Skip to content

පටුනට යන්න

ඔබත් පිනි බින්දු වගේද?

ඔබත් පිනි බින්දු වගේද?

ඔබත් පිනි බින්දු වගේද?

මීටර් 2814ක් උසැති තේජවත් හෙර්මොන් කන්ද පිහිටා තිබෙන්නේ ලෙබනොන් කඳු යායට දකුණු දෙසින් වෙන්නයි. අවුරුද්දෙන් වැඩි හරියක්ම මෙහි කඳු මුදුන හිමෙන් වැසී තිබෙනවා. රාත්‍රී කාලයේදී ඒ හරහා හමා යන උණුසුම් වාතය නිසා ඒවා පිනි බවට පත් වී, කඳු බෑවුම දිගේ තිබෙන ගස් කොළන් මෙන්ම කඳු පාමුල තැනිතලාවේ තිබෙන මිදි වතු මතද පතිත වෙනවා. පුරාණ ඊශ්‍රායෙලයේ පැවති දීර්ඝ නියං කාලවලදී වගාවන් ප්‍රාණවත්ව තැබීමට අවශ්‍ය තෙතමනය ප්‍රධාන වශයෙන් ලැබුණේ හෙර්මොන් කන්දේ පිනි මගිනුයි.

යෙහෝවා දෙවිගේ සෙනඟ අතර ඇති එකිනෙකාව ප්‍රාණවත් කරවන එකමුතුකම බයිබලය සමාන කර තිබෙන්නේ “සියොන්හි කඳු මත පතිත වන හෙර්මොන් කන්දෙහි පිනි” බින්දුවලටයි. (ගීතාවලිය 133:1, 3, නව ලොව පරිවර්තනය, NW) හෙර්මොන් කන්දේ පිනිවලින් ගස් කොළන්වලට මහත් ප්‍රාණවත්භාවයක් ගෙන දෙනවා හා සමානව අන් අයට මහත් ප්‍රබෝධයක් ගෙන දීමට අපටත් හැකියි. ඒ කෙසේද කියා අපි දැන් බලමු.

යේසුස් තැබූ ආදර්ශය

යේසුස් ක්‍රිස්තුස්ද අන් අයට මහත් ප්‍රබෝධයක් ගෙන දුන්නා. කෙනෙකුට ඔහුව ඇසුරු කරන්න ලැබුණේ කෙටි වෙලාවකට වුණත් ඉන් ඒ පුද්ගලයා ලැබුවේ මහත් නැවුම්බවක්. උදාහරණයකට බයිබල් ලේඛක මාක් පවසන දේ සලකා බලන්න. “ඔහු දරුවන්ව තුරුළු කරගෙන ඔවුන් පිට අත් තබමින් ඔවුන්ට ආශීර්වාද කළේය.” (මාක් 10:16) එම කුඩා දරුවන් ඒ කෙටි වෙලාවෙන් මොන තරම් ප්‍රීතියක් ලබන්න ඇද්ද!

පොළොව මත ජීවත් වූ අවසන් රාත්‍රියේදී යේසුස් තම ගෝලයන්ගේ පාද සේදුවා. ඒ ක්‍රියාව ඔහුගේ ගෝලයන්ගේ හදවතට තදින් කාවදින්න ඇති. පසුව යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “මා ඔබට කළාක් මෙන් ඔබත් කළ යුතු බවට වූ ආදර්ශය මම ඔබට දුනිමි.” (යොහන් 13:1-17) ඔහුගේ ගෝලයන්ද එසේ යටහත් පහත් ලෙස කටයුතු කළ යුතු බව යේසුස් පැවසුවා. යේසුස් ඒ තුළින් ඉගැන්වූ වැදගත් පාඩම තේරුම්ගන්න ඔවුන්ට ටිකක් කල් ගියා. එදාම රාත්‍රියේදී වඩා උතුම් තැනැත්තා කවුද කියා ඔවුන් අතරේ වාදයක් හටගත්තේ ඒ නිසයි. නමුත් යේසුස් ඔවුන්ට කේන්තියෙන් බැණ වදිනවා වෙනුවට, ඉතා සන්සුන්ව කාරණා පැහැදිලි කර දුන්නා. (ලූක් 22:24-27) යේසුස්ගේ සතුරන් ‘ඔහුට නිග්‍රහ’ කළත් ‘ඔහු නිග්‍රහ කළේ නැහැ. ඔහු වධ විඳිද්දී, තර්ජනය නොකර, ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනැත්තාට තමන්වම භාර දුන්නා.’ ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීම මොන තරම් වටිනවාද!—1 පේතෘස් 2:21, 23.

තම අසන්නන්ට මෙසේ කීමට යේසුස්ට හැකි වුණේ ඒ නිසයි. “මා මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු බැවින් මාගේ වියගහ ඔබ පිටට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙනවා ඇත.” (මතෙව් 11:29) වරක් යේසුස් සිනගෝගයේ උගන්වමින් සිටිනවා දුටු ඔහුගේ ගමේ පිරිසක් පුදුමයෙන් මෙහෙම පැවසුවා. “මේ මිනිසාට මේ ප්‍රඥාව හා බලවත් ක්‍රියා කොහෙන්ද?” (මතෙව් 13:54) යේසුස්ගේ ජීවිතය හා දේවසේවය සම්බන්ධයෙන් බයිබලයේ ඇති තොරතුරු අධ්‍යයනය කිරීමෙන් අන් අයට මහත් ප්‍රබෝධයක් ගෙන දෙන්නේ කෙසේද කියා ඉගෙනගන්න අපටත් හැකියි. ගොඩනංවනසුලු ආකාරයෙන් කතා කිරීම සහ උපකාර කිරීමට සූදානම්ව සිටීම සම්බන්ධයෙන් යේසුස් තැබූ කදිම ආදර්ශය අපි දැන් සලකා බලමු.

ගොඩනංවන ආකාරයෙන් කතා කරන්න

ගොඩනැඟිල්ලක් හදනවාට වඩා එය කඩා බිඳ දමන එක කොතරම් ලෙහෙසිද! අපගේ කතා බහත් ඊට සමාන කරන්න පුළුවන්. වැරදි කිරීමේ නැඹුරුවාව අප සියලුදෙනාට උපතින්ම උරුම වී ඇති දෙයක්. සලමොන් පහත සඳහන් දේ පැවසුවේ ඒ නිසයි. “කිසි පාපයක් නොකරන, යහපත පමණක්ම කරන ධර්මිෂ්ඨ මිනිසෙක් පොළොවේ නැත.” (දේශනාකාරයා 7:20NW) ඒ නිසා අන් අයගේ වැරදි අපට ලෙහෙසියෙන්ම පෙනෙන අතර ඒ මගින් ඔවුන්ව කඩා බිඳ දැමීමට හෝ රිදවීමට අප පෙලඹෙන්න පුළුවන්. (ගීතාවලිය 64:2-4) නමුත් අන් අයව ගොඩනංවන ආකාරයෙන් කතා කරන්නේ කෙසේද කියා අප ඉගෙනගන්න අවශ්‍යයි. ඒ සඳහා අපි යේසුස්ගේ ආදර්ශය සලකා බලමු.

යේසුස් නිතරම පාහේ කතා කළේ අන් අයව ගොඩනංවන ආකාරයෙනුයි. ඔහු දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම මගින් අන් අයට මහත් සැනසීමක් ගෙන දුන්නා. (ලූක් 8:1) එමෙන්ම තම ස්වර්ගික පියා කෙබඳු පුද්ගලයෙක්ද කියා ඔවුන්ට ඉගැන්වූ නිසාද ඔවුන් සහනයක් ලැබුවා. (මතෙව් 11:25-27) මිනිසුන් යේසුස් වෙත ඇදී ඒමට හේතුව එයයි.

නමුත් ලියන්නන් සහ පරිසිවරු නම් යේසුස් මෙන් අන් අය ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ඔවුන් පොදු ජනයාව ඇමතුවේ “නීතිය නොදන්නා මේ සමූහයා ශාප ලත්” සෙනඟක් කියායි. (යොහන් 7:49) ඔවුන්ගේ ආකල්ප හෙළි කරමින් යේසුස් ඔවුන් ගැන පැවසුවේ මෙසේයි. “සන්ධ්‍යා භෝජනවලදී ප්‍රධානතම ස්ථානයටද සිනගෝගවලදී ඉදිරි ආසනවලටද ඔවුහු කැමති වෙති.” (මතෙව් 23:6) මින් පැහැදිලි වන්නේ පරිසිවරුන් අන් අයව ගොඩනංවනසුලු අය නොවූ බවයි.

අප කතා බහ කරන දෙයින් බොහෝවිට හෙළි වන්නේ අපගේ සිතිවිලි සහ අන් අය ගැන අපි දරන ආකල්පයි. ඒ ගැන යේසුස් පැවසුවේ මේ ආකාරයටයි. “යහපත් මිනිසෙක් තමාගේ සිතෙහි වූ යහපත් වස්තු ගබඩාවෙන් යහපත් දේ පිටතට ගෙන එයි. නමුත් දුෂ්ට මිනිසෙක් තමාගේ දුෂ්ට වස්තු ගබඩාවෙන් දුෂ්ට දේ පිටතට ගෙන එයි. මන්ද, මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි.” (ලූක් 6:45) ඒ අනුව අපගේ කතා බහෙන් අන් අයව ප්‍රබෝධමත් කිරීමට සහ ගොඩනැංවීමට අපට කරන්න පුළුවන් මොනවාද?

මුලින්ම කරන්න පුළුවන් දේ නම් යමක් කියන්න පෙර ඒ ගැන දෙපාරක් කල්පනා කිරීමයි. හිතෝපදේශ 15:28හි [NW] ඒ සම්බන්ධයෙන් මඟ පෙන්වන්නේ මේ ආකාරයටයි. “ධර්මිෂ්ඨයා පිළිතුරක් දෙන්න කලින් හොඳින් සිතයි.” ඒ සඳහා දවස් ගණනක් කල්පනා කරන්න අවශ්‍ය නැහැ. නමුත් අප කියන්න යන දේ මගින් අනිත් කෙනා දිරිගැන්වෙයිද අධෛර්ය වෙයිද කියා මදක් සිතා බලන්න. අපට මෙහෙම කල්පනා කර බලන්න පුළුවන්. ‘මම කියන්න යන දේ කාරුණික දෙයක්ද?’ ඒක ‘මේ අවස්ථාවේ කියන්න සුදුසු’ දෙයක්ද? එය පැවසීම එතරම් සුදුසු නැත්නම් හෝ ඒ ඊට සුදුසු වෙලාව නෙවෙයි නම් ඉන් වැළකී සිටීම ඥනවන්තයි. නමුත් කිසිවක් නොපවසා සිටිනවාට වඩා යම් දිරිගන්වන දෙයක් ඔහු සමඟ බෙදාගැනීම සුදුසුයි. (හිතෝපදේශ 15:23) අන් අය ගැන සැලකිල්ලක් නොදක්වා පවසන වචන ‘කඩුවකින් ඇනීමකටත්’ ගොඩනංවන වචන “සුවය” ගෙන දීමකටත් බයිබලයේ සමාන කර තිබෙනවා.—හිතෝපදේශ 12:18NW.

අපේ කතා බහෙන් අන් අයට ප්‍රබෝධයක් ගෙන දීමටත් ඔවුන්ව ගොඩනැංවීමටත් අපට කරන්න පුළුවන් තවත් දෙයක් තිබෙනවා. එය නම් යෙහෝවා දෙවි ඔවුන්ව තම සේවකයන් හැටියට තෝරාගෙන තිබෙන්නේ ඇයි කියා කල්පනා කිරීමයි. යෙහෝවා දෙවි තම සෑම සේවකයෙකුගේම හොඳ ගුණාංගවලට අවධානය දෙන බව අප මතක තබාගැනීම වැදගත්. ඊට හේතුව යේසුස් මෙසේ පැවසුවා. “මාව එවූ පියාණන් විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස, වෙන කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැක.” (යොහන් 6:44) මේ අයගෙන් සමහරුන් සමඟ පෑහී කටයුතු කිරීම තරමක අභියෝගයක් විය හැකියි. නමුත් අපත් දෙවි මෙන් ඔවුන්ගේ යහපත් ගුණාංග දකින්න උත්සාහ කරනවා නම් ඔවුන්ට ප්‍රශංසා කරන්න පෙලඹෙයි.

අන් අයට උපකාර කරන්න

පීඩිත ජනයාගේ දුක යේසුස්ට හොඳින් දැනුණා. ඒ ගැන බයිබලයේ මෙසේ වාර්තා කර තිබෙනවා. “ඔහු සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළේය.” (මතෙව් 9:36) ඔවුන් සිටි තත්වය නිකම්ම තේරුම්ගන්නවාට වඩා යමක් යේසුස් කළා. ඒ නිසයි ඔහු ඔවුන්ට මෙවැනි ආරාධනයක් කළේ. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි. මන්ද මාගේ වියගහ පහසුය, බරද සැහැල්ලුය.”—මතෙව් 11:28, 30.

වර්තමානයේ අප සිටින්නේ “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක” කාලයකයි. (2 තිමෝති 3:1) “මේ සමාජ ක්‍රමයේ කරදර” නිසා අද දින බොහෝ මිනිසුන් ඉතාමත් පීඩාකාරී තත්වයන් අද්දකිමින් සිටිනවා. (මතෙව් 13:22) තවත් අය පෞද්ගලික ප්‍රශ්න ගැටලු සමඟ පොරබදිමින් සිටිනවා. (1 තෙසලෝනික 5:14) යේසුස් කළාක් මෙන් ඔවුන් අද්දකින පීඩාකාරී තත්වයන්ගෙන් මිදී සහනයක් ලබන්න ඔවුන්ට උදව් කරන්න අපටත් හැකියි. ඒ කොහොමද?

තම ගැටලු අන් අයට පැවසීමෙන් සමහරුන් සහනයක් ලබන්න උත්සාහ කරනවා. අපට එවැනි කෙනෙක් මුණගැසුණොත් කුමක් කළ හැකිද? ඔහු සිටින තත්වය හොඳින් තේරුම්ගනිමින් ඉවසීමෙන් ඔහුට ඇහුම්කන් දීම අවශ්‍යයි. ඔහුගේ දුක අපට පවසන අතරේදී ඊට කුමන පිළිතුරක් දිය යුතුද කියා හෝ ඊට විසඳුම කුමක්ද කියා කල්පනා කරනවා වෙනුවට, පවසන දේට සම්පූර්ණ අවධානයක් දීම වැදගත්. එසේ කිරීමෙන් ඒ තැනැත්තා කෙරෙහි අව්‍යාජ සැලකිල්ලක් දක්වන බව පෙන්වන්න අපට හැකියි.

එවැනි දිරිගැන්වීම් සහ උපකාර අවශ්‍ය බොහෝ අය අප සභාව තුළත් සිටිනවා. උදාහරණයකට, අසනීප නිසා පීඩා විඳින සෙසු ක්‍රිස්තියානීන්ව දිරිගන්වන්න අපට පුළුවන්. සමහරවිට ඊට අවශ්‍ය වන්නේ දිරිගන්වනසුලු වචන ස්වල්පයක් පමණයි. එමෙන්ම පොත් පාඩමට සහභාගි වීමට නොහැකි වූ අය ගැනත් අපට මතක තබාගන්න පුළුවන්. ඒ කොහොමද? ඔවුන්ට දුරකථන ඇමතුමක් දීමෙන් හෝ බැහැදකින්න ගොස් අවශ්‍ය උපකාර සැපයීමෙන් අපි ඔවුන් ගැන සැලකිල්ල දක්වන බව පෙන්වමු.—ෆිලිප්පි 2:4.

සභාවේ සිටින වැඩිමහල්ලන්ද වගකීම් රැසක් උසුලනවා. ඔවුන්ට උපකාර කරන්න අපට පුළුවන් කොහොමද? සහයෝගයෙන් වැඩ කිරීමෙන් සහ ලැබෙන ඕනෑම පැවරුමක් අපගේ උපරිමයෙන් ඉටු කිරීමෙනුයි. ඒ ගැන බයිබලයේ අපට මෙසේ උනන්දු කර තිබෙනවා. “ඔබ අතරේ පෙරමුණ ගන්නාවූ අයට කීකරුව සිටින්න. යටත්ව සිටින්න. මන්ද ඔවුහු ඔබ ගැන ගණන් දිය යුතු අය හැටියට ඔබව රැකබලා ගන්නෝය. එවිට ඔවුන්ට එය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වන්නේය. මන්ද, ඔවුන් එය සුසුම්ලමින් කළොත් ඔබට හානිදායක වන්නේය.” (හෙබ්‍රෙව් 13:17) අප එසේ කරනවා නම් “හොඳින් පෙරමුණ ගෙන ක්‍රියා කරන” අයටත් නැවුම්බවක් ගෙන දෙමින් උපකාර කරන්න අපට පුළුවන්.—1 තිමෝති 5:17.

සැමවිටම නැවුම්බවක් ගෙන දෙන්න

නැවුම්බවක් ගෙන දෙන පිනි බිඳු ගස් කොළන් මත පතිත වන ආකාරය අපගේ පියවි ඇසට පෙනෙන්නේ නැහැ. පිනි බිංදුවක් සෑදෙන්නේ ඉතාමත් පුංචි ජල අංශු දහස් ගණනක් එකතුවීමෙනුයි. ඒ හා සමානව අන් අයට නැවුම්බවක් ගෙන දීම කියන්නේ ක්‍රිස්තියානි ගුණාංග විදහාපෙන්වමින් අන් අය වෙනුවෙන් කරන පුංචි පුංචි යහපත් ක්‍රියා ගණනාවක එකතුවක්.

පාවුල්ද මෙසේ දිරිගන්වනවා. “සහෝදර ප්‍රේමයෙන් යුතුව එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න. එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න.” (රෝම 12:10) පාවුල්ගේ එම උපදෙස අනුගමනය කරමින් අපගේ කතාවෙන් සහ ක්‍රියාවෙන් අන් අයට ප්‍රබෝධයක් සහ නැවුම්බවක් ගෙන දෙන පිනි බින්දුවක් මෙන් වීමට උත්සාහ කරමු.

[16වන පිටුවේ පින්තූර]

අවට තිබූ ගස් කොළන් ප්‍රාණවත්ව තැබීමට හෙර්මොන් කන්දෙන් වැටුණු පිනි හේතු වුණා

[17වන පිටුවේ පින්තූරය]

අන් අය පවසන දේවලට සාවධානව සවන් දීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් ගෙන දෙයි