Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ව ප්‍රේමණීය ලෙස පුහුණු කරන්න

ඔබේ දරුවන්ව ප්‍රේමණීය ලෙස පුහුණු කරන්න

ඔබේ දරුවන්ව ප්‍රේමණීය ලෙස පුහුණු කරන්න

“ඔබ කරන සෑම කටයුත්තක්ම ප්‍රේමයෙන් කරනු ලැබේවා.”—1 කොරින්ති 16:14.

1. දෙමව්පියන් තුළ කුමනාකාරයේ හැඟීම් ඇති විය හැකිද?

දරුවෙකුගේ උපත දෙමව්පියන් ජීවිතයේ අද්දකින ප්‍රීතිමත්ම අවස්ථාවක් බව කවුරුත් පිළිගන්නා දෙයක්. එක් මවක් වූ ආලීයා ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසුවා. “මගේ දුව ඉපදුණු වෙලාවේ මට දැනුණේ පුදුමාකාර ප්‍රීතියක්. දුවව දැක්කම මට හිතුණේ මම ජීවිතේටම දැකපු ලස්සනම දරුවා එයා කියලයි.” නමුත් ඒ ප්‍රීතිය සමඟ ලොකු වගකීමක්ද දෙමව්පියන් මත පැටවෙනවා. ආලීයාගේ ස්වාමිපුරුෂයා පැවසුවේ මෙසේයි. “මම නිතරම කල්පනා කළේ ජීවිතයේ එන අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න අපේ දුවව පුහුණු කරන්න මට පුළුවන් වෙයිද කියලයි.” ඕනෑම දෙමව්පියෙක් තුළ එවන් හැඟීම් ඇති විය හැකි අතර දරුවන්ව ආදරයෙන් පුහුණු කිරීමේ ඇති වැදගත්කම ඔවුන් තේරුම්ගෙන තිබෙනවා. දෙවිට නමස්කාර කරන දෙමව්පියන් දරුවන්ව පුහුණු කිරීමේදී යම් අභියෝගවලටත් මුහුණ දෙනවා. ඉන් කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු.

2. දෙමව්පියන්ට මුහුණ දීමට සිදු වෙන්නේ කුමනාකාරයේ අභියෝගවලටද?

2 අපි දැන් ජීවත් වෙන්නේ අන්තිම කාලයේ අවසාන අදියරෙයි. බයිබලයේ පවසා තිබෙන ආකාරයට අද මුළු සමාජය තුළම ප්‍රේමය හීන වෙලා. පවුල් තුළ පවා “ජන්ම ස්නේහය නැති” තත්වයක් තිබෙන අතර ඔවුන් “ස්තුතිවන්ත නොවන,” “පක්ෂපාතිත්වයක් නැති,” “ආත්ම දමනය නැති,” “දරුණු” අය වී තිබෙනවා. (2 තිමෝති 3:1-5) එවන් මිනිසුන් සමඟ දිනපතාම කටයුතු කරන්න සිදු වෙන නිසා එය අපි අපේ පවුලේ අයට සලකන ආකාරයටද බලපාන්න පුළුවන්. ඊට අමතරව දෙමව්පියන් සමහර අවස්ථාවලදී ආත්ම දමනය නැති කරගන්නත් පුළුවන්. ඒ නිසා ඔවුන් හිතන්නේ බලන්නේ නැතුව දෙයක් කියන්න හෝ වැරදි තීරණ ගන්න පුළුවන්.—රෝම 3:23; යාකොබ් 3:2, 8, 9.

3. සතුටින් දෙවිට සේවය කරන දරුවන්ව ඇති දැඩි කරන්න දෙමව්පියන්ට පුළුවන් කෙසේද?

3 මෙවන් අභියෝග මැද පවා දෙමව්පියන්ට හැකියි දරුවන්ව සතුටින් දෙවිට සේවය කරන අය ලෙස ඇති දැඩි කරන්න. එය කළ හැක්කේ “ඔබ කරන සෑම කටයුත්තක්ම ප්‍රේමයෙන් කරනු ලැබේවා” කියන ප්‍රතිපත්තිය අදාළ කරගැනීමෙනුයි. (1 කොරින්ති 16:14) ප්‍රේමය කියන්නේ ‘එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමක්.’ (කොලොස්සි 3:14) දැන් අපි බලමු පාවුල් කොරින්තිවරුන්ට ලියූ ලිපියේ ප්‍රේමය විදහා පෑ හැකි ආකාර තුනක් ගැන ඔහු පැවසුවේ කුමක්ද කියා. එමෙන්ම දෙමව්පියන් දරුවන්ව නිසි ලෙස පුහුණු කරන විට එම උපදෙස් අදාළ කරගත හැකි ආකාරයද අපි දැන් සලකා බලමු.—1 කොරින්ති 13:4-8.

බොහෝ ඉවසිලිවන්ත වීම හරිම වැදගත්

4. දෙමව්පියන් බොහෝ ඉවසිලිවන්ත අය විය යුත්තේ ඇයි?

4 පාවුල් මෙසේ පැවසුවා “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය.” (1 කොරින්ති 13:4) ඊට කේන්ති නොගෙන සිටීමද ඇතුළත් වෙනවා. දෙමව්පියන් බොහෝ ඉවසිලිවන්ත අය විය යුත්තේ ඇයි? ඊට හේතු බොහොමයක් තිබුණත් ඉන් කිහිපයක් සලකා බලමු. ඔබේ දරුවා ඔබෙන් යම් ඉල්ලීමක් කළායයි සිතන්න. එම ඉල්ලීම පිටුපස තිබෙන අනතුරුදායක පැත්ත දකින නිසා ඔබ එය එක හෙළාම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒත් ඔබේ දරුවා වෙනස් පිළිතුරක් බලාපොරොත්තු වෙමින් නැවත නැවතත් එම ප්‍රශ්නයම ඔබෙන් අහන්න පුළුවන්. නැත්නම් යම් අනුවණ දෙයක් කරන්න අවසර ඉල්ලමින්, ඔබ සමඟ තර්ක කරන්නත් පුළුවන්. (හිතෝපදේශ 22:15) අපි හැමෝම වගේ දරුවන්ද යම් වරදක් නැවත නැවතත් කරන්න ඉඩ තිබෙනවා.—ගීතාවලිය 130:3.

5. බොහෝ ඉවසිලිවන්තව සිටීමට දෙමව්පියන්ට උපකාරවත් විය හැක්කේ කුමක්ද?

5 දෙමව්පියන්ට දරුවන් සමඟ බොහෝ ඉවසිලිවන්තව කටයුතු කළ හැක්කේ කෙසේද? සලමොන් රජ වතාවක් මෙසේ පැවසුවා. “තීක්ෂ්ණ බුද්ධිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි.” (හිතෝපදේශ 19:11, NW) දෙමව්පියෙනි, ඔබත් කුඩා අවදියේදී ‘බිලිඳෙකු මෙන් කතා කළ බවත්, බිලිඳෙකු මෙන් සිතූ බවත්, බිලිඳෙකු මෙන් කල්පනා කළ බවත්’ සිහියට නඟන්න. (1 කොරින්ති 13:11) එමගින් දරුවන් යම් ආකාරයකින් හැසිරෙන්නේ ඇයි කියා තීක්ෂ්ණ බුද්ධිය ඇතුව තේරුම්ගැනීමට ඔබට හැකි වෙනවා. දෙමව්පියෙනි කුඩා අවදියේදී ඔබත් යම් කාරණයක් ගැන ඔබේ දෙමව්පියන්ට කරදර කළ ආකාරය මතකද? ඔබේ යෞවන වියේදී දෙමව්පියන් ඔබේ හැඟීම් සහ ගැටලු හරි හැටි තේරුම්ගන්නේ නැහැ කියා කවදා හෝ ඔබට සිතුණාද? ඔබට එය මතකයට නැඟිය හැකි නම් දරුවන්ව හොඳින් තේරුම්ගන්න පුළුවන් වෙන අතර ඔබ දෙමව්පියෙක් හැටියට ඉවසිලිවන්තව යම් දේවල් ගැන දරුවන්ව දැනුවත් කළ යුත්තේ ඇයි කියාත් තේරුම්ගත හැකියි. (කොලොස්සි 4:6) දරුවන්ගේ ‘සිතට කාවදින’ ආකාරයෙන් දෙවිගේ නීති හා ප්‍රතිපත්ති ගැන උගන්වන්න කියා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි දෙමව්පියන්ට උපදෙස් දුන්නා. (ද්විතීය කතාව 6:6, 7, NW) හෙබ්‍රෙව් භාෂාවෙන් ‘සිතට කාවදින’ යන යෙදුමෙන් අදහස් වන්නේ “නැවත නැවත කීම” යන්නයි. එසේනම් දරුවන් දිව්‍ය ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගන්නා තුරු දෙමව්පියන්ට නැවත නැවතත් සිහිගැන්වීම් ලබා දීමට සිදු විය හැකියි. ජීවිතයේ වෙනත් දේවල් සම්බන්ධයෙන් උපදෙස් දෙන විටද මෙය අදාළ වෙනවා.

6. බොහෝ ඉවසිලිවන්ත දෙමව්පියන් දරුවන්ට හිතුමතේ ක්‍රියා කරන්න ඉඩ නොදෙන්නේ ඇයි?

6 දෙමව්පියන් බොහෝ ඉවසිලිවන්ත විය යුතුයි කියා පැවසීමෙන් අදහස් වන්නේ ඔවුන් දරුවන්ගේ වැරදි ගණන් නොගෙන සිටීම නොවෙයි. බයිබලයේ මෙසේ අනතුරු අඟවා තිබෙනවා. “තම කැමැත්ත කිරීමට ඉඩහරින දරුවා තම මවට ලජ්ජාවකි.” එවැනි තත්වයක් මඟහැරීමට දෙමව්පියන් කළ යුත්තේ කුමක්ද කියා එම පදයේම මෙසේ පවසනවා. “වේවැළ සහ අවවාදය ප්‍රඥාව ගෙන දෙයි.” (හිතෝපදේශ 29:15, NW) ඒත් ඇතැම්විට තමන්ට නීති පැනවීමට දෙමව්පියන්ට ඇති අයිතිය ගැන දරුවන් ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් එවැනි තත්වයක් දෙවිට නමස්කාර කරන පවුලක් තුළ තිබීම කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ. හේතුව යෙහෝවා දෙවි දරුවන්ව පුහුණු කිරීමේ හා හික්මවීමේ වගකීම දෙමව්පියන්ට පවරා තිබීමයි. (1 කොරින්ති 11:3; එෆීස 3:15; 6:1-4) දැන් අපි බලමු පාවුල් පෙන්නුම් කරන ආකාරයට ප්‍රේමය හික්මවීම සමඟ සම්බන්ධ වන්නේ කෙසේද කියා.

ප්‍රේමයෙන් හික්මවීම් දිය හැකි අයුරු

7. කරුණාවන්ත දෙමව්පියන් දරුවන්ව හික්මවන්නේ ඇයි? එවැනි හික්මවීමකට ඇතුළත් වන්නේ මොනවද?

7 පාවුල් පැවසුවේ “ප්‍රේමය . . . කරුණාවන්තය” කියායි. (1 කොරින්ති 13:4) ඇත්තටම කරුණාවන්ත දෙමව්පියන් තම දරුවන්ව හික්මවීමෙන් වළකින්නේ නැහැ. එසේ කිරීමෙන් ඔවුන් අනුකරණය කරන්නේ යෙහෝවා දෙවිවයි. ඒ ගැන පාවුල් මෙසේ පවසනවා. “යෙහෝවා තමන් ප්‍රේම කරන අයව හික්මවන්නේය.” බයිබලයේ සඳහන් හික්මවීමෙන් අදහස් කරන්නේ සැමවිටම දඬුවම් කිරීම නොවන බව මතක තබාගන්න. පුහුණුවක් දීම හා යම් කාරණා ගැන ඉගැන්වීමත් ඊට ඇතුළත්. එවැනි හික්මවීමක් දිය යුත්තේ ඇයි? එයට හේතුව ‘එමගින් පුහුණු වූ අයට සමාදානයේ පලය වන ධර්මිෂ්ඨකම ලැබීමයි.’ (හෙබ්‍රෙව් 12:6, 11) දෙමව්පියන් තම දරුවන්ට දෙවිගේ කැමැත්තට අනුව ක්‍රියා කිරීමට ඉගැන්වීමෙන් ඔවුන්ට සාමකාමී අවංක වැඩිහිටියන් ලෙස කටයුතු කිරීමට හැකි වෙනවා. දරුවන් “යෙහෝවා දෙවි දෙන හික්මවීම” පිළිගත්තොත් රණටත් රිදීයටත් වඩා වටිනා ප්‍රඥාව, දැනුම හා තීක්ෂ්ණ බුද්ධිය අත් කරගැනීමට ඔවුන්ට හැකි වෙනවා.—හිතෝපදේශ 3:11-18, NW.

8. දෙමව්පියන් තම දරුවන්ට නිසි හික්මවීම ලබා දීමට අපොහොසත් වීමේ ප්‍රතිඵල මොනවාද?

8 අනික් අතට දෙමව්පියන් දරුවන්ට හික්මවීම ලබා නොදීම කාරුණික දෙයක් වන්නේ නැහැ. ඒ නිසයි දෙවි සලමොන් මාර්ගයෙන් මෙසේ පැවසුවේ. “වේවැළ පාවිච්චි නොකරන්නා තම දරුවාට වෛර කරයි. නමුත් දරුවාට ප්‍රේම කරන්නා අවශ්‍ය හික්මවීම දීමට මැළි නොවෙයි.” (හිතෝපදේශ 13:24, NW) කිසිම හික්මවීමක් නොලැබෙන දරුවන් බොහෝවිට ආත්මාර්ථකාමී වන අතර අසතුටින්ද සිටින බව පෙනී යනවා. නමුත් දරුවන්ට ආදරේ කරන අතරම නිසි හික්මවීම දෙන දෙමව්පියන් යටතේ හැදී වැඩෙන දරුවන්, අධ්‍යාපන කටයුතුවලදී නිපුණත්වයක් ලබන අතර අන් අය සමඟ පෑහී කටයුතු කරමින් සතුටින් ජීවත් වෙනවා. ඒ අනුව බලද්දී තම දරුවන්ට නිසි හික්මවීම ලබා දෙන දෙමව්පියන් ඇත්තෙන්ම කරුණාවන්තයි.

9. ක්‍රිස්තියානි දෙමව්පියන් තම දරුවන්ට උගන්වන්නේ මොනවාද? දරුවන් ඒවා සැලකිය යුත්තේ කෙසේද?

9 දරුවන්ව ප්‍රේමයෙන් හා කරුණාවෙන් හික්මවීමට අයත් වන්නේ මොනවාද? තම දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියා දෙමව්පියන් දරුවන් සමඟ සාකච්ඡා කළ යුතුයි. උදාහරණයකට, මූලික බයිබල් ප්‍රතිපත්ති හා සැබෑ නමස්කාරයට අයත් විවිධ ක්‍රියාකාරකම්වල හවුල් වීමේ වැදගත්කම කුඩා අවදියේ සිටම දරුවන්ට ඉගැන්විය යුතුයි. (නික්මයාම 20:12-17; මතෙව් 22:37-40; 28:19; හෙබ්‍රෙව් 10:24, 25) එවැනි ක්‍රියාකාරකම්වල නියැලීම අනිවාර්ය දෙයක් බව දරුවන් හොඳින් වටහාගත යුතුයි.

10, 11. සීමා තහංචි පැනවීමේදී දෙමව්පියන් දරුවන්ගේ ඉල්ලීම්වලටත් සවන් දිය යුත්තේ ඇයි?

10 ඇතැම් අවස්ථාවල දරුවන් වෙනුවෙන් යම් සීමා තහංචි පනවද්දී ඔවුන්ගේ යෝජනා විමසා බැලීමෙන්ද හොඳ ප්‍රතිඵල අත් වෙනවා. නිදසුනකට දරුවන් ගෙදරට පැමිණිය යුතු වෙලාව ගැන ඔබ ඔවුන් සමඟ සාකච්ඡා කරනවා කියා සිතන්න. ඒ සඳහා සුදුසුම වෙලාවක් තීරණය කරන්න දරුවන්ට ඉඩ දී, එසේ තීරණය කිරීමට හේතුවද දරුවන්ගෙන් විමසන්න. ඉන්පසු ඔබට පුළුවන් ඔබ තීරණය කර තිබෙන වෙලාව දරුවන්ට පවසමින් එම තීරණයට හේතුව දරුවන්ට පහදා දෙන්න. එවිට දරුවන් කැමැත්තෙන්ම එම ඉල්ලීම්වලට කීකරු වීමට පෙලඹෙයි. නමුත් දරුවන් ඊට එකඟ වුණේ නැත්නම් තත්වය කුමක්ද? දරුවන් කරන ඉල්ලීම්වලින් බයිබල් ප්‍රතිපත්ති කඩ වෙන්නේ නැත්නම් ඊට ඉඩහරින්න දෙමව්පියන් තීරණය කරන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ දෙමව්පියන් තම අධිකාරිය සුළු කරන බවද?

11 එම ප්‍රශ්නයට පිළිතුරු ලබාගැනීම සඳහා යෙහෝවා දෙවි ලොත්ගේ පවුල සමඟ කටයුතු කිරීමේදී සිය අධිකාරිය හෙබවූයේ කෙසේද කියා සලකා බලමු. දේවදූතයන් ලොත්ව සහ ඔහුගේ පවුලේ අයව සොදොම් නගරයෙන් පිටතට ගෙනැවිත් ඔවුන්ට මෙසේ පැවසුවා. “විනාශ නොවන පිණිස මේ ප්‍රදේශයේ කොතැනකවත් නොනැවති කඳුකරයටම පලා දුවන්න!” එවිට ලොත් “අනේ යෙහෝවා දෙවියනි, මට ඒක නම් කරන්න බැහැ” කියා කිව්වා. ඉන් අනතුරුව පලා යා හැකි වෙනත් ස්ථානයක් ගැන ඔහු දෙවිට මෙසේ පැවසුවා. “මම මේ ළඟ තියෙන කුඩා නුවරට පලා යන්නද? එය සුළු ඉල්ලීමක් නොවෙයිද? අනේ, මම එතැනට යන්නද? එවිට මගේ ජීවිතය රැකගන්න පුළුවන් වෙයි.” යෙහෝවා දෙවි ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? “මම මේ වතාවේදීත් ඔබ කී දේ සැලකිල්ලට ගන්නෙමි” කියා ඔහු පැවසුවා. (උත්පත්ති 19:17-22, NW) එසේ කීමෙන් යෙහෝවා දෙවි තම අධිකාරිය සුළු කොට තැකුවාද? කොහෙත්ම නැහැ. ඒ වෙනුවට ඔහු ලොත්ගේ ඉල්ලීමට සවන් දෙමින් එම කාරණය සම්බන්ධයෙන් ලොත්ට වැඩි කරුණාවක් පෙන්නුවා. ඔබත් දෙමව්පියෙක් නම්, දරුවන්ට සීමා තහංචි පනවන විට දරුවන්ගේ ඉල්ලීම් ගැනත් සිතා බැලීමට ඔබට පුළුවන්ද?

12. දරුවන්ට ආරක්ෂාවක් ලැබෙන්නේ කුමක් මගින්ද?

12 දරුවන් දැනගත යුත්තේ දෙමව්පියන් පනවා ඇති සීමා තහංචි ගැන පමණක් නෙවෙයි. ඒවා කඩ කිරීමෙන් තමන්ට ලැබෙන දඬුවම් ගැනත් ඔවුන් දැනුවත්ව සිටිය යුතුයි. දරුවන් නීති කඩ කළොත් දඬුවම් කරන බව දෙමව්පියන් කලින් ඔවුන් සමඟ සාකච්ඡා කර තිබුණත් එය ක්‍රියාත්මක කිරීමට ඔවුන් අපොහොසත් වෙනවා නම් එය දරුවන්ට කරුණාව පෙන්වීමක් නොවෙයි. එයට හේතුව බයිබලයේ මෙසේ පැවසීමයි. “වරදකට දඬුවම වහාම ලබා නොදෙන විට, මනුෂ්‍යයෝ කිසි බියක් සැකක් නොමැතිව නපුරු දේ කරති.” (දේශනාකාරයා 8:11, NW) සමහරවිට දරුවන් අපහසුතාවකට පත් වෙයි කියා සිතන දෙමව්පියන් ප්‍රසිද්ධියේ හෝ ඔවුන්ගේ මිතුරන් ඉදිරියේ දරුවන්ට දඬුවම් කිරීමෙන් වළකින්න පුළුවන්. කොහොමවුණත් දෙමව්පියන් යමක් පැවසූ විට එය “එසේය” නම් එසේය “නැත” නම් නැත යන බයිබල් ප්‍රතිපත්තියට එකඟව ක්‍රියා කරනවා නම් දරුවන්ට ඔබ කෙරෙහි තිබෙන ගෞරවය හා ආදරය වැඩි වෙන අතර එය දරුවන්ට ආරක්ෂාවක්ද වෙනවා.—මතෙව් 5:37.

13, 14. තම දරුවන්ව හික්මවද්දී දෙමව්පියන්ට යෙහෝවා දෙවිව අනුකරණය කළ හැක්කේ කෙසේද?

13 දරුවෙකුව කාරුණිකව හික්මවීමට නම් දරුවාට ගැළපෙන ආකාරයෙන් එය ලබා දිය යුතුයි. එක් මවකගේ අද්දැකීම සලකා බලන්න. ඇය මෙසේ පවසනවා. “අපේ දරුවන් දෙන්නව හික්මවද්දී ඒගොල්ලන්ට ගැළපෙන විදිහටයි අපි ඒක කළේ. සමහර වෙලාවට එක්කෙනෙක්ට දෙන හික්මවීම අනික් කෙනාට සුදුසු වෙන්නේ නැහැ.” ඇගේ ස්වාමිපුරුෂයා වන ලැරී මෙසේ පවසනවා. “අපේ ලොකු දුව ඉස්සර හරි මුරණ්ඩුයි. ඒ නිසා එයාව ටිකක් තදින් හික්මවන්න සිද්ධ වුණා. හැබැයි පොඩි දුව නම් ඒ වගේ නෙමෙයි. එයාට දෙයක් එක සැරයක් කිව්වොත් ඇති. නැත්නම් එයා දිහා රවලා බැලුවත් ඇති.” කරුණාවන්ත දෙමව්පියන් තමන්ගේ දරුවන්ට වඩාත් උචිත වන්නේ කුමනාකාරයේ හික්මවීමක්ද කියා කල්පනා කර බැලිය යුතුයි.

14 යෙහෝවා දෙවි තම සේවකයන්ගේ දුර්වලකම් හා හැකියාවන් හොඳින් හඳුනාගෙන තිබෙනවා. එය දෙමව්පියන්ට කදිම ආදර්ශයක්. (හෙබ්‍රෙව් 4:13) දෙවි සුදුසු අවස්ථාවලදී හික්මවීම් ලබා දෙද්දී සීමාව ඉක්මවා යන්නේ නැහැ. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී හික්මවීම නොදී සිටින්නේත් නැහැ. ඒ වෙනුවට ඔහු සැමවිටම තම සෙනඟව “සුදුසු ප්‍රමාණයට” හික්මවනවා. (යෙරෙමියා 30:11, NW) දෙමව්පියෙනි ඔබත් ඔබේ දරුවන්ගේ හැකියාවන් හා දුර්වලතාවන් හඳුනාගෙන සිටිනවාද? ඒ අවබෝධය යොදාගෙන ඔබේ දරුවන්ව කාරුණිකව හා සුදුසු ලෙස පුහුණු කරනවාද? ඔබ එසේ කරනවා නම් ඉන් අදහස් වෙන්නේ ඔබ ඔවුන්ට ප්‍රේම කරන බවයි.

අවංකව හැඟීම් ප්‍රකාශ කිරීමට දරුවන්ට උපකාර කරන්න

15, 16. තම දරුවන්ට අවංකව අදහස් ප්‍රකාශ කිරීමට දිරිගන්වන්න පුළුවන් කොහොමද? මේ සම්බන්ධයෙන් ක්‍රිස්තියානි දෙමව්පියන් හොඳ ප්‍රතිඵල ලබාගෙන තිබෙන්නේ කෙසේද?

15 ප්‍රේමයේ තවත් පැත්තක් වන්නේ එය “අධර්මිෂ්ඨකම ගැන ප්‍රීති නොවී සත්‍යය ගැන ප්‍රීති” වීමයි. (1 කොරින්ති 13:6) නිවැරදි මෙන්ම සත්‍ය දේවලට ඇලුම් කරන්න තම දරුවන්ව පුහුණු කිරීමට දෙමව්පියන්ට හැක්කේ කෙසේද? සමහරවිට ඔබ සවන් දීමට අකමැති දෙයක් ඔවුන් පැවසුවත් ඔවුන්ගේ හදවත්වල ඇති දේ ඔබට ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඉඩහරින්න. සාමාන්‍යයෙන් දෙමව්පියන් කැමති දරුවන් ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව පවසන දේවලට ඇහුම්කන් දෙන්නයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී දරුවන් තම හැඟීම් පළ කරද්දී ඔවුන්ගේ හදවත්වල යම් අධර්මිෂ්ඨකමක් තිබෙනවාද කියා ඔබට දැනගත හැකි වෙයි. (උත්පත්ති 8:21) එවැනි අවස්ථාවක ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ අවස්ථාවේදීම ඔවුන්ට යම් තරවටුවක් දෙන්න ඔබ පෙලඹෙන්න පුළුවන්. නමුත් ඔබ එසේ ප්‍රතික්‍රියා කළොත් ඊළඟ වතාවේදී දරුවන් ඔබ ඇසීමට කැමති දේවල් පමණක් කියන්න ඉඩ තිබෙනවා. දරුවන් නුසුදුසු ලෙස කතා කරද්දී වහාම එය නිවැරදි කළ යුතු බව ඇත්තයි. එහෙත් ඔවුන්ට ගරු සරු ඇතුව අදහස් දක්වන ආකාරය ඉගැන්වීම හා ඔවුන් පැවසිය යුතු දේ ඔබ තීරණය කිරීම අතර ලොකු වෙනසක් තිබෙනවා.

16 තම හැඟීම් අවංකව ප්‍රකාශ කිරීමට දරුවන්ව දිරිගන්වන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද? කලින් සඳහන් කළ ආලීයා පවසන්නේ මෙලෙසයි. “අපි අහන්න අකමැති දේවල් ගැන දරුවන් කිව්වත් අපි කේන්ති ගන්නේ නැහැ. ඒ නිසා දරුවන් ඕනෑම දෙයක් ගැන අපිත් එක්ක කතා කරනවා.” ටොම් පවසන්නේ මෙයයි. “සමහර වෙලාවට අපේ දුවගේ අදහස් අපේ අදහස් එක්ක ගැළපුණේ නැති වුණත් එයාගේ සිතේ තියෙන දේවල් කියන්න අපි එයාව දිරිගැන්නුවා. එයා කතා කරනකොට අපි එකපාරටම එයාව නතර කරලා අපේ අදහස් කියන්න හැදුවොත් එයා කලකිරිලා එයාගේ හිතේ තියෙන හැඟීම් අපිට නොකියා ඉන්න ඉඩ තිබුණා. අපි තේරුම්ගත්තා අපි කියපු දේවලට ඇහුම්කන් දෙන්න එයා පෙලඹුණේ අපි එයාට ඇහුම්කන් දීපු නිසා කියලා.” ඇත්තෙන්ම දරුවන් දෙමව්පියන්ට කීකරු විය යුතුයි. (හිතෝපදේශ 6:20) දරුවන් සමඟ විවෘතව අදහස් හුවමාරු කිරීමෙන් දෙමව්පියන්ට හැකි වෙනවා දරුවන්ගේ තේරුම්ගැනීමේ හැකියාව වර්ධනය කරන්න. දරුවන් හතරදෙනෙකුගේ පියෙක් වන වින්සන්ට් මෙලෙස පැවසුවා. “යම් තීරණයක තියෙන හොඳ පැත්ත හා නරක පැත්ත ගැන අපි නිතරම දරුවන්ට පෙන්නුවා. ඒ නිසා කරන්න ඕන හොඳම දේ මොකක්ද කියලා තනියෙන්ම තීරණය කරන්න ඒ අයට පුළුවන් වුණා. ඒකෙන් ඒගොල්ලන්ගේ තේරුම්ගැනීමේ හැකියාව වර්ධනය වුණා.”—හිතෝපදේශ 1:1-4.

17. දෙමව්පියන්ට ස්ථිර විය හැක්කේ කුමක් ගැනද?

17 දරුවන්ව ඇති දැඩි කිරීමේදී දෙමව්පියන්ට බයිබලයේ දී ඇති උපදෙස් සියයට සියයක්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙන්න පුළුවන්. කෙසේවෙතත් බොහෝ ඉවසිලිවන්තව, කාරුණිකව මෙන්ම ආදරයෙන් දරුවන්ව පුහුණු කිරීමට ඔබ දරන වෑයම ඔවුන් අගය කරන බව ස්ථිර වීමට ඔබට හැකියි. යෙහෝවා දෙවි ඔබ දරන වෑයමට ආශීර්වාද කරන බව නිසැකයි. (හිතෝපදේශ 3:33) සියලුම ක්‍රිස්තියානි දෙමව්පියන් මෙවැනි වෑයමක් දරන්නේ තමන් වගේම තම දරුවනුත් යෙහෝවා දෙවිට ප්‍රේම කරනවා දැකීමේ ආශාවෙනුයි. දෙමව්පියන්ට මේ ආශාව ඉටු කරගන්න පුළුවන් වෙන්නේ කෙසේද? මේ සඳහා උපකාරවත් වන විශේෂ ක්‍රම කීපයක් ගැන ඊළඟ ලිපියේ විස්තර කර තිබෙනවා.

ඔබට මතකද?

• දෙමව්පියන්ට බොහෝ ඉවසිලිවන්ත වීමට තීක්ෂ්ණ බුද්ධිය උපකාරවත් වන්නේ කෙසේද?

• හික්මවීම ලබා දීමත් කාරුණාව පෙන්වීමත් අතර ඇති සම්බන්ධය කුමක්ද?

• දෙමව්පියන් හා දරුවන් අතර අවංක අදහස් හුවමාරුවක් තිබීම වැදගත් වන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූර]

දෙමව්පියෙනි, ඔබේ බාල කාලය ඔබට මතකද?

[24වන පිටුවේ පින්තූරය]

අවංකව තම අදහස් පළ කිරීමට ඔබේ දරුවන්ට ඔබ අවස්ථාව සලසා දෙනවාද?