Skip to content

පටුනට යන්න

දස දෙසින් එකම දෙයක් ඉල්ලයි

දස දෙසින් එකම දෙයක් ඉල්ලයි

දස දෙසින් එකම දෙයක් ඉල්ලයි

ලොව පුරා සිටින මිලියන ගණන්දෙනා එකම දෙයක් ඉල්ලනවා. ඔවුන් එම ඉල්ලීම කරන්නේ විශ්වයේ සිටින බලවත්ම තැනැත්තාගෙනුයි. කොහොමවුණත් තමන් ඉල්ලන දේ ගැන වැටහීමක් තිබෙන්නේ ඒ අය අතරින් ස්වල්පදෙනෙකුට පමණයි. නමුත් ඒ හැමෝම දවස්පතා එය ඉල්ලා සිටිනවා. මේ සියලුදෙනාම ඉල්ලන්නේ කුමක්ද? ඔවුන් ඉල්ලන්නේ දේවරාජ්‍යය පැමිණේවා කියායි.

එක් සමීක්ෂණයකට අනුව යේසුස්ව තම නායකයා හැටියට පිළිගන්න ක්‍රිස්තියානීන්යයි කියාගන්නා ආගම් 37,000ක් පමණ ඇතැයි ගණන් බලා තිබෙනවා. ඒ ආගම්වල සාමාජිකයන් බිලියන දෙකකට වඩා සිටිනවා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් නිතරම පරමණ්ඩලයේ යාච්ඤාව හෙවත් ස්වාමීන්ගේ යාච්ඤාව කියනවා. ඔබත් එම යාච්ඤාව දන්නවාද? යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්වූ එම යාච්ඤාව ආරම්භ වන්නේ මෙසේයි. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ [නාමයට ගෞරව] වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.”—මතෙව් 6:9, 10.

සියවස් ගණනාවක් පුරා ක්‍රිස්තියානි බැතිමතුන් පල්ලිවලදී ලොකු භක්තියකින් මෙම යාච්ඤාව කර තිබෙනවා. ප්‍රීතිමත් අවස්ථාවලදී මෙන්ම දුක්මුසු අවස්ථාවලදී පවුලක් හැටියට හෝ පෞද්ගලිකව ඔවුන් එය කටපාඩමින් කියනවා. බොහෝදෙනා ලොකු හැඟීමකින් මෙම යාච්ඤාව කළත් එහි නියම අර්ථය ගැන පැහැදිලි අවබෝධයක් ඔවුන්ට නැහැ. නමුත් දේවරාජ්‍යය පැමිණෙයි කියා බලාපොරොත්තුවෙන් ඒ ගැන යාච්ඤා කර තිබෙන්නේ පල්ලි යන ක්‍රිස්තියානීන් පමණක් නොවෙයි.

ක්‍රිස්තියානීන්ට පමණක් සීමා නොවූ ඉල්ලීමක්

යුදෙව් ආගමේ කාඩිෂ් කියා හඳුන්වන ප්‍රසිද්ධ යාච්ඤාවක් තිබෙනවා. තම කිට්ටු ඥාතියෙකුගේ මරණයේදී යුදෙව්වන් මේ යාච්ඤාව සාමාන්‍යයෙන් කිව්වත් එහි මරණය ගැන ඍජුවම සඳහන් වෙන්නේ නැහැ. මෙම යාච්ඤාවෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ‘අපේ ජීවිත කාලයේදීම ඉක්මනින්ම දෙවි තම රාජ්‍යය පිහිටුවනු ලබත්වා’ කියායි. * යුදෙව්වන්ගේ තවත් පැරණි යාච්ඤාවක දාවිත්ගේ පෙළපතෙන් පැමිණෙන ගැලවුම්කරුගේ රාජ්‍යය ගැන සඳහන් වෙනවා.

ක්‍රිස්තියානි ආගම්වලට අයත් නැති අය පවා දේවරාජ්‍යය ගැන ලොකු උනන්දුවක් දක්වනවා. දහනවවන සියවසේ සිටි ප්‍රසිද්ධ ඉන්දියානු ආගමික නායකයෙක් හින්දු, මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගම්වල පොදුවේ දක්නට තිබෙන දේවල් ගැන උනන්දුවක් දැක්වුවා. ඔහු පැවසූ දෙයක් ඉන්දියානු පුවත්පතක මෙසේ සඳහන් වුණා. “හැම ආගමකටම අයිති අය එකමුතු වුණේ නැත්නම් කෙදිනකවත් දේවරාජ්‍යය පිහිටුවන්න ලැබෙන්නේ නැහැ.” (The Times of India) එමෙන්ම ඕස්ට්‍රේලියාවේ මුස්ලිම් විද්‍යාලයක විදුහල්පතිණියක් පැවසූ දෙයක් මෑතකදී පුවත්පතක පළ වුණේ මෙසේයි. “හැම මුස්ලිම් කෙනෙක් වගේම මමත් විශ්වාස කරනවා යේසුස් නැවත පොළොවට පැමිණ දේවරාජ්‍යය පිහිටුවයි කියලා.”

දේවරාජ්‍යය පැමිණෙයි කියා බලාපොරොත්තුවෙන් ඒ ගැන යාච්ඤා කරන බිලියන ගණනක් සිටින බව නම් නිසැකයි. නමුත් අප උනන්දු විය යුතු කාරණයක් සලකා බලන්න.

මේ සඟරාව ඔබ අතට පත් කරපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගෙයින් ගෙට ගොස් ඔබේ ප්‍රදේශයේ සිටින සෙනඟ සමඟ බයිබල් සාකච්ඡා අරඹන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මෙම සඟරාවේ පෙන්වා ඇති ආකාරයට අපි ලොව පුරා භාෂා 400කට වඩා වැඩි ගණනකින් රටවල් 236ක මෙම සාකච්ඡාවන් පවත්වනවා. දේශනා සේවයේදී අපි මූලිකවම කතා කරන්නේ දේවරාජ්‍යය ගැනයි. ඒ විතරක් නෙවෙයි මේ සඟරාවේ මුල් පිටුවේ සඳහන් වෙන්නෙත් මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි කියායි. අපි ගෙයින් ගෙට සේවයේ යද්දී බොහෝවිට මිනිසුන්ගෙන් අසනවා ඔවුන් දේවරාජ්‍යය ගැන යාච්ඤා කරනවාද කියා. හුඟදෙනෙක් ඔව් කියා පැවසුවත් දේවරාජ්‍යය කියන්නේ කුමක්ද කියලා ඇහුවාම සමහරු පවසන්නේ “මම දන්නේ නැහැ” කියලයි. තවත් අයට ඒ ගැන පැහැදිලි අවබෝධයක් නැහැ.

බොහෝදෙනා තමන්ට පැහැදිලි කිරීමටවත් බැරි දෙයක් ඉල්ලා යාච්ඤා කරන්නේ ඇයි? දේවරාජ්‍යය ගැන ඔවුන්ට පැහැදිලි කළ නොහැක්කේ එය තේරුම්ගන්න බැරි සංකීර්ණ දෙයක් නිසාද? කොහෙත්ම නැහැ. මෙම රාජ්‍යය ගැන බයිබලයේ සරල මෙන්ම සම්පූර්ණ විස්තරයක් දී තිබෙනවා. දේවරාජ්‍යය පිළිබඳ බයිබලයේ සඳහන් දෙයින් මෙම දුෂ්කර කාලයේදී පවා ඔබට සැබෑ බලාපොරොත්තුවක් ඇතුව සිටින්න පුළුවන්. එම බලාපොරොත්තුව ගැන බයිබලයේ පැහැදිලි කරන දේ අපි මීළඟ ලිපියෙන් සලකා බලනවා. එවිට යේසුස් ඉගැන්වූ ලෙස දේවරාජ්‍යය ගැන කරන යාච්ඤාවට පිළිතුරු ලැබෙන ආකාරය අපිට දැකගත හැකි වෙයි.

[පාදසටහන]

^ 6 ඡේ. ස්වාමීන්ගේ යාච්ඤාවේ ඇතුළත් දෙවිගේ නාමයට ගෞරව වේවා යන අදහස කාඩිෂ් නම් යාච්ඤාව තුළත් දක්නට තිබෙනවා. එම යාච්ඤාව යේසුස්ගේ කාලෙට කලින් තිබූ එකක්ද නැත්නම් ඔහුගේ කාලෙම තිබුණු එකක්ද යන්න ගැන යම් වාද විවාදයන් පවතිනවා. ඒ වුණත් ස්වාමීන්ගේ යාච්ඤාවේ තිබූ සමහර කරුණු එම යාච්ඤාවෙත් තිබීම ගැන අප පුදුම විය යුතු නැහැ. ඊට හේතුව යේසුස් ඉගැන්වූ යාච්ඤාවට ඇතුළත්ව තිබූ හැම කරුණක්ම යුදෙව්වන් කියෙවූ ලියවිලි මත පදනම්ව තිබීමයි. මේ අනුව යේසුස් යාච්ඤා කරන්න කියා උනන්දු කළේ යුදෙව්වන් කලින් සිටම යාච්ඤා කළ යුතුව තිබූ දෙයක් ගැනයි.