Skip to content

පටුනට යන්න

ජීවිතයේ තේරුම කුමක්ද?

ජීවිතයේ තේරුම කුමක්ද?

ජීවිතයේ තේරුම කුමක්ද?

පිළිතුර දැනගැනීම වැදගත් ඇයි? ජීවිතයට අර්ථයක් නැහැ කියා සිතීම කලකිරීම ඇති කරවන සිතුවිල්ලක්. නමුත් ජීවිතයේ අරමුණ ගැන පැහැදිලි අවබෝධයක් තිබෙන කෙනෙකුට ඕනෑම දුෂ්කර තත්වයක් හමුවේ නොසැලී සිටිය හැකියි. හිට්ලර් දියත් කළ සමූල ඝාතනවලින් දිවි ගලවාගත් වෛද්‍ය විශේෂඥ වික්ටර් ඊ. ෆ්‍රැන්ක්ල් නමැත්තා මෙසේ පැවසුවා. “ජීවිතයට හරයක් තියෙන බව පිළිගන්නවා නම් ඕනෑම අමිහිරි තත්වෙකදී වුණත් නොසැලී ඉන්න පුළුවන් කියලා මම කියනවා.”

ජීවිතයේ අර්ථය ගැන මිනිසුන් විවිධ අදහස් දරනවා. බොහෝ අය කියන්නේ ජීවිතයේ නියම අර්ථය තීරණය කළ යුත්තේ තමන්ම බවයි. නමුත් පරිණාමවාදය විශ්වාස කරන ඇතමුන් කියා සිටින්නේ ජීවිතයට අර්ථයක් නැහැ කියලයි.

ජීවිතයේ තේරුම දැනගැනීමට තිබෙන හොඳම ක්‍රමය නම් අපට ජීවිතය ලබා දුන් යෙහෝවා දෙවි ඒ සම්බන්ධයෙන් පවසන දේ සලකා බැලීමයි. දැන් අපි ශුද්ධ බයිබලයෙන් බලමු ඔහු පැවසුවේ කුමක්ද කියා.

ශුද්ධ බයිබලයේ පවසන්නේ . . .

යෙහෝවා දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ විශේෂ අරමුණක් ඇතුවයි. ආදම් සහ ඒව කියා හැඳින්වූ මුල්ම මිනිස් යුවළ නිර්මාණය කළ පසු දෙවි ඔවුන්ට පැවසූ දේ මතු දැක්වෙනවා.

උත්පත්ති 1:28, නව ලොව පරිවර්තනය, NW.  “දරු සම්පත් ලබා ගණනින් වැඩි වන්න. පොළොව පුරා පැතිර යමින් එය රැකබලා ගන්න. මුහුදේ මත්ස්‍යයන්වද පක්ෂීන්වද පොළොව මත සිටින සියලු සතුන්වද ඔබ යටතේ තබාගන්න.”

ආදම් සහ ඒව ඇතුළු ඔවුන්ගේ දරුවන් මේ පොළොව පාරාදීසයක් කරනවා දකින්නයි දෙවි කැමති වුණේ. අද මෙන් මිනිසුන් පොළොව දූෂණය කරනවා දකින්න දෙවි කැමති වුණේ නැහැ. එමෙන්ම මිනිසුන් මහලු වී මිය යා යුතුයි කියා අරමුණු කළේද නැහැ. කොහොමවුණත් ආදම් සහ ඒව ගත් එක් නරක තීරණයක් නිසා මුළු මිනිස් වර්ගයාටම පාපය උරුම වුණා. ඒ නිසා අපි හැමෝම මිය යනවා. (උත්පත්ති 3:2-6; රෝම 5:12) නමුත් මේ පොළොව පාරාදීසයක් කිරීමට වූ දෙවිගේ අරමුණ නම් වෙනස් වී නැහැ. ළඟදීම මුළු ලෝකයම පාරාදීසයක් බවට පත් වෙනවා.—යෙසායා 55:10, 11.

සිය අරමුණ සාර්ථකව ඉටු කිරීම සඳහා දෙවි අපට අවශ්‍ය ශරීර ශක්තියත් සිහිබුද්ධියත් ලබා දී තිබෙනවා. දෙවි අපිව නිර්මාණය කර තිබෙන්නේ ඔහුගේ මඟ පෙන්වීම් නොසලකාහරිමින් අපිට කැමති විදිහට ජීවත් වීමට නෙවෙයි. මිනිසුන් සඳහා දෙවිට ඇති අරමුණ කුමක්ද කියා තේරුම්ගැනීමට මතු දැක්වෙන බයිබල් පද සලකා බලන්න.

දේශනාකාරයා 12:13NW.  “සියල්ල සැලකිල්ලට ගත් පසු මේ ගැන එළඹිය හැකි නිගමනය මෙයයි. සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇතිව සිට ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි.”

මීකා 6:8NW. යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඔහු සතුටු වන්නේ ඔබ යුක්තිගරුකව හා කාරුණිකව ක්‍රියා කරමින්, ඔබේ දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙනවා දැකීමටය.’

මතෙව් 22:37-39. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කරන්න.’ මෙය උතුම්ම සහ පළමුවන ආඥාවය. දෙවැන්නද ඒ හා සමානය. එනම්, ‘ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න.’”

සැනසීම ලැබෙන පිළිතුරක් ශුද්ධ බයිබලයෙන්!

උදාහරණයකට යන්ත්‍රයක් ගැන හිතන්න. එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නම් එය නිෂ්පාදනය කළේ කුමන කාර්යයක් සඳහාද, එය භාවිත කළ යුත්තේ කෙසේද කියා දැනගෙන ඒ අනුව එය භාවිත කළ යුතුයි. දෙවි අපවත් නිර්මාණය කළේ යම් අරමුණක් ඇතුවයි. එය තේරුම්ගෙන ඊට එකඟව ජීවත් වුණොත් දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් තබාගත හැකියි. එමෙන්ම නිරවුල් මනසක් සහ හොඳ ශරීර සෞඛ්‍යයක් ඇතුව සිටීමටත් එය දායක වෙනවා. මිනිසුන් සම්බන්ධයෙන් දෙවිට ඇති අරමුණ තේරුම්ගැනීමෙන් සැනසීම ලැබෙන පැති දෙකක් ගැන සලකා බලන්න.

ජීවිතයේ මූලික තැන දිය යුත්තේ ධනය හා වස්තුව රැස් කිරීමට කියා සමහරුන් සිතනවා. නමුත් බයිබලයේ අනතුරු අඟවා තිබෙන්නේ ‘පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය පරීක්ෂාවටද, උගුලකටද, මිනිසුන්ව නාස්තියටත් විනාශයටත් පමුණුවන, අඥාන වූ අනතුරුදායක වූ බොහෝ ආශාවලට වැටෙන’ බවයි.—1 තිමෝති 6:9, 10.

දෙවිට ප්‍රේම කරන අය ධනය පස්සේ හඹා යන්නේ නැහැ. ඔවුන් තිබෙන දෙයින් සෑහීමට පත් වෙන විදිහ ඉගෙනගෙන තිබෙනවා. (1 තිමෝති 6:7, 8) තමන්ගේ ඕනෑ එපාකම් ඉටු කරගැනීමට අවශ්‍ය මුදල් උපයන්න වෙහෙස වී වැඩ කළ යුතු බව ඔවුන් දන්නවා. (එෆීස 4:28) ඒ වුණත් ඔවුන් යේසුස් දුන් මේ උපදෙසද අමතක කරන්නේ නැහැ. “ස්වාමිවරුන් දෙදෙනෙකුගේ දාසයෙකු වීමට කිසිවෙකුට නොහැක. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරනවා ඇත. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකිනවා ඇත. ඔබට මුදලටත් දෙවිටත් දාසයෙකු විය නොහැක.”—මතෙව් 6:24.

දෙවිට ප්‍රේම කරන අය ඒ උපදෙස හිතට ගන්නා නිසා මුදල් ඉපයීම හෝ තම රැකියාව ජීවිතයේ මූලිකම දේ කරගන්නේ නැහැ. ඔවුන් මූලිකත්වය දී තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වීමටයි. එසේ කළොත් දෙවි තමන්ව රැකබලා ගන්නා බව ඔවුන් විශ්වාස කරනවා. එවැනි අයව රැකබලා ගන්න තමන්ද බැඳී සිටින බවයි දෙවි සලකන්නේ.—මතෙව් 6:25-33.

එකිනෙකාව ආශ්‍රය කරද්දී බොහෝදෙනා හිතන්නේ තමුන්ගේ වාසිය ගැන විතරයි. බොහෝදෙනා “තමුන්ටම ප්‍රේම කරන . . . ජන්ම ස්නේහය නැති” අය වී තිබෙන නිසා ලෝකය තුළ අද සාමය නැති වෙලා. (2 තිමෝති 3:2, 3) වෙනත් කෙනෙක් තමන්ගේ බලාපොරොත්තු කඩ කළා නම් හෝ තමන්ගේ අදහස්වලට එකඟ වුණේ නැත්නම් ‘වෛරයෙන්, කෝපයෙන්, කෑගසමින් හා නිග්‍රහ කරමින්’ ප්‍රතිචාරය දක්වන්න ඔවුන් පෙලඹෙනවා. (එෆීස 4:31) තමන්වම පාලනය කරගැනීමට නොහැකි වීම නිසා සිතේ සහනයක් ඇති වෙනවා වෙනුවට සිදු වී ඇත්තේ තව තවත් “විවාද” ඇතිවීමයි.—හිතෝපදේශ 15:18NW.

දෙවිට ප්‍රේම කරමින් ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙන අය ඊට වඩා වෙනස්. එසේ පවසන්නේ ඔවුන් ‘කරුණාවද ගැඹුරු දයානුකම්පාවද පෙන්වමින් එකිනෙකාට මුළු හදවතින්ම සමාව දෙන’ නිසයි. (එෆීස 4:32; කොලොස්සි 3:13) අන් අය ඔවුන්ට යම් අසාධාරණයක් කළත් ඔවුන් පළිගන්නේ නැහැ. යේසුස්ට “නිග්‍රහ කරද්දී, ඔහු නිග්‍රහ කළේ නැහැ.” ඒ හා සමානව දෙවිට ප්‍රේම කරන අයද එකට එක කරන්නේ නැහැ. (1 පේතෘස් 2:23) අන් අය අගය කළත් නැතත් යේසුස් මෙන් ඔවුන්ද එකිනෙකාට සේවය කරනවා. එසේ කිරීමෙන් ඔවුන් ලබන්නේ අපමණ සතුටක්. (මතෙව් 20:25-28; යොහන් 13:14, 15; ක්‍රියා 20:35) යෙහෝවා දෙවි තම පුත් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන අයට තම බලය ලබා දීමෙන් උපකාර කරනවා. මේ බලය කෙනෙකුට ලැබුණු විට ඔහු තුළ සමාදානය ඇති වෙන අතර ප්‍රතිඵලයක් ලෙස මහත් සැනසීමක් දැනෙනවා.—ගලාති 5:22.

අනාගතය ගැන ඔබ දරන ආකල්පය ඔබේ සැනසීමට බලපාන්නේ කෙසේද?

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ජීවිතයේ අරමුණ ගැන පැහැදිලි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි

[7වන පිටුවේ පින්තූරය]

සැනසීම සොයාගත හැකි ආකාරය යේසුස් අපට ඉගැන්නුවා