Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමට ඔබේ දරුවන්ව පුහුණු කරන්න

යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමට ඔබේ දරුවන්ව පුහුණු කරන්න

යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමට ඔබේ දරුවන්ව පුහුණු කරන්න

“තරුණ වියේ වැදූ දරුවන් බලවන්තයෙකුගේ අතේ ඇති ඊතල වැනිය.”—ගීතාවලිය 127:4, නව ලොව පරිවර්තනය, NW.

1, 2. දරුවන් “බලවන්තයෙකුගේ අතේ තිබෙන ඊතලවලට” සමාන වන්නේ කෙසේද?

දුනුවායෙක් ඊතලය දුන්නේ තබා ඉලක්කය දෙස නෙත් යොමු කරයි. ඉන්පසු තම මුළු වැර යොදමින් දුනු ලණුව ඇද ඊතලය විදියි. එය ඉලක්කයටම වදියිද? එය තීරණය වන්නේ දුනුවායාගේ දක්ෂතාව, සුළඟ හමන ආකාරය හා ඊතලයේ ස්වභාවය අනුවයි.

2 සලමොන් රජ දරුවන්ව “බලවන්තයෙකුගේ අතේ ඇති ඊතලවලට” සමාන කළා. (ගීතාවලිය 127:4, NW) මේ නිදසුන අදාළ වන්නේ කෙසේද කියා අපි දැන් සලකා බලමු. දුනුවායෙක් යම් ඉලක්කයකට ඊතලය විදීම සඳහා දිගු වේලාවක් එය දුන්නේ තබාගෙන සිටින්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඉතා කෙටි වේලාවකින් ඉලක්කයට විදියි. ඒ හා සමානව ඔබේ දරුවාව යෙහෝවා දෙවිට මුළු හදින් ප්‍රේම කිරීමේ ඉලක්කය වෙත විදින්න ඔබට තිබෙන්නේ කෙටි කාලයක් පමණයි. ඊට හේතුව දරුවන් යම් කාලයකදී තනිවම තීරණ ගත හැකි වැඩිහිටියන් බවට පත් වීමයි. (මතෙව් 19:5) එදාට ඔබ අපේක්ෂා කළ පරිදි, ඔබේ දරුවා යෙහෝවා දෙවිට ප්‍රේම කරමින් ඔහුට සේවය කිරීමේ ඉලක්කය අත් කරගෙන සිටීවිද? එය තීරණය වෙන්නේ කරුණු කීපයක් අනුවයි. එයින් කරුණු තුනක් වන්නේ දෙමව්පියන්ගේ දක්ෂතාව, දරුවන් හැදී වැඩෙන පරිසරය හා දෙමව්පියන් දෙන පුහුණුවට ‘ඊතල’ බඳු දරුවන් දක්වන ප්‍රතිචාරයයි. අපි දැන් එම කරුණු තුන සවිස්තරාත්මකව සලකා බලමු.

දක්ෂ දෙමව්පියන්ගේ කදිම ආදර්ශය

3. දෙමව්පියන් තමන් පවසන දේට අනුව ක්‍රියා කළ යුත්තේ ඇයි?

3 යේසුස් දේශනා කළ දේ ක්‍රියාවට නඟමින් දෙමව්පියන්ට කදිම ආදර්ශයක් තැබුවා. (යොහන් 13:15) පරිසිවරුන් දේවල් “කියනවා” මිසක් “කරන්නේ නැති” නිසා යේසුස් ඔවුන්ව හෙළාදැක්කා. (මතෙව් 23:3) ඒ හා සමානව යෙහෝවා දෙවිට ප්‍රේම කිරීම සඳහා තම දරුවන්ව පෙලඹවීමට නම් දෙමව්පියන්ද තමන් පවසන දේට අනුව ක්‍රියා කළ යුතුයි. එසේ කරන්නේ නැත්නම් එය හරියට දුනු ලණුවක් නැති දුන්නක් වගෙයි.—1 යොහන් 3:18.

4. දෙමව්පියන් තමන්ගෙන්ම අසාගත යුත්තේ කුමන ප්‍රශ්නද? ඒ ඇයි?

4 දෙමව්පියන්ගේ ආදර්ශය එතරම් වැදගත් වෙන්නේ ඇයි? වැඩිහිටියන්ට යේසුස්ගේ ආදර්ශයෙන් ඉගෙනගත හැකි ලෙසම දරුවන්ටත් දෙමව්පියන්ගේ ආදර්ශයෙන් ඉගෙනගත හැකියි. දරුවන්ගේ ආශ්‍රිතයන්ගෙන් ඔවුන්ට හොඳ පුරුදු ඇති වෙන්න හෝ ඔවුන්ගේ ‘හොඳ පුරුදු නැති වෙන්න’ පුළුවන්. (1 කොරින්ති 15:33) දරුවන් තම ජීවිතයේ වැදගත්ම කාලය ගත කරන්නේ ඔවුන්ගේ දෙමව්පියන් සමඟයි. ඒ කාලය තුළදී දරුවන්ගේ කිට්ටුම ආශ්‍රිතයන් වන්නේ දෙමව්පියන් වන ඔබයි. ඒ නිසා දෙමව්පියෙනි, ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මම මගේ දරුවාට හොඳ ආශ්‍රිතයෙක්ද? මගේ ආදර්ශය දරුවන්ට හොඳ පුරුදු ඇති කරගැනීම සඳහා දිරිගැන්වීමක් වී තිබෙනවාද? යාච්ඤාව හා බයිබල් අධ්‍යයනය වැනි වටිනා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මම දරුවන්ට හොඳ ආදර්ශයක් තබා තිබෙනවාද?’

දක්ෂ දෙමව්පියන් දරුවන් සමඟ යාච්ඤා කරයි

5. දෙමව්පියන්ගේ යාච්ඤාවලින් දරුවන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 ඔබ කරන යාච්ඤාවන්ට ඇහුම්කන් දීමෙන් දරුවන්ට යෙහෝවා දෙවි ගැන බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්. උදාහරණයකට ඔබ කෑම ගැනීමට පෙර යාච්ඤා කරනවා නම්, අපේ ශාරීරික අවශ්‍යතාවන් ලබා දෙන්නේ යෙහෝවා දෙවි බව ඔවුන් තේරුම්ගන්නවා. එමෙන්ම ඔවුන් සමඟ දේවවචනය අධ්‍යයනය කරන විටත් ඔබ යාච්ඤා කරනවා නම්, දෙවි අපට බයිබල් සත්‍යයන් උගන්වන බව ඔවුන් තේරුම්ගනියි. එවිට මේ සියල්ල සම්බන්ධයෙන් ස්තුති කළ යුත්තේ දෙවිට බව ඔවුන් අවබෝධ කරගනියි. මෙවැනි වටිනා පාඩම් දරුවන් ඉගෙනගන්නේ ඔබේ ආදර්ශයෙනුයි.—යාකොබ් 1:17.

6. යෙහෝවා දෙවි පෞද්ගලික සැලකිල්ලක් දක්වන බව ඔබේ දරුවාට දැනෙන්න සැලැස්විය හැක්කේ කෙසේද?

6 ඉහත සඳහන් කළ අවස්ථාවලට අමතරව වෙනත් අවස්ථාවලදීත් දරුවන් සමඟ යාච්ඤා කරනවා නම් දෙමව්පියන්ට මහඟු ප්‍රතිඵල අත් කරගත හැකියි. ඒ යාච්ඤාවලට ඔබට හා ඔබේ දරුවන්ට බලපාන කාරණා ඇතුළත් කළ හැකියි. එවිට ඔබේ දරුවන් තේරුම්ගනියි යෙහෝවා දෙවි ඔබේ පවුලේම කෙනෙක් මෙන්ම එකිනෙකා ගැන ගැඹුරු සැලකිල්ලක් දක්වන දෙවි කෙනෙක් කියා. (එෆීස 6:18; 1 පේතෘස් 5:6, 7) එක් පියෙක් මෙසේ පවසයි. “අපේ දුව ඉපදුණ දවසේ ඉඳලම අපි එයත් එක්කම යාච්ඤා කළා. දුව ලොකු වුණාට පස්සේ ඇගේ ආශ්‍රයන් සම්බන්ධයෙනුත්, ඇයට බලපාන වෙනත් කාරණා සම්බන්ධයෙනුත් යාච්ඤා කළා. දුව විවාහ වෙලා ගෙදරින් පිට වෙන දවස වෙන කල්ම අපි එකතු වෙලා යාච්ඤා නොකරපු දවසක් තිබුණේ නැහැ.” ඔබටත් හැකිද ඔබේ දරුවන් සමඟ දිනපතා යාච්ඤා කරන්න? යෙහෝවා දෙවි අපේ ඕනෑකම් ඉටු කර දෙනවාට අමතරව අපේ හැඟීම් ගැනත් සැලකිලිමත් වන කිට්ටු මිතුරෙක් කියා දරුවන්ට දැනෙන්න සලස්වන්න ඔබට පුළුවන්ද?—ෆිලිප්පි 4:6, 7.

7. දරුවන්ට බලපාන කාරණා ගැන යාච්ඤා කරන්න නම් දෙමව්පියන් දැන සිටිය යුත්තේ කුමක්ද?

7 ඔබේ දරුවන්ට බලපාන කාරණා ගැන යාච්ඤා කරන්න නම් ඔවුන්ගේ ජීවිත තුළ සිදු වන්නේ කුමක්ද කියා ඔබ දැන සිටිය යුතුයි. ඒ සම්බන්ධයෙන් දෙදරු පියෙක් පවසන දේ සලකා බලන්න. “හැම සති අන්තයකම මම මගෙන්ම මේ වගේ ප්‍රශ්න දෙකක් අහගන්නවා. ‘මගේ දරුවන් පහුගිය සතිය පුරාම හිතුවේ මොනවා ගැනද? ඔවුන් අද්දැක්ක හොඳ දේවල් මොනවාද?’” දෙමව්පියෙනි ඔබටත් හැකිද එම ප්‍රශ්න ඔබෙන්ම අසාගෙන දරුවන් සමඟ එකට යාච්ඤා කරද්දී ඒ දේවල් සඳහන් කරන්න. ඔබ එසේ කරනවා නම් යාච්ඤා අසන තැනැත්තා වන යෙහෝවා දෙවිට යාච්ඤා කිරීමට පමණක් නොව ඔහුට ප්‍රේම කිරීමටත් ඔබ ඔවුන්ට උගන්වයි.—ගීතාවලිය 65:2.

දක්ෂ දෙමව්පියන් හොඳ අධ්‍යයන පුරුදු ඇති කරයි

8. දේවවචනය නිතිපතා අධ්‍යයනය කිරීමේ පුරුද්ද ඇති කරගැනීමට දෙමව්පියන් දරුවන්ට උපකාර කළ යුත්තේ ඇයි?

8 බයිබල් අධ්‍යයනය ගැන දෙමව්පියන් දරන ආකල්පය දරුවන්ට දෙවි සමඟ සබඳතාවක් ඇති කරගැනීමට පිටුවහලක් වන්නේ කෙසේද? ඕනෑම සබඳතාවක් ශක්තිමත් කරගැනීමට නම් කතා කිරීම පමණක් නොව සවන් දීමත් අවශ්‍යයි. යෙහෝවා දෙවිට සවන් දිය හැකි එක් ක්‍රමයක් වන්නේ ‘විශ්වාසවන්ත දාසයා’ ලබා දෙන ප්‍රකාශන යොදාගෙන බයිබලය අධ්‍යයනය කිරීමයි. (මතෙව් 24:45-47; හිතෝපදේශ 4:1, 2) යෙහෝවා දෙවි සමඟ කල් පවතින ප්‍රේමණීය බැඳීමක් ඇති කරගැනීමට නම් දේවවචනය පුරුද්දක් ලෙස අධ්‍යයනය කිරීමට දෙමව්පියන් දරුවන්ව දිරිගැන්විය යුතුයි.

9. දරුවන්ට හොඳ අධ්‍යයන පුරුදු වර්ධනය කරගැනීමට උපකාර කළ හැක්කේ කෙසේද?

9 හොඳ අධ්‍යයන පුරුදු වර්ධනය කරගැනීම සඳහා දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේද? මෙහිදීත් වැදගත් වන්නේ දෙමව්පියන්ගේ ආදර්ශයයි. ඔබ දිනපතා උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කරන බව ඔබේ දරුවන් දකිනවාද? සමහරවිට ඔබ කාර්යබහුල දෙමව්පියෙක් නම්, නිතිපතා බයිබලය අධ්‍යයනය කරන්න වෙලාව සොයාගන්නේ කෙසේද කියා කල්පනා කරන්න ඉඩ තිබෙනවා. නමුත් ඔබෙන්ම මේ ප්‍රශ්නය අසාගන්න. ‘මම වරද්දන්නේ නැතුව රූපවාහිනිය නරඹනවා මගේ දරුවන් දකිනවාද?’ ඒ වෙනුවෙන් යොදවන කාලයෙන් ටිකක් වෙන් කරගෙන පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙමින් දරුවන්ට ආදර්ශයක් තබන්න ඔබට හැකිද?

10, 11. නිතිපතා පවුලක් ලෙස දෙවිගේ වචනය අධ්‍යයනය කළ යුත්තේ ඇයි?

10 යෙහෝවා දෙවිට සවන් දීමට දරුවන්ට ඉගැන්විය හැකි තවත් ක්‍රමයක් වන්නේ පවුලක් වශයෙන් එකතු වී නිතිපතා බයිබලය සාකච්ඡා කිරීමයි. (යෙසායා 30:21) ‘දෙමව්පියන් නිතිපතා දරුවන්ව රැස්වීම්වලට ගෙන යනවා නම් පවුල් පාඩමක් මොකටද’ කියා කෙනෙක් සිතිය හැකියි. පවුලක් ලෙස දේවවචනය අධ්‍යයනය කිරීමට හේතු කීපයක්ම තිබෙනවා. ඉන් එකක් නම්, දරුවන්ට ඉගැන්වීමේ වගකීම යෙහෝවා දෙවි දෙමව්පියන්ට පවරා තිබීමයි. (හිතෝපදේශ 1:8; එෆීස 6:4) නොකඩවා රැස්වීම්වලට යෑම පමණක් නොව පවුලක් ලෙස එකට එකතු වී දේවවචනය අධ්‍යයනය කිරීමත් දෙවිට කරන නමස්කාරයට සම්බන්ධයි කියා පවුල් පාඩමෙන් දරුවන් තේරුම්ගනියි.—ද්විතීය කතාව 6:6-9.

11 පවුලේ පාඩම හොඳ සැලැස්මක් ඇතුව කිරීමෙන් දරුවන්ගේ හදවතේ තිබෙන්නේ කුමක්දැයි දැනගැනීමට දෙමව්පියන්ට හැකියි. උදාහරණයකට නමස්කාරය හා හොඳ නරක පිළිබඳව දරුවන්ට හැඟෙන ආකාරය දැනගත හැකියි. දරුවන්ගේ කුඩා කාලයේදී උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු වැනි ප්‍රකාශන යොදාගන්න පුළුවන්. * මෙම පොතේ හැම ඡේදයකම වගේ දරුවන්ගෙන් ප්‍රශ්න අසා ඔවුන්ගේ අදහස් පවසන්න අවස්ථාව සලසා තිබෙනවා. එහි සඳහන් බයිබල් පද පැහැදිලි කර දීමෙන් දෙමව්පියන්ට හැකියි “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා” දරුවන්ගේ වටහාගැනීමේ හැකියාව වර්ධනය කරන්න.—හෙබ්‍රෙව් 5:14.

12. දරුවන්ගේ අවශ්‍යතාවන්ට අනුව බයිබල් පාඩම සැලසුම් කිරීමට දෙමව්පියන්ට හැක්කේ කෙසේද? මේ සම්බන්ධයෙන් ඔබ ලබා ඇති හොඳ ප්‍රතිඵල මොනවාද?

12 ඔබේ දරුවන් ටිකෙන් ටික උස් මහත් වෙද්දී ඔවුන්ට ඔබින ආකාරයට පවුල් පාඩම සැලසුම් කරන්න. නිදසුනකට, පාසැලේ නැටුම් ගැයුම් ඇතුළත් සාදයකට සහභාගි වෙන්න තම යෞවන දියණියන් අවසර ඉල්ලූ විට එක් යුවළක් ඔවුන්ට උපකාර කළ අන්දම සලකා බලන්න. පියා පවසන්නේ මෙයයි. “මම දරුවන්ට කිව්වා ඊළඟ පවුල් පාඩමේදී අපි මෙහෙම දෙයක් කරමු කියලා. ‘මායි අම්මයි ළමයි විදිහට රඟපාන්නම්. ඕගොල්ලෝ දෙමව්පියන් හැටියට රඟපාන්න.’ හැබැයි අපේ දරුවන්ට සිදු වුණා ඒ වගේ සාදයකට යන එක ගැන බයිබල් ප්‍රතිපත්ති හොයලා බලලා දරුවන් හැටියට රඟපාන අපිට උපදෙස් දෙන්න.” එහි ප්‍රතිඵලය ගැන තවදුරටත් පියා මෙසේ පවසනවා. “ඒ වගේ සාදයකට යන එකේ තියෙන අනතුර ගැන දරුවන් අපිට බයිබලයෙන් පහදලා දීපු විදිහ ගැන අපිට පුදුම හිතුණා. එම සාදයට හවුල් වෙනවා වෙනුවට කරන්න පුළුවන් මොනවද කියලා කදිම යෝජනා අපිට දුන්නා. මේ ආකාරයෙන් ඔවුන් හිතන විදිහත්, ඔවුන්ගේ ආශාවන් ගැනත් අපිට හොඳින් තේරුම්ගන්න පුළුවන් වුණා.” පවුලේ අවශ්‍යතා අනුව දිගටම පවුලේ පාඩම පැවැත්වීමට නම් ලොකු අධිෂ්ඨානයක් හා නිර්මාණශීලී හැකියාවක් ඇති කරගත යුතුයි. නමුත් ඒ සඳහා දරන වෑයමෙන් මිල කළ නොහැකි ප්‍රතිඵල ලැබෙයි.—හිතෝපදේශ 23:15.

සාමකාමි වාතාවරණයක් ගොඩනඟන්න

13, 14. (අ) නිවස තුළ සාමකාමි වාතාවරණයක් ඇති කරන්න දෙමව්පියන්ට පුළුවන් වෙන්නේ කොහොමද? (ආ) දෙමව්පියන් තමන්ගේ වැරදි පිළිගැනීමෙන් ඇති විය හැකි යහපත් ප්‍රතිඵල මොනවාද?

13 දුනුවායාට ඊතලය නිසි ඉලක්කයට විදීමට නම් සන්සුන් පරිසරයක් තිබිය යුතුයි. එලෙසම, දරුවන්ද යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමට ඉගෙනගැනීමට නම් දෙමව්පියන් නිවස තුළ සාමකාමි වාතාවරණයක් ඇති කර තිබිය යුතුයි. “සාමය ඇති කරන්නන් උදෙසා ධර්මිෂ්ඨකමේ පලය සමාදානය ඇති විට වපුරනු ලැබේ” කියා යාකොබ් පැවසුවා. (යාකොබ් 3:18) දෙමව්පියන්ට නිවස තුළ සාමකාමි වාතාවරණයක් ගොඩනැඟිය හැක්කේ කෙසේද? ඒ සඳහා විවාහක යුවළක් තමන් අතර තිබෙන බැඳීම ශක්තිමත්ව තබාගත යුතුයි. යුවළක් එකිනෙකාට ප්‍රේම කරමින් ගරු කරනවා නම්, එය අන් අයට, විශේෂයෙන් යෙහෝවා දෙවිට ප්‍රේම කරන්න හා ගරු කරන්න තම දරුවන්ට ඉගැන්වීම සඳහා කදිම අවස්ථාවක් වෙනවා. (ගලාති 6:7; එෆීස 5:33) ප්‍රේමය හා ගෞරවය පවුල තුළ සාමකාමි වාතාවරණයක් ඇති කරනවා. එකිනෙකා සමඟ සමාදානයෙන් කටයුතු කරන යුවළක් පවුලේ ප්‍රශ්න හොඳින් විසඳගනියි.

14 නමුත් අද දින කිසිම ප්‍රශ්නයක් නැති පවුලක් නැහැ. සමහරවිට තම දරුවන් සමඟ කටයුතු කිරීමේදී දෙවිගේ ගුණාංග විදහා පෑමට දෙමව්පියන් අපොහොසත් වෙන්න පුළුවන්. (ගලාති 5:22, 23) එවැනි අවස්ථාවකදී දෙමව්පියන් කළ යුත්තේ කුමක්ද? ඔවුන් තම වැරදි පිළිගන්නවා නම් දරුවන් ඔවුන්ට දක්වන ගෞරවය අඩු කරයිද? පාවුල්ගේ ආදර්ශය සලකා බලන්න. ඔහු බොහෝදෙනෙකුට දෙවිගේ වචනය උගන්වමින් පියෙක් මෙන් කටයුතු කළා. (1 කොරින්ති 4:15) කොහොමවුණත් ඔහු තමන් අතිනුත් වැරදි වෙන බව අන්‍යයන්ට ප්‍රකාශ කළා. (රෝම 7:21-25) ඔහුගේ එම නිහතමානිකම හා අවංකකම නිසා ඔහු කෙරෙහි ඇති අපේ ගෞරවය අඩු වී තිබෙනවාද? නැහැ. ඒ වෙනුවට එය තවත් වැඩි වී තිබෙනවා. යම් අඩුපාඩුකම් සිදු වුණත් මහත් නිසැකකමකින් යුතුව ඔහු කොරින්ති සභාවට මෙසේ පැවසුවා. “මා ක්‍රිස්තුස්ව අනුකරණය කරන්නාක් මෙන් ඔබ මාව අනුකරණය කරන්න.” (1 කොරින්ති 11:1) දරුවන් ඉදිරියේ ඔබත් ඔබේ වැරදි පිළිගන්නවා නම් ඒවා අමතක කරන්න ඔවුන් පෙලඹෙයි.

15, 16. ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට ප්‍රේම කිරීමට දෙමව්පියන් තම දරුවන්ව පුහුණු කළ යුත්තේ ඇයි? එය කළ හැක්කේ කෙසේද?

15 යෙහෝවා දෙවිට ප්‍රේම කිරීම සඳහා දරුවන්ට සුදුසු වාතාවරණයක් ගොඩනඟන්න දෙමව්පියන්ට තවත් කුමක් කළ හැකිද? යොහන් මෙසේ ලිව්වා. “යමෙක් ‘මම දෙවිට ප්‍රේම කරමියි’ කියමින් තමාගේ සහෝදරයාට වෛර කරන්නේ නම්, ඔහු බොරුකාරයෙකි. මන්ද, තමන් දුටු සහෝදරයාට ප්‍රේම නොකරන්නාට, තමන් නුදුටු දෙවිට ප්‍රේම කළ නොහැක.” (1 යොහන් 4:20, 21) සභාවේ සහෝදර සහෝදරියන්ට ප්‍රේම කිරීමට ඔබේ දරුවන්ට ඉගැන්වීමෙන් ඔබ කරන්නේ දෙවිට ප්‍රේම කිරීමට ඔවුන්ට ඉගැන්වීමයි. දෙමව්පියන් තමන්ගෙන්ම මෙසේ අසාගැනීම සුදුසුයි. ‘මම සභාව ගැන පවසන දේවල් දිරිගන්වනසුලුද නැත්නම් විවේචනාත්මකද?’ ඔබට එය දැනගත හැක්කේ කෙසේද? ඔබේ දරුවන් රැස්වීම් ගැන, සහ සභාවේ අය ගැන කතා කරන දේවලට හොඳින් සවන් දෙන්න. බොහෝදුරට ඔවුන් පවසන්නේ ඒ සම්බන්ධයෙන් ඔබ පැවසූ දේවල්ම විය හැකියි.

16 සභාවේ සාමාජිකයන්ට ප්‍රේම කරන්න තම දරුවන්ට ඉගැන්වීම සඳහා දෙමව්පියන්ට කළ හැක්කේ කුමක්ද? නහඹර පුතුන් දෙදෙනෙකුගේ පියෙක් වන පීටර් මෙසේ පවසනවා. “දරුවන්ගේ කුඩා අවදියේදිම අපි ආදර්ශවත් සහෝදරයන්ව අපේ නිවසට ආරාධනා කළා. ඔවුන් ඇවිත් අපිත් එක්ක කාලය ගත කරමින් ආහාර වේලක් භුක්ති වින්දා. ඒකෙන් අපි ගොඩක් සතුටු වුණා. යෙහෝවා දෙවිට ප්‍රේම කළ අය සමඟ අපේ දරුවන් ඇසුරු කළ නිසා දෙවිට සේවය කිරීම ජීවිතය සතුටෙන් ගෙවිය හැකි ක්‍රමයක් බව ඔවුන් තේරුම්ගත්තා.” දියණියන් පස්දෙනෙකුගේ පියෙක් වන ඩෙනිස් මෙසේ පවසනවා. “අපේ දුවලට සභාවේ හිටපු වැඩිහිටි පුරෝගාමි සහෝදරියන්ව ආශ්‍රය කරන්න කියලා අපි දිරිගැන්නුවා. අපිට ලැබුණ හැම අවස්ථාවකදීම චාරිකා අවේක්ෂකයන්ටත් ඔවුන්ගේ භාර්යාවන්ටත් ආගන්තුක සත්කාර කළා.” සභාවේ අයවත් තමන්ගේම පවුලේ කොටසක් කරගන්න දරුවන්ව පෙලඹවීම සඳහා ඔබට පියවර ගත හැකිද?—මාක් 10:29, 30.

දරුවෙකුගේ වගකීම

17. දරුවන්ට ගැනීමට සිදු වන්නේ කුමන තීරණයද?

17 දුනුවායාගේ නිදසුන යළි සලකා බලන්න. ඔහු කොතරම් දක්ෂ වුණත් ඔහුගේ ඊතලය ඇද වී තිබුණොත් නිසි ඉලක්කයට එය විදින්න ඔහුට හැකි වෙන්නේ නැහැ. ඒ නිසා එහි ඇද අරින්න ඔහුට සිදු වෙයි. ඒ හා සමානව ඊතල බඳු තම දරුවන්ගේ වැරදි සිතුවිලි නිවැරදි කිරීමට දෙමව්පියන් මහත් වෙහෙසක් දරනවා. නමුත් තමන්ව ඇඹීමට ලෝකයාට ඉඩ දෙනවාද නැත්නම් තමන්ගේ “මාවත් කෙළින්” කිරීමට යෙහෝවා දෙවිට ඉඩ දෙනවාද කියා තීරණය කළ යුත්තේ දරුවන් විසින්මයි.—හිතෝපදේශ 3:5, 6, NW; රෝම 12:2.

18. දරුවෙකු ගන්නා තීරණයකින් අන් අය මත කුමන බලපෑමක් ඇති කළ හැකිද?

18 තම දරුවන්ව ‘යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඇති දැඩි කිරීමේ’ වගකීම දෙමව්පියන් සතු වුණත්, තමන් කුමනාකාරයේ වැඩිහිටියෙක් බවට පත් වෙනවාද කියා තීරණය කළ යුත්තේ දරුවා විසින්මයි. (එෆීස 6:4) එබැවින් දරුවෙනි, ඔබ ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘දෙමව්පියන් මට දෙන පුහුණුව මම පිළිගන්නවාද?’ ඔබ එසේ කරනවා නම්, ඔබ තෝරාගෙන තිබෙන්නේ ජීවිතය ගත කළ හැකි හොඳම ආකාරයයි. එමගින් ඔබට හැකියි ඔබේ දෙමව්පියන්වත් සතුටු කරන්න. වඩාත්ම වැදගත් දේ වන්නේ එමගින් යෙහෝවා දෙවිගේ සිත සතුටු කිරීමට ඔබට හැකිවීමයි.—හිතෝපදේශ 27:11.

[පාදසටහන]

^ 11 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

ඔබට මතකද?

• යාච්ඤාව සහ දේවවචනය අධ්‍යයනය මගින් ආදර්ශවත් වීමට දෙමව්පියන්ට හැක්කේ කෙසේද?

• දෙමව්පියන්ට පවුල තුළ සාමකාමි වාතාවරණයක් ඇති කරන්න පුළුවන් කෙසේද?

• දරුවන්ට කුමන තේරීම් කිරීමට සිදු වෙයිද? අන් අයට ඒවා බලපාන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[28වන පිටුවේ පින්තූරය]

පෞද්ගලික අධ්‍යයනය සම්බන්ධයෙන් ඔබ ඔබේ දරුවාට කදිම ආදර්ශයක් තබනවාද?

[29වන පිටුවේ පින්තූරය]

පවුලේ සාමකාමි වාතාවරණය සතුට ගෙන දෙයි