Skip to content

පටුනට යන්න

ධෛර්යවත් වීමට උපකාර වන ඇදහිල්ල සහ දේවගරුබිය

ධෛර්යවත් වීමට උපකාර වන ඇදහිල්ල සහ දේවගරුබිය

ධෛර්යවත් වීමට උපකාර වන ඇදහිල්ල සහ දේවගරුබිය

“ශක්තිමත් වෙන්න. ඉතා ධෛර්යවත් වෙන්න. . . . ඔබේ දෙවි වූ යෙහෝවා ඔබ සමඟ වන්නේයයි කීය.”—යෝෂුවා 1:9.

1, 2. (අ) කානානිවරුන්ට එරෙහිව ඊශ්‍රායෙල්වරුන්ගේ ජයග්‍රහණය ගැන මිනිසුන්ට පෙනෙන්න ඇත්තේ කොහොමද? (ආ) යෝෂුවාට ලැබුණේ මොන වගේ සහතිකයක්ද?

ක්‍රිස්තු පූර්ව 1473 වන විට ඊශ්‍රායෙල් ජනයා සිටියේ පොරොන්දු දේශය අද්දරයි. ඔවුන් මුහුණ දෙන්න යන්නාවූ දුෂ්කර තත්වයන් ගැන මෝසෙස් ජනයාට මතක් කරමින් මෙසේ පැවසුවා. “ඔබට වඩා බලවත් වූ මහත් වූ ජාතීන්ද අහස දක්වා පවුරු ඇති මහත් නුවරවල්ද ඔබ අඳුනන අනාක්වරුන්ගේ පුත්‍රයන් වන මහත් වූ උස් වූ සෙනඟක්ද හිමි කරගන්ට අද යොර්දානෙන් එතෙර යන්ට සිටින්නහුය. අනාක්ගේ පුත්‍රයන් ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටදැයි ඔවුන් ගැන කියනවා ඔබ ඇසුවහුය.” (ද්විතීය කතාව 9:1, 2) ඒ හැඩි දැඩි සෙනඟ යුද්ධයට නම්දරාපු අයයි. ඒ වගේම සමහර කානානිවරුන්ට සන්නද්ධ හමුදාවක් සිටියා. ඔවුන්ට අශ්වයෝද රෝදවලට මුවහත් යකඩ තලයක් සවි කර තිබූ රථද තිබුණා.—විනිශ්චයකාරයෝ 4:13.

2 අනෙක් අතට ඊශ්‍රායෙල්වරුන් ගැන කුමක් කියන්න පුළුවන්ද? ඔවුන් කලින් වහලුන්ව සිටි අතර ඉන්පසු අවුරුදු 40ක්ම ගත කළේ පාළු දේශයකයි. එමනිසා ඊශ්‍රායෙල්වරුන් ඔවුන්ගෙන් ජයගනියි කියා නම් කිසිම මිනිසෙකුට සිතන්න බැහැ. ඒ වුණත් මෝසෙස්ට ඇදහිල්ල තිබුණ නිසා යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වීම දෙන බව ඔහු ‘දැක්කා.’ (හෙබ්‍රෙව් 11:27) ‘ඔබට පෙරටුවෙන් යන තැනැත්තා නම් ඔබේ දෙවි වූ යෙහෝවායයි’ කියා මෝසෙස් ජනයාට කිව්වා. “දෙවි ඔවුන් විනාශ කොට ඔබ ඉදිරියෙහි ඔවුන් පහත් කරන්නේය.” (ද්විතීය කතාව 9:3; ගීතාවලිය 33:16, 17) මෝසෙස්ගේ මරණින් පසු යෝෂුවාව ශක්තිමත් කරමින් යෙහෝවා දෙවි කිව්වේ මෙසේයි. “ඊශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට ඔබද මේ මුළු සෙනඟද දැන් නැඟිට මේ යොර්දානින් එතෙරට යන්න. ඔබේ ජීවිතයේ සියලු දවස්වල ඔබට විරුද්ධව සිටින්ට කිසිවෙකුටවත් නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටි ලෙස ඔබ සමඟත් සිටින්නෙමි.”—යෝෂුවා 1:2, 5.

3. යෝෂුවාගේ ඇදහිල්ලට සහ ධෛර්යයට උපකාර වුණේ කුමක්ද?

3 යෙහෝවා දෙවිගේ උපකාරය සහ මඟ පෙන්වීම ලබන්න නම්, යෝෂුවා දෙවිගේ නීතිය කියවා මෙනෙහි කර ඒ අනුව ජීවත් විය යුතු වුණා. යෙහෝවා දෙවි කිව්වේ “එවිට ඔබේ මාර්ගය සඵල වන්නේය. ඔබට ශුභසිද්ධ වන්නේය. ඔබට මම අණ නොකළෙම්ද? ශක්තිමත් වෙන්න. ඉතා ධෛර්යවත් වෙන්න. භය නොවන්න. තැති නොගන්න. මක්නිසාද ඔබ යන හැම තැන්හිම ඔබේ දෙවි වූ යෙහෝවා ඔබ සමඟ වන්නේය” කියායි. (යෝෂුවා 1:8, 9) යෝෂුවා දෙවිට කීකරු වූ නිසා ඔහු ධෛර්යවත්, ශක්තිමත් සහ සපල වූ පුද්ගලයෙක් වුණා. නමුත් ඔහුගේ කාලයේ සිටි බහුතරයක් එසේ කළේ නැහැ. ප්‍රතිඵලය? ඔවුන්ගේ ජීවිත අසාර්ථක වී අවසානයේදී පාළු දේශයේදීම මිය යෑමයි.

ඇදහිල්ල නැති බියගුලු සෙනඟක්

4, 5. (අ) යෝෂුවා සහ කාලෙබ්ට තිබූ ආකල්පය සමඟ සසඳද්දී ඔත්තුකාරයන් දසදෙනාට තිබුණේ මොන වගේ ආකල්පයක්ද? (ආ) ඇදහිල්ල නැති බියගුලු සෙනඟ ගැන යෙහෝවා දෙවිට හැඟුණේ කොහොමද?

4 අවුරුදු 40කට පෙර ඊශ්‍රායෙල්වරුන් පළමුවතාවට කානාන් දේශයට පැමුණුණු විට මොසෙස් ඔත්තු බලන්න 12දෙනෙකුව ඒ දේශයට යැව්වා. ඉන් දහදෙනෙක්ම නැවත ආවේ හොඳටම භය වෙලයි. “ඒ සෙනඟ අපට වඩා බලවත්” කියා ඔවුන් කිව්වා. “එහි යෝධයන්ගෙන් පැවත එන අනාක්ගේ පුත්‍රයන් වූ යෝධයන් දුටිමුව. අපේ ඇස් හමුවෙහි පෙනුණු හැටියට අපි තණගිරවුන් මෙන් වෙමු.” එහි සිටි සියල්ලෝම යෝධයෝද? නැහැ. අනාක්වරුන් විතරයි යෝධයන් වගේ සිටියේ. අනාක්වරු කියන්නේ ජලගැල්මට පෙර සිටි නෙෆ්ලිම්වරුන්ගෙන් පැවත එන සෙනඟක්ද? කොහෙත්ම නැහැ! කොහොමනමුත් ඔවුන් කෙන්ද කන්ද කර කියූ මේ දෙයින් මුළු සෙනඟ අතරේම ඒ බිය වේගයෙන් පැතිර ගියා. සමහර අය නැවත ඊජිප්තුවේ වහල්භාවයට පවා යන්න කැමති වුණා.—ගණන් කතාව 13:31–14:4.

5 තත්වය එසේ වුණත් මෙම ඔත්තුකරුවන් අතර සිටි දෙදෙනෙක් වන යෝෂුවා සහ කාලෙබ්ට අවශ්‍ය වුණේ ඉක්මනින්ම පොරොන්දු දේශයට ඇතුල් වෙන්නයි. කානානිවරුන් ගැන ඔවුන් කිව්වේ “ඒ දේශයෙහි සෙනඟට භය නොවන්න. මක්නිසාද ඔවුහු අපට ගොදුරු වෙති. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් ඉවත්ව ගියේය. යෙහෝවා අප සමඟ සිටින්නේය. ඔවුන්ට භය නොවන්න” කියායි. (ගණන් කතාව 14:9) ඔවුන් කියමින් සිටියේ කිසිම තේරුමක් නැති දෙයක්ද? ඇත්තෙන්ම නැහැ! අනිත් අය වගේම මොවුන් දෙදෙනාත් දැක තිබුණා යෙහෝවා දෙවි ඊජිප්තු වැසියන්ව සහ එහි දෙවිවරුන්ව වසංගත දහයක් ගෙන එමින් ලජ්ජාවට පත් කළ හැටි. ඒත් සමඟම පාරාවෝ සහ ඔහුගේ සේනාව රතු මුහුදේ ගිල්වා දැමූ හැටිත් ඔවුන් දැක්කා. (ගීතාවලිය 136:15) ඔත්තුකාරයන් දසදෙනාට සහ ඔවුන්ගේ කීමට ඇහුම්කන් දුන් අයගේ භය පදනම් විරහිත එකක්. ඒ ගැන යෙහෝවා දෙවි වේදනාවෙන් යුතුව ඇසුවේ මෙහෙමයි. “ඔවුන් අතරෙහි මා විසින් දැක්වූ සියලු ලකුණු දැකලාත් කොපමණ කල් අදහා නොගෙන සිටින්නෝද?”—ගණන් කතාව 14:11.

6. ඇදහිල්ල සහ ධෛර්යය එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද? වර්තමානයේ එය දැකිය හැක්කේ කොහොමද?

6 මෙම ජනයාගේ බියගුලු ආකල්පයට මූලිකම හේතුව ඔවුන්ගේ ඇදහිල්ලේ අඩුකම බව යෙහෝවා දෙවි පෙන්වා දෙනවා. ඇදහිල්ල සහ ධෛර්යය එකිනෙක සමඟ කිට්ටුවෙන් බැඳී තිබෙනවා. ඒ නිසයි ක්‍රිස්තියානීන් සහ ඇදහිල්ල වෙනුවෙන් ඔවුන් කරන සටන ගැන යොහන් මෙහෙම ලිව්වේ. “ලෝකයෙන් ජයගෙන ඇත්තේ අපේ ඇදහිල්ලය.” (1 යොහන් 5:4) වර්තමානයේදීත් යෝෂුවා සහ කාලෙබ්ට සමාන ආකල්පයක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින බාල මහලු සියලුදෙනාටත් තිබෙනවා. ඒ නිසා මිලියන හයකටත් වඩා වැඩි ගණනක් වන ඔවුන් රාජ්‍ය ශුභ ආරංචිය ගැන දේශනා කරනවා. මෙම නිර්භීත සාක්ෂිකාර සේනාවගේ ගමන නතර කිරීමට කිසිම සතුරෙකුට හැකි වී නැහැ.—රෝම 8:31.

“පසුබට” වෙන්න එපා

7. “පසුබට” වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

7 අද දින ධෛර්යවත්ව යෙහෝවා දෙවිට සේවය කරන ඔහුගේ සේවකයන්ට තිබෙන්නේ පාවුල්ට තිබුණු ආකල්පයමයි. “අපි, පසුබට වී විනාශ වන අයගේ ගණයට නොව, ජීවිතය රැකෙන ලෙස ඇදහිල්ල ඇති අයගේ ගණයට අයත් වන්නෙමු.” (හෙබ්‍රෙව් 10:39) මෙහි “පසුබට” වීම කියා පාවුල් සඳහන් කරද්දී ඉන් අදහස් කරන්නේ අපි ඉඳහිට අද්දකින භය නොවෙයි. ඊට හේතුව නම් දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් පවා එවැනි භයක් අද්දැක තිබෙන නිසයි. (1 සාමුවෙල් 21:12; 1 රාජාවලිය 19:1-4) නමුත් ඉන් ඇත්තටම අදහස් කරන්නේ තම “ස්ථාවරය අත්හැරීම” කියා එක් ශබ්දකෝෂයක විස්තර කර තිබෙනවා. මෙම වචනය තවත් ආකාරයකින් සමාන කර තිබෙන්නේ “යාත්‍රා කරන රුවල් නැවක රුවල් ඇකිළීමෙන් එහි ගමනේ වේගය අඩු කරනවා වගේ” කියායි. ශක්තිමත් ඇදහිල්ලක් තිබෙන අය යම් පීඩා, අසනීප හෝ වෙනත් ගැටලුවලට මුහුණ දෙන විට තමන්ගේ ‘ගමනේ වේගය අඩු කරන්න’ හිතන්නෙවත් නැහැ. ඒ වෙනුවට යෙහෝවා දෙවි තමන් ගැන සැලකිලිමත් වන බවත් තමන්ගේ සීමාවන් ගැන දන්න බවත් ඔවුන් වටහාගෙන සිටින නිසා දිගටම ඔහුට සේවය කරනවා. (ගීතාවලිය 55:22; 103:14) ඔබටත් එවැනි ඇදහිල්ලක් තිබෙනවාද?

8, 9. (අ) යෙහෝවා දෙවි මුල් ක්‍රිස්තියානීන්ගේ ඇදහිල්ල ශක්තිමත් කළේ කොහොමද? (ආ) අපගේම ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට අපිට කුමක් කළ හැකිද?

8 යේසුස්ගේ කිට්ටුම ගෝලයන්ටත් එක අවස්ථාවකදී ඇදහිල්ලේ අඩුකමක් දැනුණ නිසා යේසුස්ට මෙහෙම කිව්වා. “අපේ ඇදහිල්ල තවත් වැඩි කරන්න.” (ලූක් 17:5) මෙම අවංක ඉල්ලීමට පිළිතුරු වශයෙන් ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී ඔවුන්ට දෙවිගේ බලය ලබාදුන්නා. එයින් දේවවචනය සහ දෙවිගේ අරමුණ පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ඔවුන්ට ලැබුණා. (යොහන් 14:26; ක්‍රියා 2:1-4) මේ තුළින් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් වූ නිසා පීඩා මැද වුණත් “අහසින් යට මුළු මැවිල්ලෙහි” ශුභාරංචිය දේශනා කිරීම ආරම්භ කළා.—කොලොස්සි 1:23; ක්‍රියා 1:8; 28:22.

9 අපගේ ඇදහිල්ලත් ශක්තිමත් කරගෙන අපගේ දේවසේවය නොකඩවා කරගෙන යෑමට නම් ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කර, ඒවා ගැන මෙනෙහි කර, දෙවිගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කළ යුතුයි. යෝෂුවා, කාලෙබ් සහ මුල් ක්‍රිස්තියානි ගෝලයන් වගේ බයිබලයේ සත්‍යයන් අපගේ හදවතේ හොඳින් පැළපදියම් කරගැනීම අවශ්‍යයයි. අපගේ ඇදහිල්ල වෙනුවෙන් කරන සටන දිගටම කරගෙන යෑමට සහ ඉන් ජය ලැබීමට අවශ්‍ය ධෛර්යය ලැබෙන්නේ එසේ කිරීමෙන් පමණයි.—රෝම 10:17.

ඇදහිල්ලට ඇතුළත් වන දේ

10. ඇදහිල්ලට ඇතුළත් වෙන්නේ මොනවාද?

10 පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් කළාක් මෙන් ධෛර්යවත් වීමට සහ විඳදරාගැනීමට අවශ්‍ය ඇදහිල්ල පැමිණෙන්නේ නිකම්ම දෙවි කෙරෙහි විශ්වාස කිරීමෙන් නෙවෙයි. (යාකොබ් 2:19) ඊට යෙහෝවා දෙවිව හොඳින් හඳුනාගැනීමත් ඒ තුළින් දෙවිව සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමත් ඇතුළත් වෙනවා. (ගීතාවලිය 78:5-8; හිතෝපදේශ 3:5, 6) ඒ සඳහා අපි කළ යුතු දේ වන්නේ දෙවිගේ සියලුම නීති සහ ප්‍රතිපත්තිවලට කීකරු වීම අපගේම යහපතට බව මුළු හදවතින්ම විශ්වාස කිරීමයි. (යෙසායා 48:17, 18) ඇදහිල්ල ඇතිව සිටීමට නම් යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කරන බවට සහතික වීමත් “ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බව විශ්වාස” කිරීමත් ඇතුළත් වෙනවා.—හෙබ්‍රෙව් 11:1, 6; යෙසායා 55:11.

11. යෝෂුවාගේ සහ කාලෙබ්ගේ ඇදහිල්ලට සහ ධෛර්යයට ආශීර්වාද ලැබුණේ කෙසේද?

11 එවැනි ඇදහිල්ලක් දිගින් දිගටම වැඩි වෙනවා. අපි ඉගෙනගන්න සත්‍යය පිළිපදින විට එහි ප්‍රයෝජන නමැති “රස” අද්දකිනවා. අපගේ යාච්ඤාවලට පිළිතුරු ලැබෙන බව අපිට ‘දැනෙනවා’ වගේම ජීවිතයේ වෙනත් පැතිවලදීද යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම අපි ලබනවා. (ගීතාවලිය 34:8; 1 යොහන් 5:14, 15) යෝෂුවා සහ කාලෙබ් යෙහෝවා දෙවිගේ යහපත්කම රසබලා දැනගනිද්දී ඔවුන්ගේ ඇදහිල්ල තවත් ශක්තිමත් වුණා. (යෝෂුවා 23:14) දෙවි පොරොන්දු කර තිබූ විදියට අවුරුදු 40ක් පුරා ඔවුන් පාළු දේශයේ ගමන් කරද්දී ඔවුන්ව ආරක්ෂා කළා. (ගණන් කතාව 14:27-30; 32:11, 12) අවුරුදු හයක් පුරා සටන් කර කානානිවරුන්ව යටත් කරගැනීමට ඔවුන්ට විශාල කාර්යයක් තිබුණා. අවසානයේදී ඔවුන්ට තමන්ගේම කියා උරුමයක් පොරොන්දු දේශය තුළ ලැබුණු අතර එහි බොහෝ කාලයක් සතුටින් ජීවත් වුණා. යෙහෝවා දෙවි තමන්ට ඇදහිලිවන්තව සහ ධෛර්යවත්ව සේවය කරන අයට ලබා දෙන ආශීර්වාද මොන තරම්ද!—යෝෂුවා 14:6, 9-14; 19:49, 50; 24:29.

12. යෙහෝවා දෙවි තම ‘වචනය උතුම්’ කරන්නේ කොහොමද?

12 යෝෂුවාට සහ කාලෙබ්ට දෙවි දැක්වූ ප්‍රේමණීය කරුණාව අපට මතක් කරන්නේ ගීතිකාකරුගේ මෙම වචනයි. “ඔබගේ මුළු නාමයට වඩා ඔබගේ වචනය උතුම් කළේය.” (ගීතාවලිය 138:2) යෙහෝවා දෙවි තමන්ගේ නාමයෙන් යමක් පොරොන්දු කළ විට එය “උතුම්” කරන හෙවත් ඉටු කරන ආකාරය මවිතකරයි. (එෆීස 3:20) යෙහෝවා දෙවි කෙරෙහි ‘ප්‍රීති වෙන’ අය කවදාවත් බලාපොරොත්තු සුන් කරගන්නේ නැහැ කියලා ඉන් පැහැදිලියි.—ගීතාවලිය 37:3, 4.

“දෙවිව සතුටු” කළ මිනිසෙක්

13, 14. ඒනොක්ට ඇදහිල්ල සහ ධෛර්යය අවශ්‍ය වුණේ ඇයි?

13 බොහෝ කාලයකට පෙර සිටි ඒනොක් නම් දෙවිගේ සේවකයාගෙන් ඇදහිල්ල සහ ධෛර්යය ගැන බොහෝ දේ ඉගෙනගත හැකියි. අනාවැකි කීම ආරම්භ කරන්නත් පෙර ඒනොක් දැනසිටියා තම ඇදහිල්ල සහ ධෛර්යය පරීක්ෂාවට ලක්වන බව. ඒ කොහොමද? යෙහෝවා දෙවි ඒදන් උයනේදී කියූ ලෙස දෙවිට සේවය කරන අය අතර සහ සාතන්ට සේවය කරන අය අතර වෛරයක් හෝ සතුරුකමක් පවතින බව ඔහු දැනසිටියා. (උත්පත්ති 3:15) කායින්, ආබෙල්ව මැරූ අවස්ථාවේදී මේ සතුරුකමේ මුල් සිද්ධිය සිදු වු බවත් ඒනොක් දැනසිටියා. ඔවුන්ගේ පියා වූ ආදම්, ඒනොක් ඉපදුණු පසුවත් අවුරුදු 310කට ආසන්න කාලයක් ජීවත් වුණා.—උත්පත්ති 5:3-18.

14 ඒ වුණත් ඒනොක් ධෛර්යවන්තව “දෙවි සමඟ ගමන් කළ” අතර යෙහෝවා දෙවිට විරුද්ධව ජනයා කියූ “තැතිගන්වනසුලු සියලු දේවල්” ඔහු හෙළා දැක්කා. (උත්පත්ති 5:22, නව ලොව පරිවර්තනය; යූද් 14, 15) සැබෑ නමස්කාරය වෙනුවෙන් ඒනොක් ගත් ඒ නිර්භීත ස්ථාවරය නිසා ඔහුගේ ජීවිතය අනතුරකට ලක්වෙන තරමටම සතුරෝ ඇති වුණා. මේ අවස්ථාවේදී යෙහෝවා දෙවි තම අනාගතවක්තෘට මරණය අද්නොදකින්න සැලැස්සුවා. තමා “දෙවිව සතුටු කළ බව” ඒනොක්ට එළිදරව් කිරීමෙන් පසු යෙහෝවා දෙවි ඔහුව ‘ගෙන ගියා.’ එනම් ඔහුගේ ජීවිතය වේදනාවකින් තොර අවසානයකට ගෙන ආවා.—හෙබ්‍රෙව් 11:5, 13; උත්පත්ති 5:24.

15. අද සිටින දෙවිගේ සේවකයන්ට ඒනොක් සපයන්නේ කොයි වගේ ආදර්ශයක්ද?

15 ඒනොක් ගැන සඳහන් කළායින් පසුව ඇදහිල්ලේ ඇති වටිනාකම සම්බන්ධයෙන් පාවුල් මෙහෙම කියනවා. “ඇදහිල්ල නැතිව කිසිසේත් [දෙවිව] සතුටු කළ නොහැක.” (හෙබ්‍රෙව් 11:6) දෙවි සමඟ ගමන් කිරීමට ධෛර්යය ලැබුණෙත් යෙහෝවා දෙවිගේ විනිශ්චයන් එදා සිටි අභක්තික ජනයාට ප්‍රකාශ කළෙත් ඒනොක්ට තිබුණ ඇදහිල්ල නිසයි. ඒනොක් අපිට කදිම ආදර්ශයක්. සැබෑ නමස්කාරයට විරුද්ධ සියලු ආකාර දුෂ්ට දේවලින් පිරුණු ලොවක අපිට තිබෙන්නෙත් ඔහුට හා සමාන කාර්යයක්.—ගීතාවලිය 92:7; මතෙව් 24:14; එළිදරව් 12:17.

දේවගරුබිය නිසා ලැබෙන ධෛර්යය

16, 17. ඔබදියා කියන්නේ කවුද? ඔහු මුහුණ දුන්නේ මොන වගේ තත්වයකටද?

16 ධෛර්යවත් වීම සඳහා ඇදහිල්ලට අමතරව දායක වන තවත් ගුණාංගයක් තිබෙනවා. ඒ දේවගරුබියයි. එය විදහාපෙන්වූ කැපීපෙනෙන ආදර්ශයක් ගැන බලමු. ඔහු ජීවත් වුණේ ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍ය පාලනය කළ ආහබ් රජගේ කාලයේදීයි. අනාගතවක්තෘ එලියාද සේවය කළේ ඒ සමයේදීමයි. ආහබ් රජගේ කාලයේදී බාල් නමස්කාරය එම රාජ්‍යය පුරා අස්සක් මුල්ලක් නෑර පැතිර තිබුණා. ඒ විතරක්ද බාල්ට නමස්කාර කළ අනාගතවක්තෘවරු 450ක් සහ අෂේරිය අනාගතවක්තෲන් 400ක්ද ආහබ්ගේ භාර්යාව වූ ‘යෙසෙබෙල්ගේ මේසයෙන් කෑවා.’—1 රාජාවලිය 16:30-33; 18:19.

17 යෙහෝවා දෙවිට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ යෙසෙබෙල් ඒ දේශයෙන් සැබෑ නමස්කාරය අතුගා දැමීමට උත්සාහ කළා. දෙවිගේ අනාගතවක්තෘවරුන් සමහරෙක්ව ඝාතනය කළ ඇය, එලියාවත් මරන්න වෑයම් කළා. නමුත් දෙවි මඟ පෙන්වූ නිසා ඔහු පලා ගොස් යොර්දාන් නදියෙන් එගොඩවී තම දිවි රැකගත්තා. (1 රාජාවලිය 17:1-3; 18:13) එදා උතුරු රාජ්‍යය තුළ සැබෑ දෙවිට නමස්කාර කිරීම කොතරම් අමාරුද කියා ඔබට සිතාගත හැකිද? ඊටත් වඩා ඔබ රාජ මාලිගයේ සේවය කළ අයෙක් නම් තත්වය කුමක්ද? දේවගරුබිය දැක්වූ ආහබ්ගේ ගෙට ප්‍රධානියා වූ ඔබදියා * හිටියෙත් එවැනි තත්වයකයි.—1 රාජාවලිය 18:3.

18. ඔබදියා යෙහෝවා දෙවිගේ සේවකයෙක් ලෙස කැපීපෙනෙන්නේ කොහොමද?

18 යෙහෝවා දෙවිට නමස්කාර කරන විට ඔබදියා ඉතා සුපරීක්ෂාකාරීව හා නුවණ ඇතිව කටයුතු කළ බව නම් සැකයක් නැහැ. ඒ වුණත් ඔහු සැබෑ නමස්කාරයට පටහැනි දේවල් කළේ නැහැ. පළමුවෙනි රාජාවලිය 18:3 කියන්නේ “ඔබදියා යෙහෝවාට බොහෝ සේ භයව සිටියේය.” ඔබදියාගේ දේවගරුබිය ඉතා විශිෂ්ටයි! ඒ නිසා ඔහුට කොතරම් මහත් ධෛර්යක් තිබුණාද කියා පෙනෙන්නේ යෙසෙබෙල් යෙහෝවා දෙවිගේ අනාගතවක්තෲන්ව ඝාතනය කිරීමෙන් පසුවත් ඔහු කළ දෙයිනුයි.

19. ඔබදියා කළ ධෛර්යවත් ක්‍රියාව කුමක්ද?

19 ඒ ගැන අපිට කියවීමට තිබෙන්නේ මෙහෙමයි. “යෙසෙබෙල් යෙහෝවාගේ අනාගතවක්තෲන් සිඳ දැමූ කල්හි ඔබදියා වනාහි අනාගතවක්තෲන් සියදෙනෙකු රැගෙන පනස බැගින් ගුහාවල සඟවා රොටි සහ වතුරෙන් ඔවුන් පෝෂණය කළේය.” (1 රාජාවලිය 18:4) සියදෙනෙකුට හොර රහසේ ආහාර සැපයීම මොන තරම් අනතුරුදායක කාර්යයක්ද කියා ඔබට හිතාගන්න පුළුවන්ද! ඔහුට බේරෙන්න තිබුණේ ආහාබ් සහ යෙසෙබෙල්ගෙන් පමණක් නෙවෙයි. නිතර නිතර රාජ මාලිගාවට ආ ගිය බොරු අනාගතවක්තෲන් 850දෙනාගේ අවධානයට හසු නොවී සිටීමටද ඔහුට සිදු වුණා. ඒ විතරකුත් නෙවෙයි, දේශයේ සිටි බොරු නමස්කාරකයන්ගෙනුත් රාජ මාලිගාවට පැමිණි ලොකු කුඩා සියලුදෙනාගෙනුත් ඔබදියාට පරෙස්සම් වෙන්න තිබුණා. ඔවුන් ඔබදියාව හසු කරදී රජගේ සහ බිසවගේ හොඳ නම දිනාගන්න බලාගෙන ඉන්න ඇති. නමුත් ඒ සියලුම බාධක මැද ඔබදියා ධෛර්යවත්ව දෙවිගේ අනාගතවක්තෲන්ගේ අවශ්‍යතාවන් සැපයුවා. දේවගරුබිය තිබෙනවා නම් ලැබෙන ධෛර්යය මොන තරම්ද!

20. ඔබදියාගේ දේවගරුබිය ඔහුට උපකාර කළේ කොහොමද? ඔහුගේ ආදර්ශයෙන් ඔබට ඉගෙනගන්න පුළුවන් කුමක්ද?

20 ඔබදියාගේ දේවගරුබිය නිසා පෙන්වූ ධෛර්යවත්කමට ප්‍රතිඵලයක් වශයෙන් යෙහෝවා දෙවි ඔහුගේ සතුරන්ගෙන් ඔහුව ආරක්ෂා කළා. හිතෝපදේශ 29:25 කියන්නේ “මනුෂ්‍යයාට භය මලපතක් වේ. එහෙත් යෙහෝවා විශ්වාස කරන්නා ආරක්ෂා වන්නේය” කියායි. ඔබදියාත් අපි වගේම සාමාන්‍ය මිනිසෙක්. කාට හරි අසුවුණොත් මාව මරාදමාවි කියන භය අපිට වගේම ඔහුටත් තිබුණා. (1 රාජාවලිය 18:7-9, 12) ඒ වුණත් කිසි මිනිසෙකුට භය නොවීමට ඔබදියාට හැකි කළේ දේවගරුබිය නිසා ඇති වූ ධෛර්යයි. විශේෂයෙන් තම නිදහස හෝ ජීවිතය පරදුවට තබා යෙහෝවා දෙවිට නමස්කාර කරන අයට වගේම අපි හැමෝටමත් ඔබදියා කදිම ආදර්ශයක්. (මතෙව් 24:9) එමනිසා අපි සියලුදෙනාම “දේවභයෙන් සහ ගරුබියෙන්” යුතුව යෙහෝවා දෙවිට සේවය කිරීමට දැඩි උත්සාහයක් දරමු.—හෙබ්‍රෙව් 12:28.

21. ඊළඟ ලිපියෙන් අපි සලකා බලන්නේ කුමක් ගැනද?

21 ධෛර්යය ලබාදෙන්නේ දේවගරුබිය සහ ඇදහිල්ල පමණක්ම නොවෙයි. ප්‍රේමය කියන ගුණාංගයද ඊටත් වඩා ලොකු ධෛර්යයක් ලබාදෙනවා. පාවුල් ඒ ගැන ලිව්වේ මෙහෙමයි. “මන්ද දෙවි අපට දුන්නේ බියගුලුකමේ ආත්මයක් නොව, බලයෙත්, ප්‍රේමයෙත්, හොඳ සිහිකල්පනාවෙත් ආත්මයක්ය.” (2 තිමෝති 1:7) අන්තිම දවස්වල ජීවත්වන අපිට යෙහෝවා දෙවිට ධෛර්යයෙන් යුතුව සේවය කිරීමට ප්‍රේමය උපකාරී වෙන්නේ කෙසේද කියා ඊළඟ ලිපියෙන් අපි බලමු.—2 තිමෝති 3:1.

[පාදසටහන]

^ 17 ඡේ. අනාගතවක්තෘ ඔබදියා නෙවෙයි.

ඔබේ පිළිතුර කුමක්ද?

• යෝෂුවා සහ කාලෙබ් ධෛර්යයෙන් යුතුව වැඩ කළේ ඇයි?

• ඇදහිල්ලට ඇතුළත් වෙන්නේ කුමක්ද?

• දෙවි ගෙනෙන විනිශ්චය ගැන කතා කරද්දී ඒනොක් භය නොවූයේ ඇයි?

• ධෛර්යවත් වීමට දේවගරුබිය උපකාරවත් වෙන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16, 17වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි යෝෂුවාව දිරිගැන්නුවේ “ශක්තිමත් වෙන්න. ඉතා ධෛර්යවත් වෙන්න” කියායි

[18වන පිටුවේ පින්තූරය]

ඔබදියා දෙවිගේ අනාගතවක්තෲන්ව ආරක්ෂා කර, සැලකිල්ල දැක්වුවා

[19වන පිටුවේ පින්තූර]

ඒනොක් නිර්භීත ලෙස දෙවිගේ වචනය ගැන කතා කළා