Skip to content

පටුනට යන්න

විඳදරාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන

විඳදරාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන

විඳදරාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන

“විඳදරාගත් අය සන්තෝෂවත්යයි අපි ප්‍රකාශ කරන්නෙමු.”—යාකොබ් 5:11.

1, 2. මිනිසුන් දුක් විඳීම දෙවිගේ අරමුණ නොවූ බව අප දන්නේ කෙසේද?

කිසි මිනිසෙක් දුක් විඳින්න කැමති නැහැ. ඒ වගේම අප දුක් විඳිනවාට අපේ මැවුම්කරුද කැමති නැහැ. මිනිස් ඉතිහාසය ගැන බයිබලය පවසන දෙයින් ඒ බව සනාථ වෙනවා. එහි සඳහන් වන්නේ මෙසේයි. “යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.” (උත්පත්ති 2:7, නව ලොව පරිවර්තනය, NW) යෙහෝවා දෙවි ආදම්ව මැවුවේ ශාරීරිකව සහ මානසිකව කිසිම අඩුවක් නැති පරිපූර්ණ පුද්ගලයෙක් හැටියටයි. කිසිදා අසනීප නොවන, මරණය අත් නොදකින ජීවිතයක් ඔහු ඉදිරියේ තිබුණා.

2 ආදම් ජීවත් වුණේ කුමනාකාර වට පිටාවකද? “යෙහෝවා දෙවි, නැඟෙනහිර දෙසින් පිහිටි ඒදන්හි උයනක් සූදානම් කර තමා සෑදූ මිනිසාව එහි තැබුවේය. යෙහෝවා දෙවි, ඇසට ප්‍රිය වූ, කෑමට හොඳ වූ සියලු ගස් ඒ උයනේ හටගන්න සැලසුවේය.” (උත්පත්ති 2:8, 9, NW) ඇත්තෙන්ම ඔහුට අවශ්‍ය සෑම දෙයක්ම එහි තිබුණා. දුක් විඳින්න කිසිම හේතුවක් ඔහුට තිබුණේ නැහැ.

3. මුල් මිනිස් යුවළට තිබුණේ මොන වගේ අනාගතයක්ද?

3 ඊළඟට උත්පත්ති 2:18හි [NW] මෙසේ පවසනවා. “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියක්ව සාදා දෙන්නෙමි.” ඊට එකඟව දෙවි ආදම්ට පරිපූර්ණ භාර්යාවක් මවා දුන්නා. එමගින් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීමේ ප්‍රස්තාව ඔවුන්ට ලැබුණා. (උත්පත්ති 2:21-23) දෙවි ඔවුන්ට ආශීර්වාද කර මෙසේ පැවසුවා. “දරු සම්පත් ලබා ගණනින් වැඩි වන්න. පොළොව පුරා පැතිර යමින් එය රැකබලා ගන්න.” (උත්පත්ති 1:28, NW) මේ පොළොවේ සෑම බිම් අඟලක්ම පාරාදීසයක් බවට පත් කිරීමේ ප්‍රීතිමත් වරප්‍රසාදය මුල් යුවළට පැවරුණා. එමෙන්ම දුක් වේදනා අත් නොදකින පරිපූර්ණ දරුවන් බිහි කිරීමේ හැකියාවද ඔවුන් සතු වුණා.—උත්පත්ති 1:31.

වැරදුණේ කොතැනද?

4. අද පවතින තත්වය කුමක්ද?

4 ඒ වුණත් මිනිස් ඉතිහාසයේ ආපස්සට යද්දී යම් තැනක බරපතළ වැරැද්දක් සිදු වී තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. එතැන් සිට පැවත එන සියලුදෙනාම දුක් කරදර කන්දරාවකට මුහුණ පා තිබෙනවා. අසනීප, මහලු විය සහ අවසානයේදී මරණය ඔවුන්ට උරුම වුණා. සතුටින් පිරි පරිපූර්ණ මිනිසුන්ගෙන් මේ පොළොව පිරී යනවා වෙනුවට සිදු වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. අද පවතින තත්වය ගැන රෝම 8:22හි ඉතාම නිවැරදිව සඳහන් වන්නේ මෙසේයි. “මුළු මැවිල්ලම, මේ දක්වා එක්ව කෙඳිරිගාමින්ද වේදනා විඳිමින්ද සිටින බව අපි දනිමු.”

5. දුක් වේදනාවල පටන්ගැන්මට මුල් යුවළ වග කිව යුත්තේ ඇයි?

5 මිනිසුන් විඳින දුක් වේදනාවලට වග කිව යුත්තේ දෙවි නොවෙයි. (2 සාමුවෙල් 22:31) ඊට මිනිසුන්ද එක් පැත්තකින් වග කිව යුතුයි. ඒ ගැන බයිබලය පවසන්නේ මිනිසුන් ‘හානි පමුණුවමින් පිළිකුල් ක්‍රියා කළෝය’ කියායි. (ගීතාවලිය 14:1, NW) මුල් මිනිස් යුවළ ගැන කල්පනා කර බලන්න. දෙවි ඔවුන්ට කිසිවකින් අඩුවක් නැති පරිපූර්ණ ආරම්භයක් ලබා දුන් අතර ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණේ දිගටම ඔහුට කීකරු වීමයි. නමුත් ඔවුන් දෙවිගෙන් ඈත් වී හිතුවක්කාර ලෙස කටයුතු කළ නිසා කලින් සිටි පරිපූර්ණත්වය අහිමි කරගත්තා. පසුව ඔවුන් ක්‍රමානුකූලව වැහැරී ගොස් මරණයට පත් වුණා. මෙසේ එම පව්කාර ස්වභාවය ඔවුන්ගෙන් අපටත් උරුම වුණා.—උත්පත්ති 3:17-19; රෝම 5:12.

6. දුක් වේදනාවල ආරම්භයට සාතන් හේතු වුණේ කෙසේද?

6 පසු කලෙක සාතන් බවට පත් වූ දේවදූතයාද දුක් වේදනාවලට වග කිව යුතුයි. දෙවි ඔහුව මවා තිබුණේත් තීරණ ගැනීමේ නිදහස ඇතිවයි. නමුත් එයින් අයුතු ප්‍රයෝජන ගත් ඔහු දෙවිට පමණක් හිමි නමස්කාරය තමන්ට ලබාගැනීමට උත්සාහ කළා. “යහපත සහ අයහපත දැනගෙන දෙවිට සමාන වන බව” පැවසූ සාතන්, ආදම් සහ ඒවව මුළා කළා. එසේ කිරීමෙන් දෙවිගෙන් ඈත්වීමට ඔහු ඔවුන්ව පෙලඹුවා. ඒ අනුව දුක් වේදනාවල ආරම්භයට සාතන්ද හේතු වූ බව පැහැදිලියි.—උත්පත්ති 3:5, NW.

දෙවිට ඇති අයිතිය

7. මිනිස් ආණ්ඩු අසාර්ථක වීමෙන් පැහැදිලි වෙන්නේ කුමක්ද?

7 යෙහෝවා දෙවිගෙන් තොර ඕනෑම ආකාරයේ පාලන ක්‍රමයක් ඉතාමත් අසාර්ථක බව ඉතිහාසයෙන් පැහැදිලි වෙනවා. “මේ ලෝකයේ පාලකයා” බවට පත් වූ සාතන්ගේ පාලනය මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි ඉතාමත් දුෂ්ට සහ සැහැසික පාලනයක් බව ඔප්පු වී හමාරයි. (යොහන් 12:31) ඔහුගේ බලපෑම යටතේ පවතින මිනිස් ආණ්ඩු ක්‍රම සම්බන්ධයෙන්ද කිව හැක්කේ ඒ දෙයමයි. (යෙරෙමියා 10:23) මෙයින් පැහැදිලි වන්නේ මුළු විශ්වයම පාලනය කිරීමට අයිතිය තිබෙන්නෙත් එය ධර්මිෂ්ඨව පාලනය කිරීමට හැකියාව තිබෙන්නෙත් දෙවිට පමණක් බවයි.

8. මිනිස් පාලන ක්‍රම සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ කුමක්ද? එමෙන්ම ඔහු එය ඉෂ්ට කරන්නේ කෙසේද?

8 තමන්ගේ මඟ පෙන්වීමෙන් තොර විවිධාකාර පාලන ක්‍රම අත්හදා බැලීමට දෙවි අවුරුදු දහස් ගණනක් පුරා ඉඩහැර තිබෙනවා. නමුත් සාතන්ගේ බලය යටතේ තිබෙන මිනිස් පාලන ක්‍රම මේ පොළොවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ධර්මිෂ්ඨ පාලනයක් පිහිටු වීම දෙවිගේ අරමුණයි. ඒ ගැන අනාවැකියක මෙසේ පවසනවා. “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවනු ඇත. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. එය සදහටම පවතියි.” (දානියෙල් 2:44, NW) එම රාජ්‍යයේ පාලකයා යේසුස් වන අතර තවත් 1,44,000දෙනෙක් ඔහු සමඟ පාලනය කිරීමට හවුල් වෙනවා.—එළිදරව් 14:1.

විඳදරාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන

9, 10. දුක් විඳීම යේසුස්ට ප්‍රයෝජනවත් වූයේ කෙසේද?

9 අපව පාලනය කිරීමට නියමිත දේවරාජ්‍යයේ පාලකයන්ගේ සුදුසුකම් දැන් අපි සලකා බලමු. මුලින්ම තමා එහි රජු හැටියට කොතරම් සුදුසුද කියා යේසුස් ඔප්පු කළා. අපට සිතාගත නොහැකි දිගු කාලයක් පුරා යේසුස් දෙවිගේ කැමැත්ත කරමින් ඔහුගේ “ප්‍රධාන සේවකයා” හැටියට කටයුතු කළා. (හිතෝපදේශ 8:22-31, NW) පසුව ඔහුව පොළොවට එවීමට යෙහෝවා දෙවි සැලසුම් කළ විට යේසුස් ඊට කැමැත්තෙන්ම එකඟ වුණා. මේ පොළොවේදී ඔහු දෙවිගේ රාජ්‍යය ගැන මෙන්ම මුළු විශ්වයම පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය ගැන උනන්දුවෙන් අන් අයට පැවසුවා. දෙවිගේ පාලනයට සම්පූර්ණයෙන්ම කීකරු වීම සම්බන්ධයෙන් යේසුස් අපට සැපයුවේ අනගි ආදර්ශයක්!—මතෙව් 4:17; 6:9.

10 යේසුස් බොහෝ පීඩාවලට මුහුණ දුන් අතර අවසානයේදී ඔහුව මරණයට පත් කළා. නමුත් ඔහු මේ පොළොවේ සිටියදී මිනිසුන් විඳි දුක්ඛිත තත්වය හොඳින් තේරුම්ගත්තා. අන් අය එසේ දුක් විඳිනවා දැකීමෙන් සහ තමන්ම අද්දුටු පීඩාවලින් ඔහු ඉගෙනගත්තේ කුමක්ද? ඒ ගැන හෙබ්‍රෙව් 5:8හි මෙසේ වාර්තා වෙනවා. “ඔහු [දෙවිගේ] පුත්‍රයෙකුව සිටියත්, තමන් වින්ද දේවල්වලින් ඔහු කීකරුකම ඉගෙනගත්තේය.” පොළොවේ සිටියදී ඔහු පීඩා විඳින මිනිසුන්ට දයානුකම්පාවෙන් යුතුව සැලකීමටත් ඉගෙනගත්තා. ඒ වගේම තමන් මේ පොළොවට පැමිණීමට හේතුව වඩාත් හොඳින් තේරුම්ගැනීමටත් එමගින් ඔහුට හැකි වුණා. ඔවුන්ගේ උපකාරයට පැමිණීමට හැකිවීම ගැන ඔහු සතුටු වුණා. මේ කාරණය පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ගෙනහැර දැක්වූයේ මෙසේයි. “එබැවින්, ජනයාගේ පව් උදෙසා සමඟි කිරීම සඳහා වූ පූජාවක් ඔප්පු කරන පිණිස, දෙවිට සම්බන්ධ කාරණාවලදී ඔහු දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙක් වීම සඳහා, හැම අතින්ම තමන්ගේ “සහෝදරයන්” හා සමාන වන්නට ඔහුට යුතුව තිබිණ. මන්ද, පරීක්ෂාවට ලක් වන විට ඔහු දුක් වින්ද නිසා, පරීක්ෂාවට ලක් වන අයගේ උපකාරයට පැමිණෙන්න ඔහුට පුළුවන.” “මන්ද අපට සිටින්නේ අපේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන තැනැත්තෙකු නොව, අප මෙන් හැම අතින්ම පරීක්ෂා කරනු ලැබූ, පාප රහිත උත්තම පූජකයෙකි. එබැවින්, අපට උපකාරය අවශ්‍ය වේලාවේදී දයාව හා මහත් කරුණාව ලැබෙන පිණිස අපි කතා කිරීමේ නිදහසින් යුක්තව, මහත් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු.”—හෙබ්‍රෙව් 2:17, 18; 4:14-16; මතෙව් 9:36; 11:28-30.

11. මේ පොළොවේ ගත කළ ජීවිතය දේවරාජ්‍යයේ පාලකයන්ට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

11 යේසුස් සමඟ හවුලේ පාලනය කිරීම සඳහා මේ පොළොවෙන් “මිල දී ගන්නා” 1,44,000දෙනා ගැන දැන් අපි ටිකක් සලකා බලමු. (එළිදරව් 14:4) ඔවුන්ද දුක් ගැහැට පිරි මේ ලෝකයේ බොහෝ පීඩා වින්ද අයයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් දෙවිට පක්ෂපාත වූ නිසා හෝ යේසුස්ව අනුකරණය කිරීම නිසා විවිධාකාර පීඩාවලට ලක් වුණා. සමහරුන්ව මරණයට පවා පත් කළා. නමුත් ඔවුන් ‘ස්වාමීන් ගැන සාක්ෂි දැරීම ගැනවත් ශුභාරංචිය උදෙසා දුක් විඳීම ගැනවත් ලජ්ජා වුණේ නැහැ.’ (2 තිමෝති 1:8) මේ අය පොළොව මත සිටියදී ලැබූ අද්දැකීම් නිසා අනාගතයේදී යේසුස් සමඟ මිනිසුන්ව පාලනය කිරීමට වඩාත් සුදුසු තත්වයක සිටිනවා. එමෙන්ම මිනිසුන්ව හොඳින් තේරුම්ගැනීමටත් ඔවුන්ට උපකාර කිරීමටත් ඔවුන්ට හැකියි.—එළිදරව් 5:10; 14:2-5; 20:6.

ප්‍රයෝජන ලබන තවත් පිරිසක්

12, 13. පොළොව මත සදාකල් ජීවත් වීමට නියමිත අයට දුක් විඳීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

12 මේ පොළොව මත සදාකාල ජීවනය නියමිත අයට දුක් විඳීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? දුක් විඳීම සතුටට කරුණක් නම් නොවෙයි. නමුත් ඒවා විඳදරාගැනීමෙන් දෙවිව සතුටු කරන ගුණාංග වර්ධනය කරගත හැකි අතර ඉන් සන්තෝෂයද අත් වෙයි.

13 මේ ගැන බයිබලයේ පවසන දේ සලකා බලන්න. “ඔබ ධර්මිෂ්ඨකම නිසා දුක් විඳින නමුත් ඔබ සන්තෝෂවත්හුය.” “ක්‍රිස්තුස්ගේ නාමය නිසා ඔබට නින්දා කරනු ලබන්නේ නම්, ඔබ සන්තෝෂවත්හුය.” (1 පේතෘස් 3:14; 4:14) “මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කොට ඔබට විරුද්ධව බොරු චෝදනා නඟමින් සියලු ආකාර දුෂ්ට දේ පවසන විට ඔබ සන්තෝෂවත්ය. ස්වර්ගයෙහි ඔබට තිබෙන විපාකය මහත් බැවින් ප්‍රීති වෙන්න, ප්‍රීතියෙන් පිනා යන්න.” (මතෙව් 5:11, 12) “පරීක්ෂා විඳදරාගෙන සිටින මිනිසා සන්තෝෂවත්ය. මන්ද, අනුමැතිය ලැබූ කල ඔහුට ජීවනය නමැති ඔටුන්න ලැබෙන්නේය.”—යාකොබ් 1:12.

14. දෙවිගේ සේවකයන් දුක් වින්දත් ඔවුන් සතුටු වන්නේ ඇයි?

14 දුක් වේදනා ප්‍රීතියට හේතුවක් නොවෙයි. නමුත් ප්‍රීතිය අත් වන්නේ කුමකින්ද? අප දුක් විඳින්නේ යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන නිසා බව තේරුම්ගැනීමෙනුයි. උදාහරණයක් හැටියට පළමු සියවසේ සිටි යේසුස්ගේ ගෝලයන්ව අත්අඩංගුවට ගෙන යුදෙව් මහාධිකරණය වෙත ගෙනාවා. එහිදී ශුභාරංචිය දේශනා කිරීම නිසා ඔවුන්ට දැඩි චෝදනා එල්ල කර කස පහර දී පසුව නිදහස් කළා. එය ඔවුන් සැලකුවේ කෙසේද? බයිබලය ඒ ගැන පවසන්නේ මෙසේයි. “ඔහුගේ නාමය නිසා නින්දා විඳින්න තමුන් වටින්නෝයයි ගණන්ගනු ලැබූ හෙයින් ප්‍රීතියෙන් සැන්හෙඩ්‍රිනයෙන් පිටත්ව ගියෝය.” (ක්‍රියා 5:17-41) කස පහර කෑම ගැන ඔවුන් සතුටු වුණේ නැහැ. නමුත් ඔවුන් සතුටු වුණේ තමන් දෙවිට පක්ෂව සිටියා සහ ක්‍රිස්තුස්ව ආදර්ශයට ගත්තා යන්න තේරුම්ගත් නිසයි.—ක්‍රියා 16:25; 2 කොරින්ති 12:10; 1 පේතෘස් 4:13.

15. අප දැන් විඳදරාගන්නවා නම් එය ඉදිරියට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

15 නිසි ආකල්පයක් ඇතුව අපි විරුද්ධවාදීකම් සහ පීඩා විඳදරාගන්නවා නම් ඉදිරියේදී පැමිණෙන පීඩාවලට සාර්ථකව මුහුණ දෙන්න අපට හැකියාව ලැබෙනවා. මේ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “මාගේ සහෝදරයෙනි, ඔබ විවිධාකාර පරීක්ෂාවලට මුහුණ දෙන කල, එය සැබවින්ම ප්‍රීතියක්යයි සලකන්න. මෙසේ ඔබේ ඇදහිල්ල පරීක්ෂාවට ලක්වීමෙන් විඳදරාගැනීම ඇති වන බව ඔබ දන්නහුය.” (යාකොබ් 1:2, 3) ඒ හා සමාන දෙයක් රෝම 5:3-5හි පවසා තිබෙනවා. “අපි පීඩා මධ්‍යයෙහි සිටියදීත් සතුටින් ඉපිල යමු. මන්ද, අපි මේ දේ දනිමු. එනම්, පීඩාවලින් විඳදරාගැනීම ඇති වන්නේය; විඳදරාගැනීමෙන් දෙවිගේ අනුමැතිය ලැබෙන්නේය; දෙවිගේ අනුමැතියෙන් බලාපොරොත්තුව ඇති වන්නේය. ඒ බලාපොරොත්තුව කලකිරීමකට මඟ පාදන්නේ නැත.”

යෙහෝවා ආශීර්වාද කරයි

16. ස්වර්ගයේ ජීවත් වීමට අපේක්ෂාවෙන් සිටින අයට යෙහෝවා දෙවි ලබා දෙන ආශීර්වාද මොනවාද?

16 පැමිණෙන විරුද්ධවාදීකම් හෝ පීඩා නිසා අපේ දේපළ, ධන සම්පත් අහිමි වෙන්න ඉඩ තිබෙනවා. ඒ වුණත් යෙහෝවා දෙවි අපට ආශීර්වාද කරයි යන නිසැකකම ඇතුව සිටින්න අපට පුළුවන්. දේවරාජ්‍යයේ පාලකයන් වීමේ වරප්‍රසාදය ලබන අය ගැන පාවුල් මෙසේ ලිව්වා. “කල් පවතින වස්තුවක් ඔබට ඇති බව දැන, ඔබේ දේපළ කොල්ල කෑම ඔබ ප්‍රීතියෙන් දරාගෙන සිටියහුය.” (හෙබ්‍රෙව් 10:34) යේසුස් සමඟ හවුල් වී පොළොවේ ජීවත් වන මිනිසුන්ට ආශීර්වාද කිරීමේ වරප්‍රසාදය ගැන මේ අය කොතරම් සතුටු වෙයිද! එම විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් ගැන පාවුල් පැවසූ දෙය කොතරම් සත්‍යයක්ද! ඔහු පැවසුවේ “දැන් පවතින දුක් වේදනා, අප තුළ එළිදරව් වීමට යන තේජස සමඟ කිසිසේත් සැසඳිය නොහැකියයි මම විශ්වාස කරමි” කියායි.—රෝම 8:18.

17. පොළොවේ සදාකල් ජීවත් වීමට නියමිත පක්ෂපාත අයට දෙවි ලබා දෙන ආශීර්වාද මොනවාද?

17 මේ පොළොව මත ජීවත් වීමට නියමිත අය ගැන කුමක් කිව හැකිද? දෙවිගේ සේවය වෙනුවෙන් තමන්ට කුමක් අහිමි වුණත් හෝ ඒ වෙනුවෙන් තමන් යමක් පරිත්‍යාග කළත් යෙහෝවා දෙවි අනාගතයේදී ඊටත් වැඩියෙන් තමන්ට ආශීර්වාද කරන බව ඔවුන්ට නිසැකයි. එවැනි අයට පාරාදීස පොළොවක් මත සදාකාල ජීවිතයක් ලබාදීම දෙවිගේ අරමුණයි. ඒ කාලයේදී යෙහෝවා දෙවි “ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” (එළිදරව් 21:4) මොන තරම් මවිතාකර පොරොන්දුවක්ද! යෙහෝවා දෙවි වෙනුවෙන් අප කුමක් අත්හැරියත් කුමක් අහිමි වුණත් ඔහු ලබා දෙන ආශීර්වාද හා සසඳද්දී අපට කිසි දෙයක් අහිමි වී නැති තරම්. දුක් වේදනා විඳදරාගැනීම මොන තරම් ප්‍රයෝජනවත්ද!

18. දෙවි අපට දී ඇති සැනසිලිදායක පොරොන්දුව කුමක්ද?

18 අප ඉදිරියේදී කුමනාකාරයේ දුක් වේදනාවන්ට මුහුණ දුන්නත් අප අනාගතයේදී ලබන්න නියමිත ආශීර්වාද නැති වී යෑමට එය හේතුවක් නොවෙයි. යෙසායා 65:17, 18හි [NW] විස්තර කර ඇති ප්‍රීතිමත් කාලයේදී අප මුහුණ දුන් දුක් වේදනා ගැන පවසන්නේ “පළමු දේ නැවත මතක් වන්නේ නැත. මම මවන දේ ගැන හැමදාටම සතුටින් ඉපිල යන්න” කියායි. ඊට එකඟව යේසුස්ගේ ගෝලයෙක් වූ යාකොබ් පැවසුවේ මෙසේයි. “විඳදරාගත් අය සන්තෝෂවත්යයි අපි ප්‍රකාශ කරන්නෙමු.” (යාකොබ් 5:11) දැන් පවා අප මුහුණ දෙන දුක් වේදනා විඳදරාගන්නවා නම් දැනුත් සදහටමත් එය ප්‍රයෝජනවත් බව ස්ථිරයි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දුක් වේදනා ආරම්භ වූයේ කෙසේද?

• අනාගත පාලකයන් සහ එහි යටත්වැසියන්ට දුක් වේදනා දරාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

• අපට දුක් වේදනා හමුවේ පවා සතුටු විය හැක්කේ කුමක් නිසාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[27වන පිටුවේ පින්තූරය]

අපගේ මුල් දෙමාපියන් ඉදිරියේ තිබුණේ පුදුමාකාර අනාගතයක්

[29වන පිටුවේ පින්තූරය]

මිනිසුන් විඳි දුක් වේදනා හොඳින් තේරුම්ගැනීම, යහපත් රජෙකු සහ උත්තම පූජකයෙකු වීමට යේසුස්ට උපකාරවත් වුණා

[31වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ ගෝලයෝ ‘ප්‍රීති වුණේ ඇදහිල්ල නිසා තමන් නින්දා විඳින්න වටිනවායයි’ සිතූ නිසයි