Skip to content

පටුනට යන්න

උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගන්න

උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගන්න

උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගන්න

“ඔබ සවන් දෙන ආකාරය ගැන හොඳ අවධානයකින් සිටින්න.”—ලූක් 8:18.

1, 2. යේසුස් මිනිසුන් සමඟ කටයුතු කළ ආකාරය ගැන අප සැලකිලිමත් විය යුත්තේ ඇයි?

මිනිසුන්ව ගෝලයන් කිරීමේ ශ්‍රේෂ්ඨතම ආදර්ශය තබා තිබෙන්නේ යේසුස්. තම අනුගාමිකයන්ට මෙසේ කීමට ඔහුට හැකි වුණේ ඒ නිසයි. “ඔබ සවන් දෙන ආකාරය ගැන හොඳ අවධානයකින් සිටින්න.” (ලූක් 8:16-18) ඔහුගේ එම උපදෙස අද සිටින අපටත් අදාළයි. යෙහෝවා දෙවි සපයන මඟ පෙන්වීම්වලට එකඟව අප කටයුතු කරනවා නම්, යේසුස් මෙන් කදිම දේවසේවකයෙක් වීමට අපටත් හැකියි. යේසුස්ගෙන් අසා ඉගෙනගන්න අද ඔහු අප ළඟ නැති වුණත් ඔහු කළ කී දේවල් බයිබලයේ පැහැදිලිව වාර්තා කර තිබෙනවා. යේසුස් ශුභාරංචිය දේශනා කිරීමේදී භාවිත කළ ක්‍රම ගැන දැන් අපි සලකා බලමු.

2 යේසුස් ඉතාමත් දක්ෂ ලෙස ශුභාරංචිය දේශනා කළ අතර ශුද්ධ ලියවිලි ගැන මිනිසුන්ට ඉගැන්වූ ආකාරයත් ඉතා විශිෂ්ටයි. (ලූක් 8:1; යොහන් 8:28) අපත් මිනිසුන්ව යේසුස්ගේ ගෝලයන් බවට පත් කිරීමට නම් ශුභාරංචිය දේශනා කිරීම සහ ඉගැන්වීම යන දෙකම කළ යුතුයි. දේශනා කිරීම කියන්නේ ශුභාරංචිය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කිරීමයි. නමුත් ඉගැන්වීම කියන්නේ දෙවි සහ ඔහුගේ අරමුණු පිළිබඳව මිනිසුන්ව දැනුවත් කිරීමයි. මේ සඳහා ගුරුවරුන් හැටියට අප, බයිබල් සත්‍යය ඉගෙනගන්නා අය සමඟ යහපත් සබඳතාවක් ඇති කරගත යුතුයි. (මතෙව් 28:19, 20) ප්‍රචාරකයෙක්, මිනිසුන්ගේ සිතට කාවදින ආකාරයෙන් පණිවිඩය ප්‍රකාශ කරනවා වෙන්න පුළුවන්. නමුත් ඉගැන්වීම ඔහුට තරමක අභියෝගයක් විය හැකියි. ඉගැන්වීමේදීද සාර්ථක වෙන්න ඔහුට පුළුවන් කොහොමද? ඒ, උතුම් ගුරුවරයාව ආදර්ශයට ගැනීමෙනුයි.—යොහන් 13:13.

3. යේසුස්ව අනුකරණය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

3 ඉගැන්වීම සඳහා යේසුස් යොදාගත් ක්‍රම අනුගමනය කරන්න අප උත්සාහ කළ යුතුයි. එසේ කරනවා නම් පාවුල්ගේ මේ වචනවලට අප කීකරුයි කියා පැවසිය හැකියි. “පිටත සිටින අය සම්බන්ධයෙන් ප්‍රඥාවන්තව කටයුතු කරන්න. ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න. ඔබේ කතාව සැමවිටම ප්‍රසන්නව, ලුණෙන් රසවත්ව තිබේවා! එවිට ඔබ එකිනෙකාට පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි දැනගන්නවා ඇත.” (කොලොස්සි 4:5, 6) යේසුස් මෙන් මිනිසුන්ව ගෝලයන් කිරීමට නම් අප දැඩි වෑයමක් දැරිය යුතුයි. එවිට, ‘සෑම කෙනෙකුටම පිළිතුරු දිය යුත්තේ’ කෙසේද කියා දන්නා දක්ෂ ගුරුවරුන් බවට පත්වීමට අපට හැකියි.

අන් අයට කතා කිරීමට දිරිගැන්නුවා

4. යේසුස් හොඳ සවන්දෙන්නෙකු වූ බව පැවසීමට හේතුව කුමක්ද?

4 යේසුස් තම ළමා කාලයේ සිටම අන් අයට සවන් දුන් අතර ඔවුන්ගේ අදහස් පළ කිරීමටද අවස්ථාව ලබා දුන්නා. උදාහරණයකට වයස අවුරුදු 12දී යේසුස් දේවමාලිගාවේ ගුරුවරුන් සමඟ සිට “ඔවුන්ට සවන් දෙමින් සහ ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින් සිටිනවා” ඔහුගේ දෙමාපියන් දුටුවා. (ලූක් 2:46) ඒ අවස්ථාවේදී යේසුස්ට අවශ්‍ය වුණේ ගුරුවරුන්ට වඩා තමන්ට දැනුම තිබෙනවා කියා පෙන්වන්න නොවෙයි. ඔහු විශේෂයෙන්ම දේවමාලිගාවට ගියේ එහි සිටි ගුරුවරුන්ට ඇහුම්කන් දීමටයි. යේසුස් හොඳ සවන්දෙන්නෙක් වීම දෙවිගෙත් මිනිසුන්ගෙත් ප්‍රසාදය දිනාගැනීමට එක් හේතුවක් වන්න ඇති.—ලූක් 2:52.

5, 6. යේසුස් තමන් ඉගැන්වූ අයට සවන් දුන්නා කියා අප දන්නේ කෙසේද?

5 යේසුස් කුඩා කල පමණක් නොව බව්තීස්ම වීමෙන් පසුව පවා හොඳ සවන්දෙන්නෙක් වුණා. තමන්ට සවන්දෙන්නන්ට, ඔවුන්ගේ අදහස් පළ කිරීමට අවස්ථාවක් නොලැබෙන තරමටම යේසුස් පමණක් කතා කළේ නැහැ. විටින් විට ඔහු මදක් නැවතී, තම අසන්නන් ඒ ගැන සිතන්නේ කුමක්ද කියාත් විමසුවා. පසුව ඔවුන් පවසන දේට හොඳින් ඇහුම්කන් දුන්නා. (මතෙව් 16:13-15) උදාහරණයකට මාර්තාගේ සහෝදර ලාසරුස් මිය ගොස් සිටි අවස්ථාවේදී යේසුස් ඇයට මෙසේ පැවසුවා. “මා කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම කිසි කලක මිය යන්නේ නැත.” පසුව යේසුස් මෙවැනි ප්‍රශ්නයක් ඇගෙන් ඇසුවා. “ඔබ මෙය විශ්වාස කරනවාද?” එවිට ඇය “එසේය ස්වාමිනි, ඔබ දෙවිගේ පුත් ක්‍රිස්තුස් බවත්, ලෝකයට එන්නාවූ තැනැත්තා බවත් මම විශ්වාස කරමි” කියා පැවසුවා. ඇය පැවසූ වදන්වලට යේසුස් ඉතාමත් සාවධානව ඇහුම්කන් දුන් බවට නම් කිසි සැකයක් නැහැ. (යොහන් 11:26, 27) එමෙන්ම දැඩි ඇදහිල්ලකින් යුතුව පැවසූ ඇගේ වදන් යේසුස්ට මොන තරම් ප්‍රීතියක් ගෙන දෙන්න ඇද්ද!

6 තවත් අවස්ථාවකදී යේසුස්ගේ ගෝලයන්ගෙන් බොහෝදෙනෙක් ඔහුව අතහැර යන්න ගියා. එවිට ඉතිරි වී සිටින අයගේ අදහස් දැනගැනීමට යේසුස්ට අවශ්‍ය වූ නිසා ඔහු ඔවුන්ගෙන් මෙසේ ඇසුවා. “ඔබටත් යන්න ඕනෑද?” එවිට සීමොන් පේතෘස් මෙසේ පිළිතුරු දුන්නා. “ස්වාමිනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයේ වචන ඇත්තේ ඔබ ළඟය. තවද ඔබ දෙවිගේ ශුද්ධ තැනැත්තා බව අපි දැනගෙන සිටිමු. එමෙන්ම අපි විශ්වාස කරගෙන සිටිමු.” (යොහන් 6:66-69) ඔවුන්ගේ ඇදහිල්ල දැක යේසුස් කොතරම් ප්‍රීති වන්න ඇද්ද! බයිබල් ශිෂ්‍යයෙක් එයාකාරයෙන් ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රකාශ කළොත් අපටත් ඒ හා සමාන ප්‍රීතියක් ලැබෙනවා නිසැකයි.

සැලකිලිමත්ව සවන් දුන්නා

7. සමරිතානුවන් බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබීමට හේතුව කුමක්ද?

7 යේසුස්, මිනිසුන්ව ගෝලයන් කරන්නෙකු හැටියට සාර්ථක වීමට තවත් හේතුවක් තිබෙනවා. එය නම් අන්‍යයන් කෙරෙහි හොඳ සැලකිල්ලක් දක්වමින් ඔවුන්ට ඇහුම්කන් දීමයි. එක් අවස්ථාවකදී යාකොබ්ගේ ළිඳ ළඟදී යේසුස් සමරිතානු ස්ත්‍රියකට කතා කළා. එහිදී යේසුස් පමණක්ම කතා කරමින් ඇයට දේශනයක් දුන්නේ නැහැ. ඇයගේ අදහස් පළ කිරීමටත් අවස්ථාවක් දුන් යේසුස් ඇය පවසන දේවලට සැලකිලිමත්ව සවන් දුන්නා. දෙවිට නමස්කාර කිරීම සඳහා ඇයට මහත් උනන්දුවක් තිබෙන බව අවබෝධ කරගත් යේසුස් දෙවි සොයන්නෙත් තමාට නමස්කාර කිරීමට අවංක ආශාවක් දක්වන මිනිසුන්ව බව ඇයට පැවසුවා. පසුව ඇය, යේසුස් ගැන ඇගේ නුවරේ අනිත් අයටත් පැවසූ අතර ‘ඒ නුවරෙහි සමරිතානුවරුන්ගෙන් බොහෝදෙනෙක් ඔහු කෙරෙහි ඇදහිල්ල තැබුවා. ඔවුන් එසේ කළේ සමරිතානු ස්ත්‍රියගේ වචනය නිසයි.’ (යොහන් 4:5-29, 39-42) යේසුස් ඇය පැවසූ දේවලට සැලකිලිමත්ව ඇහුම්කන් දීම නිසා මොන තරම් ප්‍රයෝජන අත් වුණාද!

8. අදහස් පළ කිරීමට මිනිසුන් තුළ ඇති කැමැත්ත ප්‍රයෝජනයට ගනිමින් සාකච්ඡාවක් ආරම්භ කළ හැක්කේ කෙසේද?

8 යම් දේවල් ගැන තමන් දරන මතය ප්‍රකාශ කිරීමට මිනිසුන් කැමතියි. පුරාණ ඇතන්ස් නගරයේ සිටි මිනිසුන්ද තමන්ගේ අදහස් පළ කිරීමටත් අලුත් දේවල් දැනගැනීමටත් මහත් උනන්දුවක් දැක්වූවා. පාවුල් එය අවබෝධ කරගත් අතර කදිම සාකච්ඡාවක් ආරම්භ කිරීමට එය යොදාගත්තා. (ක්‍රියා 17:18-34) අපටත් එසේ කළ හැක්කේ කෙසේද? ගෙයින් ගෙට සේවයේදී ඔබව හඳුන්වා දීමෙන් පසුව, යම් විෂයක් ගැන ඔබට මෙසේ අසන්න පුළුවන්. “අද අපි මේ ප්‍රදේශයේ ජනයා සමඟ මේ [විෂය] ගැන ටිකක් කතා කළා. ඉතින් මම විශේෂයෙන් ඔබව හමුවෙන්න ආවේ මේ ගැන ඔබ සිතන්නේ කුමක්ද කියලා දැනගන්නයි.” පසුව ගේහිමියා පවසන දේට සැලකිලිමත්ව සවන් දෙන්න. පසුව ඒ ගැන යමක් පවසන්න. නැත්නම් ඒ ගැන ප්‍රශ්නයක් අසන්න. ඉන්පසු බයිබලයේ ඒ ගැන පවසන්නේ කුමක්ද කියා පැහැදිලි කරන්න.

කිව යුතු දේ දැන සිටියා

9. ‘ශුද්ධ ලියවිල්ල හොඳාකාරයෙන් පහදා දීමට’ පෙර යේසුස් කළේ කුමක්ද?

9 සැලකිලිමත් සවන්දෙන්නෙක් වෙනවාට අමතරව, මිනිසුන්ගේ හදවතේ තිබූ දේවල් තේරුම්ගැනීමටත් යේසුස්ට හැකියාව තිබුණා. එමෙන්ම අවස්ථාවට අනුව පැවසිය යුතු දේත් ඔහු හොඳින්ම දැන සිටියා. (මතෙව් 9:4; 12:22-30; ලූක් 9:46, 47) මේ උදාහරණයෙන් ඒ බව පැහැදිලියි. යේසුස්ව නැවත නැඟිටුවීමෙන් ටික දිනකට පසු ඔහුගේ ගෝලයන් දෙදෙනෙක් යෙරුසලමේ සිට එම්මාවුස් කියන ප්‍රදේශයට යමින් සිටියා. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ඔවුන් කතා කරමින් හා සාකච්ඡා කරමින් සිටියදී යේසුස්ම ඔවුන්ට ළඟා වී ඔවුන් සමඟ ගමන් කළේය. නමුත් ඔහුව ඇඳින නොගන්නා පරිදි ඔවුන්ගේ නෙත් වසා තිබිණ. ඔහු ඔවුන් අමතා, ‘ඔබ වාද කරමින් යන්නේ කුමන කාරණා ගැනද?’ කියා ඇසීය. ඔවුහු දුක්මුසු මුහුණුවලින් යුතුව නතර වූහ. ක්ලෙයෝපස් නම් තැනැත්තා ඔහුට පිළිතුරු දෙමින්, ‘ඔබ යෙරුසලමේ තනිවම වාසය කරන අමුත්තෙක්ද? මේ දවස්වල යෙරුසලමේ සිදු වී තිබෙන දේවල් ඔබ නොදැන සිටින්නේ ඒ නිසාද?’ යයි ඇසීය. එවිට ඔහු, ‘කුමන දේවල්ද?’ කියා ඔවුන්ගෙන් ඇසීය.” නාසරිය යේසුස් මිනිසුන්ට ඉගැන්වූ බවත් ආශ්චර්යයන් සිදු කළ බවත් පසුව ඔහුව මරණයට පත් කළ බවත් ඔවුන් යේසුස්ට පැවසුවා. ඒ විතරක් නොවෙයි, දැන් ඔහුව මළවුන්ගෙන් නැවත නැඟිටුවා ඇති බවත් සමහරුන් කියනවා කියාද ඔවුන් ඔහු පැවසුවා. ක්ලියෝපස් සහ අනෙක් ගෝලයා පැවසූ සියලු දේවලට යේසුස් ඉතා සාවධානව ඇහුම්කන් දී සිටියා. ඉන්පසු යේසුස් ‘ශුද්ධ ලියවිල්ල හොඳාකාරයෙන් පහදා දෙමින්’ ඔවුන් දැනගත යුතු සියල්ල ඉගැන්නුවා.—ලූක් 24:13-27, 32.

10. දෙවි කෙනෙකු ගැන ගේහිමියා දරන මතය දැනගන්න ඔබට පුළුවන් කොහොමද?

10 ඔබට හමු වන ගේහිමියා, දෙවි කෙනෙකුගේ පැවැත්ම ගැන දරන මතය ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. එය දැනගැනීමට මෙවැනි ප්‍රශ්නයක් ඇසිය හැකියි. ‘ඔබ ගැන පෞද්ගලිකව සැලකිල්ල දක්වන දෙවි කෙනෙක් සිටිනවා කියා ඔබ හිතනවාද?’ ඒ ගැන ඔහු දරන මතය සහ ඔහුගේ ආගමික පසුබිම කුමක්ද කියා ඔහුගේ පිළිතුරෙන් හෙළි වෙයි. එම ප්‍රශ්නයට ඔහු ‘ඔව්’ කියා පිළිතුරු දුන්නොත් ඔබට පුළුවන් මෙසේ අසන්න. “එහෙමනම් මිනිසුන්ට දුක් වේදනා විඳින්න ඉඩ දීලා දෙවි බලා ඉන්නේ ඇයි?” එවැනි ප්‍රශ්නයක් මගින් ඔහුව සිතන්න පොලඹවන අතර සාකච්ඡාව තවත් ඉදිරියට ගෙන යෑමට අවස්ථාවක්ද ලැබෙයි. එමෙන්ම බයිබලයේ ඊට දී ඇති පිළිතුර පෙන්විය හැකි අතර ඔහුගේ විශ්වාසයන් හෙළා නොදකින ආකාරයෙන් එසේ කිරීම සුදුසුයි. සාකච්ඡා කරන තොරතුරුවලට ඔහු කැමැත්තක් දක්වයි නම් ඔබ නැවතත් එනවාට ඔහු කැමති විය හැකියි. නමුත් ඒ අවස්ථාවේදී ඔබට පිළිතුරු දීමට නොහැකි ප්‍රශ්නයක් ඔහු ඇසුවොත් කරන්නේ කුමක්ද? ඒ සම්බන්ධයෙන් ගවේෂණය කර ඊළඟ අවස්ථාවේදී ඊට පිළිතුරු සැපයීමට හැකි අතර “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන් යුක්තව” එසේ කිරීම සුදුසුයි.—1 පේතෘස් 3:15.

සුදුස්සන්ට ඉගැන්නුවා

11. සුදුස්සන්ව සෙවීමට උපකාරවත් වන්නේ කුමක්ද?

11 යේසුස් පරිපූර්ණ මිනිසෙක්. ඒ නිසා “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” ඇති අයව නිවැරදිව හඳුනාගන්න ඔහුට විශේෂ හැකියාවක් තිබුණා. නමුත් එය අපට නම් අභියෝගයක්. (ක්‍රියා 13:48) එමෙන්ම යේසුස්ගේ එදා සිටි ගෝලයන්ටත් එය ලෙහෙසි වුණේ නැහැ. ඒ නිසයි ඔහු ඔවුන්ට මෙසේ පැවසුවේ. “ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුල් වූ කල, එහි සුදුස්සන්ව සොයාගන්න. පිටත්ව යන තුරු එහි නවතින්න.” (මතෙව් 10:11) ඒ උපදෙසට අනුව අපත් සෙවිය යුත්තේ සුදුස්සන් හෙවත් බයිබලයේ ඇති සත්‍යය ඉගෙනගැනීමට අවංක ආශාවක් ඇති පුද්ගලයන්වයි. එවැනි අයව සෙවිය හැක්කේ ඔවුන් පවසන දේට ඉතා සාවධානව ඇහුම්කන් දීමෙන් සහ එක් එක් පුද්ගලයාගේ ආකල්ප මොනවාදැයි හඳුනාගැනීම මගිනුයි.

12. උනන්දුව දක්වන කෙනෙකුට දිගටම උපකාර කළ හැක්කේ කෙසේද?

12 පුද්ගලයෙක් බයිබලයේ සත්‍යය ඉගෙනගැනීමට යම් උනන්දුවක් දැක්වුවහොත් ඔහු සමඟ මුලින්ම සාකච්ඡා කළ යුත්තේ කුමන බයිබල් විෂයද කියා නිතරම කල්පනා කරන්න. මුල්ම සාකච්ඡාවේදී ඔහු ගැන ඔබ අවබෝධ කරගත් කරුණු සටහන් කරගැනීම ඒ සඳහා උපකාරවත් වෙයි. එමෙන්ම නැවතත් ඔබ ඔහුව බැහැදකින්න යන විටදී ඔහුගේ විශ්වාසයන් සහ ආකල්ප වැනි දෑ තේරුම්ගැනීමට නම් ඔහු පවසන දේවලටද හොඳින් ඇහුම්කන් දීම අවශ්‍යයි.

13. ගේහිමියා බයිබලය ගැන දරන මතය ගැන අපට දැනගත හැක්කේ කෙසේද?

13 දෙවිගේ වචනය වන බයිබලය ගැන මිනිසුන් දරන ආකල්පය දැනගන්න අපට පුළුවන් කොහොමද? ඔවුන්ගෙන් මෙසේ අසන්න අපට පුළුවන්. “බයිබලයේ තියෙන තොරතුරු දැනගන්න ඔයා කවදාහරි උත්සාහ කරලා තියෙනවද?” එවැනි ප්‍රශ්නයක් ඇසීම මගින් ඒ පුද්ගලයා බයිබලය ගැන දරන මතය දැනගැනීමට අපට හැකියි. ඒ සඳහා යොදාගත හැකි තවත් ක්‍රමයක් වන්නේ තෝරාගත් බයිබල් පදයක් කියවා, “මෙහි පවසා ඇති දෙයට ඔබ එකඟද?” කියා ඇසීමයි. යේසුස් මෙන් අන් අයගෙන් එවැනි අදහස් විමසන ප්‍රශ්න ඇසීම මගින් අපට බොහෝ ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. මෙහිදී ඔවුන්ගෙන් අනවශ්‍ය ප්‍රශ්න නොඇසීමට අප වගබලා ගත යුතුයි.

දක්ෂ ලෙස ප්‍රශ්න යොදාගත්තා

14. මිනිසුන්ව අපහසුතාවයට ලක් නොකර, ඔවුන්ගේ අදහස් දැනගත හැක්කේ කෙසේද?

14 ගේහිමියෙකු ඔහුගේ අදහස් ප්‍රකාශ කරන විට ඔහුව අපහසුතාවයට පත් නොකර ඔහු පවසන දේ ගැන උනන්දුවෙන් අසා සිටින්න. මෙහිදීත් යේසුස්ව ආදර්ශයට ගැනීම වැදගත්. ඔහු තම අසන්නන් ගැන තැකීමක් නොකර ඔවුන්ව අපහසුතාවයට පත් කරන ආකාරයේ ප්‍රශ්න ඇසුවේ නැහැ. ඒ වෙනුවට යේසුස් ඔවුන්ගෙන් ඇසුවේ ඔවුන්ව සිතන්න පොලඹවන ප්‍රශ්නයි. එමෙන්ම ඔවුන්ගේ අදහස්වලට යේසුස් උනන්දුවෙන් ඇහුම්කන් දුන් නිසා ඔවුන්ට මහත් සහනයක් දැනුණා. (මතෙව් 11:28) සෑම තරාතිරමකට අයත් මිනිසුන් යේසුස් වෙත පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු කියන්න අදිමදි නොකළෙත් ඒ නිසයි. (මාක් 1:40; 5:35, 36; 10:13, 17, 46, 47) එලෙසම බයිබලයෙන් ඉගෙනගන්නා දේවල් ගැන පුද්ගලයන්ට හැඟෙන ආකාරය අපට ප්‍රකාශ කරද්දී ඔවුන්ට පහසු බවක් දැනිය යුතුයි. ඒ සඳහා අප ඔවුන්ව අපහසුතාවයට පත් කරන ආකාරයේ ප්‍රශ්න නොඇසිය යුතු අතර, යේසුස් මෙන් ඔවුන්ව සිතන්න පොලඹවන ප්‍රශ්න ඇසීම යෝග්‍යයි.

15, 16. එකමුතුකම යන කාරණය මුල් කරගෙන සාකච්ඡාවක් ආරම්භ කරන්න පුළුවන් කෙසේද?

15 සාකච්ඡාව තවත් ඉදිරියට ගෙන යන්න පුළුවන් ක්‍රමයක් වන්නේ ගේහිමියා උනන්දුව දක්වන යම් දෙයක් පවසා, ඊට ඔහු දක්වන ප්‍රතිචාරයට සාවධානව ඇහුම්කන් දීමයි. යේසුස්ද වරක් නිකදේමස්ට මෙවැනි දෙයක් පැවසුවා. “යමෙකු නැවත ඉපදෙන්නේ නැතිනම්, ඔහුට දෙවිගේ රාජ්‍යය දැකගත නොහැකියයි සැබවින්ම මම ඔබට කියමි.” (යොහන් 3:3) යේසුස්ගේ එම වචන ගැන මහත් උනන්දුවක් ඇති වූ නිකදේමස්, ඒ ගැන දැනගැනීමට ඔහු තුළ තිබූ ආශාව ප්‍රකාශ කර යේසුස්ට ඇහුම්කන් දෙන්න පටන්ගත්තා. (යොහන් 3:4-20) ශුභාරංචියට මිනිසුන්ගේ අවධානය ලබාගැනීම සඳහා ඒ දෙයම කරන්න අපටත් හැකියි.

16 ඒ හා සමානව අපට හමු වන මිනිසුන්ගෙන් මෙසේ අසා සාකච්ඡාවක් ආරම්භ කරන්න පුළුවන්. “අද ලෝකයේ සිටින මිනිසුන් බොහෝ ආගම්වලට ජාතිවලට බෙදිලා ඉන්න ආකාරය අපට දැකගන්න පුළුවන්. නමුත් මේ හැමෝම එක පවුලක් වගේ ජීවත්වන කාලයක් ආවොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒක හොඳයි කියලා ඔබට හිතන්නේ නැද්ද?” ඔවුන්ගේ උනන්දුවට හේතු වන එවැනි දෙයක් පැවසීම මගින් ඔවුන්ගේ අවධානය ලබාගත හැකි අතර ඒ ගැන ඔවුන් දරන මතය දැනගැනීමටද අපට පුළුවන්. එමෙන්ම අපත් යේසුස් මෙන් අන් අයට පහසුවෙන් පිළිතුරු දිය හැකි ප්‍රශ්න ඇසීම වැදගත්. (මතෙව් 17:25) ගේහිමියාගේ අදහස්වලට හොඳින් ඇහුම්කන් දීමෙන් පසු බයිබල් පදයක් හෝ දෙකක් සමඟින් ඔහුට පිළිතුරු දීමට ඔබට හැකියි. (යෙසායා 11:9; ශෙපනියා 3:9) ගේහිමියාට හොඳින් ඇහුම්කන් දී ඔහුගේ අදහස් සැලකිල්ලට ගන්න. එවිට ඊළඟ වතාවේ යන විට සාකච්ඡා කළ යුත්තේ කුමක්දැයි තීරණය කිරීමට ඔබට හැකි වෙයි.

දරුවන්ටත් සවන් දුන්නා

17. යේසුස් කුඩා දරුවන් කෙරෙහි සැලකිලිමත් වූ බව අප දන්නේ කෙසේද?

17 යේසුස් වැඩිහිටියන් කෙරෙහි පමණක් නොව කුඩා දරුවන් කෙරෙහිද දැක්වූයේ ඉමහත් සැලකිල්ලක්. ඔවුන් කරන ක්‍රීඩා සහ ඔවුන්ගේ කතා බහ ගැන යේසුස්ට හොඳ අවබෝධයක් තිබුණා. එමෙන්ම කුඩා දරුවන්ව තමන් ළඟට ගෙන ඔවුන් සමඟ කතා බහ කරන්නද යේසුස් අමතක කළේ නැහැ. (ලූක් 7:31, 32; 18:15-17) යේසුස්ට ඇහුම්කන් දීමට පැමිණි ජනයා අතර කුඩා ළමුන් බොහෝදෙනෙක්ද සිටියා. කුඩා දරුවන් තමන්ව මෙසියස් හැටියට පිළිගෙන මහත් හඬින් තමන්ට ප්‍රශංසා කළ හැටි දුටු යේසුස්, ඔවුන් ගැන ශුද්ධ ලියවිල්ලේ පවසා තිබූ අනාවැකිය ඉටු වූ ආකාරයත් පූජකයන්ට පෙන්වා දුන්නා. (මතෙව් 14:21; 15:38; 21:15, 16) අද දිනත් කුඩා දරුවන් බොහෝදෙනෙක් යේසුස්ගේ ගෝලයන් බවට පත් වෙමින් සිටිනවා. ඔවුන්ට උපකාර කරන්න අපට පුළුවන් කොහොමද?

18, 19. යේසුස්ගේ ගෝලයෙක් වීමට දරුවන්ට උපකාර කරන්නේ කෙසේද?

18 යේසුස්ගේ ගෝලයන් වීමට ඔවුන්ට උපකාර කිරීමේදී, අප ඔවුන්ට ඇහුම්කන් දීම ඉතාමත් වැදගත්. එමෙන්ම ඔවුන්ගේ හදවතේ තිබෙන්නේ මොනවාද කියා වටහාගැනීමත් අවශ්‍යයි. සමහරවිට යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලට පටහැනි අදහස් ඔවුන්ට තිබෙනවා විය හැකියි. දරුවන් කුමක් පැවසුවත් ඔවුන් ඒ ගැන නොවලහා පැවසීම ගැන මුලින්ම ඔවුන්ට ප්‍රශංසා කරන්න. ඉන්පසුව බයිබලය යොදාගනිමින් ඒ කාරණය ගැන යෙහෝවා දෙවිට හැඟෙන ආකාරය ඔවුන්ට තේරුම්ගන්න සලස්වන්න.

19 දරුවන්ගේ හදවතේ තිබෙන දේ දැනගැනීමට ප්‍රශ්න ඇසීම සුදුසුයි. වැඩිහිටියන් මෙන් දරුවන්ද, තමන්ව අපහසුතාවයට පත් කරන අන්දමේ ප්‍රශ්න අසනවාට කැමති නැහැ. ඔවුන්ට පිළිතුරු දීමට අපහසු ප්‍රශ්න අසනවා වෙනුවට ඔබ ගැන යම් තොරතුරක් හෝ රසවත් සිදුවීමක් ඔවුන් සමඟ බෙදාගැනීම වඩා යෝග්‍යයි. කුඩා කාලයේදී අපට යම් යම් දේවල් ගැන හැඟුණු ආකාරය ගැන පවසා ඊට හේතුව කුමක්ද කියා ඔවුන්ට විස්තර කරන්නත් පුළුවන්. ඉන්පසුව මෙසේ අසන්න පුළුවන්. “ඔයාටත් එහෙම හිතෙනවද?” ඔවුන්ගේ ප්‍රතිචාරයට අනුව බයිබලය යොදාගනිමින් ඉතාමත් කදිම සාකච්ඡාවක් ආරම්භ කිරීමට ඉන් මාර්ගය උදා වෙයි.

උතුම් ගුරුවරයාව දිගටම අනුගමනය කරන්න

20, 21. මිනිසුන්ව ගෝලයන් කිරීමේදී අප හොඳින් සවන් දිය යුත්තේ ඇයි?

20 යේසුස්ගේ ගෝලයෙක් වීමට අපි උපකාර කරන්නේ වැඩිහිටියෙකුට වේවා දරුවෙකුට වේවා, ඔවුන්ට හොඳින් සවන් දීම ඉතා වැදගත් බව මතක තබාගනිමු. එය ඇත්තෙන්ම ප්‍රේමණීය දෙයක්. එසේ කිරීමෙන් අප යටහත් පහත් අය බවත් අනිත් පුද්ගලයා කෙරෙහි ගෞරවයක් දක්වන බවත් ප්‍රකාශ වෙනවා.

21 දේවසේවයේ යෙදෙන විට මිනිසුන්ට සාවධානව සවන් දීමට අපි මතක තබාගනිමු. එසේ කිරීම මගින් ඔවුන් වැඩි උනන්දුවක් දක්වන්නේ බයිබලයේ ඇති කුමන තොරතුරුවලටද කියා අවබෝධ කරගැනීමට අපට අවස්ථාවක් ලැබෙනවා. ඉන්පසුව යේසුස් කළා හා සමාන ඉගැන්වීමේ විවිධ ක්‍රම භාවිත කරමු. අප අපේ උතුම් ගුරුවරයාව ආදර්ශයට ගන්නවා නම් මිනිසුන්ව ගෝලයන් කිරීමේ ප්‍රීතිය සහ තෘප්තිය අද්දකින්න අපටත් හැකි වෙනවා නියතයි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• අදහස් පළ කිරීම සඳහා යේසුස් තම අසන්නන්ව දිරිගැන්නුවේ කෙසේද?

• යේසුස් තමන් ඉගැන්වූ අයට සවන් දුන්නේ ඇයි?

• දේවසේවයේදී ප්‍රශ්න භාවිත කළ හැක්කේ කෙසේද?

• ගෝලයෙකු වීම සඳහා දරුවන්ට උපකාර කරන්න අපට පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[28වන පිටුවේ පින්තූරය]

දේවසේවයේදී මිනිසුන්ට හොඳින් සවන් දෙන්න

[30වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ ගෝලයෙකු වීමට දරුවන්ට උපකාර කරන විට අප ආදර්ශයට ගන්නේ යේසුස්වයි