Skip to content

පටුනට යන්න

ඔහු සැබෑ දෙවිට පක්ෂව සිටියා

ඔහු සැබෑ දෙවිට පක්ෂව සිටියා

ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරමු

ඔහු සැබෑ දෙවිට පක්ෂව සිටියා

එලියා බලා සිටියේ කර්මෙල් කන්දට නැඟ එන සෙනඟ දෙසයි. අරුණාලෝකය වැටීගෙන එන හිමිදිරියේ වුවත් මෙම සෙනඟ මොන තරම් දුගී පීඩිත සෙනඟක්ද කියා දකින්න පුළුවන් වුණා. ඔවුන් මේ තත්වයට පත් වුණේ වසර තුනහමාරක් පුරා පැවති නියඟය නිසයි.

ඔවුන් අතරේ ආඩම්බර ලීලාවෙන් ගමන් කළ කණ්ඩායමකුත් සිටියා. ඒ බාල් දෙවියාගේ අනාගතවක්තෲන් 450දෙනායි. ඔවුන් සිටියේ යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘ වූ එලියා කෙරෙහි මහත් වෛරයකින්. යෙසබෙල් රැජින යෙහෝවා දෙවිගේ සේවකයන් බොහෝදෙනෙකුව මරා දැමුවත් එලියා බාල් නමස්කාරයට විරුද්ධව නැඟී සිටියා. එලියාට කොපමණ කලක් ස්ථිරව සිටින්න පුළුවන් වෙයිද? ඔහු තනි වී සිටි නිසා එම පූජකවරු සිතුවේ ඔහු දිගටම ස්ථිරව සිටින එකක් නැහැ කියායි. (1 රාජාවලිය 18:3, 19, 20) එලියාට වෛර කළ ආහබ් රජත් තම රාජකීය රථයේ නැඟී පැමිණියා.

උදා වූ එම දිනයේදී සිදු වුණේ කුමක්ද? මේ තනි අනාගතවක්තෘවරයා කලින් කවදාවත් දැක නොතිබුණු දෙයකට මුහුණ දුන්නා. එලියා බලාගෙන සිටි අතරතුරේ සැබෑව සහ බොරුව අතර වෙනස තේරුම්ගැනීමට සලස්වන සටනක් ඇරඹීමට පසුබිම සකස් වුණා. ඒ අවස්ථාවේදී එලියාට කෙසේ හැඟෙන්න ඇද්ද? ඔහුත් “අප සමාන හැඟීම් ඇති මිනිසෙකු” වුවත් භයෙන් වෙළී ගියේ නැහැ. (යාකොබ් 5:17) හැබැයි නොඇදහිලිවන්ත සෙනඟකට, ඔවුන්ගේ කැරලිගසන රජට සහ එම කෲර පූජකයන්ට මැදි වී සිටියදී එලියාට විශාල තනිකමක් දැනෙන්න ඇති.—1 රාජාවලිය 18:22.

මෙවැනි දුෂ්කර තත්වයකට ඊශ්‍රායෙල්වරුන් මුහුණ දුන්නේ ඇයි කියාත්, එම වාර්තාව කියවීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද කියාත් ඔබ කල්පනා කරන්න ඉඩ තිබෙනවා. බයිබලයේ පවසන්නේ දෙවිට ඉමහත් කැපවීමකින් සේවය කළ අය දෙස හොඳින් බලා “ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරන්න” කියායි. (හෙබ්‍රෙව් 13:7) එනිසා අපි දැන් එලියාගේ ආදර්ශය සලකා බලමු.

සටන උත්සන්න වෙයි

තමාගේ දේශය හා සෙනඟ සතු වූ වටිනාම දේ වන දෙවිගේ නමස්කාරය ක්‍රම ක්‍රමයෙන් නැනි වී යන ආකාරය බොහෝ කාලයක් තිස්සේ එලියා අසරණව බලා සිටියා. ඊශ්‍රායෙල් ජාතිය යෙහෝවා දෙවිගේ නමස්කාරය හා අවට ජාතීන්ගේ පිළිම නමස්කාරය අතර සටනකට මැදි වී සිටියා. මේ සටන විශේෂාකාරයකින් උත්සන්න වුණේ එලියාගේ කාලයේදියි.

ආහබ් රජ, සීදොන් රජුගේ දියණිය වන යෙසබෙල්ව විවාහ කරගත්තා. ඊශ්‍රායෙල් දේශය පුරා බාල් නමස්කාරය ප්‍රචලිත කර යෙහෝවා දෙවිගේ නමස්කාරය සම්පූර්ණයෙන්ම නැති කර දැමීමයි ඇයගේ අධිෂ්ඨානය වුණේ. ආහබ්ද ඇගේ පදයට නටමින් බාල් වෙනුවෙන් දේවාලයක් සහ පූජාසනයක් ගොඩ නඟා මිථ්‍යා දෙවිවරුන්ට කළ නමස්කාරයේ පෙරමුණ ගත්තා. මෙවැනි දේ කිරීමෙන් ඔහු යෙහෝවා දෙවිව කුපිත කළා.—1 රාජාවලිය 16:30-33. *

බාල් නමස්කාරය පිළිකුල්සහගත දෙයක් වීමට හේතුව කුමක් වීද? ඉන් ඊශ්‍රායෙලය දූෂණය වූ අතර සැබෑ දෙවිගේ සෙනඟගෙන් බොහෝදෙනෙකුව ඒ වෙත ඇදගනු ලැබුවා. එමෙන්ම එය කෲර ආගමක්ද වුණා. ඔවුන්ගේ දේවාලවල අනාචාරයේ යෙදෙන ස්ත්‍රීන් හා පුරුෂයන් සිටියා. එය දුරාචාරය හා අත්වැල් බැඳගත් නමස්කාරයක් වූ අතර ඊට ළමුන්ව පූජා කිරීමද අයත් වුණා. මේ දේවල් නිසා යෙහෝවා දෙවි එලියා මාර්ගයෙන් ආහබ්ට පණිවුඩයක් එවමින් නියඟයක් එන බවත්, දෙවිගේ අනාගතවක්තෘ ලවා එය නිම වූ බව පවසන තුරු එය දිගටම පවතින බවත් දැන්නුවා. (1 රාජාවලිය 17:1) එලියා ආහබ්ට එම පණිවුඩය දී වසර කීපයක් ගත වූ පසු ඔහු යළිත් ආහබ් වෙත පැමිණියා. බාල්ගේ අනාගතවක්තෲන් ඇතුළු සෙනඟව කර්මෙල් කන්දට එක්රැස් කරන්න කියා එලියා ඔහුට පැවසුවා.

අපිට එයින් ගත හැකි පාඩමක් තිබෙනවාද? අද දින බාල්ට නමස්කාර කරන ස්ථානවත් පූජාසනවත් දක්නට නැති නිසා බාල් නමස්කාරය පිළිබඳ කතන්දරය අපිට වැදගත් නැහැ කියා සමහරුන්ට හිතෙන්න පුළුවන්. නමුත් මේ වාර්තාව ඉතිහාසයට පමණක් සීමා වූ එකක් නෙවෙයි. (රෝම 15:4) “බාල්” යන වචනයේ අර්ථය “අයිතිකරු” හෝ “ස්වාමියා” යන්නයි. යෙහෝවා දෙවි තම සෙනඟට පැවසුවේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයා ලෙස, එනම් ඔවුන්ගේ “අයිතිකරු” [බාල්] ලෙස තමාව තෝරාගත යුතු බවයි. (යෙසායා 54:5) අද දිනත් මිනිසුන් සර්ව බලධාරී දෙවි හැර වෙනත් ස්වාමිවරුන් බොහෝදෙනෙකුට සේවය කරන බව ඔබ දැක තිබෙනවා නේද? මිනිසුන් මුදල්, වෘත්තිය, විනෝදය, ලිංගික ආශාවන් පිනවාගැනීම වැනි දේ පසුපස හඹා යෑමෙන් පෙනී යන්නේ ඔවුන් ඒවා තම ස්වාමියා කරගෙන තිබෙන බවයි. (මතෙව් 6:24; රෝම 6:16) මේ අනුව අද දිනත් බාල් නමස්කාරයේ ප්‍රධාන අංග ලක්ෂණ බහුලව දක්නට තිබෙනවා කියා කිව හැකියි. එලියාගේ දවස්වල සැබෑ දෙවි බාල් දෙවියාද නැත්නම් යෙහෝවා දෙවිද කියා පැහැදිලිව ඔප්පු වුණා. ඒ වාර්තාව සලකා බැලීමෙන් අපි නමස්කාර කළ යුත්තේ ඒ දෙදෙනාගෙන් කාටද කියා ඥානවන්තව තීරණය කරන්න පුළුවන් වෙනවා.

‘ස්ථිර තීරණයක් නොගෙන දෙගිඩියාවෙන් සිටීම’

සුළං වේගයෙන් හමා යන කර්මෙල් කඳු මුදුනේ සිට මධ්‍යධරණී මුහුද සහ කීෂොන් මිටියාවතත්, ඈත උතුරුකරයේ පිහිටි ලෙබනොන් කඳුකරයත් දැකගන්න පුළුවන්. * එය ඉතා දැකුම්කලු දසුනක්. නමුත් විශේෂ දෙයක් සිදුවීමට නියමිතව තිබූ එම දිනයේ හිරු පෑයූ විට දකින්න තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඊශ්‍රායෙල් සෙනඟට යෙහෝවා දෙවි දුන් මේ සරුසාර දේශය වියළි කලාපයක් බවට පත් වී තිබුණා. එම තත්වය උදා වුණේ දෙවිගේම සෙනඟ අඥාන ලෙස ක්‍රියා කළ නිසයි. ජනයා එක්රැස් වූ විට එලියා ඔවුන්ට මෙවැනි දෙයක් පැවසුවා. “ඔබ ස්ථිර තීරණයක් නොගෙන තව කොපමණ කාලයක් දෙගිඩියාවෙන් ඉන්නද යන්නේ? යෙහෝවා සැබෑ දෙවි බව ඔබට විශ්වාස නම්, ඔහුට පමණක් සේවය කරන්න. නමුත් බාල් සැබෑ දෙවි කියා ඔබ සිතනවා නම්, ඔබ ඔහුට සේවය කරන්න.”—1 රාජාවලිය 18:21, නව ලොව පරිවර්තනය, NW.

එලියා පැවසූ ආකාරයට සෙනඟ “දෙගිඩියාවෙන්” සිටියේ කුමක් සම්බන්ධයෙන්ද? තමන් නමස්කාර කළ යුත්තේ යෙහෝවා දෙවිටද නැත්නම් බාල්ටද කියා තීරණය කළ යුතු බව එම සෙනඟ වටහාගෙන සිටියේ නැහැ. ඔවුන් සිතුවේ බාල්ව සතුටු කරමින් අතිශයින් පිළිකුල්සහගත ආගමික වතාවත් කරන ගමන්ම යෙහෝවා දෙවිගේ උපකාරයත් ලැබිය හැකියි කියායි. එසේ කිරීමෙන් තම වගාවන්ට සහ සත්වයින්ට බාල්ගේ ආශීර්වාද ලබාගන්නා ගමන්ම යුද්ධවලදී “සේනාවල අධිපතියාණන්” වන යෙහෝවා දෙවිගෙන් ආරක්ෂාව ලබන්න පුළුවන් කියා ඔවුන් සිතන්න ඇති. (1 සාමුවෙල් 17:45NW) නමුත් යෙහෝවා දෙවි තමාට හැර වෙන දෙවිවරුන්ට නමස්කාර කිරීම අනුමත කරන්නේ නැති බව ඔවුන්ට අමතක වී තිබුණා. එදා සිටි අය හා සමානව අද සිටින ජනයා ක්‍රියා කරන්නෙත් එලෙසමයි. යෙහෝවා දෙවි තනි භක්තිය ඉල්ලා සිටින බැවින් අන් දෙවිවරුන්ට නමස්කාර කිරීම ඔහු දැඩි ලෙස හෙළා දකිනවා.—නික්මයාම 20:5.

ඒ අනුව බලද්දී එදා ඊශ්‍රායෙල් සෙනඟත් හිටියේ “දෙගිඩියාවෙන්” කියා පැවසිය හැකියි. ඔවුන් උත්සාහ කරමින් සිටියේ එකම අවස්ථාවේදී මාර්ග දෙකක ගමන් කිරීමටයි. අදත් බොහෝදෙනෙක් එම වරදම කරමින් සිටිනවා. දෙවිගේ නමස්කාරයට මුල් තැන දෙනවා වෙනුවට, ඔවුන් වෙනත් දේවල් තමන්ගේ “ස්වාමියා” [බාල්] කරගෙන තිබෙනවා. දෙගිඩියාවෙන් නොසිටින්න කියා එලියා සෙනඟට පැවසූ දෙයින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? අපි ජීවිතයේ මූලිකත්වය දී තිබෙන්නේ කුමකටද කියා කල්පනා කර බැලීමට එය අපව පෙලඹවිය යුතුයි.

පරීක්ෂණයක්

සැබෑ දෙවි කවුද කියා දැනගැනීම සඳහා සරල පරීක්ෂණයක් කිරීමට එලියා යෝජනා කළා. එලියා බාල් පූජකයන්ට මෙලෙස පැවසුවා. පූජාසනයක් සාදා පූජාවක් ඔප්පු කිරීමට සත්වයෙක්ව සූදානම් කරන්න. ඊට පස්සේ එය පුළුස්සන්න කියා ඔබේ දෙවිගෙන් ඉල්ලන්න. ඉන්පසු එලියා තමාත් එලෙසම කරන බව පවසා ඔවුන්ට මෙලෙසත් පැවසුවා. “ගින්නක් එවා වස්සාව දවා දමන දෙවි තමයි සැබෑ දෙවි.” සැබෑ දෙවි කවුද කියා එලියා දැන සිටි නිසා ඔහු හිත හිතා ඉන්නේ නැතුව බාල්ගේ අනාගතවක්තෲන්ට ඉස්සර වෙන්න කිව්වා. ඔවුන්ට යම් නිදහසකුත් දෙමින් පූජාව සඳහා තමන් කැමති වස්සෙකුව තෝරාගැනීමට සහ බාල් වෙත ප්‍රථමයෙන් යෑමට අවස්ථාව සලසා දුන්නා. *1 රාජාවලිය 18:24, 25NW.

අද කාලයේ එවැනි ප්‍රාතිහාර්යයන් සිදු නොවුණත්, යෙහෝවා දෙවි වෙනස් නොවන නිසා එලියා මෙන් අපටත් හැකියි ඔහු කෙරෙහි විශ්වාසය තබන්න. උදාහරණයකට බයිබලයේ සඳහන් ඉගැන්වීමක් ගැන කතා කරද්දී වෙනත් අය ඊට එකඟ නොවුණොත් අපි භය නොවී ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩහැරිය යුතුයි. එලියා වගේ අපිත් අප මත රඳා නොසිට දෙවි මත රඳා සිටීම ඉතා වැදගත්. අපිට එය කළ හැක්කේ “කාරණා හරිගැස්වීමට” දෙවිගේ බලයෙන් ලියැවී තිබෙන බයිබලය කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීමෙනුයි.—2 තිමෝති 3:16.

බාල්ගේ අනාගතවක්තෲන් තමන්ගේ පූජාව ඔප්පු කරමින්, “අනේ බාල්, අපිට පිළිතුරක් දෙන්න!” කියා හඬ නඟමින් දිගින් දිගටම කන්නලව් කළා. පැය ගණනක් එසේ කළත් ‘ඔවුන්ට කිසිම හඬක් ඇසුණේවත් පිළිතුරක් ලැබුණේවත් නැහැ’ කියා බයිබලයේ සඳහන් වෙනවා. දහවල් වූ විට, බාල් පිළිතුරු නොදෙන්නේ වැඩ බහුල නිසා, නැත්නම් වැසිකිළියට ගිහින් ඇති, එහෙමත් නැත්නම් නිදි ඇති ඒ නිසා ඔහුව ඇහැරවන්න වෙයි කියා එලියා ඔවුන්ට උපහාසාත්මක ලෙස කියමින් “තවත් හයියෙන් කෑ ගසන්න” කියා පැවසුවා. ඔහු දැක්කේ බාල් නමස්කාරය විකාරයක් හැටියටයි. ඔහුට ඕන වුණේ මෙය ප්‍රෝඩාවක් බව දෙවිගේ සෙනඟට වටහා දීමටයි.—1 රාජාවලිය 18:26, 27NW.

බාල්ගේ පූජකයන්ගේ කේන්තිය ඉහවහා ගියා. ඒ නිසා “හැකි තරම් ශබ්ද නඟා කෑ ගසන්නත් තමුන්ගේ සිරිතට අනුව ලේ වැගිරෙන තෙක්ම තමන්වම කිනිසිවලින් හා පිහිවලින් කපාගන්නත්” පටන්ගත්තා. ඒ කරලත් ‘ඔවුන්ට උපකාර කිරීමට කිසිවෙකු සිටියේ නැහැ.’ (1 රාජාවලිය 18:28, 29NW) ඇත්තෙන්ම බාල් කියා දෙවියෙක් සිටියේ නැහැ. බාල් කියන්නේ මිනිසුන්ව යෙහෝවා දෙවිගෙන් ඈත් කිරීමට සාතන් යොදාගත් මනඃකල්පිත දෙවි කෙනෙක්. එදා මෙන් අදත් යෙහෝවා දෙවි හැර වෙනත් කෙනෙක් හෝ දෙයක් තම ස්වාමියා කරගැනීමෙන් ඉතිරි වන්නේ කලකිරීම හා ලජ්ජාව පමණයි.—ගීතාවලිය 25:3; 115:4-8.

පිළිතුරක් ලැබී

එදිනම දවාලේ එලියාගේ වාරය පැමිණියා. සැබෑ නමස්කාරයට එරෙහිව සිටි සතුරන් කඩා දැමූ යෙහෝවා දෙවිගේ පූජාසනය ඔහු යළි සකස් කළා. එය සකස් කිරීමේදී ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයේ සෙනඟට යමක් සිහිගැන්වීම සඳහා ඔහු ගල් දොළොසක් යොදාගත්තා. එසේ කළේ ගෝත්‍ර 12ටම දුන් නීතිය පැවැත්වීමට ඔවුන් තවදුරටත් බැඳී සිටින බව පෙන්වීමටයි. ඉන්පසු ඔහු පූජාසනය මත පූජාව තබා එයත් මුළු පූජාසනයත් පෙඟෙන තරමටම වතුර වත් කළා. සමහරවිට ඒ සඳභා ළඟ පාත තිබුණු මධ්‍යධරණී මුහුදෙන් වතුර ගන්න ඇති. පූජාසනය වටා අගලක්ද කපා එයත් වතුරෙන් පිරෙව්වා. ඔහු එවැනි ක්‍රියාකලාපයක් අනුගමනය කළේ දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබමින්.—1 රාජාවලිය 18:30-35.

සියල්ල සූදානම් කළ පසු එලියා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඔහු තම හැඟීම් සරලව ප්‍රකාශ කළ ආකාරයෙන් ජීවිතයේ මුල් තැන දී තිබෙන්නේ කුමකටද කියා හෙළි වුණා. ඔහුට මුලින්ම ඕන වුණේ “ඊශ්‍රායෙලයේ දෙවි” බාල් නොව යෙහෝවා බව සෙනඟ තේරුම්ගන්නවා දකින්නයි. දෙවනුව, තමා යෙහෝවා දෙවිගේ සේවකයෙක් බවත්, සියලු ගෞරවය හා ප්‍රශංසාව දෙවිට දිය යුතු බව පෙන්වීමටත් ඔහුට වුවමනා වුණා. අන්තිමේදී ඔහු තම සෙනඟ ගැන සැලකිලිමත්ව සිටින බව පෙන්වා දුන් අතර ඔහුගේ ආශාව වුණේ ‘ඔවුන්ගේ සිත් දෙවි වෙතට’ හැරෙනවා දකින්නයි. (1 රාජාවලිය 18:36, 37NW) ඔවුන්ගේ නොඇදහිලිවන්ත ක්‍රියා නිසා දුක්ඛිත තත්වක් ඇති වී තිබුණත් එලියා ඔවුන්ට ප්‍රේම කළා. අප යාච්ඤා කරන විටත් එලියා මෙන් දෙවිගේ නාමය ගැන සැලකිල්ලක් දක්වන බවත්, අපේ උපකාරය ලැබිය යුතු අය කෙරෙහි නිහතමානිකම හා දයාව දැක්වීමට කැමැත්තෙන් සිටින බවත් පෙන්විය හැකිද?

එලියා යාච්ඤා කරන්න කලින් සෙනඟ හිතන්න ඇති බාල් වගේම යෙහෝවා දෙවිත් බොරු දෙවි කෙනෙක් වෙයිද කියා. එහෙත්, යාච්ඤාව ඇසීමෙන් පසුව ඒ ගැන හිතන්නවත් ඔවුන්ට කාලයක් ඉතිරි වුණේ නැහැ. එම වාර්තාවේ මෙසේ පවසනවා. “එකෙණෙහිම යෙහෝවා දෙවිගෙන් ගින්නක් ඇවිත්, පූජාවද දරද මුළුමනින්ම පුළුස්සා දැමුවේය. ගල්ද දූවිලිද එම ගින්නෙන් දැවී ගියේය. අගලේ තිබුණු වතුරද වියලී ගියේය.” (1 රාජාවලිය 18:38NW) එය පුදුම දනවන පිළිතුරක් නොවේද! ඉන්පසු ජනයාගේ ප්‍රතිචාරය කුමක් වීද?

“යෙහෝවා දෙවි සැබෑ දෙවිය! යෙහෝවා දෙවි සැබෑ දෙවිය!” කියා සියලුදෙනා මහ හඬින් පැවසුවා. (1 රාජාවලිය 18:39NW) ඔවුන්ගේ දෑහින්ම සැබෑ දේ දැකගන්න පුළුවන් වුණා. ඒත් ඔවුන් තම ඇදහිල්ල පෙන්වීමට පියවර ගත්තේ නැහැ. යාච්ඤා කළ පසු යෙහෝවා දෙවි එය දවා දැමූ ආකාරය දැකීමෙන් ඔහු සැබෑ දෙවි බව පිළිගැනීම ශක්තිමත් ඇදහිල්ලක් තිබෙන බවට සාක්ෂියක් නොවෙයි. එමනිසා එලියා ඔවුන්ගෙන් ඊට වැඩි දෙයක් ඉල්ලා සිටියා. ඔවුන් මුල සිටම කළ යුතුව තිබූ දේ කරන්න, එනම් යෙහෝවා දෙවිගේ නීතියට කීකරු වන්න කියා ඔවුන්ට පැවසුවා. බොරු අනාගතවක්තෘවරුන් සහ රූප වඳින්නන්ව මරණයට පත් කළ යුතු බව දෙවිගේ නීතියේ සඳහන් වෙනවා. (ද්විතීය කතාව 13:5-9) මෙම බාල් පූජකයන් හිතාමතාම යෙහෝවා දෙවිගේ අරමුණුවලට විරුද්ධව වැඩ කළා. එමනිසා ඔවුන් දයාව ලැබීමට සුදුස්සන්ද? බාල්ට පූජාවන් වශයෙන් පණ පිටින් ගින්නට දැමූ දරුවන්ට එම පූජකයන් දයාව පෙන්නුවාද? නැහැ. (හිතෝපදේශ 21:13; යෙරෙමියා 19:5) එමනිසා ඔවුන් කොහොමටවත් දයාව ලැබීමට සුදුස්සන් නොවෙයි. මේ හේතු නිසයි ඔවුන්ව මරා දමන්න කියා එලියා නියෝග කළේ.—1 රාජාවලිය 18:40.

අද සිටින විවේචකයන් කර්මෙල් කන්දේ සිදු වූ එම සිද්ධිය ගැන නොයෙක් අදහස් පළ කරනවා. එක් ආගමක් වෙනත් ආගමකට අසාධාරණ දේවල් කරන අවස්ථාවක ආගමික අන්තවාදීන් ප්‍රචණ්ඩ ක්‍රියාවල වරදක් නැහැයි කියා පෙන්වීමට එම සිද්ධිය අතකොළුවක් කරගනියිද කියා සමහරු බියෙන් සිටිනවා. ඇත්තෙන්ම අද දින ප්‍රචණ්ඩකාරි ආගමික අන්තවාදීන් බොහෝදෙනෙක් සිටීම කනගාටුවට කරුණක්. කොහොමවුණත් එලියා අන්තවාදියෙක් නොවෙයි. යෙහෝවා දෙවි වෙනුවෙන් ඔහු කළේ ධර්මිෂ්ඨ ක්‍රියාවක්. නමුත් එලියා කළ ලෙස නපුරු ක්‍රියා කරන්නන්ව මරා දැමීමට තමන්ට අයිතියක් නැති බව සැබෑ ක්‍රිස්තියානීන් දන්නවා. යේසුස් ගැලවුම්කරු ලෙස මේ පොළොවට පැමිණි පසු පේතෘස්ට පැවසුවේ “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසින්නේය” කියායි. (මතෙව් 26:52) එම ප්‍රමිතිය යේසුස්ගේ සියලුම අනුගාමිකයන්ට අදාළයි. අනාගතයේදී යුක්තිය ඉටු කිරීමට යෙහෝවා දෙවි ඔහුගේ පුත්‍රයා වන යේසුස්ව යොදාගන්නවා.

සැබෑ ක්‍රිස්තියානියෙකුගේ වගකීම ඇදහිලිවන්ත ජීවිතයක් ගත කිරීමයි. (යොහන් 3:16) ඒ සඳහා එලියා වැනි ඇදහිලිවන්තයන්ව අනුකරණය කළ හැකියි. යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කළ ඔහු අන් අයටද එලෙස කිරීමට දිරිගැන්නුවා. මිනිසුන්ව යෙහෝවා දෙවිගෙන් ඈත් කිරීමට සාතන් යොදාගත් ආගම ප්‍රෝඩාවක් බව එලියා නිර්භීතව හෙළි කළා. එමෙන්ම යම් කාරණා නිවැරදි කිරීමේදී තමන්ගේම හැකියාවන් සහ කැමැත්ත මත රඳා නොසිට ඔහු යෙහෝවා දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබුවා. අපිත් ඔහුගේ ඇදහිල්ල අනුකරණය කරමු.

[පාදසටහන්වල]

^ 9 ඡේ. එලියා, ආහබ් සමඟ කටයුතු කළ ආකාරය ගැන විස්තර දැනගැනීම සඳහා 1992 සැප්තැම්බර් 1 මුරටැඹ සඟරාවේ “එලියාගේ මෙන් ඇදහිල්ලක් ඔබට තිබෙනවාද?” යන ලිපිය බලන්න.

^ 13 ඡේ. තණ කොළින් වැසී ගිය කර්මෙල් කඳුකරයට වැස්ස සහ පින්න ලැබීමට ඒ අවට හැමූ මුහුදු සුළං බලපෑවා. බාල්ව වර්ෂාවට අධිපති දෙවියා ලෙස සැලකූ නිසා මෙම කන්ද බාල් නමස්කාරය සඳහා වැදගත් ස්ථානයක් වුණා. නමුත් මේ වෙද්දී කර්මෙල් කඳුකරයත් වියළී ගොස් තිබූ නිසා බාල් දෙවියා මිථ්‍යාවක් බව ඔප්පු කිරීමට මෙය කදිම ස්ථානයක් වුණා.

^ 17 ඡේ. පූජාවට “ගිනි තියන්න එපා” කියා එලියා බාල් පූජකයන්ට පැවසුවා. සමහර විශාරදයන් පවසන ආකාරයට රූප වඳින්නන් රහස් උදුනක් සවි කළ පූජාසනයක් භාවිත කර අධි මානුෂික බලයකින් ගින්දර එන බව පෙන්වීමට උත්සාහ කළා.

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යෙහෝවා දෙවි හැර වෙනත් කෙනෙක් හෝ දෙයක් තම ස්වාමියා කරගැනීමෙන් ඉතිරි වන්නේ කලකිරීම පමණයි

[21වන පිටුවේ පින්තූරය]

‘යෙහෝවා සැබෑ දෙවියි’