Skip to content

පටුනට යන්න

දඩයක්කරුගේ උගුල්වලට හසු නොවෙමු

දඩයක්කරුගේ උගුල්වලට හසු නොවෙමු

දඩයක්කරුගේ උගුල්වලට හසු නොවෙමු

‘කුරුලු දඩයක්කරුගේ උගුලෙන් [යෙහෝවා දෙවි] ඔබව ගලවාගන්නේය.’—ගීතාවලිය 91:3, නව ලොව පරිවර්තනය, NW.

1. “කුරුලු දඩයක්කරු” කවුද? ඔහු භයානක කෙනෙක් වෙන්නේ ඇයි?

මිනිසාට වඩා බුද්ධිමත් කපටි කෙනෙක් සෑම සැබෑ ක්‍රිස්තියානියෙකුවම ඩැහැගන්න බලාගෙන ඉන්නවා. ඔහුව ගීතාවලිය 91:3හි හඳුන්වන්නේ “කුරුලු දඩයක්කරු” ලෙසයි. මේ සතුරා කවුද? මොහු වෙන කවරෙකුවත් නොව සාතන් නමැති යක්ෂයා බව 1883 ජූනි 1 මුරටැඹ කලාපයේ පටන් විස්තර කර තිබුණා. මෙම බලවත් සතුරා දෙවිගේ සෙනඟව නොමඟ යැවීමට උගුල් අටවන්නේ කුරුලු දඩයක්කරුවෙක් කුරුල්ලෙකු අල්ලාගැනීමට උගුලක් අටවනවා හා සමානවයි.

2. සාතන්ව කුරුලු දඩයක්කරුවෙකුට සමාන කර තිබෙන්නේ මන්ද?

2 කුරුල්ලන්ගේ මිහිරි නාදය හා අලංකාරය නිසාත්, ආහාර හා පූජා සඳහාත් පුරාණයේදී උන්ව අල්ලාගනු ලැබුවා. කොහොමවුණත් කුරුල්ලන් පුංචි සද්දයකදී පවා විමසිලිමත් වෙනවා. උන් නුවණක්කාර නිසා උගුලට හසු කරගන්න පහසු වුණේ නැහැ. එමනිසා බයිබල් කාලවලදී කුරුලු දඩයක්කරුවෙක් මුලින්ම කළේ ගොදුරු කරගැනීමට අවශ්‍ය කුරුල්ලන්ගේ ගති ලක්ෂණ හා චර්යාවන් අධ්‍යයනය කිරීමයි. ඉන්පසු ඔහු කපටි උපක්‍රම යොදා උන්ව අල්ලාගත්තා. සාතන් පවා එවැනි ක්‍රම යොදාගන්නා නිසා ඔහුගේ උපක්‍රම ගැන බයිබලයේ සඳහන් කර තිබෙනවා. සාතන් අප එක් එක්කෙනාව හොඳින් අධ්‍යයනය කරනවා. අපේ පුරුදු සහ ගතිලක්ෂණ නිරීක්ෂණය කරන ඔහු සූක්ෂ්ම උගුල් අටවන්නේ අපිව පණ පිටින් අල්ලාගැනීමටයි. (2 තිමෝති 2:26) අප ඔහුට අසු වුණොත් දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව කැඩී බිඳී ගොස් අවසානයේදී අපි විනාශ වෙන්න පුළුවන්. එමනිසා මෙම “කුරුලු දඩයක්කරුගෙන්” ආරක්ෂා වීමට නම් අප ඔහුගේ උපායන් හඳුනාගත යුතුයි.

3, 4. සාතන්ගේ උපායන් සිංහයෙකුගේ හා නාගයෙකුගේ උපායන්වලට සමාන වෙන්නේ කොහොමද?

3 ගීතිකාකරු පැවසූ අන්දමට සාතන් තරුණ සිංහයන්ගේ හෝ නාගයන්ගේ උපක්‍රමත් යොදාගන්නවා. (ගීතාවලිය 91:13) සිංහයෙකු ඇඟට කඩා පනින්නාක් මෙන් සමහරවිට සාතන් යෙහෝවා දෙවිගේ සෙනඟට පහර දෙන්නේ කෙළින්මයි. ඔහු ඒ සඳහා ආණ්ඩු ක්‍රම හා පීඩා යොදාගන්නවා. (ගීතාවලිය 94:20) එවැනි ප්‍රහාර හමුවේ ටිකදෙනෙක් දෙවිව අත්හැර ගියත් බොහෝවිට සිදු වන්නේ දෙවිගේ සෙනඟගේ බැඳීම තව තවත් ශක්තිමත් වීමයි. එහෙත් නාගයෙකු දෂ්ට කරන්නාක් මෙන් අපට නොදැනීම සාතන් සූක්ෂ්ම ලෙස පහර දෙන්නේ කොහොමද?

4 විෂකුරු සර්පයෙක් සැඟවී සිට දෂ්ට කරන්නාක් මෙන් මිනිස් මනස අබිබවා යන නුවණ හා කපටි ක්‍රම යොදාගෙන යක්ෂයා මිනිසුන්ට පහර දෙනවා. දෙවිගේ සෙනඟ අතරේ සිටින සමහර අය පවා ඔහුගේ කපටි උපායන්වලට හසු වී මනස දූෂණය කරගෙන තිබෙනවා. යෙහෝවා දෙවිගේ කැමැත්තට වඩා සාතන්ගේ කැමැත්ත කිරීමට තරම් මුළා වෙන ඔවුන් අන්තිමේදී ලබන්නේ කටුක අද්දැකීම්. මේ අනුව බලද්දී සාතන්ගේ උපායන් ගැන දැනුවත්ව සිටීම සතුටට කරුණක් නොවෙයිද! (2 කොරින්ති 2:11) ‘කුරුලු දඩයක්කරුවෙකු’ මෙන් ඔහු යොදාගන්නා උගුල් හතරක් ගැන අපි දැන් සලකා බලමු.

මිනිසුන්ට භයවීමේ උගුල

5. ‘මිනිසුන්ට භයවීමේ’ උගුලට කෙනෙක් පහසුවෙන්ම හසු විය හැක්කේ ඇයි?

5 සාමාන්‍යයෙන් කවුරුත් අනිත් අයගේ ප්‍රසාදය දිනාගැනීමට කැමති බව “කුරුලු දඩයක්කරු” හොඳින්ම දන්නවා. තමන්ව ඈත් කරනවාට කවුරුත් කැමති නැහැ. එමෙන්ම ක්‍රිස්තියානීන් අනිත් අයගේ හැඟීම් නොදැනෙන තරමට දැඩි සිත් තිබෙන අයත් නොවෙයි. මෙම තොරතුරු දන්නා “කුරුලු දඩයක්කරු” එවැනි හැඟීම් අතකොළුවක් කරගැනීමටයි මාන බලන්නේ. උදාහරණයකට, ඔහු “මිනිසුන්ට භයවීමේ” උගුල අටවමින් දෙවිගේ සෙනඟ අතරින් සමහරෙකුව අල්ලාගනිමින් සිටිනවා. (හිතෝපදේශ 29:25NW) මිනිසුන්ට භයවීම නිසා දෙවිගේ සේවකයන් දෙවි තහනම් කර තිබෙන දේවල් කරනවා නම් හෝ දෙවි කිරීමට අණ කර තිබෙන දේ කරන්නේ නැත්නම් ඇත්තෙන්ම ඔවුන් “කුරුලු දඩයක්කරුගේ” උගුලට හසු වෙලයි ඉන්නේ.—එසකියෙල් 33:8; යාකොබ් 4:17.

6. යෞවනයෙක් “දඩයක්කරුගේ” උගුලට අසු විය හැකි බව පෙන්වන්නේ කුමන උදාහරණයද?

6 උදාහරණයක් සලකා බලමු. එක්තරා යෞවනයෙක් පාසැල් මිතුරන්ගේ බලපෑම නිසා දුම්වැටියක් උරන්න පෙලඹෙයි. නමුත් එදින ඔහු පාසැලට යද්දී එවැනි දෙයක් කිරීමේ අදහස යන්තමින්වත් නොතිබෙන්න ඇති. එහි ප්‍රතිඵලය වන්නේ ඔහු තමන්ගේ සෞඛ්‍යයට හානි කරගැනීම හා දෙවිව අසතුටට පත් කිරීමයි. (2 කොරින්ති 7:1) ඔහුව පරීක්ෂාවට වැටුණේ කොහොමද? ඔහු ඊට පෙලඹුණේ වැරදි ආශ්‍රිතයන්ව තෝරාගැනීමත්, ඔවුන් තමාව කොන් කරයි කියා භය වුණ නිසාත් විය හැකියි. යෞවනයෙනි, “කුරුලු දඩයක්කරුට” ඔබව හසු කරගැනීමට ඉඩ දෙන්න එපා! ඔහුට ඉඩ නොදී සිටීමට නම් සුළු කාරණයකදීවත් දෙවිගේ ප්‍රමිති කඩ කරන්න එපා! නරක ආශ්‍රයෙන් වැළකීම සඳහා බයිබලයේ දී ඇති උපදෙස පිළිපදින්න.—1 කොරින්ති 15:33.

7. සාතන් සමහර දෙමාපියන්ගේ ඇදහිල්ල දුර්වල කර ඔවුන්ගේ සමබරතාව නැති කරන්නේ කොහොමද?

7 දේවවචනයට අනුව, ක්‍රිස්තියානි දෙමාපියන්ගේ වගකීම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දීමයි. ඔවුන් වෑයම් කරන්නේ එම වගකීම නොපිරිහෙළා ඉටු කිරීමටයි. (1 තිමෝති 5:8) නමුත් සාතන්ගේ ඉලක්කය වන්නේ ඔවුන්ගේ සමබරතාව බිඳ ශාරීරික අවශ්‍යතා පමණක් සැපයීමට ඔවුන්ව යොමු කිරීමයි. එවිට ඔවුන් පුරුද්දක් ලෙස රැස්වීම් අතපසු කරමින් තම රැකියා ස්ථානයේ ස්වාමිවරුන්ගේ කීමට අවනත වී අතිකාල සේවයේ නිරත වෙනවා. එමෙන්ම දිස්ත්‍රික් සමුළුවේ හැම දවසකටම සහභාගි වීම සඳහා නිවාඩු ඉල්ලීමටත් ඔවුන් භය වෙයි. ඒ භය නිසා සහෝදරයන් සමඟ එක්ව දෙවිට නමස්කාර කිරීමේ ප්‍රස්තාව අහිමි කරගනියි. මෙම උගුලෙන් ආරක්ෂා වීම සඳහා “යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.” (හිතෝපදේශ 3:5, 6NW) ඊට අමතරව, අප සියල්ලන් දෙවිගේ පවුලේ සාමාජිකයන් බවත් අපව රැක බලා ගැනීමට දෙවිම ඉදිරිපත් වී සිටින බවත් මතක තබාගැනීම අපේ සමබරතාව පවත්වාගැනීමට උපකාරයක් වේවි. ඔබ යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන විට ඔහු ඔබවත් ඔබේ පවුලේ අයවත් බලාගනියි යන විශ්වාසය ඔබට තිබෙනවාද? එසේ නැත්නම් යක්ෂයා මිනිස් බිය කියන උගුලට ඔබව හසු කරවාගෙන ඔබ ලවා ඔහුගේ කැමැත්ත ඉෂ්ට කරගනියිද? මේ ප්‍රශ්න ගැන යාච්ඤාපූර්වකව සිතා බලන්න.

ධන සම්පත් සෙවීමේ උගුල

8. සැප සම්පත් හඹා යෑමේ උගුලට සාතන් අපව හසු කරගන්නේ කුමන අන්දමින්ද?

8 සාතන් මිනිසුන් තුළ ධන සම්පත් සෙවීමේ ආශාවත් ඇති කරනවා. වාණිජ ලෝකය දිරිගන්වන්නේ ඉක්මනින්ම ධනවත් වීමේ ක්‍රම අත්හදා බැලීමටයි. දෙවිගේ සෙනඟ අතරේ සිටින ඇතැම් අයත් ඊට හසු විය හැකියි. ඇතැම්විට සමහර අය මෙවැනි යෝජනාවක් කිරීමට ඉඩ තිබෙනවා. “මහන්සි වෙලා කීයක් හරි හම්බ කරගන්න. හොඳ ගාණක් හොයාගත්තට පස්සේ මහන්සි වෙන්න ඕන නැහැ. සතුටෙන් ඉන්නත් පුළුවන්. ඕනෙ නම් පුරෝගාමි සේවයත් කරන්න පුළුවන්නේ.” ක්‍රිස්තියානි සභාවේ සිටින අයම එවැනි නුසුදුසු යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඔවුන් උත්සාහ කරන්නේ තම සහෝදර සහෝදරියන්ගෙන් වාසි ප්‍රයෝජන ලබාගන්නයි. ඔවුන් ඉදිරිපත් කරන එවන් යෝජනාවලින් පිළිබිඹු වෙන්නේ යේසුස්ගේ උපමාවේ සඳහන් “අඥාන” ධනවතාගේ සිතුවිලි නොවෙයිද?—ලූක් 12:16-21.

9. දේවල් ලබාගැනීමේ ආශාව ඇතැම් ක්‍රිස්තියානීන්ට උගුලක් විය හැක්කේ කෙසේද?

9 සාතන් තම අණසක යටතේ පවතින දුෂ්ට සමාජ ක්‍රමය මෙහෙයවන්නේ නොයෙක් දේවල් ලබාගැනීමට මිනිසුන් තුළ ආශාවක් ඇති කරමිනුයි. එම ආශාව ක්‍රිස්තියානියෙකු තුළ ඇති වූ විට දේවවචනය අමතක කර දමමින් “පල නොදරන” තත්වයකට පත් විය හැකියි. (මාක් 4:19) කන්න අඳින්න සහ ඉන්න හිටින්න තැනක් තියෙනවා නම් සෑහීමට පත් වෙන්න කියා බයිබලයේ අපට දිරිගන්වනවා. (1 තිමෝති 6:8) එම උපදෙස පිළිපදින්නේ නැති හුඟදෙනෙක් “කුරුලු දඩයක්කරුගේ” උගුලට අසු වෙනවා. තමන් යම් ජීවනරටාවකට ඇලී සිටිය යුතුයි කියා ඔවුන්ට හැඟෙන්නේ අහංකාරකම නිසා විය හැකිද? අපි එක් එක්කෙනා ගැන කියන්න තියෙන්නේ කුමක්ද? නොයෙක් දේවල් ලබාගැනීමේ ආශාව නිසා සැබෑ නමස්කාරයට අපි දීලා තියෙන්නේ දෙවෙනි තැනද? (හග්ගයි 1:2-8) කනගාටුවට කරුණක් වන්නේ ආර්ථික අග හිඟකම් හමුවේ පවා දේවල් රැස් කරගැනීමට වෑයම් කිරීමෙන් සමහරු තමන්ගේ ඇදහිල්ල දුර්වල කරගෙන තිබීමයි. මෙසේ ඔවුන් තුළ ලෞකික අදහස් තිබෙන බව දකින “දඩයක්කරු” ප්‍රීතියෙන් ඉපිළ යයි.

නුසුදුසු විනෝදාස්වාදය උගුලක්

10. සෑම ක්‍රිස්තියානියෙකුම තමන්වම සෝදිසි කරගත යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද?

10 “කුරුලු දඩයක්කරුගේ” තවත් උපක්‍රමයක් වන්නේ හරි වැරැද්ද වටහාගැනීමේ හැකියාව බාල කිරීමයි. විනෝද වීම සම්බන්ධයෙන් එදා සොදොම් සහ ගොමෝරා නගරවල තිබූ මානසික ආකල්පයමයි අද දිනත් දක්නට තිබෙන්නේ. රූපවාහිනියේ සහ නොයෙක් සඟරාවල පළ වන දේවලින් බොහෝවිට ප්‍රචණ්ඩත්වය හුවා දක්වන අතර කාමුක ආශාවන් ඇති කරයි. මෙලෙස ජනමාධ්‍යයෙන් ලබා දෙන විනෝදාස්වාදය “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමේ” හැකියාව දුර්වල කරයි. (හෙබ්‍රෙව් 5:14) අනාගතවක්තෘ යෙසායා පැවසූ යෙහෝවා දෙවිගේ මෙම වදන් සිහියට නඟාගන්න. ‘යහපතට නපුර කියා හා නපුරට යහපත කියාද කියන අයට දුක් වෙන්න සිදු වෙයි!’ (යෙසායා 5:20NW) එවැනි නුසුදුසු විනෝදාස්වාදයන්ට හුරු වෙමින් ඔබ “දඩයක්කරුගේ” ග්‍රහණයට ටිකෙන් ටික අසු වෙමින් සිටිනවාද? ඒ සම්බන්ධයෙන් ඔබවම සෝදිසි කර බලන්න.—2 කොරින්ති 13:5.

11. මෙහි ටෙලි නාට්‍යයන් සම්බන්ධයෙන් දෙන අනතුරු ඇඟවීම කුමක්ද?

11 මීට වසර 25කට කලින් දෙවිට නමස්කාර කරන අයට රූපවාහිනි ටෙලි වෘත්තාන්ත ගැන මුරටැඹ සඟරාවක ප්‍රේමණීය අවවාදයක් දී තිබුණා. * “ආදරය වෙනුවෙන් මොනවා කළත් කමක් නැහැ” කියන නාට්‍යවල ඇති ජනප්‍රිය මතයෙන් කෙනෙකුට නොදැනුවත්වම සිදු විය හැකි හානිය ගැන එහි සඳහන් වී තිබුණා. උදාහරණයකට, එක් නාට්‍යයක සිටි අනාචාරයේ යෙදී ගැබ්ගත් යෞවනියක් ඇගේ මිතුරියකට පැවසූ දේ එම සඟරාවේ මෙසේ සඳහන් වුණා. “‘මොනවා වුණත් මං වික්ටර්ට ආදරෙයි. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. . . . මේ හැම දේකටම වඩා එයාගෙන් ලැබුණු දරුවාව මට වටිනවා!’ ඇයගේ හැසිරීම වැරදි වුණත් එය වැරදි නැහැ කියා සිතීමට තරම් පොලඹවනසුලු මියුරු සංගීතයක් පසුබිමෙන් ඇසෙන්න සලස්වා තිබුණා. ඒ නාට්‍යය ඔබත් නරඹමින් සිටියා නම් වික්ටර්ගේ හැසිරීමේ කිසිම වරදක් නැහැ කියා ඔබට සිතෙයි. ඒ ගෑනු ළමයා ගැනත් ඔබේ හදවතේ අනුකම්පාවක් උපදියි. ඔවුන්ගේ වැරදි හැසිරීම අනුමත කරන්න පවා ඔබ පෙලඹේවි. එවැනි නාට්‍යයන් නැරඹූ එක් යෞවනියක් මෙසේ පැවසුවා. ‘අපි හිතන දේ වැරදි නැහැයි කියලා හැඟෙන්නේ අපිටත් නොදැනිමයි. දුරාචාරය වැරදි දෙයක් කියලා අපි දන්නවා වුණත් එවැනි දර්ශන නරඹද්දී මමත් මනසෙන් ඒ ජවනිකාවට හවුල් වුණා කියලයි මට හැඟුණේ.’”

12. ඇතැම් රූපවාහිනි වැඩසටහන් ගැන අනතුරු ඇඟවීම කාලෝචිත වීමට හේතු මොනවාද?

12 ඒ ලිපි පළ කළ දා සිට මේ දක්වා සිත් දූෂණය කරන වැඩසටහන් පෙන්වීම බෙහෙවින් වැඩි වී තිබෙනවා. එවැනි සමහර වැඩසටහන් පැය 24 පුරාම විකාශනය වෙනවා. ස්ත්‍රීන්, පුරුෂයන් හා නහඹරයන් පවා එවැනි විනෝදාස්වාදයන් වෙත තම මනස සහ සිත යොමු කරගෙන සිටිනවා. එහෙත් අපි ගැන කුමක් කිව හැකිද? නිදහසට හේතු දක්වමින් අපි අපිවම මුළා කරගන්නවාද? ලෝකෙ මීට වඩා නරක දේවල් සිද්ධ වෙනවානේ කියා පවසමින් නුසුදුසු විනෝදාස්වාදයක් ලබා දෙන වැඩසටහන් නැරඹීම සුදුසු වන්නේ නැහැ. තමන්ගේ නිවසට ආරාධනා කිරීමට සිතන්නෙවත් නැති අයව රූපවාහිනිය හරහා නිවසට ගෙන්වාගැනීම වරදක් නොවෙයි කියා ක්‍රිස්තියානියෙකුට පැවසිය හැකිද?

13, 14. රූපවාහිනිය සම්බන්ධයෙන් දී තිබෙන අනතුරු ඇඟවීමෙන් සමහරුන් ප්‍රයෝජන ගෙන තිබෙන්නේ කෙසේද?

13 “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” දුන් එම අවවාදය පිළිපැදීමෙන් බොහෝදෙනෙක් ප්‍රයෝජන ලැබුවා. (මතෙව් 24:45-47) බයිබලය මත පදනම් පැහැදිලි උපදෙස් කියවීමෙන් පසු තමන්ට එම ලිපි පෞද්ගලිකවම බලපෑ ආකාරය ගැන සමහරු ලියා එව්වා. * එක් තැනැත්තියක් තම වරද පිළිගත්තේ මෙලෙසයි. “කොටස් වශයෙන් පෙන්වපු ටෙලි නාට්ටි බලන්න මම අවුරුදු 13ක් තිස්සේ ඇබ්බැහි වෙලා හිටියා. ක්‍රිස්තියානි රැස්වීම්වලට යන හින්දත් ඉඳලා හිටලා දේවසේවයේ සහභාගි වෙන හින්දත් මම හිතුවේ ඒවා නැරඹුවත් මට හානියක් වෙන එකක් නැහැ කියලයි. ඒත් ඒ චරිතවල ආකල්ප මා තුළත් ඇති වෙන්න පටන්ගත්තා. මගේ සැමියා මට හිරිහැර කරනවා නම්, මට ආදරේ නැත්නම් මම දුරාචාරයේ යෙදුණට කමක් නැහැ කියන හැඟීම ඇති වුණා. මොකද ඒකට වග කියන්න ඕන මගේ සැමියනේ. එහෙම කරන එක හරියි කියලා දැනුණට පස්සේ මම වැරදි මාර්ගයේ ගියා. අන්තිමට යෙහෝවා දෙවිටත් මගේ සැමියටත් විරුද්ධව මං පව් කළා.” එමනිසා මේ තැනැත්තියව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළා. ඒත් පසු කලෙක ඇය තමන්ගේ වරද පිළිගෙන අවංකවම පසුතැවිලි වූ නිසා ඇයව යළිත් සභාවට පිළිගත්තා. යෙහෝවා දෙවි පිළිකුල් කරන විනෝදාස්වාදය ප්‍රතික්ෂේප කිරීමට ඇයට ශක්තිය ලැබුණේ රූපවාහිනි ටෙලි වෘත්තාන්ත ගැන අවවාද දුන් එම ලිපි කියවීමෙන් පසුවයි.—ආමොස් 5:14, 15.

14 තවත් පාඨකයෙක් තමන්ට එය බලපෑ අන්දම ගැන මෙසේ පැවසුවා. “ලිපි පෙළ කියෙව්වහම මම ඇඬුවා. මට තේරුණා දෙවිගේ ප්‍රමිති මට අමතක වෙලා කියලා. මං මේ වැඩසටහන්වලට ආපහු වහල් වෙන්නේ නැහැ කියලා මම මගේ දෙවිට පොරොන්දු වුණා.” ඒ ලිපි ගැන අගය පළ කරමින් තවත් ක්‍රිස්තියානි කාන්තාවක් තමන් රූපවාහිනිය නැරඹීමට ඇබ්බැහි වී සිටි ආකාරය පැහැදිලි කළේ මෙසේයි. ‘දෙවි එක්ක තියෙන මගේ සම්බන්ධයත් කැඩෙයිද කියලා මම කල්පනා කළා. ඒ නාට්ටිවල ඉන්න අයව මගේ මිතුරන් කරගෙන ඉන්න ගමන් යෙහෝවා දෙවිව මිතුරෙක් කරගන්නේ කොහොමද?’ ඔවුන් එම අදහස් පළ කළේ මීට වසර 25කට පෙරයි. ඒ කාලේ රූපවාහිනි නාට්‍යයන් නිසා මිනිසුන්ගේ හදවත් දූෂණය වුණා නම් අද ගැන කුමක් කිව හැකිද? (2 තිමෝති 3:13) රූපවාහිනි ටෙලි නාට්‍යයන්, ප්‍රචණ්ඩත්වය ඇතුළත් වීඩියෝ ක්‍රීඩා හෝ නුසුදුසු පසුබිම් දර්ශන ඇතුළත් සංගීතය වැනි සියලු ආකාර නුසුදුසු විනෝදාස්වාදයන් සාතන්ගේ උගුල් බව අපි මතක තබාගත යුතුයි.

අමනාපකම් ඇති කරගැනීමේ උගුල

15. සමහරු ජීවත්ව සිටියදීම සාතන්ට අසු වී සිටින්නේ කොහොමද?

15 සාතන් එකිනෙකා අතර ඇති වන අමනාපකම් උගුලක් ලෙස යොදාගනිමින් යෙහෝවා දෙවිගේ සෙනඟව භේද කරවනවා. අපි කුමන සේවා වරප්‍රසාදයක් ඉටු කළත් මේ උගුලට අසු වෙන්න පුළුවන්. එම උපක්‍රමය යොදාගනිමින් යක්ෂයා අප ජීවත්ව සිටියදීම ඔහු කැමති දේ අප ලවා කරගනියි. සමහරු මේ උගුලට හසුවීමෙන් දෙවිගේ සෙනඟ අතරේ තිබෙන සාමයට හා එකමුතුකමට හානි ගෙනැවිත් තිබෙනවා.—ගීතාවලිය 133:1-3.

16. අපේ එක්සත්කම බිඳ දැමීමට සාතන් සූක්ෂ්ම ලෙස වෑයම් කරන්නේ කෙසේද?

16 පළමුවන ලෝක මහා යුද්ධය කාලෙදී යෙහෝවා දෙවිගේ භූමික සංවිධානයට කෙළින්ම ප්‍රහාර එල්ල කරමින් එය විනාශ කර දැමීමට සාතන් උත්සාහ කළත් ඔහු අසාර්ථක වුණා. (එළිදරව් 11:7-13) ඒ කාලයේ පටන් ඔහු සූක්ෂ්ම ලෙස අපේ එකමුතුකම බිඳීමට විවිධ ක්‍රම යොදමින් සිටිනවා. අමනාපකම් ඇති කරගන්නවා කියන්නේ අපි “කුරුලු දඩයක්කරු” සමඟ අත්වැල් බැඳගන්නවා කියන එකයි. එවිට පෞද්ගලිකව හා සභාවක් වශයෙන් දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීම අප වළක්වනවා. එසේ වීමෙන් සභාවේ සාමය හා එකමුතුකම බිඳී ගොස් දේශනා සේවයත් අඩපණ වෙන නිසා එය සාතන්ගේ සතුටට හේතුවක් වෙනවා.—එෆීස 4:27, 30-32.

17. අමනාප වී සිටින අය එය නැති කරගැනීමට කුමක් කළ යුතුද?

17 සෙසු ක්‍රිස්තියානියෙකු සමඟ අමනාපකමක් ඇත්නම් ඔබ කුමක්ද කරන්නේ? එක් එක්කෙනාගේ තත්වයන් වෙනස් බව ඇත්තයි. අමනාපකම් ඇතිවීමට බොහෝ හේතු තිබිය හැකි වුණත් ගැටලු නිරාකරණය කරගැනීමෙන් වැළකීමට ඒවා හේතුවක් කර නොගත යුතුයි. (මතෙව් 5:23, 24; 18:15-17) දෙවිගේ වචනයෙහි දී තිබෙන උපදෙස් කවදාවත් වරදින්නේ නැහැ. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් සැමවිටම ලැබෙන්නේ හොඳ ප්‍රතිඵලයි!

18. දෙවිව අනුකරණය කිරීම අමනාපකම් නැති කරගැනීමට උපකාරයක් වන්නේ ඇයි?

18 යෙහෝවා දෙවි ‘සමාව දීමට කැමැත්තෙන් සිටිනවා.’ එමෙන්ම ඔහු ‘සමාව දෙන්නේ ඇත්තටමයි.’ (ගීතාවලිය 86:5; 130:4NW) යෙහෝවා දෙවිව අනුකරණය කරනවා නම් අපි පෙන්වන්නේ අපි ඔහුගේ දරුවන් බවයි. (එෆීස 5:1) අපි හැමෝම වැරදි කරන නිසා යෙහෝවා දෙවිගේ සමාව ලබාගැනීම අත්‍යවශ්‍යයි. එමනිසා වෙනත් කෙනෙකුට සමාව නොදීමට අප තුළ නිකමටවත් පෙලඹීමක් ඇති වෙනවා නම් අපි පරෙස්සම් විය යුතුයි. ඊට හේතුව අපිත් යේසුස්ගේ උපමාවේ සඳහන් දාසයාගේ තත්වයට වැටීමට ඉඩ තිබීමයි. එම දාසයා විසින් විශාල ණයක් තම ස්වාමියාට ගෙවිය යුතුව තිබුණත් ස්වාමියා ඔහුට අනුකම්පා කර සමාව දුන්නා. නමුත් වෙනත් දාසයෙක් ඔහුට ගෙවන්න තිබූ සුළු ණයක් නොගෙවූ විට ඔහු එම දාසයාට සමාව දුන්නේ නැහැ. මේ ගැන ස්වාමියාට දැනගන්න ලැබුණු විට සමාව නොදුන් දාසයාව හිරගෙට දැමුවා. එම උපමාව යේසුස් අවසන් කළේ මෙලෙසයි. “ඔබ එකිනෙකාත් තම තමාගේ සහෝදරයාට ඔබේ හදවතින්ම සමාව නොදුන්නොත්, ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ද ඔබට එසේම කරනවා ඇත.” (මතෙව් 18:21-35) එම උපමාව ගැන හොඳින් කල්පනා කරන්න. යෙහෝවා දෙවි අපිට කී වාරයක් සමාව දී ඇද්ද? ඒ ගැන අප හිතනවා නම් අප සමඟ අමනාපයක් ඇති වී තිබෙන තැනැත්තාට සමාව දෙන්න අපි පෙලඹෙනවා නිසැකයි!—ගීතාවලිය 19:14.

“මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයේ” සුරක්ෂිතව

19, 20. මෙවැනි අන්තරාදායක කාලයක යෙහෝවා දෙවිගේ “රහස් ස්ථානයේ” හා “සෙවණෙහි” වාසය කිරීමට ලැබීම අපි සැලකිය යුත්තේ කෙසේද?

19 අපි ජීවත් වෙන්නේ දරුණු යුගයකයි. යෙහෝවා දෙවිගේ ආරක්ෂාව නොලැබුණා නම් මේ වන විට සාතන් අපි සියලුදෙනාවම විනාශ කර දාලා. “කුරුලු දඩයක්කරුගේ” උගුලට හසු නොවීමට නම් අපි “මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයේ” රැඳී සිටිය යුතුයි. එසේ සිටිනවා නම් අපිට ‘සර්වපරාක්‍රම තැනැත්තාණන්ගේ සෙවණෙහි වාසය කරන්න ලැබෙනවා.’—ගීතාවලිය 91:1NW.

20 යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම් හා මඟ පෙන්වීම් හිරිහැරයක් ලෙස නොව සැමවිටම ආරක්ෂාවක් ලෙස සලකමු. මිනිස් මනස අබිබවා යන බුද්ධියක් ඇති දඩයක්කරු අපි හැම කෙනාටම උගුල් අටවනවා. යෙහෝවා දෙවිගේ ප්‍රේමණීය උපකාරය නැත්නම් අපට උගුල්වලින් බේරී යා නොහැකියි. (ගීතාවලිය 124:7, 8) ඒ නිසා “කුරුලු දඩයක්කරුගේ”උගුලෙන් අපව ගලවාගන්න කියා අපි යෙහෝවා දෙවිට යාච්ඤා කරමු.—මතෙව් 6:13.

[පාදසටහන්වල]

^ 11 ඡේ. වර්ෂ 1982 දෙසැම්බර් 1 මුරටැඹ 3-7 දක්වා පිටු.—සිංහලෙන් නැහැ.

^ 13 ඡේ. වර්ෂ 1983 දෙසැම්බර් 1 මුරටැඹ 23වන පිටුව.—සිංහලෙන් නැහැ.

ඔබට මතකද?

• “මිනිසුන්ට භයවීම” මර උගුලක් වෙන්නේ ඇයි?

• යක්ෂයා ධන සම්පත් උගුලක් ලෙස යොදාගන්නේ කෙසේද?

• නුසුදුසු විනෝදාස්වාදය ලැබීමට සාතන් සමහරුන්ව පොලඹවා තිබෙන්නේ කෙසේද?

• එකමුතුකම නැති කිරීමට යක්ෂයා අටවන උගුල කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[27වන පිටුවේ පින්තූරය]

“මිනිසුන්ට භයවීමේ” උගුලට සමහරුන් හසුව සිටියි

[28වන පිටුවේ පින්තූරය]

දෙවි පිළිකුල් කරන විනෝදාස්වාදවලින් ඔබ ප්‍රීතියක් ලබනවාද?

[29වන පිටුවේ පින්තූරය]

ඔබට සෙසු ක්‍රිස්තියානියෙක් සමඟ අමනාපයක් ඇත්නම් කුමක් කළ හැකිද?