Skip to content

පටුනට යන්න

සැබෑ දෙවි කවුද?

සැබෑ දෙවි කවුද?

යේසුස්ගෙන් ඉගෙනගනිමු

සැබෑ දෙවි කවුද?

දෙවිට නමක් තිබෙනවාද?

යේසුස් වරක් මෙලෙස පැවසුවා. “ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටය. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා.’” (මතෙව් 6:9) එසේ පැවසීමෙන් දෙවිට නමක් තිබෙන බව යේසුස් ඉගැන්නුවා. ශුද්ධ බයිබලයේ සඳහන් වෙන්නේ දෙවිගේ නම යෙහෝවා බවයි. (ගීතාවලිය 83:17) එමනිසා තම ගෝලයන් ගැන යාච්ඤා කරද්දී ඔහු ස්වර්ගික පියාණන්ට පැවසුවේ “මම ඔබේ නාමය ඔවුන්ට දැන්වීමි” කියායි.—යොහන් 17:26.

යෙහෝවා දෙවිව හඳුනාගන්න

යෙහෝවා දෙවිව “එකම සැබෑ දෙවි” ලෙස යේසුස් හැඳින්වූයේ ඔහු විශ්වයේ තිබෙන සියල්ල නිර්මාණය කළ නිසයි. (යොහන් 17:3) වරක් යේසුස් මෙසේ පැවසුවේ ඒ නිසයි. ‘ඔවුන්ව මැවූ තැනැත්තා පටන්ගැන්මේ සිට පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව මැවූ බව ඔබ කියවා නැද්ද?’ (මතෙව් 19:4, 5) එමෙන්ම “කිසි මිනිසෙක් කිසි කලක දෙවිව දැක නැත” කියා යේසුස් පැවසුවා. (යොහන් 1:18) ඉන් අදහස් වෙන්නේ යෙහෝවා දෙවි නොපෙනෙන පුද්ගලයෙක් බවයි.—නික්මයාම 33:17-20.

දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

වඩාත්ම වැදගත් ආඥාව කුමක්ද කියා කෙනෙක් යේසුස්ගෙන් ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ මේ ආකාරයටයි. “පළමුවැන්න නම් මේය, ‘ඊශ්‍රායෙලය, සවන් දෙන්න. අපේ දෙවි වන යෙහෝවා, එකම යෙහෝවාය. ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න.’ දෙවැන්න නම් මේය, ‘ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න.’”—මාක් 12:28-31.

දෙවිට ප්‍රේම කරන බව පෙන්විය හැක්කේ කෙසේද?

‘මා පියාණන්ට ප්‍රේම කරනවා’ කියා යේසුස් පැවසුවා. ඔහු එම ප්‍රේමය පෙන්වූයේ කෙසේද? යේසුස් පැවසුවේ ‘පියාණන් මට දී ඇති ආඥාව මා පිළිපදිනවා’ කියායි. (යොහන් 14:31) ‘මා සැමවිටම ඔහුට ප්‍රසන්න දේවල් කරනවා’ කියාත් ඔහු පැවසුවා. (යොහන් 8:29) දෙවි ගැන ඉගෙනගැනීමෙන් දෙවිව සතුටු කරන්න අපටත් හැකියි. එමෙන්ම තම ගෝලයන් වෙනුවෙන් යාච්ඤා කරමින් යේසුස් මෙවැන්නක්ද පැවසුවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැන . . . දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3; 1 තිමෝති 2:4. [1 තිමෝති 2:3, පැරණි අනුවාදය]

දෙවි ගැන අපට ඉගෙනගත හැක්කේ කෙසේද?

දෙවි නිර්මාණය කර තිබෙන දේවල් නිරීක්ෂණය කිරීමෙන් අපිට ඔහු ගැන යමක් ඉගෙනගත හැකියි. යේසුස් පැවසූ මේ දේ සලකා බලන්න. “අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැත. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන් පෝෂණය කරන්නේය. ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද?” මෙහිදී යේසුස් ඉගැන්වූ පාඩම කුමක්ද? අප දෙවිට සේවය කිරීම නතර කරන තරමටම ශාරීරික අවශ්‍යතා ගැන කනස්සලු නොවිය යුතු බවයි.—මතෙව් 6:26-33.

යේසුස් ශුද්ධ ලියවිල්ල “දෙවිගේ වචනය” කියා හැඳින්වුවා. (ලූක් 8:21) එමෙන්ම “ඔබේ වචනය සත්‍යතාවය” කියාද යේසුස් පැවසුවා. එමනිසා යෙහෝවා දෙවිව දැනගැනීම සඳහා තිබෙන හොඳම ක්‍රමය වන්නේ ඔහුගේ වචනය වන බයිබලය අධ්‍යයනය කිරීමයි.—යොහන් 17:17; 2 පේතෘස් 1:20, 21.

යෙහෝවා දෙවි ගැන සත්‍යය දැනගැනීමට යේසුස් මිනිසුන්ට උපකාර කළා. එක් අවස්ථාවක යේසුස් ගැන ඔහුගේ ගෝලයෙක් මෙවැන්නක් පැවසුවා. “ඔහු අප සමඟ මඟදී කතා කරද්දීත්, ශුද්ධ ලියවිල්ල හොඳාකාරයෙන් පහදා දෙද්දීත් අපේ සිත් දැවුණා නොවේද?” (ලූක් 24:32) දෙවි ගැන ඉගෙනගැනීමට නම් අප තුළ ආශාවක් තිබිය යුතු අතර අපි නිහතමානී විය යුතුයි. ඒ නිසයි යේසුස් මෙසේ පැවසුවේ “ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවුණොත්, කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නහුය.”—මතෙව් 18:3.

දෙවි ගැන ඉගෙනීමෙන් සතුටක් ලැබෙන්නේ ඇයි?

ජීවිතයේ අර්ථය තේරුම්ගැනීමට අවශ්‍ය සියලු ප්‍රඥාව දෙවි අපට ලබා දෙනවා. ජීවිතය ගත කිරීමට හොඳම ක්‍රමය අපට උගන්වන්නේ යෙහෝවා දෙවියි. යේසුස් පැවසුවේ “දෙවිගේ වචනය අසා එය පවත්වන අය සන්තෝෂවත්” කියායි.—ලූක් 11:28; යෙසායා 11:9.

වැඩි විස්තර සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 1වන පරිච්ඡේදය බලන්න. *

[පාදසටහන]

^ 17 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[16වන පිටුවේ පින්තූරය]

“මම ඔබේ නාමය ඔවුන්ට දැන්වීමි.”—යොහන් 17:26

[16, 17වන පිටුවේ පින්තූර]

මැවිල්ලෙන් හා බයිබලයෙන් අපට යෙහෝවා දෙවි ගැන ඉගෙනගත හැකියි