Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බැලීමට පැමිණියේ කවදාද?

යේසුස්ව බැලීමට තෑගි බෝග රැගෙන “ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ නැඟෙනහිර දෙසින්” පැමිණි බව මතෙව් පොතේ සඳහන් වෙනවා. (මතෙව් 2:1-12) කොහොමවුණත් ‘ශාස්ත්‍රඥයන්’ කීදෙනෙක් පැමිණියාද කියා බයිබලයේ සඳහන් වී නැති නිසා ඔවුන් තිදෙනෙක් පැමිණි බවට තිබෙන පොදු මතයට කිසිම පදනමක් නැහැ. අඩුම තරමේ ඒ අයගේ නම්වත් බයිබලයේ සඳහන් වී නැහැ.

එක් පොතක බයිබලයේ මතෙව් 2:11හි ඇති අදහස ගැන සඳහන් වුණේ මෙසේයි. “බොහෝදෙනා සිතන්නාක් මෙන් යේසුස් ඉපදුණු රාත්‍රියේම ශාස්ත්‍රඥයන් ඔහුව බැලීමට පැමිණියේ නැහැ. එදින පැමිණියේ එඬේරුන් පමණයි. ශාස්ත්‍රඥයන් පැමිණෙද්දී යේසුස් ඉපදී මාස කිහිපයක්ම ගත වී තිබුණා. ඒ වන විට ‘දරුවෙකුව’ සිටි යේසුස්ව ඔවුන්ට දැකගැනීමට හැකි වුණේ ඔහුගේ ‘නිවසේදීයි.’” (New International Version Study Bible) යේසුස් ඉපදුණ දවසේම ශාස්ත්‍රඥයන් පැමිණියේ නැති බව තහවුරු වන්නේ බෙත්ලෙහෙමේ සහ ඒ අවට සියලු ප්‍රදේශවල සිටි අවුරුදු දෙකක් හෝ ඊට බාල සියලුම පිරිමි දරුවන්ව මරන්න කියා තම සේවකයන්ට හෙරෝද් රජ දුන් අණ මගිනුයි. ‘තාරකාව පෙනුණේ කොයි කාලයේද කියා ශාස්ත්‍රඥයන්ගෙන්’ ලබාගෙන තිබුණු තොරතුරු අනුවයි එම වයස් මට්ටමේ දරුවන් අතරේ යේසුස් සිටියි කියා හෙරෝද් තීරණය කළේ.—මතෙව් 2:16.

ශාස්ත්‍රඥයන් යේසුස් ඉපදුණු රාත්‍රියේම රන් වැනි අනර්ඝ තෑගි බෝග රැගෙන පැමිණියා නම් ඉන් දින 40කට පසුව ඔහුගේ මව වූ මරියා කුරුල්ලන් දෙදෙනෙක් පමණක් දේවමාලිගාවේදී ඔප්පු කරයි කියා සිතන්න බැහැ. (ලූක් 2:22-24) මන්ද එම සැලසුම දියත් කර තිබුණේ බැටළුවෙකුව පූජා කිරීමට තරම් වත්කමක් නැති දිලිඳුන් සඳහා පමණයි. (ලෙවී කතාව 12:6-8) යේසුස්ගේ පවුලේ අය ඊජිප්තු දේශයේ පදිංචියට ගිය කාලයේ තම අවශ්‍යතාවන් සපුරාගැනීමට මේ ත්‍යාගයන් ප්‍රයෝජනවත් වෙන්න ඇති.—මතෙව් 2:13-15.

ලාසරුස්ගේ සොහොන් ගෙය වෙත පැමිණෙන්න යේසුස්ට දින හතරක් ගත වුණේ ඇයි?

පෙනෙන විදිහට යේසුස් එය කළේ උවමනාවෙන්මයි. එසේ පැවසිය හැක්කේ කොහොමද? ඒ ගැන දැනගැනීම සඳහා අපි යොහන් 11වෙනි පරිච්ඡේදයේ සඳහන් දේට අවධානය යොමු කරමු.

යේසුස්ගේ මිත්‍රයෙක් වූ ලාසරුස් දරුණු ලෙස අසනීප වූ විට ඔහුගේ සහෝදරියන් පණිවුඩකරුවෙකුව යවා ඒ බව යේසුස්ට දැනුම් දුන්නා. (යොහන් 11:1-3) යේසුස් සිටි ස්ථානයේ සිට බෙතානියට පැමිණීමට අඩුම තරමේ දවස් දෙකක්වත් ගත වෙනවා. (යොහන් 10:40) සමහරවිට යේසුස්ට එම පණිවුඩය ලැබෙන විටත් ලාසරුස් මිය ගොස් සිටින්න ඇති. මේ අවස්ථාවේදී යේසුස් කළේ කුමක්ද? ඔහු ‘තමන් සිටි ස්ථානයේ දවස් දෙකක්ම නැවතී සිට’ පසුව බෙතානිය බලා පිටත් වුණා. (යොහන් 11:6, 7) යේසුස් දින දෙකක් නැවතී සිටි නිසාත් බෙතානියට ගමන් කිරීමට දවස් දෙකක් ගත වූ නිසාත් ලාසරුස්ගේ සොහොන් ගෙය වෙත පැමිණෙන විට දින හතරක් ගත වී තිබුණා.—යොහන් 11:17.

මීට කලින් අවස්ථා දෙකකදී යේසුස් මිය ගිය අයව නැවත නැඟිටුවා තිබුණා. මින් එක් අවස්ථාවකදී පුද්ගලයෙක් මිය ගිය දිනය ඇතුළත ඔහුව නැවත නැඟිටෙවූ අතර අනිත් අවස්ථාවේදී මිය ගිය දැරියකව ඒ මොහොතේම නැවත නැඟිටෙව්වා. (ලූක් 7:11-17; 8:49-55) නමුත් මිය ගිහින් දින හතරක් ගත වී කුණු වෙමින් තිබූ මළ සිරුරක් නැවත ජීවත් කරවන්න යේසුස්ට පුළුවන් වෙයිද? (යොහන් 11:39) බයිබලය ගැන විස්තර සපයන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “පුරාණයේ සිටි යුදෙව්වන් අතර පැවති විශ්වාසයකට අනුව මිනිසෙක් මිය යෑමෙන් පසු දින තුනක් පුරා ඒ දේහය අවට ආත්මය සැරිසරන අතර මිනිය කුණුවීමට පටන්ගන්නා විට එම ආත්මය දේහය අතහැර යනවා. එම නිසා මිය ගොස් දින හතරක් ගත වූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් කිසිම බලාපොරොත්තුවක් ඔවුන්ට තිබුණේ නැහැ.”

ලාසරුස්ගේ සොහොන් ගෙය අසල රැස්ව සිටි අයට මිය ගිය අයව නැවත නැඟිටුවන්න යේසුස්ට තිබූ බලය සම්බන්ධයෙන් යම් සැකයක් තිබුණා නම් යේසුස් කළ දෙයින් ඔවුන් අනිවාර්යයෙන්ම පුදුමයට පත් වෙන්න ඇති. විවෘත කර තිබූ සොහොන් ගෙය අසල සිටගෙන යේසුස් මෙසේ පැවසුවා “ලාසරුස්, පිටතට එන්න!” එවිට ‘මිය ගොස් සිටි මිනිසා පිටතට ආවා.’ (යොහන් 11:43, 44) මින් පැහැදිලි වෙන්නේ මිය ගිය පසු ශරීරයෙන් පිටව යන ආත්මයක් තිබෙන බවට ඇති විශ්වාසය බොරුවක් බවයි. නමුත් මළවුන්ට තිබෙන්නේ නැවත නැඟිටීම සම්බන්ධයෙන් ඇති සැබෑ බලාපොරොත්තුවයි.—එසකියෙල් 18:4; යොහන් 11:25.