Skip to content

පටුනට යන්න

කුරිරු ලොවක අනුකම්පාව පෙන්වීම

කුරිරු ලොවක අනුකම්පාව පෙන්වීම

කුරිරු ලොවක අනුකම්පාව පෙන්වීම

බුරුන්ඩි රටේ සිටින මැලේරියාව වැලඳුණු මේ මිනිසාගේ තත්වය ඉතාම භයානකයි. වහාම රෝහලකට ගෙන ගියේ නැත්නම් ඔහුගේ ජීවිතය අනතුරේ. ඒත් වාහනයක් නැතිව කොහොමද ගෙනියන්නේ? කිට්ටු මිතුරන් දෙදෙනෙක් ඔහුගේ උපකාරයට පැමිණෙන්නේ මේ අවස්ථාවේදීයි. රෝගියාව පාපැදියක් මත තබාගෙන ඔවුන් පැය පහක් පුරා කඳු පල්ලම් සහිත ප්‍රදේශයක් හරහා ඉතා දුෂ්කර ගමනක යෙදෙනවා. පසුව බස් රථයකින් ඔහුව ළඟම ඇති රෝහලට රැගෙන යනවා. ඉන් දවස් කිහිපයකට පසුව රෝගියාගේ තත්වය හොඳ අතට හැරුණා.

වර්ෂ 2005 අගෝස්තු මාසයේදී ඇමරිකාවට බලපෑ කැට්‍රීනා චණ්ඩ මාරුතය නිසා දේපළවලට සහ ජීවිතවලට බොහෝ අලාභහානි සිදු වුණා. ඒ ප්‍රදේශයේ මිනිසුන්ට උපකාර කිරීමට බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා. විශාල ගස් ඇද වැටීම නිසා බරපතළ ලෙස කැඩී බිඳී ගිය නිවසක්, පැමිණ සිටි එක් කණ්ඩායමකගේ නෙත ගැටුණා. ඒ නිවසේ අයිතිකාරියව මෙම කණ්ඩායමේ කිසිවෙක් අඳුනන්නේ නැති වුණත්, ඔවුන් මුළු දවසම වෙහෙසී, වැටී තිබූ ගස් කපා ඉවත් කළා. ඒ ගැන නිවසේ අයිතිකාරිය පැවසුවේ “මේ අයට කොහොම ස්තුති කරන්නද කියලා මට හිතාගන්නවත් බැහැ කියායි.”

මිනිසුන් එයාකාරයෙන් එකිනෙකා වෙනුවෙන් යහපත් දේවල් බොහෝමයක් කරනවා. නමුත් ජනමාධ්‍යය මගින් බොහෝවිට කැපී පෙනෙන්න සලස්වන්නේ මිනිස් ඝාතන වැනි අනුකම්පා විරහිත ක්‍රියා ගැනයි. එයින් සිදු වන්නේ මිනිසුන් කරන යහපත් ක්‍රියා යටපත් වීමයි. දුෂ්ටකම් කොතරම් වැඩි වුණත් මිනිසුන්ට ආදරය, කරුණාව සහ අනුකම්පාව තවදුරටත් අවශ්‍ය නැති බවක් ඉන් අඟවන්නේ නැහැ. ඒ නිසයි ‘සමාදානය වේවා’ කියා බොහෝදෙනා ප්‍රාර්ථනා කරන්නේ. (ලූක් 2:14) විශේෂයෙන්ම නත්තල් සමයේදී එවැනි සිතුවිලි බොහෝදෙනා අතර ඉස්මතු වෙනවා.

කිසිම සුහදතාවක්, ගරුසරුවක් සහ සැලකිල්ලක් නැති මෙවන් සමාජයක අන් අයට අනුකම්පාව පෙන්වීම එතරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. අද දින බොහෝදෙනාගේ මතය වන්නේ තමා ගැන පමණක් සිතීම සාර්ථකත්වයට මඟ බවයි. තවදුරටත් ඥානවන්තම දේ වන්නේ මිනිසුන්ට අනුකම්පාව නොපෙන්වා සිටීම බව ඔවුන්ගේ අදහසයි. ඒ හේතුවෙන් මිනිසුන් ආත්මාර්ථකාමී, අනුකම්පා විරහිත පුද්ගලයෙක් බවට පත් වී තිබෙනවා.

එමෙන්ම අනින් කෙනාට කුමක් වුණත් මොකද මට හරියනවා නම් කියන ආකල්පය අද වර්ධනය වී තිබෙනවා. තමා “නියම පිරිමියෙක්” කියා ඇඟවීමට ජනප්‍රිය ක්‍රීඩකයන් සහ සමාජයේ වීරයන් හැටියට සලකන අය බොහෝවිට උත්සාහ කරනවා. නමුත් ඔවුන් තුළ කිසිම මෘදු ගතියක් හෝ දයානුකම්පාවක් දකින්න නැහැ. සමහර දේශපාලනඥයන්ද ඊට වැඩි වෙනසක් නැහැ.

එමනිසා මෙවැනි ප්‍රශ්න සලකා බැලීම වටිනවා. අප අන් අයට අනුකම්පාව පෙන්විය යුත්තේ ඇයි? අනුකම්පාව පෙන්වීමෙන් යහපතක් සිදු වෙයිද? අනුකම්පාව පෙන්වීමට අපව පොලඹවන්නේ කුමක්ද? මේවාට පිළිතුරු ලබාගැනීම සඳහා ඊළඟ ලිපිය කියවන්න කියා අපි ඔබට ආරාධනා කරමු.

[3වන පිටුවේ කොටුව]

•අනුකම්පාව කියන්නේ දුර්වල ගුණාංගයක්ද?

•අනුකම්පාව පෙන්වීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

•අන් අයට අනුකම්පාව පෙන්විය හැකි ක්‍රම මොනවාද?