Skip to content

පටුනට යන්න

අනාගතය මොන වගේද?

අනාගතය මොන වගේද?

අනාගතය මොන වගේද?

පිළිතුර දැනගැනීම වැදගත් ඇයි? පුද්ගලයෙක් අනාගතය ගැන දරන ආකල්පය වර්තමානයේ ඔහු ජීවිතය ගත කරන ආකාරයට බලපානවා. අනාගතය ගැන කිසි බලාපොරොත්තුවක් නැති අය “හෙට අපි මැරෙන බැවින් කමු, බොමු” යන ආකල්පය ඇතුවයි ජීවත් වෙන්නේ. (1 කොරින්ති 15:32) එම ආකල්පය බීමත්කමට හා කෑදරකමට රුකුල් දෙන නිසා තව තවත් කලකිරීම වැඩි වී තිබෙනවා මිසක් සැනසීමක් නම් ලැබිලා නැහැ.

අපේ අනාගතය මිනිසුන්ගේ අතට භාර දුන්නා නම් කුමක් වෙයිද? එහෙම වුණොත් අනාගතය ගැන තියෙන බලාපොරොත්තු සුන් වී යනවා. දැනටමත් වාතය, ජලය හා පොළොව දූෂණය වෙලා. ත්‍රස්තවාදී ප්‍රහාර හෝ න්‍යෂ්ටික යුද්ධ ඇතිවීමට තියෙන ප්‍රවණතාව එන්න එන්නම වැඩි වෙනවා. ලොව පුරාම දිලිඳුකමෙත් ලෙඩ රෝගවලත් අඩුවක් නැහැ. මෙවැනි තත්වයක පවා අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව සිටින්න අපට හොඳ හේතු තිබෙනවා.

අනාගතය මොන වගේද කියලා නිවැරදිව කියන්න මිනිසුන්ට බැහැ. නමුත් යෙහෝවා දෙවිට එය පුළුවන්. ඒ නිසයි “අවසානයේදී සිදු වන දේ කලින් කියන, තවමත් සිදු වී නැති දේවල් බොහෝ කාලයකට ප්‍රථමයෙන් පවසන” තැනැත්තා හැටියට බයිබලයේ ඔහුව හඳුන්වා තිබෙන්නේ. (යෙසායා 46:10, නව ලොව පරිවර්තනය, NW) දැන් අපි බලමු අපේ අනාගතය ගැන ඔහු පවසන්නේ කුමක්ද කියා.

ශුද්ධ බයිබලයේ පවසන්නේ . . .

පොළොවත් එහි සිටින ජීවීන්වත් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට දෙවි කිසිවෙකුටවත් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසයි බයිබලයේ සඳහන් වෙන්නේ දෙවි ‘පොළොව විනාශ කරන අයව විනාශ කර දමනවා’ කියා. (එළිදරව් 11:18) ඔහු ස්වර්ගයේ පිහිටුවා තිබෙන තම රාජ්‍යය මාර්ගයෙන් පොළොවේ තිබෙන සියලුම දුෂ්ට දේවලට අවසානයක් ගෙනැවිත් මුළු පොළොවම පාරාදීසයක් කරනවා. (උත්පත්ති 1:26-31; 2:8, 9; මතෙව් 6:9, 10) නුදුරු අනාගතයේදී පොළොවේ සිටින සියලුදෙනාම අද්දකින දේවල් මතු දැක්වෙනවා.

ගීතාවලිය 46:8, 9NW.  “සෙනඟෙනි, එන්න. යෙහෝවා දෙවිගේ ක්‍රියා බලන්න. ඔහු පොළොවේ කර ඇති පුදුමාකාර දේවල් දෙස බලන්න. පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වන්නේය. ඔහු දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. ඔහු යුධ රථ ගිනිබත් කරන්නේය.”

යෙසායා 35:5, 6NW.  “එකල අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය. බිහිරි අයගේ කන් ඇරෙන්නේය. කොර අය මුවෙකු මෙන් දිව යන්නේය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නේය. රළු බිමෙහි දිය උල්පත් බිඳී එයි. කාන්තාරයේ පවා ඇළ දොළ ගංගා ගලා යයි.”

යෙසායා 65:21, 22NW.  “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදි වතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන්ගේ නිවෙස් වෙන අය අයිති කරගන්නේ නැත. ඔවුන් වගා කළ කෙත්වතුවල අස්වැන්න වෙන කෙනෙකු භුක්ති විඳින්නේ නැත.”

දානියෙල් 2:44NW. “ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවනු ඇත. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. එය සදහටම පවතියි.”

යොහන් 5:28, 29. “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය.”

එළිදරව් 21:3, 4. “දෙවිම ඔවුන් සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.”

සැනසීම ලැබෙන පිළිතුරක් ශුද්ධ බයිබලයෙන්!

සමහරවිට ඔබට හිතෙයි ඒ දේවල් ඇත්තටම සිද්ධ වෙයිද කියලා. නමුත් මේ පොරොන්දු අපිට දී තිබෙන්නේ මිනිසෙක් නොව “බොරු කීමට නොහැකි” යෙහෝවා දෙවි බව අපි හිතට ගත යුතුයි.—තීතස් 1:2.

ඔබ දෙවිගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වුණොත් මොනම පීඩාකාරී අවස්ථාවක වුණත් සිතේ සහනය ඇතුව ඉන්න ඔබට පුළුවන්. යුද්ධ, දුගීකම, අසනීප, මහලු වියේ ගැටලු හෝ මරණය ළඟයි කියා සිතීම නිසාවත් ඔබේ සහනය නැති වී යන්නේ නැහැ. ඊට හේතුව දෙවි ඔහුගේ රාජ්‍යය මගින් සියලු වේදනාකාරී දේවල් නැති කරන බවට ලොකු විශ්වාසයක් ඔබ තුළ තිබීමයි.

අනාගතය ගැන එවන් බලාපොරොත්තුවක් තබාගැනීමට නම් ‘දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි ඔබටම ඔප්පු කරගෙන ඔබේ මනස අලුත් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස්’ විය යුතුයි. (රෝම 12:2) බයිබලයේ තිබෙන පොරොන්දු ඇත්තෙන්ම විශ්වාස කළ හැකිද කියා සහතික කරගැනීමට ඔබට යම් වෑයමක් දරන්න සිදු විය හැකියි. නමුත් ඒ සඳහා ඔබ දරන වෑයම අපතේ යන්නේ නැහැ. හේතුව සිතේ සහනය ඇතුව ජීවත් වෙන්න එමගින් ඔබට හැකිවීමයි.

[8, 9වන පිටුවේ පින්තූර]

අනාගතය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

යෙසායා 35:5

යෙසායා 35:6

යොහන් 5:28, 29