Skip to content

පටුනට යන්න

අන් අයව පැසසීමට මං සොයමු

අන් අයව පැසසීමට මං සොයමු

අන් අයව පැසසීමට මං සොයමු

ස්වාමියා තමන්ව අගය කරන්නේ නැහැ කියා රැකියාවක නිරත වන සේවකයෙකු පවසනවා කවදා හෝ ඔබට ඇසී තිබෙනවාද? එසේ නැත්නම්, ඔබම කවදා හෝ එවැනි පැමිණිල්ලක් කර තිබෙනවාද? ඔබ යෞවනයෙකු නම් දෙමව්පියන් ගැන හෝ ගුරුවරුන් ගැන එලෙස පැමිණිලි කර තිබෙනවාද?

එවැනි චෝදනාවලට සාධාරණ හේතු තියෙන්න පුළුවන්. එක් ජර්මානු පුවත්පතක සඳහන් වන ආකාරයට, සේවකයන් ස්වාමිවරුන් ගැන පැමිණිලි කරන්නේ ඔවුන් තමන්ගේ සේවය අගය නොකිරීම ගැන නෙවෙයි. ඒ වෙනුවට තමන් ගැන පෞද්ගලික උනන්දුවක් දක්වන්නේ නැති එක ගැනයි. කොහොමවුණත් හොඳ මිත්‍රත්වයක් ගොඩනඟා ගන්න නම් අගය කිරීම මෙන්ම පෞද්ගලික උනන්දුව දැක්වීම යන කාරණා දෙකම වැදගත් වෙනවා.

මෙය ක්‍රිස්තියානි සභාවටත් අදාළයි. ක්‍රිස්තියානි සභාව තුළ එකිනෙකාව අගය කිරීම, පෞද්ගලික උනන්දුවක් දැක්වීම මෙන්ම මිත්‍රශීලී ස්වභාවයක්ද තිබීම ඉතා වැදගත්. එවැනි තත්වයක් තිබෙන්නේ ඔවුන් බයිබල් ප්‍රතිපත්ති පිළිපදින නිසයි. කෙසේවෙතත් අපි හැමෝටම ඒ සම්බන්ධයෙන් දියුණු විය හැකි පැති තිබෙනවා. දැන් අපි අන් අයව පැසසීම සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් චරිත තුනක් වන එලීහු, පාවුල් හා යේසුස් ක්‍රිස්තුස් තැබූ කදිම ආදර්ශයන් සලකා බලමු.

කාරුණික සහ ගෞරවාන්විත උපදෙස්

යෝබ් හා දෙවි අතර තිබූ සම්බන්ධය ගැන සමබරව සිතන්න ආබ්‍රහම්ගේ නෑයෙකු වූ එලීහු යෝබ්ට උදව් කළා. ඔහු එසේ කළේ කතා කිරීමට සුදුසු අවස්ථාවක් එළඹෙන තුරු ඉවසිලිවන්තව සවන් දීමෙන් පසුවයි. ඔහු යෝබ්ගේ වැරදි පමණක් දුටු මිතුරන් හා සමාන නොවී යෝබ්ට දිය යුතු උපදෙස් දුන් අතර යෝබ් ගත කරමින් සිටි යහපත් ජීවිතය ගැන ප්‍රශංසා කිරීමටද අමතක කළේ නැහැ. යෝබ් කෙරෙහි වූ ලෙන්ගතුකම නිසා එලීහු යෝබ් ගැන අවංක උනන්දුවක් දක්වමින්, ඔහුගේ නමින්ම ඔහුව අමතා මෙසේ පැවසුවා.“යෝබ්, මාගේ කතාව අසා මාගේ සියලු වචනවලට ඇහුම්කන් දෙන මෙන් ඉල්ලමි.” යෝබ් සිටි තත්වයට තමාවත් සමාන කරමින් එලීහු මෙසේ කීවා. “බැලුව මැනවි, ඔබ මෙන් මමත් දෙවි වෙත සිටිමි. මමත් මැටියෙන් තනනු ලැබීමි.” පසුව යෝබ්ව අගය කරමින් ඔහු මෙසේද පැවසුවා. “කියන්ට මොකවත් ඇත්නම් මට උත්තර දෙන්න. ඔබ ධර්මිෂ්ඨ බව පෙන්වන්ට මා කැමති නිසා කතා කරන්න.”—යෝබ් 33:1, 6, 32.

අන් අයට කරුණාවෙන් හා ගෞරවයෙන් සැලකීම ඔවුන්ව අගය කළ හැකි එක් ක්‍රමයක්. එසේ කිරීමෙන් ඇත්තෙන්ම අපි ඔවුන්ට පෙන්වන්නේ ‘ඔවුන් අපේ ගෞරවයත් සැලකිල්ලත් ලබන්න වටින’ අය බවයි. මේ ක්‍රමයෙන් අපට පුළුවන් අන් අය කෙරෙහි පෞද්ගලික උනන්දුවක් සහ හිතෛෂීකමක් පෙන්නුම් කරන්න.

කාරුණික සහ ගෞරවනීය ලෙස අන් අය සමඟ කටයුතු කරනවා කියන්නේ නිකම්ම සිරිතක් අනුගමනය කරමින් ආචාරශීලී වීම නෙවෙයි. නමුත් අපි අන් අයට දක්වන සැලකිල්ල හා ප්‍රේමය නිසා අවංක හදවතකින් ඔවුන්ට කරුණාව හා ගෞරවය පෙන්වීමයි.

උපායශීලී වන්න

අන් අයව පසසද්දී උපායශීලී වීමේ වැදගත්කම ගැන පාවුල් පෙන්නුම් කළා. උදාහරණයකට ඔහුගේ දෙවැනි සංචාරය අතරතුර ඇතන්ස් නගරයේ සිටි සමහර ග්‍රීක දාර්ශනිකයන්ට ඔහු ක්‍රිස්තියානි ධර්මය ගැන කතා කළා. එය ලෙහෙසි පහසු කාර්යයක් නොවූ බවට නම් සැකයක් නැහැ. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙයයි. “එපිකියුරියානු සහ ස්ටොයික දාර්ශනිකයන්ගෙන් සමහරු ඔහුත් සමඟ වාද කරන්න පටන්ගත්හ. සමහරු, ‘මේ වාචාලයා කුමක් කියන්න හදනවාද’ යයි ඇසූහ. අන් අය, ‘මොහු අන්‍ය දෙවි දේවතාවන්ව ප්‍රකාශ කරන්නෙකු මෙන් පෙනේ’ යයි පැවසූහ.” (ක්‍රියා 17:18) එවැනි අපහාසාත්මක ප්‍රතිචාරයක් මැද පාවුල් සන්සුන්ව සිටිමින් මෙසේ පැවසුවා. “ඇතන්ස්හි පුරුෂයෙනි, ඔබ හැම අතින්ම අන්‍යයන්ට වඩා දෙවි දේවතාවන් කෙරෙහි ගරුබියක් ඇතිව සිටින බව මට පෙනේ.”—ක්‍රියා 17:22.

එහිදී පාවුල් කළේ බොරු මවාපෑමක්ද? නැහැ. පාවුල්ගේ පැවරුම වුණේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම මිසක් අන් අයව විනිශ්චය කිරීම නොවෙයි. අනික ඔහුත් මුලදී සත්‍යය ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඔහුගේම අද්දැකීමෙන් ඔහු දැනගෙන හිටියා කාලයකදී සත්‍ය නමස්කාරය පිළි නොගත් අය පවා යම් දවසක සත්‍යය පිළිගන්න බව. එලෙසම කලින් සත්‍යය පිළි නොගෙන තමන්ගේ ආගමික විශ්වාසයන් හරියයි පෙන්වන්න උත්සාහ කළ බොහෝදෙනෙක් අද දින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බවට පත් වී තිබෙනවා.

පාවුල් එම දාර්ශනිකයන් වෙත එළඹුණු ආකාරයෙන් හොඳ ප්‍රතිඵල ලැබුණා. එනම් ‘සමහරු ඔහුට එක් වී, අදහන්නන් බවට පත් වුණා. ඔවුන් අතරේ, ඇරියොපගස් අධිකරණයේ විනිශ්චයකාරයෙකු වූ දියොනිසියස්ද, දමරිස් නම් ස්ත්‍රියක්ද සිටියා. ඔවුන්ට අමතරව තවත් අයද සිටියා.’ (ක්‍රියා 17:34) ඇතන්ස්හි සිටි අය තුළ තිබූ වැරදි අවබෝධයන් හෙළාදකිනවා වෙනුවට ඔවුන් තුළ තිබූ ඇදහිල්ල ගැන පාවුල් ප්‍රශංසා කිරීම කොතරම් ප්‍රඥාවන්ත දෙයක් වුණාද! මෙයින් පෙනී යන්නේ අද දිනත් බොරු ඉගැන්වීම් නිසා වැරදි මාර්ගයක යන සමහරුන් තුළ හොඳ හදවතක් තිබිය හැකි බවයි.

දෙවෙනි හෙරෝද් අග්‍රිපා රජ ඉදිරියෙහි කතා කළ අවස්ථාවේදීත් පාවුල් කටයුතු කළේ උපායශීලීවයි. ඒ කාලයේදී හෙරෝද් රජ ඔහුගේ සහෝදරි වූ බර්නීස් සමඟ අයතා සම්බන්ධයක් ඇති කරගෙන තිබූ බව ප්‍රසිද්ධ වී තිබුණා. එය දේවවචනය තුළ හෙළාදැක තිබෙන ක්‍රියාවක්. කෙසේවෙතත් පාවුල් හෙරෝද් රජව හෙළාදකිනවා වෙනුවට ඔහුව ප්‍රශංසාවට ලක් කළ හැකි දෙයක් ගැන කතා කළා. පාවුල් ඔහුට පැවසුවේ මෙයයි. “අග්‍රිපා රජ්ජුරුවෙනි, යුදෙව්වරුන් විසින් මට විරුද්ධව පැමිණිලි කර තිබෙන සියල්ල ගැන ඔබ ඉදිරියේ අද උත්තර දෙන්න ලැබීම ගැන මම සතුටු වෙමි. මන්දයත් ඔබ යුදෙව්වරුන් අතර තිබෙන සියලු චාරිත්‍ර ගැනත් මතභේද ගැනත් හොඳින් දන්නෙහිය.”—ක්‍රියා 26:1-3.

වෙනත් මනුෂ්‍යයන් වෙත එළඹෙන විට අපිත් උපායශීලී වීම කොතරම් වැදගත්ද? අපගේ අසල්වාසීන්ව, මිතුරන්ව හෝ රැකියා ස්ථානයේ අයව අගය කිරීමෙන් සාමකාමී මෙන්ම ඉතා අර්ථවත් මිත්‍රත්වයක් භුක්ති විඳින්න අපිට හැකි වෙනවා. එසේ අන් අයව අවංකව අගය කිරීමෙන් ඔවුන්ගේ හදවත්වලට තවත් ළං විය හැකි අතර එමගින් ඔවුන් බොරු ඉගැන්වීම්වලින් මිදී නිවැරදි දැනුම ලබාගැනීමටද පෙලඹිය හැකියි.

අන් අයව පැසසීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය යේසුස්

නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ස්වර්ගයේදී දෙවිගේ මඟ පෙන්වීමට අනුව යොහන් මාර්ගයෙන් සුළු ආසියාවේ පිහිටි සභා හතට කතා කළා. යේසුස් ප්‍රශංසා ලැබිය යුතු අයගෙන් එය වැළැක්වූයේ නැහැ. එෆීස, පර්ගමම්, තියතීරා වැනි සභාවන් අමතමින් ඔහු මෙසේ පැවසුවා. “ඔබේ ක්‍රියාද, ඔබේ වෙහෙසීමද, විඳදරාගැනීමද මම දනිමි. නපුරු මිනිසුන්ට ඔබ අකමැති බවද මම දනිමි.” “ඔබ දිගටම මාගේ නාමය තදින් අල්ලාගෙන සිටින්නෙහිය.” “මා කෙරෙහි වූ ඔබේ ඇදහිල්ල ඔබ ප්‍රතික්ෂේප නොකළෙහිය.” “ඔබේ ක්‍රියාද, ඔබේ ප්‍රේමයද ඇදහිල්ලද සේවය සහ විඳදරාගැනීමද දනිමි. එසේම මෑත කාලයේදී ඔබ කළ ක්‍රියා ඔබේ මුල් ක්‍රියාවලට වඩා වැඩි බවද මම දනිමි.” සර්දිස් සභාවට දැඩි උපදෙස් අවශ්‍ය වුණත් එහි සිටි පැසසිය යුතු අයව පැසසීමට යේසුස් පියවර ගත්තා. “තමුන්ගේ පිටත වස්ත්‍ර දූෂ්‍ය කර නොගත් ස්වල්පදෙනෙක් සර්දිස්හි ඔබට සිටිති. ඔවුහු සුදුස්සන් බැවින් සුදු පිටත වස්ත්‍ර පැළඳ මා සමඟ ඇවිදින්නෝය.” (එළිදරව් 2:2, 13, 19; 3:4) පැසසීම සම්බන්ධයෙන් යේසුස් තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද!

යේසුස්ගේ ආදර්ශයට අනුව අපිත් කණ්ඩායමක සිටින එක්කෙනෙක් හෝ දෙන්නෙක් කරන වැරදි නිසා සියලුදෙනාවම හෙළා නොදැකිය යුතුයි. එමෙන්ම උපදෙසක් දෙද්දී ඔවුන්ගේ හොඳ ක්‍රියාවනුත් කලින් අගය කළ යුතුයි. අපි අන් අයව ප්‍රශංසා කරන්නේ ඔවුන්ට මඟ පෙන්වීමක් හෝ උපදෙසක් දිය යුතු අවස්ථාවලදී පමණක් නම් ඉන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති බව අපි මතක තබාගත යුතුයි. සුදුසු සෑම අවස්ථාවකදීම නොමසුරුව ප්‍රශංසා කරන්න! අපි එසේ කරනවා නම් උපදෙසක් ලබා දෙන විට ඔවුන් එය කැමැත්තෙන්ම පිළිගනියි.

නිසි ලෙස ප්‍රශංසා කරන වැඩිමහල්ලන්

දැන් යුරෝපයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරන කෝනේලියා නම් සහෝදරිය 1970 ගණන්වල සිදු වූ දෙයක් සිහියට නඟයි. දිනක් චාරිකා අවේක්ෂකයෙක් ඇගෙන් විමසුවා ඇගේ පෞද්ගලික අධ්‍යයනය සහ සඟරා කියවීම කරනවාද කියලා. ඒ මොහොතේ “මට මං ගැන ලොකු කලකිරීමක් ඇති වුණා” කියා ඇය පවසනවා. ඇය කියන්න උත්සාහ කළේ හැම ලිපියක්ම කියවන්න ඇයට අවස්ථාවක් ලැබුණේ නැහැ කියායි. ඒ සහෝදරයා “මගේ වරද පෙන්වනවා වෙනුවට මම කියවපු ප්‍රමාණය අගය කළා. ඒක මට ලොකු දිරිගැන්වීමක් වුණා. එදා ඉඳලා හැම ලිපියක්ම කියවන්න මම අධිෂ්ඨාන කරගත්තා.”

යුරෝපයේ ශාඛා කාර්යාලයේ සේවය කරන රේ නමැති සහෝදරයාද ඔහුගේ පුරෝගාමි සේවයේ මුල් දවස ගැන සිහිපත් කරමින් මෙසේ පවසයි. සභාවේ මුලසුන භාර අවේක්ෂකට පවුල් වගකීම්, ව්‍යාපාර කටයුතු සහ සභාවේ විවිධ වගකීම් තිබුණා. මගේ පුරෝගාමි ජීවිතයේ පළවෙනිම දවසේ රාජ්‍ය ශාලාවේදී ඔහු මගේ ළඟට ඇවිත් මෙහෙම ඇහුවා. “ඔයාගේ පුරෝගාමි සේවයේ පළවෙනි දවස කොහොමද?” මෙය සිදු වී දැන් අවුරුදු 60ක් ගත වී තිබුණත් රේට එම සහෝදරයා පෙන්වූ පෞද්ගලික සැලකිල්ල තවමත් මතකයි.

ඉහත අද්දැකීම් දෙකෙන් පෙනී යන්නේ අන් අය කර තිබෙන දේවල් අවංකව අගය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන බවයි. ක්‍රිස්තියානි සභාව තුළත් අන් අයව අගය කිරීමට ඕන තරම් හේතු තිබෙනවා. යෙහෝවා දෙවිට සේවය කිරීමට ඔවුන් දක්වන ආශාව, හොඳින් සූදානම් වී ඉදිරිපත් කරන අදහස්, සභා රැස්වීම්වලදී කතා ඉදිරිපත් කිරීමට තිබූ භයෙන් ගොඩ ඒම, දේශනා කිරීමටත් ඉගැන්වීමටත් ඔවුන් තුළ තිබෙන උද්‍යෝගය, නමස්කාරය හා බැඳි දේවලට මුල් තැන දීමට සහ නමස්කාරය තුළ දියුණු වීමට ඔවුන් දරන වෙහෙස යනාදි දේවල් ගැන සිතා බලන්න. අන් අයට ප්‍රශංසා කරද්දී අපිටත් බොහෝ ආශීර්වාද ලැබෙනවා. ඒ තුළින් අපට හොඳ හැඟීමක් ඇතුව සිටින්නත් හැකි වෙනවා.—ක්‍රියා 20:35.

ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සභාවේ සිටින සෙසු අයගේ හොඳ ක්‍රියාකාරකම් අගය කරනවා. එමෙන්ම උපදෙස් දීමට අවශ්‍ය වූ විට ඒවා සපයන්නේ ප්‍රේමයෙන්. ඔවුන් කිසිවෙකුගෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු වෙන්නේ නැහැ.

එලීහූ විදහාපෑ හිතෛෂීකම, පාවුල් යොදාගත් උපායශීලිකම සහ යේසුස් විදහා පෑ ප්‍රේමණීය සැලකිල්ල ආදර්ශයට ගෙන ක්‍රියා කරන වැඩිමහල්ලන් සභාවේ සාමාජිකයන්ට මහඟු දිරිගැන්වීමක්. ඔවුන් සභාවේ සිටින සෙසු ක්‍රිස්තියානීන්ව පැසසුමට ලක් කරන විට යහපත් දේවල් වැඩියෙන් කරන්න සෙසු ක්‍රිස්තියානීන් පෙලඹෙනවා. එමගින් එකිනෙකාට සන්තෝෂවත් සාමකාමි සබඳතාවක් භුක්ති විඳින්න හැකි වෙනවා. යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී ස්වර්ගයේ සිටි ඔහුගේ පියාණන් “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබය. මම ඔබව අනුමත කළෙමි” කියා ඔහුව පැසසූ විට යේසුස් කොතරම් සතුටු වන්න ඇද්ද! (මාක් 1:11) අපිත් අපේ සහෝදරයන්ට අවංකවම ප්‍රශංසා කරමින් ඔවුන්ව දිරිගන්වමු.

[15වන පිටුවේ පින්තූර]

පාවුල් මෙන් උපායශීලී වීමෙන් අපටත් කදිම ප්‍රතිඵල ලැබෙයි

[16වන පිටුවේ පින්තූරය]

ප්‍රේමයෙන් පැසසීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙයි