතා කළේ නැහැ. ඔහු මිනිසෙකු හැටියට ගත කළ අවසන් රාත්‍රියේදී ඔහුගේ ගෝලයන් තමන් අතරේ උතුම්ම තැනැත්තා කවුද කියා වාද කරගනිද්දී පවා ඔහු ඔවුන්ට බැණ වැදුණේ නැහැ. (ලූක් 22:24-27) බයිබලයේ ස්වාමිපුරුෂයන්ට මෙසේ උපදෙස් දී තිබෙනවා. “ස්වාමිපුරුෂයෙනි, ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන්නාක් මෙන්, ඔබත් ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න.”—එෆීස 5:25.

20 භාර්යාව ක්‍රියා කළ යුත්තේ කෙසේද? ඇය “තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇතිව සිටිය යුතුය.” (එෆීස 5:33) තම ස්වාමිපුරුෂයාට ගරු කරන භාර්යාවක් පරුෂ වචන පාවිච්චි කරමින් පුරුෂයාට කෑගසන්නේ නැහැ. පාවුල් මෙසේ පැවසුවා. “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත්, ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්, ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත් ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.” (1 කොරින්ති 11:3) යේසුස් ඔහුගේ මූලිකයා වන දෙවිට යටත් වන්නාක් මෙන් භාර්යාවන්ද තමන්ගේ මූලිකයා වන ස්වාමිපුරුෂයාට යටත් විය යුතුයි. (කොලොස්සි 3:18) පාපය උරුම කරගෙන තිබෙන නිසා කිසිවෙකුට යේසුස්ගේ ආදර්ශය සීයට සීයක්ම අනුකරණය කළ නොහැකියි. එහෙත් “ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය [කරන්න]” වෑයම් කරනවා නම් දිව පාලනය කරගැනීමේ සටනින් ජයගන්න ස්වාමිපුරුෂයාට හා භාර්යාවට පුළුවන්.—1 පේතෘස් 2:21.

ඔබ ඉගෙනගත්තේ මොනවාද?

• නොහික්මුණු ලෙස වචන පිට කරන දිවක් විවාහ ජීවිතයට තර්ජනයක් විය හැක්කේ කෙසේද?

• දිව පාලනය කරගැනීම අමාරු දෙයක් වන්නේ ඇයි?

• අප කතා කරන ආකාරය පාලනය කරගත හැක්කේ කෙසේද?

• විවාහ ජීවිතයේ ගැටලු ඇති වන විට ඔබ කළ යුත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[24වන පිටුවේ පින්තූරය]

වැඩිමහල්ලන් බයිබලය යොදාගනිමින් උපකාර පිරිනමයි