Skip to content

පටුනට යන්න

“පරණ ගිවිසුම” අද දිනට ප්‍රයෝජනවත්ද?

“පරණ ගිවිසුම” අද දිනට ප්‍රයෝජනවත්ද?

“පරණ ගිවිසුම” අද දිනට ප්‍රයෝජනවත්ද?

වර්ෂ 1786දී එක් වෛද්‍යවරයෙක් ස්නායු සැකැස්ම හා සම්බන්ධ පොතක් ලියනු ලැබුවා. එම විෂය සම්බන්ධයෙන් නිවැරදිම තොරතුරු ඇතුළත් පොතක් ලෙස ඒ කාලේදී එය ප්‍රසිද්ධ වුණා. ඒත් අද දින ඉතිරි වී තිබෙන්නේ අවුරුදු 200කට පමණ කලින් ලියැවුණු ඒ පොතේ පිටපත් සීමිත සංඛ්‍යාවක් පමණයි. ඉන් එක් පිටපතක් මෑතකදී ඩොලර් 27හත්දාහකට වඩා වැඩි ගණනකට අලෙවි වුණා. ඉන් පෙනී යන්නේ එම පොතට ඓතිහාසික වශයෙන් විශාල වටිනාකමක් ඇති බවයි. කොහොමවුණත් වෛද්‍යවරයෙක් තවමත් ඒ පැරණි පොතේ උපදෙස් පතමින් බේත් හේත් කරනවා නම් ඒ වෛද්‍යවරයා ළඟට යන්න රෝගියෙක් කැමති වෙයි කියා හිතන්න පුළුවන්ද? එහෙම හිතන්න අමාරුයි. හේතුව එවැනි පොතක ඇති උපදෙස් අද දිනට නොගැළපීමයි.—Traité d’anatomie et de physiologie.

ඒ හා සමානව බයිබලයේ පැරණි ගිවිසුමත් ලියා අවසන් වී දැනට අවුරුදු 2,400කට වඩා වැඩි කාලයක් ගත වී තිබෙන නිසා බොහෝදෙනා සිතන්නේ එයත් යල් පැන ගිය පොතක් කියායි. පුරාණයේ සිටි ඊශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය ගැන පැරණි ගිවිසුමේ ඇති තොරතුරු හා එහි තිබෙන කාව්‍යමය අලංකාරය බොහෝදෙනා පිළිගත්තත්, එය ලියැවී තිබෙන්නේ අද තරම් විද්‍යාව අතින් දියුණු නොවූ වෙනස් සමාජයක් තිබුණු කාලයක නිසා පැරණි ගිවිසුම අද දිනට ප්‍රයෝජවනත් නැහැ කියා සමහරු හිතනවා. එක් ක්‍රිස්තියානි කෘතියක කර්තෘ කෙනෙක්ව සිටි ෆිලිප් යැන්සෙයි නමැත්තා සිය පොතේ මෙසේ සඳහන් කරනවා. “බොහෝදෙනෙකුට පැරණි ගිවිසුම මුල්ම වතාවට කියවද්දී එය තේරෙන්නේ නැහැ. නමුත් එහි සඳහන් සමහර සිද්ධීන් කියවා තේරුම්ගත්තත් ඒවා මගින් ඔවුන් පැකිළෙන නිසා එය තවදුරටත් කියවන්න ඔවුන් තුළ පෙලඹීමක් ඇති වෙන්නෙත් නැහැ. ඒ නිසා පරණ ගිවිසුම කියවීමෙන් ඔවුන් වැළකෙනවා.” ඒ ආකාරයෙන් සිතීමට මිනිසුන් පටන්ගත්තේ අද ඊයේ නොවෙයි. එය පුරාණයේ සිට පැවත එන ආකල්පයක්.—The Bible Jesus Read ඇසුරෙන්.

උදාහරණයකට බයිබල් ලේඛකයෙකු වූ යොහන් ක්‍රිස්තු වර්ෂ 100දී පමණ මිය ගොස් වසර 50ක් ඉක්මවීමට පෙර, මාර්සියන් නමැති පොහොසත් තරුණයා ප්‍රසිද්ධියේම කියා සිටියේ ක්‍රිස්තියානීන් පැරණි ගිවිසුම කියවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු බවයි. එක් ඉතිහාසඥයෙක් වන රොබින් ලේන් ෆොක්ස්, මාර්සියන්ගේ මතය මෙසේ විස්තර කළා. “පැරණි ගිවිසුමේ සඳහන් වෙන්නේ ඉතා කුරිරු දෙවි කෙනෙක් ගැනයි. ඔහු දාවිත් වැනි නීති විරෝධී ක්‍රියා කරපු දාමරිකයන්ටත් සහය දුන්නා. නමුත් යේසුස් ක්‍රිස්තුස් පොළොවේ සිටි කාලයේදී දේශනා කළේ ඊට වඩා වෙනස් ප්‍රේමණීය දෙවි කෙනෙකු ගැනයි.” එම ඉතිහාසඥයා පවසන ආකාරයට “මාර්සියන්ගේ මේ මතය පසු කාලයකදී ආගමක් බවට පත් වූ අතර ක්‍රි.ව. 400 පමණ වෙද්දී මිනිසුන් එම ආගමට ඇදී එන්න පටන්ගත්තා.” එය සිදු වී අවුරුදු 1,600ක් වැනි කාලයක් ගත වී තිබුණත් අදත් එම මතයම දරන මිනිසුන් සිටිනවා. ඒ නිසා කලින් සඳහන් කළ ෆිලිප් යැන්සෙයි නමැති කර්තෘ තවදුරටත් මෙසේ පවසනවා. “ක්‍රිස්තියානීන්යයි කියාගන්නා අයගෙන් හා වර්තමාන සමාජයෙන් පැරණි ගිවිසුම සම්බන්ධයෙන් තිබෙන අවබෝධය එන්න එන්නම නැති වී යනවා.”

එවන් තත්වයක් තුළ පැරණි ගිවිසුම යල් පැන ගිය දෙයක් ලෙස සලකා අපි එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුද? පැරණි ගිවිසුමේ සඳහන් වෙන “ස්වර්ගීය සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිත්” නව ගිවිසුමේ සඳහන් වන ‘ප්‍රේමයේ හා සමාදානයේ දෙවිත්’ එක්කෙනෙක්ද? (යෙසායා 13:13, නව ලොව පරිවර්තනය, NW; 2 කොරින්ති 13:11) අද දින ජීවත් වන අයට පැරණි ගිවිසුමෙන් ප්‍රයෝජනයක් තිබෙයිද?