Skip to content

පටුනට යන්න

අරමුණක් ඇති ජීවිතයක් ලැබෙන්නේ කුමකින්ද?

අරමුණක් ඇති ජීවිතයක් ලැබෙන්නේ කුමකින්ද?

අරමුණක් ඇති ජීවිතයක් ලැබෙන්නේ කුමකින්ද?

අද සිටින බොහෝ මිනිසුන් ඔවුන්ගේ මුළු ජීවිත කාලයම ගත කරන්නේ මුදල් හම්බ කිරීමට, ප්‍රසිද්ධ වීමට සහ තම හැකියාවන් ප්‍රගුණ කරගැනීමටයි. දුප්පත් අයට පිහිට වීම සඳහා වැඩි කාලයක් ගත කරන අයත් සිටිනවා. නමුත් තමන් ජීවත් වන්නේ කුමන අරමුණක් වෙනුවෙන්ද කියා නොදන්නා පිරිසක්ද සිටිනවා.

ඔබ කුමන ආකාරයේ කෙනෙක්ද? ඔබ මේ පොළොව මත ජීවත් වන්නේ කුමන අරමුණක් උදෙසාද කියා කවදා හෝ කල්පනා කර තිබෙනවාද? ජීවිතය අරමුණක් ඇතිව සන්තෝෂයෙන් ගත කිරීම සඳහා මිනිසුන් කරමින් සිටින්නේ මොනවාද? ඔවුන් බලාපොරොත්තු වන දේ ඔවුන්ට ලැබී තිබෙනවාද? අරමුණක් ඇති සන්තෝෂවත් ජීවිතයකට මඟ කුමක්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු දැන් අපි සලකා බලමු.

මුදල් හා විනෝදයෙන් එය ලැබෙයිද?

බයිබලයේ මෙවැනි දෙයක් පවසනවා. “මුදල ආරක්ෂාවක් වන්නා සේම ප්‍රඥාවද ආරක්ෂාවකි. නමුත් දැනුමෙහි ප්‍රයෝජනය මෙයයි. දැනුමත් ප්‍රඥාවත් ඇති අයගේ ජීවිත රැකෙනු ඇත.” (දේශනාකාරයා 7:12, නව ලොව පරිවර්තනය, NW) ඉන් පැහැදිලි වෙන්නේ මුදල් අපට ප්‍රයෝජනවත් බවයි. උදාහරණයකට, ඔබගේ පවුලේ අයගේ අවශ්‍යතා සැපයීමට නම් මුදල් තිබිය යුතුයි.—1 තිමෝති 5:8.

ජීවිතයෙන් යම් සතුටක් ආස්වාදයක් ලබන්න අප කවුරුත් කැමතියි. යේසුස් පවා ඉඳහිට විශේෂ කෑම වේලකින් යම් සතුටක් ලැබුවා. ඒ විතරක් නොවෙයි, ඔහු ඉතා වටිනා ඇඳුමකින් සැරසී සිටීමෙන්ද යම් ප්‍රීතියක් අද්දැක්ක බවට සැකයක් නැහැ.—මතෙව් 8:20; යොහන් 2:1-11; 19:23, 24.

ඒ වුණත් යේසුස් තමාගේ මුළු ජීවිතයම කැප කළේ කෑම, ඇඳීම, විනෝදය වැනි දේවල් සඳහා නොවෙයි. ඒ වෙනුවට ඔහු කළ යුතු දේ හරියටම ඔහු දැන සිටියා. ඒ බව ඔහු කී මේ දෙයින්ද පැහැදිලියි. “යමෙකුට කොපමණ තිබුණත් ඔහු සන්තක දේවල්වලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැත.” ඉන්පසුව යේසුස් එක්තරා ධනවත් මිනිසෙක් ගැන උපමාවක් පැවසුවා. ඒ මිනිසාගේ වගාවෙන් බොහෝ ධාන්‍ය ලැබුණා. ඒ නිසා ඔහු මෙහෙම හිතන්න පටන්ගත්තා. “මා කුමක් කළ යුතුද? මාගේ පලදාව රැස් කර තබන්න දැන් මට කිසිම ඉඩක් නැත. . . . මම මාගේ ගබඩා කඩා දමා වඩා විශාල ඒවා ගොඩනඟා, එහි මාගේ මුළු ධාන්‍ය තොගය සහ මාගේ වටිනා සියලු දේ රැස් කර, මටම මෙසේ කියාගන්නෙමි: ‘ඔබ වෙනුවෙන් අවුරුදු ගණනකට වටිනා දේවල් බොහොමයක් රැස් කර තිබේ. විවේක සුවයෙන් හිඳ, කා බී, ප්‍රීති වන්න.’” මේ ධනවතා කරන්න සිතූ දේ වැරදිද? දෙවි ඒ ධනවතාට පැවසූ දේ ගැන යේසුස් විස්තර කරන්නේ මෙසේයි. “අඥානය, අද රාත්‍රියේදීම ඔබේ ජීවිතය ඉල්ලනු ලැබේ. එවිට, ඔබ රැස් කළ මේ දේ ලැබෙන්නේ කාටද?” ඔහුගේ මරණයෙන් පසු ඔහු රැස් කරගත් දේවල් භුක්ති විඳින්න ඔහුට හැකි වෙන්නේ නැහැ. ඒ නිසා යේසුස් ඔහුගේ උපමාව අවසන් කරන්නේ මෙලෙසයි. “දෙවි ඉදිරියෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස් කරගන්නාට වන්නේත් ඒ දේමය.”—ලූක් 12:13-21.

ඉන් පැහැදිලි වන්නේ ජීවිතයේ යම් සතුටක් ලබන්න මුදල්, සැප සම්පත් අවශ්‍ය වුණත් ජීවිතයේ වැදගත්ම දෙය එය නොවන බවයි. එසේනම් කුමක්ද? යේසුස් පැවසූ ආකාරයට යෙහෝවා දෙවි ඉදිරියේ පොහොසත් වීමයි. ඉන් අදහස් කරන්නේ දෙවිට කීකරුව අපගේ ජීවිත ගත කිරීමයි.

ප්‍රසිද්ධ වීමෙන් එය ලැබෙයිද?

අන් අය ඉදිරියේ කැපීපෙනීමට හෝ ප්‍රසිද්ධ වීමට බොහෝදෙනා දක්වන්නේ පුදුමාකාර ලොල්කමක්. නමුත් හොඳ නමක් ඇති කරගැනීමට උත්සාහ කිරීම වැරදි දෙයක් නොවෙයි. ඒ ගැනද බයිබලයේ මෙවැනි දෙයක් පවසා තිබෙනවා. “වටිනා තෙල්වලට වඩා හොඳ නමක්ද උපන් දවසට වඩා මියයන දවසද හොඳය.”—දේශනාකාරයා 7:1NW.

කෙනෙක් හොඳ පුද්ගලයෙක්ද නරක පුද්ගලයෙක්ද කියා ඔහු උපන් දවසේදී තීරණය කරන්න බැහැ. නමුත් කෙනෙක් මිය යන දවසේදී ඔහු මොන වගේ පුද්ගලයෙක්ද කියා තීරණය වෙනවා. ඒ, ඔහු ජීවත්ව සිටිද්දී කටයුතු කළ ආකාරය අනුවයි. ඔහු යහපත් දේවල් කර තිබුණා නම් ඔහු මැරෙන දවස ඔහුගේ උපන් දවසට වඩා හොඳයි කියා පවසන්න පුළුවන්.

පුරාණයේ සිටි සලමොන් රජට අබ්සලොම් කියා වැඩිමල් සහෝදරයෙක් සිටි බව බයිබලයේ සඳහන් කරනවා. තමන්ටම කියා නමක් ඇති කරගැනීමට ඔහුට අවශ්‍ය වුණා. පෙනෙන විදිහට ඔහුට සිටි පුතුන් තුන්දෙනාම බාල කාලයේදීම මිය ගොස් තිබුණා. එමනිසා ඔහුගෙන් පසු ඔහුගේ නම ගෙනියන්න පුතෙක් සිටියේ නැහැ. ඊට පිළියමක් හැටියට ඔහු කළේ කුමක්ද? “‘මගේ නම ගෙනියන්න මට පුතෙක් නැහැ’ කියමින් [අබ්සලොම්] තමාගේ නමින් ස්මාරකයක් තැනුවේය. ඔහු එය තැනුවේ රජුගේ තැනිතලාවේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (2 සාමුවෙල් 14:27; 18:18NW) ඔහුගේ ස්මාරකයේ නටඹුන් කිසිවක් දැන් ඉතිරි වී නැහැ. නමුත් බයිබලය අධ්‍යයනය කරන අයට නම් ඔහුගේ නම හොඳට මතකයි. ඒ කවුරු හැටියටද? අපකීර්තිමත් කැරලිකාර සහ තම පියා වූ දාවිත්ගේ රජකම පැහැරගන්න දුෂ්ට කුමන්ත්‍රණ කළ පුද්ගලයෙකු හැටියටයි.

අද දිනත් බොහෝදෙනා විවිධ ක්‍රමවලින් ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරනවා. කවුරුන් ඉදිරියේද? කාලයෙන් කාලයට තම රුචි අරුචිකම් වෙනස් කරන මිනිසුන් ඉදිරියේයි. නමුත් ඔවුන් ලබන ප්‍රසිද්ධියට කල් යත්ම සිදු වන්නේ කුමක්ද? එක් පොතක ඒ ගැන මෙසේ පවසනවා. “මේ කාලයේ කෙනෙකුගේ සාර්ථකත්වය බොහෝවිට මනින්නේ තරුණකම, අන් අයව ආකර්ෂණය කිරීමට තිබෙන හැකියාව සහ ජනප්‍රියත්වය වැනි දේවලට අනුවයි. මෙවැනි දේවල් සතු අය මහත් ප්‍රසිද්ධියක් ලබනවා. නමුත් ඒ ප්‍රසිද්ධිය වැඩි කල් පවතින්නේ නැහැ. ඒ ගැන ඔවුන් සිටින්නේ දැඩි කනස්සල්ලකිනුයි.” (The Culture of Narcissism නම් පොත) ඉන් ගොඩ ඒම සඳහා ඔවුන් මත්පැන් සහ මත්ද්‍රව්‍යවල පිහිට පතනවා. ඒ හේතුවෙන් කනගාටුදායක ලෙස සමහරුන් ඔවුන්ගේ ජීවිත පවා නැති නාස්ති කරගෙන තිබෙනවා. හොඳ නමක් ඇති කරගැනීම යහපත් දෙයක් වුණත් ප්‍රසිද්ධ වීමට දරන උත්සාහය මොන තරම් නිෂ්ඵලද!

එසේනම් අප හොඳ නමක් ඇති කරගත යුත්තේ කවුරුන් ඉදිරියේද? මිනිසුන් ඉදිරියේ නොව දෙවි ඉදිරියේයි. දෙවිට කීකරු ලෙස ජීවත් වූ සමහරෙකු ගැන යෙහෝවා දෙවි මෙවැනි දෙයක් පැවසුවා. “මම ඔවුන්ට බිත්තිවලින් වට වුණ මගේ ගෘහයේ ස්ථානයක් වෙන් කර දෙන්නෙමි. එමෙන්ම දූවරුන් හා පුත්‍රයන්ට වඩා බොහෝසෙයින් වටින, කිසිදා නැති නොවන නාමයක් ඔවුන්ට ලබා දෙන්නෙමි.” (යෙසායා 56:4, 5NW) ඔවුන් දෙවිට කීකරුව සිටි නිසා දෙවි ඔවුන්ට “කිසිදා නැති නොවන නාමයක්” දෙන බවට පොරොන්දු වුණා. බයිබලය අපට උනන්දු කරන්නේ කෙටි කලකින් අමතක වන නමක් ඇති කරගන්න නොවෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවි ඉදිරියේ කිසිදා අමතක නොවන නාමයක් ඇති කරගන්නා ලෙසයි.

තමන්ට කීකරු වී හොඳ නමක් ඇති කරගන්නා අයට පාරාදීස පොළොවක සතුටින් සැමදාටම ජීවත් වීමේ වරප්‍රසාදය යෙහෝවා දෙවි ලබා දීමට නියමිතයි. ඔහු මුල්ම මිනිස් යුවළව නිර්මාණය කළ අවස්ථාවේදී ඔවුන්ට ලබා දුන්නෙත් එවැනිම ජීවිතයක්. ඉදිරියේදී පාරාදීස පොළොවක් යටතේ මිනිසුන් ලබන “සදාකාල ජීවනය” බයිබලයේ විස්තර කර තිබෙන්නේ “සැබෑ ජීවිතය” හැටියටයි. (1 තිමෝති 6:12, 19) එමනිසා අද තිබී හෙට නැති වී යන ජනප්‍රියත්වයට වඩා සන්තෝෂයෙන් පිරුණු සදාකාල ජීවිතයක් ගත කිරීමට තිබෙන අවස්ථාව ලබාගන්න අප උත්සාහ කළ යුතු නැද්ද?

හැකියාවන් හා පරිත්‍යාගයන් මගින් එය ලැබෙයිද?

කලා ක්ෂේත්‍රයේ සිටින බොහෝදෙනෙක්ද උත්සාහ කරන්නේ තම හැකියාවන් ඉහළම තලයට ගෙන ඒමටයි. නමුත් ඔවුන්ගේ ජීවිත කාලය ඒ සඳහා ප්‍රමාණවත් නැහැ. කලින් ලිපියේ සඳහන් හීඩියෝ නමැති කලාකරුවා වයස අවුරුදු 90 ගණන්වලදීත් ඔහුගේ හැකියාවන් තවත් ඔප්නංවන්න හැකි බව තේරුම්ගත්තා. කලාකරුවෙක් යම් කාලයකට පසුව තමාගේ හැකියාවන් ගැන සෑහීමකට පත් වුණා යයි සිතමු. නමුත් දැන් ඔහු වයසට ගොස් තිබෙන නිසා ඔහුගේ තරුණ කාලයේ මෙන් දේවල් කිරීමට හැකියාවක් තිබෙනවාද? අනෙක් අතට ඔහුට හැමදාටම තරුණභාවයෙන් ජීවත් වීමට අවස්ථාව තිබුණා කියා සිතන්න. එවිට ඔහුගේ හැකියාවන් තවත් ප්‍රගුණ කරගන්න තිබෙන අවස්ථා මොන තරම්ද?

දුප්පත් අයට පිහිට වීම සඳහා කැප වී වැඩ කරන අය ගැන කියන්න පුළුවන් කුමක්ද? එවැනි දෙයකින් ඔවුන්ට තෘප්තියක් ලැබෙනවා. එමෙන්ම ඔවුන් සතු ධනය දුප්පත් අය වෙනුවෙන් වැය කරමින් කරන සේවය ඇත්තෙන්ම අගය කළ යුතුයි. ඒ ගැන බයිබලයේද පවසන්නේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” කියායි. (ක්‍රියා 20:35) ඒ වුණත් කෙනෙකුගේ මුළු ජීවිත කාලයම අන් අය වෙනුවෙන් කැප කළත් එයින් ඔහුට සම්පූර්ණයෙන්ම සෑහීමට පත් වෙන්න පුළුවන්ද? දුක් විඳින ජනයා වෙනුවෙන් සෙසු අයට කළ හැකි දේවල් සීමිතයි. දිලිඳුන් වෙනුවෙන් මුදල් සහ ධනය කොතරම් වැය කර තිබුණත් ඔවුන්ගේ එක් මූලික අවශ්‍යතාවක් ලබා දීමට බොහෝ අය අසමත් වී තිබෙනවා. ඒ කුමක්ද?

එය ලබාගැනීමට නම්

ජීවිතය අරමුණක් සහිතව සතුටින් ගත කිරීමට නම් මිනිසුන් කළ යුතු ඉතා වැදගත් දෙයක් ගැන යේසුස් පැවසුවා. එය ධනය, කීර්තිය අත් කරගැනීම, තම හැකියාවන් ප්‍රගුණ කිරීම හෝ අන් අය වෙනුවෙන් තම ධනය වැය කිරීම නොවෙයි. ඒ වෙනුවට යේසුස් පැවසුවේ පුද්ගලයෙක් සැබෑ දෙවිව හඳුනාගෙන ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් විය යුතු බවයි. (මතෙව් 5වන පරිච්ඡේදය) ජීවිතයේ සැබෑ අරමුණ සොයාගන්න හැකි වන්නෙත් එය සන්තෝෂයෙන් භුක්ති විඳින්න හැකි වන්නෙත් එවිට පමණයි.

සැබෑ දෙවිව තවමත් දැනගෙන නැති අයට, ඔහුව සොයන්න කියා බයිබලයේ ආරාධනයක් කර තිබෙනවා. “මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස, ඔහු [දෙවි] එක මිනිසෙකුගෙන් මුළු මිනිස් වර්ගයාවම සෑදුවේය. නියමිත කාලවල්ද මිනිසාගේ වාසය සඳහා සීමාද ඔහු නියම කළේය. එසේ කළේ ඔවුන් දෙවිව සොයන පිණිසය. ඇත්තෙන්ම ඔහුව මහත් උත්සාහයකින් සොයන පිණිසය. එවිට ඔවුන්ට ඔහුව සොයාගත හැක. මන්දයත් ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය. මන්ද අපට ජීවනය තිබෙන්නෙත් අප ක්‍රියා කරන්නෙත් අප පවතින්නෙත් ඔහු මාර්ගයෙනි.”—ක්‍රියා 17:26-28.

ඇත්තෙන්ම සතුටින් පිරි ජීවිතයක් ලබන්න නම් අප සැබෑ දෙවිව හඳුනාගෙන ඔහුට නමස්කාර කිරීම අත්‍යවශ්‍යයි. ඒ තුළින් අපට ප්‍රීතියෙන් සැමදා ජීවත් වීමේ අවස්ථාවත් ලැබෙනවා. එය තහවුරු කරගැනීමට තෙරේසා නමැති කාන්තාවගේ අද්දැකීම සලකා බලන්න. ඇය ඇගේ රටේ රූපවාහිනි නාට්‍යයක ඉතාමත් ප්‍රසිද්ධ චරිතයක් රඟපාමින් බොහෝසෙයින් ජනප්‍රිය වුණා. නමුත් එකවරම ඇය ඒ සියල්ලක්ම අත්හැර දමන්න තීරණය කළා. ඊට හේතුව කුමක්ද? ඇය ඒ ගැන පැවසුවේ “දෙවි දී තිබෙන උපදෙස්වලට කීකරු වීම තරම් හොඳ දෙයක් තවත් නැහැ” කියායි. එම ටෙලිනාට්‍ය මාලාවෙන් අපරාධ සහ අසභ්‍ය දේවල් කැපී පෙනෙන්න සලස්වන බවත් එවැනි ක්‍රියාවන් දෙවි හෙළා දකින බවත් ඇය තේරුම්ගත්තා. එවැනි රූපවාහිනි වැඩසටහනකට දායක වී දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය පළුදු කරගන්න ඇය කැමති වුණේ නැහැ. එතැන් සිට සැබෑ දෙවිට නමස්කාර කිරීම සඳහා තව බොහෝදෙනෙකුට උපකාර කරන්න ඇය ඇගේ ජීවිතයේ ඉතිරි කාලය සම්පූර්ණයෙන්ම කැප කළා. ඒ තුළින් ඇයට මිනිසුන් ඉදිරියේ තිබුණු ප්‍රසිද්ධිය ක්‍රමානුකූලව අඩු වී ගියත් සැබෑ දෙවි ඉදිරියේ හොඳ නමක් ඇති කරගන්න හැකි වුණා.

ඇය ගත් තීරණය ගැන ඇගේ මිතුරෙක් මෙසේ පැවසුවා. “ඇය මේ වගේ තීරණයක් ගත්ත එක ගැන මම හරියට කනගාටු වුණා. ඒක හරියට, දියුණු වෙන්න තිබුණු ලොකු අවස්ථාවකට පයින් ගැහුවා වගේ කියලයි මට හිතුණේ. නමුත් ඇය ගත් ඒ තීරණය නිසා ඇය හිටියේ හරිම සන්තෝෂයෙනුයි.” කලකට පසුව ඇය හදිසි අනතුරකින් මිය ගියා. ඇගේ මරණයෙන් පසුව කලින් සඳහන් කළ මිතුරා පැවසුවේ මෙවැනි දෙයක්. “ඇය හිටියේ හරිම සතුටින්. අප හැමෝම උත්සාහ කරන්නෙත් ඒ දේ ලබාගන්නයි. නමුත් එය ලබාගන්න පුළුවන් වෙලා තියෙන්නේ අපෙන් කීයෙන් කීදෙනාටද?” කෙනෙක් සැබෑ දෙවිට සේවය කර, අවසානයේදී මිය ගියත් දෙවි ඔහුව කවදාවත් අමතක කරන්නේ නැහැ. එවැනි අයට ජීවිතය නැවත ලබා දෙන්නත් දෙවි අරමුණු කර තිබෙනවා.—යොහන් 5:28, 29.

සියලු දේවල නිර්මාණකරු වන යෙහෝවා දෙවි මිනිසුන් වෙනුවෙන් බොහෝ යහපත් දේවල් කිරීමට අරමුණු කර තිබෙනවා. එමනිසා දෙවි අපෙන් බලාපොරොත්තු වන්නේ ඔහුගේ එම අරමුණු හොඳින් අවබෝධ කරගෙන ඔහුට කීකරු වීමයි. ඒ සඳහා සුදුසුම කාලය දැනුයි! අප එසේ කළොත් පාරාදීස පොළොවේ ජීවිතය සැමදා සතුටින් භුක්ති විඳින්න අපට හැකියි. (ගීතාවලිය 37:10, 11, 29) දෙවි ගැන ඉගෙනගැනීමට ඔබට උපකාර කිරීම සඳහා ඔබගේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මහත් ආශාවෙන් සිටිනවා. ඒ සඳහා මේ සඟරාවේ අවසන් පිටුවේ ඇති ලිපිනයට ලියන මෙන් අප ඔබට ආරාධනා කරන්න කැමතියි.

[5වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ උපමාවේ සඳහන් ධනවතා සිතූ දෙයෙහි ඇති වරද කුමක්ද?

[7වන පිටුවේ පින්තූරය]

පාරාදීස පොළොවක ජීවිතය සැමදා සතුටින් භුක්ති විඳීමට ඔබ කැමතිද?