Skip to content

පටුනට යන්න

නාහුම්, හබක්කුක් සහ ශෙපනියා පොත්වල විශේෂාංග

නාහුම්, හබක්කුක් සහ ශෙපනියා පොත්වල විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

නාහුම්, හබක්කුක් සහ ශෙපනියා පොත්වල විශේෂාංග

ඊශ්‍රායෙලයේ උතුරු ගෝත්‍ර දහයේ අගනුවර වන සමාරිය ඇසිරියානු ලෝක බලය මගින් මේ වන විටත් විනාශ කර අවසන්. ඔවුන් යූදා දේශයටත් බොහෝ කලක් පුරා තර්ජනය කරමින් සිටිනවා. යූදා දේශයේ සිටින අනාගතවක්තෘවරයෙක් වූ නාහුම්ට ඇසිරියාවේ අගනුවර වන නිනිවයට විරුද්ධව අනතුරු ඇඟවීමක් කිරීමට තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 632කට පෙර කළ මේ අනතුරු ඇඟවීම බයිබලයේ නාහුම් පොතේ වාර්තා වෙනවා.

ඊළඟට ලෝක බලවතා වුණේ බැබිලෝනිය අධිරාජ්‍යයයි. යෙහෝවා දෙවි තම විනිශ්චය ක්‍රියාත්මක කිරීමට බැබිලෝනිය යොදාගන්නා ආකාරයත් අන්තිමේදී බැබිලෝනියට සිදු වන දේ ගැනත් කලින්ම පවසා තිබෙනවා. ඒ බව හබක්කුක් පොතේ සඳහන් කරනවා. පෙනෙන ආකාරයට හබක්කුක් පොත ලියා අවසන් කළේ ක්‍රි.පූ. 628දීයි.

ශෙපනියා යූදා දේශයේ කෙනෙක්. ඔහු අනාවැකි පවසන්නේ නාහුම් සහ හබක්කුක් යන දෙදෙනාට කලිනුයි. යෙරුසලම විනාශ වන්නේ ක්‍රි.පූ. 607දීයි. නමුත් ඊට අවුරුදු 40කට වඩා වැඩි කාලයකට පෙර යූදා දේශයට අත් වන දුක්ඛිත අවසානය ගැනත් පසුව පැමිණෙන සැනසිලිදායක කාලය ගැනත් ශෙපනියා ප්‍රකාශ කරනවා. ශෙපනියා පොතේ අනිත් ජාතීන්ට විරුද්ධව දුන් තීන්දු ගැනත් වාර්තා වෙනවා.

“ලේ වගුරුවන නගරයට දුක් වේ!”

(නාහුම් 1:1–3:19, නව ලොව පරිවර්තනය, NW)

යෙහෝවා දෙවි ‘ඉතා බලවත් කෙනෙක් වුවත් කෝපවීමට ඉක්මන් වන්නේ නැහැ.’ “දුක් කරදර” ඇති කාලයේදී ඔහුගේ රැකවරණය පතන අයට දෙවි ‘බලකොටුවක්.’ නමුත් නිනිවය නගරය විනාශ වීමට නියමිතයි. ඊට “විරුද්ධව දුන් තීන්දුව ගැන” මෙහි සඳහන් වෙයි.—නාහුම් 1:1, 3, 7.

“යෙහෝවා දෙවි යාකොබ්ගේ දේශයේ තේජස” යළි ඇති කිරීමට නියමිතයි. ‘සිංහයා ගොදුර කෑලි කෑලිවලට ඉරා දමන්නා සේ’ ඇසිරියානුවන් දෙවිගේ සෙනඟව භය ගන්වා තිබුණා. එමනිසා ‘[නිනිවයේ] යුධ රථ ගින්නෙන් විනාශ කර තරුණ සිංහයන්ව කඩුවෙන් මරා දමන’ බවත් යෙහෝවා දෙවි පවසනවා. (නාහුම් 2:2, 12, 13) නිනිවය නමැති “ලේ වගුරුවන නගරයට දුක් වේ!” ඔවුන්ට ‘සිදු වූ දේ අසන සියලුදෙනා ප්‍රීතියෙන් අත්පොළසන් දෙනු ඇත.’—නාහුම් 3:1, 19.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:9—නිනිවයට “සම්පූර්ණ විනාශයක්” ගෙන ඒමෙන් යූදා දේශයට සිදු වන යහපත කුමක්ද? ඇසිරියානුවන් වෙතින් ‘විපත්තිය නැවත කිසිදා හිස ඔසවන්නේ නැති’ නිසා යූදා දේශයට සැමදාටම සැනසිල්ලේ සිටිය හැකියි. නිනිවය විනාශ වන බවට කිසිම සැකයක් නැහැ. විනාශයෙන් පසුව සිදු වන දෙය ගැන නාහුම් මෙසේ පවසනවා. “බලන්න! ශුභාරංචියක් රැගෙන පණිවුඩකරුවෙක් කඳු අතරින් පැමිණෙන්නේය. ඔහු පැමිණෙන්නේ සාමය ප්‍රකාශ කිරීමටය. යූදා දේශයේ වැසියෙනි, නැවතත් ඔබේ මංගල්‍යයන් පවත්වන්න සූදානම් වෙන්න.”—නාහුම් 1:15.

2:6—විවර වූ “ගංගාවල කවුළු” මොනවාද? නිනිවයේ පවුරු පිහිටා තිබුණේ ටයිග්‍රිස් ගඟ අද්දරයි. ගඟ දෙසට වූ පවුරුවල කවුළු සාදා තිබුණා. බැබිලෝනිවරුන් සහ මේදියවරුන් එකතු වී ක්‍රි.පූ. 632දී නිනිවයට විරුද්ධව පැමිණියත් එතරම් තර්ජනයක් එල්ල කරන්න හැකි වුණේ නැහැ. නගරය වටා තිබූ උස් පවුරු නිසා ඔවුන්ට දැනුණේ පුදුමාකාර සුරක්ෂිත බවක්. කෙසේවෙතත් ධාරානිපාත වර්ෂාව නිසා ටයිග්‍රිස් ගඟ පිටාර ගැලුවා. ඒ ගැන ඩයඩෝරස් නමැති ඉතිහාසඥයා පවසන්නේ “වර්ෂාව හේතුවෙන් පවුරේ විශාල ප්‍රදේශයක් කඩා වැටී නගරයෙන් සෑහෙන ප්‍රදේශයක් ජලයෙන් යට වුණා” කියායි. දෙවි පවසා තිබූ ආකාරයටම වියළී ගිය පිදුරු ගින්නෙන් දැවී යනවා සේ නිනිවයද ගං වතුරෙන් විනාශ වුණා.—නාහුම් 1:8-10.

3:4—නිනිවය ගණිකාවක් මෙන් වන්නේ කෙසේද? අනිත් ජාතීන්ට බොරු පොරොන්දු දෙමින් මිතුරුකම් පෙන්වා නිනිවය ඔවුන්ව මුළා කළා. නමුත් ඇත්තෙන්ම ඔවුන්ට වුවමනා වුණේ ඒ ජාතීන්ව තමන්ගේ වහලුන් කරගන්නයි. උදාහරණයක් හැටියට, සිරියාව සහ ඊශ්‍රායෙලය එකතු වී යූදා දේශයට විරුද්ධව යුද්ධ කරන්න සැරසෙද්දී ඇසිරියානුවන් යූදාහි ආහාස් රජගේ උපකාරයට පැමිණියා. නමුත් කල් යත්ම ‘ඇසිරියාවේ රජ ආහාස්ට විරුද්ධව ඇවිත් ඔහුට පීඩා කළා.’—2 ලේකම් 28:20NW.

අපට ගත හැකි පාඩම්:

1:2-6. තමන්ට හැර අන් දෙවිවරුන්ට නමස්කාර කළ සතුරු ජාතීන්ව යෙහෝවා දෙවි විනාශ කළා. ඉන් පෙනී යන්නේ ඔහු තම නමස්කාරකයන්ගෙන් බලාපොරොත්තු වන දෙයයි. එනම් ඔහුට පමණක් නමස්කාර කිරීමයි.—නික්මයාම 20:5.

1:10. නිනිවයට විරුද්ධව දෙවි ගෙනෙන විනාශය නවත්වන්න එහි දැවැන්ත පවුරු සහ කුළුණුවලට හැකි වුණේ නැහැ. වර්තමානයේ සිටින යෙහෝවා දෙවිගේ නමස්කාරකයන්ට සතුරුකම්පාන අයද එය තේරුම්ගත යුතුයි. දෙවි ගෙනෙන දරුණු විනාශයෙන් බේරී පලා යන්න ඔහුගේ සතුරන්ට කොහෙත්ම හැකි වන්නේ නැහැ.—හිතෝපදේශ 2:22; දානියෙල් 2:44.

‘ධර්මිෂ්ඨයා ජීවත් වෙයි’

(හබක්කුක් 1:1–3:19NW)

හබක්කුක් පොතේ මුල් පරිච්ඡේද දෙකේ වාර්තා වන්නේ යෙහෝවා දෙවි සහ හබක්කුක් අතර සිදු වන දෙබසක් ගැනයි. යූදා දේශයේ සිදු වන දුක්ඛිත දේවල් නිසා හබක්කුක් දෙවිගෙන් මෙසේ අසනවා. “මගේ ඇස් දෙකෙන් මේ දුෂ්ට දේවල් දකින්න ඔබ මට සලස්වන්නේ ඇයි? ඔබ කෙසේ මේ නපුරුකම් දෙස බලා සිටින්නෙහිද?” එවිට දෙවි මෙසේ පිළිතුරු දෙනවා. “හිතුමතේට ක්‍රියා කරන, ඉතා දරුණු කල්දිවරුන්ව මම බලයට පත් කරන්නෙමි.” යුදෙව්වන්ව විනාශ කිරීමට ‘ද්‍රෝහී ලෙස කටයුතු කරන අයව’ දෙවි විසින් පාවිච්චි කිරීම ගැන හබක්කුක් පුදුම වෙයි. (හබක්කුක් 1:3, 6, 13) එහෙත් ධර්මිෂ්ඨයා ජීවිතය බේරාගන්නා බවත් දුෂ්ටයාට දඬුවමින් බේරෙන්න බැරි බවත් හබක්කුක්ට ස්ථිරයි. තවදුරටත්, බැබිලෝනිවරුන්ට විරුද්ධව පැමිණෙන පීඩාකාරී තත්වයන් පහක් ගැනද ඔහු වාර්තා කරනවා.—හබක්කුක් 2:4.

රතු මුහුද අසලදී, පාළුකරයේදී සහ යෙරිකෝව අත්පත් කරගැනීමේදී යෙහෝවා දෙවි සිදු කළ ආශ්චර්යයන් ගැන මතකයට නඟමින් හබක්කුක් යාච්ඤා කරනවා. එහිදී අර්මගෙදොන්හිදී යෙහෝවා දෙවි ගෙනෙන විනාශය ගැනත් ඔහු පුරෝකථනය කරනවා. එම යාච්ඤාව අවසන් වන්නේ මේ ආකාරයටයි. “මට ශක්තිය ලැබෙන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගෙන්ය. ඔහු මාගේ පාද මුවෙකුගේ පාද මෙන් වේගවත් කරන්නේය. මට තනියෙන් යා නොහැකි උස් තැන්වලට ඔහු මාව රැගෙන යයි.”—හබක්කුක් 3:1, 19.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:5, 6—යෙරුසලම විනාශ කිරීමට බැබිලෝනිවරුන් පැමිණෙනවා යන කාරණය ගැන යුදෙව්වන් පුදුම වුණේ ඇයි? හබක්කුක් අනාවැකි පවසන්න පටන්ගත් කාලයේදී යූදා දේශය තිබුණේ බලවත් ඊජිප්තුව යටතේයි. (2 රාජාවලිය 23:29, 30, 34) බැබිලෝනිවරුන් කොතරම් බලවත්ව සිටියත් ඒ වන විටත් ඊජිප්තුවේ රජ වූ පාරාවෝ නෙකෝව පරාජය කර තිබුණේ නැහැ. (යෙරෙමියා 46:2) එපමණක්ද නොව දේවමාලිගාව පිහිටා තිබුණෙත් දාවිත්ගේ පෙළපතේ රජවරුන් දිගටම රාජ්‍යය පාලනය කළෙත් යෙරුසලමේ සිටයි. ඒ නිසා බැබිලෝනිවරුන් ලවා දෙවි යෙරුසලම විනාශ කරන බව එදා සිටි යුදෙව්වන් කොහෙත්ම විශ්වාස කළේ නැහැ. දෙවි හබක්කුක් තුළින් පැවසූ වදන් ඔවුන් විශ්වාස කළත් නැතත් ක්‍රි.පූ. 607දී ‘අනිවාර්යයෙන්ම එය ඉටු වුණා.’—හබක්කුක් 2:3.

2:5—මෙහි කතා කරන “තැනැත්තා” කවුද? ඔහු තම ‘ඉලක්ක අත් කර නොගන්නේ’ ඇයි? මේ තැනැත්තා තනි පුද්ගලයෙක් නොවෙයි. ඔහුගෙන් නියෝජනය වන්නේ තම යුධ ශක්තිය යොදාගෙන ජාතීන්ව යටත් කරගන්නා බැබිලෝනීය හමුදාවයි. එමෙන්ම මොවුන් තම යුධ ජයග්‍රහණ නිසා උද්දාමයට පත්ව සිටියේ හරියට වයින්වලින් මත්ව සිටිනවා හා සමානවයි. කෙසේවෙතත් සියලුම ජාතීන්ව යටත් කරගන්න ඔවුන්ට හැකි වන්නේ නැහැ. මේදිය සහ පර්සියානු හමුදාවන් යොදාගෙන යෙහෝවා දෙවි ඔවුන්ව විනාශ කර දමනවා. වර්තමානයේ එම “තැනැත්තා” වන්නේ දේශපාලන බලයයි. ඔවුන් තුළ ඇති උඩඟු, අධික ආත්ම විශ්වාසය නිසා ඔවුන් සිටින්නේ හරියට මත් වූ ලීලාවෙන්. එහි ප්‍රතිඵලයක් හැටියට රටවල් අල්ලාගැනීමට නොසන්සිඳෙන ආශාවක් ඔවුන් තුළ තිබෙනවා. “සියලු ජාතීන්ව පරාජය කළත්” ඔවුන් තමන්ගේ ‘ඉලක්කය’ අත් කරගන්නේ නැහැ. නමුත් මිනිස්වර්ගයාව එක්සත් කිරීම නමැති එම ඉලක්කය අත් කරගැනීමට හැකි වන්නේ දේවරාජ්‍යයට පමණයි.—මතෙව් 6:9, 10.

අපට ගත හැකි පාඩම්

1:1-4; 1:12–2:1. හබක්කුක් දෙවිගෙන් ප්‍රශ්න කළේ නොදන්නා දේ දැනගැනීමටයි. ඒ නිසා දෙවි ඒවාට පිළිතුරු දුන්නා. අපත් ඒ හා සමානව අවංකව යාච්ඤා කරනවා නම් යෙහෝවා දෙවි අපට සවන් දෙනවා.

2:1. හබක්කුක් මෙන් අපත් ශක්තිමත් ඇදහිල්ලක් ඇතිව දේවසේවයේ ක්‍රියාශීලීව සිටිය යුතුයි. එමෙන්ම අපටත් “උපදෙස්” හෝ නිවැරදි කිරීම් ලැබෙන විට ඒවා පිළිගෙන අප සිතන ආකාරය යළි සකස් කරගැනීමට සූදානම්ව සිටිය යුතුයි.

2:3; 3:16. දෙවිගේ උදහස් දවස පැමිණෙන තුරු අප ඇදහිලිවන්තව සිටිය යුතුයි. ඒ අතරතුර දේවරාජ්‍යයට මුල් තැන දීම සඳහා අපි තුළ ඇති උද්‍යෝගය කිසිදා බාල කර නොගනිමු.

2:4. පැමිණෙන විනාශයෙන් ගැලවෙන්න නම් අවසානය දක්වා ඇදහිලිවන්තව විඳදරාගත යුතුයි.—හෙබ්‍රෙව් 10:36-38.

2:6, 7, 9, 12, 15, 19. සැහැසියාවට ඇලුම්කමක් හෝ වංක ලෙස ලාභ ලැබීමට ගිජුකමක් ඇති කෙනෙකුට මෙන්ම අනාචාරයේ යෙදෙන හෝ රූප නමස්කාරයේ යෙදෙන කෙනෙකුට මහත් දුකකට මුහුණ දීමට සිදු වෙයි. මෙවන් ගතිලක්ෂණ සහ පුරුදුවලින් වැළකී සිටින්න අප වගබලා ගත යුතුයි.

2:11. මේ ලෝකයේ තිබෙන දුෂ්ටකම් අප විසින් හෙළි නොකළොත් ‘බිත්තිවල ගල් ඊට විරුද්ධව මොරගසයි.’ එමනිසා අප ධෛර්යවන්තව දිගටම ශුභාරංචිය දේශනා කිරීම මොන තරම් වැදගත්ද!

3:6. යෙහෝවා දෙවි තම විනිශ්චය ඉටු කරද්දී ඊට හරස් වෙන්න කිසිවෙකුට බැහැ. නොසෙලවෙන කඳු සේ පෙනෙන මිනිස් සංවිධානවලටවත් එසේ කිරීමට හැකියාවක් නැහැ.

3:13. අර්මගෙදොන් විනාශය අරමුණක් නැතුව සිදු වන ස්වාභාවික විනාශයක් නොවෙයි. එහිදී යෙහෝවා දෙවි තමන්ට ඇදහිලිවන්තව සිටි අයව ගලවාගන්නවා.

3:17-19. අර්මගෙදොන් යුද්ධයට පෙර හෝ ඒ අතරතුරේදී අප බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවලදී දිගටම සතුටින් සේවය කරගෙන යෑම සඳහා යෙහෝවා දෙවි අපට අවශ්‍ය “ශක්තිය” ලබා දෙන බව නිසැකයි.

“යෙහෝවා දෙවිගේ දවස ළං වී තිබේ”

(ශෙපනියා 1:1–3:20NW)

බාල් නමස්කාරය යූදා දේශය පුරාම පැතිර තිබෙනවා. අනාගතවක්තෘ ශෙපනියා තුළින් යෙහෝවා දෙවි මෙසේ පවසනවා. “මම යූදා දේශයට විරුද්ධවත් යෙරුසලමේ සියලු වැසියන්ට විරුද්ධවත් විනාශයක් ගෙනෙන්නෙමි.” තවදුරටත් ඔහු පවසන්නේ මෙසේයි. “යෙහෝවා දෙවිගේ දවස ළං වී තිබේ.” (ශෙපනියා 1:4, 7, 14) දෙවි බලාපොරොත්තු වන ආකාරයට ජීවත් වන අය පමණක් එම දවසේදී “රැකවරණය” ලබාවී.—ශෙපනියා 2:3.

දෙවි මෙසේ පවසනවා. “පීඩා කරන නගරයට අත් වන දුකක මහත!” ‘මම ජාතීන්ට විරුද්ධව නැඟී සිටින දවස එන තුරු බලා සිටින්න. ජාතීන් එක්රැස් කර ඔවුන් පිට මගේ උදහස වැගිරවීමට මම තීරණය කළෙමි.’ එමෙන්ම ඔහු මෙසේද පොරොන්දු වෙනවා. “ඔබේ ඇස් පණාපිටම මම ඔබේ සෙනඟව නිදහස් කර නැවත රැගෙන එද්දී පොළොවේ සියලු වැසියන්ගෙන් ඔබට ප්‍රශංසාවත් හොඳ නාමයකුත් මම ලැබෙන්න සලස්වන්නෙමි.”—ශෙපනියා 3:1, 8, 20.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

2:13, 14—මුළුමනින්ම පාළුවට ගිය නිනිවයෙන් ඇසෙන්නේ කාගේ ‘හඬද?’ නිනිවය වනසතුන්ගෙත් කුරුල්ලන්ගෙත් වාසභූමියක් වීමට නියමිත නිසා ඒ හඬ කුරුළු නාදය සහ පාළුවට ගිය නිවෙස්වල ජනෙල් හරහා හමන සුළඟේ හඬ විය යුතුයි.

3:9—“පවිත්‍ර භාෂාව” කුමක්ද? එය කතා කරන්නේ කෙසේද? බයිබලයේ තිබෙන සියලුම සත්‍ය ඉගැන්වීම් ඒ පවිත්‍ර භාෂාවට අයිතියි. අප එය කතා කරන්නේ එම සත්‍යයන් විශ්වාස කිරීමෙන්, ඒවා අන් අයට ඉගැන්වීමෙන් සහ දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වීමෙනුයි.

අපට ගත හැකි පාඩම්:

1:8. පෙනෙන විදිහට ශෙපනියා ජීවත් වූ කාලයේ සිටි සමහර අය අවට ජාතීන්ගේ ප්‍රසාදය දිනාගැනීමට ‘විදේශීය ඇඳුම් ඇන්දා.’ අද දින සිටින යෙහෝවා දෙවිට නමස්කාර කරන අයත් විවිධ ආකාරවලින් සාතන්ගේ ලෝකයේ අනුමැතිය දිනාගැනීමට වෑයම් කරනවා නම් එය මොන තරම් මෝඩකමක්ද!

1:12; 3:5, 16. යෙහෝවා දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔහුගේ සෙනඟට නැවත නැවතත් අනතුරු ඇඟෙව්වා. වයින් භාජනවල පතුලේ තිබෙන මණ්ඩි මෙන් වූ යුදෙව්වන් දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවිතයේ වෙනස්කම් කරගැනීමට කැමති වුණේ නැහැ. ඔවුන් කටයුතු කළේ ඉතාම උදාසීන ආකාරයටයි. ඒ හා සමානව යෙහෝවා දෙවිගේ මහත් දවස ළං වෙනවාත් සමඟම ශුභාරංචිය දේශනා කිරීමට තිබෙන අපේ උද්‍යෝගය බාල කර අපව අධෛර්යවත් කිරීමට එවැනි උදාසීන ප්‍රතිචාරයන්ට ඉඩ නොතබමු.

2:3. උදහස් දවසෙන් අපව ගලවාගැනීමට හැක්කේ යෙහෝවා දෙවිට පමණයි. එමනිසා දිගටම ඔහුගේ ප්‍රසාදය ලබන්න නම් අප ඔහුව සොයන්න අවශ්‍යයි. එය කරන්නේ කොහොමද? බයිබලය ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන්, ඔහුගේ මඟ පෙන්වීම් ඉල්ලා යාච්ඤා කිරීමෙන් සහ ඔහුට තව තවත් ‘ළං වීමෙනුයි.’ එමෙන්ම අප ‘ධර්මිෂ්ඨකම සොයන්නත්’ අවශ්‍යයි. එසේ කරන්නේ දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟ ජීවිතයක් ගත කිරීමෙනුයි. මොළොක් සහ යටහත් පහත් ආකල්පයක් වර්ධනය කරගැනීමෙන් ‘නිහතමානිකම’ ඇති කරගත හැකියි.

2:4-15; 3:1-5. යෙරුසලම ඇතුළු පුරාණ ජාතීන්ට සිදු වුණා හා සමානව දෙවිගේ උදහස් දවසේදී දෙවිගේ සෙනඟට විරුද්ධව කටයුතු කළ සියලුම ආගම් සහ ආණ්ඩු සහමුලින්ම විනාශ වීමට නියමිතයි. (එළිදරව් 16:14, 16; 18:4-8) එමනිසා අපි භය නැතුව දිගටම දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කරමු.

3:8, 9. අප යෙහෝවා දෙවිගේ දවස පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිද්දී ඉන් ගැලවීමටද ඉගෙනගනිමින් සිටිනවා. එසේ කරන්නේ “පවිත්‍ර භාෂාව” කතා කිරීමට ඉගෙනගැනීමෙන් සහ දෙවිට කැපවීම මගින් ‘ඔහුගේ නමට අයැදීමෙනි.’ එමෙන්ම “ප්‍රශංසාව නමැති පූජාව” ඔප්පු කරන දෙවිගේ සෙසු නමස්කාරකයන් සමඟ ‘එක්සත්කමින් සේවය කිරීමත්’ ඊට අයිතියි.—හෙබ්‍රෙව් 13:15.

“ඒ දවස ඉතා ආසන්නය”

ගීතිකාකරු මෙසේ ගායනා කළා. “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට හැකි නොවන්නේය.” (ගීතාවලිය 37:10NW) නාහුම් පොතේ නිනිවය ගැන කලින් කියා තිබූ දේවල් ඉෂ්ට වුණා. දෙවිව අත්හැරිය යුදෙව්වන්ටත් බැබිලෝනියටත් විරුද්ධව හබක්කුක් කී දේවල්ද ඉටු වුණා. මේ දේවල් ගැන කල්පනා කරද්දී ගීතිකාකරුගේ ඉහත කී වදන් සැබෑ වන බවට අපට කිසිම සැකයක් නැහැ. ඒ සඳහා අප තව කොපමණ කාලයක් බලා සිටිය යුතුද?

ශෙපනියා 1:14හි පවසා ඇති ආකාරයට “යෙහෝවා දෙවිගේ මහත් දවස ළං වී තිබේ.” “ඒ දවස ඉතා ආසන්නය.” එම දවසෙන් බේරෙන්නේ කෙසේද කියාත් ඒ සඳහා දැන්තියාම සූදානම් වන්නේ කෙසේද කියාත් ශෙපනියා පොතේ සඳහන් කරනවා. ඇත්තෙන්ම, “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය” කියා අපට පැවසිය හැකියි.—හෙබ්‍රෙව් 4:12.

[8වන පිටුවේ පින්තූර]

නාහුම් පැවසූ අනාවැකි බොරු කරන්න නිනිවය වටා තිබූ විශාල පවුරුවලට හැකි වුණේ නැහැ

[හිමිකම් විස්තර]

Randy Olson/National Geographic Image Collection