Skip to content

පටුනට යන්න

“විඳදරාගැනීම සහ සැනසිල්ල දෙන දෙවි” ලබා දෙන උපකාරය

“විඳදරාගැනීම සහ සැනසිල්ල දෙන දෙවි” ලබා දෙන උපකාරය

“විඳදරාගැනීම සහ සැනසිල්ල දෙන දෙවි” ලබා දෙන උපකාරය

මීට අවුරුදු 2,000කට පමණ පෙර බයිබලයේ ලේඛකයෙක් වූ පාවුල් යෙහෝවා දෙවිව, “විඳදරාගැනීම සහ සැනසිල්ල දෙන දෙවි” ලෙස හැඳින්වුවා. (රෝම 15:5) ඔහු කාලයත් සමඟ වෙනස් වන දෙවි කෙනෙක් නොවෙයි. ඒ නිසා තමන්ට සේවය කරන සියලුදෙනාටම ඔහු අවශ්‍ය සැනසිල්ල ලබා දෙනවා කියා අපිට නිසැක වෙන්න පුළුවන්. (යාකොබ් 1:17) ඔහු එය කරන්නේ කොහොමද? ඒ ගැන බයිබලයේ පැහැදිලි කරනවා. එක් ක්‍රමයක් නම් යාච්ඤාවෙන් ඔහුට කතා කරන අයට ශක්තිය ලබා දීමයි. තවත් ආකාරයක් නම් යෙහෝවා දෙවිට නමස්කාර කරන ක්‍රිස්තියානීන් මාර්ගයෙන් ඔහු ලබා දෙන සහනයයි. ඒ වගේම බයිබලයේ වාර්තා වී ඇති හදවත් ස්පර්ශ කරන සිද්ධීන් මගින්ද දරුවන් අහිමි වූ දෙමව්පියන්ට දෙවි ශක්තිය දෙනවා. මෙම ක්‍රම තුනෙන් සැනසිල්ල ලැබෙන ආකාරය ගැන දැන් අපි සලකා බලමු.

“යෙහෝවා දෙවි සවන් දුන්නේය”

යෙහෝවා දෙවි ගැන පුරාණයේ ජීවත් වූ දාවිත් නම් රජ මෙහෙම කිව්වා. “සෙනඟෙනි, සැමවිටම ඔහු විශ්වාස කරන්න. ඔහු ඉදිරියේ ඔබේ සිත් වගුරුවන්න. දෙවි අපට සරණක්ය.” (ගීතාවලිය 62:8) දාවිත් රජුට දෙවි ගැන එවන් දැඩි විශ්වාසයක් ඇති වුණේ කොහොමද? ඊට හේතුව ඔහුම එය අද්දැක තිබීමයි. ඒ ගැන දාවිත් කියන්නේ, “පීඩිතයා හඬගැසුවේය. එවිට යෙහෝවා දෙවි සවන් දුන්නේය. ඔහුගේ සියලු කරදරවලින් ඔහුව ගලවාගත්තේය” කියායි. (ගීතාවලිය 34:6, නව ලොව පරිවර්තනය, NW) දාවිත් තම ජීවිතයේ දුෂ්කරතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකදීම යාච්ඤාවෙන් දෙවි වෙතට හැරුණා. දෙවිද ඔහුට ඇහුම්කන් දී උපකාර කළා. ඒ නිසා දාවිත් නිසැකවම දැන සිටියා තමා දුෂ්කරතාවයන්ට මුහුණ දෙද්දී එය දරාගන්න දෙවි ඔහුට ශක්තිය දෙන බව.

ඒ හා සමානව දරුවන් අහිමි වීම නිසා මහත් සේ වේදනාවෙන් සිටින දෙමව්පියන්ටත් යෙහෝවා දෙවි ශක්තිය දෙනවා. ඔවුන්ට පුළුවන් ‘යාච්ඤා අසන තැනැත්තා’ කෙරෙහි බලාපොරොත්තුව තබමින් ඔහුට ඒ ගැන කියන්න. (ගීතාවලිය 65:2) කලින් ලිපියෙහි සඳහන් කළ විලියම් මෙහෙම කිව්වා. “මගේ පුතා නැති වුණාට පස්සේ මට මගේ ජීවිතෙත් එපා වුණා. මම යෙහෝවා දෙවිට කිව්වා මට කොහොමහරි සහනය දෙන්න කියලා. ඔහු මගේ යාච්ඤාවලට ඇහුම්කන් දීපු නිසා මට ජීවත් වෙන්න ශක්තිය ලැබුණා.” ඒ හා සමානව ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තබමින්, දරුවන් අහිමි වූ දෙමව්පියන් ඔහුට යාච්ඤා කරද්දී දෙවි ඔවුන්ව ශක්තිමත් කරනවා. තමන්ට සේවය කරන අයට ඔහු දෙන පොරොන්දුව මෙයයි. “මක්නිසාද ඔබේ දෙවි වූ යෙහෝවා වූ මම කතා කොට: භය නොවන්න. ඔබට පිහිටවන්නෙමියි කියමින් ඔබේ දකුණත අල්ලන්නෙමි”—යෙසායා 41:13.

අවංක මිතුරන්ගෙන් ලැබෙන සහනය

දරුවන් අහිමි වූවන්ට ඒ දුක තුනී කරගන්න කාලය අවශ්‍යයි. සමහරවිට අන් අයගෙන් ටිකක් වෙන් වෙලා තනිවම අඬන්නට පවා වුවමනා විය හැකියි. නමුත් නිතරම එලෙස අන් අයගෙන් වෙන් වී සිටීම හොඳ දෙයක් නොවෙයි. ඊට හේතුව බයිබලයේ හිතෝපදේශ 18:1හි පවසන්නේ, ‘තමාම වෙන්ව සිටින තැනැත්තා’ අනතුරකට මුහුණ දෙනවා කියායි. ඒ නිසා වියෝ දුකින් පෙළෙන දෙමව්පියන් තමුන්වම අන් අයගෙන් වෙන් කරගැනීම ඥානවන්ත දෙයක් නොවෙයි.

යෙහෝවා දෙවිට නමස්කාර කරන ක්‍රිස්තියානීන්ට පුළුවන් වේදනා විඳන අයට අස්වැසිල්ලක් වෙන්න. ඒ ගැන හිතෝපදේශ 17:17හි කියන්නේ මෙහෙමයි. “මිත්‍රයෙක් සැම කල්ම ආදරේ වෙයි. සහෝදරයෙක්ද විපත්තියේදී ආධාර පිණිස උපදින්නේය.” කලින් ලිපියෙහි සඳහන් කළ ලුසීට තම පුතා අහිමි වූ විට එවන් මිතුරන් ඇයට සහනයක් වුණා. සභාවේ සිටි එවන් ක්‍රිස්තියානි මිතුරන් ගැන ලුසී කියන්නේ මෙහෙමයි. “අපිව බලන්න ආව සමහර අය අපි එක්ක කතා කළේ හරිම ටිකයි. ඒත් ඒගොල්ලන් අපිව බලන්න ආව එකෙන් අපි ශක්තිමත් වුණා. එක යාළුවෙක් මම ගෙදර තනි වුණු වෙලාවට මාව බලන්න ආවේ මම තනියෙන් අඬනවා ඇති කියලා හිතාගෙනයි. සමහර වෙලාවට එයත් මා එක්ක ඇඬුවා. තවත් සහෝදරියක් මාව දිරිගන්වන්න හැමදාම වගේ අපේ ගෙදර ආවා. තවත් අය ඒගොල්ලන්ගේ ගෙවල්වලටත් අපිට ආරාධනා කළා. ඔවුන් නිතර නිතර ඒක කළා.”

දරුවන් අහිමි වූවන්ගේ වේදනාව ලෙහෙසියෙන් තුනී වෙන්නේ නැහැ. ඒත් දෙවිට යාච්ඤා කිරීමෙන් හා සෙසු ක්‍රිස්තියානීන්ගෙන් එවැනි අයට සහනය ලබන්න පුළුවන්. යෙහෝවා දෙවි කවදාවත් වේදනා විඳින එම දෙමව්පියන්ව අත්හරින්නේ නැහැ කියා එවැනි තත්වයන්ට මුහුණ දී ඇති ක්‍රිස්තියානීන් අද්දැක තිබෙනවා. ඇත්තෙන්ම යෙහෝවා දෙවි ගැන බයිබලයේ සඳහන් දේ කොතරම් සත්‍යක්ද? එනම් ඔහු “බිඳුණු සිත් ඇත්තන් සුව කරන්නේය. ඔවුන්ගේ තුවාල බඳින්නේය.”—ගීතාවලිය 147:3.

බයිබලයෙන් ලැබෙන සැනසිල්ල

යාච්ඤාව හා මිතුරන්ගෙන් ලැබෙන සැනසිල්ලට අමතරව, දෙවිගේම වචනය වන බයිබලයද සැනසිල්ල ගෙන දෙන උල්පතක්. එහි සඳහන් වන ආකාරයට මිය ගිය දරුවන්ව නැවත නැඟිටුවා එමගින් ඒ දෙමව්පියන්ගේ ශෝකය පහකර දමන්න යේසුස්ට හැකියාව මෙන්ම මහත් ආශාවක්ද තිබෙනවා. ඔහු එය කළ ආකාර දෙකක් පිළිබඳව අපි සලකා බලමු. එමගින් වියෝ දුකින් පෙළෙන්නන්ට සහනය ලබා ගත හැකියි.

දිනක් යේසුස්, නායින් නම් නුවරට ළඟා වෙද්දී එක් වැන්දඹුවකගේ එකම පුතාව භූමදාන කිරීමට උසුලාගෙන යනවා ඔහු දැක්කා. ඒ අවස්ථාවේදී සිදු වූ දෙය බයිබලයේ ලූක් පොතේ හත්වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එහි 13වන පදයේ පවසන්නේ මෙසේයි. “ඇය දුටු විගස ස්වාමීන් ඇය ගැන අනුකම්පාවෙන් පෙලඹී, ‘හැඬීම නවත්වන්න’ යයි ඇයට කීවේය.”

දරුවෙක් අහිමි වූ මවකට හැඬීම නවත්වන්න කියා පැවසීම කිසිම තේරුමක් නැති දෙයක් විය හැකියි. ඇයි එහෙනම් යේසුස් ඇයට එහෙම කිව්වේ? ඔහු දැනගෙන සිටියා ඒ මවගේ ශෝකය තව ටිකකින් පහවෙලා යන බව. බයිබලයේ ඒ ගැන තවදුරටත් කියන්නේ, “[යේසුස්] ළඟා වී දෙණයට අත තැබූ විට, එය උසුලාගෙන ගිය අය නතර වූහ. ඔහු, ‘තරුණය, නැඟිටින්නැයි මම ඔබට කියමි!’ යයි කීවේය. එවිට මිය ගොස් සිටි මිනිසා ඉඳගෙන කතා කරන්න පටන්ගත්තේය. යේසුස් ඔහුව සිය මවට භාර දුන්නේය” කියායි. (ලූක් 7:14, 15) එක මොහොතකින් ඒ මවගේ දුක් කඳුළු සතුටු කඳුළු බවට හැරුණා.

තවත් අවස්ථාවකදී යායිරස් නම් මිනිසෙක් යේසුස්ව හමු වීමට පැමිණියා. ඒ දැඩි ලෙස අසනීප වී සිටින තම 12 හැවිරිදි දියණියව සුව කරගැනීමටයි. ඒත් ටික මොහොතකින් තම දියණිය මිය ගොස් ඇති බව යායිරස්ට දැනගන්න ලැබුණු විට ඔහු මහත් සේ ශෝකයට පත් වෙනවා. නමුත් යේසුස් ඔහුට කිව්වේ, “භය නොවන්න, ඇදහිල්ල පමණක් පෙන්වන්න” කියායි. පසුව ඔහු දැරියගේ දේහය ඇති නිවසට යනවා. එහිදී යේසුස්, ඇගේ අත අල්ලා, “දැරිය, මම ඔබට කියමි, නැඟිටින්න!” කියා පැවසුවා. ඉන්පසු සිදු වුණේ කුමක්ද? ‘ඒ දැරිය එකෙණෙහිම නැඟිට ඇවිද්දා’ කියා වාර්තාවේ සඳහන් වෙයි. මේ නිසා මේ දැරියගේ දෙමව්පියන් කොතරම් සතුටු වුණාද කියනවා නම් ‘ඔවුන් ඉමහත් ප්‍රීතියකින් විස්මයට පත් වුණා.’ යායිරස් සහ ඔහුගේ භාර්යාව සන්තෝෂයෙන් තම දියණියව වැළඳගත් අතර ඔවුන්ට එය හීනයක් මෙන් වෙන්න ඇති.—මාක් 5:22-24, 35-43.

දරුවන්ව නැවත නැඟිටුවීම ගැන බයිබලයේ සඳහන් එවන් වාර්තා මගින් දරුවන් අහිමි වූ දෙමව්පියන්ට බලාපොරොත්තුවක් ලබා දෙනවා. යේසුස් ඒ ගැන පැවසුවේ, ‘සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණි විට ඔවුන් පිටතට එන්නෝය’ කියායි. (යොහන් 5:28, 29) යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මිය ගොස් ඇති අයව නැවත නැඟිටුවන්න යෙහෝවා දෙවි අරමුණු කර තිබෙනවා. ඊට දැනටමත් මිය ගොස් සිටින අසංඛ්‍යාත ගණනක් වූ දරුවන්ද ඇතුළත්. ඉතා ළඟදීම “මම ඔබට කියමි, නැඟිටින්න!” යන ‘ඔහුගේ හඬ ඇසී’ ඔවුන් නැවතත් ජීවනයට පැමිණෙන්න නියමිතයි. එවිට ඔවුන්ගේ දෙමව්පියන්, යායිරස් සහ ඔහුගේ බිරිඳ මෙන් ‘ඉමහත් ප්‍රීතියකින් විස්මයට’ පත් වෙනවා නිසැකයි.

ඔබගෙත් පුතා හෝ දුව මරණය නිසා ඔබට අහිමි වී තිබෙනවාද? එය එසේ නම් ඔබේ දරුවාව නැවත නැඟිටුවීම තුළින් ඔබේ ශෝකය ප්‍රීතියට හරවන්න යෙහෝවා දෙවි සූදානම් බව මතකයේ තබාගන්න. මෙය අද්දකින්න නම් ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “යෙහෝවා දෙවිව සොයන්න. ඔහුගේ ශක්තිය අයැදින්න. නිතරම ඔහුව සොයන්න. ඔහු කර ඇති පුදුමාකාර දේවල්ද ඔහුගේ ආශ්චාර්යයන්ද . . . සිහි කරන්න.” (ගීතාවලිය 105:4, 5, NW) යෙහෝවා දෙවිට සේවය කර ඔහු ඔබෙන් අපේක්ෂා කරන ආකාරයට ඔහුට නමස්කාර කරන්න.

ඔබ ‘යෙහෝවා දෙවිව සෙව්වොත්’ නැතිනම් ඔහුව ඔබේ මිතුරා කරගත්තොත් ඔබට දැන් පවා උපකාර කරන්න ඔහු සූදානම්. ඔහුට යාච්ඤා කිරීමෙන් ඔබ ලබන ශක්තිය ඉන් එක් උපකාරයක්. ඒ වගේම බයිබලයේ සඳහන් පොරොන්දු මගින් බලාපොරොත්තුවක් ඇතිව සිටින්නත් හැකි වෙන අතර දෙවිට නමස්කාර කරන මිතුරන්ගෙන් ඔබට සහනය ලබාගන්නත් පුළුවන්. මේ සියල්ලටම වඩා නුදුරු අනාගතයේදී යෙහෝවා දෙවි ඔබ වෙනුවෙනුත් ඔබේ මිය ගිය දරුවා වෙනුවෙනුත් ‘පුදුමාකාර දේවල් සහ ආශ්චර්යයන්’ කරන ආකාරය ඔබටම දැකගන්න හැකි වෙනවා.

[5වන පිටුවේ කොටුව]

‘දරුවන් මිය ගිය අර ගැහැණු කෙනාට එන්න කියන්න’

නයිජීරියාවේ වෙසෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර යුවළක් වන කෙහින්ඩේට සහ බින්ටුට රිය අනතුරක් නිසා ඔවුන්ගේ දරුවන් හතරදෙනාගෙන් දෙදෙනෙක්ම අහිමි වුණා. මේ අහිමි වීම ඔවුන්ට මහත් වේදනාවක් ගෙන දුන්නා. මෙවැනි තත්වයකට ඔවුන් මුහුණ දුන්නත් දිගටම අන් අය සමඟ බයිබලයේ ඇති ප්‍රීතිමත් බලාපොරොත්තුව ගැන කතා කරන්න ඔවුන් අමතක කළේ නැහැ. ඔවුන්ට මේ වේදනාව දරාගන්න පුළුවන් වුණේ ඔවුන් යෙහෝවා දෙවි කෙරෙහි දිගටම විශ්වාසය තබා කටයුතු කළ නිසයි.

බින්ටු සහ කෙහින්ඩේගේ දරුවන් දෙදෙනා මිය ගියත් ඔවුන් එය දරාගෙන ශක්තිමත්ව ඉන්න ආකාරය අන් අයගේ අවධානයට ලක් වුණා. දිනක් යූකෝලි නම් කාන්තාවක් බින්ටුගේ මිතුරෙකුට මෙහෙම කිව්වා. “දරුවන් දෙන්නා මැරිලත් තාම දෙවියන් ගැන දේශනා කරන අර ගැහැණු කෙනාට එන්න කියන්න. මට දැන ගන්න ඕනා මේ වේදනාව දරාගන්න එයාට ශක්තිය ලැබුණේ කොහොමද කියලා.” පසුව බින්ටු, යූකෝලිව හමුවෙන්න ගියා. එතකොට ඇය බින්ටුගෙන් මෙහෙම ඇහුවා. “මට කියන්න, දෙවියන් ඔයාගේ දරුවන් දෙන්නාව මරලත් ඇයි ඔයා තාම දෙවියන් ගැන කතා කරන්නේ කියලා. ඔය දෙවියන් තමයි මගේ එකම දුවවත් මගෙන් උදුරගත්තේ. එදා ඉඳලා මට දෙවියන්ව එපා වුණා.” නමුත් බින්ටු, ඇයට පැහැදිලි කළා මිනිසුන් මැරෙන්නේ ඇයි කියලා. ඒ විතරක් නෙවෙයි අපි ආදරය කළ මිය ගිය අයව දෙවි නැවත නැඟිටුවන්න යන බවට අපිට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද කියලත් බයිබලයෙන්ම ඇයට පැහැදිලි කළා.—ක්‍රියා 24:15; රෝම 5:12.

අවසානයේදී යූකෝලි මෙහෙම කිව්වා. “මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මිනිසුන් මැරෙන්නේ දෙවියන් නිසා කියලයි. ඒත් දැන් මම දන්නවා ඇත්ත ඒක නෙවෙයි කියලා.” ඇයට දෙවි ගැනත් ඔහු දී ඇති පොරොන්දු ගැනත් තව තවත් දැනගන්න අවශ්‍ය වුණ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න ඇය කැමති වුණා.

[6වන පිටුවේ කොටුව]

ඔවුන් ගැන සැලකිල්ල දක්වන්න පුළුවන් කොහොමද?

දරුවෙක් අහිමි වූ විට, ඒ පවුලේ අය අද්දකින්නේ ඉමහත් ශෝකයක්. එවැනි අයට ඔබගේ සහයෝගය ඉතා වටිනවා. ඔවුන්ට අපේ සැලකිල්ල පෙන්විය හැකි ක්‍රම කිහිපයක් පහත සඳහන් වෙයි.

❖ ඔවුන්ව බැහැදකින්න යන්න. ඔබ ඔවුන් සමඟ සිටීමම ඔවුන්ට ශක්තියක්. ඔබේ අවංක ශෝකය සහ කනගාටුව ඔවුන්ට පෙනෙන්න සලස්වන්න. ඔබේ මුහුණේ ඉරියව්වලින් සහ ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමෙන් එය පෙන්වන්න. බයිබලයේ සඳහන් වෙන්නේ “හඬන අයත් සමඟ හඬන්න” කියායි. (රෝම 12:15) ඔබ ඔවුන් සමඟ අඬනවා නම් ඇත්තෙන්ම ඔබ කරන්නේ ඔවුන්ගේ දුක බෙදාගැනීමයි. එය ඔවුන්ට සහනයක්.

❖ මුල් පියවර ගන්න. එනම් ඔවුන් වෙනුවෙන් කෑම වේලක් පිළියෙල කරන්න හෝ ඔවුන්ගේ ගෙදර දොරේ වැඩ කටයුතුවලට සහය වෙන්න ඔබට පුළුවන්ද? නමුත් “උදව්වක් ඕනෙ නම් මට කියන්න” කියා පැවසීමෙන් වළකින්න. ඔබ අවංක චේතනාවකින් එසේ පැවසුවත් ඉන් අදහස් විය හැක්කේ ඔවුන්ට උදව් කරන්න තරම් වෙලාවක් ඔබට නැහැ කියායි. ඒ වෙනුවට “මට දැන් ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද?” කියා අසා, එය කරන්න. නමුත් ඔවුන්ගේ පෞද්ගලික කාරණාවලට අත ගැසීමෙන් හෝ ඔවුන්ගේ නිදහසට බාධා වන අයුරින් නිවසේ පෞද්ගලික ස්ථානවලට යෑමෙන් වළකින්න.

❖ “ඔයාගේ දුක මට තේරෙනවා” කියා පැවසීමෙන්ද වළකින්න. ඔබත් එවැනි තත්වයකට කලින් මුහුණ දී තිබෙන්න පුළුවන්. නමුත් අපි එකිනෙකාට වේදනාව දැනෙන ආකාරය වෙනස්. ඒ නිසා ඔවුන්ට දැනෙන වේදනාවම අපිට දැනෙනවා කියා කියන්න බැහැ.

❖ ඔවුන්ට නැවතත් සාමාන්‍යය ජීවිතයට හැඩ ගැසෙන්න යම් කාලයක් ගත වෙනවා. ඔබට හැකි උපරිමයෙන් ඔවුන්ට සහයෝගය දෙන්න. සාමාන්‍යයෙන් පවුලක් එවැනි විපතකට මුහුණ දුන් ගමන්ම හැමෝගේම අවධානය ඔවුන්ට ලැබෙනවා. නමුත් ඔවුන්ගේ අවශ්‍යතා ගැන ඔබ දක්වන අවධානය ඉන් එහාටත් ඒ කියන්නේ, සති හෝ මාස ගණනක් ගත වෙන තුරුම ඔවුන්ට පෙන්වන්න. *

[පාදසටහන]

^ 29 ඡේ. දරුවන් අහිමි වූ දෙමව්පියන්ට උපකාර කළ හැකි ආකාර ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට යන විවරණිකාවේ 20-24 දක්වා පිටුවල ඇති, “උපකාර කිරීමට අන්‍යයන්ට හැක්කේ කෙසේද?” යන පරිච්ඡේදය බලන්න.

[7වන පිටුවේ පින්තූර]

මිය ගිය දරුවන්ව නැවත ජීවත් කරවන්න යේසුස්ට ආශාවක් මෙන්ම හැකියාවක්ද තිබෙන බව බයිබලයේ පෙන්වනවා