Skip to content

පටුනට යන්න

දරුවෙනි ඔබේ දෙමව්පියන්ගේ සිත් සතුටු කරන්න

දරුවෙනි ඔබේ දෙමව්පියන්ගේ සිත් සතුටු කරන්න

දරුවෙනි ඔබේ දෙමව්පියන්ගේ සිත් සතුටු කරන්න

“මාගේ දරුවන් සත්‍යයෙහි ගමන් කරමින් සිටින බව ඇසීමට වඩා ස්තුතිවන්ත වීමට හේතුවක් මට නැත.” (3 යොහන් 4) ඉහත සඳහන් දරුවන් යන වචනය යොහන් අදාළ කළේ එවකට ජීවත් වූ ක්‍රිස්තියානීන්ටයි. ඒ වුණත් ඒ වචනවල ඇති සත්‍යතාව යෙහෝවා දෙවිට නමස්කාර කරන දෙමව්පියන්ද හොඳින් දන්නා දෙයක්. මේ අනුව බලද්දී දෙමව්පියන් තම දරුවන්ගේ ජීවිතවලට ලොකු බලපෑමක් ඇති කරනවා. අනෙක් අතට දරුවන්ද තම දෙමව්පියන්ගේ ජීවිතවලට ඒ හා සමාන බලපෑමක් ඇති කරනවා.

ඒ බව තේරුම්ගත් ඊශ්‍රායෙලයේ රජකම් කළ සලමොන් මෙසේ පැවසුවා. “ඥානවන්ත පුත්‍රයෙක් පියා සතුටු කරයි. එහෙත් අඥාන පුත්‍රයෙක් තමන් මවට බරක් වේ.” (හිතෝපදේශ 10:1) ඒ නිසා සියලුම යෞවන දරුවන්, තමන්ගේ ක්‍රියා කලාපයන් මගින් දෙමව්පියන් මත ඇති කරන බලපෑම ගැන ගැඹුරින් සිතා බැලිය යුතුයි. ඒ ඇයි?

දෙවිට ප්‍රේම කරන දෙමව්පියන් ඔබව උස් මහත් කරන්න ගත් වෑයම ගැන මොහොතක් සිතා බලන්න! ඔවුන් ඔබ වෙනුවෙන් යාච්ඤා කරන්න සහ සැලකිල්ල දක්වන්න පටන්ගත්තේ ඔබ ඉපදෙන්නත් පෙර සිටමයි. ඔබ ඉපදුණු පසු ඔබේ මවට සහ පියාට ඔබ සමඟ මහත් සෙනහස මුසු වූ බැඳීමක් ඇති වුණා. යෙහෝවා දෙවි, තමන්ට දෙමව්පියන් වීමේ පුදුමාකාර ආශීර්වාදය ලබා දීම ගැන ඔවුන් ගොඩක් සතුටු වුණා. ඒ ගැන ඔවුන් දෙවිට ස්තුති කරනවා. යෙහෝවා දෙවිට නමස්කාර කරන්නන් හැටියට ඔබව හදා වඩා ගැනීමේ වගකීම ඔවුන් සැහැල්ලුවට ගත්තේ නැහැ.

සැබෑ ක්‍රිස්තියානීන් වූ ඔබේ දෙමව්පියන් ඔබව යහමඟ යවන්න අවශ්‍ය උපදෙස් සොයාගන්න බයිබලය සහ ඒ මත පදනම් පොත් පත් කියෙව්වා. දරුවන් හදා වඩා ගැනීම ගැන අද්දැකීම් ඇති අයගෙන් උපදෙස්ද පැතුවා. ඒ වගේම ඔබ සම්බන්ධයෙන් දෙවිට යාච්ඤා කිරීමටත් ඔවුන් අමතක කළේ නැහැ. (විනිශ්චයකාරයෝ 13:8) ඔබ ටිකෙන් ටික වැඩිහිටියෙක් බවට පත් වෙන කොට ඔබේ යහපත් ගති පැවතුම් වගේම ඔබේ අඩු පාඩුකම්ද ඔවුන් හොඳින් දැක්කා. (යෝබ් 1:5) ඔබ නහඹර වියට පා තබනවාත් සමඟම සමහරවිට ඔබ හිතුවක්කාර ලෙස කටයුතු කළ අවස්ථාද තියෙන්න ඇති. එවැනි අවස්ථාවලදී ඔබේ දෙමව්පියන් ඔබ ගැන වැඩිපුර යාච්ඤා කරන්න, ඔබ ගැන හිතන්න සහ ඔබට උපකාර කිරීම සඳහා දේවල් සොයා බලන්න කාලය වැය කළා. ඒ වෙන කිසි හේතුවක් නිසා නොවේ, ඔබේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිට දිගටම නමස්කාර කිරීමට ඔබට හැකි කරවීම සඳහායි.

දෙමව්පියන් හැටියට ඔවුන්ගේ යුතුකම් ඔවුන් දිගටම ඉටු කරන අතර ඔබ ගැන දක්වන සැලකිල්ලද අඩු කරන්නේ නැහැ. ඔබ වැඩිහිටියෙක් වූ පසුවත් ඔබේ ශාරීරික, මානසික, චිත්තවේගීය අවශ්‍යතා මෙන්ම දෙවි සමඟ ඇති ඔබේ සම්බන්ධතාවය ගැනත් ඔවුන් සිටින්නේ අවධානයෙන්. හැබැයි ජීවිතයේ එක් අවධියක ඔබට තනියෙන් තීරණ ගන්න නිදහස දෙන්න ඔබේ දෙමව්පියන්ට සිදු වෙනවා. ඉන් එහාට ජීවිතය ගැන තීරණ ගැනීම ඔබ සතු දෙයක්.

ඔබ ඒ නිදහස නිවැරදි ලෙස භාවිත කරමින් “සත්‍යයෙහි ගමන් කරමින් සිටින බව” දකිනවාට වඩා “ස්තුතිවන්ත වීමට හේතුවක්” ඔවුන්ට තවත් නැහැ. නමුත් අනිත් අතට ඔබ එම නිදහස අඥාන ලෙස භාවිත කළහොත් එය ඔවුන්ට මහත් වේදනාවක්. ඒ ගැන සලමොන් කිව්වේ, “අඥාන පුත්‍රයා තමන් පියාට ශෝකයකි. ඔහු වැදූ ඇත්තීට තික්තකම වේ” කියායි. (හිතෝපදේශ 17:25) ඇත්තෙන්ම දරුවෙක් සැබෑ නමස්කාරය අත්හැර ගියොත් එය දෙමව්පියන්ට කොතරම් වේදනාවක්ද!

මින් පැහැදිලි වෙන්නේ ඔබේ හැසිරීම මගින් ඔබේ පවුලේ අය මතත්, අන් අය මතත් විශාල බලපෑමක් ඇති වෙන බවයි. දෙමව්පියන්ගේ සතුටට ඔබ කෙළින්ම සම්බන්ධයි. ඔබ යෙහෝවා දෙවිවත් ඔහු දී තිබෙන ප්‍රතිපත්තිත් නොසලකා හැරියහොත් දුක් විඳින්නේ ඔබේම දෙමව්පියන්. නමුත් අනික් අතට ඔබ යෙහෝවා දෙවිට කීකරුව, ඔහුට විශ්වාසවන්තව සිටිනවා නම් ඔවුන් මහත් සේ සතුටු වෙනවා. එමනිසා ඔබේ දෙමව්පියන්ගේ සිත් සතුටු කිරීමට ඔබ අධිෂ්ඨාන කරගන්න! ඔබට ආදරය කරමින්, රැකබලා ගනිමින් ඔබව හදා වඩා ගත් ඔබේ දෙමව්පියන්ට දිය හැකි ඊට වඩා අනර්ඝ ත්‍යාගයක් තවත් ඔබට තියෙනවාද?