Skip to content

පටුනට යන්න

දානියෙල් පොතෙන් විශේෂාංග

දානියෙල් පොතෙන් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

දානියෙල් පොතෙන් විශේෂාංග

“දානියෙල් පොත බයිබලයේ තිබෙන උනන්දුව පුබුදුවාලන පොත් අතරින් එකක්” බව බයිබල් ශබ්දකෝෂයක සඳහන් වෙනවා. (Holman Illustrated Bible Dictionary) එය “කිසිදාක බොරු නොවන සත්‍යයන් ඇතුළත් පොතක්.” දානියෙල් පොත දිග හැරෙන්නේ ක්‍රිස්තු පූර්ව 618දී නෙබුකද්නෙෂර් රජ යෙරුසලම වටලෑමේ සිද්ධියත් සමඟිනුයි. නෙබුකද්නෙෂර් සමහර ‘ඊශ්‍රායෙල් පුත්‍රයන්වද’ බැබිලෝනියට ගෙන ගියා. (දානියෙල් 1:1-3, නව ලොව පරිවර්තනය, NW) ඒ අතර යෞවන දානියෙල්ද සිටියා. මේ පොත ලියා අවසන් කරන විටත් දානියෙල් සිටියේ බැබිලෝනියේමයි. දානියෙල්ට වයස අවුරුදු 100ක් පමණ වෙන විට දෙවි ඔහුට මෙම පොරොන්දුව දුන්නා. “ඔබ විවේක ගන්නේය. ඔබට වෙන් කළ කොටස ලබාගැනීම සඳහා ඔබ ආපසු නැඟිටින්නේය.”—දානියෙල් 12:13, NW.

දානියෙල් පොතේ තොරතුරු වාර්තා වී තිබෙන්නේ සිද්ධීන් සිදු වූ පිළිවෙළ අනුවයි. එහි මුල් කොටස් කිහිපය ඔහු වාර්තා කර තිබෙන්නේ පිටස්තර කෙනෙකු දේවල් දිහා බලන කෝණයෙනුයි. අවසාන කොටස් කිහිපය ඔහු ලියා තිබෙන්නේ තමාම දේවල් දකින කෝණයෙනුයි. ලෝක අධිරාජ්‍යයන්වල නැඟීම හා වැටීම, ගැලවුම්කරු ලෙස ක්‍රිස්තුස් පෙනී සිටින කාලය මෙන්ම අපි ජීවත් වෙන මේ කාලයේ සිදු වෙන දේවල් ගැන ඔහු වාර්තා කරනවා. * දානියෙල් සිය ජීවිත අද්දැකීම්ද වාර්තා කර තිබෙන අතර ඒවා කියවා බැලීමෙන් අපට දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට මහඟු දිරිගැන්වීමක් ලැබෙනවා. එමෙන්ම මෙම පොතේ තිබෙන්නේ ජීවමාන, බලවත් පණිවුඩයක්.—හෙබ්‍රෙව් 4:12.

ඉතිහාස වාර්තාවෙන් අපට ගත හැකි පාඩම කුමක්ද?

(දානියෙල් 1:1–6:28)

ක්‍රිස්තු පූර්ව 617වන විට දානියෙල් සහ ඔහුගේ මිතුරන් තිදෙනා වූ ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ සිටියේ බැබිලෝනියේ රජ වාසලෙයි. එහිදී වසර තුනක පුහුණුවක් ඔවුන්ට ලැබුණත් ඔවුන් දිගටම දෙවිට පක්ෂපාතව සිටියා. ඉන් අවුරුදු අටකට පමණ පසු නෙබුකද්නෙෂර් රජ යම් සිහිනයක් දුටු අතර එය ඔහුට ලොකු ප්‍රහේලිකාවක් වුණා. ඒ වුණත් දානියෙල් සිහිනය කුමක්ද කියා හෙළි කරමින් එහි අර්ථයද පහදා දුන්නා. ඒ නිසා නෙබුකද්නෙෂර් මෙසේ පැවසුවා “ඔබේ දෙවි දෙවිවරුන්ගෙත් දෙවි! ඔහු රජවරුන්ගෙත් රජ! රහස් හෙළි කරන තැනැත්තා ඔහුයි.” (දානියෙල් 2:47) නමුත් වැඩි කල් යන්න කලින් ඔහු පැවසූ දේ ඔහුටම අමතක වුණා. දානියෙල්ගේ මිතුරන් තිදෙනා විශාල රූපය ඉදිරියේ වැඳ වැටී නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කළ විට ඔවුන්ව ඇවිළෙන ගිනි උදුනට දමා පුච්චන්න කියා ඔහු නියෝග කළා. නමුත් සැබෑ දෙවි ඔවුන්ව ගින්නෙන් ගලවාගත් නිසා “මේ විදිහට තමන්ගේ සේවකයන්ව ගලවාගන්න පුළුවන් වෙන කිසි දෙවි කෙනෙක් නැහැ” කියා නෙබුකද්නෙෂර් රජුට අවසානයේදී පිළිගන්න සිදු වුණා.—දානියෙල් 3:29, NW.

යම් කාලයකට පසු නෙබුකද්නෙෂර් රජ තවත් සිහිනයක් දුටුවා. එහිදී විශාල ගසක් කපා දමා එය වැඩීමෙන්ද වළක්වනු ලබන ආකාරය ඔහු දැක්කා. දානියෙල් එම සිහිනයේ අර්ථයත් රජුට තෝරා දුන්නා. නෙබුකද්නෙෂර් රජ මානසිකව රෝගී වී නැවත සුවය ලැබූ විට එම සිහිනය ඔහු සම්බන්ධයෙන් ඉටු වුණා. ඉන් දශක කිහිපයකට පසු බෙල්ෂසර් රජ රාජ්‍යයේ අධිපතීන් වෙනුවෙන් මහා භෝජන සංග්‍රහයක් පිළියෙල කළා. ඒ අවස්ථාවේදී ඔහු යෙරුසලමේ දේවමාලිගාවෙන් පැහැරගෙන තිබූ භාජන නුසුදුසු ලෙස භාවිත කළා. එදිනම රාත්‍රියේදී බෙල්ෂසර් රජුව මරා දමනු ලැබූ අතර මේදිය ජාතික දාරියුස්ට එම රාජ්‍යය හිමි වුණා. (දානියෙල් 5:30, 31) දාරියුස්ගේ පාලන කාලයේදී වයස අවුරුදු 90 ඉක්මවා ගිය අනාගතවක්තෘ වූ දානියෙල්ව මැරීමට ඊර්ෂ්‍යාවෙන් පසු වූ සමහර නිලධාරීන් තැත් කළා. ඔවුන් දානියෙල්ව සිංහ ගුහාවකට හෙළුවත් දෙවි ඔහුව ‘සිංහ කටින් බේරාගත්තා.’—දානියෙල් 6:27, NW.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර

1:11-15— යුදෙව් තරුණයන් සතරදෙනාට හැඩි දැඩි පෙනුමක් තිබුණේ ඔවුන් එළවුළු පමණක් ආහාරයට ගත් නිසාද? නැහැ. හේතුව දින දහයක් තුළ එවැනි වෙනසක් කිරීමට ආහාරවලට හැකි වෙයි කියා සිතිය නොහැකි වීමයි. නමුත් තරුණයන්ට හැඩි දැඩි පෙනුමක් ලැබුණේ ඔවුන් යෙහෝවා දෙවිව විශ්වාස කරමින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දෙවි ඔවුන්ට ආශීර්වාද කළ නිසයි. ඒ නිසා එහි සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ යෙහෝවා දෙවිටයි.—හිතෝපදේශ 10:22.

2:1, NW—නෙබුකද්නෙෂර් රජ විශාල රූපයේ සිහිනය දුටුවේ කවදාද? වාර්තාවේ සඳහන් වන්නේ “නෙබුකද්නෙෂර් රජකම් කළ දෙවෙනි අවුරුද්දේදී” ඔහු මෙම සිහිනය දුටුවා කියායි. ඔහු රජ බවට පත් වුණේ ක්‍රි.පූ. 624දීයි. ඒ අනුව ඔහුගේ පාලනයේ දෙවෙනි අවුරුද්ද ඇරඹෙන්නේ ක්‍රි.පූ. 623දී විය යුතුයි. නමුත් ඒ වන විට නෙබුකද්නෙෂර් යූදා දේශය අත් පත් කරගෙන තිබුණේවත්, සිහිනයේ අර්ථය පහදා දීමට දානියෙල් බැබිලෝනියේ සිටියේවත් නැහැ. එසේනම් ඔහු එම සිහිනය දුටුවේ ක්‍රි.පූ. 607 යෙරුසලම විනාශ කර ලෝක පාලකයෙක් බවට පත් වූ දා සිට අවුරුදු දෙකක් ගත වූ පසුව විය යුතුයි.

2:32, 39—රිදීවලින් නියෝජනය වූ රාජ්‍යය රන්වලින් නියෝජනය වූ රාජ්‍යයට වඩා පහත් වුණෙත්, තඹවලින් නියෝජනය වුණු රාජ්‍යය රිදීයෙන් නියෝජනය වුණු රාජ්‍යයට වඩා පහත් වුණෙත් කුමන අර්ථයෙන්ද? රිදීවලින් නියෝජනය කළ රාජ්‍යය මේද පර්සියාව වූ අතර රන්වලින් නියෝජනය කළේ බැබිලෝනිය රාජ්‍යයයි. බැබිලෝනිය හැරුණුකොට මේද පර්සියාවට යූදා දේශය යටත් කරගන්න නොහැකි වූ නිසා ඔවුන් බැබිලෝනියට වඩා පහත් වුණා. තඹවලින් නියෝජනය කළේ ග්‍රීසියයි. ඔවුන් විශාල ප්‍රදේශයක් අත්පත් කරගත්තත් මේද පර්සියානුවන් මෙන් දෙවිගේ සෙනඟව නිදහස් කිරීමට ග්‍රීසියට නොහැකි වූ නිසා ඔවුන් මේද පර්සියාවට වඩා පහත් වුණා.

4:8, 9, NW—දානියෙල් මන්තර ගුරුකම් කරන පූජකයෙක් වුණාද? කොහෙත්ම නැහැ. නමුත් දානියෙල්ව “බැබිලෝනියේ සියලුම බුද්ධිමතුන්ගේ ප්‍රධානියා” ලෙස පත් කර තිබූ නිසයි ඔහුව “මන්තර ගුරුකම් කරන පූජකයන්ගේ ප්‍රධානියා” ලෙස හැඳින්වූයේ.—දානියෙල් 2:48, NW.

4:10, 11, 20-22, NW—නෙබුකද්නෙෂර් සිහිනයෙන් දුටු විශාල ගසෙන් සංකේතවත් කළේ කුමක්ද? එම සිහිනයට ඉටුවීම් දෙකක් තිබෙනවා. මුලින්ම ලෝක පාලකයෙක් වූ නෙබුකද්නෙෂර්ව ඉන් සංකේතවත් කළා. නමුත් මෙම ගස ‘පොළොවේ සතර දිශාවටම දැකගන්න පුළුවන්’ වූ නිසා ඉන් ඊටත් වඩා ශ්‍රේෂ්ඨ යමක් සංකේතවත් විය යුතු වුණා. දානියෙල් 4:17 මෙම සිහිනය ‘මහෝත්තම දෙවිට’ මිනිසුන්ව පාලනය කිරීමට තිබෙන අයිතිය සමඟ සම්බන්ධ කර තිබෙනවා. ඒ නිසා එම විශාල ගස යෙහෝවා දෙවිට පොළොව පාලනය කිරීමට තිබෙන අයිතියත් සංකේතවත් කළා.

4:16, 23, 25, 32, 33, NW—‘කාලවල් සත’ කොතරම් දීර්ඝද?—නෙබුකද්නෙෂර්ගේ පෙනුම වෙනස් වීම ගැන බලන කල ඒ ‘කාලවල් සත’ දින හතකට වඩා දීර්ඝ විය යුතුයි. මෙහි සඳහන් කාලවල් සතට දින 360කින් යුත් අවුරුදු සතක් එනම් දින 2,520 ඇතුළත් වුණා. එම කාලවල් සතට ශ්‍රේෂ්ඨ ඉටුවීමක්ද තිබුණා. එම ඉටුවීමේදී ‘කාලවල් සත’ වර්ෂ 2,520 තරම් දීර්ඝ වුණා. (එසකියෙල් 4:6, 7) එය ගණන් ගැනෙන්නේ ක්‍රි.පූ. 607 යෙරුසලමේ විනාශයේ සිට ක්‍රිස්තු වර්ෂ 1914දී යේසුස් ස්වර්ගයේ රජ බවට පත් වූ කාලය දක්වායි.—ලූක් 21:24.

6:6-10—යාච්ඤා කිරීමේදී විශේෂ ඉරියව්වක් යෙහෝවා දෙවි බලාපොරොත්තු වෙන්නේ නැති නිසා තහනම පනවා තිබූ දින 30 පුරා දානියෙල් ඥානවන්ත ලෙස රහසිගතව යාච්ඤා නොකළේ ඇයි? මෙවන් තහනමක් පැනවීමෙන් පැහැදිලි වෙන්නේ දානියෙල් දිනකට තුන් වතාවක් යාච්ඤා කරන බව බොහෝදෙනෙක් දැන සිටි බවයි. එම තහනම නිසා දානියෙල් රහසිගතව යාච්ඤා කිරීමට පටන්ගත්තා නම් අන්‍යයන් සිතන්න පුළුවන් දානියෙල්ට දිගටම දෙවිට පක්ෂපාතව සිටින්න නොහැකි වුණා කියා.

අපට ගත හැකි පාඩම්

1:3-8. දානියෙල් ඇතුළු ඔහුගේ මිතුරන් තිදෙනා දිගටම දෙවිට පක්ෂපාතව සිටීමෙන් පැහැදිලි වෙන්නේ ඔවුන්ට කුඩා කාලයේ සිටම තම දෙමව්පියන්ගෙන් කදිම පුහුණුවක් ලැබී ඇති බවයි. දේවගරුබිය ඇති දෙමව්පියන් නමස්කාරය හා සම්බන්ධ දේවලට මුල් තැන දී කටයුතු කරමින් තම දරුවන්ටත් එසේ කිරීමට උගන්වද්දී, එම දරුවන් බොහෝවිට පාසැලේදී හෝ වෙනත් ස්ථානයකදී හෝ නුසුදුසු දේවලින් වැළකී අභියෝගවලටද සාර්ථකව මුහුණ දෙනවා.

1:10-12, NW. “රජුගේ ප්‍රධාන නිලධාරියා” රජට බිය වුණේ ඇයි කියා දානියෙල් තේරුම්ගත් නිසා ඔහු තවදුරටත් තම ඉල්ලීම් ඒ නිලධාරියාට ඉදිරිපත් කළේ නැහැ. ඒ වෙනුවට තමාව ‘බලාගැනීමට පත් කර තිබූ නිලධාරියාට’ තම ඉල්ලීම් ඉදිරිපත් කළා. දානියෙල් එසේ කළේ එම නිලධාරියා තමාට හොඳින් සවන් දෙයි කියා ඔහු සිතූ නිසයි. ඒ හා සමානව අපිත් යම් අභියෝගවලට මුහුණ දෙන විට ඥානවන්තව මෙන්ම හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කිරීම වැදගත්.

2:29, 30. බයිබලය අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපි ලබා තිබෙන දැනුම, යහපත් ගුණාංග සහ හැකියාවන් සම්බන්ධයෙන් දානියෙල් මෙන් අපිත් සම්පූර්ණ ගෞරවය යෙහෝවා දෙවිට ලබා දෙමු.

3:16-18. වඩා විශාල පීඩාවන් හමුවේ පවා හෙබ්‍රෙව් තරුණයන් තිදෙනාට විශ්වාසවන්තව ඉන්න පුළුවන් වුණේ කලින් ආහාර සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයේදී පවා ඔවුන් විශ්වාසවන්තව කටයුතු කළ නිසයි. ඒ නිසා අපිත් “සියල්ලෙහිදී විශ්වාසවන්තව” කටයුතු කිරීම කොතරම් වැදගත්ද!—1 තිමෝති 3:11.

4:24-27, NW.  නෙබුකද්නෙෂර් රජට මුහුණ දෙන්න සිදු වෙන දේ ගැන හෙළි කිරීමට හා “දිගු කාලයක් පුරා සැපවත් ජීවිතයක් ගත” කිරීමට නම් ඔහු කළ යුත්තේ කුමක්ද කියා පැවසීමට දානියෙල්ට නිර්භීතකම මෙන්ම ඇදහිල්ලද අවශ්‍ය වුණා. දෙවිගේ විනිශ්චයමය පණිවුඩය මිනිසුන්ට ප්‍රකාශ කිරීම සඳහා අපටත් එම ගුණාංග තිබිය යුතුයි.

5:30, 31. “බැබිලෝනියේ රජුට උපහසයට මෙන්” පැවසූ දේ සත්‍යයක් වුණා. (යෙසායා 14:3, 4, 12-15, NW) බැබිලෝනිය පාලනය කළ රජවරුන් මෙන් උඩඟුව සිටින සාතන්ටත් ලැජ්ජාසහගත අවසානයක් අද්දකින්න සිදු වෙනවා.—දානියෙල් 4:30; 5:2-4, 23.

දානියෙල් දුටු දර්ශනවලින් හෙළි වෙන්නේ කුමක්ද?

(දානියෙල් 7:1–12:13)

ක්‍රිස්තු පූර්ව 553දී දානියෙල්ට දෙවි පළමු දර්ශනය පෙන්වූ විට ඔහුගේ වයස අවුරුදු 70 ඉක්මවා ගොස් තිබුණා. එම දර්ශනයෙන් දානියෙල් මෘගයන් හතරදෙනෙකුව දකිනවා. දානියෙල්ගේ කාලයේ සිට අපේ කාලය දක්වා පොළොව පාලනය කරන්න යන ලෝක අධිරාජ්‍යයන් එම මෘගයන්ගෙන් නියෝජනය වුණා. ඔහු ස්වර්ගය සම්බන්ධයෙන් දුටු දර්ශනයේදී ‘මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකුව’ දකින අතර ඔහුට ‘කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයක්’ දෙන ආකාරයද දකිනවා. (දානියෙල් 7:13, 14, NW) අවුරුදු දෙකකට පසු දානියෙල්ට මේද පර්සියාව, ග්‍රීසිය මෙන්ම “ඉතා දරුණු පෙනුමක්ද කපටි නුවණක්ද” ඇති රජෙකු සම්බන්ධ දර්ශනයක්ද දෙනු ලැබුවා.—දානියෙල් 8:23, NW.

මේදීය දාරියුස් ක්‍රි.පූ. 539දී බැබිලෝනිය අත් පත් කරගෙන රජ බවට පත් වුණා. මේ අතරතුර දානියෙල් පාළුවට ගොස් තිබූ යෙරුසලම් දේශය ගැන දෙවිට යාච්ඤා කළා. ඔහු යාච්ඤා කරමින් සිටියදී දෙවි ගාබ්‍රියෙල් නම් දේවදූතයාව ඔහු වෙත එවා මෙසියස්ගේ පැමිණීම සම්බන්ධයෙන් “සියල්ල පැහැදිලිව අවබෝධ කර” දුන්නා. (දානියෙල් 9:20-25, NW) යුදෙව්වන් සුළු පිරිසක් ක්‍රි.පූ. 536/535 වන විට යෙරුසලමට පැමිණියා. නමුත් යෙරුසලමේ දේවමාලිගාව ගොඩනැඟීමේ කාර්යයට බාධා පැමිණ ඇති බව දානියෙල් දැනගත් විට ඔහු දුක් වුණා. දානියෙල් ඒ සම්බන්ධයෙන්ද දෙවිට යාච්ඤා කළ අතර දෙවි බලවත් දේවදූතයෙකු එවා ඔහුව ශක්තිමත් කර දිරිගැන්නුවා. පසුව එම දේවදූතයා උතුරේ රජත් දකුණේ රජත් අතර සිදුවීමට නියමිත බල අරගලයක් පිළිබඳ අනාවැකියක් දානියෙල්ට පැවසුවා. මෙම අරගලය ඇරඹෙන්නේ මහා ඇලෙක්ස්ඇන්ඩර්ගේ රාජ්‍යය ඔහුගේ සේනාධිපතීන් හතරදෙනා අතර බෙදී ගිය කාලයේ සිටයි. එම අරගලය ‘ශ්‍රේෂ්ඨ අධිපතියා වන මිකායෙල් නැඟී සිටින’ කාලය දක්වාම දිව ගියා.—දානියෙල් 12:1, NW.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර

8:9, NW—“අලංකාර” කියා දානියෙල් පැවසූ දෙයින් සංකේතවත් කළේ කුමක්ද? එංගලන්ත ඇමරිකානු ලෝක බලය පැවති කාලය තුළ පොළොවේ සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ඉන් සංකේතවත් කළා.

8:25, NW—“අධිපතීන්ගෙත් අධිපතියා” කවුද? හෙබ්‍රෙව් බසින් අධිපතියා සඳහා යොදාගෙන ඇති වචනයෙන් (සාර්) අදහස් වෙන්නේ “ප්‍රධාන” නැත්නම් “මූලික කෙනා” යන්නයි. “අධිපතීන්ගෙත් අධිපතියා” යන තනතුර අදාළ වෙන්නේ යෙහෝවා දෙවිට පමණයි. ඔහු “අධිපතීන් අතරේ ප්‍රධානියෙකු වන මිකායෙල්” ඇතුළු සියලුම දේවදූතයන්ගේ ප්‍රධානියායි.— දානියෙල් 10:13, NW.

9:21, NW—දානියෙල් ගාබ්‍රියෙල්ව “මිනිසා” කියා හඳුන්වන්නේ ඇයි? දානියෙල් එසේ පැවසුවේ ගාබ්‍රියෙල් මිනිසෙකුගේ පෙනුමෙන් ඔහු වෙත පැමිණි නිසයි.—දානියෙල් 8:15-17, NW.

9:27, NW—සති සැත්තෑවේ අවසානය දක්වා එනම් ක්‍රිස්තු වර්ෂ 36 වන තුරු ‘බොහෝදෙනා උදෙසා’ ක්‍රියාත්මක වූ ගිවිසුම කුමක්ද? මෝසෙස්ට දෙන ලද නීතිය යේසුස්ගේ මරණයත් සමඟම ක්‍රි.ව. 33දී අවලංගු වුණා. කොහොමවුණත් යෙහෝවා දෙවි ක්‍රි.ව. 36 වන තෙක්ම ආබ්‍රහම් සමඟ ඇති කරගත් ගිවිසුම ඊශ්‍රායෙල් ජාතිය උදෙසා ක්‍රියාත්මක වීමට ඉඩහැරියා. ඔවුන් ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වූ නිසයි යෙහෝවා දෙවි අනුග්‍රහය දැක්වීමේ කාලය දීර්ඝ කළේ. ආබ්‍රහම් සමඟ ඇති කරගත් ගිවිසුම “දෙවිගේ ඊශ්‍රායෙල්” සම්බන්ධයෙනුත් ක්‍රියාත්මක වෙනවා.—ගලාති 3:7-9, 14-18, 29; 6:16.

අපට ගත හැකි පාඩම්

9:1-23, NW; 10:11. දානියෙල් නිහතමානී, දේවගරුභිය ඇති, දේවවචනය අධ්‍යයනය කළ මෙන්ම නොකඩවා දෙවිට යාච්ඤා කළ කෙනෙක්. ඒ නිසයි දෙවි ඔහුව ‘බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙක්’ කියා හැඳින්වූයේ. මෙම ලක්ෂණ ඔහු සතුව තිබුණු නිසා ජීවිතයේ අවසානය දක්වාම දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔහුට හැකි වුණා. අපිත් දානියෙල්ගේ ආදර්ශය අනුගමනය කිරීමට අදිටන් කරගනිමු.

9:17-19. ‘ධර්මිෂ්ඨකම වාසය කරන’ පාරාදීස පොළොවක් ගැන අපි දෙවිට යාච්ඤා කළ යුත්තේ එමගින් අපේ ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් ලැබෙන නිසා පමණක් නෙවෙයි. ඊටත් වඩා අපි ආශා විය යුත්තේ දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉවත් වී පොළොව පාලනය කිරීමට ඔහුට තිබෙන අයිතිය තහවුරු වෙනවා දැකීමටයි.—2 පේතෘස් 3:13.

10:9-11, 18, 19. දානියෙල්ව හමුවීමට පැමිණි දේවදූතයා මෙන් අපිත් එකිනෙකාට උපකාර කිරීමෙන් හා සැනසිලිදායක වචන යොදාගැනීමෙන් ඔවුන්ව දිරිගැන්විය යුතුයි.

12:3, NW. මේ අන්තිම දවස්වල “ගැඹුරු අවබෝධය ඇති” අභිෂේක ලත් ක්‍රිස්තියානීන් “ප්‍රදීප ලෙස බැබළෙමින්” ‘බොහෝදෙනෙකුට ධර්මිෂ්ඨකම උගන්වා’ තිබෙනවා. ඒ බොහෝදෙනා අතරට ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් ‘මහත් සමූහයද’ අයත් වෙනවා. (ෆිලිප්පි 2:15; එළිදරව් 7:9; යොහන් 10:16) අභිෂේක ලත් අය වඩා ශ්‍රේෂ්ඨ ආකාරයකින් ‘තාරකා මෙන් බැබළෙන්නේ’ දහස් අවුරුදු පාලනය තුළදීයි. එදාට ඔවුන් ක්‍රිස්තුස් සමඟ හවුල් වී ඔහුගේ ජීවිත පූජාවේ ප්‍රයෝජන ධර්මිෂ්ඨ මිනිසුන්ට ලබා දෙනවා. තම උපරිමයෙන් “වෙනත් බැටළුවන්” අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට සහය ලබා දිය යුතුයි.

තමා කෙරෙහි ‘ගරුබිය දක්වන අයට යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා’

අපි නමස්කාර කරන යෙහෝවා දෙවි ගැන දානියෙල් පොතේ අපිට උගන්වන්නේ කුමක්ද? එම පොතේ සඳහන් දැනටමත් ඉටු වී ඇති අනාවැකි හා ඉටුවීමට නියමිත අනාවැකි ගැන කල්පනා කර බලන විට දෙවි සිය වචනය අනිවාර්යයෙන්ම ඉටු කරන බව අපට සහතිකයි.—යෙසායා 55:11.

දානියෙල් ඇතුළු ඔහුගේ මිතුරන් තිදෙනා ගැන වාර්තා වී තිබෙන තොරතුරුවලින්ද අපට යෙහෝවා දෙවි කුමන ආකාරයේ කෙනෙක්ද කියා දැනගත හැකියි. හෙබ්‍රෙව් තරුණයන් තිදෙනා බැබිලෝනියේ ක්‍රමයට අනුව හැඩගැසීම ප්‍රතික්ෂේප කළ විට දෙවි ඔවුන්ට “මනා දැනුමක් හා අවබෝධයක්” ලබා දුන්නා. (දානියෙල් 1:17, NW) සැබෑ දෙවි දේවදූතයෙකුව යොදාගෙන ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝව ගිනිමය උදුනෙන් ගලවාගත්තා. දානියෙල්වද සිංහයන්ගේ කටින් මුදවාගත්තා. ඇත්තෙන්ම යෙහෝවා දෙවි ‘ඔහු කෙරෙහි විශ්වාසය තබන අයගේ පලිහ මෙන් උපකාරයට පැමිණෙනවා.’ එමෙන්ම ඔහු “කෙරෙහි ගරුබිය ඇති ලොකු කුඩා සියලුදෙනාට ඔහු ආශීර්වාද” කරනවා.—ගීතාවලිය 115:9, 13, NW.

[පාදසටහන]

^ 2 ඡේ. බයිබලයේ තිබෙන දානියෙල් පොතේ ඇති සෑම වගන්තියක් ගැනම වැඩි විස්තර දැනගැනීම සඳහා දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! යන පොත බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[18වන පිටුවේ පින්තූරය]

දානියෙල් ‘බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙක්’ වුණේ ඇයි?