Skip to content

පටුනට යන්න

දේවරාජ්‍යය තිබෙන්නේ අපේ සිතේද?

දේවරාජ්‍යය තිබෙන්නේ අපේ සිතේද?

පාඨකයන් අසයි

දේවරාජ්‍යය තිබෙන්නේ අපේ සිතේද?

මෙම ප්‍රශ්නයට බොහෝදෙනා පිළිතුරු දෙන්නේ ඔව් කියායි. උදාහරණයකට කතෝලික ආගම ගැන අදහස් දක්වන පොතක සඳහන් වුණේ “දේවරාජ්‍යය කියන්නේ දෙවි අපගේ හදවත් පාලනය කරන ආකාරය” කියායි. (The Catholic Encyclopedia) සාමාන්‍යයෙන් පූජක පංතියත් මිනිසුන්ට උගන්වන්නේ ඒ දේමයි. නමුත් දේවරාජ්‍යය මිනිසුන්ගේ සිත්වල තිබෙනවා කියා බයිබලයේ සඳහන් වෙනවාද?

දේවරාජ්‍යය මිනිසුන්ගේ සිතේ තිබෙන දෙයක් බව මුලින්ම ඉගැන්වූයේ යේසුස් කියා සමහරුන් හිතනවා. එක් අවස්ථාවක ඔහු මෙසේ පැවසුවා. ‘බලන්න! දෙවිගේ රාජ්‍යය ඔබ අතරෙහිය.’ (ලූක් 17:21) නමුත් සමහර බයිබල් පරිවර්තකයන් මේ අදහස පරිවර්තනය කර තිබෙන්නේ ‘දෙවිගේ රාජ්‍යය නුඹලා ඇතුළේය’ කියායි. එසේ පරිවර්තනය කිරීම නිවැරදිද? දේවරාජ්‍යය මිනිසුන්ගේ සිතේ තිබෙන දෙයක් බව යේසුස් පැවසුවාද?

අපි මුලින්ම බලමු බයිබලයේ සිත ගැන සඳහන් කරද්දී ඉන් අදහස් වෙන්නේ කුමක්ද කියා. එයින් අදහස් වෙන්නේ පුද්ගලයෙක් ඇතුළාන්තයෙන් මොන වගේ කෙනෙක්ද යන්නයි. ඊට කෙනෙකුගේ සිතුවිලි, චේතනා හා හැඟීම් අයත් වෙනවා. දේවරාජ්‍යය කියන්නේ ඉතා උත්කෘෂ්ට, තේජවත් දෙයක්. එවැනි දෙයක් සිතේ තිබෙනවා කියා දැනෙද්දී තමන් උසස් තත්වයකට පත් වී තිබෙනවානේ කියා හැඟෙන නිසා කෙනෙකු තුළ සතුටක් ඇති වෙන්න පුළුවන්. ඒත් දේවරාජ්‍යය අපේ සිතේ තිබෙනවා කියා පැවසීමට පදනමක් තිබෙනවාද?

බයිබලයේ සිත සම්බන්ධයෙන් මෙසේ සඳහන් වෙනවා. “සියල්ලටම වඩා සිත රැවටිලිකාරයි. එය උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටයි.” (යෙරෙමියා 17:9, නව ලොව පරිවර්තනය) යේසුස්ද පැවසුවේ ‘ඇතුළතින් එනම් මිනිසුන්ගේ සිතින් හානිකර සිතුවිලි නික්මෙන’ බවයි. ඒවාට “වේශ්‍යාකම්, සොරකම්, මිනී මැරුම්, [අනාචාරයේ හැසිරීම] තණ්හාවන්, දුෂ්ට ක්‍රියා” ඇතුළත් බවත් ඔහු පැවසුවා. (මාක් 7:20-22) අද ලොව පුරා දකින්න තිබෙන ඛේදනීය තත්වයන්ට හේතුව මිනිසුන්ගේ සිත්වල ඇති පව්කාර සිතුවිලි නොවේද? ඒ අනුව දේවරාජ්‍යය වැනි ඉතා ශ්‍රේෂ්ඨ දෙයක් එවැනි සිතක තිබෙනවා කියා පවසන්න පුළුවන්ද? “ගොකටුවලින් අත්තික්කා ගෙඩි” නොඑන්නාක් මෙන් මිනිස් සිතක දේවරාජ්‍යය පවතින්නෙත් නැහැ.—මතෙව් 7:16.

ඊළඟට, යේසුස් මේ වචන පැසුවේ කාටද කියාත් සලකා බලන්න. ලූක් 17:21හි ඇති වචන යේසුස් පැවසුවේ පරිසිවරුන් ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනුයි. ඔවුන් ඇසුවේ ‘දෙවිගේ රාජ්‍යය පැමිණෙන්නේ කවදාද’ කියායි. (ලූක් 17:20) පරිසිවරුන් ඇත්තෙන්ම යේසුස්ගේ සතුරන්. කුහකයන් වූ ඔවුන් කවදාවත් දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ කියා යේසුස් පවසා තිබුණා. (මතෙව් 23:13) දේවරාජ්‍යයට ඇතුල් වෙන්න පරිසිවරුන්ට කොහෙත්ම සුදුසුකම් තිබුණේ නැති නම්, දේවරාජ්‍යය ඔවුන්ගේ සිතේ තිබෙනවා කියා යේසුස් පවසයිද? නැහැ. එසේනම් දෙවිගේ රාජ්‍යය ඔබ අතරෙහිය කියා පැවසීමෙන් යේසුස් ඇත්තටම අදහස් කළේ කුමක්ද?

නව ලොව පරිවර්තනය නමැති බයිබල් පරිවර්තනයේ යොදා ඇති වචනම වෙනත් බයිබල් පරිවර්තන කීපයකම දකින්න තිබෙනවා. ඒවායේ යේසුස් පැවසූ දේ පරිවර්තනය කර තිබෙන්නේ දේවරාජ්‍යය “ඔබ අතරෙහිය” ලෙසයි. පරිසිවරුන් ඇතුළු එදා ජීවත් වූ මිනිසුන් අතරේ දෙවිගේ රාජ්‍යය තිබුණා කියා පැවසිය හැක්කේ කෙසේද? අපි හොඳින්ම දන්නවා දේවරාජ්‍යයේ රජු හැටියට යෙහෝවා දෙවි යේසුස්ව පත් කර ඇති බව. පාලනය හිමිවීමට නියමිතව සිටි යේසුස් එදා මිනිසුන් අතරේ සිටියා. ඒ වගේම ඔහු දේවරාජ්‍යය ගැන ඉගැන්නුවා පමණක් නොව නොයෙකුත් බලවත් ක්‍රියාද කරමින්, ඒ රාජ්‍යය තුළින් ඉදිරියේදී කරන්නේ කුමක්ද කියා ජනතාවට පෙන්වා දුන්නා. ඒ අර්ථයෙන් දේවරාජ්‍යය එදා සිටි සෙනඟ අතරේ තිබුණා කියා පවසන්න පුළුවන්.

දේවරාජ්‍යය මිනිසුන්ගේ සිතේ තිබෙන දෙයක් බව පැවසීමට පදනමක් බයිබලයේ සපයා නැහැ. ඒ වෙනුවට එහි පෙන්නුම් කරන්නේ දේවරාජ්‍යය සැබෑ ආණ්ඩුවක් බවයි. බයිබලය ලියූ අනාගතවක්තෘවරුන් පැවසූ ආකාරයට මේ රාජ්‍යය මගින් පොළොවේ විශාල වෙනස්කම් කරනු ලබනවා.—යෙසායා 9:6, 7; දානියෙල් 2:44.