Skip to content

පටුනට යන්න

“ගලින් තැනූ නිවසේ” ශුභාරංචිය පැතිරේ

“ගලින් තැනූ නිවසේ” ශුභාරංචිය පැතිරේ

“ගලින් තැනූ නිවසේ” ශුභාරංචිය පැතිරේ

“ගලින් තැනූ නිවස” යන අර්ථය ඇති මෙම අප්‍රිකානු රටේ තිබෙන වික්ටෝරියා දිය ඇල්ල හා මේ රටේ වාසය කරන විවිධ වන සතුන් නිසා මේ රට ලෝක ප්‍රසිද්ධයි. සහරා කාන්තාරයට දකුණින් පිහිටි රටවල් අතරින් පැරණිතම ගොඩනැඟිලි දැකිය හැක්කේ මේ රටෙයි. එමෙන්ම මේ රටේ තිබෙන තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මේ රට මැද කළු ගල් තට්ටුවකින් යුත් විශාල සානුවක් පිහිටා තිබීමයි. සෞම්‍ය දේශගුණයක් තිබෙන මේ සානුව සාරවත් පසෙහි සදාහරිත ගස්වැල් හා පැලැටිවලින් යුක්තයි. අපි මේ කතා කළේ මිලියන 12ක පමණ ජනගහනයක් සිටින සිම්බාබ්වේ නම් අප්‍රිකානු රට ගැනයි.

සිම්බාබ්වේ නමැති රට “ගලින් තැනූ නිවස” කියා හඳුන්වන්නේ ඇයි? වර්ෂ 1867දී දඩයම්කාරයෙකු මෙන්ම අලුත් ප්‍රදේශ සොයා යන්නෙකු වූ ඇඩම් රෙන්ඩස්ට අසාමාන්‍යය වූ ප්‍රදේශයක් හමු වුණා. අක්කර 1800කට වැඩි භූමි භාගයකින් යුත් ඒ ප්‍රදේශය පුරා ගලින් තැනූ විවිධ ගොඩනැඟිලි දැකිය හැකි වුණා. ඔහු ගමන් කරමින් සිටියේ විශාල අප්‍රිකානු තෘණ භූමියකයි. එම ප්‍රදේශවල නිවෙස් සාමාන්‍යයෙන් තනා තිබුණේ මැටිවලින්. වහල සෙවිලි කර තිබුණේ පිදුරුවලින්. පසුව ඔහු ගලින් තැනූ පැරණි ඉදි කිරීම් බහුලව දැකිය හැකි විශාල නගරයකට පැමිණියා. මේ අසාමාන්‍යය ප්‍රදේශය ගැන ඔහු පුදුම වුණා. අද මහා සිම්බාබ්වේ කියා හඳුන්වන්නේ එම නගරයයි.

එම නටඹුන් තිබෙන්නේ මාස්වින්ගෝ කියා අද හඳුන්වන ප්‍රදේශයට දකුණු දෙසිනුයි. බදාම නොගා එකක් මත එකක් තබා තිබෙන කළුගල්වලින් යුත් සමහර බිත්ති මීටර් නවයකටත් වඩා උසයි. මේ නටඹුන් අතර අසාමාන්‍ය ආකාරයේ කුළුණක් දැකිය හැකියි. බොහෝදුරට කේතුවක හැඩය ගන්න මෙය මීටර් 11ක් පමණ උසින් යුක්ත වන අතර එහි මුල විශ්කම්භය මීටර් 6ක් වෙනවා. මේ කුළුණ ගොඩනඟා තිබීමට හේතුව කුමක්ද කියා තවමත් සොයාගෙන නැහැ. මේ නටඹුන් ක්‍රි. ව. අටවන සියවසේදී පමණ ඉදි කළ බව පෙනී යනවා. එහෙත් ඊටත් සියවස් ගණනාවකට කලින් සිටම ජනයා එහි වාසය කර තිබූ බවටද සාක්ෂි තිබෙනවා.

වර්ෂ 1980දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමට කලින් සිම්බාබ්වේ හැඳින්වූයේ රොඩේෂියාව කියායි. මෙහි වාසය කරන ජනයා ෂෝනා හා න්ඩබීලි කියා හඳුන්වන ජනවර්ග දෙකට අයත් වෙනවා. ජනගහනයෙන් වැඩි පිරිසක් අයත් වෙන්නේ ෂෝනා ජනවර්ගයටයි. සිම්බාබ්වේ ජනයා ආගන්තුක සත්කාරයට හරිම ලැදි බව ඒ රටේ ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය දේශනා කරන යෙහෝවාගේ සාක්ෂිකරුවන් අද්දැක තිබෙනවා. ආගන්තුකයෙක් නිවසකට තට්ටු කළ සැණින් “ඇතුළට එන්න” කියා හෝ “ඇවිත් වාඩි වෙන්න” කියා ගෙවැසියා කරන ආරාධනාව ඇසිය හැකියි. සිම්බාබ්වේ ජනයාගෙන් බොහෝදෙනෙක් බයිබලයට මහත් ගෞරවයක් දක්වනවා. බයිබලය ගැන කරන සාකච්ඡාවලදී, ඊට හවුල් වෙන්න කියා දෙමාපියන් බොහෝ අවස්ථාවලදී දරුවන්ගෙන් පවා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

සැනසිල්ල ගෙන දෙන පණිවිඩයක්

සිම්බාබ්වේ ගැන සඳහන් කරන විට “ඒඩ්ස්” හා “නියඟය” ගැන නිතර ජනමාධ්‍යවලින් අසන්න ලැබෙනවා. ඒඩ්ස් රෝගය සහරා කාන්තාරයට දකුණින් පිහිටි රටවල වෙසෙන ජනයාට මෙන්ම ඒ රටවල ආර්ථිකයට මහත් හානියක් සිදු කර තිබෙනවා. මේ රටවල වැඩිදෙනෙක්ව රෝහල්ගත කරන්නේ ඒඩ්ස් රෝගය වැළඳීම නිසයි. මේ නිසා පවුල් බොහොමයක් විනාශ වී තිබෙනවා.

ජීවත් වීමට තිබෙන හොඳම මඟ බයිබලයේ සඳහන් දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීම බව සිම්බාබ්වේ ජනයාට කියා දීම සඳහා ඒ රටේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මහත් ශ්‍රමයක් හා කාලයක් වැය කරනවා. ලිංගික සබඳතා පැවැත්විය යුත්තේ විවාහක යුවළක් අතර පමණක් බවත් සමලිංගික සේවනය දෙවි හෙළා දකින බවත් රුධිරය ශරීරගත කිරීම හා මත්ද්‍රව්‍ය භාවිතය යෙහෝවා දෙවි තහනම් කර තිබෙන බවත් ඔවුන් බයිබලය යොදාගනිමින් ජනයාට උගන්වනවා. (ක්‍රියා 15:28, 29; රෝම 1:24-27; 1 කොරින්ති 7:2-5; 2 කොරින්ති 7:1) බයිබලයේ සඳහන් ස්ථිරවම ඉටු වන බලාපොරොත්තුව ගැනත් ඔවුන් ජනයාට පවසනවා. මෙහිදී ඔවුන් ළඟදීම දෙවිගේ රාජ්‍යය මගින් සියලුම ලෙඩ රෝග නැති කර දමන බව විශේෂයෙන් අවධානයට ලක් කරනවා.—යෙසායා 33:24.

සහන සේවා

සිම්බාබ්වේහි වෙසෙන ජනයා නියඟය නිසා පසුගිය අවුරුදු දහය පුරා බොහෝ දුෂ්කරතා අද්දැක තිබෙනවා. කුසගින්නෙන් හා පිපාසයෙන් වන සතුන් මිය ගිහින්. සිය දහස් ගණන් ගවයන්ද මිය ගොස් තිබෙනවා. ලැව් ගිනි වනාන්තර විනාශ කර තිබෙනවා. ළමුන් හා වයසක අය වැඩි දෙනෙක් මරණයට පත් වන්නේ මන්දපෝෂණය නිසයි. සැම්බිසි නම් විශාල ගඟේ ජලය සිඳී යෑම නිසා විදුලිය පවා අහිමි වීමේ අවදානමක් තිබෙනවා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් විපතට පත් වී සිටින අයට උපකාර කිරීම සඳහා රටේ විවිධ ස්ථානවල සහන සේවා කමිටු අටක් පත් කරනු ලැබුවා. සංචාරක අවේක්ෂකයන් සභාවලට ගොස් අවශ්‍යතාවන් සොයා බැලුවා. ඉන්පසු ඔවුන් ඒ ගැන අදාළ සහන සේවා කමිටුවට දැනුම් දුන්නා. එක් සංචාරක අවේක්ෂකයෙක් මෙසේ වාර්තා කළා. “පසුගිය අවුරුදු පහ පුරා බඩ ඉරිඟු ටොන් දහසකට වැඩියෙන්ද, කරවල හා රතු කව්පි ටොන් දහය බැගින්ද අපි බෙදාහැරියා. අපේ සහෝදර සහෝදරියන් එලවළු ටොන් දෙකක් පමණ වේලා මුෆූෂ්වා කියා හඳුන්වන ආහාරය සඳහා ඒවා සකස් කළා. ඒ වගේම අපි ඇඳුම් පැළඳුම් විශාල තොගයක් සමඟ මුදල්ද යැව්වා.” තවත් සංචාරක අවේක්ෂකයෙක් මෙසේ අදහස් දැක්වුවා. “සහනාධාර යවන්න අවශ්‍ය බලපත්‍ර සිම්බාබ්වෙන් හා දකුණු අප්‍රිකාවෙන් ලබා ගන්න එක සෑහෙන්න අමාරු කටයුත්තක් වුණා. ඒ විතරක් නෙමෙයි, මේ සහනාධාර ප්‍රවාහනය කරන වාහනවලට ඉන්ධන ලබාගන්නත් හුඟාක් අමාරු වුණා. මේ සහනාධාර අපිට බෙදා දෙන්න හැකි වීමෙන් පෙනී යන්නේ අපිට අවශ්‍ය සියල්ල ගැන අපේ ස්වර්ගික පියා දන්නවා කියලා යේසුස් පැසවූ වචන සත්‍යයක් බවයි.”—මතෙව් 6:32.

නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල සේවය කරද්දී සංචාරක අවේක්ෂකයන් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගන්නේ කොහොමද? සමහරුන් තමන්ටත් තමන් නවාතැන් ගන්න නිවෙස්වල සිටින අයටත් ආහාර රැගෙන යනවා. එක් අවස්ථාවකදී සහෝදරියන් කිහිපදෙනෙක් රජයෙන් ලැබෙන සහනාධාර ලබා දෙන දවසේදී දේශනා සේවයේ නොයා පෝලිමේ ඉන්න යනවාද කියා සාකච්ඡා කරමින් සිටියා. අවසානයේදී ඔවුන් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා දේශනා සේවයේ ගියා. එදා රජයේ සහනධාර ඒ ප්‍රදේශයට එවා තිබුණේ නැහැ.

පසු දින ක්‍රිස්තියානි රැස්වීමක් පවත්වන දවසක්. රැස්වීමට යනවාද නැත්නම් සහනාධාර ගන්න පෝලිමේ ඉන්න යනවාද කියා ඒ සහෝදරියන්ට නැවතත් තීරණයක් ගන්න සිදු වුණා. ඔවුන් මුල් තැන දිය යුතු දේට මුල් තැන දෙමින් රාජ්‍යය ශාලාවේ පවත්වන රැස්වීමට ගියා. (මතෙව් 6:33) සහෝදර සහෝදරියන් අවසන් ගීතිකාව ගායනා කරන අතරතුරේදී ලොරියක් එන හඬක් ඔවුන්ට ඇසුණා. ඒ ලොරිය රාජ්‍ය ශාලාවට ඇවිත් තිබුණේ සහන සේවා කමිටුව මගින් ඒවා තිබුණු ද්‍රව්‍යය රැගෙනයි. එදින රැස්වීම අත පසු නොකර එයට සහභාගි වුණ සාක්ෂිකරුවන්ට දැනුණේ මහත් ප්‍රීතියක්.

ප්‍රේමය ඵල දරයි

සාෂිකරුවන් නොවන අයටත් කාරුණාව පෙන්වීමෙන් කදිම සාක්ෂියක් දීමට හැකි වී තිබෙනවා. ඒ බව මේ අද්දැකීමෙන් පෙනී යනවා. මාස්වින්ගෝ නමැති ප්‍රදේශයේ සංචාරක අවේක්ෂකයෙක් තවත් සහෝදරයන් කිහිපදෙනෙක් සමඟ ශුභාරංචිය දේශනා කරමින් සිටියා. පාර අයිනේ ගැහැනු ලමයෙක් වැටිලා ඉන්නවා ඔහු දැක්කා. ඇයට සිදු වී තිබෙන්නේ කුමක්ද කියා සොයාබැලීමට සාක්ෂිකරුවන් ඇය ළඟට ගියා. ඒ වේලාවේ ඇය හිටියෙ හුඟාක් අසනීපෙන් හරිහැටි කතා කර ගන්නත් ඇයට බැරි වුණා. මේ ගැහැනු ලමයාගේ නම හමූන්යාරි. ෂෝනා භාෂාවෙන් ඒ නමේ තේරුම් වන්නේ “ලැජ්ජා නැද්ද” කියායි. කඳුකර ප්‍රදේශයක තිබුණු ආගමික මෙහෙයකට සහභාගි වීම සඳහා යමින් සිටි ඇගේ පල්ලියේ අය ඇයට අමාරු නිසා ඇයව අතර මඟ දමා ගොස් තිබුණු බව සාක්ෂිකරුවන්ට දැනගන්න ලැබුණා. සාක්ෂිකරුවන් ඒ ලමයාට උපකාර කර ළඟපාත තිබෙන ගමකට ඇයව රැගෙන ගියා.

ඒ ගැහැනු ලමයා ගැන ඒ ගමේ සමහර අය දැන සිටියා. ඔවුන් ඇගේ නෑදෑයන්ට ඇය ගැන දැනුම් දුන්නා. “මේක තමයි සත්‍යය ආගම. ක්‍රිස්තියානීන් තුළ තියෙන්න ඕනෙ මේ වගේ ප්‍රේමයක් තමයි” කියා ඒ ගමේ අය පැවසුවා. (යොහන් 13:35) ඒ සාක්ෂිකරුවන් යන්න කලින් බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද කියන පත්‍රිකාව හමූන්යාරිට දුන්නා. *

කලින් සඳහන් කළ සංචාරක අවේක්ෂකයා ඊළඟ සතියේදී හමූන්යාරිගේ ගමේ සේවය කිරීමට ගියා. ඇගේ සුව දුක් විමසා බැලීම සඳහා ඔහු ඇගේ නිවස සොයා ගියා. ඔහුවත් ඇයට උදව් කළ අනිත් සාක්ෂිකරුවන්වත් දැකීමෙන් ඇගේ පවුලේ සියලුදෙනාම බොහෝ සේ ප්‍රීති වුණා. “ඔයාලාගේ ආගම තමයි සත්‍යය ආගම. පාරේ දාලා ගිහිල්ලා තිබුණු අපේ දුවගේ ජීවිතය බේරා ගත්තේ ඔයාලයි. ඔයාලා නොහිටින්න අපේ දුව මැරෙනවා” කියලා ඇගේ දෙමාපියන් පැවසුවා. මේ දෙමාපියන් ඇයව මඟ දාලා ගිය පල්ලියේ අයට මෙහෙම කිව්වා. “අපේ දුවගේ නමේ තේරුම නම් ඔයාලාට හොඳට ගැලෙපනවා. ලැජ්ජ නැද්ද ඔයාලාට අපේ දුවව මැරෙන්න දාල යන්න.” සාක්ෂිකරුවන් හමූන්යාරිගේ පවුලේ අයට බයිබලයේ ඉගැන්වීම් පහදා දී ඔවුන්ට බයිබලය තේරුම්ගන්න උපකාරවත් වන පොත් පත් හා සඟරා ලබා දුන්නා. බයිබලය ගැන තවදුරටත් සාකච්ඡා කරන්න එන්න කියලා ඔවුන් සාක්ෂිකරුවන්ට ආරාධනා කළා. සාක්ෂිකරුවන්ට විරුද්ධ වූ මේ පවුලේ සමහර අය දැන් සත්‍යය පිළිගන්න තත්වයක සිටිනවා. ඔවුන්ගෙන් කෙනෙක් වන පල්ලියක නායකයෙක් වන හමූන්යාරිගේ මස්සිනා බයිබලය පාඩම් කරන්න කැමැත්ත පළ කර තිබෙනවා.

රාජ්‍ය ශාලා ගොඩනැඟීම

“දෙවි, . . . වතුර නැත්තාවූ වියළුණාවූ වෙහෙස උපදවන්නාවූ දේශයකදී මාගේ ආත්මය ඔබට පිපාසා වේ” කියා දෙවිගේ මඟ පෙන්වීම යටතේ එක් කවියෙක් රචනා කළා. (ගීතාවලිය 63:1) නියඟයෙන් පීඩා විඳින දේශයක වෙසන ජනයාගෙන් බොහෝදෙනෙක් එම වදන්වල සත්‍යයතාව අද්දැක තිබෙනවා. දෙවිව හා ඔහුගේ යහපත්කම ගැන දැනගැනීමට තිබෙන ඔවුන්ගේ ආශාව පිපාසය හා සමානයි. මේ බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා සේවය මගින් ඉටු කරගෙන තිබෙන දේවලින් පෙනී යනවා. සිම්බාබ්වේ රට 1980දී නිදහස ලැබූ විට එහි සභාවන් 476ක සිටියේ සාක්ෂිකරුවන් 10,000කට ආසන්න ගණනක්. ඉන් වසර 27කට පසු එහි සිටින සාක්ෂිකරුවන් ගණන තුන් ගුණයකින්ද සභා ගණන දෙගුණයකින්ද වැඩි වී තිබෙනවා.

ඒ වුණත් මේ සභාවන්ගෙන් බොහොමයකට ඔවුන්ගේම කියා නමස්කාර ස්ථාන තිබුණේ නැහැ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර ස්ථාන හඳුන්වන්නේ රාජ්‍ය ශාලා කියායි. වර්ෂ 2001 ජනවාරි මාසය වන විට සිම්බාබ්වේ තිබෙන සභාවන් 800කට වැඩි ගණනකින් රාජ්‍ය ශාලා තිබුණේ සභාවන් 98කට විතරයි. සභා වැඩි හරියක් රැස්වීම් පැවැත්වූයේ එක්කෝ ගස් යට නැත්නම් කොට මැටි බිත්තිවලින් වට කර පිදුරුවලින් වහලය සෙවිලි කළ මඩුවලයි.

ලොවපුරා සිටින සෙසු ක්‍රිස්තියානි සහෝදරයන්ගෙන් ලැබුණු නොමසුරු සම්මාදම් හා ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී කළ වැඩ නිසා සිම්බාබ්වේහි සිටින සාක්ෂිකරුවන් රාජ්‍ය ශාලා ගොඩ නැඟීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. මෙහි ප්‍රතිඵලයක් හැටියට සභා බොහොමයකට නමස්කාරය සඳහා යෝග්‍ය ස්ථානවල රැස්වීමට හැකි වී තිබෙනවා. ගොඩනැඟීමේ කටයුතු ගැන විවිධ හැකියාවන් තිබෙන විදේශීය සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් සිම්බාබ්වේට පැමිණ ඒ රටේ සහෝදරයන් සමඟ එක්සත්ව රාජ්‍ය ශාලා ගොඩ නැඟීමේ කාර්යයේ හවුල් වුණා. “අපේ රටට ඇවිල්ලා මේ වගේ ලස්සන රාජ්‍ය ශාලා හදලා දුන්න සහෝද සහෝදරියන්ට අපි හුඟාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රාජ්‍ය ශාලා අරමුදලට සම්මාදම් කරන හැම කෙනාටම අපි මුළු හදවතින්ම ස්තුති කරනවා” කියා එක් සහෝදරයෙක් පැවසුවා.

සිම්බාබ්බේහි නැඟෙනහිර පළාතේ එක් ප්‍රදේශයක අවුරුදු 50කට වැඩි කාලයක් ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්වූයේ දැවැන්ත බෙයෝබැබ් ගසක් යටයි. අලුත් රාජ්‍ය ශාලාවක් ගොඩ නඟන්න සැලසුම් කර තිබෙන බව ඒ සභාවේ වැඩිමහල්ලන්ට දැනගන්න ලැබුණු විට එක්කෙනෙකුගේ ඇස්වලින් කඳුළු ආවා. ළඟ තිබෙන සභාවක වයස අවුරුදු 91වන වැඩිමහල්ලෙක් මෙසේ පැවසුවා. “අපිට රාජ්‍ය ශාලාවක් ලබා දෙන්න කියලා මම හැමදාම යෙහෝවා දෙවිට යාච්ඤා කරමිනුයි හිටියේ.”

මේ අලංකාර රාජ්‍ය ශාලා කෙටි කාලයකින් සාදන එක ගැන හුඟදෙනෙක් අගය කරමින් කතා කරනවා. “ඔයාලාගේ අය වැඩ කරලා ඉවර වුණාට පස්සේ රෑට දෙවියන් ශාලාව හදනවා ඇති. නැත්නම් මේ ඉක්මනට කොහොමද මේ වගේ එකක් හදන්නේ!” කියා එක් පුද්ගලයෙක් පැවසුවා. බොහෝදෙනාගේ අවධානයට ලක් වී තිබෙන තවත් දෙයක් වන්නේ රාජ්‍ය ශාලා සාදන්න හවුල් වෙන අය තුළ දැකිය හැකි එක්සත්කම හා ප්‍රීතියයි. මේ වන විට රට පුරා අලුත් රාජ්‍ය ශාලා 350කට වැඩි ගණනක් සාදා තිබෙනවා. මේ නිසා සභාවන් 534කට සවි සම්පන්න ලෙස සාදා තිබෙන රාජ්‍ය ශාලාවල නමස්කාරය සඳහා එක් රැස්වෙන්න හැකි වී තිබෙනවා.

සිම්බාබ්වේහි සිටින ජනයාට බයිබලයේ සඳහන් ශුභාරංචිය ගැන දේශනා කිරීමත් රාජ්‍ය ශාලා සෑදීමත් දිගටම කෙරී ගෙන යනවා. දැනටමත් කර තිබෙන දේවල් දෙස බලද්දී මේ සෑම දෙයකටම ආශීර්වාද කර තිබෙන යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට අපි තුළ පෙලඹීමක් ඇති වෙනවා. ඇත්තෙන්ම, “යෙහෝවා ගෙය නොසාදන්නේ නම් සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති” යන වදන් මොනතරම් සත්‍යක්ද!—ගීතාවලිය 127:1.

[පාදසටහන]

^ 16 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

[9වන පිටුවේ සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

සිම්බාබ්වේ

හරාරේ

මාස්වින්ගෝ

මහ සිම්බාබ්වේ

[9වන පිටුවේ පින්තූරය]

කේතු හැඩැති කුළුණක්

[12වන පිටුවේ පින්තූරය]

කොන්සෙෂන් සභාවේ අලුත් රාජ්‍ය ශාලාව

[12වන පිටුවේ පින්තූරය]

ලින්ඩේල් සභාවේ සහෝදරයන් ඔවුන්ගේ අලුත් රාජ්‍ය ශාලාව ඉදිරිපිට

[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Ruins with steps: ©Chris van der Merwe/​AAI Fotostock/​age fotostock; tower inset: ©Ingrid van den Berg/​AAI Fotostock/​age fotostock