Skip to content

පටුනට යන්න

අසාධාරණයකට ලක් වන විට

අසාධාරණයකට ලක් වන විට

අසාධාරණයකට ලක් වන විට

කිසිම අසාධාරණයකට ලක් වී නැති කෙනෙක්ව ඔබට හමු වී තිබෙනවාද? තමන්ට අසාධාරණයක් සිදු වී ඇතැයි කියා සමහරුන් සිතින් මවාගන්නවා. අනෙක් අතට තවත් සමහරුන් ඇත්තටම ඊට ගොදුරු වී තිබෙනවා.

අපි යම් අසාධාරණයකට ලක් වන විට ඒ ගැන ලොකු හිත් වේදනාවක් දැනෙනවා වගේම යෙහෝවා දෙවි කෙරෙහි ඇති අපගේ ඇදහිල්ලද තර්ජනයට ලක් වෙනවා විය හැකියි. බොහෝවිට එවැනි අවස්ථාවලදී වරද නිවැරදි කර යුක්තිය ඉටු කරගන්න අපිට මහත් වුවමනාවක් ඇති වෙනවා. එසේ හැඟෙන්නේ ඇයි? ඊට එක් හේතුවක් නම් ‘අයුතුකමෙන් තොර වූ දෙවි’ අපව නිර්මාණය කර තිබෙන්නේ යුක්තිය කියන ගුණාංගය ඇතිව නිසයි. (ද්විතීය කතාව 32:4; උත්පත්ති 1:26) නමුත් සමහරවිට අපි මුහුණ දෙන අසාධාරණකම් නිසා අසරණභාවයට පත් වෙන්න පුළුවන්. සලමොන් රජ ඒ ගැන පැවසුවේ මෙසේයි. “ඉර යට සිදු වන සියලු පීඩාකාරී දේවල් ගැන මම නැවත කල්පනා කළෙමි. පීඩාවට ලක් වූවන්ගේ කඳුළු දුටිමි. නමුත් ඔවුන්ව සනසන්න කිසිවෙක් සිටියේ නැත. ඔවුන්ට පීඩා කරන්නන් බලවත් අය වූ නිසා ඔවුන්ව සනසන්න කිසිවෙක් සිටියේ නැත.” (දේශනාකාරයා 4:1, නව ලොව පරිවර්තනය, NW) එසේනම් අසාධාරණයකට ලක් වන විට අපිට කුමක් කළ හැකිද?

අසාධාරණයක් කියන්නේ කුමක්ද?

යම් දෙයක් සාධාරණයි හෝ අසාධාරණයි කියා තීරණය වන්නේ කුමන ප්‍රමිතියකට අනුවද? ඒ සඳහා නීති ප්‍රතිපත්ති සපයන්න අයිතිය ඇති සුදුසුම තැනැත්තා වන්නේ අපගේ ධර්මිෂ්ඨ දෙවි යෙහෝවායි. දෙවි සිතන ආකාරයට අනුව ‘ප්‍රතිපත්ති ගරුක ලෙස ජීවත් වීම’ යන්නෙන් අදහස් කරන්නේ ‘අයුක්තියෙන් තොරව’ ජීවත් වීමයි. (එසකියෙල් 33:15, NW) යෙහෝවා දෙවි මුල් මිනිස් යුවළව නිර්මාණය කළ විට ඔවුන්ට හෘදය සාක්ෂිය හෙවත් හරි වැරැද්ද කුමක්ද කියා තේරුම්ගැනීමේ හැකියාව ලබා දුන්නා. (රෝම 2:14, 15) ඊට අමතරව ඒ සම්බන්ධයෙන් වැඩිමනත් තොරතුරු ඇතුළත් ඔහුගේම වචනය වන බයිබලයත් ලබා දී තිබෙනවා.

අපිට යම් අසාධාරණයක් සිදු වෙලා කියා හැඟෙන විට කුමක් කළ හැකිද? එය දැනගැනීමට අනාගතවක්තෘ යෝනාගේ සිද්ධිය සලකා බලන්න. නිනිවයේ වැසියන්ට පැමිණීමට නියමිතව තිබූ විනාශය ගැන දන්වන්න කියා යෙහෝවා දෙවි අණ කළත් ඔහු වෙනත් ප්‍රදේශයකට පලා ගියා. නමුත් පසුව යෝනා එම පැවරුම ඉෂ්ට කිරීමේ ප්‍රතිඵලයක් හැටියට එහි වැසියන් පසුතැවිලි වුණා. ඒ නිසා යෙහෝවා දෙවි එම විනාශය නොගෙනෙන්න තීරණය කළා. ඒ ගැන යෝනාට හැඟුණේ කොහොමද? බයිබලයේ පවසන්නේ ‘යෝනා ඒ ගැන බෙහෙවින් අසතුටු වී කෝප වුණා’ කියායි. (යෝනා 4:1, NW) එමෙන්ම යෙහෝවා දෙවි තමාට කළේ ලොකු අසාධාරණයක් කියාත් යෝනාට හැඟුණා.

ඇත්තටම යෙහෝවා දෙවි ඔහුට අසාධාරණයක් කළාද? බයිබලයේ පවසන්නේ යෙහෝවා ‘ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රේම කරන’ මිනිසුන්ගේ සිත්වල ඇති දේ දන්නා වූ දෙවි කෙනෙක් බවයි. (ගීතාවලිය 33:5, NW) යෙහෝවා දෙවි අත කිසි වරදක් නැති බව මින් පැහැදිලියි. මෙහිදී යෙහෝවා දෙවි එසේ කිරීමට තීරණය කළේ ඔහුගේ යුක්තිය කියන ගුණාංගයට එකඟව බව තේරුම්ගැනීමට යෝනාට සිදු වුණා. ඒ හා සමානව අපටත් යම් අසාධාරණයක් සිදු වෙලා කියා හැඟෙන විට අපි මෙසේ අසාගනිමු. මේ කාරණය ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේත් මට හැඟෙන විදිහටමද?

අසාධාරණයට මුහුණ දීම

අසාධාරණකම්වලට ලක් වූ බොහෝදෙනෙකු පිළිබඳ වාර්තා බයිබලයේ අඩංගුයි. එවැනි තත්වයන්ට ඔවුන් සාර්ථකව මුහුණ දුන් ආකාරයෙන් අපිටත් යමක් ඉගෙනගන්න පුළුවන්. උදාහරණයකට යෝසෙප්ට සිදු වූ දෙය සලකා බලන්න. ඔහුට ඊර්ෂ්‍යා කළ ඔහුගේ සහෝදරයන් ඔහුව ඊජිප්තුවේ වහල්කමට වික්කා. එහිදී ඔහුගේ ස්වාමියාගේ භාර්යාව ඔහුව අනාචාරයට පොලඹවාගැනීමට උත්සාහ කළත් යෝසෙප් එය ප්‍රතික්ෂේප කළා. එහි ප්‍රතිඵලය වුණේ තමාට බලහත්කාරකම් කරන්න උත්සාහ කළා කියා ඇය විසින් යෝසෙප්ට බොරු චෝදනා නැඟීමයි. ඒ නිසා ඔහුට හිරගෙට යන්නත් සිදු වුණා. නමුත් යෙහෝවා දෙවි සමඟ ඔහුට තිබූ ශක්තිමත් මිත්‍රත්වය නැති කර දමන්න ඔහු මුහුණ පෑ ඒ අසාධාරණකම්වලට ඉඩහැරියේ නැහැ. සිරගෙයි ඔහුට දමා තිබුණු දම්වැල්වලට වඩා ශක්තිමත් ඇදහිල්ලක් ඔහුට තිබුණා.—උත්පත්ති 37:18-28; 39:4-20; ගීතාවලිය 105:17-19.

පුරාණ ඊශ්‍රායෙලයේ ජීවත් වූ නාබොත්ද එවැනිම අසාධාරණයකට ලක් වුණා. ඊශ්‍රායෙලයේ රජමාලිගාවට යාබදව උරුමයෙන් ලැබුණු බිම් කොටසක් ඔහුට තිබුණා. එහි රජ වූ ආහබ් ඊට දැක්වූයේ මහත් කෑදරකමක්. එය තමාට විකුණන්න කියා රජ නාබොත්ගෙන් ඉල්ලා සිටියා. නමුත් තමන්ට උරුමයෙන් ලැබුණු දේපළ විකිණීම ඊශ්‍රායෙල්වරුන්ට නීතියෙන් තහනම් කර තිබූ නිසා ඔහු ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. (ලෙවී කතාව 25:23) කපටි ස්ත්‍රියක් වූ රජ බිසව මේ අවස්ථාවේදී එය ලබාගන්න දුෂ්ට කුමන්ත්‍රණයක යෙදුණා. නාබොත්, රජටත් දෙවිටත් විරුද්ධව අපහාස කළා කියා චෝදනා කිරීමට ඇය බොරු සාක්ෂිකරුවන් දෙදෙනෙකුව යෙදවූ අතර අවසානයේදී ඔහුවත් ඔහුගේ පුත්‍රයන්වත් ගල් ගසා මරා දැමුවා. තමන්ව මැරීමට මිනිසුන් ගල් අතට ගනිද්දී නාබොත්ට කෙසේ හැඟෙන්න ඇද්ද කියා ඔබට සිතාගන්න පුළුවන්ද?—1 රාජාවලිය 21:1-14; 2 රාජාවලිය 9:26.

දැන් අපි යේසුස් ගැන සලකා බලමු. ඔහු අද්දුටු ආකාරයේ අසාධාරණයක් නම් වෙන කිසි මිනිසෙකු අද්දැක නැති තරම්. ඔහු සම්බන්ධයෙන් කළ නඩු විභාගය නීති විරෝධී එකක් වූ අතර බොරු සාක්ෂිද ඊට ඇතුළත් වුණා. යේසුස් නිර්දෝෂ බව දැන දැනත් නඩුව විභාග කළ රෝම ආණ්ඩුකාරයා සත්‍යය ඉදිරියෙහි ඇස් වසාගෙන සිටියා. මේ සියලු අසාධාරණකම් විඳ අවසානයේදී යේසුස් කුරිරු මරණයකටද ගොදුරු වුණා.—යොහන් 18:38-40.

මෙතෙක් සලකා බැලූ උදාහරණවලින් පෙනෙන්නේ යෙහෝවා දෙවි අසාධාරණය ගණන් ගන්නේ නැති බවද? කොහෙත්ම නැහැ. ඒ සෑම අවස්ථාවකදීම යෙහෝවා දෙවි ඒවා දෙස බැලුවේ මිනිසුන් බලන ආකාරයට නොවෙයි. (යෙසායා 55:8, 9) යෝසෙප්ට එවැනි තත්වයකට මුහුණ දෙන්නත් අවසානයේදී සිරගෙට යන්නත් යෙහෝවා දෙවි ඉඩහැරීමට හේතුව ගැන සලකා බලන්න. පාරාවෝ රජ සිහිනයක් දුටු අතර එය තේරුම් කරදෙන්න යෝසෙප්ට හැකි බව වරක් යෝසෙප් සමඟ සිටි සිරකරුවෙක් රජට පැවසුවා. සිහිනයේ තේරුම පහදා දුන් නිසා යෝසෙප්ව රටේ ආහාර පරිපාලකයා බවට පත් කළා. ඊට පසුව පැමිණි දැඩි නියං කාලයේදී තම පවුලේ අයට ආහාර සපයමින් ඔවුන්ව ආරක්ෂා කරන්නද එමගින් ඔහුට හැකිකම ලැබුණා.—උත්පත්ති 40:1; 41:9-14; 45:4-8.

නාබොත්ගේ සිද්ධිය දෙසත් යෙහෝවා දෙවි බලන ආකාරයටම බලන්න උත්සාහ කරන්න. යෙහෝවා දෙවිට මළවුන්ව නැවත නැඟිටුවිය හැකි නිසා ඔහුට නම් නාබොත් තවමත් ජීවමාන කෙනෙක්. (1 රාජාවලිය 21:19; ලූක් 20:37, 38) මිය ගිය අය කිසිවක් නොදන්නා බව බයිබලයේ පවසනවා. ඒ නිසා නාබොත්ව නැවත නැඟිටුවන විට තමන් බොහෝ කලක් පුරා මරණයේ සැතපී සිටි බවක් ඔහුට දැනෙන එකක් නැහැ. (දේශනාකාරයා 9:5) ඊට අමතරව ආහබ්ටත් ඒ මිනිමරු කුමන්ත්‍රණයට හවුල් වූ සියලුදෙනාටත් දඬුවම් කිරීමෙන් යෙහෝවා දෙවි නාබොත්ට යුක්තිය ඉටු කළා.—2 රාජාවලිය 9:21, 24, 26, 35, 36; 10:1-11; යොහන් 5:28, 29.

සතුරන් යේසුස්ව මරණයට පත් කළා. නමුත් යෙහෝවා දෙවි ඔහුව නැවත නැඟිටුවා “සෑම ආණ්ඩුවකටත්, අධිකාරයකටත්, බලයකටත්, ස්වාමිකමකටත්, නම් කරනු ලබන සියලු නාමවලටත් වඩා බොහෝ සෙයින්” උසස් කළා. (එෆීස 1:20, 21) යේසුස් සාතන්ගේ දැඩි අසාධාරණකම්වලට මුහුණ දුන්නත් යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඔහුට අහිමි වුණේ නැහැ. තමන් මුහුණ දෙමින් සිටි සියලු අසාධාරණකම් එක මොහොතකින් ඉවත් කරන්න තම පියාට හැකි බව යේසුස් හොඳින්ම දැන සිටියා. නමුත් සියලු අසාධාරණකම් නැති කර දමන්නත් බයිබලයේ දී ඇති අනාවැකි ඉටු කරන්නත් තම පියාට නියමිත කාලයක් තිබෙන බව ඔහු හොඳින් තේරුම්ගත්තා.

සාතන් සහ ඔහුගේ නියෝජිතයන් දෙවිගේ ධර්මිෂ්ඨ සේවකයන්ට ඉතා අසාධාරණ ලෙස සලකා ඇති බව සත්‍යයක්. නමුත් යෙහෝවා දෙවි ඔවුන්ගෙන් සමහරදෙනෙකුට සම්පූර්ණයෙන්ම සාධාරණය ඉෂ්ට කළ අතර අනාගතයේදී සියලුදෙනාටම යුක්තිය ඉෂ්ට කිරීමට නියමිතයි. ඔහු එසේ කරන තෙක් අපි ඉවසීමෙන් බලා සිටිය යුතුයි.—ද්විතීය කතාව 25:16; රෝම 12:17-19.

දෙවි ඉඩහැරීමට හේතුව

දෙවි අසාධාරණයට ඉඩහැරීම තුළින් අපි තුළ හොඳ ගුණාංග වර්ධනය කරගැනීමට දෙවි අපට අවස්ථාවක් ලබා දෙනවා විය හැකියි. එහෙත් බයිබලයේ පවසන්නේ දෙවි “නපුරු දෙයින් කිසිවෙකුව පරීක්ෂා කරන්නේ නැත” කියායි. (යාකොබ් 1:13) අසාධාරණයකට මුහුණ දීමට දෙවි අපිට ඉඩහැරියත් ඔහු අප සමඟ සිට අපව ශක්තිමත් කරනවා. ඒ ගැන බයිබලයේ මෙවැනි සහතිකයක් දෙනවා. “සියලු මහත් කරුණාවේ දෙවිම ඔබ ටික කලක් දුක් වින්ද පසු, ඔබේ පුහුණුව සම්පූර්ණ කර, ඔබව ස්ථිර කරනු ඇත. ඔහු ඔබව ශක්තිමත් කරනු ඇත.”—1 පේතෘස් 5:10.

දෙවි අසාධාරණකම්වලට ඉඩහැරීමට තවත් හේතුවක් තිබෙනවා. එනම් එවැනි ක්‍රියා කරන අයට පසුතැවිලි වීමට අවස්ථාවක් ලබා දීමයි. යේසුස්ව ඝාතනය කර සති කිහිපයකට පසුව පේතෘස් කළ දේශනාවකට සවන් දුන් යුදෙව්වන්ගේ “සිත් පසාරු වී” දෙවිගේ වචනය උද්‍යෝගයෙන් පිළිගෙන බව්තීස්ම වුණා. (ක්‍රියා 2:36-42) ඉන් පැහැදිලි වන්නේ දෙවි අසාධාරණකම්වලට ඉඩහැරීමෙන් යම් ප්‍රයෝජන අත් වන බවයි.

සෑම කෙනෙක්ම එයාකාරයෙන් පසුතැවිලි නොවන බව ඇත්තයි. සමහරුන් නොනවත්වාම අසාධාරණකම් කරන්න පුළුවන්. එවැනි අය ගැන හිතෝපදේශ 29:1හි [NW] පවසන්නේ මෙසේයි. “නිතරම අවවාද ලැබුවත් මුරණ්ඩු වන මිනිසා යළි සුවයක් නොලබන සේ හදිසියේම විනාශ වී යයි.” මෙසේ දිගින් දිගටම අසාධාරණ ලෙස කටයුතු කරන අයව යෙහෝවා දෙවි තම නියමිත කාලයේදී මේ පොළොවෙන් තුරන් කර දමනවා නිසැකයි.—දේශනාකාරයා 8:11-13.

සම්පූර්ණයෙන්ම සාධාරණය ඉෂ්ට වෙන්න තව කොපමණ කලක් ගත වුණත් ඒ වන තෙක් අපිට අවශ්‍ය උපකාර යෙහෝවා දෙවි දෙන බවට කිසිම සැකයක් නැහැ. අපි මුහුණ දුන් අසාධාරණය නිසා ඇති වී තිබෙන ඕනෑම පාඩුවක් මකා දමන්න ඔහු පොරොන්දු වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි “ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ” නව සමාජයක් තුළ සදාකාල ජීවනය නමැති ත්‍යාගයද ඔහු අප වෙනුවෙන්ම තබා තිබෙනවා.—2 පේතෘස් 3:13.

[16, 17වන පිටුවේ පින්තූරය]

නාබොත්ට සිදු වූ මහත් අසාධාරණය ගැන ඔහුට කෙසේ හැඟෙන්න ඇද්ද?