Skip to content

පටුනට යන්න

දේශනාකාරයා පොතෙන් විශේෂාංග

දේශනාකාරයා පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානයි

දේශනාකාරයා පොතෙන් විශේෂාංග

“ස්ත්‍රියකගෙන් උපන් මනුෂ්‍යයා පවතින්නේ ස්වල්ප දවසක්ය. දුකින් පූර්ණය” කියා පුරාණ ඇදහිලිවන්තයෙක් වූ යෝබ් නිරීක්ෂණය කළා. (යෝබ් 14:1) මේ නිසා අපගේ ජීවිතය ගත කිරීමට තිබෙන ස්වල්ප දවස තුළ ප්‍රයෝජනයක් නැති දේවල් කිරීම සඳහා අපගේ වටිනා කාලය ගත කිරීම කොයි තරම් අඥාන දෙයක්ද! අපගේ කාලය, ශක්තිය සහ වටිනා දේවල් වැය කළ යුත්තේ කුමන දේවල් අත් කරගැනීමටද? අප වැළකිය යුත්තේ කුමන නිෂ්ඵල දේවල්වලින්ද? බයිබලයේ දේශනාකාරයා පොතේ මේ සම්බන්ධයෙන් ඉතාමත් විශ්වාසවන්ත උපදෙස් අපිට සපයනවා. ඉන් අපේ ‘සිතේ සිතුවිලිද චේතනාද වටහාගත හැකි’ අතර අරමුණක් ඇතිව ජීවත් වීමටත් එය අපිට හැකි කරවයි.—හෙබ්‍රෙව් 4:12.

දේශනාකාරයා පොත ලියනු ලැබුවේ ප්‍රඥාව සම්බන්ධයෙන් නම ගිය පුද්ගලයෙක් වූ සලමොන් රජ විසිනුයි. කෙනෙකුගේ ජීවිතයේ වටිනාම දේවල් මොනවාද සහ නොවටිනා දේවල් මොනවාද යන්න ගැන එහි ඉතාමත් ප්‍රයෝජනවත් උපදෙස් අඩංගුයි. තමන් ආරම්භ කළ යම් ගොඩනැඟීමේ ව්‍යාපෘති ගැන සලමොන් රජ එහි සඳහන් කර තිබෙන නිසා, ඔහු මෙම පොත ලිව්වේ එම වැඩ අවසන් කිරීමෙන් පසුව සහ සැබෑ නමස්කාරය අත් හැරයෑමට පෙර කාලය අතරතුර විය යුතුයි. (නෙහෙමියා 13:26) මේ අනුව එය ලියූ කාලය සලමොන් රජගේ අවුරුදු 40ක පාලන සමයේ අවසාන අදියරයේ එනම් ක්‍රි.පූ. 1000ට ටික කාලයට පෙර බව පැහැදිලියි.

නිෂ්ඵල නොවන දේවල් මොනවාද?

(දේශනාකාරයා 1:1–6:12)

“සියල්ලම නිෂ්ඵලය!” කියා පවසන දේශනාකරු මෙසේ අසනවා. “මනුෂ්‍යයා ඉර යට දරන මුළු වෙහෙසින් ඔහුට ඇති ප්‍රයෝජනය කිමෙක්ද?” (දේශනාකාරයා 1:2, 3) මෙම පොතේ “නිෂ්ඵල” සහ “ඉර යට” යන වචන විටින් විට භාවිත කර තිබෙනවා. “නිෂ්ඵල” යන වචනයට හෙබ්‍රෙව් අර්ථය වන්නේ “හුස්ම” හෝ “වාෂ්පයක්” යන්නයි. එමෙන්ම කිසිම හරයක් නැති, අස්ථිර, කල් නොපවතින යමක් ඉන් අදහස් විය හැකියි. “ඉර යට” යන්න භාවිත කර තිබෙන්නේ “මේ පොළොවේ” හෝ “මේ ලෝකයේ” සිදු වන දේ දැක්වීමටයි. එමනිසා මිනිසුන් මිහිපිට කිරීමට වීර්යය කරන්නාවූ දේවල් දෙවිගේ කැමැත්තට එකඟ නොවේ නම් එම උත්සාහයන් සියල්ලම නිෂ්ඵලයි.

“ඔබ දෙවිගේ ගෘහයට යන විට ඔබේ පය රැකගන්න” කියාත් ‘අසන පිණිස ළංවෙන්න’ කියාත් සලමොන් කියනවා. (දේශනාකාරයා 5:1) යෙහෝවා දෙවිට අප කරන සැබෑ නමස්කාරය නිෂ්ඵල දෙයක් වන්නේ නැහැ. ඇත්තෙන්ම අරමුණක් ඇති ජීවිතයක් සඳහා ප්‍රධානතම දෙය වන්නේ දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමයි.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:4-10ස්වාභාවික ක්‍රියා, “වෙහෙසින් පිරී තිබේ” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ජීවත් වීමට නැතුවම බැරි ඉතා සංකීර්ණ ස්වාභාවික ක්‍රියාවලීන් රාශියක් තිබුණත් දේශනාකරු මෙහි සඳහන් කරන්නේ ඉන් තුනක් පමණයි. ඒවා නම් සූර්යයා, ජල චක්‍රය සහ සුළඟයි. කෙනෙක් තම ජීවිත කාලයම යොදවා ඒ ගැන සොයන්නට උත්සාහ කළත්, එය සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න ඔහුට බැහැ. එය ඇත්තටම ‘වෙහෙසින් පිරි’ ක්‍රියාවක්. නොනවත්වාම සිදු වන මෙම ස්වාභාවික ක්‍රියාවලීන් අපේ කෙටි ජීවිත කාලය සමඟ සසඳන විටද එයින් අපි කලකිරීමට පත් වෙනවා. අලුත් දේවල් සොයාගැනීමට උත්සාහ කිරීමත් යම් ආකාරයක වෙහෙසක්. මීට අමතරව මිනිසුන් නව නිපැයුම් ලෙස හඳුන්වන දේවලුත් ලෝකයට ඉදිරිපත් කරනවා. නමුත් ඇත්තෙන්ම ඒවා ඔවුන් නිපදවන්නේ දෙවි බොහෝ කාලයකට පෙර පිහිටුවා ඇති මූලධර්ම යොදාගැනීමෙන් හා මේ පොළොව නිර්මාණය කිරීමේදී ඔහු ඇති කළා වූ මැවිලි අධ්‍යයනය කිරීමෙනුයි.

2:1, 2සිනාසීම පිස්සුකම” ලෙස හඳුන්වා තිබෙන්නේ ඇයි? හිනාවෙලා සිටින විට අපගේ ප්‍රශ්න ගැටලු තාවකාලිකව අමතක කරන්න පුළුවන් වගේම විනෝදය නිසාද ඒවා යම් දුරකට සැහැල්ලු කරගත හැකියි. එහෙත් සිනාසීමෙන් හෝ විනෝද වීමෙන් අපිට අපේ ප්‍රශ්න මඟ හරින්න බැහැ. ඒ අනුව බලද්දී සැබෑ සතුට සිනාසීමෙන් සහ විනෝද වීමෙන් සෙවීමට තැත් කිරීම ඇත්තටම ‘පිස්සුකමක්’ බව පැහැදිලියි.

3:11දෙවි “ඒ ඒ කාලයට හොබිනා ලෙස” සෑදුවේ කුමක්ද? යෙහෝවා දෙවි සෑම දෙයක්ම කරන්නේ සුදුසුම කාලයටයි. ඒ අනුව සුදුසු කාලයට ඇති කළ “හොබිනා” දේවල් සමහරක් නම් ආදම් සහ ඒවව මැවීම, දේදුන්නක් මාර්ගයෙන් නෝවා සමඟ ඇති කළ ගිවිසුම, ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම, දාවිත් සමඟ කළ ගිවිසුම, ගැලවුම්කරුගේ පැමිණීම සහ දේවරාජ්‍යයේ රජු හැටියට යේසුස් ක්‍රිස්තුස්ව පත් කිරීමයි. එමෙන්ම නුදුරු අනාගතයේදීත් යෙහෝවා දෙවි “හොබිනා” ලෙස යමක් කරන්න යනවා. එය නම් නිසි කාලයට මේ පොළොව පාරාදීසයක් කරයි කියන හොබිනා ක්‍රියාව ගැන අපිට නිසැක විය හැකියි.—2 පේතෘස් 3:13.

3:15ආ—සැබෑ “දෙවි පසුගිය දේ නැවත සොයන්නේ” කෙසේද? මින් සමහරවිට අදහස් කරන්නේ දෙවි කිරීමට අරමුණු කළ දේවල් විය හැකියි. මිනිස් ඉතිහාසය දෙස බලද්දී සිදු වන දෙයක් නම් මිනිසා ඉපදෙනවා මැරෙනවා. යුද්ධ කරනවා, සාමය ඇති වෙනවා. නොකඩවා සිදු වන මෙම ක්‍රියාවලිය මිනිසාට වෙනස් කරන්න බැරි නිසා ඔවුන් සිටින්නේ අසරණ තත්වයකයි. නමුත් සැබෑ දෙවි යෙහෝවා ඊට හාත්පසින්ම වෙනස්. දෙවි අරමුණු කරන දේ ඔහුට කැමති ආකාරයට ඉටු කරන්න පුළුවන්. (දේශනාකාරයා 3:1-10, 15අ) තවත් අර්ථයකින් මෙය දුෂ්ටයන්ගේ පීඩාවලට මැදි වී සිටින ධර්මිෂ්ඨ පුද්ගලයන්ටත් අදාළ විය හැකියි. යෙහෝවා දෙවි මෙවැනි ධර්මිෂ්ඨ අයව ‘සොයන්නේ’ ඔවුන් වෙනුවෙන් ‘තම බලය පෙන්වීමටයි.’—2 ලේකම් 16:9.

5:9—“බිමේ ප්‍රයෝජනය සියල්ලන්ටම” යන්නෙහි අර්ථය කුමක්ද? පොළොවේ වසන සියලු වැසියන් රඳා පවතින්නේ “බිමේ ප්‍රයෝජනය” හෙවත් භූමියේ පලදාව මතයි. රජෙක් පවා යැපෙන්නේ මෙහි පලදාවෙනුයි. තමාගේ කෙත සේවකයන් ලවා අස්වද්දන්න අවශ්‍යයි. එම සේවකයන් අස්වැන්න රජුට ලබාදීමට නම් හුඟක් මහන්සි වී වැඩ කළ යුතුයි.

අපට ගත හැකි පාඩම්:

1:15. අද දින තිබෙන දුෂ්ටකම සහ අයුක්තිය නතර කිරීමට අපගේ කාලය සහ ශක්තිය වැය කිරීම නිෂ්ඵල දෙයක්. එය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට හැක්කේ දෙවිගේ රාජ්‍යයට පමණයි.—දානියෙල් 2:44.

2:4-11. ගෘහ නිර්මාණ ශිල්පය, උද්‍යාන සැකසීම, සංගීතය වගේම සැප පහසු ජීවිතයක් ගත කිරීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වීමත් හරියට “හුළඟ ලුහුබැඳ යන්ට උත්සාහ කිරීමක්” හා සමානයි. ඊට හේතුව එයින් ජීවිතයට නියම තෘප්තියවත් කල් පවතින සන්තෝෂයවත් ලබාදෙන්නේ නැති නිසයි.

2:12-16. මිනිසාට ඇති ප්‍රඥාව පාවිච්චි කර ජීවිතයේ යම් ප්‍රශ්න ගැටලු ජයගැනීමට ඔහුට පුළුවන්. නමුත් මරණය වැනි අභියෝගවලට මුහුණ දී ඉන් ජය ගන්න ඔහුගේ ප්‍රඥාව ප්‍රමාණවත් නැහැ. කෙනෙක් තම දැනුම සහ ප්‍රඥාව නිසා යම් කීර්තියක් අත් කරගෙන සිටිනවා විය හැකියි. නමුත් මරණයත් සමඟම එම කීර්තිය ඉක්මනින්ම අමතක වී යයි.

2:24; 3:12, 13, 22. අප වෙහෙස මහන්සි වී කරන වැඩවල ප්‍රතිඵල බලා, ඉන් සන්තෝෂය භුක්ති විඳීම වැරදි දෙයක් නෙවෙයි.

2:26. “දෙවි සතුටු කරන මනුෂ්‍යයෙක් ඇද්ද” සන්තෝෂය ගෙන දෙන දිව්‍ය ප්‍රඥාව ඔහුට දෙනු ලබයි. දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයකින් තොරව එම ප්‍රඥාව ලබා ගැනීමට නොහැකියි.

3:16, 17. අපි මුහුණපාන සෑම කාරණයකදීම යුක්තිය ඉටු වෙයි කියා බලාපොරොත්තු වෙන්න බැහැ. එමනිසා අද ලෝකයේ සිදු වන දේවල් ගැන කනස්සලු වෙනවාට වඩා, යෙහෝවා දෙවි නියමිත කාලයේදී ඒ සියල්ල නිවැරදි කරන තෙක් අපි ඔහු දෙස බලා සිටිය යුතුයි.

4:4. ඉතාමත් මහන්සි වී දක්ෂ ලෙස නිම කළ දෙයකින් මහත් තෘප්තියක් ලැබිය හැකියි. නමුත් අපි මහන්සි වන්නේ අන් අයව අභිභවා යෑමේ චේතනාවෙන් යමක් කිරීමට නම්, ඉන් තරඟකාරී ස්වභාවයක් ඇති වන අතර අමනාපයක් සහ ඊර්ෂ්‍යාවක් ඇති කිරීමටද එය හේතු විය හැකියි. ක්‍රිස්තියානීන් හැටියට අපි දේවසේවයේ වෙහෙස නොබලා හවුල් වන විටද නිවැරදි චේතනාවකින් එය කළ යුතුයි.

4:7-12. මිනිසුන් එකිනෙකා අතර ඇති බැඳීම් සැප සම්පත්වලට වඩා වටිනවා. එමනිසා සැප සම්පත් අත් කරගැනීමට ගොස් එවැනි බැඳීම් පරදුවට නොතැබිය යුතුයි.

4:13. පුද්ගලයෙකුට ගෞරවය හිමි වන්නේ ඔහුගේ තනතුරු හෝ වයස නිසාම නොවෙයි. එමනිසා වගකීම් දරන අය ඥානවන්තව කටයුතු කළ යුතුයි.

4:15, 16. (නව ලොව පරිවර්තනය) “රජුගේ තැන ගන්නා දරුවා” හෙවත් ඊළඟට රජවීමට සිටින තැනැත්තාට මුලදී ‘සෙනඟගේ සහයෝගය ලැබිය හැකියි.’ “නමුත් අවසානයේදී ඔවුහු ඔහු ගැන සතුටු නොවෙති.” ඒ හා සමානව, ජනප්‍රියත්වයට තිබෙන ආයුෂද කෙටියි.

5:2. යාච්ඤා කිරීමට පෙර අප කියන්න යන දේ ගැන කල්පනා කර බැලිය යුතු අතර එය ගෞරවණීයව ඉදිරිපත් කළ යුතුයි. වචන අධිකව භාවිත කිරීමෙන් වැළකී සිටීමද සුදුසුයි.

5:3-7. සැප සම්පත් ගැන ඕනෑවට වඩා සැලකිලිමත් වන කෙනෙක් ආත්මාර්ථකාමී ආශාවන් ගැන දවල් සිහින දකින්න පුළුවන්. ඔහු රාත්‍රියේදී පවා ඒ ගැන සිතමින් වෙහෙසට පත්වී සිටින නිසා මිහිරි නින්ද පවා ඔහුට අහිමි විය හැකියි. කෙළවරක් නැතිව කතා කරන කෙනෙකුව අඥාන පුද්ගලයෙක් හැටියට අන් අය දකින්න පුළුවන්. එමෙන්ම ඔහු හිතන්නේ බලන්නේ නැතිව දෙවි ඉදිරියේ යම් පොරොන්දුවක් දීමටත් පෙලඹිය හැකියි. නමුත් ‘දෙවිට ගරුබිය දැක්වීම’ තුළින් අපිට ඒ තත්වයන් දෙකෙන්ම වැළකිය හැකියි.

6:1-9. අපිට වස්තුව, කීර්තිය, බොහෝ කල් ජීවත් වීම සහ විශාල පවුලක් තිබුණත් යම් හේතු නිසා අපට ඒවායින් කිසි ප්‍රීතියක් ලබන්න බැරි නම් ඇති ප්‍රයෝජනය කුමක්ද? “ආශාව මුළාව යෑමට වඩා” එනම් කවදාවත් තෘප්තිමත් නොවන්නා වූ දෙයක් පසුපස දුවනවාට වඩා “ඇස්වල පෙනීම” එනම් ජීවිතයේ සැබෑ තත්වයට මුහුණ දීම ‘යහපත්.’ ජීවිතය ගත කිරීමට හොඳම ක්‍රමය වන්නේ යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගනිමින්, “කන්න අඳින්න සහ ඉන්න හිටින්න තැනක් ඇත්නම්” ඒවායින් සෑහීමට පත් වී, යහපත් දේවල්වලින් ප්‍රීතියක් ලබාගැනීමයි.—1 තිමෝති 6:8.

ඥානවන්තයාට උපදෙස්

(දේශනාකාරයා 7:1–12:8)

අපට ඇති හොඳ නම අපි රැකගන්නේ කොහොමද? මනුෂ්‍ය පාලකයන් කෙරෙහි සහ අප අද්දැකිය හැකි අයුක්තිය කෙරෙහි අපිට තිබිය යුතු ආකල්පය කුමක්ද? පුද්ගලයෙක් මිය ගියාට පසු ඔහුට කළ හැකි කිසිම දෙයක් නැහැ. එමනිසා ජීවත් වී සිටින විට අපගේ ජීවිත අප ගත කළ යුත්තේ කෙසේද? යෞවනයන්ට තම කාලය සහ ශක්තිය ඥානවන්ත ලෙස භාවිත කළ හැක්කේ කෙසේද? මේ සම්බන්ධයෙන් සහ වෙනත් කාරණා සම්බන්ධයෙන්ද දේශනාකරුගේ ඉතාමත් ඥානවන්ත උපදෙස් දේශනාකාරයා පොතේ 7 සිට 12 දක්වා පරිච්ඡේදවල වාර්තා කර තිබෙනවා.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

7:19“ආණ්ඩුකාරයන් දසදෙනෙකුට වඩා” ප්‍රඥාව බලවත් වන්නේ කොහොමද? බයිබලයේ අංක දහය සංකේතයක් ලෙස භාවිත කරන්නේ යම් දෙයක් කිසිම අඩුවක් නැති බව හෝ එය පූර්ණ බව දැක්වීමටයි. සලමොන් මෙහිදී සඳහන් කරන්නේ නුවරක් ආරක්ෂා කිරීමට ආණ්ඩුකාරයන් දසදෙනෙක් එනම් පූර්ණ සංඛ්‍යාවක් හිටියත්, කෙනෙකුව ආරක්ෂා කිරීමට ප්‍රඥාවට ඊටත් වඩා මහත් බලයක් ඇති බවයි.

10:2—කෙනෙකුගේ “හෘදය ඔහුගේ දකුණු පැත්තෙහිය” හෝ “හෘදය ඔහුගේ වම් පැත්තෙහිය” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? දකුණු අතින් බොහෝවිට නියෝජනය වන්නේ කෙනෙකුට යම් අනුග්‍රහයක් හිමි වීමයි. එමනිසා කෙනෙකුගේ හෘදය ඔහුගේ දකුණු පැත්තේ කීමෙන් අදහස් කරන්නේ, යහපත් දේවල් කිරීමට ඔහුගේ හදවත ඔහුව පොලඹවනවා යන්නයි. නමුත් එය කෙනෙකුව වැරදි දෙයක් කිරීමට පොලඹවනවා නම් හෘදය ඔහුගේ වම් පැත්තේ කියා කිව හැකියි.

10:15“අඥානයන්ගේ වැඩ ඔවුන් සැමටම වෙහෙසක්” වන්නේ කොහොමද? කෙනෙකුට දේවල් සම්බන්ධයෙන් හරි විනිශ්චයක් කිරීමට නොහැකි නම් ඔහු වෙහෙස මහන්සි වී කරන වැඩවලින් නියම පල ප්‍රයෝජන ගැනීමට ඔහුට නොහැකි වෙනවා. එමෙන්ම ඉන් කිසිම තෘප්තියක් ලබන්නත් ඔහුට නොහැකියි. අවසානයේදී ඔහුගේ වැඩවලින් ඔහුට අත් වන්නේ වෙහෙස පමණයි.

11:7, 8—“සැබවින් එළිය ප්‍රිය දෙයකි. ඉර දැකීම ඇස්වලට සතුටකි.” මෙම ප්‍රකාශයේ තේරුම කුමක්ද? එළියෙන් සහ සූර්යයාගෙන් ජීවත්ව සිටින අයට ලැබෙන්නේ සතුටක්. ජීවත් වීමට ලැබීම යහපත් දෙයක් බවත් ඉන් අපි ‘ප්‍රීතියක්’ ලැබිය යුතු බවත් සලමොන් මෙහිදී පෙන්වයි. ඊට හේතුව ජීවිතයේ අඳුරු දවස් වන මහලු විය පැමිණ අපේ ශක්තිය හීන කරන නිසයි.

11:10“තරුණ භාවයත් යෞවන භාවයත්” නිෂ්ඵල වන්නේ ඇයි? සුදුසු ආකාරයට භාවිත නොකළොත් මේවා නිෂ්ඵලයි. ඊට හේතුව යෞවන කාලය මීදුමක් මෙන් ඉක්මනින්ම පහව යන නිසයි.

අපට ගත හැකි පාඩම්:

7:6. නුසුදුසු අවස්ථාවලදී සිනාසීම කෙනෙකුව අපහසුතාවට පත් කරනවා වගේම නිෂ්ඵල දෙයක්. එය හරියට කළයක් යට දැවෙන කටු පුපුරන ශබ්දය වගෙයි. අපි එවැනි අවස්ථාවන් මඟ හැරිය යුතුයි.

7:21, 22.—අන් අය අප ගැන කියන දේවල් සම්බන්ධයෙන් ප්‍රමාණයට වඩා සිතීමෙන් වැළකිය යුතුයි.

8:2, 3; 10:4.—රැකියා ස්ථානයේ ස්වාමියා හෝ වැඩ අධීක්ෂණය කරන නිලධාරීන් අපිව විවේචනය කරද්දී හෝ වැරැද්දක් පෙන්වා දෙන විට අපි සන්සුන්ව සිටීම ඥානවන්ත දෙයක්. එය “ඔහු ඉදිරියෙන් යන්ට ඉක්මන්” වෙනවා හෙවත් රැකියාවෙන් අස් වී යෑමට වඩා යහපත් දෙයක්.

8:8; 9:5-10, 12. මාළුවෙක් දැලට හසුවෙන්නා සේ හෝ කුරුල්ලෙක් උගුලකට හසුවෙන්නා සේ අපගේ ජීවිතයත් බලාපොරොත්තු නොවූ ලෙස අවසන් විය හැකියි. ඒ විතරක් නෙවෙයි මරණයේදී පිටව යන ජීව බලය නතර කළ හැකි කිසිවෙක් නැහැ. එමෙන්ම මිනිසාට එරෙහිව යුද වදින මරණයෙන් ඔහුව නිදහස් කිරීමට හැකි කිසිවෙක්ද නැහැ. ඒ නිසා අපගේ කාලය නාස්ති නොකළ යුතුයි. යෙහෝවා දෙවිට අවශ්‍ය වන්නෙත් අප අපේ ජීවිතය වටිනා දෙයක් ලෙස සලකමින් ඉන් තෘප්තියක් ලැබීමයි. එසේ කිරීමට නම් අපගේ ජීවිතයේ පළමු ස්ථානය දෙවිගේ සේවයට දිය යුතුයි.

8:16, 17. මිනිස්වර්ගයාට යෙහෝවා දෙවි මෙතෙක් කර ඇති සියලුම දේ සහ සිදුවීමට ඉඩහැර තිබෙන සියලුම දේ ගැන තේරුම්ගැනීමට ඔහු කොපමණ උත්සාහ කළත් ඔහුට බැහැ. අපි ජීවිතයේ කර ඇති සියලුම වැරදි ගැන කනස්සලු වෙවි සිටියොත් ඉන් සිදු වන්නේ අපේ ප්‍රීතිය සොරාගැනීමක් පමණයි.

9:16-18. පොදුවේ පිළිගැනීමක් නොතිබුණත් ප්‍රඥාව උතුම් කොට සැලකිය යුතුයි. එමෙන්ම අඥානයෙකුගේ කෑගැසීමට වඩා ඥානවන්ත පුද්ගලයෙක් සන්සුන්ව කියන වචනවලට කන්දිය යුතුයි.

10:1. අපගේ කතාව සහ හැසිරීම ගැන අපි සැලකිලිමත් විය යුතුයි. කෝපවී කෑගැසීමක්, සීමාව ඉක්මවා මත්පැන් ගැනීම හෝ දුරාචාර ක්‍රියාවක නිරත වීම වැනි එක් අනුවණකමක් නිසා කෙනෙක් කාලයක් පුරා රැකගෙන තිබූ ගෞරවය නැති වී යා හැකියි.

10:5-11. සුදුසුකම් නැති කෙනෙක් උසස් තනතුරක් හොබවද්දී ඔහුට ඊර්ෂ්‍ය නොකරන්න. එවැනි කෙනෙකු ඉතා සුළු වැඩක් කිරීමේදී පවා ඔහුට යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකියි. ඒ නිසා ‘සාර්ථක වීමට ප්‍රඥාව’ පාවිච්චි කිරීම අවශ්‍යයි. රාජ්‍ය දේශනා කිරීමේ සහ මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යයේදී අපි දක්ෂ වීම කොතරම් වැදගත්ද!

11:1, 2. අපි මුළු හදින්ම ත්‍යාගශීලී වීමට පුරුදු විය යුතුයි. ඉන් ත්‍යාගශීලීකම බෝ වෙයි.—ලූක් 6:38.

11:3-6. ජීවිතය අස්ථිර වන නිසාම අපි දෙගිඩියාවෙන් නොසිටිය යුතුයි.

11:9; 12:1-7. යෞවන අය යෙහෝවා දෙවිට ගණන් දිය යුතුයි. ඒ නිසා ඔවුන් තම යෞවන ශක්තිය නැතිවීමට පෙර තම කාලය සහ ශක්තිය දෙවිගේ සේවයට දිය යුතුයි.

අපට මඟ පෙන්වන “ප්‍රඥාවන්තයන්ගේ වචන”

(දේශනාකාරයා 12:9-14)

දේශනාකරු හොඳින් සොයා බලා ලියා ඇති “පිළිගත යුතු වචන” කෙරෙහි අපගේ ආකල්පය විය යුත්තේ කුමක්ද? මිනිසුන්ගේ ප්‍රඥාව ඇතුළත් “බොහෝ පොත්” පත්වලට වඩා වෙනස්ව “ඥානවන්තයන්ගේ වචන කෙවිටි හා සමානය. එක් එඬේරෙකුගෙන් දෙන ලද රැස්වීම්වල ප්‍රධානයන්ගේ වචන හොඳට සවි කළ ඇණ හා සමානය.” (දේශනාකාරයා 12:10-12) මේ නිසා ‘එකම එඬේරා’ වන යෙහෝවා දෙවි විසින්ම දී තිබෙන ප්‍රඥාවේ වචන අපගේ ජීවිත මත සදාකල් පවතින බලපෑමක් ඇති කරනවා.

දේශනාකාරයා පොතේ සඳහන්ව ඇති ප්‍රඥාවන්ත උපදෙස් අනුගමනය කිරීම අරමුණක් ඇති සහ සන්තෝෂය ගෙන දෙන ජීවිතයක් ගත කිරීමට අපට උපකාර කරන බව සහතිකයි. ඒ ගැන අපිට සහතික කරන්නේ මෙහෙමයි. “දෙවිට භය වන්නවුන්ට [ගරුබිය දක්වන අයට] ශුභ සිදු වන්නේයයි සැබවින් දනිමි.” එමනිසා අපි සියලුදෙනාම “දෙවිට භය වෙමින් [ගරුබිය දක්වමින්] ඔහුගේ ආඥාවන් රක්ෂා කරන්න” දැඩි ලෙස අධිෂ්ඨාන කරගනිමු.—දේශනාකාරයා 8:12; 12:13.

[15වන පිටුවේ පින්තූරය]

දෙවිගේ ඉතා අලංකාර අත්වැඩවලින් එකක් එහි නියමිත කාලයේදී සැබෑවක් බවට පත් වනු ඇත

[16වන පිටුවේ පින්තූරය]

දෙවි දෙන තෑගිවලට කෑම බීම පමණක් නෙවෙයි ජීවිතයේ වැඩවලින් ලබන තෘප්තියද ඇතුළත්